ලෝකයේ ප්‍රධාන සංගීත සම්ප්‍රදායයන් රටක අනන්‍යතාවය පිළිඹිබු කරන ජන සංගීතය මත ගොඩ නැඟී ඇති බව පෙර ලිපියෙක දී සාකච්ඡාවට බඳුන් කෙළෙමු. එහි දී ශ්‍රී ලාංකීය සංගීත නිර්මාණයන් අධ්‍යයනයේ දී ද අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවය මතු කිරීම උදෙසා සංගීතඥයන් විසින් ස්වකීය නිර්මාණ කාර්යයේ දී ජන නාද මාලා බහුලව ආශ්‍රය කර ගෙන ඇති බවත් පෙන්වා දුනිමු. මෙම ලිපියෙන් ශාස්ත්‍රීය පදනමකින් පැමිණ, ජනශ්‍රැති ආශ්‍රිත ගීත රැසක් ඉදිරිපත් කළ තවත් ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවකු පිළිබඳව සාකච්ඡාවට බඳුන් කිරීමටත්, නිදසුන් ලෙස ඔහු ගේ නිර්මාණ කිහිපයක් විමසා බැලීමටත් අපේක්ෂා කරමු.

ගුවන්විදුලියේ ශාස්ත්‍රීය සංගීත ප්‍රබෝධය
ජෝන් ලැම්ප්සන් ගේ ගේ ධුර කාලය නිමා වී, 1952 වර්ෂයේ දී ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූයේ එම්.ජේ. පෙරේරා මහතා යි. ඒ මහතා ගේ සිව් වසරක පාලන කාලය ගුවන්විදුලිය තුළ ශාස්ත්‍රීය සංගීත ප්‍රබෝධයක් ඇතිවීමට ශක්තිමත් පදනමක් වැටුණු බව ආචාර්ය දයාරත්න රණතුංග මහතා පෙන්වා දෙයි. එම්.ජේ. පෙරේරා මහතා ගේ අධීක්ෂණය යටතේ එදිරිවීර සරච්චන්ද්‍ර චින්තනය ක්‍රියාත්මක කරමින් එවකට සරල ගී වැඩසටහන් මඟින් ප්‍රචාරය වූ හින්දි , දෙමළ ආදී විදේශීය අනුකාරක සිංහල ගී වෙනුවට, ශ්‍රී ලංකාවේ ජන සංගීතය සහ ඉන්දියානු රාගධාරී සංගීතය ඇසුරු කරගෙන ශ්‍රි ලාංකික සංස්කෘතිය පිළිඹිබු වන සේ සිංහල ගීත නිර්මාණය කිරීමට ශිල්පීන් දිරි ගන්වනු ලැබීය. ඒ අනුව, එච්.ඩබ්ලිව්. රූපසිංහ , ඩබ්ලිව්.බී. මකුලොලුව, ෂෙල්ටන් ප්‍රේමරත්න, සෝමදාස ඇල්විටිගල , දයාරත්න රණතුංග වැනි ශිල්පීන් විසින් අරඹන ලද ශාස්ත්‍රීය සංගීත ප්‍රබෝධය 1950 ගණන්වල අග භාගයේ දී පණ්ඩිත් අමරදේවයන් ඉන්දියාවේ අධ්‍යාපනය හමාර කර මෙරට සම්ප්‍රාප්ත වීමත් සමඟ වඩාත් තීව්‍ර ලෙස ව්‍යාප්ත වන්නට වූයේ ය. එතැන් සිට පණ්ඩිත් අමරදේවයන් ප්‍රමුඛව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් දක්වා ශිල්පීන් විසින් කරන ලද විවිධ විදේශීය සම්ප්‍රදායයන් සහ සාම්ප්‍රදායික ජන සංගීතය මුසු ගී නිර්මාණ රාශියක් සිංහල ගීත සාහිත්‍යය තුළ හඳුනාගත හැකිය. තනුවට වැඩි අවධානයක් දුන් යුගය ක්‍රමයෙන් නිමා වන්නට වීය. තනුව හා සමානව ම ගීතයේ සාහිත්‍යමය පාර්ශ්වය කෙරෙහිද සැලැකිලිමත් වන්නට පටන් ගැණිනි. රාගධාරී සංගීත රසයෙන් ප්‍රභාශ්වර වූ, සාහිත්‍යමය සහ කලාත්මක රසයෙන් පිරිපුන්, උසස් ප්‍රමිතියෙන් යුතු ශාස්ත්‍රීය, අර්ධ ශාස්ත්‍රීය, සරල ආදී ගීත රැසක් නිර්මාණය වෙමින් සිංහල ගීතය අවිච්ඡින්නව වර්ධනය විය. දේශීය මුද්‍රාව තැබීම සඳහා ශාන්තිකර්ම , යාග ගී, කෝළම්, උඩ සහ පහතරට වන්නම්, ප්‍රශස්ති සහ එදිනෙදා ජන ජීවිතයේ ක්‍රියාකාරකම් හා සබැඳි කවි ගායනා ඇතුළු සාම්ප්‍රදායික ජන සංගීත නාද රටාවන් අවශ්‍ය පරිදි උපයුක්ත කර ගත් අවස්ථා නිර්මාණ තුළ සුලබව හඳුනා ගත හැකිය.
70-80 කාලයේ දී ගුවන්විදුලිය එහි ස්වර්ණමය යුගය වෙත ගෙන ඒමටත්, එම කාලය තුළ අර්ථ සහ නාද රසයෙන් පිරිපුන් ගීත කලාවක් බිහි වීමටත් පදනම ඇති වූයේ මෙසේ 1950 වන දශකයේ සිට ආරම්භ වූ රස ප්‍රවර්ධනයේ ප්‍රතිඵල ලෙසින් බව දයාරත්න රණතුංග, මහාචාර්ය තිස්ස කාරියවසම් යන විද්වතුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි. ජන සංගීතය පිළිබඳව ගවේෂණ කටයුතු වල යෙදී සිටි සී.ද. එස් කුලතිලක මහතා, 1970 දී ගුවන්විදුලියේ ජන ගී පර්යේෂණ අංශයෙහි ප්‍රධානියා වශයෙන් පත් වෙයි. ඔහුගේ මූලිකත්වයෙන් මුල් ස්වරූපයෙන් සංරක්ෂණය කළ ජන ගායනා ද, ඒ ඇසුරෙන් කළ නව නිර්මාණ ද තැටි ගත කර ජනතාව අතරට යැවීමට කටයුතු සම්පාදනය කෙරිණි. අධ්‍යක්ෂ ජනරාල් හා සභාපති ධුරයේ කටයුතු කළ, කොළඹ යුගයේ කවියකු, දක්ෂ, උසස් පෙළේ රසිකයෙකු වූ රිජ්වේ තිලකරත්න යුගය (1973-1977) ද ගුවන්විදුලියට තවත් පලබර සමයක් වූ බව ක්ෂේත්‍රයේ ශිල්පින් විසින් අද ද මහත් හරසරින් යුතුව සිහිපත් කැරේ. ඒ මහතා යටතේ උත්තර භාරතීය රාගධාරී සංගීතය සහ දේශීය ගැමි නාදමාලාවල සංකලනයෙන් ගීත නිර්මාණය කිරීමේ ක්‍රමවේදය තව දුරටත් දිරි ගැන්විණි. මේ යුගයේ දී පර්යේෂණ ගී, ප්‍රබුද්ධ ගී , නව නිර්මාණ, ස්වර රංග, ගීත තරංගනී, ස්වර වර්ණ වැනි විවිධ වැඩසටහන් හරහා විභවතාසම්පන්න නවක ගේය පද රචකයින්, සංගීතඥයින්, සහ ගායක ගායිකාවන් පරපුරක් ද රටට හඳුන්වා දුන්නේ ය.
රිජ්වේ තිලකරත්න අධීක්ෂණය යටතේ, සී. ද. එස් කුලතිලක මහතා ගේ මෙහෙයවීමෙන් මෙසේ, නීලා වික්‍රමසිංහ, නන්දා පතිරණ, පුණ්‍යා කත්‍රිආරච්චි, ටී එම් ජයරත්න, බන්දුල විජේවීර, රෝහණ බැද්දගේ ඇතුඵ ශිල්පීන් රැසක ගේ දායකත්වයෙන් ජන ගී ආශ්‍රිත නව නිර්මාණ එළි දැක්විණි. සුනිල් සරත් පෙරේරා, කුමාරදාස සපුතන්ත්‍රී, සුනිල් ආර්. ගමගේ, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ලූෂන් බුලත්සිංහල, ඩබ්ලියු. ඒ. අබේසිංහ සහ මහින්ද අල්ගම එකල දැවැන්ත ගුවන්විදුලි රුක් සෙවණෙහි විපුල ඵල ලැබූ ගී පද රචකයන් අතර වෙයි. මේ අනුව , ප්‍රමිතිගත කිරීමත්, සාම්ප්‍රදායික සහ ශාස්ත්‍රීය ශිල්ප ක්‍රම දිරි ගැන්වීමත් හේතු කොට ගෙන 1970-80 දශක තුළ ගුවන්විදුලියෙන් ඇසුණු සංගීතයෙහි බෙහෙවින් ශාස්ත්‍රීය පදනමක් තිබූ බව පෙනී යයි.
බන්දුල විජේවීර සම්ප්‍රාප්තිය
අප කතානායක බන්දුල විජේවීරයන් ගේ ගුවන්විදුලි සම්ප්‍රාප්තිය සිදු වන්නේ ද එහි ස්වර්ණමය යුගයේ දී යි. 1970 වර්ෂයෙන් ඇරැඹෙන දශකය ඔහු ගේ නිර්මාණ ජීවිතයෙහි තීරණාත්මක කඩ ඉම් සලකුණු කිහිපයක්ම සටහන් වන යුගයකි. 1969 වර්ෂයේ දී සංගීත විද්‍යාලයට බැඳෙන ඔහු , අනු විෂය ලෙස තෝරා ගන්නේ ගායනය යි. පසුව අත්වැල් ගායකයකු ලෙස ගුවන්විදුලියට ප්‍රවිෂ්ට වන්නේ , ගායනයෙහි ලා විජේවීරයන් සතු වූ විභවය හඳුනා ගන්නා සංගීත විද්‍යාලයේ ගුරු භවතෙකු වූ මහාචාර්ය සනත් නන්දසිරි මහතා ගේ මඟ පෙන්වීම යටතේ යි. සංගීතවේදී වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කරන ලද ඔහු ගේ කුළුඳුල් සරල ගී වැඩසටහන ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන්නේ ද මේ කාලයේ දී යි. එයින් ද නොනැවතී තවත් ඉදිරි පියවරක් තබන බන්දුල විජේවීර මහතා නිර්මාණකරණයට පිවිසීමට ද සමත් වෙයි. ඒ හාපුරා කියා “දෝත පුරා මුතු මාල ලතා” ගීතය සංගීතවත් කරමිනි. දේශීය ජන නාදමාලා, රංග වින්‍යාසය ඇතුළු සම්පූර්ණයෙන්ම ජන සංස්කෘතික අංග ලක්ෂණ වලින් පෝෂණය ලැබ, ජනශ්‍රැතියේ එන කතා පුවතක් වේදිකාව මත ප්‍රතිනිර්මාණය කිරීමේ මහඟු කාර්යයට සහභාගී වන්නට වරම් ලැබීම ද කලා ජීවිතය තුළ ඔහු ලද විශේෂ ජයග්‍රහණයකි. ඒ 1973 දී දයානන්ද ගුණවර්ධන නාට්‍ය නිර්මාණයක් වූ “නරි බෑණා” නාට්‍යයේ ‘පොතේ ගුරු’ ගේ චරිතය සඳහා රංගනයෙන් සහ ගායනයෙන් සහභාගී වෙමින්. රංගනය, සංගීත නිර්මාණය සහ ගායනය යන අංශ වල බහුවිධ කුසලතා විශද කළ තවත් ශිල්පියෙකු වන රෝහණ බැද්දගේ මහතා සමඟ මිත්‍රත්වයක් ගොඩ නැඟෙන්නේ ද මෙම දශකය මැද භාගයේ දී යි. මෙසේ රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර මිතු දම් එකතුවෙන් බිහි වෙන “මාමයි බෑණයි” සංකල්පය හරහා “මගෙ සුදු බෑණන්ඩිට”, “පුල්ලි ගොනා ගෙට පැනලා”, “දන්නා තරම් පද කස්තිරම්” සහ “කලියුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්” ආදී ගැමි සංස්කෘතික ලක්ෂණ ප්‍රකට කළ නිර්මාණ රාශියක් සිංහල ගීත සාහිත්‍යයට දායාද කෙරිණි. මේ අතරෙන් “පුල්ලි ගොනා ගෙට පැනලා”, “දන්නා තරම් පද කස්තිරම්” වැනි ඇතැම් යුග ගීතයෙක සාම්ප්‍රදායික ජන ගී විරිත් සහ නාද රටා ආශ්‍රිත තනු නිර්මාණය ද බන්දුල විජේවීරයන් අතින් සිදු විය. සංගීතවේදී වික්ටර් රත්නායකයන් සංගීතවත් කරන ලද ‘හුලවාලි’ (1976) චිත්‍රපටයෙන් සිනමා ගී ගායනයට ප්‍රවිෂ්ට වීම විජේවීර මහතා ගේ සංගීත චාරිකාවෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් විය. පද මාලාව සඳහා භාවිත ගැමි වහරත් , ඊටම ගැලැපෙන නාද සංකලනයත් සමඟ ඓන්ද්‍රීය ලෙස බැඳුණු විජේවීරයන් ගේ අව්‍යාජ ගැමි එහෙත්, ජව සම්පන්න හඬ ගම් නියම් ගම් සිසාරා ලක්දිව පුරා ප්‍රතිරාව නැඟූයේ “දුම්බර මැණිකේ” ගීතය සමඟින් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.
“කුල ගෙදරින් දුම්බර කඳුවැටීයේ
පතිකුලයට අද
කැන්දන් එනවා
දුම්බර මැණිකේ”
(සුනිල් ආරියරත්න / වික්ටර් රත්නායක / බන්දුල විජේවීර)
පැරැණි ගී රසිකයින් අතර ජනප්‍රිය වූත්, සාම්ප්‍රදායික ජන ගීයක හැඩය ගත්තා වූත් ගීතයක් වන “මල් වනේ රෝස කැකුළු” ඔහු විසින් නිර්මිත සරල ගීතයකි. ඒ සඳහා තනුව නිර්මාණය වුණු ආකාරය ගැන බන්දුල විජේවීරයන් ගේ ම වචනයෙන් මෙසේයි; රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ , නන්දා පතිරණ ගායන ශිල්පිනිය ගේ දරුවා නැති වුණා. ඒ අරබයා මාධ්‍යවේදී ගාමිණී විජේතුංග මහතා රචනා කළ ගේය පද මාලාවට මම නාද රූපය ගත්තේ කෝළම් නාට්‍ය සම්ප්‍රදායේ එන “ගෝඨයිම්බර වැළැපුම්” කවියෙන්.
“මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ
නිල් වළා යහන් ගැබේ කිරි සිනා දිලේ
වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ
එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ’
(ගාමිණී විජේතුංග/බන්දුල විජේවීර/නන්දා පතිරණ)
වැළැපුම් ගී – සිංහල ජන සම්ප්‍රදායයෙහි වැළැපුම් ගී නමින් ගායනා විශේෂයක් වෙයි. ශෝකාත්මක අවස්ථාවන්හි දී ශෝකය විදහා දැක්වීම සදහා මේවා අතීතයේ සිට භාවිතා කර ඇත. “සිංහල කවියට චූඩා මාණික්‍යය” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ‘කව් සිළුමිණ’ ඓතිහාසික කාව්‍ය ග්‍රන්ථය අළලා දේශනයක් කරන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසන්නේ එහි එන “කුස වැළැපුම” සහිත කවි තිස් හයෙන් නැඟෙන විරහ විලාපයේ තරම කෙසේ වී ද යත්, පසු කලෙක වැළැපුම් සාහිත්‍යයක් ගොඩ නැඟීමට පවා ඒ නිසා පදනම වැටුණු බවයි. සඳ කිඳුරු දා කවෙහි “කිඳුරු සහ කිඳුරි වැළැපුම”, වෙස්‌සන්තර ජාතක කාව්‍යයේ “මද්‍රි දේවී වැළැපුම”, කුවේණි අස්‌නේ “කුවේණි වැළැපුම”, ගොන්සාල් වේස් දේවගැතිතුමාගේ පසන් පොතෙහි “දෙව්මව් වැළැපුම”, අලගියවන්න මුකවෙටිතුමා ගේ කුස දා කවෙහි එන “පබවත වැළැපුම”, සහ “යසෝදරාවත” ආදිය එසේ පසුකාලීනව බිහි වූ වැළැපුම් ලක්ෂණ විද්‍යාමාන කළ පුරාණ කාව්‍ය රචනාවන් ය. ඒවායේ විශේෂත්වය වන්නේ, “කව් සිළුමිණ” ග්‍රන්ථය මෙන් නොව, පොදු ජනතාව උදෙසා වඩා ලිහිල් ව්‍යවහාර භාෂාවෙන්, බොහෝ සෙයින් ම ජන කවි රීතිය අනුගමනය කරමින් රචනා කොට තිබීම යි.
මහ සොහොන් උපත පිළිබඳ රසවත් කතා කිහිපයක් ජනප්‍රවාදයේ ඇත. එයින් ජනයා අතර වඩාත් ප්‍රචලිත ප්‍රවාදයට අනුව, දුටුගැමුණු රජු ගේ සේනාවෙහි යෝධයෙකු වූ ගෝඨයිම්බර ගේ රූමත් බිරිඳ අරබයා රිටිගල ජයසේන සහ ගෝඨයිම්බර සෙනෙවි අතර ගැටුමක් ඇති වෙයි. එහි දී ගෝඨයිම්බරගෙන් පහරක් වැදී රිටිගල ජයසේන ගේ හිස කඳින් වෙන් වී, මරුමුව පත් වෙයි. හිස සුන් මළකඳ සොහොනට ගෙන ගොස් දමන අතර, පසුව හිස සොයා ගත නොහැකි බැවින් සෙනසුරු විසින් වලසෙකු ගේ හිසක් සවිකොට නැවත ඔහුට ප්‍රාණය ලබා දේ. එතැන් පටන් මහසෝනා නමින් හැඳින්වෙන්නේ මෙසේ භස්ම අසුරයා අළු වූ සොහොනෙහි නැවත උපදින රිටිගල ජයසේන යි. මේ විපතින් ළතැවිල්ලට පත් වූ ගෝඨයිම්බර බිරිඳ නඟන විලාපය “ගෝඨයිම්බර වැළැපුම” ලෙස ජනයා අතර ප්‍රකට වී යැයි කියනු ලැබේ. නන්දා පතිරණ මහත්මිය ගායනා කරන “මල් වනේ රෝස කැකුළු” ගීතයේ තනුවට ආශ්‍රය වන්නේ වැළැපුම් සාහිත්‍යයේ එන මෙම ගෝඨයිම්බර වැළැපිල්ල යි.
බස්ම නම් අසුර රජුගෙ සොහොනෙ ඉපදුණේ [මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ]
තිස් දහස් පිරිවරහට රජව සිටිමිනේ [නිල් වළා යහන් ගැබේ කිරි සිනා දිලේ]
ඉක්මනින් ගෝඨයිම්බර සමඟ යුද වුණේ [වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ]
දැන් ඉතින් ඔළුව නැතිව නිදිද හිමියනේ [එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ]
ගෝඨයිම් බර වැළැපුම් කවි ගායනය මෙතැනින් ශ්‍රවණය කරන්න;
ගීතයේ පද රචක , ගාමිණී විජේතුංගයන් ගැන ද කෙටියෙන් නමුදු සටහන් කිරීම කෘත ගුණ සැලැකීමක් වනු ඇතැයි හැඟේ. ඔහු අයත් වන්නේද 70 – 80 දශකයන්හි කොළඹ පැවැති තරුණ කලාකරුවන්ගේ සමාජයට යි. එතුළ ගාමිණී විජේතුංග ගුවන්විදුලි පිටපත් රචකයකු, ගීත රචකයකු, පුවත්පත් ලේඛකයකු, සිනමා විචාරකයකු, ප්‍රචාරණ පිටපත් රචකයකු හා සඟරා සංස්කාරකවරයකු වශයෙන් විවිධ භූමිකා තුළ සිය බහුපඨිතභාවය ස්ඵුට කරමින් සිටියේය.
“මල් වනේ රෝස කැකුළු” ගීතය ලියැවෙන්නේ නන්දා පතිරණ ගායිකාවගේ ආරාධනයෙන්. දරු සොවින් වැළැපෙන මව ගේ මනෝ භාවයන් කියා පෑම සඳහා ජන කවියේ ආභාසය ලබා ඇති බව පද මාලාව පිරික්සා බලන විට මැනවින් නිරීක්ෂණය වෙයි;
“නිවහනේ සැම තැන කිරි සුවඳ මට දැනේ
හැම තැනේ කැකුළු සිනා මල් පිපුණු මෙනේ
හද සෙනේ බිළිඳු තොලක කිරට හැරෙන්නේ
අද දිනේ කිරට හඬන කෙනෙක් නෑ අනේ”
සරල බව ජන කවියෙහි නෛසර්ගික ලක්ෂණය කි. සැබැවින්ම මෙවැනි අවස්ථාවෙක ආයාසයෙන් තොරව ගෙතෙන සරල පද වැලකින් විනා, අසීරුවෙන් අමුණන ලද සෙවි වහරෙන් හැඟීම් ප්‍රකාශ කිරීම අසීරුය. එබැවින්, ජන කවි රීතිය අනුගමනය කරමින්, අනුභූතියට සුදුසු බස් වහර තෝරා ගන්නා කවියා, දරුවා නැති වූ ශෝකයෙන් තැවෙන කත ගේ චිත්ත ආවේගය ධ්වනිත කරවීමට භාවිතා කරන්නේ අමිශ්‍ර සරල සිංහලය යි. වැඩිමනත් කාව්‍යාලංකාර සැරසිලි වලින් තොර ව, සාමාන්‍ය පොදු ජනතාවට බෙහෙවින් සමීප යෙදුම් භාවිතයෙන්, මව ගේ සිතුවිලි ධාරාව නිරායාසයෙන් මෙන් පදවැල හරහා ගලා යාමට සලස්වා ඇත;
“තව්තිසා දෙව් විමනේ සැඟවුණිද කියා
රෑ යමේ සිහින දිගේ පාව එමි සොයා
මේ භවේ නොවුණද මතු භවෙක අප කරා
සුදු පුතේ එන්න අතට කිරි සිනා සලා”
ඖචිත්‍යය සලකා බස් වහර තෝරා ගැනීම, මුල සිට අග දක්වා එකම වහරක් භාවිතයෙන් සංගතභාවය පවත්වා ගැනීම, ප්‍රස්තූතයට අනුව අනවශ්‍ය කාව්‍යාලංකාර වලින් බැහැර වීම දක්ෂ කවියකු සතු ගුණාංගයන් අතර වේ.
දැන් අපි නිර්මාණයෙහි අනෙකුත් තීරණාත්මක සංඝටක වන සංගීත සංයෝජනය සහ ගායනය පිළිබඳව සලකා බලමු. තනුවේත්, පදමාලාවේත් රස නුසුන් කොට සිය නිසඟ ජන ගී ආරේ භාවාත්මක හඬින් නිර්මාණයට ප්‍රාණය මුසු කරන්නී නන්දා පතිරණ මහත්මිය යි. අද වැනි දිනෙක මෙවැනි ගීයක් වෙනත් ගායිකාවක විසින් ගැයුවේ නම්, එය හුදු විලාපයක් කෙරෙනවාට සැකයක් නැත්තේය. එහෙත්, ගැමි මවක ගේ නිර්ව්‍යාජ ශෝකී ස්වරය නන්දා පතිරණ මහත්මිය වැඩි ආයාසයකින් තොරව ම පද අතරට එකතු කිරීමට සමත් වන්නී ය. විලාප නොනැඟුව ද හැඬීම ගීතය තුළින් ශ්‍රවණය වෙයි. පසුබිම් සංගීත සංයෝජනය තුළ යක් බෙරය තරමක මන්ද ස්වරයෙන් වැයෙන නමුත්, එය සමස්ත නිර්මාණයේ භාවමය ඵලයට දක්වන බලපෑම සුළුපටු නැත. ගායනය හා සමගාමීව ම නිරතුරු වාදනය වන යක් බෙරය මව ගේ හඬන සිත කියා පාන්නාසේ ය. ඊට අමතරව එයින් ගීතයට ජන ගායනාවක හැඩය ද ලබා දෙයි. අතරින් පතර වැයෙන බට නළාවෙන් වෑහෙන ගැමි රසය පදමාලාවේ බස් වහරටත්, තනුවටත්, ගායනයටත් ඌණපූරණයක් සපය යි. ඇත්තෙන්ම පෙර කිවූ විලාපයක් නොවන හැඬීම ගායනය මතු නොව, ගී පද, තනුව , සංගීත සංයෝජනය සහ භාවාත්මක ගැයුම යන සමස්තය තුළින්ම පැන නඟින බව පැවැසීම වඩා සාධාරණ යැයි සිතේ.
“මල් වනේ රෝස කැකුළු” ගීතයට මෙතැනින් සවන් දෙන්න;
වැළැපුම් සාහිත්‍යයේ ආභාසය ඇතිව නිර්මාණය කළ තවත් ගීතයක් පිළිබඳව බන්දුල විජේවීර මහතා සඳහන් කරයි. මළ ගෙදරක දින හතක් වැළැපුම් කවි ගායනා කිරීම ද එදා ගැමි සංස්කෘතිය තුළ ප්‍රකටව පැවැති සිරිතකි. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ගේ පද රචනයකට තනු රචනය කෙරෙන්නේ එවැනි කවියක් වන, වෙස්සන්තර වැළැපිල්ලේ නාද රටා ආශ්‍රය කර ගනිමින්.
බාලේ පෙම්බර කොණ්ඩා බැන්දට – තපසට නොගනිති වන්නා
දෙකණේ පුස්කොළ තෝඩු දැමූවට – තපසට නොගනිති වන්නා
කණ්ණඩි කැඩපත මුහුණ බැලූවට – තපසට නොගනිති වන්නා
දෙකණ දෙබික්කම මේවර ලූවත් – තපසට නොගනිති වන්නා
වෙස්සන්තර වැළැපුම් කවි ගායනයට මෙතැනින් සවන් දෙන්න;
ඉහත වෙස්සන්තර වැළැපිල්ලේ නාද මාලාව දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනය කළ මෙම ගීතයට ආශ්‍රය වීය;
“කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉඳි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා”
(පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි / බන්දුල විජේවීර / දීපිකා ප්‍රියදර්ශනී)
රජයේ සංගීත විද්‍යාලයෙන් පිට වී, සිය ගම් පියස වන අලව්ව මහා විද්‍යාලයට පත් වීම ලැබූ අවධියේ දී එම පාසැලේ සාහිත්‍ය විෂය බාර ව සිටි චන්ද්‍රදාස රාජපක්ෂ ගුරුතුමන්හට කියා ලියවා ගත් ගීතයකට විජේවීර මහතා විසින් ම තනුව සකස් කර ගායනා කෙළේය. එහි තනුව ද ගැමි ගී නාද රටා පාදක කර ගනිමින් නිර්මාණය වී ඇත.
“ඉන්දුමතියේ නුඹෙ ලස්සන හැඩරුව
මගේ හිතේ ඇදිලා
රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා”
(චන්ද්‍රදාස රාජපක්ෂ / බන්දුල විජේවීර)
සෑහෙන පමණ පරිශ්‍රමයකින් අනතුරුව, දුරකථන අංකය සොයා, මා විසින් බන්දුල විජේවීර මහතා ඇමැතූයේ ‘මධුර ජවනිකා’ නාට්‍යයේ තනු නිර්මාණය ගැන විශේෂ කරුණු කිහිපයක් සැක හැර දැන ගනු රිසියෙනි. එහෙත් මා ඇසූ ප්‍රශ්න වලට පමණක් නොව, ජන ගී ආශ්‍රිතව කළ වෙනත් නිර්මාණ, තනු නිර්මාණයේ දී අනුගමනය කරන ලද ක්‍රමවේදය සහ සිය නිර්මාණ චාරිකාව හා සම්බන්ධ ප්‍රේක්ෂකයන්ට වැදගත් විය හැකි දේ ඇතුළු බොහෝ කරුණු රැසක් පාසැල් සිසුවියකට පාඩමක් කියා දෙන පරිද්දෙන් විස්තරාත්මකව මා හට කියා දීමට තරම් විජේවීර මහතා නිහතමානී වූ බව සිහිපත් කරන්නේ ගෞරව බහුමාන පෙරදැරිව යි. ජන ගී නාද රටා ආශ්‍රයෙන් තනුව නිර්මාණය කිරීමේ දී තමන් විසින් අනුගමනය කරන ලද විශේෂ උපක්‍රම ගැන ඒ මහතා ගේ වචනයෙන් ම පවසතොත් මෙසේයි; “තනුව ගැන මුලින්ම අදහසක් පහළ වන්නේ පද මාලාවට ගැලැපෙන හිතේ නිදන් ගත දේශීය නාද මාලාවක් අනුව යි. තනුව හදා ගෙන යද්දී රාගධාරී සංගීතයත් ඉබේම වාගේ මුහු වෙනවා. ජන ගී ආරට හිමි හැඩය ලබා ගැනීම සඳහා උචිත වාද්‍ය භාණ්ඩයන් වන උඩරට බෙරය හෙවත් ගැට බෙරය, පහතරට බෙරය හෙවත් යක් බෙරය සහ උඩැක්කිය වැනි වාද්‍ය භාණ්ඩත්, ගැමි රසය මුසු කිරීමට බට නළාවත් සංගීත සංයෝජනයේ දී බහුලව යොදා ගන්නවා.”
විජේවීර මහතාගෙන් ම විමසා නිරාකරණය කර ගනු රිසි වූ එක් කරුණක් වූයේ, දයානන්ද ගුණවර්ධන නිර්මාණ “මධුර ජවනිකා හෙවත් හිංගල වංශය” වේදිකා නාට්‍යයේ ගී තනුවල කතෘත්වය පිළිබඳව ඇති වූ වියවුල යි. නාට්‍යයේ සංගීතය රෝහණ බැද්දගේ මහතා ගේ බවට ඇතැම් තැනෙක සඳහන් වුව ද, තවත් තැනෙක බන්දුල විජේවීර නාමය ද සටහන් වී තිබීම ගැටළුවට හේතු වීය. අවසානයේ දී අසා දැන ගත් පරිදි මධුර ජවනිකා නාට්‍යයේ ගී තනු මේ සංගීතවේදීන් දෙදෙනාගේ ම සාමූහික ප්‍රයත්නයක ඵලයන් ය. ඒ අනුව ඇතැම් ගීත සඳහා තනු නිර්මාණය රෝහණ බැද්දගේ මහතා විසින් වන අතර, ඇතැමෙක තනු බන්දුල විජේවීරයන් අතින් නිමැ වී ඇත.
දැන ගැනීමේ කුතුහලයෙන් පසු වූ අනෙක් කාරණය නම්, එහි එන “මුහුණු දෙකේ කෝළම” ජවනිකාව තුළ ගායනය වන ගීතයේ තනුව මට සිහිපත් කැරැවූයේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ උගත් “පත්තිනි සවුදම්” තාල රූපය යි. මගේ අනුමානය තහවුරු කරමින් බන්දුල විජේවීර මහතා කියා සිටියේ මුහුණු දෙකේ කෝළම ගීතයේ තනුවට ආශ්‍රය කර ගත්තේ පත්තිනි සවුදම් තාල රූපය බව යි.
නිතිනි දන මන නයන පිනවන [මේ ජීවිතෙන් මගෙ ජීවිතෙන් මගෙ ]
දුල් සිරින් දෙවඟනක විලසා [ජීවිතෙන් මගෙ නෑ පලක්]
පතිනි සුරිඳුට නැමැද කියනෙමි [ ඒ ලෙසින් හිතුණාට හා තව]
නරන් හට සෙත දෙවන විලසා [නෑ නෙ මා මැරෙනා හැඩක්]
අතිනි ගන රන් සළඹ අරගෙන [මා යොවුන් වියෙ උන්නු කාලෙදී]
නරන් උවදුරු හරින විලසා [මේ මගේ පිරිපුන් ගතා]
පතිනි සවුදම ගයමි අද මම් [දෑ සමන් පියුමක් සමානව]
මේ සබේ මැද පුදුම විලසා [බෝ දැකුම්කලු වී ඉතා]
පත්තිනි සවුදම් කවි ගායනයක් මෙතැනින් ශ්‍රවණය කරන්න;
මධුර ජවනිකා වේදිකා නාට්‍යයේ “මුහුණු දෙකේ කෝළම” ගීතයට මෙතැනින් සවන් දෙන්න;
සවුදමේ සහ ගීතයේ තාල රූප එකිනෙක බෙහෙවින් සම්පාත වෙයි. වෙනස් වන්නේ ගායනයේ ලය හෙවත් වේගය යි. පත්තිනි දේවිය ගේ රූපය වර්ණනා කෙරෙන ජන සම්ප්‍රදායයේ නාද මාලාවක් නාට්‍යයේ ජවනිකාව තුළින් ඉදිරිපත් කෙරෙන අවස්ථාවට ගැලැපෙන තේරීමකි. ජවනිකාව තුළ දී වරෙක ප්‍රහර්ශයකින් ද, වරෙක උද්වේගකාරී විලාශයකින් ද ප්‍රකාශයට පත් කෙරෙන්නේ ජීවන රේඛාවේ එකිනෙකට වෙනස් කාල ප්‍රාන්තර දෙකක දී විපර්යාසයන්ට බඳුන් වූ කාන්තා රූපය කි.
සමාලෝචනය
තත්කාලීන සමාජයේ ජන ජීවිතයේ රිද්මයත්, අට ලෝ දහමට මුහුණ දෙමින් විවිධාකාර හැල හැප්පීම් වලට භාජනය වන ජනයා ගේ දුක හා සතුට සම්මිශ්‍රණය වූ හැඟීම් වල ස්වරූපයත් ජන සංගීතය තුළින් පිළිඹිබු වේ. එබැවින්, තනු නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දී සාම්ප්‍රදායික දේශීය සංගීතය මුසු කර ගැනීම භාව නිරුපණය සඳහා පිළිපැදිය හැකි එක් සාර්ථක උපක්‍රමය කි. එහෙත්, වේගයෙන් වෙනස් වන ලෝකයට අනුව ජන ජීවිතය වඩා සංකීර්ණ වෙද්දී, ඊට අනුරූපව වෙනස් වන ජන විඥානයෙහි සංකීර්ණ භාවයන් ස්වර රටා හරහා ඉදිරිපත් කිරීමේ දී අමතර වෙහෙසක් දැරීමට නිර්මාණකරුවකුට සිදු වේ. සංකීර්ණ ආවේග ප්‍රකාශනයක් උදෙසා, සීමිත ස්වර පරාසයක් සහිත ජන ගී නාදමාලා මත පමණක් රඳා පැවැතිය නොහැකි වෙයි. එබැවින් වෙනත් දියුණු සම්ප්‍රදායයක ශිල්ප ක්‍රම ඇසුරු කරන අතරේ දී, නිර්මාණය තුළ සංස්කෘතික මුද්‍රාව තැබීම සඳහා සාම්ප්‍රදායික ජන ගී වල පද සහ නාද ආකෘතීන් ආශ්‍රය කර ගැනීම ද සංගීත ශිල්පීන් විසින් බහුලව අනුගමනය කරන ලද ක්‍රමවේදයකි. ඒ හරහා නූතනත්වයත් සම්ප්‍රදායත් යා කිරීමේ කාර්යය ද ස්වයං සිද්ධ වේ.
හින්දුස්ථානි හෝ බටහිර ආදී වෙනත් දියුණු ශිල්ප ක්‍රම භාවිතය පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක වැනි ශිල්පීන්ට සාපේක්ෂව අවම වුවද, සම්ප්‍රදාය නූතනත්වයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී බන්දුල විජේවීර මහතා ගත් උත්සාහය ප්‍රශස්ත මට්ටමක පවතින බව මගේ අදහස යි. මෙතුමා ගේ නිර්මාණ අප විසින් විමසිය යුතු වන්නේ ඒවා බිහි වූ යුගය එනම්, 70-80 කාලයට සාපේක්ෂව යි. අදට සාපේක්ෂව සරල ස්වභාවයක් ගත්, විශේෂයෙන්ම කලබලකාරී නාගරික පරිසරයෙන් දුර බැහැර ප්‍රදේශවල එකළ ජන ජීවිතයේ රිද්මය එම ගී නිර්මාණවල සටහන් ව ඇත. ලයනල් රන්වල මහතා වැනි ජන සංගීතය ආශ්‍රිත ගීත ඉදිරිපත් කළ වෙනත් ශිල්පීන් ගේ නිර්මාණ හා සසඳන කළ බන්දුල විජේවීර ගීතයන්හි නිර්මාණාත්මක ලක්ෂණ ද කැපී පෙනේ.
අලව්ව මහා විද්‍යාලයෙන් උසස් පෙළ තෙක් අධ්‍යාපනය ලබන බන්දුල විජේවීර මහත්මා, සංගීත අධ්‍යාපනය ලබන්නේ රජයේ සංගීත විද්‍යාලයෙන්. මහාචාර්ය සනත් නන්දසිරි, මහාචාර්ය අමරා රණතුංග, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සහ බී. වික්ටර් පෙරේරා වැනි විශිෂ්ටයන් ගේ ගුරු ඇසුර ලැබීමට භාග්‍යවන්ත වූ බව ද ඔහු මහත් භක්ති පූර්වකව සිහිපත් කරයි. ප්‍රධාන විෂය වයලීන් වාදනය සහ අනුවිෂය සඳහා ගායනය තෝරා ගත් නමුත්, ගායනයෙන් ඉදිරියට ගියේ මහාචාර්ය සනත් නන්දසිරි ගුරු දේවයන් ගේ මඟ පෙන්වීම නිසා බව ද නැවතත් අවධාරණය කෙළේය.
රජයේ සංගීත විද්‍යාලයෙන් පිට වී, තමන් අකුරු කළ සිය ගමේ පාසැලටම, අලව්ව මහා විද්‍යාලට ප්‍රථම පත් වීම ලබන විජේවීරයන්, 1994 වන තෙක් එහි සංගීත ගුරුවරයකු ලෙස සේවය කෙළේය. අධ්‍යාපන පරිපාලන විභාගය ද සමත් වන ඔහු අධ්‍යාපන පරිපාලන දෙපාර්තමේන්තුවේ සෞන්දර්ය සහකාර අධ්‍යක්ෂක ලෙස ද සේවය කරමින් වෘත්තීය ජීවිතයේ සාර්කථත්වය වෙත පියවර තැබුවේ ය. ‘බෝඩිම’ ටෙලි නාට්‍යයෙන් අනතුරුව, තවත් ටෙලි නාට්‍ය 40-50 ක් අතර ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති විජේවීරයන්, ටෙලි නාට්‍ය, සහ සංගීතමය වැඩසටහන් ආදී නිර්මාණ කටයුතු වලට සහභාගී වෙමින් දැනුදු ගත කරන්නේ ඉතාමත් ක්‍රියාශීලී ජීවිතය කි. රණවිරු සේවා අධිකාරියේ සභාපති , හිටපු පළාත් සභා මන්ත්‍රීනි රත්නා වෑත්තෑව සමඟ විවාපත් වූ විජේවීර මහතා, සිය බිරිඳ සමඟින් අදටත් ගම් පියසේ ම පදිංචි වී සිටින බව පැවසුවේ මහත් උද්දාමයකින්. ඔහුගේ වචනයෙන් කියතොත් තවමත් “අපේකම” අත් නො හළ හොඳ ගැමියෙකි.
ජන ගීයෙන් පෝෂණය ලැබ, ජන හදට සමීප ගී නිර්මාණ දායකත්වයෙහි ලා බන්දුල විජේවීරයන් දැක් වූ සාර්ථකත්වයෙහි රහස අනෙකක් නොව, සිය ජීවිතය හා අවියෝජනීය ලෙස බැඳී පැවැති, නූතනත්වයේ පහසින් විපරීතභාවයට පත් නොවූ ඒ ගැමිකම ය.
- අමා නයනාදරී සිරිවර්ධන
05/02/2021
ආශ්‍රිත ලිපි:
https://divaina.com/daily/index.php/visheshanga3/20487-2018-11-29-13-45-21
https://worldbeyondworld.blogspot.com/…/blog-post_24.html