“මම මුනිවරයෙක් නො වෙමි”
එදිරිවීර සරච්චන්ද්‍ර (123 පිටුව)
සරච්චන්ද්‍ර චරිතය එම යුගයේ අවශ්‍යතාවයක් ලෙස, වඩා නිවැරැදිව පැවසුවහොත්, එදා පැවැති සමාජ , සංස්කෘතික සහ දේශපාලන පසුබිම හේතු කොට ගෙන, ඒ තුළින් ගොඩ නැගෙන ලද බවට වැටහීමක් ඇති කර ගැනීමට එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ නිර්මාණ ජීවිතය පිළිබඳව, විශේෂයෙන් ම අපට අනන්‍ය වූ නාට්‍ය කලාවක් සොයා ගිය ගමන ගැන තොරතුරු ඇතුළත් මේ කෘතිය උපකාර වේ. සරච්චන්ද්‍රයන් ගේ දැක්ම විසින් නිර්මාණය කරන ලද නාට්‍ය සහ පොදුවේ අනෙකුත් කලා මාධ්‍යයන් වෙත කරන ලද බලපෑම අප විසින් විමර්ශනය කළ යුතු වන්නේ, තත්කාලීන සමාජ, දේශපාලනික සංදර්භයෙ හි තබා ගෙන මිස, එයින් පිටතට ගෙන නො වන බවට ද කෘතිය කියවන සබුද්ධික පාඨකයා වටහා ගනු ඇත.
‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ මුල්වරට පළ වූ යේ 1985 දී ය. සරච්චන්ද්‍ර
ගේ ‘ජීවිත කතාව’ ලෙස ඇතැමකු හඳුන්වා දුන්නත්, මේ කෘතිය ඔහු ගේ ස්වයං ලිඛිත චරිතාපදානය’ නො වන බව සරත්චන්ද්‍රයන් ම කෘතිය ආරම්භයේ දී කියා සිටී. ඒ සඳහා හේතු පැහැදිලි කරන ඔහු. පළමුව, කෙනෙකු තම ජීවිත කථාව ලියන්නට හේතු වන කරුණු පිළිබඳව විමැසීමක් කරයි. තමා ගේ ජීවිතය සාර්ථක වූ හෙයින්, සාර්ථකත්වය කරා ගිය ගමන අනුනට ආදර්ශයක් වීම, තමා ගේ ජීවිතය ඉතිහාසය හා සම්බන්ධ හෙයින් යම් ඓතිහාසික වටිනාකමක් ඇතැයි සිතීම ආදී කරුණු ඇතැමෙකුට හේතු විය හැකි යි. කීර්තිමත් ලේඛක බර්ට්‍රන්ඩ් රසල් උදාහරණයක් ලෙස ගන්නා සරච්චන්ද්‍රයන් ඇතැමෙකුට සිය ජීවිත කථාව ලිවීමට හේතු පාදක වූයේ, පාඨකයන් තුළ තමා පිළිබඳව පවත්නා ප්‍රතිරූපය කඩා බිඳ දැමීමේ අරමුණ ඇතිව බව පෙන්වා දෙයි. මෙසේ සිය පාඨකයන් විසින් තමා දේවත්වයෙන් ගෙන අභිවාදනය කිරීම නවතා, ඔවුන්ට තමා තුළ ඇති මනුෂ්‍ය දුර්වලකම් දැකීමට අවස්ථාව සලසා දීමේ ඒකායන පරමාර්ථය ඇතිව ද ජීවිත කථාව ලියා තැබීමේ ප්‍රවණතාවයක් බටහිර උගතුන් අතර පවතින බැව් ඔහු එහි දී කියා සිටී. බර්ට්‍රන්ඩ් රසල් ආදීන් ලියුවා වැනි වූ අවංක ස්වචරිතාපදාන ලිවීම ‘අපේ සංස්කෘතිය’ තුළ ප්‍රයෝගික නොවන බව ද උදාහරණ සහිතව පැහැදිලි කර දෙන ඔහු, සාහිත්‍ය, නාට්‍ය ආදී කලා ක්ෂේත්‍රයේ යම් පමණක ප්‍රගතියක් ඇති කර ගැනීමට හැකි වූ බව විශ්වාස කරතත්, සිය ජීවිතය අනුන්ට ආදර්ශයක් දීමට සුදුසු යැයි තමා නො සිතන බව ද මේ කෘතිය හිතවතුනගේ ඉල්ලීමක් සපුරාලීමක් පමණක් බව ද කියා සිටී. කිසියම් ශාස්ත්‍රීය විෂයක් හෝ කලා ශිල්පයක් විෂයෙහි ප්‍රසිද්ධියට පත් වූ කලාකරුවන් ගේ පුද්ගල තොරතුරු දැන ගැනීමේ කුතුහලයක් පාඨකයන් තුළ පවතින බවත්, ඇතැම් ජීවිත කථාවන් ලියැවෙන්නේ එම කුතුහලය සංසිඳවීම පිණිස ම පමණක් බවත් කතුවරයා සඳහන් කරන තවත් වැදගත් කරුණකි. හුදෙක්, වැඩි පාඨක අවධානයක් දිනා ගැනීම හෝ වෙළෙඳ අරමුණු හෝ තකා මේ කුතුහලය දඩමීමා කර නො ගෙන, ඉතා සීරුවෙන් සිය ජීවිත තතු දක්වා ඇති බව අප ගේ වැටහීම යි. එබැවින්, අන්තර්ගතය විමසීමේ දී, සරච්චන්ද්‍රයන් ගේ පෞද්ගලික ජීවිතයේ ඇතැම් තොරතුරු සහ අත්දැකීම් ද ඔහු ගේ ශ්‍රාස්ත්‍රීය සහ නිර්මාණ ජීවිතය පිළිබඳ තොරතුරු සහ ධාරණාවන් ගේ එකතුවක් ද ලෙස සැලකීම වඩා සාධාරණ ය. එසේ ම බර්ට්‍රන්ඩ් රසල් ආදීන් කළ සේ, “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතිය හරහා භක්තිමත් පාඨකයන් තුළ තමා පිළිබඳව පවතින ප්‍රතිරූපය එක්තරා ආකාරයකින් කඩා බිඳලීමක් ද ඔහු විසින් අරමුණු කරන ලද්දේ දැයි යන පැනය මතු වීම වැළැක්විය නො හැකි ය.
‘මගේ ජීවිතය හා කලාව’ යන මැයෙන් ඇරැඹෙන, දෙවන පරිච්ඡේදයේ සිට, නිර්මාණ දිවියට අවතීර්ණ වූ හැටිත්, තත්කාලීන සමාජ සහ දේශපාලනික වටපිටාව අනුව පියවරෙන් පියවර සිය චින්තනය හැඩ ගැහුණු හැටිත් සහ වෙසෙසින් ම, වේදිකා නාට්‍ය කලාවේ දේශීය රීතිය සොයා ගිය හැටිත්,සවිස්තරාත්මක ව පෙළ ගස්වා ඇත. සංගීතයට තිබූ ඇල්ම නිසා සිය ළමා වියේ අරමුණ වූයේ සංගීතඥයකු වීමට යි. මහා කවි රවීන්ද්‍රනාථ තාගෝර් ගේ ‘ශාප මෝචන’ නම් මුද්‍රා නාට්‍යය සහ ලෝක ප්‍රසිද්ධ නර්තක උදය ශංකර් ගේ ශිල්ප දැක්වීම් නැරඹීමෙන් අනතුරුව, ආධ්‍යාත්මික වශයෙන් දියුණු හර පද්ධතියක් ඇති අතීතය පිළිබඳ හැඟීමක් ඔහු තුළ වැඩෙන්නට ගනී. ශාන්ති නිකේතනය වෙත ගොස් ශිල්ප හැදෑරීම සිය අභිලාෂය වුව ද, අවසානයේ ප්‍රායෝගික ජීවිතයට ද මුහුණ දිය යුතු හෙයින් නෑසියන් ගේ උපදෙස් මත යුනිවසිටී කොලීජියට ඇතුළු වී උපාධියක් ලබා ගැනීමට හෙතෙම කටයුතු කරයි. සාමාන්‍යයෙන් යුනිවසිටි කොලීජියට ඇතුළු වන ශිෂ්‍යයන් පැසැල් විෂය නිර්දේශය යටතේ උගත් විෂයයන් එහි දී උසස් අධ්‍යාපනය සඳහා හැදෑරුව ද, සරච්චන්ද්‍රයන් තෝරා ගන්නේ තමා එතෙක් පාසැලේ දී හැදෑරූ ඉංග්‍රීසි , ලතින් ආදී භාෂා නොව, ප්‍රාචීන භාෂාවන් සහ සාහිත්‍ය විෂයයන් වීම ද විශේෂත්වය කි. ඒවා තනිව ම උගෙන ඔහු යුනිවසිටි කොලීජියට ඇතුළු වෙයි, යුනිවසිටි කොලීජියෙහි දී මහාචාර් ය මලලසේකර , සූරියගොඩ සුමංගල හිමි ආදීන් ගේ ගුරු ඇසුර ද ,එම් ජේ පෙරේරා, ඩී ජී දයාරත්න මිතුරු ඇසුර ද සිය ජීවිත අරමුණු සකස් කර ගැනීම් දී බෙහෙවින් බලපා යි. භාරතීය නිදහස් සටනේ උණුසුම ලංකාවට දැනෙන්නට පටන් ගන්නේ ද මේ කාලයේදී යි. එකල මධ්‍යම පාන්තිකයින් විසින් විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකන සිවිල් සේවයට බැඳීම ප්‍රතික්ෂේප කිරීම එම යුගයට සාපේක්ෂව උඩු ගං බලා යාමකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කරන සරච්චන්ද්‍රයන් සිය දෙගුරුන් ගේ පෙරැත්තය මත සිවිල් සේවා පරීක්ෂණ්යට සහභාගී වී එම වසරේ පළමුවැනියා ලෙස සමත් වුව ද, ප්‍රායෝගික පරීක්ෂණයේ දී ඉතා අඩු ලකුණු ලබා අසමත් වන්නේ විශ්ව විද්‍යාලයේ දී ගාන්ධි තොප්පිය පැළෑඳීම නිසා බව මිතුරන් ගේ මතය වෙයි.
උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව, සාන්ත තෝමස් විදුහලේ සිංහල ගුරුවරයකු ලෙස සේවයට බැඳෙන ඔහුට විශ්ව විද්‍යාලයේ දී මෙන් ම ,සිංහලයන් තුළ පවතින බටහිර ගැති බව නිසා සිංහලය හෙළා දකින චින්තනය හේතු කොට ගෙන අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වේ. භාරතයේ ගෙන ගිය අධිරාජ්‍ය විරෝධී සටනට සමගාමී ව සැලැකිය යුතු උගතුන් පිරිසක් තුළ ස්වදේශිකාභිමානය වැඩී වැඩී එන්නේ මේ කලයේ දී යි. සරච්චන්ද්‍රයන් යටත් විජිත බලපෑම නිසා ඇතිවන සංස්කෘතික පරිහාණිය විවේචනය කරමින්, ජාතික මට්ටමේ පුවත්පත් වලට ලිපි සම්පාදනය කිරීමෙහි ද නිරත වන්නේ මෙවැනි පසුබිමක යි.
ඉන් පසුව එන පරිච්ඡේදයේ දී පාඨකයා හමුවෙහි තැබෙන්නේ සිය විවාහයෙන් අනතුරුව, නැති වී ගිය උරුමය සොයා සංගීතය, භාරතීය සහ බුද්ධ දර්ශනය ආදී කලා විෂයයන් ඉගෙන ගැනීමට ශාන්ති නිකේතනය බලා ගිය අන්දම ගැන විස්තරයෙ කි. නැවත සිය රට බලා පැමිණ, ප්‍රායෝගික ජීවිතයට මුහුණ දීමේ දී (පාසැල් ගුරුවරයකු ලෙස සහ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ලෙස සේවය කරද්දී) සිංහලයන් තුළ ඇති බටහිර ගැති බව නැවතත් අත් දකින සරච්චන්ද්‍රයන් නිර්මාණකරණය උදෙසා සිය දර්ශනය සකස් කර ගන්නේ ඊට ප්‍රතිචාර වශයෙන් බව අපට යළිත් පසක් කර දෙයි. අනතුරුව එළැඹෙන පශ්චාත් උපාධි පර්යේෂණය සඳහා සිය බිරිඳ සහ කුඩා දියණිය සමඟ එංගලන්තයට ගිය ගමන පිළිබඳව කෙරෙන විස්තරය තුළ එහි දී උගත් දේ සහ කළ කී දෑට අමතර ව, සිය විවාහ ජීවිතය දෙදරා යාම ආරම්භ වීම ගැන පෞද්ගලික ජීවිත තතු ස්වල්පයක් ද හමු වෙයි.
අවසාන පරිච්ඡේද තුනෙහි එන්නේ දේශයට හිතකර සම්පූර්ණයෙන් ම දේශජ ලක්ෂණ වලින් යුක්ත වූ නාට්‍ය රීතියක් සොයා ගිය ගමනක අවසානයේ “මනමේ” නාට්‍යය බිහි වීම දක්වා තතු කියැවෙන දිගු විස්තරයෙකි.
යුනිවසිටි කොලීජියෙ හි ඉගෙන ගන්නා කාලයේ පටන් ම වේදිකා නාට්‍ය නිර්මාණායෙහි යෙදුණ ද, ඒවා සියල්ල බටහිර නාට්‍ය සිංහලට පරිවර්තනය කරමින් කළ හුදු අනුකාරක පමණක් විය. ඔහු විසින් නිපැද වූ පළමු ස්වතන්ත්‍ර නිර්මාණය වන “බහින කලාව”ත්, ස්වභාවික සහ ශෛලිගත සම්ප්‍රදායයන් දෙකෙහි ම සංකලනයක් වූ ‘පබාවතී’ නාට්‍යය ත් නිර්මාණය වන්නේ බෙහෙවින් පසුකාලීනව යි. නමුත්, ඒවා තුළ පවා දේශීය ලක්ෂණ විද්‍යාමාන නොවූ බව කතුවරයා ගේ මතය යි. පශ්චාත් උපාධිය හමාර කර , නැවත ලංකාවට එන සරච්චන්ද්‍රයන් සංචාරක ශිෂ්‍යත්වයක් ලැබ ඉන්දියාව , ජපානය සහ ඇමෙරිකාව වැනි රටවල කෙරෙන අධ්‍යයන චාරිකාවක් සඳහා යන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරයකු ලෙස සේවය කරන කාලයේ දී යි. එම චාරිකා වලදී පෙර – අපර දෙදිග නාට්‍ය සම්ප්‍රදායයන් ගැඹුරෙන් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන අතර, එම චාරිකාවෙන් අනතුරුව ඔහු විසින් නාට්‍ය කලාව පිළිබඳව එතෙක් තමා සිටී ස්ථාවරය වෙනස් කර ගනී. නාට්‍ය කලාව රටක සංස්කෘතික මූලයන් සමග බද්ධ වී පවතින බව අවබෝධ කර ගන්නේ විවිධ නාට්‍ය සම්ප්‍රදායයන් ගැන කෙරෙන අධ්‍යයනය තුළිනි. දේශීය නාට්‍ය කලාවක් නම් එය, ස්වභාවික නාට්‍ය සම්ප්‍රදායෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී, ජනතාව අතර පවතින සොකරි, කෝලම්, නාඩගම් වැනි ගැමි නාට්‍ය සම්ප්‍රදායන් ගේ අභාසය ලැබිය යුතු ය යන ස්ථාවරයට පැමිණේ. ගුවන්විදුලි වැඩසටහන් වලට සම්බන්ධ වී , ගැමි සංගීතයේ මූලාශ්‍ර සොයා ලංකාවේ ඈත එපිට ගමින් ගමට ගොස් එක් රැස් කළ තොරතුරු ද නාට්‍ය කලාවේ දේශීය රීතිය සොයා ගිය ගමනේ දී සරච්චන්ද්‍රයන්ට බෙහෙවින් උපකාරී වේ. මේ අනුව, 1956 දී මනමේ “කවි නාඩගම” , “සින්දු නාඩගමකට” ආශ්‍රය කර ගැනෙන්නේ දීර්ඝකාලීන අත්දැකීම් සහ පර්යේෂණ වලින් ලද දැනුම් පද්ධතියක ප්‍රතිඵලයක් ලෙසිනි.
සිය විශ්ව විද්‍යාල සමකාලීනයකු මෙන් ම, එවකට ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබ වූ එම් . ජේ පෙරේරා මහතා ගේ අධීක්ෂණය යටතේ ගුවන්විදුලි වැඩසටහන් වලට සම්බන්ධ වීම එදිරිවීර සරච්චන්ද්‍ර චරිතාපදානයේ දී වැදගත් වන්නේ ගුවන්විදුලියේ අනුග්‍රහයෙන් ජන ගී මූලාශ්‍ර සොයා යාමට අවස්ථාව ලද නිසා පමණක් ම නොවෙ යි. ගුවන්විදුලිය තුළ සරච්චන්ද්‍ර චින්තනය ක්‍රියාත්මක කරීම හරහා ශිල්පීන් වර්ගීකරණයකට ලක් වීමෙන් එක්තරා කුලකයකට අයත් සංගීත ශිල්පීන් හට බල අධිකාරියක් පිහිටුවා ගැනීමට සහයෝගය ලබා දුන් බවටත්, ඒ හේතු කොට ගෙන ඇතැම් දක්ෂ ශිල්පීන් අසාධාරණයට ලක් වූ බවටත් ඔහු වෙත විවේචන එල්ල විය. ඔහු ගේ වෘත්තීයමය ජීවිතයට සම්බන්ධ හෙයින් ද, එවකට ගුවන්විදුලිය යනු සරච්චන්ද්‍ර චින්තනයේ බලපෑම ලද කලා මාධ්‍යයක් වන හෙයින් ද, ඒ පිළිබඳව කිසිදු තොරතුරක් මේ පොතෙහි අඩංගු නො වීම පාඨකයා ගේ පැත්තෙන් බලන විට, අදාළ සිදුවීම් අරභයා සරච්චන්ද්‍රයන් දරන මතය දැන ගැනීමේ අවස්ථාව ඇහිරී යාමක් ලෙස සැලැකිය හැකි ය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර භක්තිමත් අනුගාමිකයන් රැසකගෙන් යුත් ගුරුකුලයක් බිහි කළ බව ඇතැමුන් ගේ මතය යි. තමුන් ගුරුවරයකු වීම හේතු කොටගෙන ශිෂ්‍යයින් විසින් අනුගමනය කිරීමක් සිදු වූවා විනා, එසේ “පේරාදෙණි ගුරු කුලයක්” පිහිට වූ බවට තමා වෙත එල්ල වන චෝදනාව ද කතුවරයා ප්‍රතික්ෂේප කරයි. එය සනාථ කිරීමට හේතු ඉදිරිපත් කරන සරච්චන්ද්‍රයෝ අවසානයේ දී මෙසේ ද කියති; ” හැම දෙයක් ගැන ම තර්කානුකූලව සිතීමට පුරුදු කෙළෙමි. එම විචාර ක්‍රම හා තර්ක මා වෙත එල්ල වන්ට වූ විට මම උරණ නොවීමි. විවේචනය කිරීමේ ව්‍යාජයෙන් කෙරෙන පුද්ගල පරිභවයන්ට මම සිනාසීමි… මගේ ඇතැම් ගෝලයේ මා කී දේ අවිචාරයෙන් පිළිගත්තාහු නම්, ඔවුන්ට මුග්ධ ප්‍රබෝධයෝ යයි කිව යුතුය. යම් කිසි උපනයක් මත පිහිටා, මාගේ අදහස් විවේචනය කරන අයට මම ණයගැති වෙමි, මා විවේචනය නුරුස්සන්ට වූ දා, මගේ පිරිහීම පටන් ගන්නා බව විශ්වාස කරමි.” (178 පිටුව)
බොහෝ විචාරකයන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුන්වා දෙන්නේ අති දැවැන්ත පුරෝගාමී මෙහෙයක් කළ යුග පුරුෂයකු ලෙස යි. සමකාලීන විශ්ව විද්‍යාල සගයකු වූ ගුණාදාස අමරසේකර මහතා විසින් වරෙක හඳුන්වා දුන්නේ “ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් පහළ වූ පළමුවැනි බුද්ධිමතා ලෙසි නි. ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දුන් අධ්‍යාපනය ලබා අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කිරීමත්, දේශයට අනන්‍ය නාට්‍ය කලාවක් සොයා ගැනීමත් යන දෙක ම එම යුගයට සාපේක්ෂව සලකා බලන කළ ඇත්ත වශයෙන් ම යුග මෙහෙවර කි. නමුත්, ඔහු විසින් ස්වයං චරිතාපදානයක් නොවේ යැයි හඳුන්වන මේ කෘතිය කියවා අවසානයේ දී, මහාචාර්ය සරච්චන්ද්‍රයන් තමා පිළිබඳව හෝ සිය නිර්මාණ පිළිබඳව හෝ එවැනි ඉහළ තක්සේරුවක සිටියා දැයි යන සැකය මතු වෙයි.
-අමා නයනාදරී සිරිවර්ධන–
(09.12.2018 වැනි දින ‘පොත් කියවන අය’ සහ ‘පොත් ගුල-Reader’s Corner’ සමූහ සඳහා තැබූ සටහන කි. )