අයාලේ ගිය සිතක සටහන් – තිස්ස අබේසේකර​

“අයාලේ ගිය සිතක සටහන්” කියවා ලැබූ ආනන්දය තුළින්, කෘතිය පිළිබඳ මගේ විමසීම මෙසේ සටහන් කර තබමි.

අයාලේ ගිය සිතක සටහන් – තිස්ස අබේසේකර​

තිස්ස අබේසේකරයන් විසින් ‘ඉරිදා ලක්බිම​’ පුවත්පතට ලියූ තීරු ලිපි එකතුවක්, ‘කෝට්ටේ කළාලේ’, ‘සත්සර සටහන්’, ‘සිවුපද සංවාද’ සහ සිතැඟි යන ප්‍රවර්ග සතර යටතේ කෘතියක් ලෙස සංග්‍රහ කිරීම කි. සිය ළමා විය ආශ්‍රිත පෞද්ගලික මතක සටහන්, පුරාවෘත​, කටකතා, දෙස් විදෙස් සාහිත්‍යය ඇසුරු කිරීමෙන් ලබා ගත් දැනුම​, සැරිසර මතක සහ අත්දැකීම් තුළින් එළැඹුණු මත සහ නිගමනයන් ලිපි ඔස්සේ අප වෙත තබන්නේ මියැසියක් හා සමාන බස් වහරකින් සරහන ලද​ ගද්‍ය රචනා රීතියකිනි. බැලූ බැල්මට​ විසිරුණු සිතුවිලි ගොන්නක් ලෙස පෙනුණ ද​, ඉතිහාසය​, සංගීතය​, ගේය පද සාහිත්‍යය​, කවිය සහ සිනමාව වැනි විෂය පිළිබඳව​ එළැඹුණු ගැඹුරු සංකල්පනාවන් තිස්ස අබේසේකරයන් වෙන් වෙන් ලිපි හරහා පාඨකයා වෙත ගෙන හැර දක්වන්නේ, ඒ එකිනෙක ලිපි සීරුවෙන් ගැට ගසන​, ක්‍රමවත් සම්බන්ධතාවයක් ද ඇති වය​. මුල් ලිපි කිහිපය කියවා ගෙන යද්දීම ම සිතෙහි මෙබඳු ප්‍රශ්නයක් පැන නැගිණි.

බාල විය හා සබැඳි විත්ති ස්මරණය කිරීමට අප කවුරුත් පාහේ කැමැතිය​. නෑ සියන් හෝ පාසැල් කාලයේ මිතුරු මිතුරියන් හමු වූ කල් හි අප උනුන් හා දොඩමළු වන්නේ යට ගියාවේ මිහිරි මතකයන් නැවත නැවතත් ආවර්ජනය කරමිනි. බොහෝ විට මේවායේ අගක් මුලක් නැත​. ප්‍රියතම ගීතයක් සිතුණු විටෙක වාදනය කරන්නා සේ, අතීතයට ගොස් එබී බලද්දී හමුවෙන මතකයන්​ පුන පුනා කියද්දීත් විඩා නොදැනේ. එසේ නමුත්, නෑ හිත මිතුරුකමක් හෝ අදාළ කාල වකවානුවට බන්ධුතාවයක් හෝ නැත්නම්, අසන්නාට ප්‍රිය උපදවන​ අත්දැකීමක් වන්නේ අඩුම තරමින් ඓතිහාසික අගයක් වැනි යමක් එකී විස්තරය තුළ​ ඇති විටෙක දී පමණි. ඔහු එම විස්තරයට පූර්ණ වශයෙන් ආගන්තුකයකු නම්, “බසකින් නොදන්නා කියන පුවතට පෙන්නා නොසතුටුව ඉන්නා” දනන් මෙන් බලා හිඳීමට සිදු වනු ඇත​. එවැනි අකරතැබ්බයන්ට නිරතුරු මුහුණ පෑ ඇත්දැකීම් ඇති මම, තිස්ස අබේසේකරයන් ගේ, “අයාලේ ගිය සිතක සටහන්” කෘතිය තුළ බහුල ලෙස​ ඔහු ගේ ළමා විය, හිත මිතුරන් හා කෙරුණු සංවාද​, වෘත්තීය ජීවිතය, ආදිය​ හා සබැඳි අතීත ස්මරණ සටහන් හමු වෙද්දී, කියැවීමේ විඩාවක් නොදැණුනු අරුමය මන්දැයි කල්පනා කෙළෙමි.

ගීතයක සේ රිද්මයක් ධ්වනිත කරවන​ අතිශය පැහැබර වූත්, නිරවූල් වූත් රචනා රීතියකින් ලිපි ලියා තිබීම​ නිසා ද​​? මවිත කරවන සුළු ලෙස​ බස හැසිරවීම​ ද? නැත. ඒවායෙන්​ ලබා දෙන්නේ පොත කියැවීමට​ අමතර පෙළැඹුමක් පමණි. පොත කෙරෙහි ඇඳ බැඳ තබන්නා වූ ඊට වඩා ගැඹුරු යමක් එහි ඇතැයි මම සිතමි​. බෙහෙවින් ඇසූ පිරූ තැන් ඇති බුද්ධිමතකු වූ තිස්ස අබේසේකර සූරීන් සතු වූ විවිධ විෂය පිළිබඳ ඉතිහාසගත දැනුමෙන් බිඳක් පොත කියැවීමෙන් ලැබෙන හෙයිනැයි පවසා ලිපි පෙළෙහි අගය අඩුවෙන් තක්සේරු කිරීමට ද නො කැමැත්තෙමි. නමින් “අයාලේ ගිය සිතක සටහන්” වුවත්, ලිපි පෙළෙහි යටි පෙළ සකස් කිරීමේ දී ඉතිහාසය​, සංගීතය​, සිවුපද කවිය​ , ගේය පද කාව්‍ය සහ සිනමාව වැනි විෂය​ ඔස්සේ මෙතෙක් කිසිවකු ගේ අවධානයට පාත්‍ර නොවුණු මානයන් පෙන්වා දීමත්, කියවන්නා තුළ සත්‍යය​ සොයා යාමේ කුතුහලය ඇවිස්සීමත් අරමුණු වූවා යැයි මට සිතේ. ඒ සඳහා ‘සත්සර සටහන්’ මැයෙන් පෙළ ගස්වන ලිපි තුළ ඇති උදාහරණ කිහිපයක් මෙසේයි;

සෘජු ප්‍රතිපත්ති දැරූ සංගීතවේදියකු වූ සුනිල් සාන්තයින් , ඓතිහාසික රතන්ජන්කර් පරීක්ෂණය පිටු දැකීම හේතු කොට ගෙන ඔහුට ගුවන් විදුලියේ දොරටු වැසී ගිය බව සිංහල ගීතයේ ඉතිහාසය සොයා යාමේ ආශාව ඇති රසිකයින් අතර තරමක් ප්‍රකට කාරණය කි. එහෙත්, මෙතෙක් අප දැන සිටි පරිදි , පියානෝව වැනි බටහිර වාද්‍ය භාණ්ඩ​, සහ ප්‍රසංවාද​, ප්‍රතිනාද වැනි බටහිර සංගීතයේ එන ශිල්ප ක්‍රම භාවිතය ගුවන්විදුලිය තුළ සපුරා තහනම් කෙරුණේ සැබැවින්ම රතන්ජන්කර් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද​? රතන්ජන්කර් පඬිතුමා එවැනි නිර්දේශයන් කළ බවට සාක්ෂි සටහනක් තිස්ස අබේසේකරයන්ට ගුවන්විදුලි කමිටුවක සාමාජිකයකු ලෙස සිටි කාලය තුළ දී හමු වීද​? නැත්නම් එය ඇතැමුන් තුළ තිබූ වෘත්තීය ඊර්ෂ්‍යාවක් මත පදනම් ව ගොඩ නැගුණු ගෝත්‍රික කල්ලිවාදයේ නිර්ලජ්ජිත​ ක්‍රියාවන් හි ප්‍රතිඵලයක් ද​​? ගුවන්විදුලිය තුළ ක්‍රියාත්මක වූ මෙම​ ගෝත්‍රික කල්ලිවාදයෙන් අපරදිග ශිල්ප ක්‍රම ඇසුරු කළ​, සුනිල් සාන්ත​, බී.එස්. පෙරේරා, වැනි ශිල්පීන් පන්නා දැමීම සඳහා “රතන්ජන්කර් නිර්දේශ” නමින් එල්ල කළ නිර්දය ප්‍රහාරයක් ද​? මේ සඳහා පිළිතුරු පිටු 152-161 තුළ හමු වෙයි.

අනුකරණය ප්‍රධාන ප්‍රවාහය වූ සමයක​, ඉන්දියානු ගැති භාවයෙන් මිදී, නව සිංහල ගී සම්ප්‍රදායයක ඇරඹුම සටහන් කෙරෙන්නේ ආනන්ද සමරකෝන් සූරීන් විසින් බව පිළි ගත් මතය යි. ශාන්ති නිකේතනයේ දී සංගීත අධ්‍යාපනය හදාරා 1937 දී සිය රට බලා පැමිණෙන, සමරකෝනුවන් විසින් පද බැඳ​ , සත්සර මුසු කොට​​ ගායනා කරන ලද “එන්නද මැණිකේ” ගීතය බිහි වන තුරු ලංකාවේ දේශීය සංගීත සම්ප්‍රදායයක් පිළිබඳව අවධානය යොමු කර තිබේ ද​? මේ පැනයට පිළිතුරු අබේසේකර සූරීන් ඉදිරිපත් කරන්නේ දේවාර් සූරියසේන නම් තවත් විශිෂ්ට ගණයේ ලාංකීය නිර්මාණකරුවකු පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් ද අප හමුවේ තබමිනි. දේවාර් සූරියසේන , වන්නම් ගී සහ පාරු කවි වැනි ජන ගී වල​ ස්වර රටා ඇසුරෙන් කරන ලද ස්වතන්‍ත්‍ර නිර්මාණ එළි දක්වා ඇත්තේ 1930-1934 කාල වකවානුවේදී යි. එසේ තිබියදීත්, දේශීය සංගීතයක් වෙනුවෙන් සිය දිවියම කැප කළ දේවාර් සූරියසේන දේශීය සංගීත සම්ප්‍රදයයක් සඳහා පෙර ගමන්කරු ලෙස නො සැලකෙන්නේ ඇයි? ආනන්ද සමරකෝනුන්ට​ කලින් ඔහු දේශීය සංගීතයක් උදෙසා අලුත් ආරම්භයක් ලබා දුන් බවට නො පිළිගැනෙන්නේ ඇයි? මේ ප්‍රශ්නයටද තිස්ස අබේසේකරයන් සුපැහැදිලි පිළිතුරක් ලබා දෙන්නේ​ භාෂාවේ ශබ්ද ධර්මයන් සහ සංගීතයේ ස්වරය අතර තිබිය යුතු “වෙනස් නොකළැකි සම්බන්ධතාවය” ගැන​ පෙර නොඇසු විරු මන බඳින විස්තරයක් ද සමගිනි. (“පොදු ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය සඳහා දේවාර් සූරියසේන දායකත්වය” යන මැයෙන් එහි ඇතුළත් කරුණු පිළිබඳව විමසා බැලීමක් වෙනත් ලිපියකින් ඉදිරිපත් කළෙමි.)

තව ද​,​ ලංකාවේ ජන සංගීතයට මධ්‍යම යුරෝපීය සම්භවයක් තිබේද​? පන්ති භේදය මත පදනම් වූ රුචිකත්වයක් සිංහල​ සංගීතය තුළ වේද​? ජෑස් සංගීත නාද රටා සහ අපේ රටේ යාතු කර්ම වල ඇසෙන බෙර හඬ අතර ඇති සාම්‍යය කුමක්ද​​​? වැනි විවාදයට තුඩු දිය හැකි සංකල්පනා රාශියක් දීර්ඝ කාලයක් පුරා විවිධ නිර්මාණ ඇසුරු කිරීමෙන් ලත් දැනුම ආශ්‍රිතව ලියා පෙළ ගස්වා ඇති ලිපි , ‘සත්සර සටහන්’ ගොනුව තුළ හමු වේ. ඒවා සිංහල​ සංගිතය පිළිබඳව උනන්දුව ඇති අයකුට සොයා යාමේ ආශාව නැමැති ගිනි පුපුර දැල් වූ අවස්ථා ලෙස මම​ දකිමි.

පොදු සම්මතය තුළ ඇති​ පිළිගත් මත තිස්ස අබේසේකරයන් සිය බාල වියේ අත්දැකීම් සහ විවිධ​ විමර්ශන ඔස්සේ කල්පනාව මෙහෙයවීමෙන් තියුණු ලෙස ප්‍රශ්න කෙරෙන අවස්ථා මෙහි බහුලය​. ලෝකයේ වෙනත් පුරාණ නගරවල වසර දහස් ගණනක් ගත වීත් එදා තිබූ ගිහි ජීවිතයේ සලකුණු අදත් දකින්නට ලැබෙයි. එහෙත්, සැළලිහිණියේ වර්ණනා වන පරිදි, කෝට්ටේ නගරයේ තිබුණා යැයි කියන ඉසුරුමත් ගිහි ජීවිතයක කිසිදු ලකුණක් අද සොයා ගත නොහැකි වන්නේ මන් ද​? යන පැනය​ ‘කෝට්ටේ කළාලේ’ නමින් වර්ග කර ඇති ඓතිහාසික තොරතුරු රැගත් ලිපි ගොනුව තුළ ඔහු මතු කරයි. ප්‍රශ්නය ඉදිරිපත් කර පිළිතුරු විමසා බැලීමක් කිරීමට ද​ අමතක නො කරයි. ‘‘සිවුපද සංවාද’ ප්‍රවර්ගය යටතේ ගොනු වෙන ලිපි අතර ඇති ගජමන් නෝනා ගේ අගමුල සොයන​ ලිපියේ ද තවත් එවැනි ජනප්‍රවාදයේ එන මතය​ ප්‍රශ්න කරන තැනක් හමු වෙයි. කරතොට හිමියන් වෙතින් ගජමන් නෝනා කවි උගත්තේ සැබැවින්ම කොලු වෙස් ගෙන ද​? නැත්නම් උන් වහන්සේ සහ ගජමන් නෝනා අතර​ අසම්මත සම්බන්ධයක් වී ද​?

කෙසේ වෙතත්, ඉහත සඳහන් වන​ මතවාද සියල්ල​ තිස්ස අබේසේකර සූරීන් ම කියන පරිදි විධිමත් ශාස්ත්‍රීය ගවේෂණයකින් අනතුරුව එළැඹුණු නිගමන නො වේ. හුදෙක් සැරිසර මතක​, පොත් පත්, පුරාවෘත සහ සංවාද ආශ්‍රයෙන් එකතු කර ගත් දැනුමකට අනුව ඉදිරිපත් කෙරෙන මත පමණි. වැඩි දුර කරුණු විභාග කිරීම පාඨකයා සතු වගකීමකි. වැදගත් වන්නේ, මෙතෙක් අවධානයට පාත්‍ර නොවූ එහෙත්, ඇත්තෙන්ම විමසා බැලිය යුතු තැන් පෙන්වා දී තිබීම යි.

‘සිවුපද සංවාද’ තුළ හමු වන​ ​ බුද්ධිගෝචර සංකල්පවාදයට නතු වීමෙන් කෙළෙසුණු පැදියේ නිර්මලත්වය, කවියෙන් ගිලිහී ගිය අව්‍යාජත්වය ප්‍රකට කරවන නූතන ගේය කාව්‍ය ගැන කෙරෙන සිත් ගන්නා සුළු විස්තරය මට යමක් නැවත​ මතක් කරැවීය​. එය මෙතෙක් මා විසින් සමාජ නිරීක්ෂණයෙන් එළැඹ තිබූ නිගමනයකි.​ සරල කවියක හෝ සරල ගීතයක හෝ නිර්මලත්වය විඳිමින් සරල බව තුළ සැඟවුණු අද්භූත ගැඹුර දැකිය හැකි වන්නේ බස පිළිබඳ සෑහෙන පමණ නිපුණත්වයක් සහ බසෙහි ධ්වනිතාර්ථයන් දකින​ සංවේදීතාවයක් ඇති අයෙකුට​ පමණි. බස පිළිබඳ ඇතැම්​ විශාරදයින් පවා විදග්ධ භාෂා රටාවක​ අතරමං වූ සංකල්ප ගෝචර පද්‍යයේ සිර වී සිටිද්දී, තිස්ස අබේසේකරයන් පැදියේ නිමල සිහිල් දියේ රිසි සේ පිහිනා සැනසෙයි.

මේ සියල්ලටම වඩා බෙහෙවින් මා සිත් ගත් තැනකි මහා කවි පබ්ලෝ නෙරූදා ගැන කෙටි විස්තරයක් සඳහන් ලිපිය​​. වැල්ලවත්තේ දී කසළ ශෝධක ළඳකට පෙම් බඳින මේ මහා කවියා පසුව සිය චරිතාපදානයේ දී එම සිදු වීම ගැන පාපොච්චාරණයක ස්වරූපයෙන් පවසන​ දේ සඳහා​ තිස්ස අබේසේකර සූරීන් තමන් ගේ අර්ථ කථනයක් ලබා දෙයි. එම අර්ථ කථනය තුළ සැබැවින්ම විස්තර වන්නේ නෙරූදා නොව, තිස්ස අබේසේකරයන් සතු වූ උත්තම ගුණයක්යැයි මට සිතෙයි.

මේ කෘතියේ තරමක් හෝ අලස බවකින් කියවා ගිය තැනක් වේ නම්, ඒ ‘කෝට්ටේ කළාලේ” ගොනුව තුළ හමු වන “පරංගියා කෝට්ටේ ගිය පාර” වැනි ලිපි කිහිපයක් පමණි.ඒ අලස බවට හේතුව​ ලංකාවේ මහා මාර්ග සලකුණු පිළිබඳ මගේ ඇති අල්ප දැනුම මිස​, තිස්ස අබේසේකර සූරීන් සටහන් තැබිමේ දී කළ​ වරදක් නො වේ යැයි සිතමි. යම්තම් දිනපතා ගිය කාර්යාලයේ සිට ගෙදරට එන පාර වැනි ගමන් මාර්ග කිහිපයක් පමණක් දැන සිටි මා, කතුවරයා විස්තර කොට දක්වන​ නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශයන්හි සියුම් මං සළකුණු හඳුනා ගන්නේ කෙසේද​? ඒ නිසා ඉදිරිපත් කෙරෙන​ තර්කයට පදනම් වන කරුණු නොව​, එවැනි ලිපියෙක මුඛය අදහස පමණක් ග්‍රහණය කර ගනිමින් කියවා ගෙන යන්නට මට​ සිදු විය​.

සිය පියා ගේ නියමය පරිදි තිස්ස අබේසේකරයන් මූලික​ අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. සිය ජීවිතයේ මුල් වසර දහය දක්වා සිංහලයෙන් ලිවීමට කියවීමට ඉගෙන ගෙන නැත​. එසේ නම්, ඔහු සිංහල කලා සම්ප්‍රදායයන් වල රසය හඳුනාගත්තේ කෙසේ ද​? බාල වියේ පටන් සිය මව ගේ ආභාසය නිසා හඳුනාගත් භාෂාවේ සහ පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ රිද්මය, පසුකාලීනව​ ඔහු ගේ රස වින්දනය සහ​ කලා ජීවිතය හැඩ ගස්වා ඇති බවට කෘතිය තුළ තැනින් තැන තොරතුරු හමු වෙයි. පෙරවදන තුළ ඒ පිළිබඳව තිස්ස අබේසේකරයන් සිය වචනයෙන් මෙසේ සඳහන් කර ඇත​;

“ඉතා විලම්බ වූ ලයකින් ද​, ශෝකාකූල ස්වරයකින් ද අම්මා මට ගයා පුරුදු කළ සිංහල කවි සීපද වල නාදයත්, පුංචි කෝච්චියේ නළා හඬත්, දෙවොල් බෙරයේ ගුපත පදයත්, එකට මුසු වන්නේ කෙසේදැයි ස්වරඥානය හා තාල ඥානය අනුව නම් පැහැදිලි කළ නො හැකිය​.”

කුඩා කළ සිට​ කලාව රස විඳීම උදෙසා මවගෙන් ලද ආභාසයත්, කිසිදු කලා මාධ්‍යයක් කෙරෙහි වැඩි උනන්දුවක් නැති ම පියාගෙන් සංකීර්ණ පාඩමක් මතක තබා ගන්නේ කෙසේදැ යි ලද උපදෙස් අනුව සිතන්නටත් පුරුදු පුහුණු වූ මනසක් ඇති මට, මේ ඉන්නේ මම් ම දැයි සිතුණු වාර බොහෝ විය​.

ඇතැම් විට​ පෞද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් ප්‍රකාශයට පත් කෙරෙන මතවාදයන් සහ නිගමන වල පවා ඇත්තේ තමන් හුවා දැක්වීමක් නොව, ඊට වඩා ගැඹුරු හරයක් වීම පොත කෙරෙහි පාඨකයා බැඳ තබන ප්‍රධාන සාධකය ලෙස මම දකිමි. කතුවරයා විසින් ඉදිරිපත් කෙරෙන මතවාදයන් හා එකඟ විය නො හැකි තැන් ද​ විය​. වර්ගීකරණය කළ නො හැකි ලිපි එකට ගොනු කළ ‘සිතැඟි’ නම් වූ ප්‍රවර්ගය යටතේ එන එක් ලිපියක එවැනි තැනක් වෙයි. මේ සටහන තව දුරටත් දිග් ගැස්සෙන හෙයින් ඒ පිළිබඳ විස්තරයක් කිරීමට අපේක්ෂා නො කරමි. නමුත්, ඒවා හුදු හිතළු හෝ කොරහේ කිඹුල්ලු දැකීමක් නො වී, අවධානයට පාත්‍ර විය යුතු පදනමක් මත හිඳිමින් ප්‍රකාශයට පත් වී තිබීම ප්‍රශංසනීය වේ. ගැටළුවක් දෙස විවිධ පැතිකඩ ඔස්සේ ඔහු හෙළන තියුණු විමැසුම් ඇස, පොදු සම්මතයේ ඇති මත ප්‍රශ්න කිරීමට කියා දෙන පාඩමක් වැන්න​.

කාව්‍ය රසය හරහා සත්‍යාවබෝධය ලබන මග පෙන් වීමට අමතරව කෘතියෙන් අරමුණු කළ තවත් යමක් වේද​? බැලූ බැල්මට එකිනෙක හා සම්බන්ධයක් නැති සිතුවිලි සටහන් එකට ගොනු කැර,​ ලිපි පෙළක් හරහා ඉදිරිපත් කිරීමේ තවත් අභිලාෂයක් වූයේ එකම මූලයකින් පැන නැග විකාශනය වූ අප ගේ පාරම්පරික උරුමයන් සොයා යෑමේ ආශාවක් පාඨකයා තුළ ඇති කරවීම ද​? සබැවින්ම “අයාලේ ගිය සිතක සටහන්” යැයි නම් කිරීමෙන් තිස්ස අබේසේකරයන් කෘතියට ලබා දෙන්නේ උත්‍ප්‍රාසාත්මක අලංකාරය කි.

– අමා නයනාදරී සිරිවර්ධන –
19-07-2020

ස්වතන්ත්‍ර සිනමා ගීත​ සම්ප්‍රදායයක් කරා ගමන් මග පිළිබඳ කෙටි විමසුමක්…

ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත සංගීතවේදීන් දෙපළ සිංහල ගීත සම්ප්‍රදායයක් සඳහා නැවුම් ආරාම්භයක් ලබා දෙන්නේ එක් පසෙකින් ඉන්දියානු අනුකාරකවාදී ගීතය ද, අනෙක් පසින් බටහිර ආර යනු හුදු බයිලා ගීතය යැයි ද ඇදහූ සමයෙක දී බව​ ගනුෂ්ක රන්දුල​ මහතා ප්‍රකාශ කරයි​. ආනන්ද සමරකෝන් සූරීන් ජන කවිය සහ​ වංග සම්ප්‍රදයයෙන් ද , සුනිල් සාන්තයන් ඉන්දියානු රාගධාරි, ජන ගී සහ බටහිර ආර සම්මිශ්‍රණයක් තුළින් ද​ අනුප්‍රාණය ලැබ මෙකී නව​ මාර්ගයට අවතීර්ණ විය​.

“බෙංගාලය අද පවතින ජනප්‍රිය සරල සංගීතය ආරම්භය පැරණි ජන කවියෙන් ම ඇති වූවකි. එයට පුරෝගාමීව කටයුතු කළ තාගෝර් මහ කිවිඳා වැනි අය ජන කවියටම නව පණක් දී එහි ගැබ්ව ඇති දේශීය ඌරුව නොසිතන පරිදි එයට හැඩ ගැසූහ. පසුව භාරතයේ ශාස්ත්‍රීය සංගීතයේ ද ආධාරය ඇතිව මෙය සකස් වූ නමුත් අද දක්වා ම එහි වූ වංග ඌරුව රඳා පවතී. …ලංකාවේ ද එවැන්නක් අපට කළ හැකි වූ නමුත් අද එයට විශාල බාධාවක් වී තිබෙන්නේ භාරතයෙන් ගලා එන හින්දුස්තානි සරල සංගීතයයි. අමාරුදේ කිරීමට වෙහෙස දරා ඉන් සැබෑ ප්‍රතිඵල ලබා ගන්නවාට වඩා ලෙහෙසි පහසුව සලකා තැටි හා චිත්‍රපට මාර්ගයෙන් අප රටට වැල නොකැඩී එන මේ හින්දි සරල ගී උපුටා ගැනීමට කවුරුත් පුරුදු ව සිටිති. එම ගීත ඉතාමත් රසවත් බව අපට නොකියා බැරි නමුත් ඒවා සදහටම උපුටා ගැනීමට පුරුදු වුවහොත් අපට අපගේ යුතුකමක්ව ඇති දේ නියමිතව කිරීමට එය බාධාවක් වේ. තැටි ගත කිරීමට හෝ චිත්‍රපටයකට යෙදීමට හෝ ගුවන් ගැන්වීමට හෝ ගීතයක් උවමනාවූ විටකදී හෝ කෙළින් ම හින්දි ගී උපුටා ගැනීමට දුවන්නේ නම් එය කලින් සඳහන් කළ පරිදි සිංහල සංගීතයක් සකස් වෙන්නේ කෙසේද?

…..අද භාරතයේ සංගීතඥයෝ අපට සිනාසෙන්නේ මේ නිසා ය. තමුසෙලාට අපේ ගී සිංදු නැත්නම් උඩ බලා ඉන්ටයි වෙන්නේ යයි ඒ උදවිය කියන්නේ අපි ඒ වැරැද්ද කරන නිසයි. ඒ අය තමන්ගේ ජනප්‍රිය ගීත වෙන කාගෙන්වත් උපුටා නොගෙන වෙහෙස දරා ස්වඋත්සාහයෙන් පිළියෙල කරගන්නේ නම් අපට ද, ඊට ආරම්භයක් වශයෙන් එසේ කිරීමට බැරි කමක් නැත.”

මේ ආනන්ද සමරකෝනුන් විසින් කරන ලද ප්‍රකාශයෙකි. හින්දි ගී තනු වල ඇති මියුරු බව ඔහු ප්‍රතිකෂේප නො කරයි.එහෙත්, ඔහු ගේ ප්‍රකාශය අනුව බලන කළ කෙ තරම් මිහිරි තනුවක් වුව ද​, අර්ථ රසයක් සහ​ නාද රසයක් ජනිත කළ ද​, භාවාත්මක ගායනයකින් අප සවන් පිනා ගිය ද​​​, පහසුව පිණිස කොහෙන් හෝ රටකින් ගත් තනුවකට​ වචන දමා ඇත්නම් එය කිසිසේත්ම​ විශිෂ්ට නිර්මාණයක් ලෙස නම් කළ නොහැකි ය​. එවැනි නිර්මාණ සිංහල ගීතය පසුබෑමක් කරා ගෙන යන හෙයිනි. මේ කාරණය​ පිළිබඳව​ තව දුරටත් විමසා බලමු.

ඉහත කී ප්‍රකාශය පරිදි, සමරකෝනුන් විසින් දේශීය අනන්‍යතාවය ඇති ස්වතන්ත්‍ර​ ගීත රැසක් ද නිර්මාණය කෙරෙනවා. සුනිල් සාන්තයින් වංග ස්වරූපයෙන් ද මිදුණු ස්වීය ගී රැසකින් සිංහල ගීතය සුපෝෂණය කිරීමට ඉදිරිපත් වන්නේ ද​ ආනන් ද සමරකෝනුන් ලබා දුන් ඇරැඹුම ඔස්සේ යමින් මේ අවදියේ දී මයි.

මෙම පෙර ගමන්කරුවන් ගේ මැදිහත් වීමෙන් ආරම්භ වූ දේශජ ලක්ෂණ ප්‍රකට කරන​ “ස්වතන්ත්‍ර සිංහල ගීත​ සම්ප්‍රදායයක් බිහි කිරීමේ චින්තනය” සිනමාව තුළට ද ගලා ආවේ ය​.

වර්ෂ ​1947 න් ඇරැඹි සිංහල සිනමාවේ මුල් යුගයේ දී, ගීතයට චිත්‍රපට තුළ වැඩි ඉඩක් වෙන් කෙරුණත්, මුල් තැන ලැබී තිබුණේ තනුව හා සංගීතයට බව එම යුගයේ සිනමා ගීත නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙනවා. 50 දශකයේ දී සිංහල සිනමාව පිහිටා තිබුණේ “වට්ටෝරු සිනමා” ආකෘතියක් තුළයි. ‘සුජාතා’ (1953) චිත්‍රපටය වට්ටෝරු සිනමාවේ උපත ලෙසත් සැලකෙනවා. බොහෝ ගීත නිර්මාණය වුණේ හින්දි/දෙමළ ගීත තනු තුළට සිංහල වදන් යෙදීමෙන්. ඒ හැර සිංහල සිනමාව දකුණු ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට නතුව පැවැතුණා. අතරින් පතර ස්වතන්ත්‍ර ගීත තිබුණත්, ආනන්ද සමරකෝන් වැනි ගී පද රචකයන්ගේ දායකත්වය ලැබුණත් (උදා: සුජාතා-1953, සැඩ සුළං-1955) මේ ගීත සාහිත්‍යමය වටිනාකමින් එතරම් දියුණු තත්ත්වයක පැවැතුණේ නැහැ. සිනමා ගීතය පමණක් නොව, ඇඳුම් පැළඳුම්, කථා විලාශය, රඟපෑම් මේ සියල්ලෙහි විද්‍යාමාන​ වූයේ අනුකාරක ශෛලියක්. ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් “කලාත්මක ධාරාවේ ප්‍රථම චිත්‍රපටය” නිර්මාණය කරමින් සිංහල සිනමාවේ අඳුරු යුගය තුළ රිදී රේඛාවක් (1956) අඳින්නේ මෙවැනි පසුබිමක් තුළදී යි. මේ දශකය පුරා තිරගත වූ චිත්‍රපට අතුරින් සිනමා ගීතයෙහි කැපී පෙනෙන සාහිත්‍යමය ගුණයක් ප්‍රකට කළ චිත්‍රපට​ ලෙස දැක්විය හැක්කේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා ගී පද රචනයෙන් දායක වූ ‘රේඛාව’ (1956) සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ දායක වූ ‘දෛවයෝගය’ (1959) චිත්‍රපට යි. මානවසිංහයන්, මර්සලින් ජයකොඩි පියතුමන්ගෙන් ඇරැඹුණු තනුවට හා සංගීතයට එහා යන, සිනමා ගීතය ‘රේඛාව’, ‘දෛවයෝගය’ හරහා විත් ‘රන්මුතු දුව’ (1962) දී ඉහළම තැනකට එනවා. මේ චිත්‍රපට වලදී සිනමා ගීතයට කාව්‍යමය ස්වරුපයක් ලැබෙනවා.

මෙසේ හැටේ දශකය ආරම්භයේ දී තිරගත වූ ‘රන් මුතු දූව’ (1962) චිත්‍රපටයත් සමගම, සිංහල සිනමාව බෙහෙවින් වෙනස් මගක් ගන්නවා. එය​ සිනමා සංගීතයෙහි කැපී පෙනන සලකුණු සටහන් කළ දශකයක්. මේ දශකයෙහි දී ‘ගැටවරයෝ’ (1964, පණ්ඩිත් අමරදේව), ‘සාරවිට(1965, පණ්ඩිත් අමරදේව)’, ‘පරසතුමල්’(1966, ලයනල් අල්ගම​), ‘සීතල වතුර; (1966,ප්‍රේමසිරි කේමදාස​ ), ‘සත් සමුදුර’(1967, සෝමදාස ඇල්විටිගල​), ‘දෙලොවක් අතර’ (1966, පණ්ඩිත් අමරදේව) , ‘රන් සළු’ (1967, පණ්ඩිත් අමරදේව), ‘රෑන ගිරව්’ (1967, ප්‍රේමසිරි කේමදාස )’, ‘හන්තානේ කථාව’ (1969, ප්‍රේමසිරි කේමදාස), ‘මී මැස්සෝ’ (1969, ප්‍රේමසිරි කේමදාස ), ‘වැනි කලාත්මක ධාරාවේ චිත්‍රපට ගණනාවක් හෙළ සිනමා ඉතිහාසයට එකතු වෙනවා. මේ හරහා භාව පූර්ණ චිත්‍රපට ගීත රාශියක්ද සිංහල​ ගීත සාහිත්‍යයට දායාද වෙනවා. විශේෂයෙන්ම මහගම සේකර, ධර්මසිරි ගමගේ වැනි ගී පද රචකයන්ගේ නිර්මාණ තුළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට දෙබස් වලින් ප්‍රකාශ කළ නොහැකි දේ සංක්ෂිප්තව ගීතයක් හරහා ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමේ ප්‍රවණතාවයක් ද​ දැකිය හැකි යි. ‘ගම් පෙරළිය’(1963) , ‘ගොළු හදවත’ (1968) වැනි ගීත වලින් තොර චිත්‍රපට නිර්මාණය වීමත් විශේෂත්වයක්. කේමදාසයන් ගේ සිනමා ආගමනයෙන් ‘ගොළු හදවත’ චිත්‍රපටය හරහා හිස් තැන් පිරවිමකට එහා ගිය, ආදරය වැනි සියුම් භාවයන් ප්‍රකාශ කෙරෙන්නා වූ පසුබිම් සංගීතයක් සිනමාවට හඳුන්වා දෙන්නේත් 60 දශකය තුළ දී යි. මේ චිත්‍රපට වල දී අද්විතිය සංගීත​ අධ්‍යක්ෂණයෙන් දායක වූ පණ්ඩිත් අමරදේව​, ලයනල් අල්ගම​, සෝමදාස ඇල්විටිගල​, ප්‍රේමසිරි කේමදාස වැනි සංගීතවේදීන් අනුකාරකවාදී බලපෑමෙන් මිදී, සුපිරිසිදු ස්වතන්ත්‍ර ගීත රැසක් ක්‍ෂේත්‍රයට දායාද කිරීමට සමත් වෙනවා. මේ අතරිනුත් ‘දෙලොවක් අතර​’ චිත්‍රපටය තුළ පණ්ඩිත් අමරදේවයන් යක් බෙරය වැනි සාම්ප්‍රදායික තාල වාද්‍ය භාණ්ඩද සමඟින් ඉදීරිපත් කරන​ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය කාලයට සාපේක්ෂව බෙහෙවින් ඉදීරිගාමී ලක්ෂණ පෙන්නුම් කරන බව මගේ පෞද්ගලික වැටහීම යි.

ප්‍රේමසිරි කේමදාසයන් ගේ පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් තිරගත වූ 1966 දී තිරගත කරන ලද ‘සැනසුම කොතැනද’ චිත්‍රපටය පිළිබඳව ද විශේෂ සඳහනක් කළ යුතු වෙනවා. ‘ආදරයේ රන් විමනේ’, ‘සුළං කුරුල්ලෝ’, ‘සංසාර ගමනේ තණ්හා ආශා’ වැනි එදා සිට අද දක්වා එක සේ රසිකයින් අතර ජනප්‍රිය වූ නිර්මාණ ගීත සාහිත්‍යයට පිරි නැමුණේ මෙම චිත්‍රපටය හරහා යි. සිනමා ගීතය පමණක් නොව​, පසුබිම් සංගිතය අතින් සලකා බලන කළ ද​, එය​ එතෙක් චිත්‍රපට වල නො දකින ලද මානයන් කරා ප්‍රෙක්ෂකයින් රැගෙන ගිය බවට විශේෂ විචාරක ඇගයුමට පාත්‍ර වන චිත්‍රපටයක්.

70 සහ 80 දශකවල සිනමාවේ ද බොහෝ දුරට පිළිඹිබු වන්නේ මෙකී ප්‍රවණතාවයේ ම දිගුවක්. වර්ෂ​ 1970 දී තිරගත වූ ‘බක්මහ දීගේ’ චිත්‍රපටය හරහා සෝමදාස ඇල්විටිගලයන් ලබා දෙන්නේ හොඳ ආරම්භයක්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වන , ‘අහස් ගව්ව’ (1974), ‘බඹරු ඇවිත්’ (1978) , ‘වසන්තයේ දවසක්’ (1979), ‘හිඟන කොල්ලා(1979), ‘හංසවිලක්’ (1980) , සරත් දසනායක මහතා සංගීතය මෙහෙය වූ ‘දුහුළු මලක්’ (1976), ‘අමල් බිසෝ (1979) , රෝහණ වීරසිංහ මහතා ගේ දායකත්වය ලැබූ ‘ආදර හසුන’ (1986) වැනි චිත්‍රපට ද​ උදහරණ ලෙස දැක්විය හැකියි. ඒ අතර සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනයන් සංගීත අධක්ෂණය කළ ‘සිකුරුලියා’ (1975), වික්ටර් රත්නායක මහතා මියැසි රටා මැවූ ‘හුලවාලි’ (1974), ‘සරුංගලේ (1979)‘, සහ නිමල් මෙන්ඩිස් මහතා ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ පිළිවෙළින් 1975 දී සහ 1978 දී තිරගත වූ ‘කළු දිය දහර’ සහ ‘අහසින් පොළවට‘​ වැනි චිත්‍රපට තුළ ද​ බෙහෙවින් කලාත්මක ලක්ෂණ​ ප්‍රකට කළ ගීත හමු වේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ නව යොවුන් වයසේ ළමුන් අරබයා කළ​ ‘මඩොල් දූව’ (1976) විත්‍රපටයෙන් ‘කොහේද කොහේද අපේ ලොවක්‘ වැනි අතිශය නිර්මාණාත්මක​ ස්වතන්ත්‍ර ගීතයක් බිහි වන්නේ පණ්ඩිත් අමරදේවයන් ගේ තනු නිර්මාණයෙන් සහ ප්‍රේමලාල් දළුවත්ත මහතා ගේ සත්සර මුසුවෙනි.

මේ කාලවාකවානුවේ දී වාණිජ ධාරාවේ චිත්‍රපට තුළින් ද​ සිනමා ගීත රැසක් බිහි විය​. නමුත් සරත් දසනායක​,ප්‍රේමසිරි කේමදාස වැනි සංගීතවේදීන් දායකත්වය දුන් වාණිජ චිත්‍රපටවල​ තිබුණේ ස්වතන්ත්‍ර තනු. එයින් විදහා දැක්වෙන්නේ මේ සංගීතවේදින් ගේ දැක්ම සහ එය ක්‍රියාත්මක කිරීම උදෙසා නිෂ්පාදකවරුන් ගේ බලපෑමට එරෙහිව ක්‍රියා කිරීමට ඔවුන් තුළ තිබූ ​ශක්තිය යි. ඒ අනුව නිෂ්පාදකවරුන් ගේ බලපෑමට යටත්ව ක්‍රියා කිරීමට සංගීත අධ්‍යක්ෂකවරුන්ට සහ ගායක ගායිකාවන්ට සිදු වූ බවට ඇතැමුන් ගෙනෙන තර්කය ප්‍රතික්ෂේප කිරීමට සිදු වෙනවා.

සිය ලිපිය අවසානයේ දී ආනන්ද සමරකෝන් මහතා මෙසේ ද ප්‍රකාශ කර සිටි;
ගීතයක තනුව හින්දි වුවත් වංග වුවත් එය රසවත් නම් උපුටා ගත්තාට වරදක් නැතැයි බොහෝ දෙනා කියන නමුදු එය වැරදි අදහසකි. එසේ කීමෙන් ඒ වරද තව තවත් දුරට කෙරෙන්නට පුළුවන. එය පණින රිළවුනට ඉණිමං බැන්දාක් වැනි වේ. අවසානයේ දී ඒ රෝගය අසාධ්‍ය විය හැක.

සුනිල් සාන්තයන් ‘රේඛාව​​’, පණ්ඩිත් අමරදේවයන් ‘රන්මුතු දූව’, කේමදාසයන් ‘සැනසුම කොතැනද​’ තුළින් නව ඇරඹුමක් නොදෙන්නට​, ඒ හරහා ඉහත නම් සඳහන් චිත්‍රපට ආදී නිර්මාණ​වල ඇතුළත් සිනමා ගී රැස​ බිහි නොවන්නට​, ආනන්ද සමරකෝන් මහතා ප්‍රකාශ කළ පරිදි සිනමාවෙන් අපට උරුම විය හැකිව තිබුණේ උවමනා විටෙක දී දිව ගොස් හින්දි තනු උපුටා ගනිමන් පද ඇමිණූ ගීත ගොන්නක් පමණි. අපට පෙන්වා දිය හැකිව තිබුණේ විදේශීය අනුකාරකවාදී ගීත සමූහයක් පමණි. මෙකී අනුකාරකවාදයෙන් සිනමාව මුදා ගෙන, එහි ඉතාම වර්ධනීය අවස්ථාවක් පිළිඹිබු කළ 70-80 දශක වල දී පවා විවිධ ශිල්පීන් ගේ අනුග්‍රහය යටතේ හින්දි තනු වලට වචන දැමූ ගීත චිත්‍රපට ඔස්සේ (බොහෝ චිට වාණිජ චිත්‍රපට හරහා) ගලා ඒම​ නැවතුණේ නැත​. ආනන්ද සමරකෝනුන් ගේ සංකල්පනාව තුළින් ගම්‍ය වන්නේ, විශිෂ්ට නිර්මාණයක් ලෙස නම් කිරීමට නම් එය, ​ ක්ෂේත්‍රයේ අවගමනයට නොව , ප්‍රගමනය සඳහා දායක වන නිර්මාණයක් විය යුතු බව යි. මාර්ගය සහ ඵලය යැයි දෙකක් නැත. මාර්ගය ම ඵලය වේ යැයි බුදු දහමේ එන ඉගැන්වීම ද මෙහි දී මට සිහිපත් වේ.

නිෂ්පාදකවරුන් ගේ බලපෑම් වලට නතු නො වී, නිසි දැක්මකින් යුතුව​ ස්වදේශික අනන්‍යතාවය සටහන් කළ​ සිනමා ගී රැසක් අපට දායාද කිරීම සඳහා කැප වීමෙන් කටයුතු කළ​ සංගීතවේදීන්, පද රචකයින්, සහ ගායක ගායිකාවන් ඇතුළු සියලුම ශිල්පීන්ට​ අප ගේ ගෞරවය හිමි විය යුතුම ය​. කාලයට​ සාපේක්ෂව එය උඩු ගං බලා යාත්‍රා කිරීම කි. නිසි දැක්ම සහ ශක්තිය ඒ සඳහා ශිල්පියකු සතු විය යුතුම වූ​ ගුණාංග වේ.

මෙහි ඉදිරිපත් කිරීමට ම විසින් තෝරා ගත් ‘සීතල වතුර’ (1966) චිත්‍රපටයේ එන “මංගල දිනයේ රස මධු පානේ” ගීතය, විදේශීය ග්‍රහණයෙන් සිනමාව මුදවා ගනිමින් පැවැති අවදියක අප වෙත​ දායාද වූ ස්වතන්ත්‍ර සිංහල ගීයක් සඳහා කදිම නිදසුනක් සපයයි. ධර්මදාස වල්පොල කියූ සැණින් අපට මතක් වන්නේ සිංහල හඬකින් ගැයුණු අනුකාරක ගීත ගොන්නක්. නමුත්, ලකිඳු පීරිස් සොයුරා වරෙක ප්‍රකාශ කළ පරිදි, ඔහු ගේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය යුත්තේ 1961-70 කාලය යි. මෙරට සිංහල සංගීතය නව මඟකට යොමු කරවීමට මුල් වූ ශිල්පීන් පිරිසක් අතින් බිහි වූ නිර්මාණ සඳහා ඔහු ගේ දායකත්වය ලැබෙන්නේ මෙම යුගයේ දී බැවින්.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ට ආවේණික සාහිත්‍යමය ගුණයෙන් අනූන අතිශය පැහැබර​, සරල බස් වහර ගීතය පුරාම කැපී පෙනෙනවා;

මංගල දිනයේ රස මධු පානේ
ඉවකල කොමලිය කුලගෙට එනවා

ඇගේ සිනහවේ හඬට අතු පුරා
කිකිණි සැලේ මුළු ගම්මානේ
කුසුම් වැසි වසී ගම්මානේ

මිහිර ලබා පෙම් රහස් කිය කියා
හඬ ද නැගේ දිය වැල් ගීයේ

සීතල වතුරේ කුමුදාකාරයේ
ඇයගේ දිගු නෙත් පිළිබිඹු වෙනවා

තුරුළු වුණාවේ වලාකුළු එතී
ඈත පෙනෙන මහ කඳු ගානේ

සිහින් තරඟ ජල තලා මත නැගී
ඇගේ සෙනෙහෙ රසයට යාවේ
ඇගේ සෙනෙහෙ රසයට යාවේ

ගීතයක් නිර්මාණය කිරිම යනු, විදෙස් රටකින් සොයා ගත් තනුවකට වචන දමා සංගීතය මුසු කිරීමක් නො වන බව මොනවට විද්‍යාමාන කරවන මෙහි ස්වර රටා නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන්ගෙන්.

– අමා නයනාදරී සිරිවර්ධන –
23-07-2020

ගීතයට මෙතැනින් සවන් දෙන්න​:

මංගල දිනයේ රස මධු පානේ

ජනප්‍රිය සිංහල සංගීතය – ආනන්ද සමරකෝන් ලිපිය​::

https://kathika.lk/2009/09/12/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA/?fbclid=IwAR0NfsHZ4RT4i1h_Y0ooNZspv3g8I-yDCkUY-V9iHCnwmNFAU1aHw4WYkFg#more-931

පසු සටහන​:
මේ ලිපිය වෙන තැනක අනුකාරක ගිත පිළිබඳව දිගින් දිගටම ගිය වාදයකට පිළිතුරු බැඳීමක්. ලිපියෙන් මූලිකව අරමුණු කළ කාරණා දෙකක් තිබෙනවා. ඒවා ගැන​ කෙටියෙන් සඳහන් කළොත් මෙසේයි;ඉන් පළමුවැන්න​ , තනුව කොපි වුවත් සංහල වචන දමා ගායනා කිරීමෙන් පසු මිහිරක් ලබා දේ නම් කම් නැතැයි යන්න ඇතැමුන් විසින් ගෙනා තර්කයක්. සිනමා සංගීතය පමණක් නොව​, සමස්ත සිංහල සංගීතයම​ ඉන්දියානු ග්‍රහණයට නතුව පැවැති සමයක දී , ආනන්ද සමරකෝන් සූරීන් විසින් ම ඒ සම්බන්ධයෙන් ලියූ ලිපියක් හරහා එය වැරැදි තර්කයක් බව පෙන්වා දීම එක් අරමුණක් වුණා.
දෙවැන්න, නොදැනුවත්කම ප්‍රකාශ කරන​ ඉතාමත් බොළඳ තර්කයකට පිළිතුරු බැඳිමක්​. 40 දශකයෙන් ආරම්භ වන සිනමා ස්වත්‍රන්ත්‍ර ගීතය 50 දශකය පුරා හැල හැප්පීම් වලට​ බඳුන් වී 60-70 දශක වල දී ඉහළම තැනකට එනවා. එවැනි තැනකට ස්වතන්ත්‍ර නිර්මාණ ගෙන එන්නේ ශිල්පීන් ගනණාවක විසින් කරන ලද කැප විමෙහිත් අප්‍රතිහත ධෛර්යයේත් ප්‍රතිඵලයක් ලෙසින්. නමුත්, අවාසනාවට 70, 80 දශක වලදීත් පුළුල් දැක්මක් නැති ශිල්පීන් නිසා කොපි ගීත බිහි වීමේ ප්‍රවණාතාවයක් දිගින් දිගටම දැකිය හැකියි. එම ක්‍රියා කලාපය ක්ෂේත්‍රයේ පසු බෑමකට දායක වූවක්. ඇතැමුන් කියා හිටීයේ එය නිෂ්පාදක වරුන් ගේ බලපෑම නිසා සිදු වූ වක් බවයි.
40, 50 වැනි දශක වල දී නිෂ්පාදක වරුන් ගේ බලපෑමක් තිබූ බව වටහා ගත හැකියි. නමුත්, 60 දශකය වන විට නිෂ්පාදක වරුන් ගේ බලපෑමෙන් සිනමාව මුදවා ගන්නා අවදියක පැවතුණේ. 60 දශකය අග භාගය වන විට සංගීත අධ්‍යක්ෂකවරුන්ට සෑහෙන පමණ ස්වාධීන තීරණ අනුව කටයුතු කිරීමේ අවස්ථාව ලැබී තිබුණා. ඉන් පසුවත් කවුරුන් විසින් හෝ අනුකාරක ගීත සඳහා දායකත්වය ලබා දෙනවා නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ දැක්මක් නොමැතිකම සහ හැකියාවක් නැති කම බව යි මගේ අදහස​. මේ කරුණු පෙන්වා දීමයි මෙම ලිපියෙහි මුඛ්‍ය පරමාර්ථය වුයේ.60 දශකය පුරා තිරගත වන ලද ස්වතන්ත්‍ර නිර්මාණ රැගත් චිත්‍රපට සඳහා උදාහරණ දක්වා සිටියේ ඒ නිසයි. එයින් මට කියන්නට අවශ්‍ය වූයේ නිෂ්පාදකවරුන් ගේ බලපෑමට අවනත නොවූ චිත්‍රපට​ අධ්‍යක්ෂකවරුන් සහ සංගීත අධ්‍යක්ෂකවරුන් 60 දශකය පුරාමත් සිනමාවේ සිටි බවයි. ලිපියට ඇතුළත් කරන ලද්දේ මගේ ලිපියෙන් අරමුණු කරන දේ සඳහා චිත්‍රපට නියෝජනයක් පමණක් බව සිහිපත් කරන්න කැමැතියි. නම් ලැයිස්තුව මීට වඩා ඉතා දිගු බව සැබෑවක්. නමුත් ස්වතන්ත්‍ර ගීත සහිත චිත්‍රපට සියල්ලම මෙහි ඇතුළත් කිරීම ප්‍රායෝගිකව අපහසුයි වගේම එය අනවශ්‍ය යි. එයින් සිදු වන්නේ අනවශ්‍ය පරිදි ලිපිය දිගු වීමක් පමණයි. කෙසේ නමුත්, සිසිර සේනාරත්න මහතා ගේ ඉතාම මියුරු තනු සහ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘හඳපාන​’ (1965) ලැයිස්තුවෙන් මග හැරී යාම කණගාටුවට කාරණයක්. ඔහු ගේ නම ඇතුළත් වුණි නම් නියෝජනය බොහෝ දුරට සම්පූර්ණ වෙන හෙයින්. “My dreams are roses” වැනි ගීත අඩංගු ෂෙල්ටන් ප්‍රේමරත්න ගේ ‘රෝමියෝ ජුලියට්’ චිත්‍රපටය ද එසේ ම මග හැරුණු තවත් චිරපටයක්. නමුත්, එම මග හැරීම් මගේ ලිපියේ මුඛ්‍ය අරමුණට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත​.


මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ ජන්ම දිනය නිමිත්තෙන්…

කලා රසාස්වාදය කෙරෙහි මා නැඹුරු වන්නට වූයේ මගේ මව නිසා ය​. ඇය විවිධ​ පද රචකයින් ගේ ගී පබැඳුම් වල ගැටපද විවරණය කෙරෙමින්, පදරුත් වල සියුම් තැන් පෙන්වමින් වරින් වර කරන ලද​ විස්තර වර්ණනාවන් ගීතය කෙරෙහි කුඩා මා ආසක්ත කරවි ය​. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සේ ම​, නැසීගිය කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර​, අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි රචකයින් ගේ නිර්මාණ ගැන අම්මා අප සමග බොහෝ විට දොඩමළු වූවා ය​​.​ ගී රස වින්දනය ගැන​ එසේ අම්මාගෙන් අත් පොත් තැබූ මා, කෙමෙන් මුහුකුරා යද්දී මේ එක් එක් ගී පද රචකයින් ගේ අනන්‍යතා ලක්ෂණ​ හඳුනා ගන්නට​ උත්සාහ කළෙමි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ නිර්මාණ ප්‍රිය කිරීමටත් අනෙකුත් ගී පද රචකයින් අතුරෙන් ඔහු තුළ මා දකින විශේෂත්වයට හේතු පැවසීමත් තරමක් අපහසු කටයුත්තෙ කි. එහෙත්, ආරියරත්නයන් ගේ ජන්ම දිනය යෙදෙන අද දින​ ඒ පිළිබඳ කෙටි හෝ සටහනක් තැබීම යුතුකමක් කොට සලකන හෙයින් හේතු කිහිපයක් සැකෙවින් විමසා බැලීමට අදහස් කරමි.

සුනිල් ආරියරත්න මහතා ම පවසන පරිදි ඔහු විසින් පද බැඳ​ ඇත්තේ කරුණාරත්න අබේසේකර වැනි අනෙකුත් ගී පද රචකයන්ට​ සාපේක්ෂව සංඛ්‍යාත්මකව​​​ සීමිත​ (හත් සියයක් තරම් වන) ගීත සංඛ්‍යාව කි. ඕනෑම කලාකරුවකු ගේ නිර්මාණ අතර ගුණාත්මකභාවය සැලැකූ කළ​​ සාපේක්ෂව දුර්වල මට්ටමක​ ඇති​ නිර්මාණ තිබීම ද සාමාන්‍ය තත්ත්වයක්. නමුත්, අනූව​ දශකයට පෙර​ නිර්මාණය වූ සුනිල් ආරියරත්න පදමාලා සියල්ලම විශ්ලේෂණය කර බැලුව ද​, සාහිත්‍යමය පාර්ශ්වය දුර්වල මට්ටමක ඇතැයි සැලැකිය හැකි ගීත ඉතා විරල වෙයි​. ඔහු ගේ පද මාලා තුළ “සක්ක පද” ඇති බවක් මා මෙතෙක් දැක නැත. සිතට ක්ෂණිකව නැගුණු අදහසක් හදිසියේ පද වැලකට නැංවීමට උත්සාහ කිරීම​​ හේතු කොට ගෙන, ආරම්භය සහ අවසානය අතර නො ගැලපීමක් ඇති වූ අවස්ථාවක් හමු වී නැත. මුල මැද අග ගලා යාමක් නැතිව කුමක් හෝ අමුණා හමාර කළ තැනක් හමු වී නැත​. මේ සුනිල් ආරියරත්නයන් ගේ ගී පදමාලාවන් වල මා දකින විශේෂත්වයට​​ දිය හැකි සාධාරණ හේතු කිහිපයක් පමණි. ප්‍රස්තූතයට ගැලපෙන බස් වහරකින් සුපෝෂණය වී තිබීම​, සුගායනීය පද වැලක මිහිර විදින්නට සැලැස්වීම වැනි කාරණා පිළිබඳව​ අමුතුවෙන් කිව යුතු නැතැයි සිතන්නෙමි.

ඒ සියල්ලටම​ වඩා මා සිත් ගන්නා අනෙක් කරුණ නම්, ඔහු විසින් වචන දැමූ අනුකාරක ගී වැනි අවරගණයේ ගීතයක් “මා දන්නා තරමින්” ඔහු ගේ ගී පද රචනා සමූහය අතර නොමැති වීම යි​. ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දැක්මක් සහිතව ක්‍රියා කරිම නිර්මාණකරුවකු තුළ​ අත්‍යාවශ්‍යයෙන් ම තිබිය යුතු විශේෂ ගුණාංගයක් ලෙස මම දකිමි. ලංකාවේ දේශපාලන වාතාවරණය තුළ පැවැති එක්තරා අඳුරු යුගයක දී ඇති වුණු කැරැල්ලක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වුණු “විරෝධාකල්ප​ ගී” නමින් හැඳින්වෙන ගීත සමූහය පිටුපස තිබෙන්නට ඇති අරමුණු පිලිබඳව​ මට පෞද්ගලිකව විවේචනයක් ඇත​. මතවාදීමය වශයෙන් එකඟ විය නො හැකි වුව ද​, එවැනි දේශපාලනික වශයෙන් විරුද්ධ ආකල්ප ඇති ගීත වල දී පවා විශද වන​​ රචනා කෞශල්‍යය​ එදාත් අදත් මා මවිතයට පත් කෙළේය​​.

“පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව​ පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී”

නාද රසය හැරුණු කොට​, උපමාලංකාර සැරසිලි වලින් විසිතුරු වූ පදමාලාව තුළ ගැබ් වී ඇත්තේ කාව්‍යමය රසය කි. “මේ ජීවන ගංගාධාරයේ”, “සඳළු තලේ හිඳ අරුණු උදේ”, “කුමරි බඹසර පරම පිවිතුරු” වැනි ගීත පවා පද අර්ථය​ නොගැඹුරු හුදු දේශපාලන සටන් පාඨයක ස්වරූපය ගත්ත ද​​, සාහිත්‍යමය පාර්ශ්වය වින්දනීය මට්ටමක පවති යි. සාහිත්‍ය පාඩමක් කියා දෙන කෘති වැනි වූ “හන්තාන අඩවියේ” , “පෙරහැර එනවා කස පුපුරනවා”, “බෝ මැඩ වගුරන” ආදී ගී ලියන්නට සෑහෙන කවීත්වයක් තිබිය යුතුය​.

“ගිනි මද්දහනේ දැවී නිවී යයි
අගිල් කපුරු දුම් සුවඳ ගිතෙල්
දවනා මුදලින් පින්වත් ජනයිනි
දැවෙනා මිනිසකු සුවපත් කළ මැන”

මර්වින් පෙරේරා, ඔස්ටින් මුණසිංහ​, රෝහණ වීරසිංහ​, සරත් දසනායක​, ස්ටැන්ලි පීරිස් ආදීන් ගේ නෙක වර්ණ සත්සර රටාවන්ගෙන් හැඩ ගැන් වූ මේ ගී අප හදවතේ භාවයන් අවදි කරව යි. එ තුළින් පැන නගින දේශපාලනික ආකල්පය​ අමතක කරදමා විඳින්නට ඉඩ හසර සලසවයි. මේ තරම් වියත් ලෙස බස හසුරුවමින් ගීත නිබන්ධනය කරන ආරියරත්නයන් මාක්ස්වාදී දේශපාලනය නම් ව්‍යාජය තුළ සිර වී සිටින හේතුව පාසැල් වියේ දී පවා මට අපැහැදිලි කරුණක් විය​.

තත්කාලීන සමාජයේ දේශපාලන, ආර්ථික පසුබිම නිර්මාණ තුළ පිළිඹිබු වීම නොවැළැක්විය හැක්ක කි. එදා රජයන් වල පැවැති මර්ධනකාරී වැඩ පිළිවෙල නිසා ඇති වූ තරුණ අසහනය කලා නිර්මාණ තුළට කාන්දු වීම සිදු වුණේ ගීත​ මාධ්‍යයේ පමණක් නොවෙයි. නවකතා, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට වැනි මාධ්‍ය තුළ ද​ එකී ප්‍රවණතාවය ම දකින්නට ලැබුණි. සුනිල් ආරියරත්න – නන්දා මාලිනී එකතුව තුළින් බිහි වූ විරෝධාකල්ප ගීත එසේ යුගයේ අවශ්‍යතාවයක් හේතු කොට ගෙන අවංක අරමුණකින් බිහි වුණා ද​, නැතහොත් හුදු වාණිජ අරමුණු තකා රැල්ල යන අතට මැස්ස බැඳීමක් ද​​ යන්න වෙනම සලකා බැලිය යුත්තකි​. එසේ කළ යුතු වන්නේ සන්දර්භය ද සැලකිල්ලට ගනිමින් පුළුල් චිත්‍රය අනුව විමසා බලමින් මිස, තම තමන්ට අවශ්‍ය තැන පමණක් හුවා දක්වමින් නොවේ.

කෙසේ වෙතත් කිසිවකුට හෝ අවශ්‍ය නම්, ‘පවන’ , ‘සත්‍යයේ ගීතය’ ආදී ඇල්බම වල හමු වන​ විරෝධාකල්ප​ ගී අතර ඇති සෘජු දේශපාලනික සටන් පාඨ රැගත් “දනන් රුහිරු බී” , “හන්තාන අඩවියේ”, වැනි නිර්මාණ​ ඉවත් කර විශ්ලේෂණය කළ ද​, සුනිල් ආරියරත්නයන් ගීත සහිත්‍යයට කළ සේවයෙහි අඩුවක් නොදැනෙනු ඇත​. සහිත්‍යමය වටිනාකමින් අනූන ගීත ඕනෑ තරම් ඔහු විසින් නිර්මාණය කරන ලද සරල ගී, සිනමා ගී සහ නාට්‍ය ගී අතර හමු වන බැවිනි.

සුනිල් ආරියරත්නයන් ගේ පද රචනාවන් වඩා ප්‍රිය කරන්නට වූයේ කුමක් නිසාදැ යි හේතු පැහැදිලි කරනුවට වඩා, සිංහල බස ඉගෙනීමට මා කෙරෙහි ආසාවක් සහ ඇල්මක් වැඩෙන්නට ඔහු ගේ ගී පද රචනාවන් ද​ බොහෝ සේ බලපෑවේ යැයි පැවසීම වඩා පහසුය​​. බස​ හැසිරවීමේ දේ ඔහු දක්වන නිපුණත්වය​ එ තරම් ම සියුම් ය​. අනුභූතිය නිරූපණය කිරීම පිණිස යොදා ගන්නා උපමා රූපකා දී කාව්‍යෝක්තීන් නො වරදින සුළු ය​.

සූර්යයා වි ඉන්ද්‍රදිගින් ඔබ පායනවා
තාරපතී මා අවරගිරෙන් සැඟ වී යනවා

සාහිත්‍යයේදී, ඉර, සඳ, තාරකාවන් උපමා රූපක ලෙස යොදා ගැනීම අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. සිංහල ගීතය තුළදී ද හුදෙක් අලංකාරය සඳහා, නැතහොත් යම් අදහසක් වඩා තීව්‍ර කර පෙන්වීම සඳහා ,එසේත් නැතිනම් යම් සිදුවීමක් වටහා ගැනීම පහසු වීම සඳහා මේ රූපක යොදා ගත් අවස්ථාවන් සුලබය. බොහෝ විට ගීතයේ මූලික අරමුණ කරා ලඟා වීමට රුකුල් දීම පිණිස ගීතයේ ඇතැම් තැන්හි දී යෙදුණා මිස, හිරු සහ සඳු හා බැඳුණු සංසිද්ධීන් උපමා රූපකයක් ලෙස යෙදෙමින් සමස්ත ගීතයේ හරය ඒ මත රඳා පැවැතුණු අවස්ථාවන් විරලය. ඉහත දැක්වෙන්නේ එවැනි අවස්ථාව කි.

අසූව​ දශකයෙන් පසු උදා වූයේ එදා යුගයේ ප්‍රවීණයන් ගේ නිර්මාණ උල්පත් ක්‍රමයෙන් සිඳී යන්නට පටන් ගත් කාල වකවානුව කි. එය සුනිල් ආරියරත්න මහතාට පමණක් සීමා වූවක් නො විය​. එය සියලු දෙනාට පාහේ පොදු වූ දෙයක් බව මගේ නිරීක්ෂණය යි. එහෙත්, එවකට​ එ නම්, අනූව දශකය මුල් යුගයේ , ජන වාර්ගික ගැටළුව​, වැලන්ටයින් දින සැමරුම්, මෙ රටට ගලා ආ බොලිවුඩ් චිත්‍රපට රැල්ල ආදී සාමාජීය ප්‍රශ්න පිළිබඳව සකච්ඡාවට බඳුන් කළ​ “නිලම්බරේ” වැනි ගීත ඇල්බම් තුළ පවා අතරින් පතර සාර්ථක නිර්මාණ හමු නොවෙනවා නෙවෙයි. “විහිදා කිරණ තුඟ තුළ ලෙව්” එවැනි ගීතය කි.

සංගීතඥයින් සහ ගී පද රචකයින් වැනි නිර්මාණකරුවකු විසින් කරන ලද කාර්යභාරය සලකා බැලීමේ දී, සිනමා සංගීතය​, වේදිකා නාට්‍ය​, ටෙලි නාට්‍ය​, ගීත නාටක​, මුද්‍රා නාට්‍ය ආදී කලා මාධ්‍ය ගණනාවක දී දක්වන ලද දායකත්වය සලකා බැලීම අප වැනි සාමාන්‍ය රසිකයින් විසින් පමණක් නොව, ඇතැම් විචාරකයින් අතින් ද බොහෝ විට අතපසු කරනු ලැබේ. එ මෙන්ම​, අනෙකුත් ශිල්පීන් ගේ නැගී සිටීමට අත හිත දීම , සිසු පරපුරක් ඇති කිරීම වැනි අවශේෂ කාරණා කෙරෙහි ද කිසිවකු හෝ සැලකිලිමත් වන්නේ කලාතුරෙකිනි. එතැන් හි ද සුනිල් ආරියරත්නයන් ලබා දෙන්නේ සැලැකිය යුතු දායකත්වය කි.

ඔහු ගේ අනුග්‍රාහකත්වය ලැබෙන්නේ පණ්ඩිත් අමරදේව​, මහාචාර්ය සනත් නන්දසිරි, වික්ටර් රත්නායක​, ගුණදාස කපුගේ, විශාරද නන්දා මාලිනී, නීලා වික්‍රමසිංහ වැනි විදග්ධ පරපුරේ ගායක ගායිකාවන්ට පමණක් නොවේ. එ කල ආධුනික තලයේ සිටි අබේවර්ධන බාලසූරිය​, බන්ධුල විජේවීර,​ කසුන් කල්හාර​, දයාන් විතාරණ​, නිරෝෂා විරාජිනී වැනි ගායක ගායිකාවෝද​ ඔහු ගේ ගී පද රචනා කෞශල්‍යයෙන් පල ලැබූවෝ වෙති. මෙසේ ආධුනික ශිල්පීන් ගේ නැගී සිටීමට ප්‍රවීණයකුගෙන් ලැබෙන සහාය කිසිසේත් සුළු කොට තැකිය හැකි නොවේ.

“සකුරා මල් පිපිලා” ඔහු ගේ පළමු ගුවන්විදුලි ගීතය යි. නමුත් ආරියරත්න මහතා පවසන පරිදි ගීත රචනයට ඔහු ගේ ප්‍රවිශ්ටය සිදු වන්නේ “කඩුපුල්” නම් ගුවන්විදුලි ගීත නාටකය රචනා කරමින්. මේවා​ ඔහු අතින් නිර්මාණය වන්නේ වයස අවුරුදු දා හතරක පාසැල් ශිෂ්‍යයකු ව සිටිය දී වීම​, ඔහු සසර පුරුදු කරගෙන ආ කුසලතාවයක් දැයි යන විමතිය​ අප තුළ ඇති කරවයි. “කඩුපුල්” ගීත නාටකය සංගීතවත් කරමින් සුනිල් ආරියරත්න නම් ආධුනිකයා ගේ , වඩා නිවැරැදිව කිවහොත් පාසැල් ශිෂ්‍යයා ගේ ගමනට අත් වැල සපයන්නේ ඒ වන විටත් ගුවන්විදුලියේ ප්‍රවීණ ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිටි සංගීතවේ දී ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් . එය​ ආධුනිකයකු ගේ නිර්මාණ ප්‍රවිශ්ටය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු විසින් අත දුන් තවත් අවස්ථාවක්. දයාරත්න රණතුංගයන් ගේ සහභාගිත්වයෙන් ආධුනික ගායක ගායිකාවන් රැසක් ගැයූ ගීත​ ගැන ද වෙනම කතා කළ යුතුව ඇත​. මේ සියලු දේ සලකා බලද්දී, “පහනින් පහන් සිය ගණනක් ඇවුළුවද – එ පහන් සිළෙහි අලු අඩු නොව දිලෙන ලෙද​” යනුවෙන් සුභාෂිතයෙහි එන කවි පදය මට නිතැතින් ම සිහිපත් වේ.

සිය නිසග හැකියාව මත ම​ රැඳී නො සිට, තමන් යෙදී සිටින විෂය ක්ෂේත්‍රය මහත් උත්සාහයෙන් වැඩි දුර හැදෑරීම තුළින් වඩ වඩාත් ඔප මට්ටම් කර ගනු ලැබූවන්, තමා සතු දැනුම් පද්ධතිය තව තවත් පුළුල් කර ගත් ශිල්පීන් “විදග්ධ කුලකය” ලෙස නම් කරමින් ඇතැම් රසිකයින් විසින් ගැරහුමට ලක් වීමේ ප්‍රවණතාවයක් අද වන විට​ ඇති වී තිබේ. මේ තත්ත්වය කිසි ලෙසකින් හෝ සිතා ගත නොහැකි, නරක පූර්වාදර්ශයක් සපයන ඉතාම කණාගාටුදායක තත්ත්වය කි. එසේ අපහාස මුඛයෙන් කතා කරන පිරිසට​, මේ විදග්ධ කලාකරුවන් විසින් සරල රස වින්දනයක් උදෙසා නිර්මාණය කෙරුණු “සරල ගීත” නම් වූ ගී විශේෂය උදෙසා කර ඇති සම්මාදම ද​ සුළු පටු නො වන බව නො වැටහෙන අරුමය කුමක් දැයි නො දනිමි. “සීත රෑ වසන්තේ” (ක්ලැරන්ස් විජේවර්ධන​/සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි) , “එක යායට මල් පීදුණු බිම් තීරේ” (සනත් නන්දසිරි) , “මේ ගුරු පාරේ මේ දොළ අයිනේ” (සනත් නන්දසිරි/පණ්ඩිත් අමරදේව​/) , “හිත හීලෑ නෑ” (වික්ටර් රත්නායක/බන්ධුල විජේවීර​),”මළවුන් ගේ නගරයේ” (සරත් බාලසූරිය​/අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී) “දෛවයෝගයකින් නොවේදෝ” (වික්ටර් රත්නායක​), “ගංගා එන්නකෝ ගංගා” (වික්ටර් රත්නායක / අබේවර්ධන බාලසූරිය​), “දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්” (පණ්ඩිත් අමරදේව​), “කුරුටු ගෑ ගී පොතේ” (නන්දා මාලිනී) එවැනි සරල ගීත සඳහා නිදසුන් කිහිපයක් පමණි. මෙවැනි ගී පදමාලා තුළ ඇති වටහා ගැනීමට අසීරු පදය කුමක්ද? මේවා භාෂා විශාරදයින්ට පමණක් වැටහෙන ගීත යැයි කිසිවකු විසින් හෝ හඳුන්වා දෙන්නේ නම්, එයින් පෙන්වන්නේ තමන්ට​ විවේක බුද්ධියෙන් පද වැලක් කියවා එහි යටි පෙළ තේරුම් ගැනීමට නො හැකි බව හැර​ වෙන කුමක් ද? සරල වුව ද ඒවා තුළ ගැබ් වී ඇත්තේ අප්‍රමාණ සංකීර්ණත්වය කි. ​සරල වචන භාවිතාවකින්​, විස්තර කළ නොහැකි ගැඹුරක් ඇති ගීතයක්, ඇසී නෑසී යන්නට නොව, යුග යුග ගණන් එක සේ ප්‍රේක්ෂක මනසින් ගිලිහී නො යන​ සරල ගීතයක් නිර්මාණය කළ හැකි වන්නේ තමන් ගේ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇත්තෙකුට පමණක් ය යන්න​ ගීත සාහිත්‍යය විමසා බලද්දී මට නිරීක්ෂණය වූ තවත් විශේෂ කාරණයක්. බොහෝ විට නිර්මාණාත්මක ලක්ෂණ ප්‍රකට කරන සරල ගීත බිහි වී ඇත්තේ විදග්ධ කුලකය යැයි අපහාසාත්මකව​ හැඳින්වෙන​ ශිල්පීන් ගේ පද, තනු සහ සංගීත රචනයෙන්. ජනප්‍රිය ගායක ගායිකාවන් ගේ සරල ගීත පිටුපස බොහෝ විට සිටින්නේ විදග්ධ කුලකය යි. එහෙයින් විදග්ධ​, ප්‍රබුද්ධ, ජනප්‍රිය වැනි භේද​ ඇති කිරීමේ අරුත මට නො වැටහෙයි.

සුනිල් ආරියරත්නයන් සංගීතය පිළිබඳ පස් අවුරුදු පාඨමාලාවක් හදාරා ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා තිබීම , ගී පද රචනයෙහි ලා ඔහු ගේ සාර්ථකත්වයට හේතු වූ තවත් අප්‍රකට කරුණ ක්. ගී පද රචකයකුට නම් ස්වර ඥානය ද​, සංගීතඥයකුට නම් බස පිළිබඳ අවබෝධය ද​ , ඔහු ගේ ගමනට ශක්තිමත් පහුර කි​. මීට අමතරව කථිකාචාර්යවරයකු ලෙස සේවයේ යෙදෙන අතරේ දී, “ගාන්ධර්ව ආපදාන”, “ග්‍රැමෆෝන් ගී යුගය” ආදී ගවේෂණාත්මක කෘති රැසක් සම්පාදනය කරමින් ඔහු විසින් ගීත සාහිත්‍යයට කරන ලද සුවිශේෂී මෙහෙවර ගැන ද විශේෂ ඇගයුමක් කළ යුතු ය​.

මේ සා උනන්දුවකින්, කැප වීමකින් සහ හැදෑරීමක් ද ඇති ව නිර්මාණකරණයෙහි යෙදුණු කලාකරුවන් නිසි ඇගයුමට පාත්‍ර​ නො වන්නේ නම් , කොතැනක හෝ වැරැදීමක් සිදු ව තිබිය යුතුය​. ඇත්තෙන්ම මේ සටහන සුනිල් ආරියරත්න නම් නිර්මාණකරුවා ඇගයීම පිණිස සම්පාදනය කළ ලිපියක් නොව​, ඒ සඳහා ඉතාම කෙටි ප්‍රවේශයක් පමණි.

සුනිල් ආරියරත්නයන් ගේ ගීත​ ගොන්න කෙසේ පටන් ගෙන කෙසේ අවසන් කරන්නදැයි මට නො වැටහේ. නිදසුන් ලෙස කිහිපයක් හැර, ඔහු ගේ ගේය පද නිර්මාණ ලැයිස්තුවක් මෙහි ඉදිරිපත් කිරීමට නො වෙහෙසුණේ එ බැවිනි. මේ ලිපිය මහ රෑ පහන් වන තුරු විකාශනය වන රූපවාහිනී සේවා නො පැවති සමයක, නිදිමත එන තෙක් අම්මා වාදනය කරන්නට පුරුදුව සිටි, “පහන් කන්ද” , “යාත්‍රා”, “හේමන්තයේ දී”, “සත්‍යයේ ගීතය”​, “පෙම්බර ලංකා” වැනි ගීත ඇල්බම අසා ලැබූ ආනන්දය වෙනුවෙන්, කලා රස වින්දනය කෙරෙහි​ අප තුළ​ ඇල්මක් ඇති කර වීම වෙනුවෙන් කෙරෙන ඉතා සුළු කෘතගුණ පිදීමක් පමණක් බව සඳහන් කරමි. ජීවත්ව සිටියදීම නිර්මාණකරුවකු විසින් කරන ලද නිර්මාණ හරහා නිර්මාණකරු නිසි ලෙස හඳුනා ගැනීම ඔහුට හෝ ඇයට පිදිය හැකි ඉහළම ගෞරවය යි. මේ ලිපියෙහි සඳහන් කරුණු ඇතුලු විවිධ පැතිකඩ ඔස්සේ​ සුනිල් ආරියරත්න ගී පද රචනා තව තවත් ගැඹුරෙන් විමසා බැලීමට ප්‍රේක්ෂක අවධානය යොමු වෙනු දැකීම මගේ පැතුම යි.

සුනිල් ආරියරත්න පදමාලා සංකේතවත් කිරීම පිණිස මගේ තේරීම විශාරද නන්දා මාලිනී මහත්මිය තනු සහ ස්වර රටා මවමින් ගායනා කළ “සරුංගලේ වරල් සැලේ” ගීතය යි. මේ ගීතය තෝරා ගැනීමට හේතු දෙකක් වෙයි​. ඉන් පළමුවැන්න​, ගීත ගායනයට අමතරව තනු රචනයෙහි ලා නන්දා මාලිනී මහත්මිය සිය කුසලතාවය විදහා දැක් වූ අවස්ථාවක් සඳහා මෙය​ කදිම උදාහරණයක් සැපයීම යි. සුනිල් ආරියරත්නයන් ගේ පළමු ගුවන්විදුලි ගීතය වන 1963 දී බිහි වූ “සකුරා මල් පිපිලා” ගීතය ද ඇය ගේ තනු රචනයක් වීම​ විශේෂත්වයක්. පසුව ඇය විසින් සංගීතවත් කළ ගීත රාශියක් ද අප විසින් වරින් වර​ හඳුනා ගනු ලැබුවා (උදාහරණ – “අකලට වට මහ වරුසාවක් සේ”, “රුක් අත්තන මල මුදුනේ”). අපේ රටේ සංගීතවේදීන් මිස , තනු නිර්මාණය කරමින්, සංගීත අධ්‍යක්ෂණය හරහා ද​ නිර්මාණකරණයට පිවිසුණු සංගීතවේදිනියන් සිටින්නේ කිහිප දෙනෙකි. සුජාතා අත්තනායක මහත්මිය සහ​ පසු කලෙක , ස්වර්ණලතා කවීශ්වර මහත්මිය ද​, සංගීතවේදිනියක ගේ භූමිකාව ඉදිරිපත් කළ ශිල්පිනියක ලෙස සිය පළමු ගීතයෙන් ම (“දින සති විලසින් ගෙවි ගියා”) දොරට වැඩියා ය​, සංගීතවේදීන් මිස සංගීතවේදිනියන් බහුල නොවූ සමයෙක කාන්තාවක ලෙස​, සංගීත අධ්‍යක්ෂණයෙහි ලා නන්දා මාලිනී මහත්මිය දැක් වු දක්ෂතාවය අප ගේ ප්‍රශංසාවට​ බඳුන් විය යුතුය​. සරුංගලයක් අහසේ පාවෙන ලතාව ට සම්පාත වන රිද්මයක් සහිතව ගීතය සඳහා​ තනු නිර්මාණය කිරීමට​ ඇය දක්ෂ වී ඇත​.

දෙවැන්න , ගීතයක අන්තර්ගත මතවාදය සමග එකඟ නො වන අවස්ථාවක දී පවා, එහි නිර්මාණාත්මක පාර්ශ්වය රස විඳිය හැකි බව පෙන්වීම​ සඳහා මෙම ගීතය තවත් උදාහරණයක් ලෙස දැක්විය හැකි වීම යි. ගීතය තුළ “අපේ ළමයි” යන රූපකය එකිනෙකට වෙනස් ද්විත්ව අර්ථයෙන් යෙදේ. අවසාන පදයේ හැර අනෙක් පද වල යෙදෙන්නේ “පීඩිත පන්තිය” යන අර්ථයෙන් බව මගේ හැඟීමයි. අවසානයේ දී එන “අපේ ළමයි” යෙදුම , රට හැර යන්නේ ද “වෙන කිසිවකු නොව අපේම දරුවන්” (ලක් මෑණි ගේ දරුවන්) යැයි යන අර්ථයෙන් ගත යුතුය​.

රටේ ඵලදායීතාවයට දායක විය හැකි දැනුමක් සහ පරිචයක් ඇති උගතුන්ට , බුද්ධිමතුන්ට රටේ රැඳී නො සිට රට හැර යන්නට පාර කපන ලද්දේ ද “අපේ ළමයි” මිස වෙන කවුරුන් ද​? රට හැර යන්නන්ට මග තැනුවෝ ද ඔවුහුම බව අපි විශ්ව විද්‍යාලයේ සිට ම දුටුවෙමු.. එක් අතකින් දරු පවුල ද , අනෙක් අතින් රැකියාව ද ගනිමින් සිය යුතුකම් නො පිරිහෙළා ඉටු කළ මව ගේ , පියා ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු පැවසීම අපමණ ගැහැට විඳින්නට සිදු වන​ වරදක් බවට පත් කරවූයේ මෙ කියන “අපේ ළමයි” හැර වෙන කවුරුන් ද​? දුක් මහන්සියෙන් යමක් ඉගෙන ගෙන තැනකට ඒම ද්‍රෝහීකමක් ලෙස සලකන​ මානසිකත්වයකට පරම්පරා කිහිපයක්ම​ හුරු කරවා, රට අගාධය කරා ගෙන ගියේ මේ “අපේ ළමයි” හැර වෙන කවුරුන් ද​? මේ කියන “අපේ ළමයි” ඉහළට යන කෙනෙකු ගේ කකුලෙන් ඇද්දා මිස​, ඉහළ යන්නන්හත කළ උපකාරයක් ගැන මා අසා හෝ දැක නැත​. අනුන් ගේ ගමනට අකුල් හෙළන්නවුන් තවමත් බිම හිඳින්නේ නම් එය​, අතිශයින් සාධාරණ ලෙස ස්වභාව ධර්මයේ නීතිය ක්‍රියාත්මක වීමකි.

කෙටියෙන් කියන්නට ඇත්තේ “අපේ ළමයි” කළ කී දේ අනුව බලද්දී , රට හැර යාම ගැන නොව පුදුම විය යුතු වන්නේ තවමත් රට දෙස බලා ගෙන සිටීම ගැන බව යි.

එහෙයින්, ගීතයෙන් කියැවෙන අර්ථය පිළිබඳ හැඟීම් විරහිතව අද ද​, එහි නිර්මාණාත්මක පාර්ශ්වය​ රස විඳින බව පමණක් පවසමි. නන්දා මාලිනිය අව්‍යාජ ශෝකී ස්වරයකින්, ඉතා මෘදු ලෙස ගයන ගීතය විඳීමට, පාසැල් යන කාලයේ දී මෙන් රට ගැන හදවතින් බැඳුණු ආකල්ප සමග ඇසිය නොහැකි වීම​ බාධාවක් නොවේ.

“සරුංගලේ වරල් සැලේ” ගීතය පිළිබඳව ඉහත අදහස් දැක් වීම, සුනිල් ආරියරත්නයන්ට අපහාස පිණිස නොව​, ගීතයෙහි අන්තර්ගතය​ අර්ථය විඳිය නො හැකි පසුබිමෙක පවා, ගීතය විඳීමට යමක් ඉතිරි කර තැබීමට මෙහි නිර්මාණකරුවන් දෙපළ සමත් වීම පිළිබඳ තවත් එක් නිදසුනක් ගෙන හැර පෑම බව නැවතත් අවධාරණය කරනු කැමැත්තෙමි.

සුනිල් ආරියරත්න ඇදුරුතුමාට චිර ජීවනය ප්‍රාර්ථනා කරමු!

– අමා නයනාදරී සිරිවර්ධන​ –
28/07/2020

සරුංගලේ වරල් සැලේ ගීතය මෙතැනින්:

සරුංගලේ වරල් සැලේ

විහිදා කිරණ​…

මෙය අනූව දශකය මුල් භාගයේ දී රසිකයින් අතරට ආ “නිලම්බරේ“, ගීත එකතුවේ​ හමු වන ගීතය කි. එහි ගීත හරහා, ජන​ වාර්ගික ගැටළුව (“නිලම්බරේ සුදු පරෙවි රෑන්”, “රන් කැටි පුතා”)​, පෙම්වතුන් ගේ සහ​ මව්පිය වරුන් ගේ දින සැමරුම්(“වැලන්ටයින් ශාන්ත වැලන්ටයින්”)​, රටේ සම්පත් විකුණා දැමීම​(“රට කරවන්ට නම්”), හිරිමල් වයසේ තරුණ තරුණියන් අතරේ පැතිර ගිය හින්දි චිත්‍රපට උන්මාදය(“යනවා නම්”)​ ආදී තත්කාලීන සාමාජීය ප්‍රශ්න පිළිබඳව බහුල ලෙස සාකච්ඡාවට බඳුන් කෙරුණි​. මෙහි එන ගීත වල ගුණාත්මක බව කෙරෙහි වෘත්තීය විචාරකයින් වෙතින් දැඩි විවේචන එ කළ එල්ල විය​​. ඉන් එක් කරුණක් පැහැදිලි වේ. එ නම්, ගුණ – දොස් දැක්වීමේ දී විචාරකයින් විසින් කලාකරුවන් අයත් වෙන ශානරය වැදගත් කොට නො තකන බව යි. එය යම් පදනමක් මත හේතු සහිතව එල්ල වෙන විවේචනයන් බව යි.

මගේ නිරීක්ෂණය අනුව,​ අසූව​ දශකය අග භාගයෙන් පසුව උදා වූයේ පොදු වේ 60,70 සහ​ 80 දශක වල බෙහෙවින් ප්‍රශස්ත මට්ටමේ ගීත නිර්මාණ ඉදිරිපත් කළ​ ශිල්පීන් ගේ නිර්මාණ උල්පත් ක්‍රමයෙන් සිඳී යන්නට වූ කාල වකවානුවක්​​. එම තත්ත්වය සුනිල් ආරියරත්න ගේය පද රචනාවන් කෙරෙහි ද නො මඳව බලපා ඇති බවක් මෙම ගීත එකතුව තුළින් ද විද්‍යාමාන වේ. ඇතැම් ගී පද රචනාවන්​, උදාහරණයක් ලෙස “වැලන්ටයින් ශාන්ත වැලන්ටයින්” හි පද​ එතරම් සුගායනීය නො වන බවක් ද දිස් වෙයි.

වැලන්ටයින් ඔබට වාගෙම
මව්වරුන්ට වැඩිහිටියන්ට
අවුරුද්දේ දින වෙන් කරලා
ඒරොප්පෙන් ආ චාරිත්‍ර


ගීතයක සාහිත්‍යමය පාර්ශ්වය පමණක් නොව​, අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු නාදමය පාර්ශ්ව යේ ගුණාත්මක බව පිළිබඳව ද​​ කිසිසේත් ම​ සෑහීමකට පත් විය නො හැකි බවක් හැඟේ. අතිශය නිර්මාණාත්මක තනු සහ සංගීත රචනයෙන් දායක වෙමින් පෙර ඔහු ගේ කාව්‍යමය ගී පදවැල්, මියුරු​ සුභාවිත ගීත බවට පෙරළූ ස්ටැන්ලි පෙරේරා, මර්වින් පෙරේරා සහ රෝහණ වීරසිංහ ආදී සංගීතවේදීන් ගේ නිර්මාණ කෞශල්‍යය ද සැලකිය යුතු මට්ටමකින් අවරෝහණය වී ඇති සෙයක් මෙහි ගීත තුළ පිළිඹිබු වේ. ඊට හේතුව කාලයත් සමග මේ ශිල්පීන් තුළ​ පවතින​ කවීත්වය සහ නිර්මාණ කුසලතාවයන්​ පරාභවයට පත් වීම ද​? එසේත් නැත්නම්, ඒ වන විට ලංකාවේ ඇති වෙමින් පැවැති සන්ෆ්ලවර්ස් සංගීතය වැනි රැළි අනුකරණය කිරීමට​​ උත්සාහ කිරීමක් දැයි පැහැදිලිව කිව නො හේ. සන්ෆ්ලවර්ස් සංගීතයට බෙහෙවින් සමාන සංගීත වින්‍යාසයක් සහිතව නිර්මාණය කර ඇති “අනේ මට පාඩුවේ” වැනි ගීයකට සවන් දීමේ දී එම පැනය මතු වීම වැළැක්විය නො​ හැකිය.

පිට කවරයේ සඳහන් තොරතුරු අනුව​, එහි තනු නිර්මාණය ස්ටැන්ලි පීරිස් වන අතර සංගීත අධ්‍යක්ෂණය ‘ශක්ති’ වාදක කණ්ඩායම​ විසිනි.

කෙසේ වුව ද​, පෙර මෙන් කාව්‍යමය සහ සාහිත්‍යමය ලක්ෂණ ප්‍රකට කරන ගී පදමාලා අතරින් පතර​ හමු නොවන්නේ ද නො වේ. “විහිදා කිරණ තුඟ තුළ ලෙව්” එවැනි ගීතය කි. ​ කතා නායිකාව (නන්දා මාලිනි) විසින් සිය සිත් ගත් කෙනෙකු අමතා කෙරෙන ආයාචනයන්ට සමූහයකින් ලැබෙන පිළිතුරු ලෙස, ​ ගීතය ගලා යයි. එය​ සාමාන්‍යයෙන් ගීත සාහිත්‍යය තුළ දැක නුපුරුදු ​ හැඩය කි.

විහිදා කිරණ තුඟු තුල් ලෙව් තුළ මහරූ
පුබුදාලනු මැනව මා හද මගෙ ළහිරූ

පළමුකොට කතා නායිකාව​ මෙසේ අයැද සිටී;හිරු කිරණින් ලෝකය ඒකාලෝක වෙනවා සේ මගේ සූර්යයා පායා මා හද පුබුදු වන්න.

නමුත් ඇගේ ආයාචනයට අවවාදාත්මක පිළිතුරක් ලැබෙන්නේ සමූහයකින්. ඔවුන් කාන්තාව අමතා මෙසේ කියා සිටිනවා;විෂ්ණු දෙවියන් (උවිඳා) දිනා ගත් ශ්‍රියා කන්තාව (සිරිකත/ ලක්ෂ්මී) විසින් එවන ලද රූමත් ළඳුනි, ඔබ හිරු දැක මියෙන සොඳුරු කුමුදු මලෙකි.

උවිඳා දිනූ සිරිකත එව් ලඳ රුසිරූ
දිනිදා දැක මියෙන කුමුදෙකි නුඹ සොඳුරූ


කුමුදු මල් හිරු එළියට නොපිපෙයි. කුමුදු පිපෙන්නේ රාත්‍රී කාලයේදීය.

ශ්‍රියා කාන්තාව හෙවත් ලක්ෂ්මී දේවිය​, හින්දු දේව විශ්වාසයන්ට අනුව සුර අසුර යුද්ධයේ දී සුරයන් (විෂ්ණු දෙවිඳුන් විසින්) කිරි මුහුද කළඹා දිනා ගත් දස වස්තූන්ගෙන් එකක් ලෙස සැලැකේ. ඇය විෂ්ණු ගේ භාර්යාව ද වූවා ය.

උවිඳා දිනූ සිරිකත එව් ලඳ රුසිරූ – මෙය ඉතා අලංකාර කාව්‍යෝක්තිය කි.

ශ්‍රියා කාන්තාව එවා ඇත්තේ ඇය මෙන් ම පැවැතුම් ඇති තවත් රුසිරු ළඳක්.

දෙවනුව, ඇය මෙසේ කියා සිටීන්නී ය​;
චන්ද්‍රයා විසින් තුරු මුදුනෙන් සෞම්‍ය සඳ රැස් එවන්නා සේ පෙර ගිර අගින් (නැගෙනහිරෙන්) මගේ චන්ද්‍ර දිව්‍ය රාජයා පායනු මැන.

තුරු සිරසින් එවමින් සඳකැන් සිනිදූ
පෙරගිරගින් පායන් මගෙ සඳ දෙවිඳූ

එවිට පිරිස වෙතින් මෙවැනි අවවාදයක් ලැබෙයි;
ගණ අඳුර දුරලමින් සඳ නැගෙනමුත්, ඔබ සඳ දුටු විට (සඳ පායද්දී) පර වන නෙළුමකි.

පායා නැගෙනමුත් ගණකුලු බිඳ තරිඳූ
සඳ දැක මිලිනවන පියුමෙකි නුඹ සුර දූ

අවසානයේ ඇය මෙසේ පවසා සිටිනවා; ප්‍රිය මිත්‍රය, ඔබ රළ නගමින් ගලන දිය දහරකි. එයින් (මගේ) පවස නිවනු මැන;
සකිසඳ දුලන හොබැ රළ පෙළ පැහැපතර
හොවමින් දෙනු මැනව පවසට දිය දහර

නැවතත් ඇය අමතන සමූහය පවසා සිටින්නේ; ඔබ දකින්නේ මහා සාගරයක්. එම ලවණින් ගහණ (ලුණු රස ඇති) මහ සයුරෙහි ඔබේ දෙතොල් අතර තැබීමට ඇති දිය පොදක් නැත​.
නැත පැන් පොදක් තබනට ඔබැ දෙතොලතර
ලවණින් ගහන පුවතර මේ මහසයුර

මෙහිදී කතා නායිකාව තම සිත් හි ලැගුම් ගත් කෙනෙකු ආමන්ත්‍රණය කරන බවක් පෙන්නුම් කළ ද, ඇයට පිළිතුරු ලැබෙන්නේ සමූහයකින්. එය හේතු සහිතව කරන්නට ඇති බව මගේ අදහසයි. ඇය පතන පුද්ගලයා ඇයට නොගැලපෙන, ඇය විසින් අපේක්ෂා කරන දෙය ලබා දිය නොහැකි පුද්ගලයකු බව පැවසීමට​ උත්සාහ කිරීම කි.

ගීතය අවසාන වන්නේ සමූහය එකම පැදි පෙළ නැවත නැවතත් ගයමින්;

“කුමුදට හිරුගෙන් පල නැත ළඳුනේ
පියුමට සඳුගෙන් පල නැත ළඳුනේ
පවසට සයුරෙන් පල නැත ළඳුනේ
පවසට සයුරෙන් පල නැත ළඳුනේ

කුමුදට හිරුගෙන් පල නැත ළඳුනේ
පියුමට සඳුගෙන් පල නැත ළඳුනේ”

ගීතයක දී සාමාන්‍යයෙන් පුනරුක්තීන් යෙදෙන්නේ යම් අදහසක් වඩාත් තීව්‍ර කර දැක්වීමට යි. ඒ අනුව​, එකම පැදි පෙළ පුන පුනා ගැයීමෙන් ඇය විසින් වටහා ගත යුතු සත්‍යය, ඇගේ සිතැඟි වල ඇති ළාමක බව​ අවධාරණය කර සිටීමට අදහස් කළා විය හැකි යි.

සුනිල් ආරියරත්නයන් මෙම ගීය රචනා කිරීමේ දී පුරාතන පද්‍ය සාහිත්‍ය ය ඇසුරු කළ බවක් පෙනෙන්නට ඇත​. පෞද්ගලිකව මා හට කලාත්මක ප්‍රකාශනයක් මෙහි දැකිය හැකි වන්නේ පද රචනාව තුළ පමණි. මර්වින් පෙරේරා මහතා “කොතැනක හෝ පිපීලා”, “ලොවම එපා වී”, “හන්තාන අඩවියේ”, වැනි ගීත වල දී දැක් වූ සේ ප්‍රතිභාපූර්ණ තනු රචනයක් මෙහි දකින්නට නැත​. ‘ශක්ති’ වාදක කණ්ඩායමේ සංගීත වින්‍යාසය ගැන ද සෑහීමකට පත් විය නො හැකිය​. ගායනය මට සිළුටු බවින් හීන වීම රස වින්දනය තව දුරටත් දුර්වල කරව යි. තනු රචනය එ තරම් සිත් ගන්නා සුළු එකක් නො වූව ද,​ ගායනය සහ සංගීත සංයෝජනය මීට​ වඩා තරමක් හෝ ප්‍රශස්ත මට්ටමක​ පැවතුණි නම්, මේ ගීය ද​ සුනිල් ආරියරත්න – නන්දා මාලිනී එකතුව තුළ හමු වෙන තවත් මියුරු ගීතයක් ලෙස සැලැකිය හැකි ව තිබිණි.

– අමා නයනාදරී සිරිවර්ධන​
02/08/2020

විහිදා කිරණ තුඟු තුළ ලෙව් තුළ මහරූ






ගෙදර හිටිය රෝස කැකුළ රෝසා – හුදු බයිලාවක් ද​?

වාණිජත්වය අරමුණු කර ගනිමින් නිපදවන නිර්මාණයකට දායක වන වෘත්තීය කලාකරුවන්ට යා හැකි අවම සීමාව කුමක්ද යන ප්‍රශ්නය මතු වෙනවා. වරෙක, ටී.බි ඉලංගරත්න සූරීන් ගේ නවකතාවක් වන​ ‘ළසඳා’ චිත්‍රපටයට​ තමන් විසින් නිර්මාණය කරන ලද​ ගීත උදාහරණයට ගනිමින් ඒ සඳහා ප්‍රේමසිරි කේමදාස මහතාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරක්;

“රටක චිත්‍රපට කර්මාන්තයේ දියුණුව උදෙසා වාණිජ චිත්‍රපටත් අවශ්‍ය යි නේ. ඒත්, අපිට පුළුවන් ඒ තරම් පහළට වැටෙන්නේ නැතිව වාණිජ චිත්‍රපටයකට පවා හොඳ දෙයක් නිර්මාණය කරන්න​.” (ආචාර්ය ප්‍රේමසිරි කේමදාස​)

කේමදාස මාස්ටර් ඒ බව ක්‍රියාවෙනුත් පෙන්වා ඇති බව ඔහු හැදූ ගීත විමසා බැලීමේදී පෙනී යනවා. “මා ප්‍රාර්ථනා” (‘ළසඳා’) , “සීත මීදුම් ගීත නාදෙන්” (‘ජනක සහ මංජු’) , “පැළඳ කඩුකස්තාන ගමට නම්බුව ගේන” ​(‘මොණරතැන්න’) ඒ සඳහා උදාහරණ කිහිපය කි.

‘ළසඳා’ චිත්‍රපටයේ ම එන “ගෙදර හිටිය රෝස කැකුළ රෝසා” ගීතය නිර්මාණය කෙරෙන්නේත් ධර්මසිරි ගමගේ සහ ප්‍රේමසිරි කේමදාස සහභාගීත්වයෙන්. ධර්මසිරි ගමගේ සූරීන් ගීතය රචනා කර ඇත්තේ චිත්‍රපටයේ අදාළ අවස්ථාවට උචිත භාෂා රීතියකින් සහ භාෂා ප්‍රයෝග භාවිතයෙන් තියුණු යටි පෙළක් ද සහිතව යි. නමුත්, ගීතයක් යනු කලාත්මක ප්‍රකාශනයක් විය යුතු බවට වග බලා ගන්නා අතරේ දී, තැනට සුදුසු ලෙස​ ක්‍රියාත්මක වීමට තරම් මේ කලාකරුවන් දෙපළ ප්‍රඥා ගෝචර වී ඇති අයුරු ඉතාමත් ප්‍රශංසනීය යි. සන්දර්භය (context) තුළින් විමසා බැලූ විට මේ ගීතය විශිෂ්ට නිර්මාණයක් වන්නේ කලා කෘතියෙක තිබිය යුතු කාව්‍යමය ස්වභාවය​ හෙවත් “කවිය​” මෙහි සුරැකී තිබෙන හෙයින්.

චන්ද්‍රරත්න මානවසිංහ සහ පණ්ඩිත් අමරදේව එකතුවෙන් ‘රන්මුතු දූව​’ චිත්‍රපටය සඳහා හැදූ “පිපී රේණු නටන” ගීතය අමරදේවයන් විසින් හඳුනා ගනු ලැබෙන්නේ තමන් නිමාණය කළ​ බයිලා ගීතයක් ලෙසින්. ජීවත් වීම පිණිස කලාව තෝරා ගත් අයෙකුට වුව ද , අවශ්‍යතාවයක් සහ නිසි දැක්මක් ඇත්නම් ප්‍රමිතිය​ පවත්වා ගැනීම අසීරු නො වන බව වටහා ගැනීමට​ මේ උදාහරණ වුව ප්‍රමාණවත්.

චිත්‍රපටයේ අවස්ථාව ඉල්ලා සිටීන දේ නිර්මාණය කරන විටෙක පවා භාෂා ප්‍රයෝග භාවිතයේ දී අවම ප්‍රමිතිය පවත්වා ගැනීමට එදා ප්‍රවීණ කලාකරුවන් සමත් වීම භාග්‍යය කි​. ප්‍රාමාණික දැනුමක් වගේම​, විචාරශීලී බුද්ධියක් ඇතිව කටයුතු කළ මෙවැනි ශිල්පීන් හුදු වාණිජ අරමුණු උදෙසා වගකීම් විරහිත ලෙස දිගින් දිගටම කටයුතු කළ ශිල්පීන් සමග​ කිසිසේත්ම සංසන්දනය කළ නො හැකිය​. එ වැන්නන් හා සම මට්ටමක රැඳවිය නොහැකි ය​. වාණිජත්වය අරමුණු කර ගනිමින් කඩා වැටුණු ප්‍රේක්ෂක රස වින්දනයේ මට්ටමට බැස​, කලා කෘතියෙක පැවතිය යුතු සීමාව ඉක්මවා කට වහර භාවිතා කළ අවස්ථා වල දී විදග්ධ මට්ටමේ කලාකරුවන් පවා විචාරක​ දෝෂ දර්ශනයට ලක් වූ අවස්ථා ඇත​. කෙසේ වෙතත්, ඉඳහිටෙක සුපුරුදු ශෛලියෙන් පිට කරන ලද නිර්මාණයක් දෙකක් නොව​, සමස්තය සලකා බලා ගුණ දොස් දැක්වීමට වග බලා ගැනීම ද අවශ්‍ය වේ.

අවම ප්‍රමිතියෙන් එහා නො ගොස්, අවස්ථානුකූලව වෙනස් විම එකෙ කි. දැක්මකින් තොරව අවිචාරවත් ලෙස ක්‍රියා කිරීම තවත් දෙයකි.

-අමා නයනාදරී සිරිවර්ධන​-
14/11/2020

ගෙදර හිටිය රෝස කැකුළ රෝසා…

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි…

ප්‍රවීණ ගී පද රචකයෙකු වන, ලූෂන් බුලත්සිංහල මහතා පවසන්නේ රසිකත්වය නැත්නම් රසඥතාවය ද වැඩි දියුණු කර ගත යුතු දෙයක් වන​ බව යි. ඔහු පවසන පරිදි ගීතයක් ඇසූ පමණින් එක්තරා ප්‍රමාණයකට රස ව්ඳීමට හැකි වූ වද​​,  භාවමය හැඟීම් අවදි වීම සඳහා ගැඹුරු යටි අරුත් දැන ගැනීම​ අත්‍යාවශ්‍ය වෙයි​.  සරල​ බස් වහරකින්  ලියැ වී ඇති පද වැලක වුව ද, ඒ තුළ ගැබ් වී ඇති අසීමිත ගැඹුර විනිවිද දැකීමට නම් රසිකයකු  එහි ඇති දෘෂ්ටාන්තයන් වටහා ගත යුතුය​​​. ආධ්‍යාත්මය ආමන්ත්‍රණය වන්නේ එම වැටහීමත් සමගිනි. වැටහීම ලැබෙන්නේ දීර්ඝ කාලීන ගවේෂණය සහ හැදෑරීම තුළිනි.  ප්‍රේක්ෂකයින් ගේ දැනුම් පරාසය වැඩි වන තරමට නිර්මාණකරු තම නිර්මාණයෙන් කියා පාන්නට අදහස් කළ දේ ඒ ආකාරයෙන් ම​ අවබෝධ කර ගැනීම පහසු වන බව එදිරිවීර සරච්චන්ද්‍ර ආදී සාහිත්‍යධරයින් විසින් ද නොයෙක් විට​ අවධාරණය කෙරිණි. එසේ නිරන්තර හැදෑරීමක යෙදෙන්නන්, ඇතැම් තැනෙක සක්‍රීය රසිකයින් ලෙස ද​, තැනෙක අභිෂ්ට රසිකයන් ලෙස ද ඔහු විසින් හඳුන්වා දෙනු ලැබීය​.​ ගීතය නැමැති මාධ්‍යයේ දී නම් මෙකී කාරණය සාහිත්‍යමය සහ සංගීතමය යන පාර්ශ්ව දෙකට ම එක සේ අදාළ වන බව මගේ වැටහීම යි. සංගීතය හදාරා ඇති තරමට සියුම් රස ජනනය කෙරෙන තැන් හඳුනා ගැනීමේ ශක්‍යතාවය වැඩි විය යුතු ය​.

මෙම ලිපියෙන් ඉදිරිපත් කැරෙන්නේ රස වින්දනය සඳහා හැදෑරීම කෙ තරම් ඉවහල් වන්නේදැයි යන්න මා හට පෞද්ගලිකව තහවුරු වූ අවස්ථාව කි. අවම වචන සංඛ්‍යාවකින් අසීමිත ගැඹුරක් ඇති අර්ථයක් පහසුවෙන් ඉදිරිපත්​ කිරීම උදෙසා කවියන් විසින් බහුලව අනුගමනය කරනු ලබන අපූර්ව කාව්‍යෝක්තිය කි “සංකේත” භාවිතය. උදාහරණ ලෙස “යසෝදරා” , “විශාඛා”, “ප්‍රභාවතී” නම් ඇසුණු සැණින් ඒ නම් වලින් සංකේත්වත් කරන චරිත වලට අදාළ චරිත ලක්ෂණ අප සිත් හි නිරායාසයෙන් ම පහළ වේ. රසිකයා අදාළ සංකේතයෙ හි ගම්‍යාර්ථය ගැන දැනුවත් නො වූ කළ​ රස වින්දනය ට බාධා පැමිණෙයි.

හින්දු දේව විශ්වාසයන් පිළිබඳව දැක්වෙන පුවත්පත් ලිපියෙක සඳහන් ව තිබූ “ශිව-ශක්ති” සංකල්පය​ ගැන කියැ වූ මට​ සිහියට නැගුණේ ‘සරුංගලය’ චිත්‍රපටයට ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර මහතා විසින් රචනා කරන ලද, ‘ඉසුරු දෙවිඳු උමයංගන’ නම් අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ගීතයයි. එහි දී, කුරුවිටබණ්ඩාරයන් චිත්‍රපටයට ප්‍රස්තූත වූ දෙපළගේ පෑහීම කෙසේදැයි දැක්වීම සඳහා ඊශ්වර දෙවියන් (ශිව) සහ උමයංගනාව​ (ශක්ති) උපමා රූපක වශයෙන් යොදා ගන්නා ලද්දේ, බෞද්ධ – හින්දු සංස්කෘති දෙකක් අතර සිදු වන​ විවාහයක් හෙයින්, හුදෙක් හින්දු දේව සංකල්පයන්හි එන ප්‍රබල චරිත යොදා ගැනීමට පමණක් නොවන බව වැටහෙන්නට විය​, එය හිතාමතා මහත් සැලැකිල්ලෙන් කළ විරල ගණයේ තේරීමක් නොවේදැයි අවබෝධ වූයේ දේව සාහිත්‍යයෙ හි එන ඊශ්වර සහ පාර්වතී අතර කතා පුවත දැන ගත් පසුව යි.

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි

ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ ශිව – ශක්‌ති සංයෝගය මත බවට විශ්වාසයක් පවතී. ඊශ්වර දෙවියන් ස්වභාවයෙන් ම පුරුෂත්වය නිරූපණය කරන අතර පාර්වතිය ස්ත්‍රීත්වය සංකේතවත් කරයි. එබැවින් ඔවුන් දෙදෙනා ගේ ශක්තීන් එකකට එකක් අනුපූරක ද වෙයි. ඉසුරු දෙවිඳු සහ උමයංගන සංකේත හරහා නිරූපණය කෙරෙන්නේ චිත්‍රපටයට පසුබිම් වන කතා නායකයා ගේ සහ​ නායිකාව ගේ බැඳීමේ ඇති ප්‍රබලතාවය යි. ​ දේව සංකල්පය පිළිබඳ​ තතු දැන ගැනීම​ මෙතෙක් නොදුටු, නොවිඳි අලුත් ම​ මානයකින් ගීතය රස විඳීමට දොරටුව විවර වීමක් විය​​​.

ස්ත්‍රී පුරුෂ ශක්තීන්හි පෑහීම සංකේතවත් කිරීමට ඊශ්වර සහ පාර්වතී යොදා ගනු ලැබුව ද, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය හුවා දැක්වීමට ඇවැසි වූ කළ කවියා යොදා ගන්නේ පුරාතන දේව සාහිත්‍යයේම එන රාධා-ක්‍රිෂ්ණා ප්‍රේමය යි.

රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙළෙන්නයි

දිව්‍යමය ප්‍රේමය සංකේතවත් කිරීම සඳහා රාධා – ක්‍රිෂ්ණ පෙම් පුවත කවීන්ට බොහෝ විට​​ සාම්ප්‍රදායික උපමාව කි. එහෙත්, ස්ත්‍රී-පුරුෂ පෑහීම සංකේතවත් කිරීම සඳහා ශිව – ශක්ති උපමා රූපක ලෙස යෙදුණු අන් අවස්ථාවක් ගැන මගේ මතකයට නො එයි. සමස්ත ගීතය ම රචනා වී ඇත්තේ සිංහල ද්‍රවිඩ සම්ප්‍රදායයන් හි එන සංකේතාත්මක යෙදුම් භාවිතයෙන් වීම ද විශේෂත්වය කි.

තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි” – වර්ගවාදී බෙදුම් රේඛා වලින් මිදී ක්ෂේම භූමියකට ගමන් කිරීම මේ හරහා අරුත් ගැන්වෙ යි.

“කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි” – සුරතුර යනු සිතූ පැතූ සම්පත් ලබා දෙන කල්ප වෘක්ෂයයි.

මෙසේ සංකේත හරහා සියුම් අර්ථයන් ධ්වනිත වන සේ ගීතයක් රචනා කළ හැකි වන්නේ බස පිළිබඳ සංවේදීතාවයක් ඇති , ගද්‍ය පද්‍ය සාහිත්‍යයෙ හි ප්‍රාමාණිකයෙකුට ම​​ පමණි.

නිර්මාණයක් ලෙස ගත් කළ, සත්සර මුසුව තුළ සංස්කෘති දෙකක එකතුව චිත්‍රණය කිරීම සඳහා සංගීතඥ වික්ටර් රත්නායක මහතා විසින් ගෙන ඇති ඉතාමත් ප්‍රශස්ත උත්සාහය ද කැපී පෙනෙයි. කතාවට අනුව , කතා නායකයා (ගාමිණී ෆොන්සේකා) ද්‍රවිඩ ජාතිකයකු වන අතර​, ඔහු අත ගැනීමට සැරසෙන්නේ සිංහල කාන්තාව කි(වීණා ජයකොඩි). අනෙකා ගේ විශ්වාසයන්ට සහ සංස්කෘතික සිරිත් විරිත් වලට දක්වන ගරුත්වය නිරූපණය කෙරෙනු පිණිස​ කර්ණාටක සංගීතයේ සහ ජන ගී හැඩතල මාරුවෙන් මාරුවට යොදා ගෙන තිබේ. නිරංජලා සරෝජිනී මහත්මිය ගේ ගායනයට පෙර නාදස්වරම් සහ තවිල් බෙර වාදනයක් ඇසේ. අබේවර්ධන බාලසූරිය මහතා ගේ ගායනය ඇරඹෙන්නේ බෙර හා රබන් වාදනයකට අනතුරුව යි. මෙසේ සිංහල සහ ද්‍රවිඩ සංස්කෘති දෙකක සරණ බන්ධනය සංගීතය තුළින් ද මනාව පිළිඹිබු කිරීමට වික්ටර් රත්නායකයන් සමත් වී ඇති අයුරු ප්‍රශංසනීය වේ​.

මේ ගීතයේ ගායක – ගායිකා දෙපළගේ හඬ පෑහීම ගැන ද නො කියාම බැරි බවක් හැඟේ. පුරුෂ පෞරුෂය නො මඳව රැඳුණු අබේවර්ධන බාලසූරිය සහ ස්වභාවයෙන්ම අවිහිංසක ස්ත්‍රී ලාලිත්‍යයෙන් අනූන​ නිරංජලා සරෝජිනී දෙපළ ගේ හඬ ද ගීතයේ අන්තර්ගතයටම ගැලැපෙන සේ, ස්තී‍්‍ර‍ පුරුෂ පෑහීම නිවේදනය කරයි.

ගීතයට මෙතැනින් සවන් දෙන්න​;

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි….

ගීතයේ සාහිත්‍යමය පාර්ශ්වය සම්බන්ධයෙන් හැම පැතිකඩක්ම පාහේ විග්‍රහ කර ඇති ලංකාදීප පුවත්පත් ලිපිය මෙතැනින් කියවන්න​;

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%94-%E0%B6%8B%E0%B6%B8%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1-%E0%B7%83%E0%B7%9A–%E0%B6%B4%E0%B7%91%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92/1-380529?fbclid=IwAR3A_0Nf0VVSVJDuVoK8qPyewe6Zq7FtPI8cnaUZZr6hnl2kBPCXtuh_srA

නිර්මාණ මංකොල්ලයේ තවත් පැතිකඩක්…

“කිසියම් කලා ශිල්පයක් තම ජීවනෝපාය සඳහා යොදා ගත් පමණින් කෙනෙක් කලාකරුවෙක් වෙන්නේ නැහැ. අපි අපේ කලා සංස්කෘතීන් ගොඩ නගා ගෙන නැහැ ලෝකයත් එක්ක යන විදිහට. කිසිදු කලා ක්ෂේත්‍රයක​ ඊට අදාළ ආචාර ධර්ම ගොඩ නැගී නැහැ.…” – ලූෂන් බුලත්සිංහල

මේ රූපවාහිනී නළිකාවක ප්‍රචාරය වූ පහත දැක්වෙන සංවාදය අතරතුර ලූෂන් බුලත්සිංහල මහතා විසින් ඉදිරිපත් කරන ලද අදහසකි. අද වන විට විද්‍යුත් නාළිකා මෙන් ම​ යූ ටියුබ් නාළිකා වැනි අන්තර්ජාල මාධ්‍ය හරහා ද නළු නිළියන් , ගායක ගායිකාවන් වැනි ප්‍රසිද්ධ චරිත සමග කෙරෙන සංවාද ඉතාම සුලබ ව දකින්නට ලැබෙනවා. ඒ බොහෝ සංවාද දිවෙන්නේ ඔවුන් ගේ ඕපාදූප, නිවැරැදිව පවසනවා නම් වැඩසටහන මෙහෙයවන්නා විසින් පෞද්ගලික ජීවිත වල​ අහුමුළු අවුස්සන මට්ටමෙන්. නිර්මාණ ගැන තොරතුරු සෙවීම සඳහා අන්තර්ජාලය පිරික්සා බැලීමේ දී, එ වැනි සංවාද අපට ද වරින් වර හමු වෙනවා. ඇතැම් සංවාදයක ධාවන කාලය විනාඩි 30-45 ක් තරම්. මේ තරම් වෙලා මේවා අහගෙන ඉන්නේ කවුදැ යි යන ප්‍රශ්නය නි තැතින් ම මතු වුණත්, දින කිහිපයක් තුළ දී ලැබී ඇති Views, Likes, ​ගණන දුටු විට අද ප්‍රේක්ෂකයින් සිටින තැන ගැන දැන ගත හැකියි. සැපයුම ඇති වන්නේ ඉල්ලුමක් ඇති හෙයින් බව ද , බැලීම හෝ නො බැලීම​ පෞද්ගලික කැමැත්ත බව ද සැබෑව කි. ලූෂන් බුලත්සිංහල මහතා සමග කෙරෙන මේ සංවාදය ඊට බෙහෙවින් වෙනස් මගක් ගත් වැඩසටහනක්. ඉහත ප්‍රවේශය ගත්තේ සංවාදයේ දී මතු කෙරෙන අදහස් වලට අදාළ වන හෙයිනි. වැඩසටහන පුරා ඔහු ගීතයට වගේම පොදුවේ කලාවට ළැදි ප්‍රේක්ෂකයින්ට වැදගත් කරුණු රැසක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට​ උත්සාහයක් ගන්නවා. නිරන්තරයෙන් මැදිහත් වන නිවේදකයා ගේ බාධා කිරීම් නො වන්නට තවත් බොහෝ දේ සන්නිවේදනය කළ හැකි ව තිබුණු බවක් ද හැඟෙ යි​.

කිසියම් කලා ශිල්පයක් තම ජීවනෝපාය සඳහා යොදා ගත් පමණින් කෙනෙකු කලාකරුවකු නො වන බවත්, කලාකරුවකු තුළ හොඳ විනයක් සහ ශික්ෂණයක් තිබිය යුතු බවත් ඔහු විසින් අවධාරණය කෙරෙන වැදගත් කරුණක්. අනෙක් පුද්ගලයා ගේ යහපත සුබ සිද්ධිය සඳහා ආත්මාර්ථයෙන් තොර ව ඉදිරිපත් වෙන අය පමණක් කලාකරුවන් ලෙස හැඳින්විය හැකි බව ද ඔහු කියා සිටිනවා.

නිර්මාණ කතෘත්වය වෙනුවෙන් වසර කිහිපයක සිට බුලත්සිංහල මහතා ඉතාම සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් , ඒ පිළිබඳ ප්‍රබල​ හඬක් ද​ නගමින් සිටින බව​ වරින් වර අප දැන ගනු ලැබූයේ පුවත්පත් මාධ්‍ය හරහා යි. විශේෂත්වය නම්, ඔහු එය තමන් වෙනුවෙන් වගේ ම, අනෙක් සහෝදර ශිල්පීන් වෙනුවෙන් ද ඉටු කළ යුතු වගකීමක් ලෙස සලකා කටයුතු කරනු දකින්නට ලැබීම යි. මෙහි දී ද ඔහු කතෘ භාග අයිතිය පිළිබඳ ව පැහැදිලි විග්‍රහයක යෙදෙනවා. ජිනීවා සම්මුතිය යටතේ කතෘ භාග අයිතිය මානව හිමිකමක් ලෙස සලකා කටයුතු කරද්දී, අපේ රට ගීතයක අයිතිය කාටදැ යි වාද විවාද කරමින් සිටින ආකාරය මෑතක් වන තුරු ම විවිධ මාධ්‍ය ඔස්සේ නිරීක්‍ෂණය කළ හැකි විය​. කතෘත්වය හඳුනා ගැනීම හරහා කලාව දියුණු කිරීමට ලැබෙන දිරිය කලාකරුවන් විසින් ම හඳුනා නො ගෙන සිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ඔහු කියා සිටිනවා. කලාකරුවන් අතර එකමුතු කමක් නැති කම සහ අන්‍ය ශිල්පීන් ගේ නිර්මාණ අපයෝජනයට ලක් කිරීමේ නැඹුරුව​ ඒ සඳහා හේතු ලෙස ඔහු දක්වා සිටී. කෙසේ නමුත්, මේ සංවාදය 2017 දී සිදු වූවක් හෙයින් අද වන විට මේ තත්ත්වය වෙනස් වී තිබිය හැකි යි.

“බොහෝ රටවල කලාකරුවෝ අසාධාරණය ඉදිරියේ තමන් ගේ සහෝදර කලාකරුවා තනි කරන්නේ නැහැ. ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අනෙක් අය පෙළ ගැහෙනවා. අපේ රටේ සංසද ඕනෑ තරම් , එහෙත් සාමූහිකත්වය නැහැ. කතෘ භාගය ක්‍රියාත්මක වෙන රටවල් වල රසිකයින් කවදාවත්, කතෘ භාගය අපයෝජනයට ලක් කර ඇති නිර්මාණ මිළ දී ගන්නේ නැහැ. මිළ දී ගන්නට කෙනෙකු නැති නිසා නිර්මාණ මංකොල්ලය ඇණ හිටිනවා. ඒත් අපේ රටේ එහෙම එකක් නැහැ” – මේ එම පැහැදිලි කිරීම අතරතුර ඔහු විසින් කරන ලද තවත් මා සිත් ගත් ප්‍රකාශයකින් කොටසක්.

එහි දී මට මතක් වූයේ, දේශීය​ සංගීතය ඉතා ම වර්ධනීය අවස්ථාවක තිබූ, කොපි ගීත ප්‍රචාරය සඳහා ගුවන්විදුලිය සීමා පැන වූ, කලා ශිල්පීන් බහුතරයක් කොපි ගීත සඳහා දායකත්වය නො දුන් පසුබිමක​, සීමිත ශිල්පීන් පිරිසක් වාණිජ චිත්‍රපට සහ කැසට් පට හරහා අනුකාරක ගීත වලට දිගින් දිගට ම​ දායක වූ අන්දමයි. එම කැසට් පට අලෙවිය හරහා විශාල අදායමක් ඉපැයූ ආකාර ය යි. අදටත් එසේ වෘත්තීය සදාචාර සීමාවන් ඉක්මවා කටයුතු කළ ශිල්පීන් රැක ගැනීමට විවිධ හේතු මත ජුගුප්සාජනක තර්ක විතර්ක ඉදිරිපත් කරන​​ රසික පිරිස යි. නිර්මාණ මංකොල්ල සිදු වූ අවස්ථා වල දීත් අදාළ කොල්ලකෑම් සහිත කැසට් සහ සීඩී පට රසිකයන් ගේ කිසිදු ප්‍රතිරෝධයක් නො මැතිව​ උණු කැවුම් මෙන් අළෙවි වනු ද දකින්නට ලැබිණි. අපේ රටේ තත්ත්වය එය යි.

කතෘත්වය ඉල්ලා ගොනු කළ නඩු වසර ගණන් ඇදීම, සාමූහික වගවීමක් නැති වීම, මේ සියල්ලෙ හි අවසාන ප්‍රතිඵලය කලාකරුවන් මන්දෝත්සාහී විම යි. ඇතැමෙකු ගේඅවිචාරවත් ක්‍රියා පිළිවෙත් නිසා අවසානයේ දී,​ එදා විශිෂ්ට ගණයේ නිර්මාණ බිහි කළ නිර්මාණකරුවෝ නිහඬ වූහ​​.

නිර්මාණකරුවකු සිය​ සිතැඟි මුදා හැරෙන කලාත්මක ප්‍රකාශනයක් එළි දැක් වූ පසුව, එය ඉදිරියට ගෙන යාම සඳහා නිර්මාණකරු ගේ මැදිහත් වීමක් සිදු නො විය යුතු බව ද ඔහු විසින් අවධාරණය කර සිටී. ඉදිරියට ගෙන යාම ප්‍රේක්ෂක සහ විචාරක පාර්ශ්ව වල කාර්යය කි​. නාට්‍ය තරඟ උත්සව වල දී සිදු වන අකටයුතුකම්, රාජ්‍ය සේවයේ පිරිහීම, වැනි මාතෘකා සම්බන්ධව ද ඔහු ඉතා සෘජුව සිය අදහස් ප්‍රකාශ කර සිටින අතර​, ​ ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඔහු දරණ මතවාදයන් පසු පස ඇති සාධාරණ හේතු ගැන ද මෙහි දී කරුණු කියැවෙනවා.

ලූෂන් බුලත්සිංහල මහතා පවසන කලා ක්ෂේත්‍රයේ පසුගාමී බව අපට නිරීක්ෂණය වන්නට වූයේ අනූව දශකය මුල් භාගයේ පමණ සිට, “සාමාන්‍යයෙන් ආසාමාන්‍ය” යමක් කරන්නට ඉදිරිපත් වන​ සිරස ටීවී මාධ්‍යයේ ආගමනයත් සමඟි නි​. එදිරිවීර සරච්චන්ද්‍ර ආදී නිර්මාණකරුවන් සහ විචාරකයින් මේ කඩා වැටීම ගැන​ අනතුරු හඟවා ඇත්තේ අසූව දශකය මැද භාගය තරම් ඈතක දී බව ඔවුන් විසින් සම්පාදිත පොත් සහ​ පුවත්පත් ලිපි සාක්ෂි සපය යි. කඩා වැටුණු ප්‍රේකෂක රස වින්දනයේ මට්ටමට බැස නිර්මාණ නමින් කුමක් හෝ යමක් ඉදිරිපත් කළ ශිල්පීන් විසින් ඒවා සාධාරණීකරණය කරනු ලැබූයේ “ශෛලිය” යැයි පවසමිනි. ශෛලිය සහ නිර්මාණාශීලී බව අතින් හීන නිර්මාණ හඳුනා ගැනීමට තරම් සබුද්ධික රසිකයා නිසි පමණ​ දැනුම්වත්. එසේ ශෛලියට මුවා වී නිර්මාණ නමින් දෙන ඕනෑම දෙයක් බාර ගන්නට සූදානම් නැති සබුද්ධික ප්‍රේක්ෂකයින් සහ විචාරකයින්, මේ පිරිස විසින් කුහකයන් ලෙස ගැරහුමට ලක් කරනු ලැබී ය​. සරච්චන්ද්‍ර ආදීහු ද ඉහත කී පිරිස ගේ නො මඳ ගැරහුමට ලක් වූහ​​. නමුත්, එදා ඔවුන් පැවසූ දෙය අද වන විට යථාර්ථයක් වී ඇති බව විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාල නාළිකා ඔස්සේ ප්‍රචාරය​ වන දේ තුළ දකින්නට ඇති කලාකරුවන්, විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් යන ත්‍රිත්වයේ ම හැසිරීම දෙස් දෙයි.

-අමා නයනාදරී සිරිවර්ධන​-
14/11/2020

ලූෂන් බුලත්සිංහල මහතා සහභාගී වූ සංවාදය මෙතැනින් නරඹන්න​:

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සිසු සිසුවියන් විසින් ලූෂන් බුලත්සිංහල නිර්මාණ ඇගැයීම පිණිස සංවිධානය කළ වැඩසටහනක යොමුව පහතින් දැක්වේ. එහි දී ඒ මහතා ලෝකයේ කතෘ භාග අයිතිය ආරම්භ වූ ආකාරය පිළිබඳ අතීත කතා පුවත, නිරන්තර අධ්‍යයනය හරහා වර්ධනය කර ගත යුතු රසිකත්වය​, ජාතිකත්වය ගොඩ නැංවීම උදෙසා මහා වංශය කෙ තරම් දුරට ඉවහල් වේද​? යනා දී විවිධ මාතෘකා ඔස්සේ ඉතා පැහැදිලි විග්‍රහයක යෙදේ. තරමක දීර්ඝ ධාවන කාලයකින් යුක්ත නමුත්, ප්‍රසිද්ධ චරිත වල ඕපාදූප මට්ටමේ වැඩසටහන් දෙක තුනක් නැරඹීමට යන කාලය මග හැර, ඉඩ කඩ ඇති පරිදි විටින් විට හෝ නරඹන්නට නිර්දේශ කළ හැකි මට්ටමේ එක කි. ඔබ එය නරඹන්නට වැය කළ කාලය ගැන කිසිසේත් ම​ පසුතැවිලි නො වනු ඇති බවට සහතික විය හැකි යි.

කලාකාරුවන් වනාහී සංවේදී මනුෂ්‍ය කොට්ඨාශයකි?

“දේශපාලකයන් විතරක් නෙවෙයි අපි හැමෝ තුළම​​ පරමාදර්ශී (ideal) දේවල් සම්බන්ධයෙන් තියෙන්නේ ඇත්තටම පරිකල්පනාත්මක සිතුවිලි විතරයි. සින්දු , කවි , නවකතා, චිත්‍රපටි නාට්‍ය ඒවා කරනවා අපි. පොහොය දවසට හිත නිවන කතා වගේ දේවල් කරනවා අපි. ඒත් ඇත්තටම ඒවා ක්‍රියාත්මක කිරීමේදී අපි හරි දුර්වලයි. මොකද අපේ පුද්ගලික පරිභෝජනයට අවශ්‍ය දේවල් වලට උඩින් අර පරමාදර්ශී දේවල් කරන්න තරම් හයියක් අපිට​ නැහැ. ඒ වගේම වුවමනාවක් කවදාවත් ඇති වෙලා නැහැ. ඒ නිසා අපි හැමදාමත් කවි කියමින් , සින්දු කියමින්, කතා හදමින් ඉන්නවා අර වගේ පරමාදර්ශී දේවල් ගැන​.ඒ කියන්නේ හැමදාමත් ඒ පරමාදර්ශී දේවල් ගැන​ කලා නිර්මාණ කරමින් පමණක් සෑහීමකට පත් වෙමින් ඉන්නවා. සිංහල බෞද්ධයන් කියන්නේ අන්න ඒ වගේ තමා විසින්ම තමාව රවටා ගනු ලැබූ පිරිසක්….”

මේ කතාවේ දී ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් අරමුණු කර ඇති පණිවිඩයට වඩා මගේ අවධානය යොමු වුණේ සේපාල් අමරසිංහ අවසාන භාගයේ දී(10.20 සිට​), සඳහන් කරන ලද උක්ත කාරණයට යි​. මෙතෙක් , ළමා වියේ සිට ම සමාජ ආශ්‍රය තුළින් ලද අත්දැකීම් වලින් ම විසින් අවබෝධ කර ගත් යමක් ඔහු ඉතා නිවැරැදිව වචන වලට පෙරළා තිබීම ඊට හේතුව යි. දේශපාලකයන් වෙත පමණක් ඇඟිල්ල දිගු කරමින් සාමාන්‍ය ජනතාව , වඩාත් නිවැරැදිව කියනවා නම් “තමන්” නිර්දෝෂී වීමට උත්සාහ නො කර සිටීම ද, ප්‍රශංසා කළ යුතු කාරණයක්.

කථිකයා විසින් දැන ගෙන ඇති පරිදි ප්‍රේමකීර්තිද අල්විස් “බානෙන් බැඳ රජරට පෙදෙසින් නේ” ගීතය ලියා තිබෙන්නේ ද මත් පැන් හලක​, මධුවිත තොල ගාමින් devilled beef එකක් රස විඳින​ අතරේ දී වීමත් ගීතයේ අර්ථය සමග සසඳා බැලූ කළ, සෑහෙන උත්ප්‍රාසාත්මක (ironic) දෙයක්.

මා බෙහෙවින් ප්‍රිය කරන කලා නිර්මාණ දෙස බලා එම නිර්මාණ වල අන්තර්ගතය අනුව , ඒවාට දායක වූවන් ගේ සංවේදීකම හෝ මානුෂීය ගුණාංග පිළිබඳව හෝ නිගමනයන්ට බැසීමට ඉක්මන් නො වන්නේ එබැවිනි. නිර්මාණකරු කර ඇත්තේ වස්තු බීජයක් අනුව​​, පරිකල්පනය ද මෙහෙයවමින් කවි , ගීත, කතා ආදී රසවත් නිර්මාණ ප්‍රබන්ධය කිරීම පමණක් බව හොඳින් ම දන්නා හෙයිනි. ප්‍රායෝගිකව ඒ කිසිවක් ඔවුන් අනුගමනය කරනවාදැයි යන කාරණය​ ඉතාම සැක සහිත වෙනවා පමණක් නොව, කලා නිර්මාණයෙන් ඔබ්බට එය දැන ගැනීම රසිකයින් වන අපට කිසිසේත් ම​ අදාළ ද​ නැත​. ප්‍රේක්ෂකයින් ට වැදගත් වන්නේ නිර්මාණයක ඇති ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වීම පමණි. කඳුළු සළමින් කලා නිර්මාණ​ රස විඳින භක්තිමත් රසික​ ප්‍රජාව​ සම්බන්ධයෙන් ද මෙකී සිද්ධාන්තයෙහි කිසිදු වෙනසක් නො දකිමි.

“බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ” ගීතයේ අන්තර්ගතය අනුව, ප්‍රේමකීර්තිද අල්විස් මහතා තුළ තිබූ සත්ත්ව කරුණාව ගැන කෙනෙකු සංවේදී වූයේ නම්, එය ලෝකය සහ මනුෂ්‍ය චිත්ත සන්තානය​ පිළිබඳව ඔහු ගේ දැනුවත්භාවයේ ඇති වරදක් මිස, නිර්මාණකරු ගේ වරදක් නොවේ.

-අමා නයනාදරී සිරිවර්ධන​-
14/11/2020

ගව ඝාතන තහනම ගැන වීඩියෝව මෙතැනින් බලන්න​:

මෙහෙව් රටේ ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්ත​

ලංකාවේ සංගීත ලෝකය තුළ සිදු වූ ප්‍රධාන අවිචාරවත් සිදුවීම් දෙකක් දකිමි. එකක් , කුමන්ත්‍රණයක් හරහා සුනිල් ශාන්තයන් ගුවන් විදුලියෙන් නෙරපා දැමීමේ නැවත නිවැරැදි කළ නොහැකි ඓතිහාසික වරද යි.​ අනෙක​, ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතා ගේ අභිමතයට එ රෙහිව​ එවකට රජය විසින් එහි පද සංයුතිය වෙනස් කිරීම යි​. මේ අවස්ථා දෙකෙහි දී ම දේශීය සංගීත ආරක් හඳුන්වා දීම උදෙසා පුරෝගාමී මෙහෙවරක යෙදුණු දෙදෙනෙකුට එරෙහිව කටයුතු සිදු වීම ද සැලකිය යුතු කාරණයකි. එය, කලා ලෝකය තුළ මෙන් ම, ලංකා ඉතිහාසය තුළ ද රන් අකුරෙන් සටහන් විය යුතු දෛවෝපගත සිදු වීම් දෙක කි.

මෙකී අවස්ථා දෙකේ දී ම මා දකින්නේ, වර්තමානයේ විචාරකයන් යැයි හඳුන්වා ගන්නා පිරිස් සහ රසිකයින් විසින් එකී සිදුවීම් දෙස අපක්ෂපාතී ව, කාටත් වැටහෙන සිංහලයෙන් කියනවා නම්, objevtively බලනවා වෙනුවට, තමන්ට ඕනෑ තැනින් අල්ලා ගෙන, මතවාදී වශයෙන් තමන් එකඟ වෙන පාර්ශ්වයන් නිදොස් කොට මුදා හැරීමටත්, තමන් අකමැති පාර්ශ්වයන් බිම දමා පහර ගැසීමටත් තැත් කරන ස්වභාවයක්. විශේෂයෙන් ම සුනිල් ශාන්තයන්ට​ සිදු වූ ඓතිහාසික අසාධාරණයට මුවා වී, ශාස්ත්‍රීය අධ්‍යාපනයේ පරිපාකයට යාමට සමත් වූ​, විදග්ධ කුලකය යැයි සාමාන්‍යයෙන් හඳුන්වන සම්භාවනීය කලාකරුවන් සිය විෂය ක්ෂේත්‍රයට සිදු කළ කාර්ය සාධනය අවතක්සේරුවට ලක්‌ කිරීමට කටයුතු කරන අයුරු ද අපි දුටුවෙ මු. මෙය තවමත් නොයෙකුත් කඩාකප්පල්කාරී පාර්ශ්ව​ විසින් දිගටම කරගෙන යනු ද දක්නට ලැබේ.

මේ සිදුවීම් දෙකෙහි දී ම​ එයට​ සෘජුව මැදිහත් වූ සියලු පාර්ශ්ව වලින් ඊර්ෂ්‍යා මාත්සර්ය හේතු කොට ගෙන හිතාමතා හෝ “අපේකම” තුළ පවතින​ නෛසර්ගික ලක්ෂණයක් වන​ සමාජ ආචාර ධර්ම නො දැන සිටීම යන කාරණය නිසා හෝ සිදු වී ඇති වරද ඇති සැටියෙන් දකින්නෝ විරලය හ​. චූදිතයන්ට එරෙහිව තීන්දු තීරණ දීමේ දී, සන්දර්භය තුළින් විමසා බැලීමේ අවශ්‍යතාවය ඇති කෙනෙකුන් ද දකින්නට නැත​.

ජාතික ගීයේ පද වෙනස් කිරීම හේතු කොට ගෙන ඇති වූ සිත් තැවුළෙන් ආනන්ද සමරකෝනුන් සිය දිවි තොර කර ගත් බව ප්‍රසිද්ධ මතය යි. ධර්මසිරි බණ්ඩාරනායක මහතා ගේ වීඩියෝ පටයක් හේතු කොට ගෙන එය දැන් නැවතත් තරමක ආන්දෝලනයකට තුඩු දෙමින් කරළියට පැමිණ ඇත​. ඒ මහතා ගේ ප්‍රකාශයට එරෙහිව අදහස් දක්වන්නවුන් විසින් ද කෙරෙන්නේ, සිය ප්‍රකාශයේ දී ධර්මසිරි බණ්ඩාරනායක මහතා අගතියට පත් වී කටයුතු කළා සේ ම, පෙර සඳහන් පරිදි තමන්ට ඕනෑ තැනින් අල්ලා ගෙන , සිදුවීමට සම්බන්ධ අනෙක් සියලු කාරණා නො දුටු සේ මග හැර යෑමට​​ උත්සාහ කිරීම යි. පාඨකයන් ගේ තාර්කික බුද්ධිය අවතක්සේරුවකට ලක් කෙරෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම යි.

ආනන්ද සමරකෝනුන් දිවි තොර කර ගැනීමට පාදක වූ එක ම කාරණය​ ජාතික ගීයේ පද වෙනස් කිරීම නොවිය හැකිය​‌. එය එතුමන් ගේ ජීවිතයේ අනේක විධ දෝමනස්සයන් අතරට එක් වූ තවත් හේතුවක් පමණක් විය හැකිය​. එහෙත්, ජාතික ගීයේ නිර්මාතෘවරයා ගේ අවසරයෙන් තොරව එහි පද වෙනස් කළා කියන අසංස්කෘතික, සදාචාරාත්මක නොවන සිදු වීම​ පින් කෙත හෙළ රන් දෙරණේ වූ බව එයින් නිෂ්ප්‍රභා වන්නේ ද​ නැත​.

ජාතික ගීය ආශ්‍රිත​ ආනන්ද සමරකෝන් සිදු වීම විමසා බැලීමේ දී මට හැඟී යන දේ නම්, ජාතික ගීය ඔහු ගේ අභිමතයෙන් තොරව වෙනස් කිරීම ඔහුට දිවි නසා ගැනීමට ආසන්නතම හේතුව වූ බව අපට කිසිසේත් ම බැහැර කළ නො හැකි බව යි. ඔහු විසින් ජීවිතයේ දී මුහුණ දුන් අනෙක් ප්‍රශ්න ගෙන හැර පෑමෙන්, ජාතික ගීයේ පද වෙනස් කිරීම සිත් තැවුල් වැඩි කිරීමට හේතු වූ බව අසත්‍යයක් බවට පත් නො වේ. කරුණු විමසා බලන කළ​, ඔහුට එරෙහිව ඊර්ෂ්‍යා පරවශ චිත්තයෙන් කුමන්ත්‍රණ දියත් කළ අය ගේ අරමුණ ඉටු වීම ගැන ද්වේෂය මුසු කලකිරීමක් ඔහු තුළ පවතින්නට ඇතැයි අපට සිතිය හැකි ය​.

ජතික ගීයේ නිර්මාතෘ සිය දිවි තොර කර ගැනීම උත්කර්ෂයට නැංවීම වැළැක්වීමට අවශ්‍ය නම්, එය වෙන ම කළ යුතුය​. එද අසංස්කෘතිකයැයි හෙළා දැකීමට සහ ඉදිරි පරම්පරාවට දැනමුතුකම් දීමට අවශ්‍ය නම්, එය වෙන ම කළ යුතුය​. ඒ සඳහා සුනිල් ශාන්ත ක්‍රියා කලාපය හොඳම නිදසුන කි. තමා අත කිසිදු වරදක් නැති පසුබිමක සාහසික අකටයුතුකම් සිදු වෙද්දීත් එතුමන් ගේ ප්‍රතිචාරය ආනන්ද​ සමරකෝනුන් ට හාත්පසින් වෙනස් මගක් ගති. ඒ එතුමන් තුළ පැවති සංවරය යි, හික්මීම යි. වැරදි කළවුන්ට සමාව දී, තමන් වැපිරූ දෙයෙහි ප්‍රතිඵල ඔවුන්ට නෙළා ගන්නට හැර, සන්සුන්ව දිවි ගෙවීම එතුමන් සිය අධ්‍යාපනයෙන් ලද පරිචය යි. අසාධාරණ ක්‍රියා හමු වේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආදර්ශයක් සපයා දී ඔවුහු නිහඬ වූහ​​. දරුවන්ට තමන් ගත​ යුතු මග කියා දීම සඳහා මීට වඩා සුදුසු දෘෂ්ටාන්තයක් තිබේ ද​? නමුත් පළමුව, සිදු වූ දෙයෙහි ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට ඉඩ හළ යුතුය​.

ධර්මසිරි බණ්ඩාරනායක මහතා ගේ ප්‍රකාශයට විරුද්ධව කතා කරන බොහෝ දෙනා ආනන්ද සමරකෝන් මහතා ගේ පෞද්ගලික ජීවිතයේ වූ අනෙක් ගැටළු හුවා දක්වමින්, ජාතික ගීයේ නිර්මාතෘ ගේ අවසරයකින් තොරව, එය වෙනස් කිරීමට භාජනය කිරීම යන අසිරිමත් සිදු වීම පින්බර හෙළ භූමියේ සිදු වූ බවට​, සිය සදොස් සිත සමනය​ කර ගැනීමට වෑයම් කරන ආකාරය පිළිකුල් සහගත ය​. දිවි නසා ගැනීමට එම කාරණය ආසන්නතම හේතුව වූ බව හිතාමතාම අමතක කිරීමට උත්සාහ කරන අකාරය ඉතාමත් කණගාටුදායක ය​.

මෙහෙව් රටේ ඉදිරියටත් මෙවැනි අසංස්කෘතික දේ සිදු වීම පාලනය කිරීම සඳහා ආකල්ප සංවර්ධනයක් ඇති කර ගැනීම අපට සිහිනෙනු දු බලාපොරොත්තු විය හැකි ද​?

-අමා සිරිවර්ධන​-
18/09/2020

සති සිතු මිණි – 1 (2006) මහාචාර්ය සුචරිත ගම්ලත්

සුචරිත ගම්ලතුන් විසින් 1990 දශකය අග භාගයේ දී පමණ සිට​ දිවයින ඉරිදා සංග්‍රහයට සැපයූ තීරු ලිපි සරණියක පළමු වෙළුම යි. ලිපි ගොනුව තුළ​ නිශ්චිත වර්ගීකරණයක් දැකිය නො හැකි අතර​, මැතිවරණයක නිමාව​​, නව අවුරුදු උදාව​, සහස්‍රකයේ එළැඹුම , කලාකරුවන් පිදෙන සම්මාන හා උපහාර උළෙල නමින් එල්ල කෙරෙන ප්‍රහාර​​ , ශ්‍රේෂ්ඨ​ කලාකරුවන් ගේ නික්ම යෑම්, ක්‍රිකට් සැණකෙළි ආදී කාලීන මාතෘකා කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති බව පෙනී යයි. ඊට අමතරව ග්‍රන්ථ, චිත්‍රපට සහ ගීත විචාර ද හමු වේ. “සරෝජා චිත්‍රපටය”, “දසක සතක මතක” කෘතිය සහ “දස්කොන් සකිසඳ” ගීතය පිළිබඳව තබා ඇති විචාරාත්මක සටහන් ඊට උදාහරණ ය. මේ සියලු තැන්හි පාහේ ගම්ලතුන් සුපුරුදු ලෙස ස්වකීය තියුණු විමසුම් ඇස යොමා​, සදය උපහාසය මුසු අනම්‍යශීලී​ විවේචනාත්මක ස්වරය පැතිර වීමට නො මැළි වෙයි. නිර්දය විවේචනයක් නො දක්නා ලද්දේ, “දස්කොන් සකිසඳ” වැනී ගීත විචාරයක දී, එසේත් නැතහොත් සරත් දසනායක , රැයිපියෙල් තෙන්නකෝන් , රවි ශංකර් වැනි කීර්තිමත් කලාකරුවන් අගයමින් තබන ලද සමරු සටහනක දී පමණි. තියුණු විවේචන​ ඇතැමෙකු ගේ නො සතුටට හේතු විය හැකි වුවත්, ලිපි මාලාව ප්‍රවේසමෙන් කියවා ගන්නෙකුට ඒ තුළ සැඟ වී ඇති, පොදුවේ ශාස්ත්‍ර කලාවේ පරාභවය​ සහ සකල සමාජයේ පිරිහීම​ පිළිබඳ ව​ ඔවුන් තුළ පැවැති කම්පනය මුසු සංවේගයත්, සමාජ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය අවධාරණය​ කිරීමට තිබූ දැඩි උනන්දුවත් හඳුනා ගැනීම අපහසු නො වනු ඇත​.

සති සිතු මිණි – මහාචාර් ය සුචරිත ගම්ලත්

ලිපි මාලාව පුරා බස​ පිළිබඳව ​ගම්ලතුන් තුළ පැවති සංවේදීතාවය පිළිඹිබු වෙයි. භාෂාව යනු එහි විවිධ මානයන් මැනවින් දැන පරිහරණය​​ කළ යුතු අවියක් බව පැහැදිලි කරන්නේ නිසි උදාහරණ ද සමඟිනි. සරසවිවල කෙරීගෙන යන සිංහල භාෂා සංහාරය පිළිබඳ පවත් හෙළි කරන ගම්ලත්හු, වර්තමාන ලංකාවේ විශ්ව විද්‍යාලයන් හි සරසවි ඇදුරන් සිංහල හෝ ඉංග්‍රීසි හෝ හරිහැටි නො දන්නේ යැයි ද, විශ්ව විද්‍යාලයන්ට තබා ඇති විකට රූපී නම් ඒ සඳහා කදිම​ උදාහරණයැයි ද මතභේදයට තුඩු දිය හැකි ප්‍රකාශයක් දක්වා සිටිති. තවද සිංහලය නගා සිටවනු වස්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමේ වරම අහෝසි කිරීම හේතු කොට, භාෂා සංවේදීතාවය නැත්තටම නැති වී ගියේ යැයි ද, චෝදනා මුඛයෙන් පවසා සිටිති. එතුමන් ගේ බසින් ම කියතොත් එය මෙසේයි;

“පුස්තිකා මාලා ලියමින් සිංහලයේ මහිම වනන මේ රටේ අතමිට ඇත්තන් ඉංග්‍රීසියෙන් උගන්වා ගැනීම සඳහා තම දරුවන් බටහිර රටවලට හා ඉන්දියාවට පටවා යැවීම තරම් උත්ප්‍රාසයක් තවත් ඇද්ද​? “

“ඇත​. මේ සමාන ම තවත් උත්ප්‍රාසයක් ඇත​. එනම්, සිංහලය නංවන්ට ය යි ඉංග්‍රීසිය නැති කළ මේ රටේ දැන් මැනවින් සිංහල දන්නන් නො මැති වීම යි. පාසල් ගුරුවරුන්ගේ, විශ්වවිද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් ගේ හා උපාධිධාරීන්ගේ අතිමහත් බහුතරයට හරි සිංහල, හොඳ සිංහල බැරි ය​. අද මෙරට තිබෙන්නේ බසක නිසි පරිහරණය නො ව මුව නො සෑහෙන තරම් බසක මහිම වැනීම පමණි.”

ඉංග්‍රීසි භාෂා කප්පාදුව විශ්ව විද්‍යාලයන් හි ශාස්ත්‍ර කලා පරාභවයට හේතු වූ බවට ගම්ලතුන් ගෙනෙන තර්කය බැහැර කළ නො හැකිය​. 1960 පමණ වන තෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලත් විශිෂ්ට අධ්‍යාපනය හරහා විශ්ව ඥාන සම්භාරයට දොරටු විවර වීම හේතුවෙන් මෙකල මෙන් නො ව එකල සරසවි ඇදුරන් දැමුණු ඉඳුරන් සහිතව, ද්විභාෂා ප්‍රගුණ ව, ප්‍රඥා ප්‍රදීප්ත ව ලෝ වැඩදායී සිසු පරපුරක් තැනීමෙ හි අප්‍රමාද ව කටයුතු කළ බව ඔවුන් ගේ මතය යි. විශ්ව දැනුම සඳහා ඉංග්‍රීසිය හැර අන් පිවිසුම් දොරටුවක් නැතැයි අවධාරණය කරන ගම්ලතුන් , පාසැල් අධ්‍යාපනයෙන් කප්පාදු කළ ඉංග්‍රීසිය ක්‍රමයෙන් නැවත ප්‍රතිෂ්ඨාපනය කළ හැකි මඟක් ද දක්වා සිටී. යුරෝපා රටවලින් හෝ ඉන්දියාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ගෙන්වා පහළ බාලාංශ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට කටයුතු සම්පාදනය කිරීම යි.

ගීතයක් වේවා , චිත්‍රපටයක් වේවා, කාලීන සිදුවීමක් වේවා ගම්ලතුන් ගේ විචාරයට බඳුන් වන්නේ මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙනි. ඒ බව මෙහි ඇතුළත් විචාර ලිපි තුළින් ද විද්‍යාමාන වේ. එතුමන් ගේ දේශපාලන දර්ශනය මට නො රිසි වෙයි. ලිපියෙ හි මුල් භාගයේ දී මැහැදුරුතෙම විසින් ඉදිරිපත් කෙරෙන​ විවේචනය හා මුළුමනින් ම පාහේ එකඟ විය හැකි වුව ද , අවසාන භාගයට එද්දී සියලු අක්‍රමිකතා සඳහා හේතුභූත වූ කාරණය ලෙස පන්ති සමාජයේ විෂමතාවය ගෙනහැර දැක්වීමේ දී එතුමන් ගේ ස්ථාවරය​, මා සිටින තැනින් බෙහෙවින් දුරස් වී යයි. මෙකී චක්‍රය​​ සෑම ලිපියකදී ම පාහේ අත්දකින්නට සිදු විය​. ගම්ලත් ධීමතුන් පවසන පරිදි;

“පන්ති සමාජය අහෝසි කොට මිනිසා එයින් තම ගත සිත තැවරුණු කැත කුණු ද සෝදා හැර ගන්නා තෙක් ම නිසි නියම ප්‍රේමය, උත්තරීතර ස්ත්‍රී-පුරුෂ සබැඳියාව මිහිමත පහළ නො වේ.”

ඔවුන් එසේ කියන්නේ “දස්කොන් සකිසඳ” ගීත විචාරයේ දී යි. මෙ කියන පරිදි පන්ති සමාජය පහව යනතෙක් තථ්‍ය ප්‍රේමය ලොව පහළ වන්නේ නැත​. අනෙක් අතට පන්ති සමාජය පහ ව ගිය කළ, නිර්ව්‍යාජ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවයන් ගොඩ නැඟී මෙ ලොව පාරාදීසයක් වෙයි. එය එසේ වන්නේ කෙසේ දැයි මා තවමත් කල්පනා කරන්නේ මමංකාරය, සසර ගති පුරුදු, කර්මය ආදී පරලොවක් ගැන සඳහන් ආගමික සංකල්ප වලින් බැහැර නො ගොස් සිතන​ හෙයින් විය යුතු ය​. මා දන්නා තරමින් අවාසනාවට ගම්ලතුන් තුළ පරලොවක් ගැන​ විශ්වාසයක්‌ තිබී නැත​.

සිංහල-දෙමළ ​වර්ගවාදී ගැටළුව සම්බන්ධයෙන් ද එ තුමන් ගේ විවරණය ගැටළු සහිත ය​​​. “සරෝජා” චිත්‍රපට විචාරය​ එවැනි අවස්ථාව කි. සිනමා කෘතියේ නිර්මාණාත්මක පාර්ශ්වය පිළිබඳව විවේචනය – එහි “භාවාතිශය” ස්වභාවය​, එ නම්, කෘතියේ කලාත්මක අරමුණට අවශ්‍ය වන පමණට වඩා හැඟුම් මැවීම ගැන සපුරා ම එකඟ වන නමුදු, අවසානයේ දී එ තුමන් කියන සේ වර්ගවාදී ගැටළුව සම්බන්ධයෙන් එ තරම් සරල පැහදිලි කිරීමක් දිය හැකි දැයි යන ගැටළුව පැන නැගිණි. කරුණු එසේ වුව​, මේ ලිපි සමුච්චය කියවිමට ප්‍රධාන වශයෙන් මා පොළඹවන ලද​ සාධක දෙකක් දක්වා සිටිනු කැමැත්තෙමි.

ඉන් පළමුවැන්න, සුචරිත ගම්ලත් වැනි සුධීමතකු අදහස් පළ කරන්නේ හුදු හිතළු මත පිහිටා නො ව​, ඥාන ගවේෂණයෙන්, පළපුරුද්දෙන් සාක්ෂාත් කර ගත් කරුණු ඔස්සේ යම් පදනමක පිහිටා බව උප විඥානයට හැඟෙන හෙයිනි. පාඨක බුද්ධිය ආමන්ත්‍රණය කෙරෙන යමක් හැම ලිපියකම විය​. යට සඳහන් සිංහල​-ඉංග්‍රීසි භාෂා පරිහානිය පිළිබඳ එතුමන් ගේ විස්තර කථනය ඊට නිදසුන් ය​. ප්‍රාඥයකු වූ පමණින් , ඔවුන් පවසන සියල්ල දේව වාක්‍ය සේ ගත යුතු යැයි ද නො කියමි. නමුත් අපගේ මතය පසෙක තබා එවැන්නන් ගේ කෘති සහ ලිපි කියවා බැලීම වටී. විමසා බලා අවශ්‍ය නම් පිළිගත හැකිය​. හැරත්, අප දරණ ඇතැම් මතවාදයන් , උදාහරණ ලෙස ලංකාවේ වර්ගවාදී ප්‍රශ්නය පිළිබඳ ස්ථාවරය​ , ​​ ඉදිරියේ දී වෙනස් නො වේ යැයි කාට නම් කිව හැකි ද​?

රට කරවන්නන්ගේත්, පුරවැසියන් ලෙස අප සැමඟේත් අවධානයට පාත්‍ර විය යුතු යැයි ලිපි මාලාව තුළ හමුවන තවත් වැදගත් සංකල්පයක් ගෙනහැර දැක්වුවහොත් ඒ මෙසේ යි;

පෝෂ්‍යදායී සමබල ආහාර රටාවක් සහ​ විශ්ව දැනුමට​ දොරටු හැරෙන පුළුල් ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයක් තරුණ තරුණියන් ගේ කායික , මානසික සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සාධක ලෙස දක්වන ඔවුහු, ඒ සඳහා පවතින ආණ්ඩුවේ විශේෂ මැදිහත්වීමක් තිබිය යුතු බව කියති. කලාව කෙරෙහි තරුණ තරුණියන් නැඹුරු වන්නේ බුද්ධි වර්ධනයට සමගාමී ව ය​ . අවසානයේ දී මනා හික්මීමක්, ආධ්‍යාත්මික දියුණුවක් ඇති වනු ඇති බව ද, ඒ හරහා ඔවුන් උත්තරීතර මනුෂ්‍ය සබැඳියාවන්, “අටමහ බැලුම්” නො බලන ගැඹුරු, අරුත්බර ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවයන් කෙරෙහි යොමු වනු ඇතැයි ද පවසති. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබ​, විශ්ව ඥාන සම්භාරයෙන් සුපෝෂිතව, සෞන්දර්යය කලා කෙත බැබලුණු යුගයේ දීත්, විවිධායතන තුළ සිදු වූ ඓතිහාසික අසාධාරණයන්, අක්‍රමිකතාවන් පිළිබඳ ව වාර්තා කියවීමේ දී, ඥාන වර්ධන ආදී අත්‍යවශ්‍ය සාධක​ පූර්ණ වූ කල් හි පවා, මනුදම් අගයන ගුණගරුක සමාජයක පැවැත්ම ඇති වේදැයි සංශයක් මතු වේ. ඊට ද හේතුව, එ කල්හිත් නො නැසි පැවතුණු පන්ති විෂමතාවය ද​​?

පුරුෂෝත්තමවාදයට​ තිත තැබීමට​, ස්ත්‍රී ගර්හාව පිටු දැකීමට එතුමන් පෙනී සිටිම සිත පහදවන සුළු වුව ද​, ඒ සඳහා යෝජනා කෙරෙන ක්‍රමවේදය කෙ තරම් දුරට ප්‍රායෝගිකදැයි කුකුසකි. අප සමාජයේ සියලු ගැටුම් ,පෙළීම්, අනර්ථකාරී ක්‍රියා සහ භේද භින්න වීම් පිටුපස ඇති මහා පොදු සාධකය ලෙස ගම්ලතුන් දකින්නේ පන්ති සමාජ විෂමතාව ය යි. ඒක පාන්තික සමාජයක් ප්‍රායෝගික නො වුව ද , කෙසේ හෝ ඇති කර ගත්තත්, එ පමණින්, උගත්කම්, බුද්ධි මට්ටම්, ශක්‍යතාවන්, රූපය වැනි වෙනස්කම් මත, උස් පහත් භේද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ , කුහක, මද මාන නැති වේද​? භේද භින්න වීම් නො සිදු වේ යැයි කිව හැකි ද​? ඒ හේතු කොට ගෙන​ එකිනෙකා කෙරෙහි එල්ල වෙන හිංසාකාරී ක්‍රියා, විශේෂයෙන් ම කාන්තා හිංසන​ අහෝසි වී යාද​? විමසුමට ලක් විය යුතුය.

පොත කියැවීමට පොළඹවන​ අනෙක් සාධකය​​​, ගම්ලතුන් ගේ වර්ණනා විෂයාතික්‍රාන්තවූත්, පරිපූර්ණවූත් ​, ​මනබඳින රචනා ශෛලිය යි. බස හසුරුවන්නේ පිරිපුන් වාක්‌කෝශයකින් සුපෝෂිත ව​, අපූර්ව ලාලිත්‍යයකි නි. මියැසි රටාවක් සේ රිද්මයානුකූල වූ, අනුප්‍රාසය නංවන සුළු වූ තැන් සුලබ ය​. මේ මා සිත් ගත් එ වැනි රමණීය අවස්ථා කිහිපය කි;

“සකල බන්ධන විනිර්මුක්ත​, සර්ව පාක්ෂික ව පරිපූර්ණ ඇතුළතින් නො බෙදුණු, ව්‍යාජ ජීවිත රහිත, සමාන වර්ධනයට පාත්‍ර වූ පුද්ගලයන් ගේ අන්‍යෝන්‍ය ස්පර්ශය පවා පරමානන්ද නන්දනය​, බ්‍රහ්මස්වාදය ගෙන එනු ඇත​.” (පිටු.88)

“අද තතු මෙසේ වුව ද හැදී වැඩී එන සමයේ කාරියකරවනයන් සම්පර්කයට පත් බුද්ධිමය පරිසරය උත්තේජනදායී ද උද්දීපනකාරී ද උත්කර්ෂණශීලී ද විය​.” (පිටු.106)

“සංගීත චක්‍රවර්ති රවි ශංකරයෝ ඥානවෘද්ධ ව, ගුණවෘද්ධ ව​, ශිල්පවෘද්ධ ව​, චිරකාලදර්ශී ව​, සකල ලෝක පූජිත ව භාරතයේ ද කැලිෆෝනියාවේ ද වාසය කරත්.” (පිටු.142)

අවසාන වශයෙන් සංගීතයට ළැදි ප්‍රේක්ෂිකාවක ලෙස, සෞන්දර්ය කලාදියෙ හි වර්ධනය උදෙසා වැදගත් යැයි හැඟෙන, මගේ විශේෂ අවධානයට පාත්‍ර වූ තැනක් උපුටා දක්වමින් සටහන හමාර කරමි.

“කලාව ජීවිතය ඥානනය කරන සුවිශේෂ ක්‍රමයකි. නෛසර්ගික ප්‍රතිභාව ද​, නිර්මල වු බොහෝ උගැන්ම ද​, නො මඳ සතතාභ්‍යාසය ද කලාවේ හේතු නම් වන්නේ ය​.” (පිටු 128)

– අමා නයනාදරී සිරිවර්ධන
28/09/2020

Design a site like this with WordPress.com
Get started