-මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

“විචාරකයා ය කියන්නේ අමුතුම ගණයේ පුද්ගලයකුට නොවේ. ඔහුත් රසිකයෙක්. එහෙත් ඔහු පොදු සාමාන්‍ය රසිකයන්ට වෙනස්.“
සාහිත්‍ය ක්ෂේත්‍රය කාර්යය තුනකින් යුක්ත යි. එනම්, නිර්මාණය, රසවින්දනය හා විචාරය. මේ කාර්යය ත්‍රිත්වය අතර පවතින්නේ පරස්පරාපේක්ෂතා නමැති සම්බන්ධය යි. ඒ කියන්නේ එක කාර්යයක් අනිත් කාර්යය කෙරෙහි රඳා පවතින බවයි. ඒ කාර්යය ත්‍රිත්වය කෙරෙහි රඳා පවතින බවයි. ඒ කාර්යය ත්‍රිත්වය වර්ධනය වන්නේ අන්‍යෝන්‍ය සහායෙන්. ඒ කාර්යය තුන මැනවින් වැඩුණාම ය සාහිත්‍යය පෝෂණය වන්නේ, සරු කෙතක් බවට පත්වන්නේ.
මේ දේ සිද්ධ වන්නේ කොහොම ද කියලා අපි මඳක් කල්පනා කර බලමු. පළමුවෙන් ම සාහිත්‍යය නිර්මාණය කරන තැනැත්තා ඔහු කර්තෘවරයා හෝ නිර්මාපකයා කියල හඳුන්වන්න පුළුවන් – හරිනම් ඔහු හඳුන්වන්න ඕන කවියා කියලයි (මේ කරුණ මා මත්තට විස්තර කර දෙන්න බලාපොරොත්තු වෙනවා) සාහිත්‍යය නිර්මාණය කරන තැනැත්තාගේ කාර්යය එක් අතකින් ස්වාධීන එකක් නොවේ. ඒ මක් නිසා ද කිව්වොත්, ඔහුගේ කාර්යය රසිකයා අපේක්ෂා කරන නිසයි. ඔහු නිර්මාණය කරන්නේ රසිකයකු සඳහා යි; කිසියම් කෙනකුගේ වින්දනය සඳහා යි. ඒ රසිකයා අසවලා කියා හෝ අසවල් ගණයේ පුද්ගලයෙක් කියා හෝ සවිඥානික ව සිතනවා නොවන්න පුළුවන්. එහෙත් කවියාගේ යටි සිතෙහි කිසියම් අඥාන රසිකයකුගේ නොපැහැදිලි රූපයක්, එහෙම නැත්නම් එබන්දකුගේ ප්‍රතිචාරය පිළිබඳ කිසියම් අවිනිශ්චිත හැඟීමක් තියෙනවා කියලා මා හිතනවා.
කෝක වෙතත් මා මේ කියන්න හදන්නේ කවියා නිර්මාණය කරන්නේ කාගේ හරි රසවින්දනය සඳහායි කියන එක යි. ඒ අතින් ඔහුගේ නිර්මාණයට, ඔහු දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ යම් යම් සීමා පැනවෙනවා. මේ සීමා නිසා ඔහුට අයහපතක් සිදුවන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වූ විනයක් සැපයෙනවා මිස.

අපි රසිකයාගේ පැත්තෙන් මේ කාර්යය දෙස බලමු. රසිකයාට නිෂ්ක්‍රීය වෙන්ට ඉඩ නැහැ. රසය විඳීම සඳහා ඔහු ක්‍රියාත්මක විය යුතුයි. He is not the passive recipient of an aesthetic experience. ඒ සඳහා රසිකයා ස්වකීය ජීවිතයේ අත්දැකීමත්, සාහිත්‍යයෙන් ලබාගත් අත්දැකීමත් වහල්කර ගත යුතුයි. තම සංකල්පන ශක්තිය මෙහෙයවා කවියා නිෂ්පාදනය කරන රසය උකහා ගැන්මට ඔහු උත්සාහ දැරිය යුතුයි. මේ දෙපක්ෂය අතර සහානුභූතියක් ඇති විය යුතුයි.
එහෙත් මෙබඳු සභානුභූතියක් හට ගන්නේ රසවිඳින තැනැත්තා අභිෂ්ට රසිකයෙක් වුණොත් පමණයි. ඒක හැමවිට ම සිදුවන්නේ නැහැ. රසිකයාගේ තිබෙන නොයෙක් අඩුපාඩුකම් නිසා ඔහුට ඒ තත්ත්වයට පැමිණෙන්න නොහැකි වෙන්න පුළුවන්. මෙතනදී තමයි විචාරකයාගේ සහාය වුවමනා වෙන්නේ.
විචාරකයා ය කියන්නේ අමුතු ම ගණයේ පුද්ගලයකුට නොවේ; ඔහුත් රසිකයෙක්. එහෙත් ඔහු පොදු සාමාන්‍ය රසිකයන්ට වෙනස්.
ඔහු වෙනස් වන්නේ ඔහුගේ රසඥතාව අතින්. ඔහු සූක්ෂ්මාත් ම (Sensitive) පුද්ගලයෙක්. මේ සූක්ෂ්මාත්මතාව ඔහුට සහජයෙන්, උප්පත්තියෙන් ලැබුණු එකක් වෙන්න පුළුවන්. උප්පත්තියෙන් ලැබුණු මේ සූක්ෂ්මාත්මතාවට පැරණි සංස්කෘත විචාරකයෝ කියනවා වාසනා කියලා (මේ අපේ භාෂාවේ අද දවසේ ව්‍යවහාර කරන ‘වාසනාව’ යන වචනයේ අර්ථයෙන් නොවේ යෙදෙන්නේ. මෙකල ‘වාසනාව’ කියන්නේ ආකස්මික ව හෙවත් හේතු රහිත ව ලැබෙන දේටයි. සංස්කෘත විචාරකයෝ ‘වාසනා’ කියන්නේ පූර්ව ජන්මයෙන් ලැබෙන හැකියාවට යි.
මෙකී සූක්ෂ්මාත්මතාව පූර්ව ජන්මයෙන් එන දායාදයක් වුණත් මේ ජන්මයෙහිදී සාහිත්‍යය හැදෑරීමෙන්, විවිධ රස විඳීමෙන්, වර්ධනය කළ යුතු චෛතසිකයක්. විචාරකයා කියන පුද්ගලයා එබඳු කෙනෙක්; පොදු රසිකයාට වඩා ඉක්මනිනුත්, වඩා හොඳිනුත් ඔහුට රසය දැනෙනවා. ඔහුට වැටහෙනවා, රසය ජනිත වන්නේ කවියා යොදා ඇති අසවල් උපක්‍රමය නිසා, අසවල් වචන නිසා හෝ අසවල් චරිත නිරූපණය නිසා හෝ නැත්නම් ජීවිතය කෙරෙහි දක්වන අසවල් දෘෂ්ටිය නිසා බව. පොදු රසිකයාට මෙකී ලක්ෂණ නොපෙනෙන්නට පුළුවනි.
මෙහි පෙරවදනේ මෙසේ සඳහන් ය:සාහිත්‍ය කෘතිය, හෙවත් කාව්‍යය – නවකතාවත් ගද්‍ය කාව්‍ය විශේෂයත් – මැණිකකට සමාන කරන්න පුළුවන්. මැණික දිලිසුණු පමණින් වටිනවා යැයි කියා කියන්න බෑ. “All that glitters is not gold” යන කියමන අප කවුරුත් දන්නවා. සැබෑ මැණිකක් තියෙනවා. බොරු මැණික් හෙවත් ව්‍යාජ මාණික්‍ය තියෙනවා.
මැණික් ගැන නොදන්න තැනැත්තා බොරු මැණිකකට රැවටෙන්න පුළුවන්. ඒක වටිනා වස්තුවක් කියල හිතන්න පුළුවන්. ඒ වුණත් මැණික් ගැන දන්න තැනැත්තාට පෙනෙනවා සැබෑ මැණික යි බොරු මැණික යි අතර වෙනස.
පොදු ප්‍රේක්ෂකයා අසවල් චිත්‍රපටය ශ්‍රේෂ්ඨ කෘතියක් කියා හිතන්න පුළුවන්. එය ශ්‍රේෂ්ඨ කෘතියක් යැයි ඔහු හිතන්නේ සාහිත්‍ය කෘතියක අගය මැනීමට අදාළ නොවන හේතු නිසා විය හැකියි. එසේ නැත්නම් පෞද්ගලික හේතු නිසා වෙන්න පුළුවන්. කතුවරයා තමාගේ මිත්‍රයෙක් හෝ නෑයෙක් නිසා හෝ කතුවරයාගේ හිත රිද්දවන්න අකැමැති නිසා හෝ වෙන කිසියම් ලාබ ප්‍රයෝජනයක් නිසා හෝ ඔහු ඒ කෘතිය හොඳ යැයි කියනවා වෙන්න ඇති. එසේ නැත්නම් ඔහු ශ්‍රේෂ්ඨ කෘතියක් රසවිඳ නැති වන්න පුළුවන්. එසේත් නැත්නම්, ඔහු සාහිත්‍ය කෘතියකින් බලාපොරොත්තු වන්නේ වෙනම දෙයක් වන්න පුළුවන්. එනම් දේශපාලනමය තේමාවක්, නැත්නම් තමා හඳුනන දේශපාලකයන් උපහාසයට ලක් කිරීමක්, එසේත් නැත්නම් නාට්‍ය ස්වරූපයෙන් දක්වන විසූක දස්සන යනාදි ය.
නීලෝදකය පොතේ කතන්දරය අපට කියන්නේ ජෝන් නමැති මයිකල්ගේ බාල සහෝදරයා ය.
මගේ දේශනය මේ පූර්විකාවෙන් අරඹන්නට සිතුණේ අද දවසේ සාහිත්‍යයේ තත්ත්වය ගැන යමක් හඳුන්වා දීම පිණිස යි. ප්‍රධාන වශයෙන් ම අපට පෙනෙන්නේ විචාරය කියල දෙයක් අද දක්නට නොලැබෙන බවයි. විචාරකයා ඒ තරම් ජනප්‍රිය පුද්ගලයෙක් නොවේ. විශේෂයෙන් ම සාහිත්‍ය නිර්මාතෘවරු බොහෝවිට විචාරකයාට කැමැති නැහැ. විචාරකයා තමාගේ කෘතිය හොඳයි කීවොත් මිස, ඔහු හොඳ විචාරකයෙක් නොවේ කියා කතුවරයා කියනවා.
කර්තෘවරුන් හා විචාරකයන් අතර වාද විවාද, ඇනුම්-බැණුම්, ගැරහුම්, ගිගුරුම්, අපහාස, පරිහාස හැම සාහිත්‍යයක ම ප්‍රසිද්ධයි. ඒවා සාහිත්‍යයේ උපග්‍රන්ථ ගණයට වැටෙනවා. ඒවා පාඨකයෝ විනෝදයෙන් කියවනවා. මක්නිසා ද කීවොත්, කතුවරයන් පිළිබඳ පුද්ගල පුවත්, ඕපාදූප, කුල-මල ආදියෙන් ගහන ඒවායින්, අකනිටා බඹලොව වෙසෙන දෙව්වරුන් වශයෙන් පෙනෙන කතුවරයන්ගේ මානුෂිකත්වය, ඔවුන්ගේ අබල – දුබලකම්, සමහරවිට නිවටකම් පවා හෙළිවන නිසා.
මම සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ විචාරකයෙක් වශයෙන් බව ඔබ දන්නවා ඇති, එකල ජීවමානව හුන් ඇතැම් කතුවරයන්ගේ කෘති මා විවේචනයට භාජනය කළවිට ඔවුන් කීවේ එයා අපි ලියපු නවකතාවල දොස් දක්වනවා. ඇයි එයා හොඳ නවකතා ලියල අපට පෙන්වන්නේ නැත්තේ? එයාට බැරිවෙච්ච කාරිය ගැන එයා කොහොමද අපට උපදෙස් දෙන්නේ? කියලයි. විධිමත් සාහිත්‍ය විචාරයක් එකල කතුවරු වත්, පාඨකයෝ වත් හඳුනාගෙන හිටියෙ නැහැ. විචාරකයා කරන්නේ ලේඛකයාට හොඳ කෘති නිර්මාණය කිරීමට ගුරුහරුකම් දීමක් යැයි වැඩිදෙනා විශ්වාස කළා.
සිංහල සාහිත්‍යයට නවීන විචාර ක්‍රම හඳුන්වා දුන්නේ, නවීන සිංහල සාහිත්‍යයක් ගොඩනැංවීමට අඩිතාලම තබා එය හැම අතින් ම පෝෂණය කළ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් බව සඳහන් කළ යුතුයි. බටහිර විචාර ක්‍රම ආශ්‍රයෙන් ඔහු පළමුවෙන් ම විචාරයට භාජනය කළේ පැරණි සිංහල සාහිත්‍යයයි. බටහිර විචාර සිද්ධාන්තවලට නුහුරු වූ පාරම්පරික පඬිවරුන් ඒ සිද්ධාන්ත සිංහල සාහිත්‍යය ඇගයීමට යෙදිය හැකි ද යනාදී ප්‍රශ්න නැඟීම පුදුමයක් නොවේ.
මා බටහිර විචාර සිද්ධාන්ත ඇසුරෙන් සිංහල නවකතාවේ විවේචනයට භාජනය කළ අවස්ථාවෙහි උද්ගත වුණු විරෝධය ඊට වඩා උග්‍ර වුණා. සමහරවිට මෙසේ වෙන්න ඇත්තේ එවකට නවකතා කෙටි කතා ලියමින් එය ජීවන වෘත්තිය බවට පෙරළා හුන් ලේඛකයන්ගෙන් කීර්තියට කැළැලක් වෙයි කියා සිතූ නිසා වෙන්න ඇති. නවකතා බටහිර සාහිත්‍යයට පිවිසුණු සාහිත්‍යාංගයක් නිසා බටහිර විචාරකයන් යොදන ප්‍රමිති උචිත නොවේ දැයි මා ඇසූ නමුත් ඒ බව කවුරුවත් පිළිගත්තෙ නැහැ. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා තම ‘නුවණ’ නම් සඟරාවෙහිත් මුනිදාස කුමාරතුංග පඬිතුමා තම ‘සුබස’ නම් සඟරාවෙහිත් මගේ අදහස්වලට තදබල විරෝධය පාමින් ලිපි ගණනාවක් පළ කළා. මේ විරෝධය ප්‍රකාශ වුණේ මට පුද්ගලික වශයෙන් අක්‍රෝශ පරිභව එල්ල කරමින් මිස මා යෙදූ ප්‍රමිති වැරදි බව පෙන්වමින් නොවේ.
සාහිත්‍ය විචාරයේ කාර්යය කුමක් ද කියා වටහා ගන්න ගත්කරුවා විවේචනයට උරණ වන්නේ වත්, ඊට පිළිතුරු ලියන්නට බලන්නේ වත් නැහැ. තමාගේ කෘතිය නීරස යැයි කියන විචාරකයා ප්‍රකාශ කරන්නේ ස්වකීය වින්දනය මිස අන් කිසිවක් නොවන බවත්, ඒ විචාරකයාගේ ඇගයීම තම කෘතිය පිළිබඳ අවසාන විනිශ්චය නොවන බවත්, නිර්මාතෘවරයා වටහා ගන්න ඕන. කිසියම් නිර්මාණාත්මක කෘතියක් පිළිබඳ ව රසික ජනයාගේ අවසාන විනිශ්චය ලැබෙන්නේ අවුරුදු ගණනාවක් ගතවීමෙන් පසුයි. සමහරවිට මීට ශතවර්ෂයක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙන්න පුළුවන්. කාලයක් මුළුල්ලේ, විවිධ වකවානුවල, ප්‍රබුද්ධ රසිකයන් පිනවීමට සමත් කෘතියක් නියම වශයෙන් සාර්ථක යැයි අපට නිගමනය කරන්න පුළුවන්.
අද දවසේ විචාර කලාව මුළුමනින් ම නැතිවී ගොස් තිබෙන්නේ කවර හේතු නිසා ද කියා නිශ්චය කරන්න අමාරු යි. මෙය නිර්මාණාත්මක සාහිත්‍යයේ වර්ධනයට ලොකු බාධාවක් බව නම් අපට පැහැදිලි ව පෙනෙනවා. එකලටත් වඩා මෙකල ලේඛකයෝ විචාරයට අකැමැති ද කියා මා දන්නේ නැහැ. ඒ නිසා වෙන්න පුළුවන් පුවත්පත් කර්තෘවරු පවා සාහිත්‍ය කෘති පිළිබඳ විචාර පළ කරන්න උනන්දු නොවෙන්නේ.
තවත් හේතුවක් ඇතැයි කියා මට හිතෙනවා. එනම් මෙකල කෙනෙක් නවකතාවක් හෝ කවි පොතක් ලියා ඉතා අමාරුවෙන් ප්‍රකාශකයෙක් සොයා කැමැති කරව ගන්නවා, ඒක ප්‍රකාශයට පමුණුවා ගන්න. ප්‍රකාශකයා පළමුවෙන් ම සොයන්නේ ඒ පොත අලෙවි වෙයි ද කියා මිස, එය හොඳ නිර්මාණයක් ද කියා නොවේ. යම් විදියකින් පොත පිළිබඳ ව පළ වන විචාරය සතුටුදායක නොවුණොත්, එය පොතේ අලෙවියට බාධාවක් වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රකාශකයා ඒ කතුවරයාගේ පොතක් තවත් බාර ගන්නේ නැහැ.
මෙකල කතුවරයෙක් පොතක් ලියා එය පාඨකයන් වෙත ඉදිරිපත් කරන්නේ බොහෝ කම්කටුලු මධ්‍යයෙහියි. නොයෙක් ආධුනික කතුවරුන් ණය මුදලක් බැංකුවකින් අරගෙන එය වියදමකර පොත මුද්‍රණය කරවා තමා ම අලෙවියට තියනවා. පොත් සාප්පුවල පොත් සාප්පුකාරයෝ පොතක් විකිණීමට දැන් සියයට හතළිහක් හෝ ඊට වැඩි ගාණක් කොමිස් වශයෙන් අය කරනවා. මෙහෙම තත්ත්වයක් පවතින විට, පොත රසවත් නැතැයි යන අදහස පැතුරුණොත් අලෙවියට තවත් බාධා පැමිණෙනවා. කතුවරයාට තමා ගත් ණය මුදලවත් ගෙවාගන්න බැරි වෙනවා, ඒ නිසා කතුවරු විවේචනයට බියවීම පුදුමයක් නොවේ.
මේ ලිපිය 1989 ජූලි 04 දිනමිණ පුවත්පතේ පළ විය.
