පෙරවදන​

මෙතෙක් ලියූ දෑ

පාසැල් දැරියක කාලයේ සිට​ පොත් පත්, ගීත​, නාට්‍ය , චිත්‍රපට ආදී නොයෙකුත් සහිත්‍යාංග රස විඳීම පුරුද්දක් ලෙස කරගෙන ආව ද​​​, ඒ වායේ රස මුසු සියුම් තැන් ස්පර්ශ කරමින්, මගේ කියැවීම සටහන් කරන්නට වූයේ 2013 වර්ෂයේ මැද භාගයේ දී පමණ සිට ‘ගීයක වරුණ​’ රස කවයට බැඳුණු දා පටන් ය​. සමූහය තුළ කෙරුණු සංවාද​ හරහා සිංහල ගීත සාහිත්‍ය ය​ ගැන මගේ තිබූ අවබෝධය පුළුල් වූවා සේම, ඒවා දෙස වෙනස් මානයකින් බැලීමටත් පුරුදු පුහුණු වීමි. සිංහල ගීතය අරබයා ඇතැම් කරුණු සම්බන්ධයෙන් පිළිගත හැකි තර්කයන් ඉදිරිපත් කෙරුණු හෙයින් මා එතෙක් දැරූ මතවාදය සම්පූර්ණයෙන් ම පාහේ වෙනස් කර ගත් අවස්ථාවන් කිහිපයක් ද විය​. ගීත මෙන් ම වෙනත් සාහිත්‍යාංග පිළිබඳවත් සය වසරක පමණ කාලයක් තිස්සේ විවිධ සමූහ වල පළ කරන ලද සියලුම සටහන් එක තැනකට එකතු කර තැබීමට සිතුවෙ මි. මෙහි දැනට පළ කර ඇත්තේ මෙතෙක් ලියූ සටහන් අතුරෙන් කොටසක් පමණක් බව ද​, ඒවා අවශ්‍ය පරිදි නැවත සම්පාදනය කර ඇති බව ද​​ සඳහන් කළ මනා ය​. ඉතිරිය ද එකිනෙක සම්පාදනය කිරීමෙන් අනතුරුව​,  හැකි ඉක්මනින් එකතු කරීමේ බලාපොරොත්තුව​ ඇතිව මෙතෙක් සැකසූ සටහන් මෙසේ ඔබ ඉදිරියේ තැබීමට යුහුසුළු වීමි. අලුතෙන් ලියැවෙන සියලුම ලිපි ද මෙම බ්ලොග් අඩවිය තුළට එකතු වනු ඇත​.

සාහිත්‍යයේ පෝෂණය

නිර්මාණය”, “රසවින්දනය” සහ​ “විචාරය” යන අන්‍යොන්‍ය සහායෙන් වර්ධනය වන ආධාරක තුනක් මත​ සාහිත්‍ය යේ පෝෂණය රඳා පවතින බව​ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය​ “විචාරයක් නැති සාහිත්‍යය” නැමැති ලිපියෙන් පෙන්වා දෙයි. මේ එක් අංශයක හෝ කඩා වැටීම නැති නම් නැගීම අනෙකුත් අංශ වල වර්ධනය කෙරෙහි අනුලෝම සමානුපාතික වශයෙන්  දක්වන දායකත්වය සහ​, ඒ හේතු කොට ගෙන​ සමස්ත සාහිත්‍යය කෙරෙහි සිදු කෙරෙන​ බලපෑම පිළිබඳව ඔහු එහි දී විස්තරාත්මක පැහැදිලි කිරීමක යෙදේ.

නිර්මාණකරුවකු කාව්‍ය රචනයක් කරන්නේ සමාජයේ වෙසෙන අඥාත රසිකයකු ගේ රස වින්දනය දැක එය  ආමන්ත්‍රණය කරමින් බව​ පවසන ඔහු, එම කාව්‍යය තුළින් පිළිගන්වන දේ ග්‍රහණය කර, රසය උකහා ගැනීම සඳහා රසිකයකු සූදානම් විය යුතු ආකාරය මෙසේ විස්තර කරයි;

අපි රසිකයාගේ පැත්තෙන් මේ කාර්යය දෙස බලමු. රසිකයාට නිෂ්ක්‍රීය වෙන්ට ඉඩ නැහැ. රසය විඳීම සඳහා ඔහු ක්‍රියාත්මක විය යුතුයි. He is not the passive recipient of an aesthetic experience. ඒ සඳහා රසිකයා ස්වකීය ජීවිතයේ අත්දැකීමත්, සාහිත්‍යයෙන් ලබාගත් අත්දැකීමත් වහල්කර ගත යුතුයි. තම සංකල්පන ශක්තිය මෙහෙයවා කවියා නිෂ්පාදනය කරන රසය උකහා ගැන්මට ඔහු උත්සාහ දැරිය යුතුයි. මේ දෙපක්ෂය අතර සහානුභූතියක් ඇති විය යුතුයි.” (එදිරිවීර සරච්චන්ද්‍ර, 1989)

මගේ දායකත්වය​

මේ බ්ලොග් අඩවිය තුළ පළ කෙරෙන ලිපි හරහා ම විසින් ප්‍රධාන වශයෙන් ම අරමුණු කෙරෙන්නේ මෙ කියන සක්‍රීය රසිකයා ගේ කාර්යය ඉටු කිරීම යි. ඒ සඳහා සරච්චන්ද්‍රයන් පැවැසූ සේ ළමා කාලයේ පටන් ජීවිතයෙන් ලද අත්දැකීම් ඇසුරෙන් ලද සංවේදනයත්, පොත පත කියැවීමෙන්  ලැබූ හුරුවත්, උසස් අධ්‍යාපනය තුළින් ලැබූ කරුණු විශ්ලේෂණය කිරීමේ පුහුණුවත් උපයෝගී කැර​ ගතිමි. පොදු ප්‍රේක්ෂකයකු ලෙස පුරුදු පුහුණු කළ දැනුම ආශ්‍රයෙන් කරුණු දක්වන අතරේ දී, සුදුසු තැන්හි දී අවශ්‍යතාවය අනුව වියතුන් විසින් සම්පාදිත ලිපි , පොත්පත් ආදී​ මූලාශ්‍රය භාවිතයෙන් සපයන ලද​ කරුණු තහවුරු කරන්නට ද උත්සාහ දරා ඇත​​.

මෙහි එන  ලිපි කාව්‍ය විචාර ලෙස නො ගත යුතු අතර​, සැම විටම අභිෂ්ට රසිකයකු ගේ කාර්යභාරය ඉටු කරන බවක් ද නො කියමි. නිර්මාණ පිළිබඳ මගේ කියැවීම​ මා සතු  දැනුම් ප්‍රමාණය සහ විචාර බුද්ධියේ තරම අනුව හෙයින් ඒවා යේ ඕනෑ තරම් අඬුලුහුඬුකම් තිබිය හැකි ය​. සරච්චන්ද්‍ර මහතා ගේ ලිපියෙ හි දැක්වෙන්නා සේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ පළ පුරුදු විචාරකයින් ගේ ලිපි සහ පත පොත පරිශීලනයෙන් සහ​ සිය සංකල්පන ශක්තියේ සහායෙන් ලිපි වල අන්තර්ගතය විමසා බලා පිළි ගැනීම කියවන්නා සතු වගකීම කි. 

කෙසේ වතුදු, අවංක විචාරයේ අඩුව නිසා නිර්මාණාත්මක සාහිත්‍යය අභාවයට ගොස් ඇති බව එදිරිවීර සරච්චන්ද්‍රයන් පෙන්වා දෙන්නේ 1989 දීයි. එසේ නම් පුහුදුන් රසිකයන් වන අපට මග පෙන්විය හැකි විචාරකයින්,  නිර්මාණකරුවන් අද දවසේ සිටිනවාදැයි යන බරපතල පැනය අප හමුවේ මතු වේ.

අසූව දශකයෙන් පසුව ආ විවෘත ආර්ථිකයත් සමග නිරීක්ෂණය වූයේ නිර්මාණය​, රස වින්දනය සහ විචාරය යන ත්‍රිත්වය ම​ වාණිජකරණය වීමත්, හුදෙක් මමත්වය පෝෂණය කිරීමකටත් පමණක් නතු වී, සමස්ත සාහිත්‍ය ක්ෂේත්‍රයේ ම කඩා වැටීම කි. අනූ ගණන් වල මුල සිට මගේ රස වින්දන මානයට​ හසු වන ගීතයක් හෝ නාට්‍යයක් හෝ චිත්‍රපටයක් වූවා නම් එය ඉතාමත් කලාතුරෙකි නි. එය ද දෙක තුනකට වඩා නැත​. එහි ප්‍රවීණ භෝ ආධුනික භේදයක් ඇත්තේ නැති බව ද කණගාටුවෙන් වුව ද පැවසීමට සිදු වේ.

මෙම බ්ලොග් අඩවිය තුළ සාකච්ඡාවට​ බඳුන් කෙරෙන කෘති අතුරෙන් බහුතරය අනූව දශකයට පෙර බිහි වූ කෘතීන් වන අතර​, පුවත් පත් ලිපි ,පොත් පත් ආදී භාවිත මූලාශ්‍රයයන් ලෙස​ හැකි තරමින් 80, 90 දශක වලට පෙර​ ප්‍රකාශයට පත් වූ ඒවා අන්තර්ගත කිරීමට උනන්දු වූයෙමි.​

අවසාන වශයෙන්, සටහන් වල ඇති කරුණු සම්බන්ධයෙන් ඔබ ගේ  විවේචන සහ​ ප්‍රතිචාර අගය​​ කරන බව ද සඳහන් කරනු කැමැත්තෙ මි. 

-අමා නයනාදරී සිරිවර්ධන​-
15.09.2019

මූලාශ්‍රයය​:
එදිරිවීර සරච්චන් ද්‍ර​ (1989), “විචාරයක් නැති සාහිත්‍යය​”, ‘දිනමිණ’, යොමුව​: https://ronsunu.home.blog/2019/01/14/%e0%b7%80%e0%b7%92%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e2%80%8b/

සැ.යු: බ්ලොග් අඩවිය තුළ පළ කෙරෙන සටහන් වල භාවිතා කර ඇති සියලුම පින්තූර අන්‍තර්ජාලයෙන් බව සලකන්න​. 

©  මෙහි එන සියලුම ලිපි වල (පුවත්පත් ලිපි ප්‍රවර්ගය යටතේ පළ වී ඇති ලිපි හැර​) අයිතිවාසිකම් කතෘ අමා නයනාදරී සිරිවර්ධන සතු ය​. උපුටා ගැනීමේ දී මූලාශ්‍රයය​ ලෙස බ්ලොග් අඩවියෙ හි නම සඳහන් කිරීමට සැලකිලිමත් වන්න​.

Design a site like this with WordPress.com
Get started