“අයාලේ ගිය සිතක සටහන්” කියවා ලැබූ ආනන්දය තුළින්, කෘතිය පිළිබඳ මගේ විමසීම මෙසේ සටහන් කර තබමි.

තිස්ස අබේසේකරයන් විසින් ‘ඉරිදා ලක්බිම’ පුවත්පතට ලියූ තීරු ලිපි එකතුවක්, ‘කෝට්ටේ කළාලේ’, ‘සත්සර සටහන්’, ‘සිවුපද සංවාද’ සහ සිතැඟි යන ප්‍රවර්ග සතර යටතේ කෘතියක් ලෙස සංග්‍රහ කිරීම කි. සිය ළමා විය ආශ්‍රිත පෞද්ගලික මතක සටහන්, පුරාවෘත, කටකතා, දෙස් විදෙස් සාහිත්‍යය ඇසුරු කිරීමෙන් ලබා ගත් දැනුම, සැරිසර මතක සහ අත්දැකීම් තුළින් එළැඹුණු මත සහ නිගමනයන් ලිපි ඔස්සේ අප වෙත තබන්නේ මියැසියක් හා සමාන බස් වහරකින් සරහන ලද ගද්‍ය රචනා රීතියකිනි. බැලූ බැල්මට විසිරුණු සිතුවිලි ගොන්නක් ලෙස පෙනුණ ද, ඉතිහාසය, සංගීතය, ගේය පද සාහිත්‍යය, කවිය සහ සිනමාව වැනි විෂය පිළිබඳව එළැඹුණු ගැඹුරු සංකල්පනාවන් තිස්ස අබේසේකරයන් වෙන් වෙන් ලිපි හරහා පාඨකයා වෙත ගෙන හැර දක්වන්නේ, ඒ එකිනෙක ලිපි සීරුවෙන් ගැට ගසන, ක්‍රමවත් සම්බන්ධතාවයක් ද ඇති වය. මුල් ලිපි කිහිපය කියවා ගෙන යද්දීම ම සිතෙහි මෙබඳු ප්‍රශ්නයක් පැන නැගිණි.
බාල විය හා සබැඳි විත්ති ස්මරණය කිරීමට අප කවුරුත් පාහේ කැමැතිය. නෑ සියන් හෝ පාසැල් කාලයේ මිතුරු මිතුරියන් හමු වූ කල් හි අප උනුන් හා දොඩමළු වන්නේ යට ගියාවේ මිහිරි මතකයන් නැවත නැවතත් ආවර්ජනය කරමිනි. බොහෝ විට මේවායේ අගක් මුලක් නැත. ප්‍රියතම ගීතයක් සිතුණු විටෙක වාදනය කරන්නා සේ, අතීතයට ගොස් එබී බලද්දී හමුවෙන මතකයන් පුන පුනා කියද්දීත් විඩා නොදැනේ. එසේ නමුත්, නෑ හිත මිතුරුකමක් හෝ අදාළ කාල වකවානුවට බන්ධුතාවයක් හෝ නැත්නම්, අසන්නාට ප්‍රිය උපදවන අත්දැකීමක් වන්නේ අඩුම තරමින් ඓතිහාසික අගයක් වැනි යමක් එකී විස්තරය තුළ ඇති විටෙක දී පමණි. ඔහු එම විස්තරයට පූර්ණ වශයෙන් ආගන්තුකයකු නම්, “බසකින් නොදන්නා කියන පුවතට පෙන්නා නොසතුටුව ඉන්නා” දනන් මෙන් බලා හිඳීමට සිදු වනු ඇත. එවැනි අකරතැබ්බයන්ට නිරතුරු මුහුණ පෑ ඇත්දැකීම් ඇති මම, තිස්ස අබේසේකරයන් ගේ, “අයාලේ ගිය සිතක සටහන්” කෘතිය තුළ බහුල ලෙස ඔහු ගේ ළමා විය, හිත මිතුරන් හා කෙරුණු සංවාද, වෘත්තීය ජීවිතය, ආදිය හා සබැඳි අතීත ස්මරණ සටහන් හමු වෙද්දී, කියැවීමේ විඩාවක් නොදැණුනු අරුමය මන්දැයි කල්පනා කෙළෙමි.
ගීතයක සේ රිද්මයක් ධ්වනිත කරවන අතිශය පැහැබර වූත්, නිරවූල් වූත් රචනා රීතියකින් ලිපි ලියා තිබීම නිසා ද? මවිත කරවන සුළු ලෙස බස හැසිරවීම ද? නැත. ඒවායෙන් ලබා දෙන්නේ පොත කියැවීමට අමතර පෙළැඹුමක් පමණි. පොත කෙරෙහි ඇඳ බැඳ තබන්නා වූ ඊට වඩා ගැඹුරු යමක් එහි ඇතැයි මම සිතමි. බෙහෙවින් ඇසූ පිරූ තැන් ඇති බුද්ධිමතකු වූ තිස්ස අබේසේකර සූරීන් සතු වූ විවිධ විෂය පිළිබඳ ඉතිහාසගත දැනුමෙන් බිඳක් පොත කියැවීමෙන් ලැබෙන හෙයිනැයි පවසා ලිපි පෙළෙහි අගය අඩුවෙන් තක්සේරු කිරීමට ද නො කැමැත්තෙමි. නමින් “අයාලේ ගිය සිතක සටහන්” වුවත්, ලිපි පෙළෙහි යටි පෙළ සකස් කිරීමේ දී ඉතිහාසය, සංගීතය, සිවුපද කවිය , ගේය පද කාව්‍ය සහ සිනමාව වැනි විෂය ඔස්සේ මෙතෙක් කිසිවකු ගේ අවධානයට පාත්‍ර නොවුණු මානයන් පෙන්වා දීමත්, කියවන්නා තුළ සත්‍යය සොයා යාමේ කුතුහලය ඇවිස්සීමත් අරමුණු වූවා යැයි මට සිතේ. ඒ සඳහා ‘සත්සර සටහන්’ මැයෙන් පෙළ ගස්වන ලිපි තුළ ඇති උදාහරණ කිහිපයක් මෙසේයි;
සෘජු ප්‍රතිපත්ති දැරූ සංගීතවේදියකු වූ සුනිල් සාන්තයින් , ඓතිහාසික රතන්ජන්කර් පරීක්ෂණය පිටු දැකීම හේතු කොට ගෙන ඔහුට ගුවන් විදුලියේ දොරටු වැසී ගිය බව සිංහල ගීතයේ ඉතිහාසය සොයා යාමේ ආශාව ඇති රසිකයින් අතර තරමක් ප්‍රකට කාරණය කි. එහෙත්, මෙතෙක් අප දැන සිටි පරිදි , පියානෝව වැනි බටහිර වාද්‍ය භාණ්ඩ, සහ ප්‍රසංවාද, ප්‍රතිනාද වැනි බටහිර සංගීතයේ එන ශිල්ප ක්‍රම භාවිතය ගුවන්විදුලිය තුළ සපුරා තහනම් කෙරුණේ සැබැවින්ම රතන්ජන්කර් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද? රතන්ජන්කර් පඬිතුමා එවැනි නිර්දේශයන් කළ බවට සාක්ෂි සටහනක් තිස්ස අබේසේකරයන්ට ගුවන්විදුලි කමිටුවක සාමාජිකයකු ලෙස සිටි කාලය තුළ දී හමු වීද? නැත්නම් එය ඇතැමුන් තුළ තිබූ වෘත්තීය ඊර්ෂ්‍යාවක් මත පදනම් ව ගොඩ නැගුණු ගෝත්‍රික කල්ලිවාදයේ නිර්ලජ්ජිත ක්‍රියාවන් හි ප්‍රතිඵලයක් ද? ගුවන්විදුලිය තුළ ක්‍රියාත්මක වූ මෙම ගෝත්‍රික කල්ලිවාදයෙන් අපරදිග ශිල්ප ක්‍රම ඇසුරු කළ, සුනිල් සාන්ත, බී.එස්. පෙරේරා, වැනි ශිල්පීන් පන්නා දැමීම සඳහා “රතන්ජන්කර් නිර්දේශ” නමින් එල්ල කළ නිර්දය ප්‍රහාරයක් ද? මේ සඳහා පිළිතුරු පිටු 152-161 තුළ හමු වෙයි.
අනුකරණය ප්‍රධාන ප්‍රවාහය වූ සමයක, ඉන්දියානු ගැති භාවයෙන් මිදී, නව සිංහල ගී සම්ප්‍රදායයක ඇරඹුම සටහන් කෙරෙන්නේ ආනන්ද සමරකෝන් සූරීන් විසින් බව පිළි ගත් මතය යි. ශාන්ති නිකේතනයේ දී සංගීත අධ්‍යාපනය හදාරා 1937 දී සිය රට බලා පැමිණෙන, සමරකෝනුවන් විසින් පද බැඳ , සත්සර මුසු කොට ගායනා කරන ලද “එන්නද මැණිකේ” ගීතය බිහි වන තුරු ලංකාවේ දේශීය සංගීත සම්ප්‍රදායයක් පිළිබඳව අවධානය යොමු කර තිබේ ද? මේ පැනයට පිළිතුරු අබේසේකර සූරීන් ඉදිරිපත් කරන්නේ දේවාර් සූරියසේන නම් තවත් විශිෂ්ට ගණයේ ලාංකීය නිර්මාණකරුවකු පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් ද අප හමුවේ තබමිනි. දේවාර් සූරියසේන , වන්නම් ගී සහ පාරු කවි වැනි ජන ගී වල ස්වර රටා ඇසුරෙන් කරන ලද ස්වතන්ත්ර නිර්මාණ එළි දක්වා ඇත්තේ 1930-1934 කාල වකවානුවේදී යි. එසේ තිබියදීත්, දේශීය සංගීතයක් වෙනුවෙන් සිය දිවියම කැප කළ දේවාර් සූරියසේන දේශීය සංගීත සම්ප්‍රදයයක් සඳහා පෙර ගමන්කරු ලෙස නො සැලකෙන්නේ ඇයි? ආනන්ද සමරකෝනුන්ට කලින් ඔහු දේශීය සංගීතයක් උදෙසා අලුත් ආරම්භයක් ලබා දුන් බවට නො පිළිගැනෙන්නේ ඇයි? මේ ප්‍රශ්නයටද තිස්ස අබේසේකරයන් සුපැහැදිලි පිළිතුරක් ලබා දෙන්නේ භාෂාවේ ශබ්ද ධර්මයන් සහ සංගීතයේ ස්වරය අතර තිබිය යුතු “වෙනස් නොකළැකි සම්බන්ධතාවය” ගැන පෙර නොඇසු විරු මන බඳින විස්තරයක් ද සමගිනි. (“පොදු ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය සඳහා දේවාර් සූරියසේන දායකත්වය” යන මැයෙන් එහි ඇතුළත් කරුණු පිළිබඳව විමසා බැලීමක් වෙනත් ලිපියකින් ඉදිරිපත් කළෙමි.)
තව ද, ලංකාවේ ජන සංගීතයට මධ්‍යම යුරෝපීය සම්භවයක් තිබේද? පන්ති භේදය මත පදනම් වූ රුචිකත්වයක් සිංහල සංගීතය තුළ වේද? ජෑස් සංගීත නාද රටා සහ අපේ රටේ යාතු කර්ම වල ඇසෙන බෙර හඬ අතර ඇති සාම්‍යය කුමක්ද? වැනි විවාදයට තුඩු දිය හැකි සංකල්පනා රාශියක් දීර්ඝ කාලයක් පුරා විවිධ නිර්මාණ ඇසුරු කිරීමෙන් ලත් දැනුම ආශ්‍රිතව ලියා පෙළ ගස්වා ඇති ලිපි , ‘සත්සර සටහන්’ ගොනුව තුළ හමු වේ. ඒවා සිංහල සංගිතය පිළිබඳව උනන්දුව ඇති අයකුට සොයා යාමේ ආශාව නැමැති ගිනි පුපුර දැල් වූ අවස්ථා ලෙස මම දකිමි.
පොදු සම්මතය තුළ ඇති පිළිගත් මත තිස්ස අබේසේකරයන් සිය බාල වියේ අත්දැකීම් සහ විවිධ විමර්ශන ඔස්සේ කල්පනාව මෙහෙයවීමෙන් තියුණු ලෙස ප්‍රශ්න කෙරෙන අවස්ථා මෙහි බහුලය. ලෝකයේ වෙනත් පුරාණ නගරවල වසර දහස් ගණනක් ගත වීත් එදා තිබූ ගිහි ජීවිතයේ සලකුණු අදත් දකින්නට ලැබෙයි. එහෙත්, සැළලිහිණියේ වර්ණනා වන පරිදි, කෝට්ටේ නගරයේ තිබුණා යැයි කියන ඉසුරුමත් ගිහි ජීවිතයක කිසිදු ලකුණක් අද සොයා ගත නොහැකි වන්නේ මන් ද? යන පැනය ‘කෝට්ටේ කළාලේ’ නමින් වර්ග කර ඇති ඓතිහාසික තොරතුරු රැගත් ලිපි ගොනුව තුළ ඔහු මතු කරයි. ප්‍රශ්නය ඉදිරිපත් කර පිළිතුරු විමසා බැලීමක් කිරීමට ද අමතක නො කරයි. ‘‘සිවුපද සංවාද’ ප්‍රවර්ගය යටතේ ගොනු වෙන ලිපි අතර ඇති ගජමන් නෝනා ගේ අගමුල සොයන ලිපියේ ද තවත් එවැනි ජනප්‍රවාදයේ එන මතය ප්‍රශ්න කරන තැනක් හමු වෙයි. කරතොට හිමියන් වෙතින් ගජමන් නෝනා කවි උගත්තේ සැබැවින්ම කොලු වෙස් ගෙන ද? නැත්නම් උන් වහන්සේ සහ ගජමන් නෝනා අතර අසම්මත සම්බන්ධයක් වී ද?
කෙසේ වෙතත්, ඉහත සඳහන් වන මතවාද සියල්ල තිස්ස අබේසේකර සූරීන් ම කියන පරිදි විධිමත් ශාස්ත්‍රීය ගවේෂණයකින් අනතුරුව එළැඹුණු නිගමන නො වේ. හුදෙක් සැරිසර මතක, පොත් පත්, පුරාවෘත සහ සංවාද ආශ්‍රයෙන් එකතු කර ගත් දැනුමකට අනුව ඉදිරිපත් කෙරෙන මත පමණි. වැඩි දුර කරුණු විභාග කිරීම පාඨකයා සතු වගකීමකි. වැදගත් වන්නේ, මෙතෙක් අවධානයට පාත්‍ර නොවූ එහෙත්, ඇත්තෙන්ම විමසා බැලිය යුතු තැන් පෙන්වා දී තිබීම යි.
‘සිවුපද සංවාද’ තුළ හමු වන බුද්ධිගෝචර සංකල්පවාදයට නතු වීමෙන් කෙළෙසුණු පැදියේ නිර්මලත්වය, කවියෙන් ගිලිහී ගිය අව්‍යාජත්වය ප්‍රකට කරවන නූතන ගේය කාව්‍ය ගැන කෙරෙන සිත් ගන්නා සුළු විස්තරය මට යමක් නැවත මතක් කරැවීය. එය මෙතෙක් මා විසින් සමාජ නිරීක්ෂණයෙන් එළැඹ තිබූ නිගමනයකි. සරල කවියක හෝ සරල ගීතයක හෝ නිර්මලත්වය විඳිමින් සරල බව තුළ සැඟවුණු අද්භූත ගැඹුර දැකිය හැකි වන්නේ බස පිළිබඳ සෑහෙන පමණ නිපුණත්වයක් සහ බසෙහි ධ්වනිතාර්ථයන් දකින සංවේදීතාවයක් ඇති අයෙකුට පමණි. බස පිළිබඳ ඇතැම් විශාරදයින් පවා විදග්ධ භාෂා රටාවක අතරමං වූ සංකල්ප ගෝචර පද්‍යයේ සිර වී සිටිද්දී, තිස්ස අබේසේකරයන් පැදියේ නිමල සිහිල් දියේ රිසි සේ පිහිනා සැනසෙයි.
මේ සියල්ලටම වඩා බෙහෙවින් මා සිත් ගත් තැනකි මහා කවි පබ්ලෝ නෙරූදා ගැන කෙටි විස්තරයක් සඳහන් ලිපිය. වැල්ලවත්තේ දී කසළ ශෝධක ළඳකට පෙම් බඳින මේ මහා කවියා පසුව සිය චරිතාපදානයේ දී එම සිදු වීම ගැන පාපොච්චාරණයක ස්වරූපයෙන් පවසන දේ සඳහා තිස්ස අබේසේකර සූරීන් තමන් ගේ අර්ථ කථනයක් ලබා දෙයි. එම අර්ථ කථනය තුළ සැබැවින්ම විස්තර වන්නේ නෙරූදා නොව, තිස්ස අබේසේකරයන් සතු වූ උත්තම ගුණයක්යැයි මට සිතෙයි.
මේ කෘතියේ තරමක් හෝ අලස බවකින් කියවා ගිය තැනක් වේ නම්, ඒ ‘කෝට්ටේ කළාලේ” ගොනුව තුළ හමු වන “පරංගියා කෝට්ටේ ගිය පාර” වැනි ලිපි කිහිපයක් පමණි.ඒ අලස බවට හේතුව ලංකාවේ මහා මාර්ග සලකුණු පිළිබඳ මගේ ඇති අල්ප දැනුම මිස, තිස්ස අබේසේකර සූරීන් සටහන් තැබිමේ දී කළ වරදක් නො වේ යැයි සිතමි. යම්තම් දිනපතා ගිය කාර්යාලයේ සිට ගෙදරට එන පාර වැනි ගමන් මාර්ග කිහිපයක් පමණක් දැන සිටි මා, කතුවරයා විස්තර කොට දක්වන නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශයන්හි සියුම් මං සළකුණු හඳුනා ගන්නේ කෙසේද? ඒ නිසා ඉදිරිපත් කෙරෙන තර්කයට පදනම් වන කරුණු නොව, එවැනි ලිපියෙක මුඛය අදහස පමණක් ග්‍රහණය කර ගනිමින් කියවා ගෙන යන්නට මට සිදු විය.
සිය පියා ගේ නියමය පරිදි තිස්ස අබේසේකරයන් මූලික අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. සිය ජීවිතයේ මුල් වසර දහය දක්වා සිංහලයෙන් ලිවීමට කියවීමට ඉගෙන ගෙන නැත. එසේ නම්, ඔහු සිංහල කලා සම්ප්‍රදායයන් වල රසය හඳුනාගත්තේ කෙසේ ද? බාල වියේ පටන් සිය මව ගේ ආභාසය නිසා හඳුනාගත් භාෂාවේ සහ පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ රිද්මය, පසුකාලීනව ඔහු ගේ රස වින්දනය සහ කලා ජීවිතය හැඩ ගස්වා ඇති බවට කෘතිය තුළ තැනින් තැන තොරතුරු හමු වෙයි. පෙරවදන තුළ ඒ පිළිබඳව තිස්ස අබේසේකරයන් සිය වචනයෙන් මෙසේ සඳහන් කර ඇත;
“ඉතා විලම්බ වූ ලයකින් ද, ශෝකාකූල ස්වරයකින් ද අම්මා මට ගයා පුරුදු කළ සිංහල කවි සීපද වල නාදයත්, පුංචි කෝච්චියේ නළා හඬත්, දෙවොල් බෙරයේ ගුපත පදයත්, එකට මුසු වන්නේ කෙසේදැයි ස්වරඥානය හා තාල ඥානය අනුව නම් පැහැදිලි කළ නො හැකිය.”
කුඩා කළ සිට කලාව රස විඳීම උදෙසා මවගෙන් ලද ආභාසයත්, කිසිදු කලා මාධ්‍යයක් කෙරෙහි වැඩි උනන්දුවක් නැති ම පියාගෙන් සංකීර්ණ පාඩමක් මතක තබා ගන්නේ කෙසේදැ යි ලද උපදෙස් අනුව සිතන්නටත් පුරුදු පුහුණු වූ මනසක් ඇති මට, මේ ඉන්නේ මම් ම දැයි සිතුණු වාර බොහෝ විය.
ඇතැම් විට පෞද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් ප්‍රකාශයට පත් කෙරෙන මතවාදයන් සහ නිගමන වල පවා ඇත්තේ තමන් හුවා දැක්වීමක් නොව, ඊට වඩා ගැඹුරු හරයක් වීම පොත කෙරෙහි පාඨකයා බැඳ තබන ප්‍රධාන සාධකය ලෙස මම දකිමි. කතුවරයා විසින් ඉදිරිපත් කෙරෙන මතවාදයන් හා එකඟ විය නො හැකි තැන් ද විය. වර්ගීකරණය කළ නො හැකි ලිපි එකට ගොනු කළ ‘සිතැඟි’ නම් වූ ප්‍රවර්ගය යටතේ එන එක් ලිපියක එවැනි තැනක් වෙයි. මේ සටහන තව දුරටත් දිග් ගැස්සෙන හෙයින් ඒ පිළිබඳ විස්තරයක් කිරීමට අපේක්ෂා නො කරමි. නමුත්, ඒවා හුදු හිතළු හෝ කොරහේ කිඹුල්ලු දැකීමක් නො වී, අවධානයට පාත්‍ර විය යුතු පදනමක් මත හිඳිමින් ප්‍රකාශයට පත් වී තිබීම ප්‍රශංසනීය වේ. ගැටළුවක් දෙස විවිධ පැතිකඩ ඔස්සේ ඔහු හෙළන තියුණු විමැසුම් ඇස, පොදු සම්මතයේ ඇති මත ප්‍රශ්න කිරීමට කියා දෙන පාඩමක් වැන්න.
කාව්‍ය රසය හරහා සත්‍යාවබෝධය ලබන මග පෙන් වීමට අමතරව කෘතියෙන් අරමුණු කළ තවත් යමක් වේද? බැලූ බැල්මට එකිනෙක හා සම්බන්ධයක් නැති සිතුවිලි සටහන් එකට ගොනු කැර, ලිපි පෙළක් හරහා ඉදිරිපත් කිරීමේ තවත් අභිලාෂයක් වූයේ එකම මූලයකින් පැන නැග විකාශනය වූ අප ගේ පාරම්පරික උරුමයන් සොයා යෑමේ ආශාවක් පාඨකයා තුළ ඇති කරවීම ද? සබැවින්ම “අයාලේ ගිය සිතක සටහන්” යැයි නම් කිරීමෙන් තිස්ස අබේසේකරයන් කෘතියට ලබා දෙන්නේ උත්‍ප්‍රාසාත්මක අලංකාරය කි.
– අමා නයනාදරී සිරිවර්ධන –
19-07-2020


