“එහි ආරම්භක වාදන ඛණ්ඩය ඔබට ද අමතක නැතුවා ඇති. එය බැන්ජො මැණ්ඩලීන වාදනයකි. මේ වාදන ඛණ්ඩය ඇසෙත් ම සපුතන්ත්‍රින්ට සිහි වන්නේ දඟකාර කොලු ගැටයකු දෙපසට පනිමින් කරන දැඟලීමකි. බැන්ජො වාදනය අවසන් වත් ම බට ලීයක් සිදුරු අතරින් සත්සර වහනය කරයි. ඒ සමඟ ම ඇරඹෙන්නේ, උඩැක්කි වාදනයකි. වාද්‍ය ඛණ්ඩය පුරා දෝර ගලා යන්නේ ගැමි සුවඳ ය. පිටිසර ගම්බද කුඩා කොලු ගැටයකු මිස වෙනත් කිසිවක් කුමාරදාස සපුතන්ත්‍රිගේ සිහියට එන්නේ නැත.”
ඉහත උපුටා ගැනීම කුමාරදාස සපුතන්ත්‍රී මහතා විසින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් ලියවුණු ගීතයක පසුබිම පිළිබඳව සිළුමිණ පුවත්පතෙහි පළවූ තීරු ලිපියකිනි. මේ ගීතය දැනටමත් ඔබ අනුමාන කර ඇතුවාට සැක නැත. සපුතන්ත්‍රී මහතා සිය පාසැල් සමයේ අත්දැකීම් අළලා රචනා කරන ලද “ඉස්සර මං ගිය පාසැල ඇරිලා…” ගීතය , එච්. එම් ජයවර්ධනයන් විසින් කරන ලද පූර්ව නිර්මිත තනුවකට සහ නාද මාලාවකට ලියැවුණු ගීතයකි.
මහගම සේකරයන්ගේ හෙට ඉරක් පායයි (1963) කෘතියෙහි “අපේ පරණ ඉස්කෝලය” නමින් නම් පද්‍ය පන්තියක් එයි.
කලාතුරෙන් දවසක ගමට යන විට
අපේ පරණ ඉස්කෝලය පෙනෙයි මට
සිංහල උලු සෙවිලි කල ඒ වහල යට
සඟවා තිබේ මගෙ ජීවිතයෙහි සතුට
ඈත අහස දෙස නිකමට දෑස හෙලා
කොලුවෙක් සිටී පංතිය කෙලවරට වෙලා
ගහ කොළ කියන දෙය ඇසෙනා මුත් කනට
ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට
ඔහුගෙ මුහුණ හොඳ හැටි නොපෙනුනත් මට
ඒ ඉන්නේ මා යැයි සැක සිතෙයි මට
මේ අනුව, මේ ගම් දරුවා සපුතන්ත්‍රී මහතාට පෙර සේකර දැක ඇත. සේකරයන් ගේ කවි, ගී තුළ පමණක් නොව නවකතාව තුළ ද, ඔහුගේ එකම සිනමා කෘතිය වන ‘තුං මන් හංදිය’ තුළ ද මේ ගැමි දරුවා දුව පැන ඇවිදියි.
“ඉස්සර මං ගිය පාසැල ඇරිලා” ගීතයත් ඉහත පද්‍ය පන්තියත් අතර පැහැදිලි සමානකම් තිබෙනු පෙනෙයි;
“ගහ කොළ කියන දෙය ඇසෙනා මුත් කනට
ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට”
(සේකර)
“පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා”
(සපුතන්ත්‍රී)
තවද,
“ඔහුගෙ මුහුණ හොඳ හැටි නොපෙනුනත් මට
ඒ ඉන්නේ මා යැයි සැක සිතෙයි මට”
(සේකර)
“ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා”
(සපුතන්ත්‍රී)
මේ ගැමි දරුවා දැක ඇත්තේ සේකර , සපුතන්ත්‍රී පමණක්ද ? චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත ගීතයක එන මේ පද පෙළ දෙස බලන්න.
“අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවල ම යි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල – මේ බැද්දෙදි අල්ලල දෙන්නම්”
( ගායනය කරුණාදාස එස්. පෙරේරා – කමලිනී පෙරේරා)
මේ සේකර සහ සපුතන්ත්‍රී දුටු ගැමි දරුවා ම වෙනත් කෝණයකින් දැකීම නොවේද ?
මොවුන් සියලු දෙනාම පවසන්නේ එකම දෙයක් වැන්න. එනම්, ඔවුන් ස්වභාව ධර්මයේ රිද්මය සමග කුඩා දරුවන් කළ සිටම ඒකාත්මික වී සිටිමට හුරු පුරුදු වී සිටි බවකි. මානවසිංහ, සේකර, සපුතන්ත්‍රී පමණක් නොව අප හදවත් හී ගැඹුරුම මෙන්ම සියුම් ම තැන අල්වාගත් නිර්මාණ බිහිකළ දැවැන්ත නිර්මාණ කරුවන්,ප්‍රාඥයන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ බොහෝ නිර්මාණ තුළ මේ දෑම නොයෙක් ආකාරයෙන් දක්වා ඇති අයුරු අපට දැකිය හැක. ඔවුන් ප්‍රති නිර්මාණය කර ඇත්තේ, ඔවුන් ගේම අත්දැකීම බව වටහා ගැනීමද අපහසු නැත. සෙස්සන් හට නොපෙනෙන, නෑසෙන, නොදැනෙන සියුම් දෑ ග්‍රහණය කර ගැනීමට මොවුන් සමත් වුයේද මෙසේ විශ්වයේ රිද්මය සමග සුසර වී සිටීම නිසාවෙන් යැයි මට සිතේ.
අමා නයනාදරී සිරිවර්ධන
18.12.2014 දින ලියූ ලිපියකි
ගීතය මෙතැනින්:
“පුංචි පරිසරවේදියාගේ ආත්ම කථනය”, ‘පුන් කළස’ විශේෂාංගය , ‘සිළුමිණ’ පුවත්පත (2012/03/18)
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා
ගී පද – කුමාරදාස සපුතන්ත්‍රී
ගී තනු – එච්.එම්. ජයවර්ධන
ගායනය – සුනිල් එදිරිසිංහ