මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල් කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී..

පුදුමාකාර පද රචනයක්! ඊට නොදෙවෙනි සංගීතය!

මුලින්ම මේ ගීතය අහන්න ලැබුණේ අනූව දශකය මුල් භාගයේ එළි දැක්වුණු වික්ටර් රත්නායක ගී එකතුවකින්. සිළුමිණ පුන්කළස අතිරේකයේ ලිපියක මේ ගීතය ගැන පමණක් වෙනම විස්තරයක් පළ කර තිබුණා. මීට වසර නවයකට දහයකට පමණ පෙර අන්තර්ජාලයේ තිබුණත්, ඒ ලිපිය දැන් සොයා ගැනීමට​ නැහැ. පුවත්පතේ පළ වී තිබුණු විස්තරයට අනුව මෙය නිර්මාණය වී ඇත්තේ 70 දශකයේ ජී.එස්.බී රාණි ගුවන්විදුලි සංස්ථාවට නිෂ්පාදනය කළ “ගීත තරංගනී” වැඩසටහනට​. එවකට ගුවන්විදුලි ශිල්පීන්ට බාහිර නිර්මාණ කටයුතු තහනම්ව පැවතුණා. ගීයේ පද රචක ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ සේවය කළ හෙයින්, ගීතය ප්‍රචාරය කර ඇත්තේ පුණ්‍යසිරි මහවත්ත නම් පද රචකයා නමින්. කලබල ඔහු ගේ සිත සංගීතයෙන් නිර්මාණය කිරීම සඳහා වයලීන දහයක් යොදා ගැනෙනවා. නමුත්, ඇගේ නිහඬ බව කියද්දී සංගීතය නවතිනවා.  ගීතය පටිගත කර ඇත්තේ සංගීතවේදියකු සහ ගායකයකු පමණක් නෙවෙයි, ශබ්ද පරිපාලකවරයකු වශයෙන් ද කටයුතු කළ ගුණදාස කපුගේ විසින්. ඔහු වික්ටර් ගේ  ගීත නිර්මාණ බොහොමයකට  පටිගත කිරීමෙන් දායක වී තිබෙනවා. ගුණදාස කපුගේ වරෙක කියා තිබුණා සාමාන්‍යයෙන් වික්ටර් රත්නායක ඔහු ගේ ගීත සඳහා තරමක විශාල වාදක මණ්ඩලයක් යොදා ගන්නා බව​. “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී” ගීතය පටිගත කරන්නට ගුවන් විදුලියේ හැම මැදිරියකම තිබුණු මයික්‍රෆෝන​ ගෙනෙන්නට සිදු වුණාලු.

අනවරත හැලහැප්පීම් මැද ගෙවන ජිවන​ අත්විඳීමකින් ලද ඉවක් ඔස්සේ ලියූ ගීතයක් බව බැලූ බැල්මට ම පෙනී යයි. දෙදෙනෙකු අතර ඇති වන ආරාවුල් සහගත අවස්ථාවක දී පිරිමියා තමා වසඟයෙහි තබා ගැනීමට ගැහැණිය නොයෙකුත් උපක්‍රම අනුගමනය කරන්නීය​. ඇය එක්කෝ හඬනවා නැත්නම් සිනහවෙනවා.  උපායදත් ගැහැණිය නිශ්ශබ්ද වෙනවා. කට වහරින් කියනවා නම් පිරිමියාට “දැනෙන්න අරින්න” හොඳම ක්‍රමය එය බව ඈ දනී.  ඔහුට ඇසෙන්නේ ඇය සිනහසෙන හෝ හඬන හඬ නෙවෙයි ඇගේ නිශ්‍ශබ්දතාවයේ හඬ යි. නිශ්‍ශබ්දතාවය වචනයෙන් කිව නොහෙන​ බොහෝ දේ පවසනවා යැයි කියමනකුත් ඇත​. ආරාවුලෙන් ඇති වුණු සිත් රිදවීමත්, තව දුරටත් දරා ගත නොහැකි ඇගේ නිහඬ බවත් නිසා ඔහු අනුරාගයෙන් කැළඹී අවදි වෙයි.  ගේහසිත රාගය ඇවිස්සුණු ඔහු කලබලයෙන් ඈ දැක ගැනීමට පැමිණෙන බව පදමාලාවේ සාරාංශගත අර්ථය යි.  එවැනි කලබැගෑනියක දී පිරිමි සිතක ඇති වන කැළැඹිලි ස්වභාවය පද රචනය සහ සංගීතය හරහා මනාව නිරූපණය වෙනවා.

ඔබ නිහඬව සිටිනා හඬ” – පද රචනයේ මා දකින අපූර්වවතම පද කොටස මෙය යි.  ඔහු ගේ සිත අනුරාගයෙන් අවදි වන්නේ දහසක් දේ පවසන ඇගේ නිහඬ බවින්. එතැන දී සංගීතයත් නවතිනවා.

ගණන් නොගන්නවා සේ සිටිය ද​ ඔහු සිට ඇත්තේ ඈ පිළිබඳ අවධානයෙන් බව​ “සවන් යොමා සිටි මට ඇසුණා” යන්නෙන් පැහැදිලි වේ. අනෙකා ගේ නිශ්ශබ්දතාවය ඇහෙන්න​ නම් හදවතේ බැඳීමක් තිබිය යුතුය​.

ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත​
ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත​
ඔබ නිහඬව සිටිනා හඬ පමණක්
සවන් යොමා සිටි මට ඇසුණා
ඔබේ නිහඬ බව මා සිත කළඹයි

මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී” යන්නෙන් ප්‍රකාශ වන්නේ වෙන්නේ ඔහු සිත අනුරාගී සිතුවිලි ඇවිස්සී ඇති බව යි. ඇවිස්සුණු රාගයත් , ව්‍යාකූල බවත් නිසා කැළැඹුණු ඔහු ඈ දැක ගැනීමට ඇගේ නිවහන කරා එන්නේ දේදුන්නක් උඩු අතට නවා බිඳ කැඩීමට තරම් කලබලයකින්. මල් උයනකම මල් අවුල් කර දමන වියරුවකින්;

 “දේදුන්නක් උඩු අතට නවා බිඳ – මල් උයනක මල් අවුල් කර දමා

ගීතයෙන් ප්‍රකාශිත සිදු වීම විවාහක යුවළක් අතර නොවන බවට සාක්ෂියක් ගීතය තුළින් ම හමු වේ;

ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී

ඔහු යන්නේ ඇය ගේ නිවසට මිස ඔවුන් ගේ නිවහන වෙත නොවෙයි.

සංගීතයෙන්, කලබලයත්, අනුරාගයත් යන​ දෙකම මවන්නට සංගීතඥ වික්ටර් රත්නායක මහතා  සමත් වෙනවා.  වයලීන වාදනය හරහා සිතේ කලබලය සහ ව්‍යාකුල බව නිරුපණය වන අතර , සුසිර වාද්‍ය භාණ්ඩයෙන් මතු වන්නේ අනුරාගී බවක්. ගීතයේ රිද්මය ඔහු ගේ වියරු වැටුණු සිතේ කලබලය සහ කැළඹීම කදිමට කියාපානවා. සිළුමිණ පුවත්පතෙහි සඳහන් වූ තොරතුරු වලින් අපට සිටි දක්ෂතම වයලීන වාදක ශිල්පීන් වූ එම්.කේ රොක්සාමි සහ එඩ්ගා පෙරේරා වයලීන වාදනයෙන් මේ ගීතයට දායක වී ඇති බව දැන ගන්නට ලැබුණා. සංගීතය මෙතරම් මිහිරි වීම අරුමයක් නොවේ.

මේ ගීතය තුළ තවත් සුවිශේෂී යමක් දකිමි. බොහොමයක් සිංහල ගීත වල දී ප්‍රමුඛත්වය ලැබෙන්නේ පදමාලාවට බවට චෝදනාවක් ඇත​. බොහෝ විට  තනුව යනු පද රචනාව ගෙනයන වාහකයක් පමණි. සංගීතයෙන් සහ ගායනයෙන් අතරින් පතර  විවිධ භාවයන් ඉදිරිපත් කෙරෙන මුත්, භාවයන්ට මුල් තැන ලැබෙන්නේ අඩුවෙනි.  එම චෝදනාව තුළ යම් සත්‍යයක් නැත්තේ නැති බව අපගේත් විශ්වාසය යි. එසේ වුවද, මෙම ගීතය එම චෝදනාවට එරෙහිව එක් උදාහරණයක් සපයයි. ඉන්දියානු රාගධාරී සංගීතය පදනම් කර ගත් තනුවට මුල් තැන දෙන බොහොමයක් සිංහල ගීත වල දී මෙන් නොව​, මේ සඳහා බටහිර සංගීතයේ එන ශිල්පීය ක්‍රම යොදා ගත් හෙයින් විය හැකියි  සංගීතයට සහ එයින් ඉදිරිපත් කෙරෙන භාවයන්ට, පද මාලාවට වඩා වැඩි තැනක් හිමි වී ඇත.  එම නිසා “මල්සර උක්දඬු” ගීතයේ  පද මාලාවට සංගීතය එකතු කර ගීතය තනා ඇතැයි කියනුවට වඩා, අතිශය භාවාත්මක වූත්, නිර්මාණාත්මක වූත් සංගීතය , අරුත්බර​ පද හා සහ සම්බන්ධ වී ඇතැයි පැවසීම වඩා නිවැරැදි ය​.

වික්ටර් ඔහු ගේ ගීත වලට බටහිර සංගීත ශිල්ප ක්‍රම යොදා ගැනීම ඒ කාලයේ විවේචනයට ලක් වුණු බව අසා ඇත්තෙමි. තමන් කරන දේ පිළිබඳ විශ්වාසයක් ඇත්නම් විවේචන වලට අවධානය යොමු කිරීම අනවශ්‍ය බව මෙවැනි ගීත සහ  වික්ටර් රත්නායක වැනි ශිල්පීන් අපට කියා දෙනවා. විවේචන ඉදිරියේ නොසැලී කටයුතු කළ ශිල්පීන් නිසා කල් යාමේ දී සංගීත ක්ෂේත්‍රය තුළ බටහිර සංගීත ක්‍රම භාවිතය සාමාන්‍යකරණය වී, තවත් බොහෝ සංගීතඥයින් විසින් ද එම ශිල්පීය උපක්‍රම ඖචිත්‍යය මත පිහිටා නිසි ලෙස නිර්මාණ සඳහා යොදා ගැණුනා. අවසානයේ දී වික්ටර් විවේචනය කළ අය පවා බටහිර සංගීතය භාවිතා කළ ශිල්පීන් අනුගමනය කරන්නට ඇති. එසේ අනුගමනය කළ බවට සාක්ෂි ද මූලාශ්‍ර කියැවීමේ දී අපට හමු වේ.

අමා නයනාදරී සිරිවර්ධන​
26-06-2022

 ගුවන්විදුලියෙන් අප එ කළ නිතර ඇසූ පසු පටිගත කිරීමට මෙතැනින් සවන් දෙන්න​:

පසුකාලීන පටිගත කිරීමක්

මෙතැනින් මුල් පටිගත කිරීමට සවන් දෙන්න​. වික්ටර් රත්නායක ගේ තරුණ කටහඬ නිසා පසු පටිගත කිරීම් වලට වඩා මුල් ගීය බෙහෙවින් මිහිරියි ,  සිත් ගන්නා සුළු යි. ඇත්තෙන්ම මුල් ගීයට සවන් දුන් පසුව පසු පටිගත කිරීම අසන්නට සිත් නොදෙන තරම් වේ.

මුල් පටිගත කිරීම​

වික්ටර් වජ්‍ර ප්‍රභා ප්‍රසංගයේ දී ගීතය ඉදිරිපත් කළ අවස්ථාව​:

වික්ටර් වජ්‍ර ප්‍රභා ප්‍රසංගය
Design a site like this with WordPress.com
Get started