Blog

වසන්තේ දවසක් සහ නුහුරු නුපුරුදු සංගීතය

ජනප්‍රිය ලේඛක කුමාර කරුණාරත්නගේ තිර කතාවකට අනුව​, ටී. අර්ජුන අධ්‍යක්ෂණය කළ “වසන්තේ දවසක්” (1979) චිත්‍රපටය යනු කලාත්මක සිනමාව සහ ජනප්‍රිය ප්‍රවාහය යන අතර මැද පිහිටි ඒ දෙවර්ගයෙහිම සම්මිශ්‍රණයකි. එය ජනප්‍රිය ධාරාවේ එන සුපුරුදු “සිනමා වට්ටෝරු” ලක්ෂණ සියල්ල අනුගමනය කරමින්​, එහෙත් කලාත්මක ප්‍රවේශයකින් නිම වූවකි.

චිත්‍රපටයේ මූලික කතා තේමාව දෙස බැලීමේදී, ඒ තුළ​ අපූර්වත්වයක් පෞද්ගලිකව මම නොදුටුවෙමි. සාම්ප්‍රදායික කුල සිරිතෙන් පීඩාවට පත්වන කාන්තාව පිළිබඳ සංවාදය ද සිනමාවට අලුත් දෙයක් නොවන බැවිනි. නමුත්, 1980 වැනි යුගයක සන්දර්භය තුළින් ගත් කල, එහි යම් වැදගත්කමක් නොතිබුණා නොවේයැයි කෙනෙකුට තර්ක කළ හැකිය​.

දෙමාපිය බසට අවනතව, තමන් ආදරය කළ තරුණයා (රවීන්ද්‍ර රන්දෙණිය) අතහැර නොගැලපෙන විවාහයකට හිස නමන තරුණියකගේ (මාලිනී ෆොන්සේකා) දුක්ඛිත ඉරණම පිළිබඳ සුලබ කතාන්දරය මෙහි සරලව දිග හැරේ.

කෙසේ වෙතත්, මෙම කතාවේ සංවාදයට ගත හැකි එකම සහ වැදගත්ම සන්ධිස්ථානය වන්නේ එහි කූටප්‍රාප්තියයි. සිය මංගල රාත්‍රියේ පෙම්වතා සමඟ පලා යාමට සූදානම්ව සිටින ඇය, අවසාන මොහොතේ මංගල ඇඳුම පිටින්ම​ ඔහු හමු වී පවසන්නේ තමා දැන් විවාහක කාන්තාවක බවයි. සැමියා කවරෙකු වුවද ඔහු සමඟ දිවි හිමියෙන් විසිය යුතු බව පවසා, පෙම්වතාගේ ආශීර්වාදය ද ඇතිව ඇය යළි සිය සැමියා වෙතම පැමිණෙයි. මෙකී අවසානය තුළ ඇති කුල සිරිතෙන් ව්‍යුත්පන්න​ සදාචාරාත්මක ගැටුම චිත්‍රපටයේ අවසානය වැදගත් සන්ධිස්ථානයක් කරා ගෙනයයි.

ප්‍රේමසිරි කේමදාසගේ තනුව ඉක්මවා යන ගීතය

චිත්‍රපටයේ කතාවට වඩා එහි එන ගීත නිර්මාණ අතිශය උත්කෘෂ්ටය. ප්‍රේමසිරි කේමදාස යනු සංගීතය සහ වචන මුණගැසෙන ඉමෙහි “භාව ප්‍රකාශනය” වෙනුවෙන් ජීවිතය කැප කළ පර්යේෂණාත්මක නිර්මාණකරුවෙකි. කේමදාසයන් නිරතුරුවම උත්සාහ කළේ තනුවට සීමා නොවූ ගීතයට සරිලන, සාමාන්‍ය ගායනයේ දී ඇසෙන මනුෂ්‍ය හඬ පවා ඉක්මවා යන “අපූර්ව හඬක්” සොයා යාමටයි.

– දේදුන්නෙන් එන සමනලුනේ
– හීන් සැරේ ඔබ ආවා
– සඳ පෙම් යහනින් පායාවී
– මාල ගිරවිය මාල පොටක් බැඳ

ඒ උත්සාහය මල්ඵල දරා ඇති බැව් මේ ගීත වලින් පෙනේ.

තනුව ඉක්මවා යන “අපූර්ව හඬක්” සොයා යාමේ ව්‍යායාමයේදී ඔහු නිෂ්පාදකවරුන්ගේ බලපෑම්වලට ලක් නොවී, නිර්මාණයට උචිතම ගායන ශිල්පීන් තෝරා ගැනීමට පසුබට නොවීය.

චිත්‍රපටයේම එන​ “හීන් සැරේ ඔබ ආවා” ගීතය උදාහරණයකි. දර්ශන පසුතලයේ රංගනයෙන් දායක වන්නේ සුනේත්‍රා සරච්චන්ද්‍ර සමඟ ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්න වුවද, ඒ සඳහා කේමදාසයන්ගේ තෝරා ගැනීම වූයේ සුනේත්‍රා සමඟ පණ්ඩිත් අමරදේවයන්ය. අවස්ථාවෝචිත​ නිවැරැදි භාව ප්‍රකාශනයක් උදෙසා නිවැරැදි තෝරා ගැනීමක් අත්‍යවශ්‍ය වේ.

අසා නුහුරු නුපුරුදු මානයක් කරා

දේදුන්නෙන් එන සමනලුනේ, හීන් සැරේ ඔබ ආවා , සඳ පෙම් යහනින් පායාවී, මාල ගිරවිය මාල පොටක් බැඳ – මෙම ගීත සියල්ලෙහි වචන උච්ඡාරණය ලඝු සහ ගුරු ආදී සිංහලයෙහි ශබ්ද ධර්මතා කිසිවක් බිඳලන්නේ නැත. ​හෙළ බසෙහි ශබ්ද ධර්මතාවලට අනුකූල වුවත්, එහි පවතින උච්ඡාරණ විධික්‍රමය අපට හසු නොවන සුවිශේෂී වෙනසකින් යුක්තය. ඒ නිසාම ගීතය ඉන් පෙර ගීතයන්හි අසා නුහුරු වෙනස්ම මානයක් විවර කරයි.

“මත් කොවුලන් ගීත නදින – සත් පියුමන් රේණු මතින” යන පද වැලෙහි ඇති රිද්මය සහ එළිසමය අපේ සාම්ප්‍රදායික සීපද හෝ ජන කවියක රිද්මයට බෙහෙවින් සමානයි. නමුත් පද වැල සංගීතවත් කිරීමේදී භාවිතා කරන්නේ සම්පූර්ණයෙන්ම බටහිර රිද්මයට අනුගත වූ ශිල්ප ක්‍රමයකි.

“මත් කොවුලන් ගීත නදින
සත් පියුමන් රේණු මතින
අත් වැල් බැද නටමු නටමු
සිත් සැණකෙළියේ”

එවන් විශිෂ්ට ගීතවලට සරිලන අන්දමේ කතාවක් මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වූයේද යන්න තවමත් මට ප්‍රශ්නාර්ථයකි.

මීට වඩා විචාර අනවශ්‍යය. ගීතයට සවන් දෙන්න. විචාරය කරන්නට තරම් වචන මෙහි ඇත්තේ ද නැත​. වචන ඉක්මවා යන සංගීතය විචාරය කිරීමට මම අපොහොසත් වෙමි.

මගේ එකම ප්‍රාර්ථනය මේවා ප්‍රාසාංගික කලාවේ නියැලෙන්නන්ගේ සවන් වැකී ඔවුන් අතින් අතින් රසභංගත්වයට පත් නොවේවා යන්නයි.

“තරු එළියේ අප තනි වී
සෙනෙහේ ගඟේ ආශාවේ
ඉවුරු බිඳී මා පාවේ…”

අමා නයනාදරී සිරිවර්ධන​
28/12/2025

සතිස්චන්ද්‍ර එදිරිසිංහ – රංගනවේදියකුට​ පිරිනැමෙන මතක උපහාරයක්

මෙතුමා අභාවප්‍රාප්ත වී දැනට දින දෙකක් පමණ වේ. වසර අවසාන රාජකාරි සහ මිතුරු හමු මැද ප්‍රමාද වී හෝ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා පිළිබඳ මෙම සටහන තබන්නේ ඔහු විසින් මෙරට කලා ක්ෂේත්‍රයට කරන ලද අග්‍රගණ්‍ය මෙහෙවරට ගෞරවයක් වශයෙනි. කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද, ප්‍රවීණ කලාකරුවෙකුගේ සිනමා සහ ටෙලි නාට්‍ය දායකත්වය මගේ පුද්ගලික මතකයන් සමඟ මුසු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.

මේ වෙද්දී ඔහුගේ රංගන කාර්යය පිළිබඳ බොහෝ තොරතුරු, එකතු කළ යුතු අමතර කරුණක් නැති තරමට​ විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වී හමාර හෙයින්, මාගේ මතකයේ රැඳුණු සුවිශේෂී චරිත ද්විත්වයක් මෙහිදී ස්මරණය කිරීමට කැමැත්තෙමි



සතිස්චන්ද්‍ර එදිරිසිංහ​ ගැන මගේ මුල්ම මතකය “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ “චීවරධාරී” චරිතයයි. ගම් වැසියන් ගේ සිතුම් පැතුම් සහ ආකල්ප බෞද්ධ දර්ශනයට අනුකුලව හැඩ ගස්වා ගැනීම කෙරෙහි ප්‍රබල බලපෑමක් කරන සිල්වත් හිමි නමක ගේ චරිතයට ආරූඨ වී, ඊට මනා සාධාරණයක් ඉටු කරනු ලැබුවා.

එමෙන්ම ‘කොටි වලිගය’ චිත්‍රපටයේ ජාතිවාදයට එරෙහිව පෙනී සිටින භික්ෂුවකගේ චරිතයක් වෙනුවෙන් තත්පර 90 ක් තුළ කරන ලද නිරූපණය සඳහා ඔහු සම්මානයට පවා පාත්‍ර වූ බව අප අසා ඇත. එම චිත්‍රපටයේ ප්‍රචාරක රූපරාමු එකල රූපවාහිනියෙන් ප්‍රචාරය වූ අයුරු මට යම්තමින් මතක තිබේ.

එහෙත්, එය එවකට ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ තිරගත වූවක් නිසා, කුඩා දරුවන් වූ අපව එය නැරඹීමට රැගෙන යාමට දෙමාපියන් කටයුතු කළේ නැත. ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කළ විශිෂ්ටතම චිත්‍රපට අතරට ගැනෙන මෙහි සියලු පිටපත් විනාශ වී ඇති බව වාර්තා වේ. එම නිසා, විශිෂ්ට සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව සදහටම අපෙන් ගිලිහී ගොස් තිබීම කණගාටුවට කරුණකි.

“කවුළුව” (1987) චිත්‍රපටය ද ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ තිරගත වුවත්, වාසනාවකට මෙන් අපේ වැඩිහිටියන් ඒ පිළිබඳව දැන නොසිටීම නිසා, එය නැරඹීමේ දුර්ලභ අවස්ථාව මටත් මගේ මිතුරියකටත් උදා විය. මගේ මවගේ පාසලේ ගුරුවරියන් පිරිසක් සමඟ ගිය එම ගමනේදී, තවත් ගුරුවරියකගේ මා හා සමවයස් දියණිය සහ මම කිසිදු බාධාවකින් තොරව එම සිනමාපටය නරඹා රස වින්දෙමු. අද ආපසු හැරී බලන විට එය සතුටුදායක මෙන්ම අපූරු මතකයකි. “කවුළුව” අපගේ හදවත් තුළ නොමැකෙන සටහනක් තැබූ, කලාත්මක ශානරයේ රහස් පරීක්ෂක කතාවකි.

‘තාරාදේවී’ හරහා දුටු සතිස්චන්ද්‍රයන්ගේ වෙනස්ම මුහුණුවර

1987 වසරේ විකාශය වූ, ඒ වසර සඳහා නිර්දේශිත ‘විජය’ සම්මාන 11න් සම්මාන 9ක්ම දිනාගත් ‘තාරාදේවී’ එකල රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගත් ටෙලි නාට්‍යයකි.

ලා බාල වයසේ පාසැල් සිසුවියක ලෙස ඒ ටෙලි නාට්‍යය ප්‍රථම වරට රූපවාහිනියෙන් නරඹද්දී ප්‍රේමය​, චපල බව​, අයථා සම්බන්ධතා, ආදී පුද්ගල සම්බන්ධතා වල ස්වරූපය පිළිබඳ දළ හෝ වැටහීමක් තිබුණද, එකල එහි ගැඹුරු මානයන් වූ ප්‍රේමය සහ වෛරය අතරේ දෝලනය වන සංකීර්ණ මනෝ භාවයන් වටහා ගැනීමට අසමත් වූ නමුත්, ලූෂන් බුලත්සිංහලගේ විශිෂ්ට තිර පිටපතත්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු රංගන ශිල්පීන්ගේ ප්‍රබල චරිත නිරූපණයනුත් අප තුළ කලාත්මක සංවේදීතාව ඇති කිරීමට සමත් විය. ජැක්සන් ඇන්තනී නිරුපණය කළ චරිතය කිසිසේත්ම තේරුම් ගත නොහැකිව අසරණ ව බලා සිටියා හොඳින්ම මතකයේ තිබේ.

මෑතකදී ‘YouTube’ හරහා මෙය නැවත නැරඹීමේ දී, එහි හෙන්රි නික්ලස් ජයසුන්දර නම් වංශවත්, කූට ව්‍යාපාරිකයාගේ චරිතයට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඉටු කරන සාධාරණය වටහා ගත හැකිවිය. සාමාන්‍යයෙන් ඔහු රඟපෑ සාම්ප්‍රදායික හෝ ආගමික චරිතවලින් බැහැරව, දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස ඔහු එහි පෙන්වූ දායකත්වය විශිෂ්ටයි.

‘තාරාදේවී’ ටෙලි වෘතාන්තයේ සාරාංශය

හෙන්රි නික්ලස් ජයසුන්දර යනු වංශවත් ප්‍රභූ ව්‍යාපාරිකයෙකි. ඔහු තමා සතු ධනය සහ සිවිල් බලය යොදාගනිමින් නීතිය නමා ගනිමින්, තරුණියන් අනාථ කරන අපරාධ ජාලයකට පවා සම්බන්ධ වූ කූට පුද්ගලයෙකි. එහෙත් සමාජ පිළිගැනීම උදෙසා ඔහු ප්‍රසිද්ධියේ ස්වේච්ඡා සමාජ සුබසාධන කටයුතුවල නිරත වෙයි.

කාන්තා ආකර්ෂණය නිරායාසයෙන්ම හිමි වූ හෙන්රිට, සුභද්‍රා නම් සුරූපී යුවතිය වසඟයට ගැනීම අපහසු නොවේ. ඒ වන විටත් නිශ්ශංක නම් තරුණයෙකු සමඟ පෙමින් බැඳී සිටියත්, දිළිඳු පවුලක තරුණියක වූ සුභද්‍රා ගේ ප්‍රේමය හෙන්රි ජයසුන්දරගෙන් ලද වස්තුව සහ තාන්න මාන්න හමුවේ පරාජයට පත් වෙනවා. ඈ සිය පෙම්වතා අතහැර දමා, හෙන්රි ජයසුන්දරට අවනත වී, ඔහුත් සමඟ අයථා සම්බන්ධයක් ගොඩ නඟා ගනී.

කාලයත් සමඟ මෙම අයථා සම්බන්ධයෙන් දියණියක උපදියි. පසුව හෙන්රිගෙන් වෙන්වන සුභද්‍රා, ‘තාරාදේවී’ යන නමින් ප්‍රකටව, චිත්‍රපට නිළියක ලෙස ජනප්‍රිය වෙමින් ස්වාධීනව ජීවිතය ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි. තාරාදේවීය කෙරෙහි හට ගත් ප්‍රේමය සහ වෛරය අතර දෝලනය වෙන ඇගේ පැරැණි පෙම්වතා වූ නිශ්ශංක, ඇයව පිළිකුල් කරමින් ඈ අසලම ගැවසෙයි. මේ අතර ඇයගේ නවයොවුන් වියේ පසුවන දියණිය කන්‍යාරාමයක හැදී වැඩෙන්නේ පියෙකුගේ ආදරය සහ රැකවරණය​ අහිමිවය.

මෙම ටෙලි නාට්‍යයට, තාරාදේවිය ගේ ජීවිතයේ පිළිඹිබුවක් බඳු වූ අතිශය ජනප්‍රිය තේමා ගීතයක් ඇතුළත් විය. නිර්මාණාත්මක ගී පද රචකයෙක් ලෙස ද ප්‍රකට ලූෂන් බුලත්සිංහල ගේ රූපවාහිනී ටෙලි නිර්මාණයක් වුවද, එහි එන, “මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ” යන ජනප්‍රිය තේමා ගීතය රචනා කරන්නේ තවත් ප්‍රවීණ ගීත රචකයකු වූ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් වීම විශේෂත්වයකි. එම අර්ථපූර්ණ පදවැලට හෘදයාංගම නාද මාලාවක් එක් කරමින් එය ගායනයෙන් හැඩගැන්වූයේ විශාරද ගුණදාස කපුගේ සූරීන් විසිනි.

“ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩමානය​
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයට ද පාරක් ඇති නැති ගානය​”

හදවතේ රිදුම් දෙන තුවාල මැද වුවද, නිසලව ගලා ගිය මෙම ජීවිත යළිත් කැළැඹිල්ලට ලක්වන්නේ හෙන්රි ජයසුන්දරගේ වෛවාහක බිරිඳ සහ එකම පුතු ගුවන් අනතුරකින් හදිසියේම මියයාමත් සමඟය. මානසිකව කඩා වැටෙන හෙන්රි, වරෙක තමන් විසින්ම ප්‍රතික්ෂේප කළ සිය දියණිය සොයා එන්නේ හදිසියේ උපන් දරු සෙනෙහසක් පෙරදැරිවය.

ඇතැමුන් තුළ​ දාරක ප්‍රේමය හටගන්නේ විවාහය තුළ ඉපැදෙන දරුවන් කෙරෙහි පමණක් ද​? ඒ ඇයි? විවාහයෙන් පිටත තමන් විසින් ජාතක කළ දරුවකු කෙරෙහි පීතෘ සෙනෙහසක් උපදින්නේ, තමන් සතු සියල්ල අහිමි වී ‘ඊගෝව’ (Ego) තදින්ම රිදුම් දෙන තැනකදී පමණක්ද? යන ප්‍රබල මනෝ විද්‍යාත්මක​ ප්‍රශ්න ද ඒ හරහා සමාජය වෙත යොමු කෙරේ.

තාරාදේවී හෙන්රිගේ එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරයි. හොඳින් බැරි වූ තැන, බලහත්කාරයෙන් හෝ දියණිය තමන් සන්තක කර ගැනීමට හෙන්රි උත්සාහ කරයි. ඔහුගෙන් එල්ල වන සියලු අභියෝග හමුවේ සිය දියණිය රකින්නට වෙහෙසෙන දිරිය මවකගේ භූමිකාව ප්‍රේක්ෂක කුතුහලය මැද “තාරාදේවී” හරහා දිග හැරෙයි.

තමන් පිළිකුල් කරන සිය පෙම්වතිය සහ ඇගේ දියණිය ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට එන නිශ්ශංක නිසා අවසානයේ දී හෙන්රි නික්ලස් ජයසුන්දරට හිමිවන්නේ ඛේදනීය​ ඉරණමකි.

හෙන්රි නික්ලස් ජයසුන්දරගේ සංකීර්ණ භූමිකාවට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සමත් විය. අප බොහෝ විට ඔහුව රූපවාහිනී තිරය මත දුටුවේ භික්ෂු චරිත හෝ හෙළ බොදු සාරධර්ම නියෝජනය කරන චරිත ඔස්සේ වුවද, ‘තාරාදේවී’ හි ඔහු නිරූපණය කළේ ඊට හාත්පසින්ම වෙනස් වූ, මනුෂ්‍ය ස්වභාවයේ කළු පැහැයට වඩාත් ළඟ තද අළු පැහැති චරිතයකි. එමගින් ඔහු තමන් සතු ප්‍රබල චරිතාංග රංගන කෞශල්‍යය මැනවින් ප්‍රකට කළේය.

අවස්ථාවාදී හැඟීම් හමුවේ කඩා වැටෙන මිනිස් සබඳතා, රාගය සහ විරාගය අතර අරගලය මෙන්ම සම්මතය හා අසම්මතය පිළිබඳ ගැටුම ‘තාරාදේවී’ හරහා ප්‍රශ්න කෙරේ. ඒ සියල්ල මැද තවමත් ශේෂව පවතින මනුෂ්‍යත්වය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රේක්ෂකයාට ඉතිරි කරන මෙම නිර්මාණය, එකල කාල සන්දර්භය තුළ මෙන්ම අදට ද එකසේ සාර්ථක ටෙලි වෘතාන්තයකි. ‘තාරාදේවී’ නැවත නරඹන ඕනෑම ප්‍රේක්ෂකයෙකුගේ හදවත කම්පනය කිරීමට සමත් වීම එහි ඇති සර්වකාලීන අගයට සාක්ෂියකි.

ටිකිරි නිළමේ – අමතක නොවන තවත් චරිතයක් සහ වත්මන් සමාජ දේශපාලනය

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා උඩරට රදළ නිළමේවරයකු ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කළ, එමෙන්ම කිසිදු තැනක සඳහන් වෙනවා තවමත් නොදුටු, තවත් එක් අපූරු ටෙලි නිර්මාණයක් මගේ මතකයේ තිබේ. ඒ ටිකිරි නිළමේ ටෙලි කතාමාලාවයි. වංශවත් යැයි කියාගන්නා වංචනික තරුණයකුගේ ‘අවිනීත ගමන් විලාසය’ දැක ඔහු තුළ ඇතිවන සැකය එම කතාවේ හැරවුම් ලක්ෂය විය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ පෙනී සිටියේ සිය පවුලේ ගෞරවය සහ කුල පරම්පරාව පණ මෙන් රකින උඩරට රදළ නිළමේවරයකු ලෙසය. තම දියණිය (හෝ සහෝදරිය) වෙනුවෙන් ඔහු සොයන්නේ තමන්ගේම පන්තියට ගැළපෙන වංශවත් තරුණයෙකි.

ඒ අතරතුර, තමන් ද උඩරට ප්‍රභූ පවුලකින් පැවත එන නිළමේවරයකු බව පවසමින් තරුණයෙක් ඔවුන් වෙත පැමිණෙයි. ඔහුගේ වතගොත සහ කුලය පිළිබඳ තොරතුරු නිළමේවරයා දන්නා දත්තයන් හා මැනවින් සැසඳෙන බැවින්, කිසිදු සැකයකින් තොරව සතිස්චන්ද්‍ර ඇතුළු පවුලේ පිරිස මෙම විවාහ යෝජනාවට එකඟ වෙති.

කතාවේ හැරවුම් ලක්ෂය සනිටුහන් වන්නේ තරුණයා පෙරහැරේ ගමන් කරන අවස්ථාවේදීය. උඩරට නිළමේ ඇඳුමින් සැරසී පෙරහැරේ ගමන් කරන මෙම තරුණයාගේ අවිනීත සහ අසංවර ගමන් විලාසය දකින සතිස්චන්ද්‍රයන් තුළ, ඔහු පිළිබඳ පළමු වරට සැකයක් මතු වෙයි. සැබෑ රදළ නිළමේවරයකුට හිමි ඒ ගාම්භීරත්වය සහ ශික්ෂණය එම තරුණයා තුළ නොමැති බව ඔහු වටහා ගන්නේ එවිටය. එහෙත් ඒ වන විටත් ප්‍රමාද වැඩිය. එම වංචනිකයාට රැවටුණු තරුණිය තම ජීවිතය විනාශ කරගෙන හමාරය.

මෙම කතාව වත්මන් දේශපාලන වේදිකාවේ දිග හැරෙන දේ සමඟ මැනවින් ගලපා ගත හැකි උපමාරූපකයකි. ඇවිදින පුස්තකාල ලෙස පෙනී සිටින්නේ, “සායම් බාල්දිය හලාගත් නරි රංචුවක්‌” බව ඔවුන්ගේ අවිනීත හැසිරීම් තුළින් හඳුනා ගැනීමට නොහැකි වූ 68 ලක්ෂයක් දෙනා විසින් රට “රාහු මුඛයේ” හෙළා දමා හමාරය.

නරින් හූ කියද්දී බලා සිටීම හැර දැන් කරන්නට දෙයක් ඇත්තේ නැත.

සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් වැනි විශිෂ්ට කලාකරුවන් ශාරීරිකව අපෙන් සමුගත්ත ද, ඔවුන් ඉතිරි කර ගිය මෙවැනි ගැඹුරු කලා නිර්මාණ හරහා ඔවුන් සදා අමරණීය වනු ඇත.

එතුමන්ට සුබ ගමන්!

අමා නයනාදරී සිරිවර්ධන​
25/12/2025

බක්මහ දීගේ, දියට නැමුණු මල් සහ​ කලාකරුවාගේ පරස්පර විරෝධය

දයානන්ද ගුණවර්ධන “බක්මහ දීගේ” චිත්‍රපටය තුළින් ගැමි ප්‍රභූ පන්තියේ සහ සමස්ත ගැමි සමාජයේම අනාචාරය සහ කාමාශක්ත බව නිර්භීතව නිරාවරණය කළා. එවකට සමාජයේ පැවති සංස්කෘතික හර පද්ධතිය තුළ ජුගුප්සාජනකයැයි චෝදනා එල්ල විය හැකි අඳුරු පැතිකඩ පෙන්වීම එදා යුගයේ හැටියට පහසු කටයුත්තක් නොවේ. එහෙත්, බක්මහ දීගේ තිරගත වී වසර අටකට පසුව, “ශිෂ්ට සමාජයේ යහපත වෙනුවෙන්” යන පදනම මත ඔහුම තවත් සිනමාකරුවෙකුගේ ප්‍රකාශනයේ නිදහස අහුරන්නට උත්සාහ කරනවා. පෙම්බර මධු චිත්‍රපටය තිරගත කිරීමට ප්‍රබල විරෝධයක් දක්වා රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙනවා. මේ පරස්පර හැසිරීමට හේතුව කුමක් විය හැකිද?

“බක්මහ දීගේ” චිත්‍රපටය ගැන මීට පෙරත් කතාබහට ලක්ව තිබෙනවා. එහි එන “ආදර හැඟුම්,” “මලකින් මලකට,” “බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ” වැනි ගීත රසිකයන් අතර ඉතා ජනප්‍රියයි. එහි හමුවන “දියට නැමුණු මල්” තවත් අතිවිශිෂ්ට, එහෙත් වැඩිපුර කතාබහට ලක් නොවූ ගීතය කි. එම ගීතය තෝරා ගැනීමට විශේෂ හේතුවක් ද තිබේ. එම හේතුව සටහන අවසානයේ බලාපොරොත්තු වන්න​.

ගීතයේ අරුත විග්‍රහ කිරීමට පෙර, “බක්මහ දීගේ” චිත්‍රපටයේ කතාව කෙටියෙන් දැන ගැනීම වැදගත් වෙයි.

Pierre-Augustin Caron de Beaumarchais ගේ “The Marriage of Figaro” නම් ප්‍රංශ නාට්‍යයේ අනුවර්තනයක් ලෙස දයානන්ද ගුණවර්ධන “බක්මහ අකුණු” වේදිකා නාට්‍යය නිර්මාණය කළා. පසුව, ඔහු විසින් ම​ එම වේදිකා නාට්‍යයේ කතාව සහ දෙබස් යොදා ගනිමින්, තිර පිටපත සකස් කර “බක්මහ දීගේ” නමින් සංගීතමය චිත්‍රපටයක් නිර්මාණය කරනවා. මෙහි තිර පිටපතෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් නොව, රංග වින්‍යාසය තුළ ඔපෙරාත්මක ලක්ෂණ සහිත නාටකීය බව රැක ගනිමින් සිනමාවට ද ගැළපෙන ලෙස එය සකස් කර තිබීමයි. අරුණ ගුණරත්න වැනි සිනමා විචාරකයන් පවසන්නේ, සිනමාවට විකට ජවනිකා වෙනුවට ප්‍රහසනය හඳුන්වා දුන්නේත් මෙම චිත්‍රපටය බවයි. එතෙක් චිත්‍රපටවල තිබුණේ ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන වැනි ශිල්පීන්ගේ විකට ජවනිකා මිස ප්‍රහසනයක් නොවෙයි.

මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය 1969 දෙසැම්බර් 31 වැනි දින පැවැත්වුණු අතර, මහජන ප්‍රදර්ශනය ආරම්භ වූයේ 1970 අප්‍රේල් මාසයේදීයි. මෙය දයානන්ද ගුණවර්ධන නිර්මාණය කළ එකම චිත්‍රපටය ද වෙනවා.

“බක්මහ දීගේ”, එහි විශිෂ්ට රංගනයන්, අද්විතීය සංගීතය සහ ගැඹුරු සමාජ විවරණය නිසාම සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි චිත්‍රපටයකි.

කතා සාරාංශය​
—————
වලව්වේ මුදලිතුමා හා ඔහුගේ බිරිඳ ළමාතැනී, වලව්වේ සේවිකා පබුලිනා ,සේවක ජාසොන්, ගැටවර ප්‍රේමදාස , සහ ලියන මහත්තයා මෙහි එන ප්‍රධාන චරිත වේ. මුදලිතුමා පබුලිනා වෙත කාමාශක්ත ව ඇය සිය වසඟයට ගැනීමට මාන බලනවා.

කථාවට අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වර නැඟෙන හර පද්ධතියට අවංකවම අනුගත වී ඇති බව පෙන්නුම් කරන්නේ වලව්වේ මෙහෙකාරිය පබුලිනා සහ ඇය පිළිබඳ විවාහාපේක්ෂාවෙන් සිටින ජාසොන් පමණි. සාමාන්‍ය ගැමියකුගේ සහ ගැමි කාන්තාවක ගේ අවංක බව ඒ දෙදෙනා තුළින් සංකේතවත් වෙනවා. පසුකාලීනව සිනමාව තුළ දැවැන්ත චරිතයක් වූ ධර්මසිරි බණ්ඩාරනායක පෙනී සිටින ප්‍රේමදාස ගේ චරිතය ගොඩ නංවා ඇති ආකාරයත් විශේෂ යි. ඔහු සිය හැඟීම් වලට අවංක කොලු ගැටයෙකි. ඇතුළත සහ මතුපිට චරිත දෙකක් නොවී එකම චරිතයක් ලෙස පෙනී සිටිනවා. ඔහු පබුලිනාටත්, ළමාතැනීටත්, වත්තේ සේවකයකු ගේ ​ දියණිය වූ නව යොවුන් වියෙහි පසුවන මැණිකාටත් එකවර ආදරය කරනවා. ඔහු හැම ලස්සන කාන්තාවකටම තමන් ආදරය කරන බව සැඟවීමට උත්සාහ කරන්නේ නැත. ඒ ඔහු තවමත් පරිණත වැඩිහිටියකු ලෙස, සමාජය තුළ සිය ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස වංකකම පුරුදු පහුණු කර ගැනීමට තරම් මුහුකුරා නොගිය ගැටවර වයසේ සිටින නිසාදැයි යන ප්‍රශ්නයත් නිර්මාණකරු අප ඉදිරියේ තබනවා. ධර්මසිරි බණ්ඩාරනායක ගේ ඒ අවංක චරිත ස්වභාවයෙන් ප්‍රයෝජන ගැනීමට සැරසෙන්නී අන් ළඳක් (වලව්වේ සේවිකා පබුලිනා) වෙත කාමාශක්ත වීම නිසා, සිය සැමියා ගේ අවධානයෙන් ගිලිහුනු රූමත් ළමාතැනී, අයිරාංගනී සේරසිංහ යි. ළමාතැනී සහ විශේෂයෙන්ම මුදලිතුමා ගේ චරිත සංස්කෘතික වංචනිකයින් ලෙස හඳුනා ගැනීම වරදක්‌ නොවේ.

පබුලිනා සමඟ පෙම් සුව විඳීමට එන මුදලිතුමා, ඇවිත් සිටින්නී ඔහු රැවටීමට පබුලිනා සමඟ කුමන්ත්‍රණය කර, පබුලිනා සේ වෙස් වළා ගත් ළමාතැනී බව දැන ලැජ්ජාවටත් කෝපයටත් පත් වෙනවා.කෙසේ නමුත් මේ සියලු දෙනා අවසානයේ දී තමන් සංස්කෘතික සත්ත්වයින් බව වටහාගෙන සතුටින් විසිර යනවා. චිත්‍රපට කතාවේ සාරාංශය එයයි.

දියට නැමුණු මල් චිත්‍රපටයේ භාවිතය
—————————————————-
ළමාතැනී – මක් වෙලාද මේ?
ප්‍රේමදාස – ඊයේ කම්බි වැට පැනලා එනකොට තුවල වුණා.
ළමාතැනී – මගේ සාය පටියෙන් නේද මේ බැඳලා තියෙන්නේ? අනේ පබුලිනා තෙල් ටිකක් ගෙනෙන් මේකට දාන්ඩ.​
ප්‍රේමදාස – නෑ ළමාතැනී තෙල් ඕන නැහැ.
ළමාතැනී – හා නිකන් සනීප වෙයි.

ප්‍රේමදාස – මේ ලෝකේ මොනම බේතකටවත් නැති බලයක් තියෙනවා මේකේ. ඔබතුමිය ගේ සාය පටියේ. ඔබතුමිය ගේ ලස්සන රූපේ දිහා බලාගෙන ඉන්නකොට මාත් ලස්සන වෙනවා. ඔබතුමිය ගේ නිල්පාට ඇස් දෙකෙන් මා දිහා බැලුවහම මගේ ඇස් දෙකත් නිල්පාට වෙනවා.

ළමාතැනී – ප්‍රේමදාස හරි කවි කාරයෙක් නේ. කෝ අර මට හැදුවයි කිව්ව කවිය දෙන්න බලන්න​.

ප්‍රේමදාස ළමාතැනීට ලියූ කවිය නන්දා මාලනී ගේ හඬින් ගැයෙන්නේ එතැන දී යි.

දියට නැමුණු මල් පවනට හැලිලා පෙණ පිඬු සමගින් පාවෙන්නේ
පුළුන් වළා මත සඳ රැස් වැටිලා සුළං සමග විසිරී යන්නේ
දියඹ නැඟෙන රැළි දිය මත හැපිලා දියකඳ දස අත පැතිරෙන්නේ
ලොවේ මිහිර දෑතින් නොලබාලා සුසුම් කි කල සැනසුම දෙන්නේ?

ගීතයේ අරුත
——————–
කවියෙකුගේ ලෝකයේ ආලෝකය ස්වභාව සෞන්දර්යය වනවා සේම, ප්‍රේමදාස චරිතය තුළින් ද එම සෞන්දර්යවාදී ලක්ෂණ මනාව පිළිබිඹු වෙනවා. ඔහු කාන්තා ඇසුරට ප්‍රිය කළා සේම, ස්වභාව සෞන්දර්යයට ද අතිශයින් ආදරය කරන, සැබෑ සෞන්දර්යවාදියෙකි.

මෙය ඔහුට අනෙක් චරිතවලින් වෙන් වූ සුවිශේෂී බවක් එක් කරනවා. සමාජයේ කුහකකම් හා වංකකම් අතර, ප්‍රේමදාසගේ චරිතය ස්වභාවධර්මයට හා සත්‍ය හැඟීම්වලට සමීප, වඩාත් අවංක වූ චරිතයක් ලෙස ඉස්මතු වෙයි. ඔහුගේ සෞන්දර්යවාදී ආකල්පය, ඔහු ගැහැණුන් කෙරෙහි දක්වන අහිංසක ප්‍රේමය සමඟ බද්ධ වී තිබෙනවා. ඔහුට කාන්තාවන් යනු ස්වභාව සෞන්දර්යයේම කොටසක් වන අතර, ඔවුන් ගේ සුන්දරත්වය ඔහුට විශ්වයේම සුන්දරත්වය සිහිපත් කරවන්නකි.

මෙම ගීතය, මතුපිටින් ගත් කළ සොබාදම් වැනුමක් ලෙස පෙනුණ ද, සොබාදහමේ දර්ශන හරහා මිනිස් ජීවිතයේ, විශේෂයෙන්ම කාන්තාවකගේ, අසරණභාවය, අපේක්ෂා භංගත්වය සහ ඉරණමට යටත් වීම ඉතා සංවේදීව ඉදිරිපත් කරනවා.

“දියට නැමුණු මල් පවනට හැලිලා පෙණ පිඬු සමගින් පාවෙන්නේ”

– මෙහිදී “දියට නැමුණු මල්” යන්නෙන් සංකේතවත් කරන්නේ සමාජයේ පීඩාවට පත්වන, හෝ අසරණ වූ කාන්තාවකි. මලක් යනු ස්වභාවයෙන්ම සුන්දර, අහිංසක සහ සියුම් වස්තුවක් වේ. එය ජලයට නැමී, පසුව “පවනට හැලිලා” (සුළඟේ බලපෑමෙන්, එනම් සමාජයේ බලපෑමෙන්) “පෙණ පිඬු සමගින් පාවී යන්නේ” යැයි කීමෙන් පෙන්වන්නේ ඇයගේ ජීවිතය සමාජ ප්‍රවාහය සමඟ ගසාගෙන යාමට ඉඩහැර බලා සිටීමට සිදු වීමයි. පෙණ පිඬු මෙන් ක්ෂණිකව ඇති වී නැති වී යන, අස්ථිර තත්ත්වයකට ඇයගේ ජීවිතය පත් වී ඇති බව මෙයින් ඇඟවෙනවා. එයින් ඇයගේ පාලනයෙන් තොර වූ, ඉරණමට යටත් වීමට සිදු වූ තත්ත්වයක් පිළිබඳව ද කියැවේ.

“පුළුන් වළා මත සඳ රැස් වැටිලා සුළං සමග විසිරී යන්නේ”

– මෙහි “පුළුන් වළා” යන්නෙන් සංකේතවත් කෙරෙන්නේ මෘදු, ලස්සන, නමුත් ස්ථාවරත්වයක් නොමැති දෙයක්. එයින් ඇයගේ බලාපොරොත්තු, සිහින හෝ සතුට පිළිබඳ මායාමය තත්ත්වයක් නිරුපණය වෙනවා හැකියි. සඳ එළිය පුළුන් වළා මත වැටී ලස්සනක් ඇති කළත්, එය තාවකාලික ය. “සුළං සමග විසිරී යන්නේ” යි කීමෙන් ඇඟවෙන්නේ එම සුන්දරත්වය හෝ බලාපොරොත්තු සුළඟට අසුවී, විසිරී ගොස් නැතිවී යන බවයි. මෙය මිනිස් ජීවිතයේ සිහින හා බලාපොරොත්තු ක්ෂණිකව බිඳී යාම, අස්ථිර බව සහ තාවකාලික සැනසිල්ල පවා නැති වී යාම සංකේතවත් කරනවා.

“දියඹ නැඟෙන රැළි දිය මත හැපිලා දියකඳ දස අත පැතිරෙන්නේ”

– “දියඹ නැඟෙන රැළි” යන්නෙන් ජීවිතයේ ඇතිවන ගැටලු, අභියෝග, කැලඹීම් හෝ අසම්මත සබඳතා වැනි දේවල් සංකේතවත් වෙයි.
මේ රැළි “දිය මත හැපීලා” (එනම්, ජීවිතය තුළ ගැටී) “දියකඳ දස අත පැතිරෙන්නේ” යනු, එම ගැටලු හෝ අර්බුද හේතුවෙන් ජීවිතය අවුල් ජාලාවක් බවට පත්වන අයුරුයි. ජීවිතයේ ස්ථාවරත්වය බිඳී ගොස්, දසත විසිරී, අවුල් සහගත තත්ත්වයකට පත්වීම මෙයින් නිරූපණය වෙනවා. එය පාලනය කරගත නොහැකි වූ, විනාශකාරී තත්ත්වයකි.

“දිය” යනු ලෝකයට සමානාර්ථ දෙන පදයකි. එම පදය ලෝකයට හෝ සමාජයට රූපකයක් ලෙස මෙම ගීතය තුළ දී යෙදී තිබේ.

සමස්තයක් ලෙස ගත් කළ මුල් පද පේළි තුනෙන්. ප්‍රකාශ වෙන්නේ සමාජයට අනුගත වී සිටින (නැමුණු) කාන්තාව මුහුණ දෙන ඉරණම යි. සමාජය විසින් ඇය මත පටවන පීඩනය, සම්මුතීන් හා බලපෑම් ප්‍රකාශයට පත් වෙනවා. තමන්ගේ ඉරණම වෙනස් කර ගැනීමට නොහැකිව සමාජ ප්‍රවාහය සමඟ ගසාගෙන යාමට සිදුවන අසරණභාවය එයින් කියාපානවා. සමාජයේ කාන්තාවන්ට සිදු වන අසාධාරණකම්, ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටීම් හා ඔවුන්ට සමාජය විසින් පනවනු ලැබූ සීමාවන් නිසා ඉරණමට යටත් වීමට සිදු වීම පිළිබඳව ඒ තුළින් සංවේදීව විවරණය කරනවා.

“ලොවේ මිහිර දෑතින් නොලබාලා සුසුම් කි කල සැනසුම දෙන්නේ?”

– මෙය ගීතයේ හදවත බඳු ප්‍රශ්නයයි. “ලොවේ මිහිර” යනු ජීවිතයේ සතුට, ආදරය, සාමය, තෘප්තිය වැනි ධනාත්මක අත්දැකීම් වේ. “දෑතින් නොලබාලා” යනු, ඒවා කිසිදා තම ජීවිතයට හිමි කර ගැනීමට නොහැකි වීමයි. “සුසුම් කි කල සැනසුම දෙන්නේ?” යන්නෙන් අසන්නේ, ලොවේ මිහිර දෑතින් බදා අත්පත් කර ගත නොහැකි එනම් , සැබෑවට ලැබිය නොහැකි අසරණ තත්ත්වයක සිටිය දී, කවදා නම් සැබෑ සැනසීමක් හෝ සහනයක් ලැබේද? යන්න යි. එය ජීවිතයේ අරමුණක් නොමැතිව, වේදනාවෙන් කල් ගෙවන අයෙකුගේ හදවතින් නැඟෙන කටුක යථාර්ථය සහ බලාපොරොත්තු රහිතභාවය විදහාපාන ප්‍රශ්නයකි.

එසේ නම්, මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන, “දියට නැමුණු මල්” නොවී, එනම් සමාජ ප්‍රවාහයට අනුගත නොවී උඩුගං බලා පිහිනන කාන්තාවකට මෙවැනි ඉරණමකට ලක් නොවී සිටිය හැකි වේද? මේ පිළිබඳව ඔබට සිතා බැලීමට ආරාධනා කරමි.

ළමාතැනීගේ අසරණකම සහ ඇය විඳින වේදනාව සංවේදී හදවතක් ඇති ප්‍රේමදාස මැනවින් හඳුනා ගනී. සැමියා අන් ළඳක වෙත බැඳීම නිසා ව්‍යාකූල වූ ඇය ගේ සිතුවිලි ධාරාව, ඔහු මෙසේ කවියකින් ඉදිරිපත් කරනවා.

ගීතය චිත්‍රපටයේ කථා වස්තුවට එක් කරන්නේ ගැඹුරක් සහ භාවාත්මක බවකි. එය හුදෙක් හිස් තැන් පුරවන​ ගීතයක් පමණක් නොව, චිත්‍රපටයේ තේමාවන් මනාව පිළිබිඹු කරන කලාත්මක ප්‍රකාශනයකි.

ලියා බැලූ කළ මෙය එක් කවියකි. එය කවියක් ලෙසම පමණක් ගායනා කළේ නම් නීරස නිර්මාණයක් වීමට ඉඩ තිබුණා. එහෙත්, සංගීතඥ සෝමදාස ඇල්විටිගල මහතාගේ විශිෂ්ටත්වය වන්නේ, එම කවිය ඉතා දක්ෂ අන්දමින් පද කිහිපයකට කඩා, සිනමා ගීතයකට අවශ්‍ය රිද්මය හා භාවාත්මක බව එක් කර, ඉතා රසවත් ගීතයක් බවට පත් කිරීමයි.

මෙම ගීතය ගායිකා නන්දා මාලිනියගේ ගායන දිවියේ ස්වර්ණමය අවදියක් නියෝජනය කරන්නකි. 1956 වසරේ දහතුන් වියැති දැරියකව සිටිය දී ගුවන් විදුලි ළමා පිටියෙන් ගායිකාවක ලෙස කල එළි දුටු ඇය, 1980 ගණන් වල මුල් භාගය පමණ වන තෙක් විවිධ පද රචකයන්ගේ, විවිධ තේමාවන්ගෙන් හා විවිධ වර්ණයෙන් හැඩ වුණු ගීත සඳහා දේශීය අනන්‍යතාවයේ කැටපතක් බඳු මිහිරිතම හඬ එක් කළා. එම කාලය ඇගේ වෘත්තීය දිවියෙහි උච්චතම අවධිය ලෙස සැලකිය හැකියි. 1963 දී “රන්මුතු දූව” චිත්‍රපටයේ “ගලන ගඟකි ජීවිතේ” ගීතය සඳහා හොඳම පසුබිම් ගායිකාවට හිමි සරසවි සම්මානය දිනා ගත්තේ ද ඇගේ සුවිශේෂී ගායන හැකියාව හා හඬෙහි මිහිරියාව නිසාම යි.

ප්‍රංශ කතාවක අනුවර්තනයක් වුවත්, “බක්මහ දීගේ” වැනි නිර්මාණ දකින විට නිතරම නැගෙන ප්‍රශ්නයක් වන්නේ, එකල දේශීය නිර්මාණකරුවන්ට මිනිස් සිතේ ගූඪ චෛතසික ස්වභාවයන් පිළිබඳව අදට වඩා පුළුල් අවබෝධයක් තිබුණා නොවේද යන්නයි.

“බක්මහ දීගේ” වැනි එවකට සමාජයේ විරෝධය එල්ල විය හැකි ගැඹුරු සාමාජීය විවරණයක් සහිත චිත්‍රපටයක් නිර්මාණය කළ දයානන්ද ගුණවර්ධන, පසුකාලීනව “පෙම්බර මධු” (1977) චිත්‍රපටයට අනුමැතිය දීමට එකඟ නොවීම පුදුමයට කරුණක්. ඔහු එවකට චිත්‍රපට රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටි අතර, “පෙම්බර මධු” චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ සහ විජය කුමාරණතුංග අතර වූ නිරුවත් සම්භෝග ජවනිකා නිසා චිත්‍රපටයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කළා. ඔහු සමඟ සාහිත්‍යවේදී කරුණාසේන ජයලත් ද මෙම ස්ථාවරයේ සිටියා. ඒවා දීර්ඝ ලිංගික දර්ශන වීම ඔවුන් ගේ අප්‍රසාදයට තවත් හේතුවක්. ඔවුන්ගේ මතය වූයේ එවැනි දර්ශන ශ්‍රී ලාංකේය සංස්කෘතියට සහ සදාචාරයට අහිතකර බවයි.

සිනමාවේදී දයානන්ද ගුණවර්ධන සහ සාහිත්‍යවේදී කරුණාසේන ජයලත් යන සාමාජිකයන් දෙදෙනාගේ බලවත් විරෝධය නිසා චිත්‍රපටය තිරගත කිරීම ඇණහිට පැවතුණි. එහෙත්, එවකට සිටි ප්‍රබල දේශපාලකයකුගේ මැදිහත් වීමෙන් අවසානයේ “පෙම්බර මධු” චිත්‍රපටය තිරගත කිරීමට අවසර ලැබුණා. දේශපාලන බල අධිකාරියේ අනුග්‍රහයෙන් චිත්‍රපටය තිරගත කිරීමට විරෝධය පෑමක් ලෙස, දයානන්ද ගුණවර්ධන සහ කරුණාසේන ජයලත් රැඟුම් පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස් වුණා. කෙසේ නමුත්, සෑහෙන කතාබහට ලක් වූ මෙම චිත්‍රපටයට අනුමැතිය ලැබුණේ එහි දීර්ඝ ලිංගික සහ නිරුවත් ජවනිකා කිහිපයක් ඉවත් කිරීමෙන් පසුව බව ද සඳහන් වෙනවා.

කරුණාසේන ජයලත් ගේ සාහිත්‍ය නිර්මාණ අනුව ඔහුගේ ස්ථාවරය ගැන පුදුම වීමට දෙයක් නැහැ. “ගැහැණු ළමයි” නවකතාවේ පෙරවදන තුළ පවා ඔහු සමාජ සදාචාරය සිය අරමුණ බව පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා. ඔහු විශ්වාස කළ යහපත් ගුණගරුක සමාජය ඔහුගේ නිර්මාණවල යටිපෙළින් නිරන්තරයෙන්ම පිළිබිඹු වුණා. එවකට සමාජයේ හර පද්ධතිය ප්‍රශ්න කළ අවස්ථා ඔහුගේ නිර්මාණ තුළ දකින්න නැහැ. ප්‍රශ්න කළත් ඒ විකල්ප මතවාදයක් හෝ සමාජ විවරණයක් ලෙස නොවේ. හුදෙක්ම සමාජය තුළ පැවති පොදු සම්මතය පුනරුච්ඡාරණය කිරීමකි.

කෙසේ වෙතත්, “බක්මහ දීගේ” වැනි නිර්භීත සමාජ විවරණයක් කළ කලාකරුවකු වූ දයානන්ද ගුණවර්ධන මෙවැනි තීරණයකට එළැඹීම විමතියට හා කලකිරීමට හේතු නොවන්නේද? මන්දයත්, බොහෝ විචාරකයන් පෙන්වා දුන්නේ “පෙම්බර මධු” චිත්‍රපටයේ අදාළ දර්ශන කතාවට අවශ්‍ය ඒවා මිස, බලහත්කාරයෙන් ඇතුළත් කළ ඒවා නොවන බවයි. මේ පරස්පර හැසිරීමට හේතුව ඔහු පසුකාලීනව යම් සදාචාරවාදී හෝ සංස්කෘතිකවාදී ස්ථාවරයක් දැරීම විය හැකියි.

“බක්මහ දීගේ” චිත්‍රපටයේ “දියට නැමුණු මල්” ගීතයට දායක වූ කලාකරුවන් අතරින් අද ජීවතුන් අතර සිටින්නේ අයිරාංගනී සේරසිංහ, ධර්මසිරි බණ්ඩාරනායක, සහ නන්දා මාලිනී යන ප්‍රවීණයින් පමණයි. වියපත් වීමත් සමඟ මේ තිදෙනා ම විවිධ රෝගාබාධවලින් පීඩා විඳින බවට තොරතුරු ලැබීම කණගාටුවට කරුණක්. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ මේ විශිෂ්ට කලාකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. ඔවුන්ගේ නිර්මාණ තුළින් අපට ලබා දුන් ආස්වාදය සහ ජීවිත පරිඥානය කිසිදා අමතක කළ නොහැකිය​.

අමා නයනාදරී සිරිවර්ධන​
29.06.2025

දියට නැමුණු මල් පවනට හැලිලා

අමකර කුරවි සරින් හෙවත් නිදහස් පෙම්වතුන් ගේ ගීතය​

ඇයට ඔහු වසර ගණනාවකට පසුව යළිත් මුණ ගැසුණේ රාත්‍රී සාදයක දී (dinner dance) හිටිහැටියේ මෙන් අහම්බයකිනි. කඩිමුඩියේ ඇඳ පැළැඳ තරමක් පමා වී සාදයට ගොඩ වැදෙද්දීම ශාලාවේ දොර අසල සිටි ඔහු වහා ඈ වෙත පැමිණ උණුසුම් ලෙස වැළඳ ගත්තේ “හලෝ ඔයා මෙහේදැ”යි අසමිනි. “ඔව් නේ අවුරුදු කීයකට පස්සේ ද මේ? ඒත් මම තවම මෙහෙට අලුත් අනේ” ඇය එසේ පිළිතුරු දුන්නාය​. දෙදෙනා ආ ගිය තොරතුරු හුවමාරු කර ගන්නට උත්සාහ කළ නමුත්, ඒ වෙද්දීත් ආරම්භ වී තිබුණ ගිගුම් දෙන සංගීතය ඔවුන් ගේ කතාවට බාධා කළේය. සංගීතයත්, කෑමට එක් රොක් වන අය ගේ ඝෝෂාවත් නිසා එතැන කතා කිරීම අපහසු වූයෙන් වහ වහාම ඇය ද මිතුරන් අතර නැටුමට එක් වූවා ය. සාදය හමාර වීමට ආසන්න වෙද්දී, නැවතත් ඇය තනිව හමු වූ ඔහු, දුරකතන අංකය ඉල්ලා ගත්තේ “මම ඔයාට කෝල් කරන්නම්” කියමිනි. එසේ වුවද, එවේලෙහි එ තරම් විශේෂත්වයක් ඇයට දැණුනේ නැත​.

පසු දින​ ඔහුගෙන් ඇමතුමක් ආවේය​. කතාබහෙන් අනතුරුව “අපි coffee එකකට එළියට යමුදැ”යි ඔහු ඇසුවේ ය​. ඇය එකඟ වූවාය. කියන්නට තරම් විශේෂ මිත්‍රත්වයක් නොතිබුණ ද​, වසර ගණනාවකට පෙර දැන හැඳින සිටි හිතවතෙකු නැවත මුණ ගැසී කතා කිරීමට ලැබීම ඇයට දැනවූයේ සතුටකි.

එදින දෙදෙනාට ආගිය තොරතුරු කතා කරමින් ඇති පමණ අල්ලාප සල්ලාපයෙහි යෙදීමට බාධා කළ කිසිවෙකු අසලක​ නොවීය. දෙදෙනා ගේ පෞද්ගලික තොරතුරු පමණක් නොව, දන්නා හඳුනන යහළු මිත්‍රාදීන් ගේ ඕපාදූප ද එකිනෙකා අතරේ හුවමාරු වන්නට විය. “ඔයාට මතකද අපේ කණ්ඩායමේ හිටියේ අර උස කළු හීන්දෑරි හාදයා එයා බැඳලා නෝනාත් එක්ක​ එංගලන්තයට ගියා නේ” ආදී වශයෙන් කියන්නටත්, අහන්නටත් ඕපාදූප රාශියක් දෙදෙනාටම තිබුණි.


“ඔයා ඉස්සර ඉතින් අපි දිහා බලන්නේත් නැහැ නේ” කෙනෙක් අසද්දී, “ඇයි මොකට ද ඒ බලන්නේ?” යි අනිත් පැත්තෙන් පිළිතුරු ලැබිණි.

කාලයකට පෙර දැන හැඳින සිටි කෙනෙකු වුව , කෝපි බී අහවර වී ගෙදර එද්දී ඇයට දැණුනේ පෙර තිබුණාට වැඩි සමීපකමකි. එයින් පසු තවත් සති දෙක තුනක් දුරකතන සංවාද හරහා මේ මිත්‍රත්වය ඔහේ ගලාගෙන ගියේය​. නවාතැනෙහි මිතුරන් කණ්ඩායමක් සිටිය ද, “දහස් ගණනක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ” කියන්නාක් මෙන් ඔවුනතර ඇයට දැණුනේ දුරස්ථ බවකි. ඔවුන් ගේ සමාගමය ඇයට එ තරම් රුචි නොවීය. කාලයක් තිස්සේ දන්නා හඳුනන ඔහු හදිසියේ මුණ ගැසී ඇති වූ මේ ළබැඳි මිත්‍රත්වය​ ඇය බෙහෙවින් ප්‍රිය කළාය. ඔහු ගේ කතාබහ ඇයට ඒ වෙලාවේ ගෙන දුන්නේ අස්වැසිල්ලකි.

එක් සිකුරාදා දවසක උදය වරුවේ ඔහුගෙන් ආ දුරකථන ඇමතුමකි.

ඔහු : ඔයා මොනවද හවස කරන්නේ?
ඇය : විශේෂ දෙයක් නැහැ.
ඔහු : එහෙනම් අද හවසට අපි කොෆී එකකට එළියට යමුද?
ඇය : හා

හවස හතරට පමණ නැවතත් ඇයට කතා කළ ඔහු, “කොෆී නෙවෙයි, අපි ඩිනර් අවුට් එකකටම​ යමු ද ඔයාට කමක් නැත්නම්” යැයි ඇසුවේ චකිතයකින් මෙනි. ඇය “හා මම එන්නම්” යැයි කී සැණින්, “එහෙනම් ගෙදර ඇවිත් ලෑස්ති වෙලා ඉන්න, මම ඔයාව ගන්න එන්නම්” යැයි කියා දුරකථනය විසංධි කළේය​.

රාත්‍රී ආහරය ගන්නා අතරතුරදීත් පෙර පරිදි අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටිය ද, අමුත්තක් ඇයට දැණුනි. වයින් වීදුරු දෙකක්‌ හමාර කිරීමෙන් පසුව තරමක මත් ගතියක් දැණුනත්, තමන් හොඳ සිහියෙන් සිටි බව සපුරා ම විශ්වාස ය​. රිය පදවන්නට ඇති බැවින්, ඔහු මත්පැන් පානය කිරීමෙන් වැළැකී සිටියේ ය​.

අවන්හලෙන් පිටව මෝටර් රථය වෙත යද්දී අඩි උස පාවහන් පැළැඳ, පය පැකිළී වැටෙන්නට ගිය ඇයව, ඔහු වහා වත්තන් කර ගත්තේය. ඇය දෙනෙත් අඩවන් කර ඔහු දෙස බැලුවාය​.

එතැන් සිට සිදුවූ දේ සිහින දේශයකට කළ සැඟවුණු කැඳවීමකි.

“අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතූ ලෙසින්
ඔබය සුවය ගෙනා”

යහපත් ලිංගික සබඳතාවයකට අවම වශයෙන් විශ්වාසනීය මිත්‍රත්වයක් තිබීම සැබෑවටම වැදගත් මනෝමූලික අවශ්‍යතාවයකි. එහෙත් එවැනි සබඳතාවයක් අනිවාර්යයෙන් ආදරයකට හෝ විවාහයක් වෙත ගමන් කළ යුතුද යන්න පිළිබඳව, ශ්‍රී ලාංකිකයන් තවමත් සාම්ප්‍රදායික චින්තන රටාවෙන් මිදෙන්නේ බොහෝ සෙයින් සෙමින් ය. බොහෝ දෙනා වික්ටෝරියානු සුචරිතවාදයේ සුවපහසු සීමාවන් පනවාගෙන, ඒ තුළ අපහසුවෙන් ජීවත් වෙනු පෙනේ. කිසිදු චිත්තාවේගී බැඳීමක් නොමැතිව, හිමිකාරත්වය පිළිබඳ අනාගත අපේක්ෂා වලින් තොරව පවතින සමීප සබඳතා, ඔවුන්ට තවමත් අමුතු ය. නිදහස් ලිංගිකත්වයේ සුන්දරත්වය විඳීමට ඔවුන්ට නොහැකි වන්නේ ඒ සීමා මායිම්වලට තමන්වම සීමා කරගෙන සිටින බැවිනි. සීමා බිඳ දැමීම සඳහා අවශ්‍ය වන්නේ ඉපැදුණු දා සිට අප හිස මත පැට වී ඇති සමාජ නිර්මිත මතවාදයන්ගෙන් සහ අරුත් ගැන්වීම් වලින් නිදහස් වීම පමණක් බව තේරුම් ගන්න ඔවුන් තවමත් සූදානම් නැත​. එසේ සමාජ-සංස්කෘතික වශයෙන් නිර්මාණය කළ මතවාදයන් වලින් ඉවතට පියනැගීම ද ලෙහෙසි හා පහසු දෙයක් නොවේ.

වෙනත් පැතිකඩකින් සළකා බැලීමේදී, නිදහස් ලිංගිකත්වය යන්න ඕපපාතිකව පුද්ගලයකු තුළ උදා වන ස්වාධීන සිතුවිල්ලක් නොව, සාම්ප්‍රදායික මහා සමාජයේ සම්මතයන්ට විරුද්ධ සහ විරෝධාකල්පික වුවද, අවසානයේ දී එම සමාජය විසින් ම නිර්මාණය කරන ලද විකල්ප සම්මතයක් ලෙසද තර්ක කළ හැකියි. එහි ද සත්‍යයක් තිබේ.

ආදරය වැනි සංකල්ප වලින් තොර වේ යැයි කී පමණින් හෝ, හිමිකාරත්වය පිළිබඳ ආවේගාත්මක හැඟීම් වලින් තොර වු පමණින් එය​, මස් මාංශයට ලොබ බැඳීමක් යැයි ගැනීම ද වැරැදි මතයකි. මිත්‍රත්වයකට එහා, හිමි කරගැනීමේ චේතනාවෙන් මෙහා සම්බන්ධතාවය පවත්වා ගැනීම මස් මාංශය​ හා කෙරෙන ගනුදෙනුවක් නොවේ. හුදෙක් කායික තෘප්තියකට එහා ගිය මානසික බැඳීම කි. ඊට වඩා ගැඹුරු අවබෝධයක් සහ​ මානසිකව බෙදා හදා ගන්නා යමක් ඒ සඳහා අවැසි වේ. කායික තෘප්තිය පැන නඟින්නේ ද ඒ අවබෝධයේ ගැඹුර තුළිනි.

“අමකර කුරවි සරින් නිදහස් පෙම්වතුන් ගේ ගීතයක් වන්නේ එය සදාචාර සීමාවන්, ආගමික හා සංස්කෘතික බන්ධන වලින් මිදී සිටින, නිදහස් ලිංගික ජීවිතයක් පතන ජනී ජනයා ගේ මනෝ භාවයන් නිරුපණය කරන බැවිනි. සම්ප්‍රදාය විසින් පාලනය කරනු ලබන සමාජයක මහා සමාජයේ සම්මතයට සතුරු, විකල්ප මතවාදයක් ඉදිරිපත් කරන බැවිනි.

මේ අනුව කිවියර කේ.ඩී.කේ ධර්මවර්ධන විසින් විරචිත​ අමකර කුරවි සරින් යනු ආදර බැඳීම්, විරහ වේදනා සහ මධුසමයේ අත්දැකීම් ආදී සාම්ප්‍රදායික ශෘංගාරාත්මක තේමාවන් අතරේ, ශෘංගාර රසය වෙනස් කෝණයකින් දකින,​ විරෝධාකල්පික තේමාවක් ඉදිරිපත් කරන ගීතයක් ලෙස මම දකිමි.

අජන්තා රණසිංහ ලියූ “ආදර සැමරුම් කැටි වූ” ගීතයේ කිසිදු තැනක “ටජ්මහල” යන වචනය භාවිතා වී නොමැත. එහෙත් ගීතයට සවන් දෙන අපට, එයින් කියැවෙන්නේ ටජ්මහල ගැන බව සැකයකින් තොරව වැටහෙයි. ඒ වගේම, ‘අමකර කුරවි සරින්’ ගීතයට සාවධානව සවන් දෙන විට, වචනයෙන් නොකීවද, කාව්‍යෝක්තීන්ගෙන් වැසී ගිය​ casual relationship හෙවත් නොබැඳි ඇසුරක් එ තුළින් හමු වේ. එය එක් රැයක් තුළ දී හමු වී අවසන් වන (one-night stand) සබඳතාවයක් නොවී, සුරතාන්තය සොයා නැවත නැවත සිදුවන හමුවක් (casual relationship) බව ගීතය විමසා බැලීමෙන් දත හැකි වෙයි.

අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතූ ලෙසින්
ඔබය සුවය ගෙනා

අමකර යන්න අම-ආකර ලෙස විසන්ධි කළ හැකියි.

“අම” හෙවත් “අමා” යනු අමෘතය යි. අමෘත ය යනු සුරාසුර යුද්ධයේ දී විෂ්ණු දෙවියන් කිරි මුහුද කළඹා සොයා ගත් දස​​ වස්තූන්ගෙන් එකකි. එය සුරයන් අමරණීයත්වයට පත් කළ සුමධුර පානයකැ යි හින්දු පුරාණෝක්තිවල දැක්වෙයි.

“ආකරය” යන්න උල්පත​, ප්‍රභවයට හේතු වූ තැන , උත්පත්ති ස්ථානය යන අරුත් දෙයි. එවිට අමකර යන්නෙහි සරල අර්ථය වන්නේ අමෘත ආකරය නැතහොත් අමෘත ප්‍රභවය යන්නයි.

අමෘතය , අමාව යන යෙදුම් ගද්‍ය පද්‍ය රචනාවල කාව්‍යාලංකාර ලෙස සුලබව හමුවෙන නමුත්, අමකර යන යෙදුම​ වෙනත් කිසිදු ගීතයෙක​ හමු නොවන ඉතා රසවත් කාව්‍යෝක්තියක් බව නොකියා යන්නට බැරිය​. අමාව යැයි කියනුවට වඩා අමා ආකාරය කීමෙන් එහි අර්ථය වඩ වඩාත් තීව්‍රව දැනෙයි.

“කුරවි” – මී විතක් බඳු ගීතමය හඬකින්, සිහින් සරින් ගී ගයන පක්ෂීන් විශේෂයකි. යම් නිශ්චිත පක්ෂි විශේෂයක් හැඳින්වීමකට වඩා ,සාහිත්‍යයේ දී කුරවි යන්න භාවිතා වන්නේ සුන්දර සහ මිහිරි කතා විලාසයක් කලාත්මකව නිරූපණය කිරීම පිණිස සංකේතාත්මක අර්ථයකිනි.

“එවිට අමකර කුරවි සරින් – තෙපලූ මධුර කතා” යන්න අමෘත ආකාරයක් බඳුව මිහිරි තෙපුල් දොඩන්නිය ලෙස අරුත් ගන්වා ගත හැකිවේ.

“හිමකර” – චන්ද්‍රයාට සමාන පදයකි. එහි නිරුක්තියත් සොයා බැලීම වටී.
“හිමකර” – හිම+ආකර යනුවෙන් විසන්ධි වේ.
“හිම” යන්න සිහිලට සමාන පදයකි. එවිට හිමකර යන්නෙන් කිසිදා නොසන්සිඳෙන සිසිලසෙහි ප්‍රභවය (උල්පත) යන්න ගම්‍යමාන වෙයි. සඳ හෙවත් චන්ද්‍රයා යනු සිසිල සදන උල්පතකැ යි කාව්‍යකාරයින් කියා සිටියේ එසේ ය. ඒ සඳහා “හිමකර” යැයි භාවිතා කරමිනි.

“හිමකර නොසිතු ලෙසින් ඔබය සුවය ගෙනා” යන්නෙහි තේරුම විවාදාත්මක විය හැකියි. කාව්‍යයේ දී හැම තැනකටම පදයෙන් පදය තේරුම් දිය නොහැකිය​. සඳට ද නොදැනී, සඳට හොරෙන් සඳේ මුදු සෞම්‍ය සිහිලස රැගෙන මවෙත ආවා යන්න එහි සරල අර්ථ ය බව මගේ අදහසයි.

අම​+ආකර​, හිම​+ආකර එක සමාන ආකෘතින් දරද්දී, අමකර කුරවි සරින් සහ හිමකර නොසිතූ ලෙසින් එළිසමය ඇතිව ලියා ඇති ආකරය සැබැවින්ම විශ්මයජනකය​.

එවිට මුල් කොටසේ පද අරුත මෙසේ වෙයි:
අමෘත ආකරයක් බඳු කුරුළු හඬින් මිහිරි බස් දොඩන්නිය​, සඳට ද නොදැනී සඳේ සිසිලස මා වෙත රැගෙන ආවේ ඔබය​.

පළමු අන්තරාව​:

හස’තුඩු ගැටුණු සැණින්
කැකුළ මත් වූවා
මතකයි නොහිම් සුවෙන්
දිනක් ගත වූවා

“හසතුඩු ගැටුණු සැණින් – කැකුළ මත් වූවා “

“හස” යනු හංසයා ය. හස යන්නෙන් සාහිත්‍යයේ දී කාව්‍යාත්මකව හැඳින්වෙන්නේ කාන්තාවන් ගේ පුන් පියයුරු ය​. ඒ කියන්නේ හරියට හංස ධේනුවකගේ තුඩ ගැටුණු මල් කැකුළක් වහා පිබිදී එන්නාක් මෙන් , ඇය ගේ පියයුරු තුඩු ස්පර්ශ වූ වහා ඔහු ගේ කාමරාගය ඇවිස්සී ගිය බවයි. රාගයෙන් මත් වී පිබිදුණු බවයි. එය කෙතරම් මන මෝහණීය ව්‍යංගාර්ථයක් ද​?

“තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා” යැයි පද රචක කේ.ඩී. කේ තවත් ගීතයක ලියුවේ ය.

එයින් පසු අපේ කථකයා මෙසේ ද කියයි; “මතකයි නොහිම් සුවෙන් – දිනක් ගත වූවා”

සරලවම කිව්වොත් ඉන් පසුව සිදු වූ දේවල් හැමෝම දන්නා කතාවකි – the rest is history. කථා නායකයා මේ කියන්නේ නිම්හිම් නොවන සුවයෙන් ගත කළ, ඔහු නැළැවූ දිව්‍යමය සුවයක් ලද හෝරාවක් ඔහු ගත කළ බවයි. “මා අබියස මැවෙන තුසිතය – සුරන් නැළැවූ සුයාමය” යැයි ලීවේත් කේ.ඩී.කේ ය​.

මා සනසා මා නළවා ගීතයේ දී කේ.ඩී.කේ ධර්මවර්ධන ඒ අදහස ම මෙසේ කියුවේ ය​;

“හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ
සඳුන් සිහිල යාවේ”

ගීතයේ අවසාන අන්තරා කොටස මෙසේ වෙයි;

මදරද නොමැත තෙතක්
විදියි සරාදරේ
ළඳ ඔබ මවෙත යළිත්
කෙදින පැමිණේවිදෝ

“මදරද” යනු කාමයට අධිපති දෙවියා වූ අනංගයා යි. “සරාදරේ” යන්න සර​+ආදරේ යනුවෙන් ඛණ්ඩනය කළ හැකිය. අනුකම්පා විරහිත අනංගයාගෙන් දැන් ඔහුට ගැලවීමක් ඇත්තේ ම නැත. දිගින් දිගටම අනුරාගයේ මල් හී සැරය විදිමින් සිටී. ඒ අනඟ හී සර ඔහු රාගයෙන් කළඹවන්නේය. සුරතාන්තය සඳහා නැවත නැවතත් ඇය ගේ පහස පතමින් පසු වන්නට සලස්වයි. එයින් වක්‍රව කියැවෙන්නේ මේ යුවළ නැවත නැවතත් හමුවන බවකි. මෙහිදීත් කේ.ඩී.කේ. රාගයෙන් දැවෙන සිතේ ස්වභාවය විචිත්‍රවත් වක්‍රෝක්තීන් සහිතව ගැඹුරෙන් ප්‍රකාශයට පත් කර ඇත.

අමකර කුරවි සරින් මෙන්ම කේ.ඩී.කේ. ධර්මවර්ධන විසින්ම පද රචනා කළ ‘මා සනසා මා නළවා’ ගීතය තුළින් ද පෙනී යන්නේ, රාගයෙන් බැඳුණු දෙදෙනෙකුගේ රහසිගත හමුවකි.

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කළා
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ
සඳුන් සිහිල යාවේ

එහි ආදරය හෝ හිමිකාරත්වය පිළිබඳ ප්‍රකාශනයක් අඩංගු නොවේ. එහෙත්, දෙදෙනාම එකිනෙකාගේ පහසින් මිදෙන්නට නොහැකිව, නැවත නැවතත් ඇසුර පතා සිටිති.

රැයක් නිදිමරා සරාගී ළවන් වෙහෙසිලා
යළිත් එන තුරා සුරංගී හිඳිමි මග බලා
හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී
සුරඹ මා සොයාවී

මා සනසා
මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි

(කේ.ඩී.කේ ධර්මවර්ධන​/මර්වින් පෙරේරා)

මම මේ ගීත දෙකම එකක් ලෙස හඟිමි.

අමකර කුරවි සරින් ගීතයේ සංගීතය තුළ ඇත්තේ රාගයෙන් පිබිදුණු ගමනක් සඳහා සරිලන විරල ගතිකත්වයකි. එවැනි ගතිකතාවයක් ශෘංගාරාත්මක ගීත තුළ සුලබ නොවේ. දිනෙන් දින වැඩෙන අශාව ලුහුබැඳ යාමේ ප්‍රවේගකාරී ගමනක රිද්මය සංගීතය තුළින් පිළිඹිබු වෙයි. ගායනා ස්වරය, තනුව, ස්වර රටාවල හැඩය හා වාදනයේ ව්‍යාප්තිය යන මේ සියල්ලම, පිබිදුණු ආශාවන්ගෙන් මඬනා ලද මනෝභාවයන් පිළිඹිබු කරවයි. අන්තරා කොටස් දෙවරක් නැවත වාදනය වීම තුළින් කාමාශාවන්ගෙන් පිබිදුණු ඇසුරක​ වින්දනීය හැඟීම් අසන්නාගේ සිත තුළ ගැඹුරු ලෙස ප්‍රබලව දැනෙන්නට ඉඩ සලසයි.

මෙය සරල ප්‍රේම ගීයක් නොවෙයි. එසේ නම් සංගීතය ද ඊට අනුරූපව​ වෙනස් විය යුතුය. සංගීතඥ​ මොහොමඩ් සාලි ඒ බව මැනවින් හඳුනාගෙන​ රහසිගත, නව අත්දැකීමක් සඳහා උද්වේගකර සිතිවිලි වලින් පිරි ගමනකට උචිත ලෙස තනුව සහ සංගීතය නිර්මාණය කිරීමට වග බලාගෙන ඇත. ඊට එකතු කර ඇති සංගීතය රාගයෙන් මුසපත් වූ ගමනක රිද්මයානුකූල ප්‍රකාශනයක් ලෙසත් හැඳින්විය හැකිය.

වඩාත් උත්කර්ෂවත් අවස්ථාව හෝ කූටප්‍රාප්තිය හෙවත් climax එක මේ යැයි දැක්විය හැකි තැනක් හඳුනා ගත නොහැකි වීම අමකර කුරවි සරින් ගීතයේ සුවිශේෂීත්වයක් ලෙස දකිමි. මුල සිට අගට​ පදමාලාවත්, ඊට මුසු කළ සංගීතයත් සහ ගායනයත් යන මේ සමස්තය ම සුරතාන්තයකි.

අවුරුදු පනහකට පමණ එපිට දී ලියූ කේ.ඩී.කේ. ධර්මවර්ධන ගේ මෙම ගීත අපට එළිදරව් කරන්නේ, එදා සමාජයේ මතුපිටින් නොපෙනුණත්, නොබැඳුණු නිදහස් සම්බන්ධතා පැවතී ඇති බවයි. ඒවා නිරාමිස සබඳතා ද නොවේ. මහා සමාජයෙහි පිළිගැනීමකට ලක් නොවූ රහසිගත සත්‍යයක් ලෙස පවතින්නට ඇත.

ලුහුබඳින ආශාවන් ගේ සදහටම නිමක් නැත. ඒවා කිසිදා පූර්ණ තෘප්තියකට නොපැමිණෙයි. ලිංගිකත්වයෙහි ආශ්වාදය ඇත්තේ එහි ක්‍රියාවලියේ යි, එනම්, එය සෙවීමේ, ලුහුබැඳීමේ ගමන තුළ යි. සම්බන්ධතා තුළින් ව්‍යාජව පූර්ණත්වයක් සෙවූවත්, සැබෑවටම එය අස්ථායී සහ​ අස්ථිර තත්ත්වයක් පමණක් වේ. බැඳීම් හෝ අල්ලා ගැනීම් මඟින් සීමා කරන විට, ආශාවේ ආශ්වාදජනක බව​ හීන වී යයි. කෙසේනමුත්, ලිංගික ආශ්වාදය තුළ හැමෝටම සරිලන විශ්වීය රීතියක් ඇතිදැයි යන්න සැක සහිතය.

පහතින් අමුණා ඇති ගීතය අසා රස විඳ, ආනන්දයෙන් ප්‍රඥාව සොයා යන්න​​.

අමා නයනාදරී සිරිවර්ධන​
06.06.2025

අමකර කුරවි සරින්

“කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ” – ප්‍රබුද්ධ සහ ලූෂන් බුලත්සිංහල ප්‍රතිනිර්මාණය

මහගම සේකර සහ ප්‍රබුද්ධ

ප්‍රබුද්ධ කාව්‍යමය ප්‍රබන්ධය (1976) මහගම සේකර (1929-1976) කවියා ගේ නිර්මාණ දිවියෙහි අග්‍ර ඵලය ලෙස සැලැකේ. කතුවරයා විසින්ම සිනමාවට නැඟීමේ වුවමනාවකින් ද සිටි බව පැවසෙන​ පද්‍යයෙන් කළ නවකතාවකි. එය සේකර මිය යාමට පෙර ලියූ අවසාන කෘතිය යි. ඇතැම් කෙනෙකුට සමාජ විවිරණයක් විය හැකි අතර, මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් බලන්නෙකුට​ පන්ති සමාජයෙන් තොර ලොවක් ගොඩ නැඟීම වෙනුවෙන් ලියූ පරමාදර්ශී කෘතියක් වනු ඇත​.​

ප්‍රබුද්ධ යනු එහි කථකයා ගේ නමය​. ප්‍රබුද්ධ හරහා ප්‍රක්ෂේපණය වන්නේ සේකර ගේ ලෝක දැක්මයැයි ගැනීමේ වරදක් නොදකිමි. වාණිජ ලෝකය තුළ පුරුෂාර්ථ දිය වී යන අන්දම ප්‍රබුද්ධ දකියි. එයින් කලකිරීමට පත් වෙන ඔහු, තාවකාලික සතුට සහ සැනසීම උදෙසා යස ඉසුරු ලුහුබඳින නිෂ්ඵල ජීවිතය අතහැර, පරම විමුක්තිය සොයා යාමේ මාර්ගයට ප්‍රවිෂ්ට වෙයි. සේකර දෙන්නේ එක් ආගමක ලබ්ධ්කයන්ට පමණක් සීමා වූ පණිවුඩයක් නොවේ. කාටත් පොදු පණිවුඩයකි. බුදු සමය​, බයිබලය, භගවත් ගීතාව​, ශුද්ධ වූ කුරාණය ආදී චිරන්තන දර්ශනයෙන්, මාක්ස්වාදයෙන් සහ රුබෙයියාට් කවි වලින් පවා ප්‍රබුද්ධ තුළින් ප්‍රකාශයට පත් වෙන සේකර ගේ දෘෂ්ටිය හැඩ ගැසී ඇති බව කෘතිය තුළින් ගම්‍ය වේ. කෑමෙන් බීමෙන් ඉඳුම් හිටුමෙන් යස ඉසුරෙන් සැබෑ තෘප්තිය නොලැබෙන බව දකින ඔහු, ඒත් එක්කම මූලික අවශ්‍යතා සපුරා ගන්නේ නැතිව පරම සත්‍යය අවබෝධ කර ගත නොහැකි බව ද වටහා ගෙන තිබීම ආඛ්‍යානය තුළ මා දකින එක් විශේෂත්වයකි. ලොව සියලු දෙනා තෘප්තිමත් වූ ලොවක් වෙනුවෙන් කැපවීම ජීවිතාධ්‍යාශය කර ගැනීමේ වැදගත්කම කෘතිය තුළින් අවධාරණය කෙරේ. සියලු දෙනා තෘප්තිමත් වූ ලොවක් තනා ගත යුතු බව නිතර නිතර කියා ඇතත්, ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක අල්ප වූ සඳහනක් නම් කතාව තුළ දැකිය නොහැකි විය​. නැත්නම්, ඒ කොටස මට මඟ හැරුණා විය යුතුය. සමස්තයක් ලෙස ගත් කළ, ප්‍රබුද්ධ මා දකින්නේ ලෝකයේ විවධ වූ දාර්ශනික ඉගැන්වීම් වලින් පෝෂණය ලබා කරන ලද පුරුෂාර්ථ මාර්ගෝපදේශයක් ලෙසිනි.

ප්‍රබුද්ධ රචනා කිරීමේ දී සේකර අනුගමනය කරන්නේ තත්කාලීන කවි සමාජය තුළ බෙහෙවින් මතභේදයට තුඩු දුන් නිදහස් හෙවත් නිසඳැස් කාව්‍ය ආකෘතියයි. කාව්‍යකරණයේ දී සම්මත ආකෘති වල පිහිටා කටයුතු කිරීමෙන් අනුභූති ප්‍රකාශනය සීමාසහිත බව වටහා ගත්තෝ, සන්නිවේදනය පහසු කරවනු පිණිස නිදහස් කාව්‍ය ආකෘතියක් අනුගමනය කරන්නට පෙළැඹුන බව කියැවේ​. අදහස් ප්‍රකාශනය පහසු කර ගැනීමේ ව්‍යායාමයේ දී සේකර විසින් කාව්‍ය රීතීන් හා සම්ප්‍රදායයන් තව දුරටත් ඉක්මවා ගිය තැන් ද හමු වේ. ප්‍රබන්ධය තුළ දී ප්‍රථම පුරුෂ දෘෂ්‍ටියෙන් හිටිවනම උත්තම පුරුෂ දෘෂ්ටියට මාරු වී තිබීම නිදසුනකි. බොහෝ තැන්වල මුල මැද අග ගැට ගැසූ තැන් ලිහා ගැනීම පාඨකයාට ඉතිරි කර තිබේ.

කාව්‍යයේ එක් අරමුණක් විය යුත්තේ චමත්කාරය දැනවීම ය​. එය පළමුව නිර්මාණකරුට රසවත් වස්තුවක් විය යතු අතර​, දෙවනුව කියවන්නා තුළ රසයක් සහ කම්පනයක් ඇති කරවීමට සමත් විය යුතුය​. දුක්ඛ දෝමනස්ස සහගත​ විරහව පවා කාව්‍යාලංකාර සහිත සංකල්ප රූප තුළින් චමත්කාරජනක වස්තුවක් බවට පත් කිරීමට දක්ෂ නිර්මාණකරුවෙකුට හැකි බව අපි නොයෙක්වර කතාබහට ලක් කර ඇත්තෙමු. විප්‍රලම්භය ශෘංගාර රසය දනවන්නේ යැයි කියන්නේ එබැවිනි​. නිදහස් ආකෘතියකින් , සම්මත රීතින් ඉක්මවා රචනා කර තිබියදී ත් ​සහෘද පාඨක සිත තුළ කම්පනයක් ඇති කරවීමට තරම් , “ප්‍රබුද්ධ” කාව්‍යයේ අනුභූති ප්‍රකාශනය ප්‍රබල වීද යන්න මට පෞද්ගලිකව මතුවෙන ගැටළුවකි. කතාවේ තැනින් තැන සැලැකිය යුතු වැදගත්කමක් ඇති අදහස් මුණ නොගැසෙන්නේ නොවේ. එහෙත්, විචාරක සම්භාවනාවට පාත්‍ර වන තරමට චමත්කාරජනක ස්වභාවයක් වරක් නොව, දෙවරක් ම පොත කියැ වූ මට නම් දැණුනේ නැත.​ කෘතියේ කාව්‍යමය බව පිළිබඳව​ ප්‍රමාණවත් තරමින් විමසුමකට භාජනය වී තිබේ ද යන ප්‍රශ්නාර්ථය මතු වේ. වෙනත් ආකාරයකින් කිවහොත් මින් පෙර නොඇසූ, නොදුටු විරූ ගුණයක් හෙවත් අපූර්වත්වයක් මේ කාව්‍යය තුළ හමුවේද යන්න විමසා බැලිය යුතු කරුණකි.

රස වින්දනය පුද්ගල බද්ධය. කෙනෙකු පෞද්ගලිකව දරණ සමාජ දේශපාලනික මතවාද රස වින්දනය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය. එබැවින්, ප්‍රබුද්ධ ගැන එවැනි ප්‍රශ්නයක් නගන්නේ එම කෘතිය තුළින් පිළිඹිබු වෙන සේකර ගේ දේශපාලන දෘෂ්ටිය සහ​ මගේ පෞද්ගලික දේශපාලන මතය​ අතර​ ඇති ගැටුම නිසා ද යන සැකය මතු වනු ඇත. මාක්ස්වාදී දර්ශනයේ සෙවැණැල්ල ප්‍රබුද්ධ කාව්‍යය පුරාම විහිදී පැතිරෙන බැවිනි. මාක්ස්වාදය මා හට රිසි නොවන බව සැබෑව කි. එහෙත් ප්‍රබුද්ධ රසවත් කාව්‍යාඛ්‍යානයක් ද​ යන පැනය යොමු කරන්නේ මා හට කිසිසේත් ගෝචර නොවන​ නොගැඹුරු පන්ති දේශපාලනය හෝ මගේ ලෝක දැක්ම සමඟ එතරම් අනුකූලතාවයක් නොදක්වන සාමාජීය මත නිසා හෝ නොවේ.

උක්ත ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම අද දවසේ ගද්‍ය පද්‍ය කාව්‍යයට පමණක් නොව, සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ වලට​ දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදා වීමට බල පෑ ප්‍රධාන හේතු හැඳිනීමට මඟ පාදා දෙනු ඇත. ප්‍රබුද්ධ චමත්කාරය දනවන සුළු ප්‍රබන්ධයක් නොවීමට හේතුව​ ගැන මගේ පැහැදිලි කිරීම සටහන අවසානයේ දී බලාපොරොත්තු වන්න​.

ලූෂන් බුලත්සිංහල
සමාජයේ සුලබ සංසිද්ධීන් සෝපාහාසය​, ව්‍යංගය මුසු කාව්‍යමය භාෂාවකින් ගීතයට නැංවූ ගේය පද රචකයෙක් බවට ලූෂන් බුලත්සිංහල ප්‍රසිද්ධියක් උසුලයි. “පුන් පෝදා සඳ​”, “දඟකාරී මං”, “ඔසරි පොටින් අදින්නෙපා”, “අහසින් තරුවක්” වැනි ගීත ඒ සඳහා නිදසුන් වේ. ඔහු ම පවසන පරිදි “රජ මැදුරක ඉපදී සිටියා නම්”, “පිපුණු මලේ රුව​”, “පිනිබර යාමේ” වැනි ගීත වලට වස්තු විෂය වී ඇත්තේ තමන්ගේ ම කටුක ජීවිත අත්දැකීම් ය. ජීවනානුභූතීන් අනුසාරයෙන් ගොඩ නඟා ගත් කිසියම් දේශපාලනික දැක්මක් ඔහු සතු වේ නම්, ඔහු ගේ දැක්ම නිර්මාණය තුළ ඓන්ද්‍රීය අංගයක් වූවා විනා, සෘජු මතවාද හෝ සංකල්ප ප්‍රකාශයනයන් නැතහොත් වාර්තාමය දැනුම්වත් කිරීම් ඒ තුළ දක්නට නොලැබේ.එය ලූෂන් බුලත්සිංහල ගේ ගී නිර්මාණ තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.

ලූෂන් බුලත්සිංහල ට ප්‍රබුද්ධ සම්මුඛ වීම

මහගම සේකර ගේ ප්‍රබුද්ධ කෘතියේ එක් උද්වේගකර​ අවස්ථාවක් වෙත ලූෂන් බුලත්සිංහල ගේ තීක්ෂණ අවධානය යොමු වෙනවා. එකී මොහොත ඔහු සිත කෙතරම් කම්පනයට පත් කළේදැයි කියතොත්, එය පාදක කොට ප්‍රබුද්ධ කතාව ගීතයකට නැංවීමට ද යුහුසුළු වෙනවා. සමාජ පන්ති විෂමතාවයෙන් ලත් අමිහිරි අත්දැකීම් වලින් ඒ සඳහා ඔහුට පෙළැඹවීමක් ලැබෙන්නට ඇත​​. මුල් කෘතියෙහි එම අවස්ථාව තුළින් සේකර පවසන සමාජ පන්ති පරතරය, එලෙසින්ම පාහේ ලූෂන් සිය ගීතය තුළ දී සංරක්ෂණය කිරීමට වග බලා ගෙන තිබේ. අසාධාරණ යැයි වාමවාදීන් ආලෝලනය කරන පන්ති විෂමතාවය ඔහුගේ ගීතය තුළින් මැනැවින් ප්‍රකට වේ. නමුත්​, මුල් කෘතිය මෙන් නොව, ලූෂන් ගේ ගීතය අතිශයින්ම රසවත් විචිත්‍රවත් අත්දැකීමක් ශ්‍රාවකයාට ලබා දෙයි. නැවත නැවත ඇසුව ද අසන වාරයක් පාසා ම අසන්නා කම්පනය කරවීමේ සමත් ගුණයක් එහි ඇත. ගීතයට පාදක කොට ගන්නේ කතාවේ එක් සිදු වීමක් වුවත්, නිර්ධන පන්ති දේශපාලනය මෙන්ම​, ප්‍රබුද්ධ ආඛ්‍යානය තුළින් මහගම සේකර විවරණය කෙරෙන ජීවිතයේ උත්තර අරමුණ පිළිබඳ පණිවිඩය ද ගී පදමාලාව තුළ සාරාංශගත කර තිබීම ප්‍රබන්ධකරුගේ නිර්මාණ කෞශල්‍යය ගැන අප පුදුමයට පත් කරවයි.එය මුල් ප්‍රබන්ධයට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් ඇති විශිෂ්ට ගීතයකි. සිංහල ගීතාවලිය තුළ හමුවන​ තවත් විශිෂ්ටතම ප්‍රතිනිර්මාණයකි.

මාධ්‍ය දෙකක් – ගීතයක් සහ පද්‍යයෙන් කරන ලද ප්‍රබන්ධයක් – සංසන්දනය සාධාරණද? සාධාරණ නැත​. ගීතයක දී, ගේය පදයට නාදමලාවක් ද මුසු වේ. භාවමය හඬකින් ශ්‍රව්‍ය නිර්මාණයක් ලෙස ප්‍රකාශයට පත් වෙන බැවින් ගීතයට රසිකයා වෙත සමීප වීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිය​. සංගීතයෙන් තොරව පදමාලාව පමණක් ගෙන කියවා ගත් කළ වුව ද​, ගීතය ඇසූ මතක අනුසාරයෙන්, සිහියට එන එහි රිද්ම ලක්ෂණ රස වින්දනය කෙරෙහි බලපෑමක් ඇති කරවයි. එබැවින් ඉහතින් කරන ලද සංසන්දනය “ප්‍රබුද්ධ” කාව්‍යය විචාරක සම්භාවනාවට පාත්‍ර වන තරමට​, මා තුළ භාවමය කම්පනයක් ඇති කිරීමට සමත් නොවන්නේ, හුදෙක් එතුළින් පිළිඹිබු වෙන වාමවාදී දේශපාලනය​ නොවන බවට තහවුරු කිරීම සඳහා පමණි.

ලූෂන් බුලත්සිංහල ගේ ගීතය සමස්ත ප්‍රබුද්ධ කාව්‍යයේත්, අදාළ අවස්ථාවේත් සංක්ෂිප්ත ප්‍රකාශනයක් හෙයින්, ගීතය විචාරය කිරීමට පළමුව ප්‍රබුද්ධ කාව්‍යාඛ්‍යානය​ සැකෙවින් විමසා බලමු.

ප්‍රබුද්ධ සාරාංශය

ප්‍රබුද්ධ යනු දිළිඳු බව එකම වත්කම කරගත් පවුලක උපන් තරුණයෙකි, දුප්පත් කලාකරයෙකි. වෘත්තියෙන් වාදකයකු සහ ගායකයකු වූ ඔහු ධනවත්, වංශවත් පවුලක තරුණියක වූ යසෝදා හා හාද වෙයි. යසෝදා ගේ පවුලේ නෑ හිතවතුන් ඔහු හඳුනාගන්නේ ඇගේ නිවසේ පැවති සැන්දෑ සාදයක දී යි. එය ඇගේ උපන්දින සාදයද? නැතහොත් යසෝදා විසින් ප්‍රබුද්ධ සිය නෑ සියන්ට හඳුන්වා දීම සඳහාම සූදානම් කළ සාදයක්දැයි නිශ්චිත නැත.එවැනි අපැහැදිලි තැන් සේකර ගේ ප්‍රබන්ධය තුළ සුලබය. චිත්‍රපටයක් සංස්කරණයේ දී අත්‍යවශ්‍ය තැන් අනවශ්‍ය යැයි සලකා කපා හැරියාක් මෙනි.

යාසෝදා ගැන දන සිටියත් , තමා ගේ සමාජ පසුබිම සහ සිය පෙම්වතිය ගේ පවුල් පසුබිම අතර පරතරයේ තරම ප්‍රබුද්ධ නිවැරදිව වටහා ගන්නේ යසෝදා ගේ “අහස් මාළිගාව” ඉදිරිපිට ගේට්ටුව අසලදී ය. ඔවුන් අතර භෞතික, සාමාජීය පරතරය පමණක් නොව, ආකල්පමය දුරස්ථ බව ද හඳුනා ගන්නා ඔහු සිත සසල වෙයි. ඒ පිළිබඳ දිගු විස්තරයක යෙදෙන කථකයා ඔහුට ඇති වන්නේ නුහුරු ලොවක අතරමං වූවාක් බඳු හැඟීමක් බව පවසයි. කෑමෙන් බීමෙන් සන්තර්පණය වී, සුරා පැනින් මත්ව රඟන පෙම්වතිය ගේ නෑසියන් හිතවතුන් ප්‍රබුද්ධ දකින්නේ නච්ච ගීත වාදන විසූක දස්සන අතර වල්මත් වූවන් ලෙසිනි. ඔහුට අනුව ඒ සියලු දෙන ජීවිතාවබෝධය නැති ප්‍රබුද්ධනය ගැන හාංකවිසියක් නොදන්නා හිස් මිනිසුන් ය. ඔහු ඔවුන් වෙත එල්ල කරන්නේ සුළුපටු විවේචනයක් නොවේ. අතිශය සාහසික විවේචනය කි. මේරූ ගැහැණුන්ට සහ පිරිමින්ට පමණක් නොව,නොමේරූ තරුණ තරුණියන්ට ද ප්‍රබුද්ධ ගේ විවේචනාත්මක ප්‍රහාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත. ඒ සා විශාල මන්දිරයේ ඔහු ඇස ගැටෙන ජීවී අජීවී වස්තුන් සියල්ල ඔහු ගේ අනුකම්පා විරහිත සදය උපහාසයට ලක් වීමට නියමිත වින්දිතයන් ය.

ඒ අතරම තමන් තුළ ඇති වී ඇත්තේ සිය පෙම්වතිය සහ තමන් අතර වූ පන්ති පරතරය ගැන හීනමානයකින් මඬනා ලද කණස්සල්ලක් බව ද ප්‍රබුද්ධ වටහා නොගන්නේ නොවේ.
“හීන මානයක් සහ චකිතයක්
ඔහු සිතෙහි පහළ විය​
යෝධයන් අතර අඟුටු ම්ට්ටකු සේය​”
(සේකර)

කලාකරුවකු ලෙස ලත් සිවිල් බලය ප්‍රබුද්ධ ගේ ගැලවීමට එන්නේ එතැනදී යි;
“එවිට කවුදෝ කීය​:
ආරංචියි ආටිස්ට් කෙනෙක් කියලා
කියන්ඩකෝ සින්දුවක්”
(සේකර)

ඔවුන් ගේ ඉල්ලීමට කන් දී ඔහු ගීතයක් ගයන්නට වන්නේ ය. එහෙත්, ඔහු ගේ ප්‍රබුද්ධ ගීතය වටහා ගත හැකි කිසිවෙකු එතැන නො වීය. ඔවුන්ගේ මුහුණු හරියට ගුත්තිලයේ බසකින් නොදන්නා කියන පුවතට පෙන්නා උන් වෙළෙඳුන්ගේ මුහුණු මෙන් වූ බව දකින ප්‍රබුද්ධ තව තවත් කණස්සල්ලට පත් වෙයි.
කථකයාට ඔවුන් ගෙන් කෙනෙකු වීමට ඕනෑ වෙන්නේ එතැන දී ය.

“ඔවුන්ගෙන් කෙනෙකු වෙන්නට ඇතොත්
එය තවත් සිහිනයක මුල වෙනවා.”
(සේකර)

යසෝදා ගේ පන්තිය හා එකතු වීම පිණිස ඔහු සිය ආත්මය විකුණා දැමීමට පෙළැඹෙන්නේය. පීචං ගීත ගයා පීචං ගායකයකු බවට පත් වී, ඔවුන් නටන රිද්මයට නටන්නට ප්‍රබුද්ධ තීරණය කරයි. ඔහු ඇය හා විවාහ වෙයි.

අසීරුවෙන් ගලපා ගන්නට හදන ලෝක දෙක තුළ අතරමං වෙන ඔහු තුළ දිනෙන් දිනම ලියලා වැඩෙන්නේ අපේක්ෂා භංගත්වයකි. කොතෙක් මිළ​ මුදල් හරි හම්බ කළ ද​ ඔහු ගේ ආත්මය කඩා වැටෙයි. සුඛ විහරණ මැද ගත කරන යසෝදා ද අයත් ධනපති පන්තියේ නිසරු බව මේ පද තුළ කැටි වී තිබේ.

රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය​
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාව ය​
සතුටු සාමීචි පිළිසඳර තුළ
කැපී පෙනුණේ වෛරයක්ම ය

ප්‍රබුද්ධ
හිස් ය මේ ජීවිතය​
බොල් ය මේ ජීවිතය
බලව​!

රන් දුහුල් යට​
සුවඳ විලෙවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර​
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම​
(සේකර)

එහෙත්, ප්‍රබුද්ධට ට අභිනිෂ්ක්‍රමණය පහසු නැත​. එය​ තවමත් දුර ය​. හේතුව යසෝදා ය​. ඔහුට යසෝදා නිසා මේ මඟුල් සක්වළ රාග රංගය​​ හැර දා යා නොහැකිය. නොගැලපෙන ලෝකයක සිර වී සිටින්නට ඔහුට ඇති එකම හේතුව ඇය කෙරෙහි ඇති ආදරය යි. එක්තරා සිදුවීමකින් අනතුරුව සියල්ල පුපුරා යන්නේය. එතැනින් පසුව ඔහුට ඈ හා විසීමට හේතුවක් ඇත්තේ නැත. යසෝදා අත් හැර දැමීමේ තීරණය ඔහු ගන්නේ ඒ ක්ෂණයෙනි.

නිවසේ නිතර පැවැත්වෙන සැඳෑ සාදයක් අවසන සිදුහත් කුමරා දුටු මාගමුන් ගේ විප්‍රකාර මැද තනිවන ප්‍රබුද්ධ වෙත ළංවන්නේ යසෝදා ගේ මිතුරියකි. ඔහු ගේ අකැමැත්ත නොසලකා ඇඟේ දැවටෙන්නට පටන් ගනී. ඇගෙන් ගැලැවී යාම පිණිස, යසෝදා සොයන ප්‍රබුද්ධ දකින්නේ යසෝදා නොවේ. අඳුරු ආරුක්කුවක් යට උනුන් බදා වැළඳ හිඳින යුවළකි. ඔහු ගේ කෑ ගෑමෙන් මඳකුදු තැති නොගන්නා යසෝදා එතැනට එන අතරවාරයේ දී උස් හඬින් “ඕකට ඔය තරම් කෑ ගහන්නේ ඇයි ? ඒ අපේ ‘කුල සිරිත’ නොවැ” යැයි කරන ප්‍රකාශයෙන් මෙතෙක් වැටී සිටි මෝහන නිද්‍රාවෙන් අවදිවෙන ප්‍රබුද්ධ​ ඇගේ මන්දිරයෙන් වහාම පිටමං වෙයි.

මේ නොවේ ආදරය​
ඇඟ මසට ලොබ බඳින​
වඳ බෙහෙත් පෙති අතර ආදරය වඳ බසින​
මේ නොවේ ජීවිතය
(සේකර​)

සේකර ගේ කාව්‍යය තුළ මා දකින එකම ප්‍රබුද්ධ ලක්ෂණය ඇත්තේ එතැන පමණි. නොගැලපීම් දුටු පමණින් අනෙකා දමා දුවන්නේ නැත​. සම්බන්ධතාවය තව දුරටත් පවත්වාගෙන යාම අර්ථ විරහිත බවට​ සාධාරණ සැකයකින් තොරව තහවුරු වෙන​ වෙන මොහොත එළැඹෙන තුරු ගලපා ගැනීමට ප්‍රයත්න දැරීම සාමාන්‍ය සිරිතකි.

යසෝදා ගෙන් වෙන් වී, දරුවකු හා තනි වූ තමා වැනිම දිළිඳු, වැන්දඹු කාන්තාවක විවාහ කරගන්නා ප්‍රබුද්ධ, විව්ධාකාර වූ හැල හැප්පීම් කඩා වැටීම් වලට මුහුණ දෙමින්, ජීවිතයේ උදාරතර අරමුණ වන පරාර්ථ චර්යාව වෙනුවෙන් කැප වීමට ඉටා ගන්නේය. ඒ සඳහා පියවර තබන්නේය.

කතා සාරාංශය එය යි.

සේකර ගේ මුල් ප්‍රබුද්ධ කෘතිය සහ ලූෂන් බුලත්සිංහල ප්‍රතිනිර්මාණය​

ලූෂන් බුලත්සිංහල උත්තම පුරුෂ දෘෂ්ටියෙන් ගීතයට නැංවීමට මුල පුරන්නේ යසෝදා සමඟ හාද වී ඇගේ නිවසට පළමුවර සපැමිණෙන දා සැඳෑ සාදය ආශ්‍රිතව ප්‍රබුද්ධ ගේ ආත්ම කථනයෙනි.
“හීන මානයක් සහ චකිතයක්
ඔහු සිතෙහි පහළ විය​
යෝධයන් අතර අඟුටු ම්ට්ටකු සේය​”
(සේකර)

ලූෂන් බුලත්සිංහල මේ පද කොටස තනි පදයකට ගන්නේය – “කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ”. නැටුම් ගැයුම් වැයුම් මැද නුහුරු ලෝකයක අතරමං වූ ප්‍රබුද්ධ ලූෂන් ගේ ගීතය තුළ ද අපට හමුවේ.

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
(ලූෂන්)

ප්‍රබුද්ධ විසින් උඩුමහල් තලයෙහි සිට පහත මාලයට සම්ප්‍රාප්ත වන යසෝදා දකින ආකාරය සේකර මෙසේ පවසයි.
“පා වුණා යසෝදා උන් මැදට​
දියට බසින හංස ධේනුවක් විලසට”​
(සේකර)

මෝරපු ගැහැණුන් සහ පිරිමින් , බොළඳ බස් දොඩවන තරුණ තරුණියන් අතරේ, යසෝදා ගේ කැපී පෙනෙන දේහ පෞරුෂය කියා පෑම සඳහා හංස ධේනුවක් පාවී දියට බැසීමකට උපමා කිරීම රසවත් කාව්‍යාලංකාරය කි .

සේකර කියන යසෝදා ගේ දේහ ලක්ෂණ මැනවින් ග්‍රහණය කර ගන්නා ලූෂන් බුලත්සිංහල ඇගේ සුවිශේෂී රූප සෞන්දර්යය ප්‍රකාශයට පත් කරවීමට අන් මඟක් තෝරා ගනියි.

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
(ලූෂන්)

ශ්‍රාවකයා ලූෂන් ලියූ පද තුළින් දකින්නේත් සේකර කියන යසෝදා මය. කිසිදු අඩුවක් නැත. “කතා සරිත් සාගරය” යනු, කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය’ යන තේරුම ඇති පුරාණ සංස්කෘතයේ එන විචිත්‍ර කථා සංග්‍රහයක් බව අසා තිබේ. සමස්තය තුළින් ගෙන බැලූ කල, “කතා සරිත් සාගරය” මෙතැන භාවිතා වෙන්නේ මුල් අරුතින් බැහැර ව බව පෙනේ. හිස් වචන නැතහොත් සම්ප්‍රලාප යන අරුතිනි. සම්ප්‍රලාපයේ යෙදෙන පිරිස මැද රළ නඟමින් ඇසී නෑසී යන ඇගේ හඬ පෞරුෂය හරහා ශ්‍රාවක සිත්හි මැවෙන්නේ සේකර කියන හංස ධේනුවක් බඳු යසෝදා ගේ රූප විලාසය ම යි.

සාදයට සහභාගී වූවන් ගේ විසුළු සහගත බව ගැන “සිටියෝ විසිත්ත කාමරයෙහි – කළු කබා මහත ටයි – තරබාරු ප්‍රභූවරු”, “සිටියෝ ගැටවරයෝ ගැටවරියෝ – අවුල් දික් කෙස් වලු ඇති” ආදී වශයෙන් සේකර ගේ පොතෙහි දීර්ඝ විස්තරයක් හමු වේ. කථකයා වූ ප්‍රබුද්ධ දකින පිරිමින් ඉතිරි වී ඇති කොණ්ඩය ඈතින් ගෙන තට්ටය වසා ගත් කඳ බඩ මහත් වූවන් පමණකි. ගැහැණුන් වෛවර්ණ විලාසිතාවන්ගෙන් සැරැසුණු මැකෙන රූසිරියට මුක්කු ගසන්නියන් ය. ඒ හැර ඔවුන් තුළ අගය කළ යුතු වෙනත් කිසිදු ගුණාංගයක් හෝ මෙතෙක් දිනාගත් කිසිවක් දකින්නට නමින් ප්‍රබුද්ධ වුවත් ඔහු අසමත් ය. ගැටවර ගැටවරියන් ද “පුම පමණක් ඉතිරි ලිඟු වෙනස නැති” යන එන මං නොදැන අසරණ වූවන් ය​.

සේකර කරන ඒ දීර්ඝ විස්තරය තුළ අඩංගු සාදයේ විකාරරූපී ජුගුප්සාජනක බව ගැන එ තරම් නිර්දය විවේචනයක යෙදීමට අදහස් නොකරන ලූෂන්, පද පේළි දෙකකින් ඒ සියල්ල කියා හමාර කිරීමට සිතයි;

පුරාගෙන පිරූ විතේ
විසුළු කෙළි නැටුම් සිනා
(ලූෂන්)

ගීතයේ වඩාත් උත්කර්ශවත් අවස්ථාවට පිවිසෙන්නේ මෙම දෙවන අන්තරා කොටසේදී යි.

සේකර ගේ කාව්‍යයේ දී යසෝදා ගේ මන්දිරයට ගොඩ වදින ප්‍රබුද්ධ ඇය හා උඩුමහලට යද්දී, කවුළුවක් තුළින් පැල්පත් යායක් දකින්නේය;

දිස් වී ය ඔහු නෙතට​
කුරා කුහුඹුන් ලෙසට​
පඩංගු පකිස් ලෑලි – ටිං බෙලෙක්ක තහඩු – ගෝනි
අස්සෙන් එබී බලන​
මුඩුක්කු දහජරාව පැටව් ගැසුව​
වැරහැලි කාලකණ්ණි මිනිස් ප්‍රාණ
දුගඳ පිරුණු කාණු දිගට​
(සේකර)

මේ තරමට සමීපව මෙතරම් සමාජ පන්ති පරතරයක්! මේ කියන්නේ එදා ලංකාවේ පන්ති විෂමතාවය ගැන බව අප වටහා ගත යුතුව ඇත. එදා පන්ති පරතරය, වර්තමානයේ දියුණු සමාජයට වඩා පැහැදිලිව කැපී පෙනුණි.

ලූෂන් සිය ගීතයේ දී මෙසේ ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රබුද්ධ කවුළුව තුළින් දකින එම දර්ශනය යි;

පුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා
(ලූෂන්)

කවුළුවෙන් දකින දර්ශනය ප්‍රබුද්ධ තුළ ඇති කරන්නේ පිළිකුලකි. පොතේ එන ප්‍රබුද්ධ නම්, තමා ද අයත් සමාජ පන්තිය අමතක කරනු වස්, ප්‍රිය සම්භාෂණය දෙසට වහා අවධානය යොමු කරවන්නේය.

හමා ආයෙන් සිතට පිළිකුලක්
ඒ අඳුරු කාණුවෙන්
වහා නෙත් ඉවත හැරවී ය ඔහු
ප්‍රිය සම්භාෂණය දෙසට​
(සේකර)

ප්‍රබන්ධයත් ගී පද මාලාවත් අතර සංගත භාවය පවත්වා ගැනීම පිණිස ගීත රචකයා විසින් අනුගමනය කරන ලද විශේෂ ප්‍රයෝගයක් මෙහි දී දැකිය හැකිය. නවකතාවේ දී සේකර විස්තර කරන සාදය ආශ්‍රිත සිදුවීම් දාමය ඒ අයුරෙන්ම ඉදිරිපත් කිරීමට ගීත රචක ලූෂන් බුලත්සිංහල කටයුතු කරන්නේ නැත. කෘතියෙහි සමස්තාර්ථය​ හා එකඟතාවය ඇති කර ගැනීම සඳහා ගීත රචකයා, සාදය අතරතුර ප්‍රබුද්ධ දරණ ස්ථාවරය සිය නිර්මාණයේ දී සම්පූර්ණයෙන් වෙනසකට භාජනය කරනවා​. “පුරාගෙන පිරූ විතේ – විසුළු කෙලි නැටුම් සිනා” පද කොටසෙන් අනතුරුව ඉතාම සුමටව මුල් ප්‍රබන්ධයේ සමස්තය දෙසට ගීතයේ දිශානතිය හරවා, උත්සව අවස්ථාවෙන් ඔබ්බට ගොස්, මුල් කෘතියේ අවසානය හා එකතු වීමේ ප්‍රවේශය ඔහු මෙසේ අර ගන්නවා:

යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා
(ලූෂන්)

කවුළුවෙන් එපිට දකින දර්ශනය ප්‍රබුද්ධ තුළ පිළිකුලක් ජනිත කරන මුත්​, ලූෂන් ගේ ගීතයේ ජනතාවාදී කථකයා ට එසේ වන්නේ නැත. එවේලෙහි ඔහු තමන් ද උපතින් අයත් වූ පීඩිත ජනතාව කෙරෙහි මානවවාදී හැඟීමකින් සංවේගයට පත් වේ. සිය සොඳුරිය අමතා මන්දිරයෙන් පිටත රැස් වී සිටින දිළිඳු ජනයා පෙන්වන ප්‍රබුද්ධ ඉන් අනතුරුව මෙසේ ද කියනවා;

දෙන්න කන්න බොන්න කොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
(ලූෂන්)

හංසයා මියෙන්නට පෙර ගීතයක් ගයන්නේයැයි ජන සමාජය තුළ විශ්වාසයක් පවතී. මන්දිරයේ දොරකඩ ඉඳුල් යදින්නෝ අවසන් හුස්ම පිට කරන්නට පෙර ජීවිතය ඉල්ලා ආයාචනය කරන්නෝය.

සේකර ගේ කාව්‍යයේ දී , ප්‍රබුද්ධ දෙලොවක් අතර සැරිසරමින් සිට යසෝදා ගේ ලෝකයෙන් පිටමංව​ තමන් ගේ ලෝකය සොයා පිය නැඟීමට තීරණය ගන්නේ විවාහයෙන් ටික කලකට පසුව ය. ඒ වුවද පවුල් පසුබිමේ නොගැලපීම් ඉවසා දරා සිට, බැරිම තැන සිය සහකාරිය ගේ අසම්ම්ත හැසිරීම හමුවේ ය. ලූෂන් ගේ ගීයේ දී එසේ නොවේ. ලූෂන්ට අනුව​, ප්‍රබුද්ධ යසෝදාට ගතින් නොව, හිතෙන් සමු දී , දුක් විඳින්නන් කෙරෙහි මෛත්‍රියෙන් තමන් අයිති ලෝකය වෙත පිටමං වන්නේ ඒ සුවිශාල මන්දිරයෙන් එහා පීඩිත අඳුරේ ගිලුණු හුදී ජනයා දකින ඇසිල්ලේ දී මයි.

ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී
(ලූෂන්)

ප්‍රබුද්ධ කාව්‍යය හරහා සේකර පැවසීමට අරමුණු කරන පන්ති සමාජයෙන් තොර, වඩා යහපත් ලෝකයක් තැනීමේ පුරුෂාර්ථ හා එකතු වීම පිණිස, ලූෂන් බුලත්සංහල අදාළ අවස්ථාව ඉක්මවා යන්නේ එසේය. සාදය ඉක්මවා ගොස් කතාවේ ඉතිරි කොටස හා සම්බන්ධ වීමෙන් මුල් කතාවේ සමස්තාර්ථය හා සම්බන්ධතාවය ගොඩ නඟා ගනී.

ඒ අනුව බලන කළ​, ලූෂන් බුලත්සිංහල ලියූ විදුලි මිණි පහන් දැවී ගේය පදමාලාව​, බොහෝ විචාරකයන් පවසන පරිදි ප්‍රබුද්ධ කෘතියේ එක් විශේෂිත අවස්ථාවක (සැඳෑ සාදය) සාරාංශගත ඉදිරිපත් කිරීමක් පමණක් නොවේ. සමස්ත නවකතාවේ ම සාරය එක මිටට ගත් සාර්ථක ප්‍රතිනිර්මාණයකි.

කවිය යනු අනුභූතීන්හි කලාත්මක ප්‍රකාශනයකි. අත්දැකීම් ලද පමණින් එය හරිහැටි ග්‍රහණය කර ජීවිත පරිඥානය ලැබීම හැමටම කළ හැකි නොවේ. ඒ සඳහා වහා වැටහෙන නුවණක් තිබිය යුතු බව මාර්ටින් වික්‍රමසිංහ වැනි ශාස්ත්‍රධරයන් පවසා තිබේ. තමන් විසින් ග්‍රහණය කර ගත් කාව්‍යානුභූතීන් මත පිහිටා අපූර්ව වස්තු නිර්මාණය​ කිරීම තවත් අපහසුය. ඒ සඳහා උපන් ප්‍රතිභාව සහ ව්‍යුත්පත්ති ඥානයට අමතරව, නිරන්තර අභ්‍යාසය තුළින් දියුණු කර ගත් කවීත්වයක් අවශ්‍ය ය​.

ලූෂන් බුලත්සිංහල එවැනි විරල ගණයේ කවීත්වයක් ඇති ගී පද රචකයෙකි. ප්‍රබුද්ධ කාව්‍යය පාදක කර ගත් විදුලි මිණි පහන් දැවී ගීතය තුළ උපමා, රූපක, භාෂාව,ආකෘතිය,චිත්ත රූප ආදී සියල්ලෙහිම මනා සාම්‍යයක්,ගැලපීමක් ඇත. ඖචිත්‍යය සහ අපූර්වත්වය දෙකෙහිම තුලනය පවත්වා ගනිමින් මෙවැනි ගීතයක් රචනා කිරීමට අසාමාන්‍ය නිර්මාණ කෞශල්‍යයක් තිබිය යුතුය.

මහගම සේකර ද හොඳ කවියෙකි. ඔහු ලියූ රසවත් ගී පද මාලාවන් සහ පද්‍ය රචනාවන් චිත්‍රපට ගීත​, ගුවන්විදුලි ගීත, හෙට ඉරක් පායයි, නොමියෙමි ආදී කාව්‍ය සංග්‍රහ වල ඕනෑ තරම් හමු වෙයි. ඇතැම් නිර්මාණ පිළිබඳව විචාර විග්‍රහයන් ද නොයෙක්වර කර ඇත්තෙමි.

එහෙත්, සේකර ගේ අනෙකුත් නිර්මාණ තරමට ප්‍රබුද්ධ මා තුළ චමත්කාරයක් දැනවීමේ සමත් වූයේ නැත​. පොදුවේ අන්තර්ගතය සැලකුවහොත්, මුල් නිර්මාණය තරමටම , විදුලි මිණි පහන් දැවී ප්‍රතිනිර්මාණය පිළිබඳව ද ඒවා තුළින් සෘජුවම ප්‍රකාශයට පත් වන සාමාජීය සහ දේශපාලනික සංකල්ප සම්බන්ධයෙන් මට තදබල විවේචනයක් ඇත.

උත්සව ප්‍රිය සම්භාෂණ මහගම සේකර පවසන පරිදි නිර්දය විවේචනයකට ලක් විය යුතු දේ නොවේ. ලූෂන් බුලත්සිංහල කියන්නා සේ ඒවා විසුළු සහගතයැයි පැවසීම ද අතිශය සෘණාත්මක ආකල්පයකි. සුහද සම්භාෂණ තුළ පවතින, බොරුව​, ආත්ම වංචාව අපට ද නොපෙනෙන්නේ නොවේ. පොළොවේ පය ගැසූ වැටහෙන නුවණ ඇත්තෙකු නම්, ජීවිතයේ වරක් හෝ ඒ බොරුව සහ වංචාව අත් විඳ තිබිය යුතුය​. සේකර සහ ලූෂන් ඒ තුළ ඇතැයි කියන හිස් බව අප විසින් ද නොදැක සිටියේ නැත​.

“රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය​,
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාව ය​
සතුටු සාමීචි පිළිසඳර තුළ​
කැපී පෙනුණේ වෛරයක්ම ය​”
(සේකර)

එහෙත්, එසේ වූ පමණින් ඒවා මුළුමනින් ප්‍රතික්ෂේප කිරීමේ අන්තයට යා යුතුද? නැත. ​එක අතකින් ඒ මොහොත විඳින්නට හැකි විය යුතුය. තවත් අතකින් ජීවිතයෙන් පලා යන්නට හැමෝටම බැරිය. මධ්‍යම ප්‍රතිපදාව ගිහියන් විෂයෙහි වෙනස් ය​. ගිහි ජීවිතය තුළ වාසය කරන්නෝ ඒකාකාරී බවින් අත් මිදීමට තම තමන් ගේ ශක්‍යතාවය පරිදි, තම තමන්ට ආවේණික ක්‍රමෝපායයක් අනුගමනය කරති. එය මෙසේ සාහසික ලෙස විවේචනයකට ලක් විය යුතු වරදක් ලෙස මම නොදකිමි.

යසෝදා ගේ නිවසේ මෝරපු ගැහැණුන් සහ පිරිමින් සේකර දකින්නේ එදා සමාජයේ සම්මත හර පද්ධතියට ස්පෙක්ෂව විය යුතුය​. ළමයෙකු දෙන්නෙකු ලැබුණු හැටියේ මව්වරුන් ජීවිතය අතහැර දමයි. කිළිටි කිමෝනාවක් හැඳ මුළුතැන් ගෙයි මුළු ගැන් වේ​. නැත්නම් නිතර දෙවේලේ බණ අසමින් , පින් දහම් හි යෙදෙමින් පරලොව වැඩ තකා පල්ලි පන්සල් යයි​. සේකර සිය මව දකින්නට ඇත්තේ එලෙසින් විය යුතු බව පොත කියවා ගෙන යද්දී හැඟේ. තමන් ගේ අම්මා දුටු ආකාරයෙන් ලෝකයේ සියලුම ගැහැණුන් දකින්නට ආසා කිරීම ගතානුගතික පිරිමින් ගේ ස්වභාවයකි. ඔවුන් හොඳ අම්මලා ය. විලාසිතා කරන්නියෝ නරක අම්මලා ය​. වැඩිවිය පත් දරුවන් ඇති, තරුණ විය ඉක්ම ගිය කාන්තාවන් විලාසිතා කිරීම ප්‍රබුද්ධට වටහා ගත නොහැකිය. දරා ගත නොහැකි ය​. අද සමාජයේත් මෙවැනි ආකල්ප තවමත් පවතිද්දී එදා සමාජය ගැන කිව යුතු නැත​.

සේකරට අනුව යසෝදා ගේ ගෙදර පිරිමින්ට ද සුරාවෙන් මත්ව රමණයේ යෙදෙනවාට වැඩි වැඩක් තිබී නැත​. මෙතරම් වියදම් කරන්නේ නිකම් සිටිද්දී අහසින් වැටෙන මුදල් ද​ යන ප්‍රශ්නයට ද පිළිතුරක් පොතෙන් ම ලැබේ​. සේකරට අනුව ඒ සියල්ලන්ම කඳ බඩ මහත කපටි සේරිවාණිජලා ය.

සේකර සහ ලූෂන් දෙදෙනාම කියන පරිදි උත්තරීතර​ මනුෂ්‍යත්වය දකින්නට නම් පැල්පත් යාය වෙත යා යුතුය​. අමන රාගයෙන් තොර පරම පවිත්‍ර ප්‍රේමය, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් තොර උතුම් සරල සුන්දර හදවත් ඇති අව්‍යාජ ගැහැණුන් සහ මිනිසුන් එහි දී හමු වනු ඇත.

එදා සාහිත්‍ය කලාව තුළ මෙවැනි මතිමතාන්තර විරල නොවීය. මීට බොහෝ සෙයින් සමාන පරිකල්පනයක් කරුණාසේන ජයලත් ලියූ “ගැහැණු ළමයි”, “පිරුණු හඳක්” සහ “හතුරු හිතක්” තුන් ඈඳුතු නවකතා තුළ ද හමු වේ. හතුරු හිතක් කථකයා වූ නිමල්ට මවගේ බලපෑම මත​ සිය අතීත පෙම්වතිය වූ කුසුම් ගේ හොඳම යෙහෙළිය (පද්මිණී) සමඟ නොගැලපෙන විවාහ බන්ධයකට ඇතුළත් වීමට නියම වෙයි. පද්මිණී ද ධනවත් ව්‍යාපාරික පවුලක අහිරූපී තරුණ දියණියකි. ඈ සහ සේකර මවන යසෝදා අතර කිසිදු වෙනසක් නැත​. සේකර ගේ කාව්‍යමය ප්‍රබන්ධයේ එන ප්‍රබුද්ධ “ආටිස්ට්” කෙනෙකු වූවා සේ, කරුණාසේන ජයලත් ගේ කතාවේ පවුල් පසුබිම් දෙක අතර විශාල පරතරය යම් තරමකට හෝ පියැවී යන්නේ නිමල් උපාධිධරයකු වීමත් ඔහු ලැබූ උසස් නිළයත් හේතු කොට ගෙන පමණි. යසෝදා ගේ නිවසේ සාදය මුළුමනින්ම පාහේ ජයලත් ගේ කෘතිය පුරා විහිදී පැතිරෙන අයුරු දැකිය හැකි ය​. හතුරු හිතක් හි කථකයා වූ නිමල් සිය බිරිඳ පද්මිණී ගේ නෑසියන් මුණ ගැසෙන්නේත් ඒ වෙනුවෙන්ම සූදානම් කරන ලද සාදයක දී ය​. ඒ වේලෙහි පටන් ඔහු සිය බිරිඳගේ ඥාතීන් වෙත එල්ල කරන්නේ ප්‍රබුද්ධ කළ නිර්දය විවේචනය ම යි. සේකරට සැඳෑ සාදය ගැන අදහස ආවේ කරුණාසේන ජයලත් ගේ නවකතාවෙන් දැයි සිතෙන තරමට මේ දෙක අතර පුදුමාකාර සාම්‍යයක් ඇත​.

නිර්මාණයක කලාත්මක රසය විඳීම සඳහා එහි අන්තර්ගතය බාධාවක් නොවේ. එසේ වන්නේ සමස්තය දැකීමට අසමත් වන්නන්ට ය​. හැරත් එසේ වුවහොත්, ප්‍රබුද්ධ නවකතාවෙන් ප්‍රකට වෙන වාමාංශික දේශපාලනයත්, නොදියුණු සාමාජීය ආකල්පත් බහුල 70-80 දශකවල බිහි වූ නිර්මාණ වලින් සැලකිය යුතු බහුතරයක් අහක දමන්නට සිදු වේ. ප්‍රබුද්ධ කාව්‍ය ප්‍රබන්ධය නීරස වස්තුවක් වන්නේ එයින් ප්‍රකාශයට පත් වෙන දේශපාලන දෘෂ්ටිය හේතු කොටගෙන නොවේ.

දේශපාලන සහ දාර්ශනික සංකල්ප රාශියක් මහගම සේකර සතු වී තිබී ඇත. ඔහු තමන් විසින් ග්‍රහණය කර ගත් ඒ සියලු දාර්ශනික සංකල්ප කෘතිය හරහා ඉදිරිපත් කිරීමට යාමෙන්, නිර්මාණයක අත්‍යන්ත​යෙන් තිබිය යුතු සරල සොඳුරු බව යටපත් වී, වාර්තාමය ස්වරූපයක් ඉස්මතු වී වේ. නිර්මාණය මතවාද ගොහොරුවක එරීමේ ප්‍රතිඵලය එහි කාව්‍යමය ලක්ෂණ වියැකී ගොස් රසය හීන වීම යි. චමත්කාරජනක බවින් තොර වීම යි. සංකල්ප රාශියක් ගෙනහැර පෑමට තැත් කිරීමෙන් අවසානයේ දී කියවන්නාට හැඟෙන්නේ ජගත් මනුවර්ණ ලා ගේ නාට්‍ය මෙන් තමන් ගේ මත පාඨකයා වෙත බලහත්කාරයෙන් පටවන්නට ගත් උත්සාහයක් ලෙසිනි.

මේ එක් උදාහරණයකි;
ගොඩනැඟිය හැකි වේ ද
යුද්ධයෙන් හා වෛරයෙන්
උත්තරීතර වූ සමාජය​?
සැත්කමක් කරන මෙන්
ලෙඩෙකු සුවපත් කරනට​
ඒ සමාජය බිහි කරන්නට​
ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද​?
යුද්ධයෙන් තොරව එය කළ හැකි ද​?
(සේකර)

මේවා අසන්නට නවකතා කියැවිය යුතු නැත​. ප්‍රබුද්ධ දේශනයකට සවන් දිය හැකියි. නැතහොත් සාධුකාර දෙමින් බණක් ඇසිය හැකියි. මේ තවත් එවැනි තැනකි;

වික්ටර්
බතක් – වතක් – ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද​?
අසහනයෙන් මිදිය හැකිද​?
සංසාරේ නිරන්තර ව පැවරී ඇති
දුක එතකින් නිමා වේ ද​?
(සේකර)

කාව්‍ය විචාරකයන් විසින් ද , දාර්ශනික ප්‍රවාද ගැන​ වැඩි සැලකිල්ල යොමු කිරීමට යාමෙන්,කෘතිය තුළ​ කැපී පෙනෙන දුර්වල කලාත්මක ලක්ෂණ නොසලකා හැර තිබේ. මට අනුව ප්‍රබුද්ධ යනු කාව්‍යමය රසයෙන් හීන අධිතක්සේරුවට ලක් වුණු කෘතියකි.

කරුණාසේන ජයලත් ගේ හතුරු හිතක් නවකතාව අවසානයේ දී නිමල් සහ පද්මිණී දෙදෙනා ගේ වෙන්වීම ද ප්‍රභූ ප්‍රාසාදයක​ උත්සව ප්‍රිය සම්භාෂණයක අවස්ථාවකි. “ඇඳට යමල්ලා රිද්මයට” අනුව තරුණ තරුණියන් නටන හැටි සහකාරියගෙන් වෙන්වීමට ඔන්න මෙන්න කියා ඇති නිමල් පිළිකුල් සිතින් බලා සිටී. “ඇඳට යමල්ලා රිද්මය” - ධනවත් ව්‍යාපාරික පන්තිය වෙත වාමවාදී කරුණාසේන ජයලත්ගෙන් දරුණු පහරක්.

ජනතාවාදී දෘෂ්ටියකින් බුලත්සිංහල ලියූ “විදුලි මිණි පහන් දැවී” ගීතය සංගීවත් කොට ගායනා කිරීමට පැවරන්නේ තවත් ජනතාවාදී කලාකරුවෙක් වෙතයි. ගුණදාස කපුගේ ඊට එකතු කරන්නේ නැටුම් ගැයුම් වැයුම් සහිත සැඳෑ සාදයක රිද්මයට උචිත සංගීතයකි. සංගීත සංයෝජනය තුළ සැක්සෆෝන් නාදය, කරුණාසේන ජයලත් කියූ “ඇඳට යමල්ලා රිද්මය”ට අනුරූප වේ. ආරම්භයේ සිට ඇසෙන සමූහ ගායනය කථකයා ගේ උද්වේගකර හැඟීම් සමුදායත්, මන්දිරයෙන් එපිට සිටින දුප්පත් යාචක ප්‍රජාව ගේ හංස විලාපයත් ශ්‍රාවකයා ට ඇසෙන්නට සලස්වයි. පදමාලාවත් සංගීතයත් සමඟ අනුනාද වෙන​ ගුණදාස කපුගේ සූරීන් ගේ භාව ප්‍රකම්පිත හඬ වර්ණනා කිරීමට මම අපොහොසත් වෙමි.

අමා නයනාදරී සිරිවර්ධන​
18.02.2025

ඒ ඉන්නේ මා යැයි සැක සිතෙයි මට

“එහි ආරම්භක වාදන ඛණ්ඩය ඔබට ද අමතක නැතුවා ඇති. එය බැන්ජො මැණ්ඩලීන වාදනයකි. මේ වාදන ඛණ්ඩය ඇසෙත් ම සපුතන්ත්‍රින්ට සිහි වන්නේ දඟකාර කොලු ගැටයකු දෙපසට පනිමින් කරන දැඟලීමකි. බැන්ජො වාදනය අවසන් වත් ම බට ලීයක් සිදුරු අතරින් සත්සර වහනය කරයි. ඒ සමඟ ම ඇරඹෙන්නේ, උඩැක්කි වාදනයකි. වාද්‍ය ඛණ්ඩය පුරා දෝර ගලා යන්නේ ගැමි සුවඳ ය. පිටිසර ගම්බද කුඩා කොලු ගැටයකු මිස වෙනත් කිසිවක් කුමාරදාස සපුතන්ත්‍රිගේ සිහියට එන්නේ නැත.”

ඉහත උපුටා ගැනීම කුමාරදාස සපුතන්ත්‍රී මහතා විසින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් ලියවුණු ගීතයක පසුබිම පිළිබඳව සිළුමිණ පුවත්පතෙහි පළවූ තීරු ලිපියකිනි. මේ ගීතය දැනටමත් ඔබ අනුමාන කර ඇතුවාට සැක නැත. සපුතන්ත්‍රී මහතා සිය පාසැල් සමයේ අත්දැකීම් අළලා රචනා කරන ලද “ඉස්සර මං ගිය පාසැල ඇරිලා…” ගීතය , එච්. එම් ජයවර්ධනයන් විසින් කරන ලද පූර්ව නිර්මිත තනුවකට සහ නාද මාලාවකට ලියැවුණු ගීතයකි.

මහගම සේකරයන්ගේ හෙට ඉරක් පායයි (1963) කෘතියෙහි “අපේ පරණ ඉස්කෝලය” නමින් නම් පද්‍ය පන්තියක් එයි.

කලාතුරෙන් දවසක ගමට යන විට
අපේ පරණ ඉස්කෝලය පෙනෙයි මට
සිංහල උලු සෙවිලි කල ඒ වහල යට
සඟවා තිබේ මගෙ ජීවිතයෙහි සතුට

ඈත අහස දෙස නිකමට දෑස හෙලා
කොලුවෙක් සිටී පංතිය කෙලවරට වෙලා
ගහ කොළ කියන දෙය ඇසෙනා මුත් කනට
ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට

ඔහුගෙ මුහුණ හොඳ හැටි නොපෙනුනත් මට
ඒ ඉන්නේ මා යැයි සැක සිතෙයි මට

මේ අනුව, මේ ගම් දරුවා සපුතන්ත්‍රී මහතාට පෙර සේකර දැක ඇත. සේකරයන් ගේ කවි, ගී තුළ පමණක් නොව නවකතාව තුළ ද, ඔහුගේ එකම සිනමා කෘතිය වන ‘තුං මන් හංදිය’ තුළ ද මේ ගැමි දරුවා දුව පැන ඇවිදියි.

“ඉස්සර මං ගිය පාසැල ඇරිලා” ගීතයත් ඉහත පද්‍ය පන්තියත් අතර පැහැදිලි සමානකම් තිබෙනු පෙනෙයි;

“ගහ කොළ කියන දෙය ඇසෙනා මුත් කනට
ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට”
(සේකර)

“පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා”
(සපුතන්ත්‍රී)

තවද,
“ඔහුගෙ මුහුණ හොඳ හැටි නොපෙනුනත් මට
ඒ ඉන්නේ මා යැයි සැක සිතෙයි මට”
(සේකර)

“ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා”
(සපුතන්ත්‍රී)

මේ ගැමි දරුවා දැක ඇත්තේ සේකර , සපුතන්ත්‍රී පමණක්ද ? චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත ගීතයක එන මේ පද පෙළ දෙස බලන්න.

“අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවල ම යි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල – මේ බැද්දෙදි අල්ලල දෙන්නම්”
( ගායනය කරුණාදාස එස්. පෙරේරා – කමලිනී පෙරේරා)

මේ සේකර සහ සපුතන්ත්‍රී දුටු ගැමි දරුවා ම වෙනත් කෝණයකින් දැකීම නොවේද ?

මොවුන් සියලු දෙනාම පවසන්නේ එකම දෙයක් වැන්න. එනම්, ඔවුන් ස්වභාව ධර්මයේ රිද්මය සමග කුඩා දරුවන් කළ සිටම ඒකාත්මික වී සිටිමට හුරු පුරුදු වී සිටි බවකි. මානවසිංහ, සේකර, සපුතන්ත්‍රී පමණක් නොව අප හදවත් හී ගැඹුරුම මෙන්ම සියුම් ම තැන අල්වාගත් නිර්මාණ බිහිකළ දැවැන්ත නිර්මාණ කරුවන්,ප්‍රාඥයන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ බොහෝ නිර්මාණ තුළ මේ දෑම නොයෙක් ආකාරයෙන් දක්වා ඇති අයුරු අපට දැකිය හැක. ඔවුන් ප්‍රති නිර්මාණය කර ඇත්තේ, ඔවුන් ගේම අත්දැකීම බව වටහා ගැනීමද අපහසු නැත. සෙස්සන් හට නොපෙනෙන, නෑසෙන, නොදැනෙන සියුම් දෑ ග්‍රහණය කර ගැනීමට මොවුන් සමත් වුයේද මෙසේ විශ්වයේ රිද්මය සමග සුසර වී සිටීම නිසාවෙන් යැයි මට සිතේ.

අමා නයනාදරී සිරිවර්ධන​
18.12.2014 දින ලියූ ලිපියකි

ගීතය මෙතැනින්:

“පුංචි පරිසරවේදියාගේ ආත්ම කථනය”, ‘පුන් කළස’ විශේෂාංගය , ‘සිළුමිණ’ පුවත්පත (2012/03/18)

ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා

ගී පද – කුමාරදාස සපුතන්ත්‍රී
ගී තනු – එච්.එම්. ජයවර්ධන​
ගායනය – සුනිල් එදිරිසිංහ​


ලාංකේය සමාජ යථාර්තය පිළිබඳ විමසුමක්

Take Care

සම්මත​ නියම් ඇසුරකින් වෙන් කර ගැනීම උදෙසා අනියම්, අසම්මත යන විශේෂණ පද වලින් හැඳින්වෙන ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය ලංකාවේ සිනමා සහ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් නොවේ​. චිත්‍රපට​, නවකතා, ගීත​ සහ නාට්‍ය වැනි විවිධ මාදිලියේ නිර්මාණ වල ප්‍රධාන තේමාව කොට ගත් අවස්ථා ඉතිහාසය තුළ අනන්තවත් ඇත. නමුත් ඒවායේ පොදු ලක්ෂණය ලෙස දකින්නේ විවාහක පාර්ශ්වය සපුරා නිදොස් කොට, අනියම් ඇසුරට යොමු වෙන බිරිඳ හෝ සැමියා සහ තුන්වැනි පාර්ශ්වය වරදකරුවන් බවට පත් කිරීමකි. අවසානයේ දී මම මුළාවේ වැටී වරදේ බැඳුණෙමි, විවාහක සැමියා ගේ හෝ බිරිඳ ගේ අගය වටහා ගත්තෙමි, අනෙක් පාර්ශ්වයට කලකම් පල දේ අබ සරණයි වැනි තැනකින් කතාව හමාර වේ. ඉන් එහා දෙයක් සිතන්නට නිර්මාණය ප්‍රේක්ෂකයාට ඉඩක් නොතබයි. මේ අතර ඉඳහිට ව්‍යතිරේක නොතිබුණා නොවේ.

“දැනට විකාශය වුණු කොටස් අනුව” මෙකී තේමාව පාදක කොට ගත් අතීත නිර්මාණ හා සංසන්දනාත්මකව ගත් කළ “Take Care”, අනියම් ඇසුරකට පෙළඹෙන පාර්ශ්වවල අභ්‍යන්තරික හේතු වඩා විවෘතවත් , සියුම්වත් මතුපිටට රැගෙනවිත් තිබෙන නාට්‍යයකි. මෙවැනි කතාවක් ළමා වැඩිහිටියන් නැරඹීමෙන් නම් කිසිදු පලක් නොවනු ඇත. බුද්ධිය හෝ උගත්කම නොව, දැනටමත් ලෝක විෂය පිළිබඳව දැනුම් තේරුම් ඇති, ජීවිතාවබෝධය හෙවත් ප්‍රඥාව වැඩූ වැඩිහිටියන්ට මිනිස් සිතේ ගූඨත්වය තව දුරටත් හඳුනා ගැනීමට මඟ විවර කරන, ඒ නිසාම ආනන්දනීය අත්දැකීමක් වනු ඇතැයි බලාපොරොත්තු සහගතව සිටිය හැකි ලකුණු පෙන්නුම් කරයි.

නමුත් මේ සටහන නාට්‍යය ගැන කතා කිරීමට නොවේ. Take care ටෙලි නාට්‍ය තේමාව සටහනට පාදක වෙනවා පමණි. තවමත් විකාශය වී ඇත්තේ කොටස් පහක් නිසා නාට්‍යය විචාරීමට කල් වැඩියි. හැරත් මෙය “පීතෘ” හෝ “සුසුම් රස්තියාදුව” මෙන් නොවෙතැයි කාට නම් කිව හැකිද​? ප්‍රගතිශීලී මාවතක සේයාවන් මුල් කොටස් තුළින් විද්‍යාමාන කර, සියලු ප්‍රේක්ෂක බලාපොරොත්තු කඩ කරමින් අවසානයේ ඒවා නැවතුණේ ගැහැණිය සොඳුරු සුකුමාල ළඳ බොළඳ චරිතයක් විය යුතුය​, සමාජ අපවාදයට බියෙන් මුළු ගැන් වී සිටිය යුතුය, පිරිමියාගේ වුවමනා එපාකම් ඉටු කිරීමට ඇප කැප වී කටයුතු කළ යුතුය, සොඳුරු ගම ඇතහැර කොළඹට පැමිණීම සියලු ව්‍යසනයන්ට මුලය​ යන ගතානුගතිකව එන ප්‍රලාප තව දුරටත් තහවුරු කරමින්. පීතෘ මා හඳුනාගන්නේ “වීරයා ගෙදර ඇවිත්”, “ජීවිතයට ඉඩ දෙන්න” වැනි නිර්මාණ හරහා ප්‍රේක්ෂක වින්දනය නවමු ඉසව් කරා රැගෙන ගිය ආනන්ද අබේනායක ගේ දුර්වලම අධ්‍යක්ෂණයක් ලෙසිනි.

කිසිසේත්ම අලුත් අත්දැකීමක් නොවන කාම මිථ්‍යාචාරය​ සමාජය තුළ එදා සිට අද දක්වා වරින්වර කතාබහට ලක් වෙන නමුත්, අප මතුපිටින් දකිනවාට වඩා බෙහෙවින් සුලබ, කෙතරම් සුලබදැයි කියතහොත් ඇතැමුන් විවාහ වන්නේම සමාජීය තත්ත්වය රැක ගැනීමේ අවශ්‍යතාවය මත සම්මත විවාහයක බැඳෙන අතරේ දී, තවත් පසෙකින් සිය ලිංගික ෆැන්ටසීන් අසම්මත බැඳීම් තුළින් යථාර්තයක් බවට පත් කර ගැනීමේ ඒකායන පරමාර්ථයෙන්දැයි සැක සිතෙන තරමට ශ්‍රී ලාංකිකයන් අතරේ දරුණු ලෙස ඔඩු දුවා ඇති ඉතාමත් සංකීර්ණ හේතු ඵල දහමක් මත ක්‍රියාත්මක වන සංසිද්ධියකි. මේ දක්වා නැරඹූ කොටස් අනුව නම් Take Care නාට්‍ය නිර්මාණකරුවන් සාකච්ඡාවට බඳුන් කරන්නේත් මේ සංකීර්ණ සංසිද්ධියේ එක් සීමාසහිත පැතිකඩක් පමණි.එහි ගැටළුවක් නැත​. ඕනෑම නිර්මාණයකට සීමාවක්, වපසරියක් තිබිය යුතුය. එය ඔක්කොම එක කැඳ හැළියේ දැමූ තවත් “කොඩි ගහ යට” කතාවක් විය යුතු නැත.

Sapiens සහ කාම මිථ්‍යාචාරය

අද ලෝකයේ විවාහ සංස්ථාවන් තුළ බහුලව දකින්නට ලැබෙන චපලත්වය සහ පරදාර සේවනයට හේතු ආදී කල්පික මිනිස් චර්යාවන් ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරෙන අවස්ථා සමාජ සංවාද මණ්ඩප තුළ නිතර දකින්නට ලැබේ. දීර්ඝ කාලීන දඩයම් යුගය තුළ දී මිනිසා ජානමය වශයෙන් එක් ලිංගික සහකරුවකුට සීමා වී සිටීමට පරිණාමනය වී නැතය යන්න ගෙනහැර දක්වන හේතු පාඨයයි. මේ තේමාව පිළිබඳ සංවාදයක් “Sapiens” කෘතිය තුළ ද හමු වේ. නමුත් එහි කතෘ Yuval Noah Harari ආදී කල්පික මානවයාගේ හැසිරීම් පාදක කොටගෙන එකිනෙකට ප්‍රති-විරුද්ධ න්‍යායන් දෙකක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් ලෙස දකිමි. මා මේ කෘතිය වඩාත් ප්‍රිය කිරීමට හේතුවත් හරාරි ගේ ව්‍යායාමය පළමුව මතයක් නිර්මාණය කර පසුව එය සනාථ කිරීමට උත්සාහ කිරීමක් නොව​, ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක්දැයි සොයා බැලීමේ උනන්දුව සහ ඒ සඳහා මාර්ගය කෘතිය හරහා පාඨකයා වෙත විවර කර තිබීම වීමයි. පහතින් දැක්වෙන්නේ එම කෘතියේ දෙවැනි සහ තුන්වැනි වැනි පරිච්ඡේද වලින් උපුටා ගත් කොටස් වල සංක්ෂිප්ත පරිවර්තනයකි.

අවුරුදු දස දහස් ගණනක දඩයම් යුගය හා සැසඳීමේ දී, අවුරුදු 12,000 ක් තරම් වන කෘෂිකාර්මික විප්ලවයෙන් පසු යුගය ඇස්පිල්ලන් ගහන තරමේ නොසලකා හැරිය යුතු කාලයක් බව හරාරි කියා සිටී. නූතන මානවයාගේ චෛතසික ලක්ෂණ සහ චර්යාවන් කෙරෙහි පදනම වැටුණේ සාපේක්ෂව අතිශයින් දීර්ඝ දඩයම් යුගයේ දී බැවින්, මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය සහ චර්යාවන් වටහා ගැනීමට පූර්ව කෘෂිකර්මික යුගය තුළ දඩයමින් ජීවත් වූ මානවයාගේ මනස අභ්‍යන්තරයට කිඳා බැස එහි ක්‍රියාකාරීත්වය වටහා ගැනීම​ අතිශයින් වැදගත් බව එනයින් ඔහු අවධාරණය කර සිටී. අපගේ ආහාර පුරුදු, එකිනෙකා අතර ගැටුම්, සහ ලිංගිකත්වය යන මූලික ක්‍රියාකාරකම් කෙරෙහි, අපේ ජාන වල ලියැවී, යටිසිතේ පැළපදියම් වී තිබෙන දඩයම් යුගයේ චර්යාවන්වල දැඩි බලපෑමක් ඇත.

Sapiens – පින්තූරය අන්තර්ජාලයෙන්

“Ancient Commune Theory”

මෙය සමාජය තුළ කාම සේවනය පිළිබඳව දඩයම් යුගයේ මිනිසා ගේ චර්යා ආශ්‍රයෙන් විෂය ප්‍රාමාණිකයින් විසින් ගෙන එන ජනප්‍රිය න්‍යායකි.

– මේ න්‍යායට අනුව අදීකාලීන මානව සමාජයේ එක් සහකරුවකුට/සහකාරියකට සීමා වූ න්‍යෂ්ටික පවුල් සංස්ථා (nuclear families) නොවීය. ස්ත්‍රියක් ජන සමූහයේ පිරිමින් රැසක් සමඟ සංවාසයේ යෙදුණු අතර පිරිමින් ද එසේම වෙයි. මේ තමන් ගේ දරුවායැයි හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම හෝ අවස්ථාව සමූහයේ පිරිමින්ට තිබුණේ නැත. සමූහයේ වැඩිහිටියන් සියලු දෙනා දරුවන් බලා හදා ගැනීමේ කාර්යයේ නිරත විය. හරාරි එම මතය වෙනුවෙන් ජානමය වශයෙන් මිනිසාට කිට්ටු බන්ධුතාවයක් ඇති ඇතැම් වානර විශේෂවල සහ වර්තමානයේ පවා ලොව ඇතැම් සංස්කෘතීන් තුළ පවතින බහු-භාර්යා/බහු-පුරුෂ ලිංගික චර්යාවන් ගෙනහැර දක්වනවා.

– මෙයට​ සහයෝගය දක්වන්නවුන් කියා සිටින්නේ දීර්ඝ කාලයක් තිස්සේ සාමූහික වශයෙන් ලිංගික සේවනයට හුරු වී සිටි මිනිසාට එක් ලිංගික සහකරුවකුට සීමා වී ගත කරන දිවිය ඔහුගේ ජීව විද්‍යාත්මක මෘදුකාංගය හා කිසිසේත්ම අනුකූල නොවන බවයි. අද ලෝකයේ විවාහ සංස්ථාවන් තුළ පරදාර සේවනය බහුල වීම සාමාජීය පෙළැඹවීම හේතු කොටගෙන ජීවිත කාලය පුරා එක් ලිංගික සහකරුවකු කෙරෙහි බැඳී සිටීමෙන් නිර්මාණය වන කෘත්‍රිම දිවි පැවැත්ම, ඇතුළත ජාන සැකැස්ම හා එකඟ නොවීමේ ප්‍රතිඵලයකි.

මෙම න්‍යාය සංවාද මණ්ඩප තුළ දී බොහෝදෙනා ඉදිරිපත් කරන මතය හා සම්පාත වේ.

Eternal Monogamy Theory

– මෙය ඉහතින් ප්‍රකාශිත න්‍යායට ප්‍රතිපක්ෂ මතයයි. ඉදිරිපත් කරන විද්වත් පාර්ශ්වය කියා සිටින්නේ එක් සහකරුවකුට පමණක් සීමා වූ කුටුම්බ සංරක්ෂණය (nuclear families) දඩයම් යුගයේ අප මුතුන්මිත්තන් ගේ සමාජ හර පද්ධතිය තුළ පැවති පොදු සම්මතය වූ බවකි.

– බොහෝ සංස්කෘතීන්වල පති-පතිනි වෘතය ආරක්ෂා කිරීමට බැඳී සිටින්නේත්, විවාහ සංස්ථාව සමාජ සම්මතය වී (norm) ඇත්තේත්, possessive සහ ඊර්ෂ්‍යා සහගත සහකරුවන් සිටින්නේත් අපගේ පූර්වජයන්ගේ ජාන සැකැස්ම එසේ සිදු වී ඇති හෙයින්යැයි ඔවුන් සිය මතය සනාථ කිරීම පිණිස කියා සිටී. ඔවුන්ට අනුව බහුපුරුෂ බහුභාර්යා සේවනය ජාන සැකැස්මට අනුකූල නොවන​ විකෘතියක් විය යුතුය​.

කෙසේ වෙතත් ආදිකාලීන​ බහු-පුරුෂ , බහු-භාර්යා සාමූහික ලිංගිකත්වය සහ සදාකාලිකව එක් ලිංගික සහකරුවකුට සීමා වීම යන මේ මත දෙක අතර විවාදය පවතින්නේ දුර්වල සාක්ෂි පදනම් කරගෙන බැවින් ඒවායේ නිරවද්‍යතාවය මැන ගැනීම අපහසු වී තිබේ.

Cognitive Revolution and Imagined Reality

අවුරුදු 70,000 ට පෙර cognitive revolution සිදු වූ තැන් සිට මිනිසා ගේ සිතීමේ ශක්තිය දියුණු වී පංචේන්ද්‍රිය සීමාවේ දකින භෞතික යථාර්තයට එහා කල්පිත​ යථාර්ථයන් ගොඩ නැගීමේ හැකියාව ලද්දේය. කල්පිත හෝ මායා යථාර්ථයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දී ඔහු මෙවලම කොට ගත්තේ භාෂාවයි. නිර්මාණාත්මක භාෂාව භාවිතයෙන් සංකල්ප, ප්‍රබන්ධ, පුරාණෝක්ති ආදී කල්පිත​ යථාර්ථයන් ගොඩ නැංවීමට උත්සුක විය.එදා සිට මානව සමාජයේ හර පද්ධතිය විවිධ කල්පිත සහ ප්‍රබන්ධ මත පදනම් වී තිබේ​. කුටුම්බ , ව්‍යාපාරික ආයතන, ආගමික සංස්ථා සහ සංස්කෘතීන් තුළ සාමූහික අනන්‍යතාවයේ (collective identity) පදනමත් කුමක් හෝ මිථ්‍යා විශ්වාසයකි, ප්‍රබන්ධයකි හෙවත් කල්පිත​ යථාර්ථයකි. උදාහරණ ලෙස රජ්‍යයක් හෝ ආයතනයක් තුළ නීතිමය ප්‍රබන්ධයක් (legal fiction) ලෙස සැලකිය හැකි ව්‍යවස්ථාවකට අනුව මිනිසුන් එකිනෙකා සාමූහික වගකීමකින් බැඳී අන්‍යොන්‍ය සහභාගීත්වයෙන් කටයුතු කරයි. එය කල්පිතයක් වන්නේ අද්‍රව්‍යමය සම්මුති සත්‍යය තුළ පමණක් පවතින නීති මාලාවක් වී ඒ වටා සාමූහිකත්වය ගොඩ නැගෙන බැවිනි. ආගමික සංස්ථා තුළ දී මිනිසා විසින් නිර්මාණය කරන ලද යථාර්තවාදී නොවූ විශ්වාස පද්ධතියක් වටා මිනිසා ගේ සාමූහික යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

අදාළ කල්පිතය හෙවත් ෆැන්ටසිය වෙනස් කිරීමෙන් මවා පෑ යථාර්ථය වෙනස් වී , එකී මායා යථාර්ථය වටා සන්ධානගතව සිටින මිනිසුන් ගේ​ අන්‍යෝන්‍ය ක්‍රියාකාකරකම් ද ඒ අනුව වෙනස් වීම් වලට භාජනය වීම මේ සියලු සංස්ථා ෆැන්ටසියක් මත ගොඩ නැගීම නිසා සිදුවෙන තවත් සංසිද්ධියකි. Cognitive revolution එකෙන් පසුව ජාන සැකැස්මේ වෙනසක් සිදු නොවීත් හුදෙක්ම නිර්මාණාත්මක ආවේශයන් ගැනීමේ හැකියාවද මිනිසාට ලැබිණි. නූතන මානවයාගේ සාර්ථකත්වයේ රහස වූයේත් මේ නිර්මාණාත්මක ආවේශය හරහා වෙනස් වන සමාජ සංස්කෘතීන් තුළ පවතින මනෝ මූලික ව්‍යාජ යථාර්ථයන්ට (imagined reality) ඉක්මනින් හැඩ ගැසීමේ හැකියාව බව හරාරි පවසනවා.

Cognitive Revolution and Sexuality

හරාරි අවසානයේ දී ඉදිරිපත් කරන තර්කය අපගේ මාතෘකාවේ දී සෑහෙන්න​ වැදගත්. ​ ලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ආදීකාලීන මානව හැසිරීම් අප සිතනවාට වඩා බෙහෙවින් සංකීර්ණ , පුළුල් පරාසයක පැතිරී තිබිය යුතු බවත් , ඒ බොහෝ කරුණු අනාවරණය නොවූ මට්ටමින් සැඟ වී පැවතිය හැකි බවත් ඔහු කියා සිටිනවා. මිනිසාගේ සිතීමේ ශක්තිය සහ තර්කනය දියුණු වී නිර්මාණාත්මක හැකියාව වර්ධනය වූ (cognitive revolution) තැන් සිට ඔවුන්ගේ ස්වභාවික ජීවන රටාව මේ යැයි පෙන්විය හැකි එක් විශේෂිත හැසිරීමක් මානවයන්ට නොතිබිණි. තිබූයේ සිත්තරකු ගේ වර්ණ ඵලකයක් මත ඇඳි සායම මෙන් වෛවර්ණ වූත් විචිත්‍ර වූත්, අනේක විධ සංස්කෘතිකමය තේරීම් ගොන්නක් පමණි.

ලාංකේය ජන සමාජය තුළ කාමසේවනය

මෙය ලාංකික ජන සමාජය තුළ කාම සේවනය සම්බන්ධයෙන් නිරීක්ෂණය වන දේ හරාරි ගේ මතවාද හා ගැලපීමට උත්සාහ කිරීමක් නොවේ. නමුත් අප සමාජය තුළ කාම මිථ්‍යාචාරය මෙතරම් සුලබව පැතිරීම සඳහා හේතු සොයා යාමේදී Sapiens කෘතියේ සඳහන් කරුණු දැන සිටීම ප්‍රයෝජනවත් වනු ඇති හෙයින් සඳහන් කෙළෙමි.

පුරාණයේ සිට අපේ සමාජය තුළ කිසිසේත්ම නැවුම් නොවූ මාතෘකාවක් වූ කාම මිථ්‍යාචාරය නැතහොත් පරදාර සේවනය​ සංස්කෘතීන් මිශ්‍ර වීම වේගවත් වෙද්දී වඩාත් සංකීර්ණ හැඩයක් ගත්තේද යන්න සාමාජීය ගැටුම් නිරීක්ෂණය කිරීමේ දී මතුවෙන ගැටළුවකි. තමන් ඉදිරියේ අනේකවිධ අවස්ථා දර්ශනය වන මිනිසාට​ ෆැන්ටසි නිර්මාණය කිරීමේ හැකියාව කිහිප ගුණයකින් පුළුල් විය​. ෆැන්ටසි නිර්මාණය කරන්නා එතැනින් නොනැවතී ඒවා යථාර්ථයක් බවට පත් කර ගැනීමේ ආශාවෙන් ලුහුබඳියි.

විවාහක කාන්තාවක හෝ පුරුෂයකු විවාහයෙන් පිට​ සම්බන්ධතා පවත්වා ගැනීම කෙරෙහි බලපාන හේතුව මේ යැයි එක් විශේෂිත හේතුවක් පෙන්විය නොහැකි වේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. අනියම් ඇසුරකට යොමු වන්නේ විවාහක සහකරු හෝ සහකාරිය තුළ කැපී පෙනෙන දුර්වලකමක් හේතු කොටගෙන මානසිකව තනි වන්නන් හෝ පීඩා විඳින්නන් පමණක් ම නොවීම විශේෂත්වයකි. Take care කතාවේ මෙන් නොව, පරදාර සේවනයට නැඹුරු වූවන්ට ඒ සඳහා හේතුවක් සැපයීමට අසමත් වන අවස්ථා අනන්ත තිබිය හැකියි. නමුත් හේතුවක් නැත්තේමත් නැත. හුදෙක්ම නිතරම වෙනසක් සොයා යාමේ නොතිත් ආශාවෙන් මඬනා ලද සිතුවිල්ලේ සිට, පෙමින් වෙළී බැඳී වසර ගණනාවක ඇවෑමෙන් සුවිශේෂී සංවේදී නිලයක් උත්තේජනය කරන පිටස්තරයකු අහඹු ලෙස මුණ ගැසීම දක්වා විවිධකාර වූ අවස්ථා ගණනාවක් මේ තුළ තිබිය හැකියි. මේ විවිධාකාර වූ අවස්ථාවන් තුළ පොදු සාධක කිහිපයක් දකිමි. ඒ ෆැන්ටසි නිර්මාණය කිරීමේ ලා මිනිසා තුළ පවතින දක්ෂතාවය, නිතර වෙනස් වන සුළු සිත සහ විවිධත්වයට ඇති සහජාශාවයි.

සමාජය විනිවිද දැකීමේ උත්සාහය ඇති රැඩිකල් නිර්මාණකරුවකු වූ චින්තක ගීතදේව අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බොහොමයක් කුටුම්බයන්හි ඇතුළත කතාව සුප්‍රකට ප්‍රේම වෘතාන්තයක් වූ ටයිටැනික් චිත්‍රපටය ආශ්‍රයෙන් මෙසේ ගීතකයට නංවනවා.

“ටයිටැනික් නැව ගිලුණේ නෑ
අයිස්පරයක වැදුණේ නෑ
මැරුණ් නැති හින්දා
ජෑක් රෝස් බැන්දා”

ටයිටැනික් කතාවේ නැව යම් හෙයකින් නොගිලී තිබුණේ නම්, ජැක් නොමැරී දිවි රැක ගත්තා නම්, ජැක් සහ රෝස් ආදර කතාව විවාහයෙන් කෙළවර වූයේ නම්, එතැන් සිට ඔවුන්ගේ ජිවිතය කෙසේ ගලා යාවිද? යන ප්‍රශ්නය ඔහු එහිදී මතු කරනවා. එතැන ඇත්තේ “what if” කතාවකි.

“ජැක් හොඳට බොනවා
ජැක්ට බඩ එනවා
ව්‍යාඝ්‍රාවෙන් ලොරි අරන්
දෙව්ලොවට යනවා”

සාම්ප්‍රදායික යුග ජීවිතය තුළ ජැක්ගේ චාර්යාව එසේ වෙද්දී, රෝස් කුමක් කරනු ඇද්ද?

“රෝස් බත් කනවා
රෝස් නිදියනවා
සෙක්සි සාදුගේ බණ අහන්නට
අසපුවට යනවා”

ඔහු එසේ පද කිහිපයකට ගොනු කළේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බොහොමයක් කුටුම්බයන්හි ඇතුළත යථාර්තය යි. විවාහ ජීවිතය ආදර කතාව තරම් සුන්දර නොවේ. පෙමින් වෙළී විවාහ වී වසර කිහිපයක ඇවෑමෙන් බීමත්කම නිසා බෙලහීන බවට පත් වන ස්වාමියා ලිංගික උත්තේජක භාවිතයෙන් වෙනත් කාන්තාවන් සොයා ඇදෙද්දී, සිය අභ්‍යන්තරික චිත්ත චික්ෂෝපයට, ඉච්ඡා භංගත්වයට​ මූල හේතුව යටපත් කර ගැනීමට පොළඹවන සංස්කෘතික රාමුවක් තුළ තනි වූ මැදිවියේ භාර්යාව සැනසුම සොයා ධර්ම මාර්ගයේ යන්නී, ඇත්ත වශයෙන්ම කරන්නේ උඩුකය නිරාවරණ භික්ෂූන් ගේ දැකුමෙන් සිය අතෘප්තිකර ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමකි යන්න මේ ගීතයෙන් ප්‍රකාශිත අර්ථය යි. මෙයද රසික සිත් ඥානනය කරවන​ තවත් එක් නිර්මාණයක් පමණි. පූර්ණ සත්‍යය මේ තුළ ද නොවිය හැකිය.​

මිනිසුන් මුදල්, නිලතල, තනතුරු, රූපය වැඩි වර්ධනය කර ගැනීම සහ දැනුම හරහා බලය අත්පත් කර ගැනීමට උත්සාහ කරන්නේත් මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය වන බැවිනි. ආහාර, ඇඳුම් පැළඳුම්, යාන වාහන සහ නිවාස වලට අමතරව විරුද්ධ ලිංගික ආකර්ෂණය දිනා ගැනීම ද ඒ අතර වේ. සමලිංගිකයන්ටත් මෙකී කාරණය අදාළ වනු ඇත​.

ඇතැමුන් වින්දනය ලබා ගැනීමට අමතරව, තමන් සතු බලය උරගා බැලීමේ ක්‍රමෝපායයක් ලෙසත් අනියම් ඇසුරකට පෙළඹෙන අවස්ථා නිරීක්ෂණය වේ. මේ සඳහා වැඩිමනත් නැඹුරු වන්නේ තමන් විසින් අත්පත් කරගත් යම් සිවිල් බලයක් ඇතැයි විශ්වාස කරන විවාහක පිරිමින් ය.

Take care කතාවේ මෙන් ස්වාමියා ගේ හැඟීම් සහ ලිංගික ෆැන්ටසි වටහා නොගෙන, ගෙදර දොර වැඩකටයුතු නොපිරිහෙලා ඉටු කිරීමේ අප්‍රමාදී සාම්ප්‍රදායික ගෘහණියක ගේ භූමිකාව කෙරෙහි පමණක් සැලකිලිමත් වන විනීත තැන්පත් බිරින්දෑවරුන් සැමියා අන්‍ය ස්ත්‍රීන් කරා යාමට වග කිව යුතු යැයි පැවසීම සම්පූර්ණ සත්‍යයෙන් තොර කතාවකි.

කොහොමත් මෑතක සිට කාන්තාවන් සමාජය ඉදිරියේ යම් විනයක් ඇතිව කටයුතු කිරීම පිරිමින් විෂයෙහි බෙහෙවින් උදාසීන චර්යාවක් ලෙස හෙළා දකින්නටත්, පිරිමින් වසඟ වන්නේ විනීත ගති පැවතුම් වලට නොව, වැඩි උගත්කමක් නැති, පැල්පත්වාසී ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිත භාෂාවෙන් ප්‍රසිද්ධියේ කතා කරන ගැහැණුන් වෙත බව හුවා දක්වන ප්‍රවණතාවයක් ඇතැම් ටෙලි නිර්මාණ තුළ කැපී පෙනෙන මට්ටමින් වැඩි වර්ධනය වී තිබේ. යසෝදරාවන් විවාහ කරගෙන, ෆැන්ටසි ක්‍රියාවේ නැංවීමට එවැනි අඹුවන් සොයා යාම ලංකාවේ පොදු පිරිමියා අතර සුලබ වීම එකී ප්‍රවණතාවයට හේතු විය හැකි නමුත්, නූගත් බව සහ අවිනීත චර්යාවන් ප්‍රවර්ධනය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ.

Take care කතාවම ගත්තොත්, වාසුල සහ සටන්කාමී චරිතයක් වූ මේනකා ලිංගික ෆැන්ටසි ගැලපෙන​ විවාහක සහකරුවන් වී සිට වසර ගණනාවකට හෝ පසුව වාසුලට අසෙනි වැනි විනීත ගති පැවතුම් ඇති කාන්තාවක මුණ ගැසී ඈ කෙරෙහි සිත ඇදී යා නොහැකිද? එවැනි දේ සිදු විය නොහැකිද​? පරදාර සේවනය සඳහා බලපාන හේතු මේ යැයි එක හෙළා පැවසිය නොහැකි බවත්, සංකීර්ණ තලයක ඇති බවත් පැවසුවේ එබැවිනි.

ඇතැම් කාරණා වලදී මතුපිටට අනාවරණ නොවී පවතින දේ රහසිගතව එසේම පැවතීමට ඉඩ හැරීම වඩා ඥානාන්විත ද​ එසේ නැතහොත් මතුපිටට ගෙනැවිත් මිනිස් සිතේ ගූඨත්වය අවබෝධ කරගෙන ඥානවිභාගයෙන් පිළිතුරු සොයා ගැනීම වඩා ප්‍රතිඵලදායක ද යන්න නම් තරමක උභතෝකෝටිකයකි. මිනිස් සිතේ සැබෑ තතු මතුපිටට රැගෙන ඒම සමාජය නොසන්සුන් වී සාමූහික ක්‍රියාකාරකම් බිඳී යාමට හේතු විය හැකිය​. නමුත් සත්‍යය මතුපිටට රැගෙන නොඒම එය කවදා හෝ මතු වී ඊට වඩා අනිටු ඵල විපාක අත් කර දෙනු ඇත​. කුටුම්බ සේවනය තුළ දකින කාම මිථ්‍යාචාරය සම්බන්ධයෙන් ද එම ගැටළුව පැන නඟී.

කුටුම්බ, සංස්ථාපිත ආයතන සහ සංස්කෘතීන් තුළ මිනිසාගේ ඒකරාශී වීමේ පදනම imagined reality එකක් හෙවත් මනෝ මූලික ව්‍යාජයක් ය යන වැටහීම ලද හැටියේ මේ සියලු සංස්ථා බිඳ වැටී සාමූහිකත්වයට බාධා පැමිණිය යුතුය. එය එසේය කියා මිනිසා ෆැන්ටසි නිර්මාණය කිරීම හෝ ඒවා ලුහුබැඳ යාම නතර නොකරයි. ඒ නිසාම මෙවැනි නිර්මාණ බිහි වීම නතර වන්නේවත් ඒ වටා ගොඩ නැගෙන කතා බහ සිදු නොවී තිබෙන්නේවත් නැත. එසේ වූ කළ මේවා තුළ පවතින ෆැන්ටසිය දකින මිනිසා ඒවා වෙනස් කරමින් යන ගමනේ දී, පවතින කල්පිතයට වෙනස් යථාර්තයන් ගොඩ නැඟී ඒ නව සමාජ යථාර්තයට යෝග්‍ය පූර්වයෙන් තිබු සම්මතයට වඩා වෙනස් පොදු සම්මත නිර්මාණය විය හැකිය. ඒ නව සම්මතය වටා ඒකරාශී වී සාමූහිකව ක්‍රියා කිරීමේ අවස්ථාව මිනිසාට ලැබේ. මෙවැනි නිර්මාණ සහ ඒ වටා ගොඩ නැගෙන කතා බහ නව සම්මුතීන් නිර්මාණය වන දිශානතිය තීරණය කිරීමට උදව් වේ.

බටහිර ලෝකය, මිනිස් සමාජයේ නව ප්‍රවණතා අනුව ගොඩ නැඟුණු, පවතින සමාජ යථාර්ථය මැනවින් සැලකිල්ලට ගෙන ඊට සරිලන විසඳුම් සොයා ගනිද්දී , පොදු සම්මත වෙනස් කරමින් සාර්ථක ගමනක යෙදී සිටිද්දී, ලාංකීය ජනතාව​ නූතන මිනිසාගේ අවශ්‍යතා සහ සමාජ යථාර්ථය ප්‍රමාණවත් ලෙස වටහාගෙන ඇති බවක් තවමත් දකින්නට නැත. ඒ වෙනස්වීම් වලට නිසි ප්‍රතිචාර දක්වන්නේත් ඉතාම මන්දගාමීවයි. බොහෝ විට විසඳුම් ලෙස ගෙන එන්නේත් දහම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම වැනි පය බරවායට පිටිකර බෙහෙත් බඳින පිළියමකි. ඔවුන් තවමත් අනාදිමත් කාලයක සිට පැවත එන ව්‍යාජයක් සංස්කෘතිය ලෙස සලකා කරපින්නා ගත් ගමනක යෙදී සිටී.

“තොල් අග මඳහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැඟෙයි කඳුල නැඟෙයි එයයි ජීවිතේ”

අමා නයනාදරී සිරිවර්ධන
17.06.24

ටෙලි නාට්‍ය රූපරාමු උපුටා ගත්තේ සිනමාවේදීන් සමූහයේ සටහනකිනි. අනෙක් පින්තූරය අන්තර්ජාලයෙන්.

ටයිටැනික් නැව ගිලුණේ නෑ – අයිස්පරයක වැදුණේ නෑ

මතභේදයට තුඩු දිය හැකි සමාජ විරෝධාකල්පයක් රැගත් ගීතයකි.  මුලින්ම අසන්නට ලැබුණේ ලැබුණේ 2013 වර්ෂයේ දී මැද භාගයේ දී පමණ වේ. සටහනක් ලියා පළ කිරීමේ අදහසක් මුලින්ම​ ඇති වූයේ  පහුගිය මාස දෙක තුනකට පෙර සමාජ මාධ්‍ය කැළැඹූ සිදු වීම් කිහිපයක් හේතුවෙනි. සමාජය විනිවිද දැකීමේ උත්සාහය ඇති රැඩිකල් නිර්මාණකරුවෙකු වූ චින්තක ගීතදේව අපේ සිංහල බෞද්ධ  සංස්කෘතිය තුළ බොහොමයක් කුටුම්බයන්හි ඇතුළත කතාව සුප්‍රකට ප්‍රේම වෘතාන්තයක් වූ ටයිටැනික් චිත්‍රපටය ආශ්‍රයෙන් මෙසේ ගීතකයට නංවනවා. දෙදෙනෙකු විවාහ වී ජීවිත යථාර්ථයට මුහුණ දීමේදී ලබන අත්දැකීම්, ඔවුන් ගේ ආදර කතාව තරම්​ සුන්දර නොවන බවට පණිවිඩයක් මෙ තුළින් ලබා දේ.

“ටයිටැනික් නැව ගිලුණෙ නෑ
අයිස්පරයක වැදුණෙ නෑ
මැරුණ් නැති හින්දා
ජැක් රෝස් බැන්දා”

ටයිටැනික් නැව ගිලුණේ නැතැයි උපකල්පනය කළ හොත්, එතැන් සිට ඉදිරියට කතාව කෙසේ දිග හැරේවි ද​? ජැක් සහ රෝස් ප්‍රේම වෘතාන්තය විවාහයෙන් කෙළවර වූයේ නම් එතැන් සිට  ඔවුන්ගේ ජිවිතය කෙසේ ගලා යාවිද? ඉන් පසුවත් දෙදෙනා ගේ සරා සොඳුරු ප්‍රේමය කිසිදු විපර්යාසයකට භාජනය නොවී, පෙර ලෙස එලෙසම පවතීවි ද​?  යන ප්‍රශ්නය ඔහු එහිදී මතු කරනවා. මෙහි ඇත්තේ “what if” කතාවකි.

ආදර කතාව , විවාහයකින් කෙළවර වී , සැබෑ ලෝකයට පා තැබු තැන් සිට​ දෙදෙනා එක ගෙදර දෙදෙනෙකු ලෙස ජීවත් වෙන ආකාරය චරිත දෙක වෙන් වෙන්ව ගෙන පෙන්වා දෙනවා.

“ජැක් හොඳට බොනවා
ජැක්ට බඩ එනවා
ව්‍යාග්‍රාවෙන් ලොරි අරන්
දෙව්ලොවට යනවා”

පුරුෂයා බීමට ඇබ්බැහි වෙනවා, අන් කාන්තාවන් ගේ පහස පතා යනවා. කල් යාමේ දි බීමත්කම නිසාම​, ඔහු ගේ පුරුෂ ශක්තිය හීන වී ගිය ද , ඔහු තුළ පවතින කාමාශාවන් ගේ අඩුවක් වන්නේ නැත. එතැන දී කාන්තාවන් සමඟ සුරතාන්තයට යාම සඳහා ඔහුට​ ගෙන්වන්නේ  “ව්‍යාග්‍රා”ව යි.

වැදගත්ම කතාව එන්නේ විවාහක කාන්තාව ගේ ඉරණම ඇතුළත් දෙවන අන්තරා කොටස තුළ යි. එහි දී පද රචකයා අපේ සමාජයේ බොහෝ දෙනෙකු තේරුම් ගැනීමට අසමත් වන​, තේරුම් ගැනීමට නොකැමැති අමිහිරි සත්‍යයක් පවසනවා. ලිංගික උත්තේජක භාවිතයෙන් හෝ විවාහක පුරුෂයා සිය ආශාවන් සංසිඳුවා ගනිද්දී කාන්තාවට සිදු වන්නේ කුමක් ද​?

“රෝස් බත් කනවා
රෝස් නිදියනවා
සෙක්සි සාධුගෙ බණ අහන්නට
අසපුවට යනවා”

නමුත්, රුව අඩු වුණු පමණින් හෝ රුව රැක ගැනීමට ඇති උනන්දුව අඩු වුණු පමණින් හෝ කාත්නාව තුළ පවතින රාගික හැඟීම් ලෙහෙසියෙන් යටපත් වන්නේ නැත. ඒත් ප්‍රශ්නය නම් ඈ වෙත සිය සැමියා ගේ පහස පමණක් නොව, වෙනත් පිරිමියකුගේ ආකර්ෂණය ද නොලැබී යාමයි. ‍ආකර්ෂණය ලදත් ඒවා හඹා යාම අපේ සංස්කෘතික පරිසරය තුළ දී පිරිමින්ට මෙන් පහසු අවසරය කාන්තාවන්ට නොලැබේ. එතැන දී ඇය ධර්මය වෙත යොමු වන්නේ සිය සිතෙහි පවතින ඉච්ඡාභංගත්වය සමනය කර ගැනීම පිණිස ය. පන්සල් පල්ලි යමින් බණ අසන්නේ රාගයෙන් ඇවිස්සුණු සිතට පිළියමක් ලෙසින් බව ඇතැම් විට ඇය ද නොදැන සිටිනවා විය හැකියි. බණ අසමින් ජීවිතයේ දුක , අනිත්‍යය මෙනෙහි කර ආශාවේ ගිනිදැල් යටපත් කර ගැනීමට උත්සාහ කළත්, ආශාවන් කියන දේ ඒ තරම් ලෙහෙසියෙන් යටපත් කළ හැකි නොවේ. සිය අභ්‍යන්තරික චිත්ත චික්ෂෝපයට මූල හේතුව යටපත් කර ගැනීමට පොළඹවන සංස්කෘතික රාමුවක් තුළ තනි වූ මැදිවියේ භාර්යාව සැනසුම සොයා ධර්ම මාර්ගයේ යන්නී, ඇත්ත වශයෙන්ම කරන්නේ උඩුකය නිරාවරණ භික්ෂූන් ගේ දැකුමෙන් සිය අතෘප්තිකර ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමකි. තමන් ආගමික ස්ථාන කරා යන්නේ එහි වාසය කරන​ හිමිවරුන් ගේ කඩවසම් දේහය දෙස බලමින් ලිංගික ආශ්වාදයක් ලැබීමට බව ඇය ද නොදැන සිටීම ඛේදයකි. නමුත් ඇත්ත වශයෙන්ම යටි සිතෙන් ඇය බලාපොරොත්තු වන්නේ රාගය සිංසිඳුවා ගැනීමේ උපක්‍රමයක්. ඇයගේ  ක්‍රියාව මතුපිටින් දකින්නන් විසින් ධර්ම මාර්ගයේ යාමක් යැයි සිතා බොහෝ විට​ රැවටෙනවා.

මෙතැන දී “සෙක්සි සාධුගෙ බණ අසන්නට” යන පද කොටස​ රූපකයක් ලෙස ගෙන, වෙනත් ආගම් සම්බන්ධයෙන් ද අදාළ කර ගත හැකි නමුත්, අල්පේච්ඡතාවයට​, විනෝදයෙන් ඈත් වීමට​ වැඩි පෙළැඹවීමක් කෙරෙන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ යි.

මෙය අපේ රටේ පන්සල් පල්ලි යමින් දහමට නැඹුරු ජීවිතයක් ගත කරන බව කියන බොහෝ දෙනෙකු තුළ පවතින බියකරු සත්‍යයකි. හැමෝ ම නොවිය හැකියි. ඒත් එවැන්නන් ඕනෑ තරම් සිටී. හැමෝම නොවේයැයි කියූ හැටියේ හැමෝම ඒ ගොඩට තල්ලු වීමෙන් ගැටළුවට විසඳුමක් ලැබෙන්නේ නැත​. ලංකාවේ සංස්කෘතික පරිසරය තුළ ජීවිතය වින්දනය කිරීම හෙළා දැකීම​, ඒ සඳහා ක්‍රම සංස්කෘතික පද්ධතිය තුළ නොවීම​, පවතින මාර්ග පවා අහුරා දැමීම, ඒවාට වැට කඩොළු බැඳීම,​​ මෙවැනි ඛේදවාචකයන්ට හේතුව යි. පුරුෂෝත්තමවාදී සමාජයේ පිරිමියා කෙසේ හෝ සිය පවස නිවා ගන්නට ක්‍රමයක් සොයා ගත්ත ද, ශිෂ්ට යැයි කියන සමාජ ක්‍රමය තුළ ​අසරණ වන්නේ ගැහැණිය යි. විවාහ වී දරුවන් ලැබ අවුරුදු 30-35 පසු වුණු හැටීයේ කිමෝනා හැඳ, නිවසට සිර වී සිටින ගැහැණියක දකින්නට කැමැති සමාජයක මතුපිට කෙසේ වෙතත් , සැබෑ ඇතුළාන්තය මේ ගීතයේ හැඩය ගැනීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතිනවා.

සමාජ විරෝධී ආකල්පයක් ගැබ් වුණු ගීතයක් සේ පෙනුණ ද​, නිතර දෙවේලේ ඇහෙන පුවත් වාර්තා අනුව ත්, සමාජයේ ගැවසෙන විට ලැබෙන අත්දැකීම් අනුවත් බලද්දී, සම්පූර්ණයෙන් අසත්‍යයැයි බැහැර කළ නො හැකි බවක් ද හැඟේ. අපේ සිංහල බෞද්ධ  සංස්කෘතිය තුළ බොහොමයක් කුටුම්බයන්හි ඇතුළත යථාර්තය ගීතයකට නැංවූ අවස්ථාවක්‌ ලෙස සැලැකිය හැකියි.

මුල පටන් අග දක්වා එකම පුරුෂයකු සහ ස්ත්‍රියක ගෙන් සෑහී ගත කළ ජීවිත ගැන බුද්ධ කාලීන සමාජයේ සිටි නකුල මාතා , නකුල පිතා කතාවේ දී අසා ඇත්තෙමු. “මිදිද ඇඹුල් වන ලොවක කෙසේ – දිගුකල් වසමුද රන් රස සේ” යැයි, සුනිල් ආරියරත්න පද සංකල්පනාවක් නන්දා මාලිනී මහත්මිය ගැයුවේ සැබෑ ලොව තුළ සැවොම නකුල මාතාවරු, නකුල පිතෘවරු නොවන හෙයිනි​.

ඒ අතරම​,
“සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි – සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
හඳුනන මගෙ හද ගත් කළණිය – මට නුදුරුයි සුරඟුනට වඩා”

යැයි සිය සිතැඟි වල තත්‍ය ස්වභාවය නොවලහා හෙළි කරන පෙම්වතුන්/ස්වාමි පුරුෂයන් ද නැත්තේ නොවේ. කෙසේ වෙතත්, මෙය​ බොහෝ කාන්තාවන් සැනසීම පිණිස සිහිපත් කරන​ ගීතයක් බව ද අප අමතක නො කළ යුතු ය​.

භාතිය සන්තුෂ් සින්දු කියා ගන්න බැරි කමට සාදා ගත් ආකෘතිය​ට​ වඩා මේ ගායනයේ යම් කිසි ගැම්මක් ඇහෙනවා. මෙහි ගායක​ චින්තක ගීතදේව​ උගුරෙන් හඬ නැඟෙන සේ ගායනය කරන්නේ අද හුඟක් ගායක ගයිකාවන් කරන පරිදි, ගීත ගායනයට අසමත් වීම නිසා නොව​, ඖචිත්‍යය​ සලකා බව පෙනේ. එසේ උගුරෙන් හඬ නගන්නේ ද සුදුසු අවස්ථාවේ දී, පද අර්ථය උද්දීපනය කිරීම සඳහා යි.

ඒ වගේම, එදා ගම ගැන ඇසීමට ප්‍රිය කරන අතීතකාමී ජනතාව ඉලක්ක කර ගනිමින්, වර්තමාන​යේ සංගීත​ ව්‍යාපාරිකයන් විසින් බහුලව භාවිතා කෙරෙන උපක්‍රමයක් වන, එහෙන් මෙහෙන් අහුලා ගත් ජන වහරේ පද ටිකක් ගීතයකට අමුණා, ජන ගී ආරේ ගීත යැයි හුවා දක්වන ව්‍යාජ​ “අඬහැර” වලට වඩා, යම් කිසි අදහසක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට ඇති අවංක උත්සාහයක් මේ තුළින් දැකිය හැකියි.

ගී පද​, ස්වර සහ ගායනය අතර සම්බන්ධතාවය මනා ලෙස පවත්වා ගත් ,​ ප්‍රශස්ත නිර්මාණාත්මක ප්‍රයත්නයක් ලෙස​ මා මේ ගීතය දකිනවා.

මේ නිර්මාණය තුළින් එල්ල කෙරෙන සමාජ විරෝධාකල්පය සුළුපටු එකක් නොවන බව මඟේ හැඟීම යි. සැබෑ විරෝධාකල්පය ඇත්තේ මෙවැනි නිර්මාණ තුළ නොවේ ද​?

අමා නයනාදරී සිරිවර්ධන​
08-06-2021 දින ලියූ සටහනකි.

ගීතය මෙතැනින් අසන්න​.

ටයිටැනික් නැව ගිලුණේ නෑ

ගුරුගෙදර සහ Antique කඩයක මරණයක් ​

Antique කඩයක මරණයක් වේදිකා නාට්‍යය ගැන සරලවම කෙටියෙන් කියන්නට ඇත්තේ රැඩිකල් නිර්මාණකරුවකු ගේ සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ ප්‍රබුද්ධ නාට්‍යයක් අලසකමින් බලා සිටිය බව පමණි.

අශෝක හඳගම නාට්‍යය හරහා පැවසීමට උත්සාහ කරන දෙයක් නැත්තේම නැත. ඇත්තේද නැත. කතාව හරහා ඊඩිපස් සංකීර්ණය හෙවත් විරුද්ධ ලිංගික මව හෝ පියා කෙරෙහි දරුවන්ට ඇති වෙන විශේෂිත ආකර්ෂණය ගැන සාකච්ඡා කිරීමට වෙහෙසී ඇතත්, එය නිර්මාණාත්මකව ප්‍රකාශයට පත් නොවන ස්වභාවයක් නාට්‍යය පුරාම​ කැපී පෙනේ​. ඒ වෙනුවට ලිංගිකත්වය මුඛ්‍ය තේමාව කොට ගැනීමත්, භාවාතිශය රංගනයත් හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට ගත් අසාර්ථක උත්සාහයක් පමණි. වාමවාදී කඳවුරේ බොහොමයක් නිර්මාණකරුවන් මෙන් අශෝක හඳගම ද එහි යටිපෙළෙන් කෞතුකාගාරය සහ එහි ආරක්ෂක​ නිළධාරියා හරහා උපමාරූපිකව රටේ අධිපතිවාදී දේශපාලනය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කර ඇතත් ඒ තුළින් දෙන ප්‍රබල පණිවුඩයක් නැත. ​ගැටවරයා වැඩිපුරම අතවරයට ලක්‌ වී ඇත්තේ පරිවාසය තුළදී යි. ඔහු නිසි පරිදි පුනරුත්ථාපනය වී නොමැති වීමේ ප්‍රතිඵලය, පත් වී සිටින මානසික වියවුල හේතු කොටගෙන අහිංසක තරුණියක ඔහු අතින් ඝාතනය වීමයි. සමාජයේ කුලවත් ධනවත් පවුල්වල අභ්‍යන්තර සදාචාරය විවේචනය කිරීමේ අරමුණක් ද නිර්මාණකරුට තිබූ බව ඔහුගේ පසුබිම අනුව අපට වටහා ගත හැකියි. මේවා බැලූ විට රැඩිකල් නිර්මාණයක් කිරීම ඒ තරම් අමාරු නැහැ නොවේදැයි සිතේ. ව්‍යභිචාරය, ලිංගික සූරා කෑම, දූෂණය වැනි යමක් මාතෘකා කොටගෙන, ප්‍රජනන පද්ධතියේ අවයව අමුවෙන් බෙරිහඬ දී, යටි පෙළක් ඇති බව පැවසීමට පණිවිඩයක් ද අමුණන පමණින් එය රැඩිකල් නිර්මාණයකි. ඊට වැඩි ගැඹුරක් මේ නාට්‍යයේ මට නම් දකින්නට ලැබුණේ නැත.

මෙය සම්භාව්‍ය කලාත්මක ශානරයේ නිර්මාණ ගැන විවේචනයක් නොවේ.ගැටළුව වන්නේ කතා තේමාව මට ප්‍රිය නොවීම හෝ මගේ රස වින්දන පරාසයේ නොතිබීමත් නොවේ.

Antique කඩයක මරණයක් නාට්‍යයේ සංගීතය, දෙබස්, නළු නිළියන්ගේ රංගනය, රංග වින්‍යාසය, මේ කිසිවක් සතුටුදායක මට්ටමක නොතිබිණි. කුඩාවුන් දැමූ සෙල්ලම් කඩයක වැඩිහිටියන් එහේ මෙහේ දුව යාමක් ලෙස පෙනුණා පමණි.

මේ සමඟම මට මතක් වූයේ “ගුරුගෙදර” (1993) චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය වූ පාසැලේ මුල් ගුරුවරයාගේ චරිතය ගොඩ නංවන්නේත් අසම්මත හැසිරීමක් කේන්ද්‍ර කර ගනිමිනුයි. ගම්වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ වංශවත් ගුරුගෙදරක අයියා නගෝ දෙන්නාගේ ලිංගික හැසිරීමකින් ගැබ්බර වන නැගණිය ගෙළ වැළලාගෙන දිවි නසා ගනී. දියණිය ගේ වියෝවෙන් දැඩි සේ චිත්ත පිඩාවට පත්වන මව රෝද පුටුවට වැටේ.

වැදගත් වන්නේ අවසානය දක්වාම කුතුහලය රඳවා තබා ගනිමින් මේ කතාව ගොඩ නංවන ආකාරයයි. ලේ නෑයින් අතර සිදු වෙන අසම්මත ඇසුර උලුප්පා දැමීමට වෑයම් නොකරන අධ්‍යක්ෂකවරයා කලාත්මක හැඩයකින් කතාව ඉදිරිපත් කිරීමට වග බලා ගනී. පාසැලට මුල් ඇඳුම අඳින තලතුනා වියෙහි පසුවන මුල් ගුරුවරයා ළමුන්ගේත් ගුරුවරුන්ගේත් විනය ගැන තදින් සැලකිලිමත් වෙන​, පැරැණි සම්ප්‍රදාය, සිරිත් විරිත් ගරු කරන පුද්ගලයෙකි. ඔහු නිතරම දෙඅත් සෝදයි.

තරුණ සංගීත ගුරුතුමා දේශපාලන පන්ති වලට සහභාගී වන විප්ලවවාදියෙකි. ඔහුට විදුහල්පති නොරුස්සන්නේ පන්ති පරතරය නිසා පමණක්ම නොවේ. ඔහු ගේ පමණට වැඩි සදාචාර සම්පන්න බව මේ තරුණ ගුරුවරයාට රුස්සන්නේ නැත. සංගීත ගුරුවරයා වූ සුනන්ද රාජපක්ෂ ගේ භූමිකාවට පණ පොවන ජැක්සන් ඇන්තනී සිනමාගමනය සිදු වන්නේත් ගුරුගෙදරින්.

“ඔය මිනිස්සු මොකද්දෝ අවලම් හෙළුවක් වහගන්න හදනවා” – ඔහු මෙසේ පවසන්නේ විදුහල්පති ගේ අවකල් ක්‍රියාව ගැන කිසිවක් දැන නොසිටි පසුබිමක දී යි. ඒ වෙද්දී ඔහුට ඇත්තේ විදුහල්පතිගේ ඉරියව් ගැන අනුමාන මාත්‍රයක් පමණි.

කතාව පටන් ගන්නේ සුන්දර පවුලක අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දී හිටිහැටියේම​ නොසිතූ විරූ ලෙස ඛේදාන්තයකට ඇද දමමිනි. ජනප්‍රිය කඩවසම් රංගවේදියකු (රවීන්ද්‍ර රන්දෙණිය) සහ ඔහු ගේ ප්‍රීතිමත් පවුල ගැන බලාපොරොත්තු සුණු විසුණු කරමින් කඩවසම් නළු අර්ජුන විමලධර්ම දුම්රිය අනතුරකින් හදිසියේම මියයනවා. ඔහු දක්ෂ නළුවකු පමණක් නොව, කඩවසම් රූපකාය, ප්‍රතිරූපය සහ සිවිල් බලය නිසා​ තමන්ට ආකර්ෂණය වන තරුණ නිළියන් අපයෝජනය කිරීමට බලා සිටින්නකු නොව, පවුලට දරුවන්ට ළෙන්ගතු මහත්මා ගති ඇත්තකු බව චිත්‍රපටය නරඹන්නාට දන්වනවා. අනපේක්ෂිත අනතුරින් කතාව වෙනත් මාවතක ගලා යන්නේ​ ප්‍රේක්ෂක කුතුහලයේ අඩුවක් නැතිවයි.

නාට්‍යධරයා ගේ ගේ ප්‍රිය බිරිඳ වූ අනෝජා වීරසිංහ සැමියා ගේ වියෝවෙන් පසුව වැඩිකල් ඉක්මෙන්නටත් මත්තෙන්, මුල් ගුරුවරයා ගෙන ආ යෝජනාවට කැමැත්ත පළ කරන්නේ, කඩවසම් හැම අතින්ම සම්පූර්ණ නළුවකු සමඟ දිවි ගෙවූ තමාට මුල්ගුරු ගලේබණ්ඩාර වැනි සාම්ප්‍රදායික චින්තනයකින් හෙබි, ඊට වහල්ව දිවි ගෙවන අයකු සමඟ ජීවත් වන්නේ කෙසේදැයි කිසිදු අවබෝධයක් ඇතිව නොවේ. එම ප්‍රශ්නය මතු කරන​ යෙහෙළියට ‍ඇගේ පිළිතුර​ සිය මියගිය සැමියා පසුපස පැමිණි කාන්තාවන් ගැන තොරතුරු සැමියා හරහාම දැන, ඒවා පිළිබඳව සිතින් විඳ වීම තමන්ට දරා ගත නුහුණු බව පමණකි. පසුපස හඹා එතැයි සැක කළ නොහැකි, තලතුනා තැන්පත් අයෙකු සාමාජීය ආරක්ෂාව පතා සිය දෙවන විවාහක සහකරු ලෙස ඇය තෝරා ගන්නා බව​ වචනයෙන් නොකීවද තිර පිටපත් රචකයා ඉතා දක්ෂ ලෙස සංවාදය තුළින් ඒ බව ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේෂණය කරයි.

අනෝජා ගේ දෙවන සැමියා වූ විදුහල්පති සහ ඔහු ගේ නැගණිය අතර වූ සමීප ඇසුර ප්‍රේක්ෂකයා දැනගන්නේද, එම විවාහය තුළ සම්ප්‍රදායික වත් පිළිවෙත් වලට මැදි වී ඇය ලබන ශාරීරික මානසික පීඩනය හරහා යද්දී යි. ගැටවර වියෙහි පසුවෙන ඇගේ පුත්‍රයා සහ වලව්වේ සේවකයකු ගේ කතාබහ තුළ ඒ පිළිබඳ තොරතුරු කියැවේ. නිතර අත් දෙඅත් සෝදා පිස ගැනීම යටිසිත තුළ නිදන් ගතව ඇති වරදකාරී බව හඟවන සංඥාවකි.වරදකාරී හැඟීමක් ඇති හැම විටකෙම ඔහු එම කාර්යයෙහි නිරත වේ. තහනම් දේශපාලන පක්ෂයක පන්ති වලට සහභාගී වන, තමන්ට අවනත නැති තරුණ ගුරුවරයා ගැන ඔත්තුව පොලීසියට දී සිය විවාහයට පෙර ඔහුව කොටු කරවන්නේත් මුල්ගුරු ගලේබණ්ඩාර විසිනි.

තමා ගැන ඔත්තුව පොලීසියට දුන්නේ ගලේබණ්ඩාර බව සුනන්ද රාජපක්ෂ දැන සිටින මුත්, නිදහස් වී පැමිණි පසුව ද ඔහුගෙන් පළිගැනීමට කටයුතු කරන්නේ නැත​. තරුණ ගුරුවරයා සහ අනෝජා වීරසිංහ අතරේ දැඩි මිතුදමක් පැවතිණි. එය ඒක පාර්ශ්වික ආදරයක්දැයි යන්න පැහැදිලි නොවේ. ඔහු නිදහස්ව පැමිණෙද්දී ඇය විදුහල්පතිවරයා හා නැවත දීගයක​ ගොස් හමාරය​. තරුණයා විසින් විදුහල්පති වෙඩි තබා ඝාතනය කරන්නේ තමන්ට කළ අකටයුත්තට පළිගැනීමට නොව, සිය මිතුරිය හසු වී සිටින විවාහ වධ බන්ධනය ගැන තොරතුරු සැළ වී ඉන් ඈ ගලවා ගැනීමට යි. කතාවේ මා දකින සංවේදීම තැන එතැනයි. මිතුදමට එහා ගිය හැඟීමක් නොතිබෙන්නට තමන් ගේ ජීවිතය ඒ සා විශාල ව්‍යසනයක හෙළා ගැනීමට ඉදිරිපත් වන්නේ කවුද? ​ගලේ බණ්ඩාර මරා දැමූ පසු ඔහු ද සිය දිවි හානි කර ගත්තේද යන මේ ප්‍රශ්න ඉතිරි කර තබා චිත්‍රපටය හමාර වේ.

කථා සංකල්පය සහ අධ්‍යක්ෂණය විජය ධර්ම ශ්‍රී විසින් මුත්, කථා සංකල්ප විකාශණය සහ තිර රචනය තිස්ස අබේසේකරගෙනි. නළු නිළියන් ගේ විශේෂයෙන්ම අශෝක පීරිස්, ජැක්සන් ඇන්තනී ගේ සම්මානනීය රංගනය, තිස්ස අබේසේකර ගේ ගීතවත් දෙබස්, ප්‍රේමසිරි කේමදාස සූරීන් ගේ විශිෂ්ට පසුබිම් සංගීතය, දක්ෂ වේශ නිරූපණය මේ සියල්ල නරඹන්නන්ට ලබා දෙන්නේ ආනන්දනීය සිනමා අත්දැකීමක්.

ගුරුගෙදර හොඳම චිත්‍රපටය ඇතුලු සම්මාන කිහිපයක් දිනා ගත්තේය​. එහෙත් මේ චිත්‍රපටය ලද සම්මාන මට වැදගත් නොවේ. එදා පුළුල් තිරයේ පෙන් වූ චිත්‍රපටය නරඹා අප සිනමා ශාලාවෙන් පිටතට ආවේ රසවත් සිනමාත්මක ඇත්දැකීමක් ලැබූ බවට අතිශය තෘප්තිකර හැඟීමකින්. ඒ චිත්‍රපටය සම්මාන කිහිපයකටම පාත්‍ර වීමටත් පෙරය​. නිර්මාණකරු තුළ පවතින ඉහළ කුල සම්ප්‍රදාය ප්‍රශ්න කිරීමේ අරමුණක් මේ කතාවේත් යටි පෙළ තුළින් දිස් වෙනවා. නමුත් මේවා මා හඳුනාගන්නේ සැබෑවටම රැඩිකල් කලාත්මක නිර්මාණ ලෙසිනි. මේ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වීමට අතිශයින්ම සුදුසු වූවා පමණි.

දේශපාලනික වශයෙන් වාමවාදී කඳවුර මට කවදත් ප්‍රිය නොවේ. Antique කඩයක මරණයක් වේදිකා නාට්‍යය නිර්දය විවේචනයට ලක් කරන්නේ නිර්මාණකරු ගේ පසුබිම සමඟ ඇති මතවාදීමය ගැටුම හේතුකොට ගෙන නොවන බව ද පැහැදිලි කළ යුතුය​.

නිර්මාණ විමර්ශනයේ දී නිර්මාණකරු ගේ පසුබිම සොයා බැලීමට උත්සුක වන බව ඇත්තකි. එහෙත් පසුබිම සෙවීමේ ඒකායන අරමුණ අදාළ කෘතිය නිවැරැදිව වටහා ගැනීම පමණි. ඒ හැර නිර්මාණකරු ගේ පසුබිම පදනම් කොටගෙන කෘතියේ වටිනාකම තක්සේරුවට ලක් කිරීමේ අභිප්‍රායක් මට නැත​. 1960-70 ගණන්වල සිට අද දක්වාම​ බිහි වුණු නිර්මාණ තුළ වම් ඉවුරේ දේශපාලනය පිළිඹිබු වීම ඉතා සුලබව සිදු වුණා. මාක්ස්වාදී පක්ෂ සහ සංවිධාන වලට සම්බන්ධ වූ චරිත පරමාදර්ශී චරිත හැටියට හුවා දැක්වීම ඒ කාලයේ නිර්මාණ තුළ කිසිසේත්ම විරල නොවේ. කරුණාසේන ජයලත් මහතා ගේ ‘ගැහැණු ළමයි’ නවකතාවේ නිමල් නම් පරමාදර්ශී මාක්ස්වාදී තරුණයා ඒ සඳහා එක් උදාහරණයක් පමණි. ගැහැණු ළමයි මගේ ප්‍රියතම නවකතා වලින් එකකි. නිර්මාණකරුවන් ගේ පසුබිම සැලැකිල්ලට ගෙන නිර්මාණ ප්‍රතික්ෂේප කළේ වී නම් , අගය කරන්නට දෙයක් ඉතිරි නොවන තරමට සිනමාවේදීන්, නාට්‍යවේදීන්, ගී පද රචකයින් සහ නවකතාකරුවන් ආදී අති බහුතරයක් කලාකරුවෝ වාමාංශික කඳවුර නියෝජනය කරන්නවුන් වෙති.

අනෙක් අතට​ ගුරුගෙදර චිත්‍රපටයටත් වාමාංශික දේශපාලනයේ තදබල ඡායාවක් වැටී තිබේ. සුනන්ද රජපක්ෂ ගේ චරිතය ගොඩ නැංවීම තුළ මාක්ස්වාදී කල්ලියක සමාජිකයකු උත්කර්ෂයට නැංවීමක් සිදු වෙනවා. නමුත් සුනන්ද රාජපක්ෂ 71 කැරැල්ලට වැදී සිර දඬුවම් විඳි, තවත් බිහිසුණු විප්ලවයකට අර අඳින​ ජවිපෙ සාමාජිකයෙකු බව චිත්‍රපටය නරඹන අපට නිරායාසයෙන්ම අමතක වෙනවා. ඒ අමතක කිරීම කරවන්නේ නිර්මාණය යි. ඇත්ත වශයෙන්ම වාමාංශික දේශපාලනය පිළිකුල් වීම චිත්‍රපටය රස විඳීමට මට බාධාවක් නොවේ. පන්ති භේදය හුවා දක්වන දේශපාලන මතවාදය සමඟ මට පැහැදිලි ගැටුමක් තිබුණත්, මේ චිත්‍රපටය තුළ මගේ අප්‍රසාදය එල්ල වෙන්නේ ගලේ බණ්ඩාර කෙරෙහියි. නිර්මාණයෙන් ලැබෙන රසාස්වාදය ප්‍රබල වෙද්දී එතුළින් විශද වන දේශපාලන මතවාදය අප විසින් නොසලකා හැරෙන්නේ ඉබේටමයි.

“Antique කඩයක මරණයක්” සහ “ගුරුගෙදර” යනු මාධ්‍ දෙකක, තල දෙකක නිර්මාණ හෙයින් ඒවා එකිනෙක සංසන්දනය කිරීමට නොහැකි බවට​ කෙනෙකු තර්කයක් ගෙන ආවොත් පුදුමයට පත් නොවෙමි. එකිනෙකට වෙනස් මාධ්‍ය දෙකක් බව සැබෑවකි. මේ සංසන්දනය කතාවේ පෙළ ගොඩනැංවීමේ දී නිර්මාණාත්මක විය යුතු බව සහ කලාත්මක බව රැක ගැනීමේ වැදගත්කම වටහා දීම පිණිසයි. ලිංගිකත්වය , ව්‍යභිචාරය වැනි තේමාවක් උලුප්පා දැක් වූ පමණින් නිර්මාණයක් සම්භාව්‍යත්වයට ඔසොවා තැබිය නොහැකි බව​ මතක් කර දීමටයි. එමෙන්ම එවැන්නක් තේමා කර ගත් පමණින් නිර්මාණයේ කලාත්මක බවට හානියක් සිදු නොවන​ බවත්, පිළිකුලට භාජනය විය යුතු නැති බවත් මේ හරහා පැහැදිලි විය යුතුය.

අමා නයනාදරී සිරිවර්ධන​
26.05.2024

පද​ වරදා ගැයූ ගී

වැරදියට ඇහුණු ගීත ගැන මීට පෙර කතා කළා. අද නිවාඩු දවසේ ගීතයක් ශ්‍රාවකයන් අතරට ගෙන එන ගායකයා හෝ ගායිකාව විසින්ම පද වරද්දා ගැයූවේ යැයි සිතිය හැකි ගීත කිහිපයක් ගැන කතා කරන්නට සිතුණා. එසේ පද වරද්දා ගයන්නට ඇතැයි අනුමාන මාත්‍රයෙන් එහා සිතන්නට පහත සඳහන් හේතු අතරින් එකක් හෝ කිහිපයක් හේතු විය හැකිය.

පද මාලාව දෙස විමසිල්ලෙන් බැලූ කළ, ගීයේ තාලය සහ/හෝ අර්ථය සමඟ නොපෑහීමක් හඳුනා ගත හැකි වීම.
සංකල්ප දෝෂ තිබීම.
සිංහල පද උච්චාරණ දෝෂ.
පසු පටිගත කිරීම් වල දී ගායකයා විසින් හිතාමතාම පද වෙනස් කොට ගායනය කිරීම.
පසු පටිගත කිරීම් වලදී සුලබව දකින්නට ලැබේ. කතෘ භාගය ගෙවීම් පැහැර හැරීම පිණිස පද වෙනස් කළ බවක් කියතත් ඒ ගැන අදහසක් මට නැත.

**පළමු ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් නම් කුසලතා පූර්ණ ගේය පද රචකයා විසින් ෆ්‍රෙඩී සිල්වා මහතාට ලියූ ගීතයකි. වික්ටර් රත්නායක සූරීන් ඊට මනහර රිද්ම රටාවක්‌ එකතු කරන්නේ ෆ්‍රෙඩී සිල්වා ගේ ගායන ශෛලිය හඳුනා ගෙන ඊට උචිත ලෙස, පදමලාවේ ඇති උත්ප්‍රාසයට සරිලන පරිදියි​.

“මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොන්ඩේ කඩන් හඳට අඬන්
සින්දු කියන්නේ කුණ්ඩුමනී”

දැන් ප්‍රශ්නය වන්නේ, මදටිය ගස් මිස වැල් කොහිද? එය සංකල්ප දෝෂයකි. ප්‍රේම් එතරම් දෝෂ සහගත ලෙස සංකල්ප වෙනස් කොට පද රචනා කළේ යැයි සිතීම අසීරුයි.

ගීතය පසුබිම් වන්නේ මන්නාරම් වෙරළයි. මන්නාරමේ වැල්ල “පිටි” මෙන් ඉතාමත් මෘදුය , සියුම් ය.

ආශ්‍රිත ප්‍රදේශය අනුව ඔතැනට ප්‍රේම් යෙදූවා විය හැක්කේ මදටිය වැල් නොව “කරදිය වැල්” ය.

“මන්නාරම් පිටි වැල්ලේ
කරදිය වැල් ඔංචිල්ලේ”

එවැනි පදයක් ආවා නම් මේ නිර්මාණයේ අගය මෙතෙකැයි කිව නොහැකියි.

එහෙමත් නැත්නම්, වෙරළාශ්‍රිත ප්‍රදේශවල මදටිය වැල් වලින් සාදන ඔංචිල්ලා වැනි විසිතුරු භාණ්ඩයක් තිබේද?

**ඊළඟ ගීතය :
“ටජ් මහලක් තනවන්න නැහැ මට
ඔබේ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී”

මෙය කරුණාරත්න අබේසේකර සහ සරත් දසනායක දෙදෙනා ගේ එකතුවෙන් නිර්මාණය වී, එච්. ආර් ජෝතිපාල ගේ හඬින් දැහැනට සමවැද ඇසිය හැකි රිද්මයක් හා භාව ප්‍රකාශනයක් සහිතව​ අප වෙත ආවේය.

එහි අන්තරා කොටස් තුනක් වෙයි. මේ පද දෙස බලන්න ;

සිහිකර ඔබ ගැන බවුන් වඩමි මම
අන්ධය දෙනයන බිහිරිය දෙසවන

මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන

තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහ තරු ඔබය මියෙන තුරු

දෙවන අන්තරාවේ “මිහිරිය දෙසවන” පද කොටස තාලය සමඟත්, පද අර්ථය සමඟත් ඇති කරන්නේ සියුම් ඝට්ටනයකි.

එතැනට කරු ලියූ නිවැරදි පදය “මගෙ අභිමානය” බව අසා ඇත්තෙමි. ගැටුමක් නැතිව ගීයේ තාලය ගත හැකි වන්නේත්, පදරුත් අතර සුමට ගලා යාමක් ඇති වන්නේත් එවිටයි.

“මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මගෙ අභිමානය”

**තුන්වන ගීතය සෝමපාල ලීලානන්ද පද රචනා කොට, සරත් දසනායක සංගීත නිර්මාණය කරන ලද එච්. ආර් ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක ගායක ගායිකා දෙපළ හඬින් අප අසන “පාට පොදක් තිලක ලා” ගීතය යි. දෝෂය ඇත්තේ එහි ස්ථායී කොටසේ නිසා ඒ කොටස පමණක් විමසීම ප්‍රමාණවත්. දෝෂය හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ ගීතය අවශ්‍ය නැත.

“පාට පොදක් තිලක ලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුර ලා
මුතු සිනා සල සලා නැළවි නැළවි යේ
නිවන් මහද නීල වරළියේ
ආල හැඟුම් ගවසලා යොවුන් හිනාවේ

තුටින සාළෙල රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පටින් ළමැද වසාලා
නිමා නොහැක ආල කුමරුනේ “

දෝෂය හමුවන්නේ ගායිකාව ගේ පද කොටස තුළයි.

“නිමා නොහැක ආල කුමරුනේ”. – මෙහි අර්ථය කුමක්දැයි මට නොවැටහේ. එයින් අර්ථ සම්භාධකයක් ඇති වේ.

පද රචකයා ලියා දුන් කොළයේ තිබුණු පද වරද්දා ගායනය කළා විය හැකියි. අඩුම තරමින් “නිමා නොමැත” කීවා නම් එතරම් ගැටළුවක් පැන නොනඟී.

“ආල හැඟුම් ගවසලා යොවුන් හිනාවේ
තුටින සාළෙල රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පටින් ළමැද වසාලා
නිමා නොමැත ආල කුමරුනේ “

කොහොමත් වාණිජ චිත්‍රපටයක් සඳහා නිර්මාණය වූ මෙය ශබ්ද රසය සහ සංගීත රසයක් විනා වැඩි අර්ථ රසයක් ඇති ගීයක් නොවේ.

**සිව්වන​ ගීතය ලෙස ගායකයා විසින් හිතාමතාම පද වරදා ගායනය කරන්නට ඇතැයි සිතිය හැකි එක් ගීතයක් සලකා බලන්නට කැමතියි. එය ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගේ අතිශය නිර්මාණාත්මක පද සංකල්පනාවකි. “කුළු කවි”නැතහොත් රත්නවල්ලි ජන කවියේ රිද්ම රටාව සමඟ සම්පාත වෙන තනුව සහ සංගීතය ගායක ගුණදාස කපුගේ විසිනි. මේ ගීතයේ පද මාලාව හැරුණු කොට අනෙක් විශේෂත්වය වන්නේ අසමසම හඬ පෞරුෂය සහ ජනකවියේ හැඩය නිරූපිත ලොමු දැහැ ගන්වන සුළු ගායන විලාශය යි. ගීය අවසානයේ ඇසෙන බට නළා හඬ කිසිසේත්ම මඟ හැරිය නොහැකියි. එය කතා නායකයා ගේ සිතුවිලි, චිත්තාවේග සියල්ලෙහිම සම්පිණ්ඩයකි.

මගෙ හදමඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබේ හදමඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

සිනාසිසී දෝතින් යහන සෑදූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඬන් කුමරියේ

පිළ් ගොමුවකින් පිළ් ගොමුවට ඇදුණු ලියේ
මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඬන් දේවතාවියේ

දෙවන අන්තරා කොටසේ කූට ප්‍රාප්තිය හමු වන​, “පිළ් ගොමුවකින් පිළ් ගොමුවට ඇදුණු ලියේ – මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ” පද කොටස අර්ථය හා කිසිසේත් යා නොවෙන වේග රිද්ම සංගීතයක් ද මුසු කරමින් දිවයිනේ ජනප්‍රිය​ සංගීත කණ්ඩායමක් සමඟ කරන පසු පටිගත කිරීමේ දී ගුණදාස කපුගේ එය ;

“පිළ් ගොමුවකින් පිළ් ගොමුවට ඇදුණු ලියේ
මල්වර සුවඳ රැඳි වරලස ඉනුව ලියේ”

වෙනස් කර තිබීම ඉතාමත් කණාගාටුදායක යි.

ගීතය කේන්ද්‍ර වන්නේ සමාජ සම්මතයට අනුව අසම්මත හැසිරීම් පෙන්වන සහකාරියක වටායි.

“පිළ් ගොමුවකින් පිළ් ගොමුවට ඇදුණු ලියේ” – ඇය මොණරුන් සිය පිළ් ගොමුව විදහා රඟන විට සෙබඩක් ඒ දෙස ඇදී යන්නාක් මෙන්, එක් පිරිමියකු වෙතින් නික්මෙන්නේ තවත් පිරිමියකු වෙත ඇදී යාමටයි.

“මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ” – ඇය මෙසේ පිරිමින් ඇසුරු කරන්නේ “ඉතාම සුළු” සතුටක් , ලාභයක් උදෙසා බව ඉන් ගම්‍ය වේ. චිත්‍රපට , නාට්‍ය වැනි දෘශ්‍ය කාව්‍ය වල දී කාන්තාවන් ගේ වරල මුදා හැරීම හරහා පිරිමියකු සමඟ යහන් ගත වීමට ඇගේ ඇති සූදානම සංකේතවත් වෙනවා.

පසු පටිගත කිරීමේ එන​ “මල්වර සුවඳ රැඳි වරලස ඉනුව ලියේ” යැයි ගතහොත් එයින් කියන්නේ මල්වර සුවඳ ගිලිහෙන්නටත් පෙරම (මල්වර වී වැඩි කලක් ඉක්ම යන්නට මත්තෙන්) කන්‍යාභාවය සිඳ ගත් බවකි.

ඒ පද සහ සමස්ත ගීයේ අර්ථය අතර නොගැලපීමක් හඳුනා ගත නොහැකි වුවත්, එක් අතකින් වඩාත් ත්‍රීව්‍ර වූ අරුතක් ඇත්තේ මුල් පදමාලාවේ වචන තුළයි. “පිළ් ගොමුවකින් පිළ් ගොමුවට ඇදුණු ලියේ -මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ”

අනෙක් අතට පද රචකයා ජීවතුන් අතර නැති පසුබිමක, ගායකයා විසින්ම පද වෙනස් කිරීම සදාචාරාත්මක නොවේ. මේ වරද පණ්ඩිත් අමරදේව ගේ දෙවන පටිගත කීරීම් වල දී සුලබව දැක ගත හැකියි. ඒ සඳහා උදහරණයක් වෙනම සාකාච්ඡා කිරීමට ඉඩ තබා ගන්නේ ලිපිය දිගු කිරීමට අවශ්‍ය නැති හෙයිනි.

මගෙ හද මඬල ගීතය ගැන 14.08.019 වැනි දින මා ලියූ සම්පූර්ණ විචාරය පහතින් දක්වා තබේ.

**අවසානයට අජන්තා රණසිංහ, ප්‍රේමසිරි කේමදාස​, පණ්ඩිත් අමරදේව එකතුවෙන් නිර්මාණය​ වී “හන්තානේ කඳු මුදුන සිසාරා” ගීතය සලකා බලමු.

“හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්”

අමරදේව කියන්නේ “මුදුන”නොව “මුඳුන යි. “කඳු මුදුන්” මිස “කඳු මුඳුන්” නැත.​

එය උච්චාරණ දෝෂයක් හරහා බරපතල ලෙස භාෂාව විකෘත කිරීමකි. නමුත් එය අක්ෂර වින්‍යාසය තුළ ඇති වරදක් විනා , ස්වභාවික සංසිද්ධියක් වෙනස් කිරීම වැනි සංකල්ප දෝෂයක් නොවේ. සංකල්පීය දෝෂ මෙන් නොව, උච්චාරණ, ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසයේ ඇති වැරැදි, කාව්‍ය දෝෂ ගණයෙහි ලා නොසැලැකේ. නිදසුනක් ලෙස​ ඉර අවරින් නැගෙතැයි පැවසීම සංකල්ප දෝෂයකි. සකුරා මල් පිපිලා ගීතයේ “නිදිමත නැති වී හිරු පායා ඇත උමතු වෙසින් මහ රෑ යාමේ” යැයි පැවසීම දෝෂයක් ලෙස නොගන්නේ එය තරුණියක දකින විකාර රූපී සිහිනයක් ලෙස සැලැකෙන බැවිනි.

නමුත් අපහසුවකින් තොරව​”කඳු මුදුන” යැයි පහසුවෙන් තාලය ඇල්ලිය හැකිව තිබිය දී, අමරදේව මහතා “කඳු මුඳුන” යැයි ගැයීම නොසලකා හැරිය නොහැකිය.

ගායක ගායිකාවන් විසින් පද වරදා ගයන්නට ඇතැයි සිතිය හැකි ඔබ දන්නා තවත් ගීත තිබේද​?

මෙහි සඳහන් සියලුම ගීතවල මුල් පටිගත කිරීම සහ අවැසි තැන් වල පසු පටිගත කිරීම් පහතින් දක්වා ඇත.

අමා නයනාදරී සිරිවර්ධන​
25.04.24
මෙල්බර්න් හිදීය​

මන්නාරම් පිටි වැල්ලේ
මුල් ගීතය යැයි සැලැකිය හැකි තවත් පටිගත කිරීමක් වික්ටර් රත්නායක ගීත පිටුවේ හමුවෙයි.
ටජ් මහලක්
පාට පොදක් තිලක ලා නළල් තලාවේ
මගෙ හදමඬල මල් යහනකි ප්‍රභාවතී
මගෙ හඳ මඬල පද වෙනස් කරන ලද දෙවන පටිගත කිරීම
මගෙ හද මඬල ගීතය ගැන මා ලියූ ලිපිය​ මෙතැනින් කියවන්න​
හන්තානේ කඳු මුදුන සිසාරා

Design a site like this with WordPress.com
Get started