මහගම සේකර සහ ප්‍රබුද්ධ
ප්‍රබුද්ධ කාව්‍යමය ප්‍රබන්ධය (1976) මහගම සේකර (1929-1976) කවියා ගේ නිර්මාණ දිවියෙහි අග්‍ර ඵලය ලෙස සැලැකේ. කතුවරයා විසින්ම සිනමාවට නැඟීමේ වුවමනාවකින් ද සිටි බව පැවසෙන පද්‍යයෙන් කළ නවකතාවකි. එය සේකර මිය යාමට පෙර ලියූ අවසාන කෘතිය යි. ඇතැම් කෙනෙකුට සමාජ විවිරණයක් විය හැකි අතර, මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් බලන්නෙකුට පන්ති සමාජයෙන් තොර ලොවක් ගොඩ නැඟීම වෙනුවෙන් ලියූ පරමාදර්ශී කෘතියක් වනු ඇත.
ප්‍රබුද්ධ යනු එහි කථකයා ගේ නමය. ප්‍රබුද්ධ හරහා ප්‍රක්ෂේපණය වන්නේ සේකර ගේ ලෝක දැක්මයැයි ගැනීමේ වරදක් නොදකිමි. වාණිජ ලෝකය තුළ පුරුෂාර්ථ දිය වී යන අන්දම ප්‍රබුද්ධ දකියි. එයින් කලකිරීමට පත් වෙන ඔහු, තාවකාලික සතුට සහ සැනසීම උදෙසා යස ඉසුරු ලුහුබඳින නිෂ්ඵල ජීවිතය අතහැර, පරම විමුක්තිය සොයා යාමේ මාර්ගයට ප්‍රවිෂ්ට වෙයි. සේකර දෙන්නේ එක් ආගමක ලබ්ධ්කයන්ට පමණක් සීමා වූ පණිවුඩයක් නොවේ. කාටත් පොදු පණිවුඩයකි. බුදු සමය, බයිබලය, භගවත් ගීතාව, ශුද්ධ වූ කුරාණය ආදී චිරන්තන දර්ශනයෙන්, මාක්ස්වාදයෙන් සහ රුබෙයියාට් කවි වලින් පවා ප්‍රබුද්ධ තුළින් ප්‍රකාශයට පත් වෙන සේකර ගේ දෘෂ්ටිය හැඩ ගැසී ඇති බව කෘතිය තුළින් ගම්‍ය වේ. කෑමෙන් බීමෙන් ඉඳුම් හිටුමෙන් යස ඉසුරෙන් සැබෑ තෘප්තිය නොලැබෙන බව දකින ඔහු, ඒත් එක්කම මූලික අවශ්‍යතා සපුරා ගන්නේ නැතිව පරම සත්‍යය අවබෝධ කර ගත නොහැකි බව ද වටහා ගෙන තිබීම ආඛ්‍යානය තුළ මා දකින එක් විශේෂත්වයකි. ලොව සියලු දෙනා තෘප්තිමත් වූ ලොවක් වෙනුවෙන් කැපවීම ජීවිතාධ්‍යාශය කර ගැනීමේ වැදගත්කම කෘතිය තුළින් අවධාරණය කෙරේ. සියලු දෙනා තෘප්තිමත් වූ ලොවක් තනා ගත යුතු බව නිතර නිතර කියා ඇතත්, ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක අල්ප වූ සඳහනක් නම් කතාව තුළ දැකිය නොහැකි විය. නැත්නම්, ඒ කොටස මට මඟ හැරුණා විය යුතුය. සමස්තයක් ලෙස ගත් කළ, ප්‍රබුද්ධ මා දකින්නේ ලෝකයේ විවධ වූ දාර්ශනික ඉගැන්වීම් වලින් පෝෂණය ලබා කරන ලද පුරුෂාර්ථ මාර්ගෝපදේශයක් ලෙසිනි.
ප්‍රබුද්ධ රචනා කිරීමේ දී සේකර අනුගමනය කරන්නේ තත්කාලීන කවි සමාජය තුළ බෙහෙවින් මතභේදයට තුඩු දුන් නිදහස් හෙවත් නිසඳැස් කාව්‍ය ආකෘතියයි. කාව්‍යකරණයේ දී සම්මත ආකෘති වල පිහිටා කටයුතු කිරීමෙන් අනුභූති ප්‍රකාශනය සීමාසහිත බව වටහා ගත්තෝ, සන්නිවේදනය පහසු කරවනු පිණිස නිදහස් කාව්‍ය ආකෘතියක් අනුගමනය කරන්නට පෙළැඹුන බව කියැවේ. අදහස් ප්‍රකාශනය පහසු කර ගැනීමේ ව්‍යායාමයේ දී සේකර විසින් කාව්‍ය රීතීන් හා සම්ප්‍රදායයන් තව දුරටත් ඉක්මවා ගිය තැන් ද හමු වේ. ප්‍රබන්ධය තුළ දී ප්‍රථම පුරුෂ දෘෂ්‍ටියෙන් හිටිවනම උත්තම පුරුෂ දෘෂ්ටියට මාරු වී තිබීම නිදසුනකි. බොහෝ තැන්වල මුල මැද අග ගැට ගැසූ තැන් ලිහා ගැනීම පාඨකයාට ඉතිරි කර තිබේ.
කාව්‍යයේ එක් අරමුණක් විය යුත්තේ චමත්කාරය දැනවීම ය. එය පළමුව නිර්මාණකරුට රසවත් වස්තුවක් විය යතු අතර, දෙවනුව කියවන්නා තුළ රසයක් සහ කම්පනයක් ඇති කරවීමට සමත් විය යුතුය. දුක්ඛ දෝමනස්ස සහගත විරහව පවා කාව්‍යාලංකාර සහිත සංකල්ප රූප තුළින් චමත්කාරජනක වස්තුවක් බවට පත් කිරීමට දක්ෂ නිර්මාණකරුවෙකුට හැකි බව අපි නොයෙක්වර කතාබහට ලක් කර ඇත්තෙමු. විප්‍රලම්භය ශෘංගාර රසය දනවන්නේ යැයි කියන්නේ එබැවිනි. නිදහස් ආකෘතියකින් , සම්මත රීතින් ඉක්මවා රචනා කර තිබියදී ත් සහෘද පාඨක සිත තුළ කම්පනයක් ඇති කරවීමට තරම් , “ප්‍රබුද්ධ” කාව්‍යයේ අනුභූති ප්‍රකාශනය ප්‍රබල වීද යන්න මට පෞද්ගලිකව මතුවෙන ගැටළුවකි. කතාවේ තැනින් තැන සැලැකිය යුතු වැදගත්කමක් ඇති අදහස් මුණ නොගැසෙන්නේ නොවේ. එහෙත්, විචාරක සම්භාවනාවට පාත්‍ර වන තරමට චමත්කාරජනක ස්වභාවයක් වරක් නොව, දෙවරක් ම පොත කියැ වූ මට නම් දැණුනේ නැත. කෘතියේ කාව්‍යමය බව පිළිබඳව ප්‍රමාණවත් තරමින් විමසුමකට භාජනය වී තිබේ ද යන ප්‍රශ්නාර්ථය මතු වේ. වෙනත් ආකාරයකින් කිවහොත් මින් පෙර නොඇසූ, නොදුටු විරූ ගුණයක් හෙවත් අපූර්වත්වයක් මේ කාව්‍යය තුළ හමුවේද යන්න විමසා බැලිය යුතු කරුණකි.
රස වින්දනය පුද්ගල බද්ධය. කෙනෙකු පෞද්ගලිකව දරණ සමාජ දේශපාලනික මතවාද රස වින්දනය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය. එබැවින්, ප්‍රබුද්ධ ගැන එවැනි ප්‍රශ්නයක් නගන්නේ එම කෘතිය තුළින් පිළිඹිබු වෙන සේකර ගේ දේශපාලන දෘෂ්ටිය සහ මගේ පෞද්ගලික දේශපාලන මතය අතර ඇති ගැටුම නිසා ද යන සැකය මතු වනු ඇත. මාක්ස්වාදී දර්ශනයේ සෙවැණැල්ල ප්‍රබුද්ධ කාව්‍යය පුරාම විහිදී පැතිරෙන බැවිනි. මාක්ස්වාදය මා හට රිසි නොවන බව සැබෑව කි. එහෙත් ප්‍රබුද්ධ රසවත් කාව්‍යාඛ්‍යානයක් ද යන පැනය යොමු කරන්නේ මා හට කිසිසේත් ගෝචර නොවන නොගැඹුරු පන්ති දේශපාලනය හෝ මගේ ලෝක දැක්ම සමඟ එතරම් අනුකූලතාවයක් නොදක්වන සාමාජීය මත නිසා හෝ නොවේ.
උක්ත ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම අද දවසේ ගද්‍ය පද්‍ය කාව්‍යයට පමණක් නොව, සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ වලට දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදා වීමට බල පෑ ප්‍රධාන හේතු හැඳිනීමට මඟ පාදා දෙනු ඇත. ප්‍රබුද්ධ චමත්කාරය දනවන සුළු ප්‍රබන්ධයක් නොවීමට හේතුව ගැන මගේ පැහැදිලි කිරීම සටහන අවසානයේ දී බලාපොරොත්තු වන්න.
ලූෂන් බුලත්සිංහල
සමාජයේ සුලබ සංසිද්ධීන් සෝපාහාසය, ව්‍යංගය මුසු කාව්‍යමය භාෂාවකින් ගීතයට නැංවූ ගේය පද රචකයෙක් බවට ලූෂන් බුලත්සිංහල ප්‍රසිද්ධියක් උසුලයි. “පුන් පෝදා සඳ”, “දඟකාරී මං”, “ඔසරි පොටින් අදින්නෙපා”, “අහසින් තරුවක්” වැනි ගීත ඒ සඳහා නිදසුන් වේ. ඔහු ම පවසන පරිදි “රජ මැදුරක ඉපදී සිටියා නම්”, “පිපුණු මලේ රුව”, “පිනිබර යාමේ” වැනි ගීත වලට වස්තු විෂය වී ඇත්තේ තමන්ගේ ම කටුක ජීවිත අත්දැකීම් ය. ජීවනානුභූතීන් අනුසාරයෙන් ගොඩ නඟා ගත් කිසියම් දේශපාලනික දැක්මක් ඔහු සතු වේ නම්, ඔහු ගේ දැක්ම නිර්මාණය තුළ ඓන්ද්‍රීය අංගයක් වූවා විනා, සෘජු මතවාද හෝ සංකල්ප ප්‍රකාශයනයන් නැතහොත් වාර්තාමය දැනුම්වත් කිරීම් ඒ තුළ දක්නට නොලැබේ.එය ලූෂන් බුලත්සිංහල ගේ ගී නිර්මාණ තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.
ලූෂන් බුලත්සිංහල ට ප්‍රබුද්ධ සම්මුඛ වීම
මහගම සේකර ගේ ප්‍රබුද්ධ කෘතියේ එක් උද්වේගකර අවස්ථාවක් වෙත ලූෂන් බුලත්සිංහල ගේ තීක්ෂණ අවධානය යොමු වෙනවා. එකී මොහොත ඔහු සිත කෙතරම් කම්පනයට පත් කළේදැයි කියතොත්, එය පාදක කොට ප්‍රබුද්ධ කතාව ගීතයකට නැංවීමට ද යුහුසුළු වෙනවා. සමාජ පන්ති විෂමතාවයෙන් ලත් අමිහිරි අත්දැකීම් වලින් ඒ සඳහා ඔහුට පෙළැඹවීමක් ලැබෙන්නට ඇත. මුල් කෘතියෙහි එම අවස්ථාව තුළින් සේකර පවසන සමාජ පන්ති පරතරය, එලෙසින්ම පාහේ ලූෂන් සිය ගීතය තුළ දී සංරක්ෂණය කිරීමට වග බලා ගෙන තිබේ. අසාධාරණ යැයි වාමවාදීන් ආලෝලනය කරන පන්ති විෂමතාවය ඔහුගේ ගීතය තුළින් මැනැවින් ප්‍රකට වේ. නමුත්, මුල් කෘතිය මෙන් නොව, ලූෂන් ගේ ගීතය අතිශයින්ම රසවත් විචිත්‍රවත් අත්දැකීමක් ශ්‍රාවකයාට ලබා දෙයි. නැවත නැවත ඇසුව ද අසන වාරයක් පාසා ම අසන්නා කම්පනය කරවීමේ සමත් ගුණයක් එහි ඇත. ගීතයට පාදක කොට ගන්නේ කතාවේ එක් සිදු වීමක් වුවත්, නිර්ධන පන්ති දේශපාලනය මෙන්ම, ප්‍රබුද්ධ ආඛ්‍යානය තුළින් මහගම සේකර විවරණය කෙරෙන ජීවිතයේ උත්තර අරමුණ පිළිබඳ පණිවිඩය ද ගී පදමාලාව තුළ සාරාංශගත කර තිබීම ප්‍රබන්ධකරුගේ නිර්මාණ කෞශල්‍යය ගැන අප පුදුමයට පත් කරවයි.එය මුල් ප්‍රබන්ධයට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් ඇති විශිෂ්ට ගීතයකි. සිංහල ගීතාවලිය තුළ හමුවන තවත් විශිෂ්ටතම ප්‍රතිනිර්මාණයකි.
මාධ්‍ය දෙකක් – ගීතයක් සහ පද්‍යයෙන් කරන ලද ප්‍රබන්ධයක් – සංසන්දනය සාධාරණද? සාධාරණ නැත. ගීතයක දී, ගේය පදයට නාදමලාවක් ද මුසු වේ. භාවමය හඬකින් ශ්‍රව්‍ය නිර්මාණයක් ලෙස ප්‍රකාශයට පත් වෙන බැවින් ගීතයට රසිකයා වෙත සමීප වීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිය. සංගීතයෙන් තොරව පදමාලාව පමණක් ගෙන කියවා ගත් කළ වුව ද, ගීතය ඇසූ මතක අනුසාරයෙන්, සිහියට එන එහි රිද්ම ලක්ෂණ රස වින්දනය කෙරෙහි බලපෑමක් ඇති කරවයි. එබැවින් ඉහතින් කරන ලද සංසන්දනය “ප්‍රබුද්ධ” කාව්‍යය විචාරක සම්භාවනාවට පාත්‍ර වන තරමට, මා තුළ භාවමය කම්පනයක් ඇති කිරීමට සමත් නොවන්නේ, හුදෙක් එතුළින් පිළිඹිබු වෙන වාමවාදී දේශපාලනය නොවන බවට තහවුරු කිරීම සඳහා පමණි.
ලූෂන් බුලත්සිංහල ගේ ගීතය සමස්ත ප්‍රබුද්ධ කාව්‍යයේත්, අදාළ අවස්ථාවේත් සංක්ෂිප්ත ප්‍රකාශනයක් හෙයින්, ගීතය විචාරය කිරීමට පළමුව ප්‍රබුද්ධ කාව්‍යාඛ්‍යානය සැකෙවින් විමසා බලමු.
ප්‍රබුද්ධ සාරාංශය
ප්‍රබුද්ධ යනු දිළිඳු බව එකම වත්කම කරගත් පවුලක උපන් තරුණයෙකි, දුප්පත් කලාකරයෙකි. වෘත්තියෙන් වාදකයකු සහ ගායකයකු වූ ඔහු ධනවත්, වංශවත් පවුලක තරුණියක වූ යසෝදා හා හාද වෙයි. යසෝදා ගේ පවුලේ නෑ හිතවතුන් ඔහු හඳුනාගන්නේ ඇගේ නිවසේ පැවති සැන්දෑ සාදයක දී යි. එය ඇගේ උපන්දින සාදයද? නැතහොත් යසෝදා විසින් ප්‍රබුද්ධ සිය නෑ සියන්ට හඳුන්වා දීම සඳහාම සූදානම් කළ සාදයක්දැයි නිශ්චිත නැත.එවැනි අපැහැදිලි තැන් සේකර ගේ ප්‍රබන්ධය තුළ සුලබය. චිත්‍රපටයක් සංස්කරණයේ දී අත්‍යවශ්‍ය තැන් අනවශ්‍ය යැයි සලකා කපා හැරියාක් මෙනි.
යාසෝදා ගැන දන සිටියත් , තමා ගේ සමාජ පසුබිම සහ සිය පෙම්වතිය ගේ පවුල් පසුබිම අතර පරතරයේ තරම ප්‍රබුද්ධ නිවැරදිව වටහා ගන්නේ යසෝදා ගේ “අහස් මාළිගාව” ඉදිරිපිට ගේට්ටුව අසලදී ය. ඔවුන් අතර භෞතික, සාමාජීය පරතරය පමණක් නොව, ආකල්පමය දුරස්ථ බව ද හඳුනා ගන්නා ඔහු සිත සසල වෙයි. ඒ පිළිබඳ දිගු විස්තරයක යෙදෙන කථකයා ඔහුට ඇති වන්නේ නුහුරු ලොවක අතරමං වූවාක් බඳු හැඟීමක් බව පවසයි. කෑමෙන් බීමෙන් සන්තර්පණය වී, සුරා පැනින් මත්ව රඟන පෙම්වතිය ගේ නෑසියන් හිතවතුන් ප්‍රබුද්ධ දකින්නේ නච්ච ගීත වාදන විසූක දස්සන අතර වල්මත් වූවන් ලෙසිනි. ඔහුට අනුව ඒ සියලු දෙන ජීවිතාවබෝධය නැති ප්‍රබුද්ධනය ගැන හාංකවිසියක් නොදන්නා හිස් මිනිසුන් ය. ඔහු ඔවුන් වෙත එල්ල කරන්නේ සුළුපටු විවේචනයක් නොවේ. අතිශය සාහසික විවේචනය කි. මේරූ ගැහැණුන්ට සහ පිරිමින්ට පමණක් නොව,නොමේරූ තරුණ තරුණියන්ට ද ප්‍රබුද්ධ ගේ විවේචනාත්මක ප්‍රහාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත. ඒ සා විශාල මන්දිරයේ ඔහු ඇස ගැටෙන ජීවී අජීවී වස්තුන් සියල්ල ඔහු ගේ අනුකම්පා විරහිත සදය උපහාසයට ලක් වීමට නියමිත වින්දිතයන් ය.
ඒ අතරම තමන් තුළ ඇති වී ඇත්තේ සිය පෙම්වතිය සහ තමන් අතර වූ පන්ති පරතරය ගැන හීනමානයකින් මඬනා ලද කණස්සල්ලක් බව ද ප්‍රබුද්ධ වටහා නොගන්නේ නොවේ.
“හීන මානයක් සහ චකිතයක්
ඔහු සිතෙහි පහළ විය
යෝධයන් අතර අඟුටු ම්ට්ටකු සේය”
(සේකර)
කලාකරුවකු ලෙස ලත් සිවිල් බලය ප්‍රබුද්ධ ගේ ගැලවීමට එන්නේ එතැනදී යි;
“එවිට කවුදෝ කීය:
ආරංචියි ආටිස්ට් කෙනෙක් කියලා
කියන්ඩකෝ සින්දුවක්”
(සේකර)
ඔවුන් ගේ ඉල්ලීමට කන් දී ඔහු ගීතයක් ගයන්නට වන්නේ ය. එහෙත්, ඔහු ගේ ප්‍රබුද්ධ ගීතය වටහා ගත හැකි කිසිවෙකු එතැන නො වීය. ඔවුන්ගේ මුහුණු හරියට ගුත්තිලයේ බසකින් නොදන්නා කියන පුවතට පෙන්නා උන් වෙළෙඳුන්ගේ මුහුණු මෙන් වූ බව දකින ප්‍රබුද්ධ තව තවත් කණස්සල්ලට පත් වෙයි.
කථකයාට ඔවුන් ගෙන් කෙනෙකු වීමට ඕනෑ වෙන්නේ එතැන දී ය.
“ඔවුන්ගෙන් කෙනෙකු වෙන්නට ඇතොත්
එය තවත් සිහිනයක මුල වෙනවා.”
(සේකර)
යසෝදා ගේ පන්තිය හා එකතු වීම පිණිස ඔහු සිය ආත්මය විකුණා දැමීමට පෙළැඹෙන්නේය. පීචං ගීත ගයා පීචං ගායකයකු බවට පත් වී, ඔවුන් නටන රිද්මයට නටන්නට ප්‍රබුද්ධ තීරණය කරයි. ඔහු ඇය හා විවාහ වෙයි.
අසීරුවෙන් ගලපා ගන්නට හදන ලෝක දෙක තුළ අතරමං වෙන ඔහු තුළ දිනෙන් දිනම ලියලා වැඩෙන්නේ අපේක්ෂා භංගත්වයකි. කොතෙක් මිළ මුදල් හරි හම්බ කළ ද ඔහු ගේ ආත්මය කඩා වැටෙයි. සුඛ විහරණ මැද ගත කරන යසෝදා ද අයත් ධනපති පන්තියේ නිසරු බව මේ පද තුළ කැටි වී තිබේ.
රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාව ය
සතුටු සාමීචි පිළිසඳර තුළ
කැපී පෙනුණේ වෛරයක්ම ය
ප්‍රබුද්ධ
හිස් ය මේ ජීවිතය
බොල් ය මේ ජීවිතය
බලව!
රන් දුහුල් යට
සුවඳ විලෙවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම
(සේකර)
එහෙත්, ප්‍රබුද්ධට ට අභිනිෂ්ක්‍රමණය පහසු නැත. එය තවමත් දුර ය. හේතුව යසෝදා ය. ඔහුට යසෝදා නිසා මේ මඟුල් සක්වළ රාග රංගය හැර දා යා නොහැකිය. නොගැලපෙන ලෝකයක සිර වී සිටින්නට ඔහුට ඇති එකම හේතුව ඇය කෙරෙහි ඇති ආදරය යි. එක්තරා සිදුවීමකින් අනතුරුව සියල්ල පුපුරා යන්නේය. එතැනින් පසුව ඔහුට ඈ හා විසීමට හේතුවක් ඇත්තේ නැත. යසෝදා අත් හැර දැමීමේ තීරණය ඔහු ගන්නේ ඒ ක්ෂණයෙනි.
නිවසේ නිතර පැවැත්වෙන සැඳෑ සාදයක් අවසන සිදුහත් කුමරා දුටු මාගමුන් ගේ විප්‍රකාර මැද තනිවන ප්‍රබුද්ධ වෙත ළංවන්නේ යසෝදා ගේ මිතුරියකි. ඔහු ගේ අකැමැත්ත නොසලකා ඇඟේ දැවටෙන්නට පටන් ගනී. ඇගෙන් ගැලැවී යාම පිණිස, යසෝදා සොයන ප්‍රබුද්ධ දකින්නේ යසෝදා නොවේ. අඳුරු ආරුක්කුවක් යට උනුන් බදා වැළඳ හිඳින යුවළකි. ඔහු ගේ කෑ ගෑමෙන් මඳකුදු තැති නොගන්නා යසෝදා එතැනට එන අතරවාරයේ දී උස් හඬින් “ඕකට ඔය තරම් කෑ ගහන්නේ ඇයි ? ඒ අපේ ‘කුල සිරිත’ නොවැ” යැයි කරන ප්‍රකාශයෙන් මෙතෙක් වැටී සිටි මෝහන නිද්‍රාවෙන් අවදිවෙන ප්‍රබුද්ධ ඇගේ මන්දිරයෙන් වහාම පිටමං වෙයි.
මේ නොවේ ආදරය
ඇඟ මසට ලොබ බඳින
වඳ බෙහෙත් පෙති අතර ආදරය වඳ බසින
මේ නොවේ ජීවිතය
(සේකර)
සේකර ගේ කාව්‍යය තුළ මා දකින එකම ප්‍රබුද්ධ ලක්ෂණය ඇත්තේ එතැන පමණි. නොගැලපීම් දුටු පමණින් අනෙකා දමා දුවන්නේ නැත. සම්බන්ධතාවය තව දුරටත් පවත්වාගෙන යාම අර්ථ විරහිත බවට සාධාරණ සැකයකින් තොරව තහවුරු වෙන වෙන මොහොත එළැඹෙන තුරු ගලපා ගැනීමට ප්‍රයත්න දැරීම සාමාන්‍ය සිරිතකි.
යසෝදා ගෙන් වෙන් වී, දරුවකු හා තනි වූ තමා වැනිම දිළිඳු, වැන්දඹු කාන්තාවක විවාහ කරගන්නා ප්‍රබුද්ධ, විව්ධාකාර වූ හැල හැප්පීම් කඩා වැටීම් වලට මුහුණ දෙමින්, ජීවිතයේ උදාරතර අරමුණ වන පරාර්ථ චර්යාව වෙනුවෙන් කැප වීමට ඉටා ගන්නේය. ඒ සඳහා පියවර තබන්නේය.
කතා සාරාංශය එය යි.
සේකර ගේ මුල් ප්‍රබුද්ධ කෘතිය සහ ලූෂන් බුලත්සිංහල ප්‍රතිනිර්මාණය
ලූෂන් බුලත්සිංහල උත්තම පුරුෂ දෘෂ්ටියෙන් ගීතයට නැංවීමට මුල පුරන්නේ යසෝදා සමඟ හාද වී ඇගේ නිවසට පළමුවර සපැමිණෙන දා සැඳෑ සාදය ආශ්‍රිතව ප්‍රබුද්ධ ගේ ආත්ම කථනයෙනි.
“හීන මානයක් සහ චකිතයක්
ඔහු සිතෙහි පහළ විය
යෝධයන් අතර අඟුටු ම්ට්ටකු සේය”
(සේකර)
ලූෂන් බුලත්සිංහල මේ පද කොටස තනි පදයකට ගන්නේය – “කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ”. නැටුම් ගැයුම් වැයුම් මැද නුහුරු ලෝකයක අතරමං වූ ප්‍රබුද්ධ ලූෂන් ගේ ගීතය තුළ ද අපට හමුවේ.
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
(ලූෂන්)
ප්‍රබුද්ධ විසින් උඩුමහල් තලයෙහි සිට පහත මාලයට සම්ප්‍රාප්ත වන යසෝදා දකින ආකාරය සේකර මෙසේ පවසයි.
“පා වුණා යසෝදා උන් මැදට
දියට බසින හංස ධේනුවක් විලසට”
(සේකර)
මෝරපු ගැහැණුන් සහ පිරිමින් , බොළඳ බස් දොඩවන තරුණ තරුණියන් අතරේ, යසෝදා ගේ කැපී පෙනෙන දේහ පෞරුෂය කියා පෑම සඳහා හංස ධේනුවක් පාවී දියට බැසීමකට උපමා කිරීම රසවත් කාව්‍යාලංකාරය කි .
සේකර කියන යසෝදා ගේ දේහ ලක්ෂණ මැනවින් ග්‍රහණය කර ගන්නා ලූෂන් බුලත්සිංහල ඇගේ සුවිශේෂී රූප සෞන්දර්යය ප්‍රකාශයට පත් කරවීමට අන් මඟක් තෝරා ගනියි.
එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
(ලූෂන්)
ශ්‍රාවකයා ලූෂන් ලියූ පද තුළින් දකින්නේත් සේකර කියන යසෝදා මය. කිසිදු අඩුවක් නැත. “කතා සරිත් සාගරය” යනු, කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය’ යන තේරුම ඇති පුරාණ සංස්කෘතයේ එන විචිත්‍ර කථා සංග්‍රහයක් බව අසා තිබේ. සමස්තය තුළින් ගෙන බැලූ කල, “කතා සරිත් සාගරය” මෙතැන භාවිතා වෙන්නේ මුල් අරුතින් බැහැර ව බව පෙනේ. හිස් වචන නැතහොත් සම්ප්‍රලාප යන අරුතිනි. සම්ප්‍රලාපයේ යෙදෙන පිරිස මැද රළ නඟමින් ඇසී නෑසී යන ඇගේ හඬ පෞරුෂය හරහා ශ්‍රාවක සිත්හි මැවෙන්නේ සේකර කියන හංස ධේනුවක් බඳු යසෝදා ගේ රූප විලාසය ම යි.
සාදයට සහභාගී වූවන් ගේ විසුළු සහගත බව ගැන “සිටියෝ විසිත්ත කාමරයෙහි – කළු කබා මහත ටයි – තරබාරු ප්‍රභූවරු”, “සිටියෝ ගැටවරයෝ ගැටවරියෝ – අවුල් දික් කෙස් වලු ඇති” ආදී වශයෙන් සේකර ගේ පොතෙහි දීර්ඝ විස්තරයක් හමු වේ. කථකයා වූ ප්‍රබුද්ධ දකින පිරිමින් ඉතිරි වී ඇති කොණ්ඩය ඈතින් ගෙන තට්ටය වසා ගත් කඳ බඩ මහත් වූවන් පමණකි. ගැහැණුන් වෛවර්ණ විලාසිතාවන්ගෙන් සැරැසුණු මැකෙන රූසිරියට මුක්කු ගසන්නියන් ය. ඒ හැර ඔවුන් තුළ අගය කළ යුතු වෙනත් කිසිදු ගුණාංගයක් හෝ මෙතෙක් දිනාගත් කිසිවක් දකින්නට නමින් ප්‍රබුද්ධ වුවත් ඔහු අසමත් ය. ගැටවර ගැටවරියන් ද “පුම පමණක් ඉතිරි ලිඟු වෙනස නැති” යන එන මං නොදැන අසරණ වූවන් ය.
සේකර කරන ඒ දීර්ඝ විස්තරය තුළ අඩංගු සාදයේ විකාරරූපී ජුගුප්සාජනක බව ගැන එ තරම් නිර්දය විවේචනයක යෙදීමට අදහස් නොකරන ලූෂන්, පද පේළි දෙකකින් ඒ සියල්ල කියා හමාර කිරීමට සිතයි;
පුරාගෙන පිරූ විතේ
විසුළු කෙළි නැටුම් සිනා
(ලූෂන්)
ගීතයේ වඩාත් උත්කර්ශවත් අවස්ථාවට පිවිසෙන්නේ මෙම දෙවන අන්තරා කොටසේදී යි.
සේකර ගේ කාව්‍යයේ දී යසෝදා ගේ මන්දිරයට ගොඩ වදින ප්‍රබුද්ධ ඇය හා උඩුමහලට යද්දී, කවුළුවක් තුළින් පැල්පත් යායක් දකින්නේය;
දිස් වී ය ඔහු නෙතට
කුරා කුහුඹුන් ලෙසට
පඩංගු පකිස් ලෑලි – ටිං බෙලෙක්ක තහඩු – ගෝනි
අස්සෙන් එබී බලන
මුඩුක්කු දහජරාව පැටව් ගැසුව
වැරහැලි කාලකණ්ණි මිනිස් ප්‍රාණ
දුගඳ පිරුණු කාණු දිගට
(සේකර)
මේ තරමට සමීපව මෙතරම් සමාජ පන්ති පරතරයක්! මේ කියන්නේ එදා ලංකාවේ පන්ති විෂමතාවය ගැන බව අප වටහා ගත යුතුව ඇත. එදා පන්ති පරතරය, වර්තමානයේ දියුණු සමාජයට වඩා පැහැදිලිව කැපී පෙනුණි.
ලූෂන් සිය ගීතයේ දී මෙසේ ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රබුද්ධ කවුළුව තුළින් දකින එම දර්ශනය යි;
පුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා
(ලූෂන්)
කවුළුවෙන් දකින දර්ශනය ප්‍රබුද්ධ තුළ ඇති කරන්නේ පිළිකුලකි. පොතේ එන ප්‍රබුද්ධ නම්, තමා ද අයත් සමාජ පන්තිය අමතක කරනු වස්, ප්‍රිය සම්භාෂණය දෙසට වහා අවධානය යොමු කරවන්නේය.
හමා ආයෙන් සිතට පිළිකුලක්
ඒ අඳුරු කාණුවෙන්
වහා නෙත් ඉවත හැරවී ය ඔහු
ප්‍රිය සම්භාෂණය දෙසට
(සේකර)
ප්‍රබන්ධයත් ගී පද මාලාවත් අතර සංගත භාවය පවත්වා ගැනීම පිණිස ගීත රචකයා විසින් අනුගමනය කරන ලද විශේෂ ප්‍රයෝගයක් මෙහි දී දැකිය හැකිය. නවකතාවේ දී සේකර විස්තර කරන සාදය ආශ්‍රිත සිදුවීම් දාමය ඒ අයුරෙන්ම ඉදිරිපත් කිරීමට ගීත රචක ලූෂන් බුලත්සිංහල කටයුතු කරන්නේ නැත. කෘතියෙහි සමස්තාර්ථය හා එකඟතාවය ඇති කර ගැනීම සඳහා ගීත රචකයා, සාදය අතරතුර ප්‍රබුද්ධ දරණ ස්ථාවරය සිය නිර්මාණයේ දී සම්පූර්ණයෙන් වෙනසකට භාජනය කරනවා. “පුරාගෙන පිරූ විතේ – විසුළු කෙලි නැටුම් සිනා” පද කොටසෙන් අනතුරුව ඉතාම සුමටව මුල් ප්‍රබන්ධයේ සමස්තය දෙසට ගීතයේ දිශානතිය හරවා, උත්සව අවස්ථාවෙන් ඔබ්බට ගොස්, මුල් කෘතියේ අවසානය හා එකතු වීමේ ප්‍රවේශය ඔහු මෙසේ අර ගන්නවා:
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා
(ලූෂන්)
කවුළුවෙන් එපිට දකින දර්ශනය ප්‍රබුද්ධ තුළ පිළිකුලක් ජනිත කරන මුත්, ලූෂන් ගේ ගීතයේ ජනතාවාදී කථකයා ට එසේ වන්නේ නැත. එවේලෙහි ඔහු තමන් ද උපතින් අයත් වූ පීඩිත ජනතාව කෙරෙහි මානවවාදී හැඟීමකින් සංවේගයට පත් වේ. සිය සොඳුරිය අමතා මන්දිරයෙන් පිටත රැස් වී සිටින දිළිඳු ජනයා පෙන්වන ප්‍රබුද්ධ ඉන් අනතුරුව මෙසේ ද කියනවා;
දෙන්න කන්න බොන්න කොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
(ලූෂන්)
හංසයා මියෙන්නට පෙර ගීතයක් ගයන්නේයැයි ජන සමාජය තුළ විශ්වාසයක් පවතී. මන්දිරයේ දොරකඩ ඉඳුල් යදින්නෝ අවසන් හුස්ම පිට කරන්නට පෙර ජීවිතය ඉල්ලා ආයාචනය කරන්නෝය.
සේකර ගේ කාව්‍යයේ දී , ප්‍රබුද්ධ දෙලොවක් අතර සැරිසරමින් සිට යසෝදා ගේ ලෝකයෙන් පිටමංව තමන් ගේ ලෝකය සොයා පිය නැඟීමට තීරණය ගන්නේ විවාහයෙන් ටික කලකට පසුව ය. ඒ වුවද පවුල් පසුබිමේ නොගැලපීම් ඉවසා දරා සිට, බැරිම තැන සිය සහකාරිය ගේ අසම්ම්ත හැසිරීම හමුවේ ය. ලූෂන් ගේ ගීයේ දී එසේ නොවේ. ලූෂන්ට අනුව, ප්‍රබුද්ධ යසෝදාට ගතින් නොව, හිතෙන් සමු දී , දුක් විඳින්නන් කෙරෙහි මෛත්‍රියෙන් තමන් අයිති ලෝකය වෙත පිටමං වන්නේ ඒ සුවිශාල මන්දිරයෙන් එහා පීඩිත අඳුරේ ගිලුණු හුදී ජනයා දකින ඇසිල්ලේ දී මයි.
ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී
(ලූෂන්)
ප්‍රබුද්ධ කාව්‍යය හරහා සේකර පැවසීමට අරමුණු කරන පන්ති සමාජයෙන් තොර, වඩා යහපත් ලෝකයක් තැනීමේ පුරුෂාර්ථ හා එකතු වීම පිණිස, ලූෂන් බුලත්සංහල අදාළ අවස්ථාව ඉක්මවා යන්නේ එසේය. සාදය ඉක්මවා ගොස් කතාවේ ඉතිරි කොටස හා සම්බන්ධ වීමෙන් මුල් කතාවේ සමස්තාර්ථය හා සම්බන්ධතාවය ගොඩ නඟා ගනී.
ඒ අනුව බලන කළ, ලූෂන් බුලත්සිංහල ලියූ විදුලි මිණි පහන් දැවී ගේය පදමාලාව, බොහෝ විචාරකයන් පවසන පරිදි ප්‍රබුද්ධ කෘතියේ එක් විශේෂිත අවස්ථාවක (සැඳෑ සාදය) සාරාංශගත ඉදිරිපත් කිරීමක් පමණක් නොවේ. සමස්ත නවකතාවේ ම සාරය එක මිටට ගත් සාර්ථක ප්‍රතිනිර්මාණයකි.
කවිය යනු අනුභූතීන්හි කලාත්මක ප්‍රකාශනයකි. අත්දැකීම් ලද පමණින් එය හරිහැටි ග්‍රහණය කර ජීවිත පරිඥානය ලැබීම හැමටම කළ හැකි නොවේ. ඒ සඳහා වහා වැටහෙන නුවණක් තිබිය යුතු බව මාර්ටින් වික්‍රමසිංහ වැනි ශාස්ත්‍රධරයන් පවසා තිබේ. තමන් විසින් ග්‍රහණය කර ගත් කාව්‍යානුභූතීන් මත පිහිටා අපූර්ව වස්තු නිර්මාණය කිරීම තවත් අපහසුය. ඒ සඳහා උපන් ප්‍රතිභාව සහ ව්‍යුත්පත්ති ඥානයට අමතරව, නිරන්තර අභ්‍යාසය තුළින් දියුණු කර ගත් කවීත්වයක් අවශ්‍ය ය.
ලූෂන් බුලත්සිංහල එවැනි විරල ගණයේ කවීත්වයක් ඇති ගී පද රචකයෙකි. ප්‍රබුද්ධ කාව්‍යය පාදක කර ගත් විදුලි මිණි පහන් දැවී ගීතය තුළ උපමා, රූපක, භාෂාව,ආකෘතිය,චිත්ත රූප ආදී සියල්ලෙහිම මනා සාම්‍යයක්,ගැලපීමක් ඇත. ඖචිත්‍යය සහ අපූර්වත්වය දෙකෙහිම තුලනය පවත්වා ගනිමින් මෙවැනි ගීතයක් රචනා කිරීමට අසාමාන්‍ය නිර්මාණ කෞශල්‍යයක් තිබිය යුතුය.
මහගම සේකර ද හොඳ කවියෙකි. ඔහු ලියූ රසවත් ගී පද මාලාවන් සහ පද්‍ය රචනාවන් චිත්‍රපට ගීත, ගුවන්විදුලි ගීත, හෙට ඉරක් පායයි, නොමියෙමි ආදී කාව්‍ය සංග්‍රහ වල ඕනෑ තරම් හමු වෙයි. ඇතැම් නිර්මාණ පිළිබඳව විචාර විග්‍රහයන් ද නොයෙක්වර කර ඇත්තෙමි.
එහෙත්, සේකර ගේ අනෙකුත් නිර්මාණ තරමට ප්‍රබුද්ධ මා තුළ චමත්කාරයක් දැනවීමේ සමත් වූයේ නැත. පොදුවේ අන්තර්ගතය සැලකුවහොත්, මුල් නිර්මාණය තරමටම , විදුලි මිණි පහන් දැවී ප්‍රතිනිර්මාණය පිළිබඳව ද ඒවා තුළින් සෘජුවම ප්‍රකාශයට පත් වන සාමාජීය සහ දේශපාලනික සංකල්ප සම්බන්ධයෙන් මට තදබල විවේචනයක් ඇත.
උත්සව ප්‍රිය සම්භාෂණ මහගම සේකර පවසන පරිදි නිර්දය විවේචනයකට ලක් විය යුතු දේ නොවේ. ලූෂන් බුලත්සිංහල කියන්නා සේ ඒවා විසුළු සහගතයැයි පැවසීම ද අතිශය සෘණාත්මක ආකල්පයකි. සුහද සම්භාෂණ තුළ පවතින, බොරුව, ආත්ම වංචාව අපට ද නොපෙනෙන්නේ නොවේ. පොළොවේ පය ගැසූ වැටහෙන නුවණ ඇත්තෙකු නම්, ජීවිතයේ වරක් හෝ ඒ බොරුව සහ වංචාව අත් විඳ තිබිය යුතුය. සේකර සහ ලූෂන් ඒ තුළ ඇතැයි කියන හිස් බව අප විසින් ද නොදැක සිටියේ නැත.
“රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය,
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාව ය
සතුටු සාමීචි පිළිසඳර තුළ
කැපී පෙනුණේ වෛරයක්ම ය”
(සේකර)
එහෙත්, එසේ වූ පමණින් ඒවා මුළුමනින් ප්‍රතික්ෂේප කිරීමේ අන්තයට යා යුතුද? නැත. එක අතකින් ඒ මොහොත විඳින්නට හැකි විය යුතුය. තවත් අතකින් ජීවිතයෙන් පලා යන්නට හැමෝටම බැරිය. මධ්‍යම ප්‍රතිපදාව ගිහියන් විෂයෙහි වෙනස් ය. ගිහි ජීවිතය තුළ වාසය කරන්නෝ ඒකාකාරී බවින් අත් මිදීමට තම තමන් ගේ ශක්‍යතාවය පරිදි, තම තමන්ට ආවේණික ක්‍රමෝපායයක් අනුගමනය කරති. එය මෙසේ සාහසික ලෙස විවේචනයකට ලක් විය යුතු වරදක් ලෙස මම නොදකිමි.
යසෝදා ගේ නිවසේ මෝරපු ගැහැණුන් සහ පිරිමින් සේකර දකින්නේ එදා සමාජයේ සම්මත හර පද්ධතියට ස්පෙක්ෂව විය යුතුය. ළමයෙකු දෙන්නෙකු ලැබුණු හැටියේ මව්වරුන් ජීවිතය අතහැර දමයි. කිළිටි කිමෝනාවක් හැඳ මුළුතැන් ගෙයි මුළු ගැන් වේ. නැත්නම් නිතර දෙවේලේ බණ අසමින් , පින් දහම් හි යෙදෙමින් පරලොව වැඩ තකා පල්ලි පන්සල් යයි. සේකර සිය මව දකින්නට ඇත්තේ එලෙසින් විය යුතු බව පොත කියවා ගෙන යද්දී හැඟේ. තමන් ගේ අම්මා දුටු ආකාරයෙන් ලෝකයේ සියලුම ගැහැණුන් දකින්නට ආසා කිරීම ගතානුගතික පිරිමින් ගේ ස්වභාවයකි. ඔවුන් හොඳ අම්මලා ය. විලාසිතා කරන්නියෝ නරක අම්මලා ය. වැඩිවිය පත් දරුවන් ඇති, තරුණ විය ඉක්ම ගිය කාන්තාවන් විලාසිතා කිරීම ප්‍රබුද්ධට වටහා ගත නොහැකිය. දරා ගත නොහැකි ය. අද සමාජයේත් මෙවැනි ආකල්ප තවමත් පවතිද්දී එදා සමාජය ගැන කිව යුතු නැත.
සේකරට අනුව යසෝදා ගේ ගෙදර පිරිමින්ට ද සුරාවෙන් මත්ව රමණයේ යෙදෙනවාට වැඩි වැඩක් තිබී නැත. මෙතරම් වියදම් කරන්නේ නිකම් සිටිද්දී අහසින් වැටෙන මුදල් ද යන ප්‍රශ්නයට ද පිළිතුරක් පොතෙන් ම ලැබේ. සේකරට අනුව ඒ සියල්ලන්ම කඳ බඩ මහත කපටි සේරිවාණිජලා ය.
සේකර සහ ලූෂන් දෙදෙනාම කියන පරිදි උත්තරීතර මනුෂ්‍යත්වය දකින්නට නම් පැල්පත් යාය වෙත යා යුතුය. අමන රාගයෙන් තොර පරම පවිත්‍ර ප්‍රේමය, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් තොර උතුම් සරල සුන්දර හදවත් ඇති අව්‍යාජ ගැහැණුන් සහ මිනිසුන් එහි දී හමු වනු ඇත.
එදා සාහිත්‍ය කලාව තුළ මෙවැනි මතිමතාන්තර විරල නොවීය. මීට බොහෝ සෙයින් සමාන පරිකල්පනයක් කරුණාසේන ජයලත් ලියූ “ගැහැණු ළමයි”, “පිරුණු හඳක්” සහ “හතුරු හිතක්” තුන් ඈඳුතු නවකතා තුළ ද හමු වේ. හතුරු හිතක් කථකයා වූ නිමල්ට මවගේ බලපෑම මත සිය අතීත පෙම්වතිය වූ කුසුම් ගේ හොඳම යෙහෙළිය (පද්මිණී) සමඟ නොගැලපෙන විවාහ බන්ධයකට ඇතුළත් වීමට නියම වෙයි. පද්මිණී ද ධනවත් ව්‍යාපාරික පවුලක අහිරූපී තරුණ දියණියකි. ඈ සහ සේකර මවන යසෝදා අතර කිසිදු වෙනසක් නැත. සේකර ගේ කාව්‍යමය ප්‍රබන්ධයේ එන ප්‍රබුද්ධ “ආටිස්ට්” කෙනෙකු වූවා සේ, කරුණාසේන ජයලත් ගේ කතාවේ පවුල් පසුබිම් දෙක අතර විශාල පරතරය යම් තරමකට හෝ පියැවී යන්නේ නිමල් උපාධිධරයකු වීමත් ඔහු ලැබූ උසස් නිළයත් හේතු කොට ගෙන පමණි. යසෝදා ගේ නිවසේ සාදය මුළුමනින්ම පාහේ ජයලත් ගේ කෘතිය පුරා විහිදී පැතිරෙන අයුරු දැකිය හැකි ය. හතුරු හිතක් හි කථකයා වූ නිමල් සිය බිරිඳ පද්මිණී ගේ නෑසියන් මුණ ගැසෙන්නේත් ඒ වෙනුවෙන්ම සූදානම් කරන ලද සාදයක දී ය. ඒ වේලෙහි පටන් ඔහු සිය බිරිඳගේ ඥාතීන් වෙත එල්ල කරන්නේ ප්‍රබුද්ධ කළ නිර්දය විවේචනය ම යි. සේකරට සැඳෑ සාදය ගැන අදහස ආවේ කරුණාසේන ජයලත් ගේ නවකතාවෙන් දැයි සිතෙන තරමට මේ දෙක අතර පුදුමාකාර සාම්‍යයක් ඇත.
නිර්මාණයක කලාත්මක රසය විඳීම සඳහා එහි අන්තර්ගතය බාධාවක් නොවේ. එසේ වන්නේ සමස්තය දැකීමට අසමත් වන්නන්ට ය. හැරත් එසේ වුවහොත්, ප්‍රබුද්ධ නවකතාවෙන් ප්‍රකට වෙන වාමාංශික දේශපාලනයත්, නොදියුණු සාමාජීය ආකල්පත් බහුල 70-80 දශකවල බිහි වූ නිර්මාණ වලින් සැලකිය යුතු බහුතරයක් අහක දමන්නට සිදු වේ. ප්‍රබුද්ධ කාව්‍ය ප්‍රබන්ධය නීරස වස්තුවක් වන්නේ එයින් ප්‍රකාශයට පත් වෙන දේශපාලන දෘෂ්ටිය හේතු කොටගෙන නොවේ.
දේශපාලන සහ දාර්ශනික සංකල්ප රාශියක් මහගම සේකර සතු වී තිබී ඇත. ඔහු තමන් විසින් ග්‍රහණය කර ගත් ඒ සියලු දාර්ශනික සංකල්ප කෘතිය හරහා ඉදිරිපත් කිරීමට යාමෙන්, නිර්මාණයක අත්‍යන්තයෙන් තිබිය යුතු සරල සොඳුරු බව යටපත් වී, වාර්තාමය ස්වරූපයක් ඉස්මතු වී වේ. නිර්මාණය මතවාද ගොහොරුවක එරීමේ ප්‍රතිඵලය එහි කාව්‍යමය ලක්ෂණ වියැකී ගොස් රසය හීන වීම යි. චමත්කාරජනක බවින් තොර වීම යි. සංකල්ප රාශියක් ගෙනහැර පෑමට තැත් කිරීමෙන් අවසානයේ දී කියවන්නාට හැඟෙන්නේ ජගත් මනුවර්ණ ලා ගේ නාට්‍ය මෙන් තමන් ගේ මත පාඨකයා වෙත බලහත්කාරයෙන් පටවන්නට ගත් උත්සාහයක් ලෙසිනි.
මේ එක් උදාහරණයකි;
ගොඩනැඟිය හැකි වේ ද
යුද්ධයෙන් හා වෛරයෙන්
උත්තරීතර වූ සමාජය?
සැත්කමක් කරන මෙන්
ලෙඩෙකු සුවපත් කරනට
ඒ සමාජය බිහි කරන්නට
ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද?
යුද්ධයෙන් තොරව එය කළ හැකි ද?
(සේකර)
මේවා අසන්නට නවකතා කියැවිය යුතු නැත. ප්‍රබුද්ධ දේශනයකට සවන් දිය හැකියි. නැතහොත් සාධුකාර දෙමින් බණක් ඇසිය හැකියි. මේ තවත් එවැනි තැනකි;
වික්ටර්
බතක් – වතක් – ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද?
අසහනයෙන් මිදිය හැකිද?
සංසාරේ නිරන්තර ව පැවරී ඇති
දුක එතකින් නිමා වේ ද?
(සේකර)
කාව්‍ය විචාරකයන් විසින් ද , දාර්ශනික ප්‍රවාද ගැන වැඩි සැලකිල්ල යොමු කිරීමට යාමෙන්,කෘතිය තුළ කැපී පෙනෙන දුර්වල කලාත්මක ලක්ෂණ නොසලකා හැර තිබේ. මට අනුව ප්‍රබුද්ධ යනු කාව්‍යමය රසයෙන් හීන අධිතක්සේරුවට ලක් වුණු කෘතියකි.
කරුණාසේන ජයලත් ගේ හතුරු හිතක් නවකතාව අවසානයේ දී නිමල් සහ පද්මිණී දෙදෙනා ගේ වෙන්වීම ද ප්‍රභූ ප්‍රාසාදයක උත්සව ප්‍රිය සම්භාෂණයක අවස්ථාවකි. “ඇඳට යමල්ලා රිද්මයට” අනුව තරුණ තරුණියන් නටන හැටි සහකාරියගෙන් වෙන්වීමට ඔන්න මෙන්න කියා ඇති නිමල් පිළිකුල් සිතින් බලා සිටී. “ඇඳට යමල්ලා රිද්මය” - ධනවත් ව්‍යාපාරික පන්තිය වෙත වාමවාදී කරුණාසේන ජයලත්ගෙන් දරුණු පහරක්.
ජනතාවාදී දෘෂ්ටියකින් බුලත්සිංහල ලියූ “විදුලි මිණි පහන් දැවී” ගීතය සංගීවත් කොට ගායනා කිරීමට පැවරන්නේ තවත් ජනතාවාදී කලාකරුවෙක් වෙතයි. ගුණදාස කපුගේ ඊට එකතු කරන්නේ නැටුම් ගැයුම් වැයුම් සහිත සැඳෑ සාදයක රිද්මයට උචිත සංගීතයකි. සංගීත සංයෝජනය තුළ සැක්සෆෝන් නාදය, කරුණාසේන ජයලත් කියූ “ඇඳට යමල්ලා රිද්මය”ට අනුරූප වේ. ආරම්භයේ සිට ඇසෙන සමූහ ගායනය කථකයා ගේ උද්වේගකර හැඟීම් සමුදායත්, මන්දිරයෙන් එපිට සිටින දුප්පත් යාචක ප්‍රජාව ගේ හංස විලාපයත් ශ්‍රාවකයා ට ඇසෙන්නට සලස්වයි. පදමාලාවත් සංගීතයත් සමඟ අනුනාද වෙන ගුණදාස කපුගේ සූරීන් ගේ භාව ප්‍රකම්පිත හඬ වර්ණනා කිරීමට මම අපොහොසත් වෙමි.
අමා නයනාදරී සිරිවර්ධන
18.02.2025