විජය නන්දසිරි සහ ප්‍රහසන රංගනය

විජය නන්දසිරි මහතා ගේ අභාවයත් සමග ප්‍රහසන රංගනය පිළිබඳ කතා බහ අලුත් වී තිබෙනු දක්නා ලදී. කොයි කා හටත් මතක සිටින රංගන ශිල්පියෙකු වී නම්, ඒ ප්‍රහසන රංගනයේ යෙදුණු අයෙකුම වේ යැයි ද තැනෙක පවසා තිබිණි. ඒ අනුව, ‘සිංහබාහු’, ‘මනමේ’, ‘මහාසාර’, ‘තාරාවෝ ඉගිළෙති’, ‘හුණුවටයේ කතාව’, ‘කුවේණි’, ‘රත්නාවලී‘ ‘සුබ සහ යස‘ ආදී වේදිකා නාට්‍ය ගණනාවක සහ චිත්‍රපට ගණනාවක රඟ පෑ විජය නන්දසිරි අවසානයේ දී මතක සිටින්නේ ‘එතුමා‘ නිසා පමණි.

විජය නන්දසිරි මහතා පසු කාලීනව ප්‍රහසන චරිත වලට සීමා වී සිටීම බොහෝ විට ඔහුගේ තෝරා ගැනීමක් වන්නට ඇත. “අපි කලාව වෙනුවෙන් ජීවිතය කැප කළා. හරි හම්බ කර ගන්නට බැරි වුණා” යැයි පවසමින් අත පය වාරු නැතිව යන ජීවිතයේ අවසාන කාලයේ දී සිඟමන් යැදීමට සිදු වූ සහෝදර කලාකරුවන් දුටු ඔහු, ඇති හැකි අයකු ලෙසින්, තමන් ලැබූ මනුෂ්‍ය ජීවිතය සුව පහසුව ගත කරමින්, සිය දරු පවුලට ද යමක් ඉතිරි කර තබන්නට ඕනෑ යැයි යන අපේක්ෂාවෙන් යුතුව එම තෝරා ගැනීම කළා විය හැකි යි. එහි කිසිදු වරදක් මම නොදකිමි. එමෙන්ම, වේදිකාව, සිනමාව, සහ රූපවාහිනිය ඇතුළු සියලුම මාධ්‍ය දරුණු ලෙස වාණිජ්‍යකරණය වී ඇති අද වැනි යුගයක ඔහුට ඒ හැර අන් තෝරා ගැනීමක් නොතිබුණා ද විය හැකි යි.

එකල කලාකරුවන් (නම් වශයෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැත) පවතින ධාරාව අභියෝගයට ලක් කරමින්, ප්‍රේක්ෂකයා ද එම ධාරාවෙන් මුදවා ගනිමින් තමා ගේ මට්ටමට කැඳවා ගෙන එන, එසේත් නැත්නම් ඔසවා තබන ආකාරයේ නිර්මාණ බිහි කරන්නට කැප වී කටයුතු කළත්, අද බොහෝ විට සිදුවන්නේ, ප්‍රවීණ කලාකරුවන් (ඇතැම් විට එදා එසේ උඩු ගං බලා ගිය අයම) ප්‍රේක්ෂක වින්දනයේ මට්ටමට බැස නිර්මාණකරණයේ යෙදීම යි.

කෙටියෙන් පවසන්නේ නම් “රසිකයා ඉල්ලන දේ ලබා දීම යි“. එබැවින් විජය නන්දසිරි මහතා ද, “සැවොම ඇදට යනවා නම් මටත් මොකද කියා”යැයි සිතුවා වන්නට ද බැරි නැත. තිබෙන දෙයක රඟපාන්නට, ඔහුට ඇරැයුම් ගලා එන චරිත (විශේෂයෙන්ම නෝනාවරුනි මහත්වරුනි’ ටෙලි නාට්‍යයේ ඔහු කළ රංගනයෙන් පසුව ) බාර ගන්නට ඔහු ගත් තීරණයෙහි වරදක් නැත. අද වැනි වැටත් නියරත් සේරම එකතු වී ගොයම කන යුගයක දී විජය නන්දසිරි මහතාට පමණක් සිය දරු පවුල ද රැක බලා ගනිමින් ඊට එරෙහිව නැගී සිටින්නට හැකියාවක් නොමැති වීම ගැන ද පුදුම නොවෙමි.

අවංක පරමාදර්ශී පෙම්වතා ගේ චරිතයට කොටු වී සිටි විජය කුමාරණතුංග මහතා, මිය යන්නට ටික කලකට පෙර ‘කැඩපතක ඡායා‘, ‘කවුළුව‘ වැනි චිත්‍රපට වල කළ රඟපෑම් හරහා එතෙක් සිටි රාමුවෙන් පිට පැන ඕනෑම චරිතයක් තමාට සාර්ථකව කල හැකි බවට අපට කදිමට ඔප්පු කර පෙන්නුවේ ය. ඇතැම් කෙනෙකුට විජය රඟ පෑ චිත්‍රපට අතුරෙන්, ‘මිහිදුම් සිහින‘ හෝ ‘තුෂාරා‘ වැනි චිත්‍රපටයක ඔහු කළ රංගනය මතක හිටින රංගනයක් විය හැකි වන අතර, තවත් කෙනෙකු ‘කවුළුව‘, ‘කැඩපතක ඡායා‘ වැනි චිත්‍රපටයක විජය මතක හිටින රංගනයක් කළා යැයි පැවැසිය හැකි ය. රස වින්දනය යනු පුද්ගලානුබද්ධ දෙයක් වන නිසා එහි ද ගැටළුවක් නැත. එහෙත් ගැටළුව නම්, එක දිගටම බිහි වන්නේ (බහුතරය ඉල්ලා සිටින හෙයින්) ‘මිහිදුම් සිහින‘ , ‘තුෂාරා‘ වැනි චිත්‍රපට සහ ඒ අනුව අපට විජයගෙන් දකින්නට ලැබෙන්නේ ඒවායේ සන්දර්භය/ තිර පිටපත ආදියට ගැලපෙන එකම විදියේ රංගනයක් නම්, අර අනෙක් ප්‍රේක්ෂක කොට්ඨාශයට සිදු වන්නේ කුමක් ද යන්නයි? එම පිරිසට සිදු වන්නේ අතරමංව බලා සිටින්නට නොවේ ද? ඔවුන් ද පවතින රැල්ලට අනුව යමින් තිබෙන දෙයක් රස විඳින්නට සිය මනස පුරුදු පුහුණු කර ගත යුතු ද? පැරණි කලා කෘති අසමින්, නරඹමින් ඒවා යේ අපූර්වත්වය රස විඳින, එවැනි රසයක් නැවැත ඉල්ලා සිටින රසිකයන් එදා පරපුරේ පමණක් නොව අලුතෙන් බිහිවන පරපුරේ ද ඉඳහිට හෝ සිටින බව අප ප්‍රවීණ කලාකරුවන් උවමනාවෙන් ම අමතක කර තිබීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත් එක් දෙයක් ඔප්පු කර පෙන්වූ පසු විජය මිය ගියේය. ඒ ඕනෑම චරිතයක් රඟ දැක්වීමේ හැකියාව ඔහු තුළ නොමඳව පිහිටා තිබූ බව යි.

අප අතරින් වෙන් වූ ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා ගැන ද කියන්නට ඇත්තේ එය යි. නිසි අවස්ථාවන් ලැබුණේ නම්, ඒ සඳහා නිසි අනුග්‍රහය ලැබුණේ නම්, එමෙන්ම තමා තුළද ඒ සඳහා ඕනෑකම සහ කැපවීම තිබුණේ නම්, විජය නන්දසිරි මහතා ද තමාට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉටු කිරීමේ අපූර්ව ප්‍රතිභාවක් සහ පෞරුෂයක් තිබූ රංගන ශිල්පියකු බව අවිවාදිත ය. ‘එතුමා‘ එන්නට පෙර, කලා ලෝකයට පිවිසි මුල් කාලයේ දී නිරූපණය කළ චරිත තුළින් එතුමා එය අපට මනාව පෙන්වා දුන්නේය.

කුවේණි වේදිකා නාට්‍යයෙන්:

ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය​ – නවාතැනේ අම්බලමේ ඉන්නවිට…

ගී පද – දේවින්ද දිසානායක​
ගී තනු සහ සංගීතය​ – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස​
ගායනය – ටී.එම් ජයරත්න​

සිංහල ජන ගී නාද රටාවන් මුසු කරමින් දේශීය අනන්‍යතාවයක් ඇති ගී නිර්මාණය කිරීම බහුලව අනුගමනය කර ඇති ක්‍රමවේදයක් බව සිංහල ගීතාවලිය විමර්ශනය කර බැලීමේදී පෙනී යයි. එ මෙන්ම මෙම ක්‍රමවේදයේ ආරම්භය,​ සංගීතය විෂයක් ලෙස ප්‍රගුණ කළ උගතුන් අතර ස්වතන්ත්‍ර ගීත කලාවක් බිහි කර ගැනීම පිළිබඳව​ උනන්දුවක් ඇති වූ 1940 දශකය තරම් ඈතට දිව යන්නක් බව ද පෙර ලිපියක දී සාකච්ඡාවට බඳුන් කෙළෙමු.

ජනප්‍රිය ගී නිර්මාණ වන ​ ‘මහ රෑ යාමේ‘ (දයාරත්න රණතුංග සහ​ අමරා රණතුංග/මර්වින් සේනාරත්න​, දයාරත්න රණතුංග) ගීතය “කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ” ජන කවිය ඇසුරෙන් ද, ‘සරසවියේදී හෙට විතරයි හමුවන්නේ‘ (දයාරත්න රණතුංග/සිරිසමන් විජේතුංග) ගීතය “නාරිලතා සින්දුව” නමැති ජන ගීයෙහි නාද රටා ඇසුරෙන් ද , ‘පාළු පැලේ මට තනි නෑ හිමියනේ‘ (අමරා රණතුංග/අජන්තා රණසිංහ​/දයාරත්න රණතුංග​) ගීතය “යසෝදරාවත” සහ “වෙස්සන්තර කවි” රිද්ම රටා ඇසුරු කර ගනිමින් ද, ‘ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා‘ (ඩබ්ලිව්.ඩී. අමරදේව​/මහගම සේකර​) ගීතය “මල් යහන් කවි ” නාද මාලා වලින් ද​​​, ‘බිනරි සහ සුදුබණ්ඩා‘ චිත්‍රපටයටයෙහි එන ‘මාල පබළු වැල් ‘ ගීතය ( ඩබ්ලිව්.ඩී. අමරදේව සහ නන්දා මාලනී/ අජන්තා රණසිංහ/ප්‍රේමසිරි කේමදාස) “මේවර කෙළියෙහි” කවි ගායනා රිද්මය ආශ්‍රයෙන් ද​ කර ගනිමින් ද, නිර්මාණය කර තිබීම මෙයට නිදසුන් කීපයකි.

ඉහත කී අවස්ථාවන් වලදී මුල් ජන ගීතයේ නාද රටාවන් යොදා ගනිමින් තනුවේ වර්ධනය කිරීමක් සිදු කර ඇති බව හැර,  මුල් ජන ගීතය පැහැදිලිව හඳුනා ගත නොහැකිය. එහෙත්, ඇතැම් අවස්ථාවන් වල දී මුල් ජන ගී ආකෘතිය එලෙසින්ම යොදා ගත් බවක් ද​ පෙනෙන්නට තිබේ. ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගේ  “රුක් ඇත්තන මල මුදුනේ” සහ පණ්ඩිත් අමරදේවයන්ගේ “රන්වන් කරල් සැලෙයි” පිළිවෙලින්, “උකුසා වන්නම” සහ “තුරඟා වන්නම” කවි ගායනා ආකෘතිය යොදාගෙන තිබීම මේ සඳහා නිදසුන් වෙයි. ‘මුවන් පැලැස්ස 2‘ චිත්‍රපටයේ දී සරත් දසනායකයන් “නිල් වන ලන්දේ” ගීතය සඳහා තනු නිර්මාණය කිරීමේදී ‘නෙලුම් කවි‘ සහ​ ‘මේවර කවි’‘ ගායනා ආකෘතිය යොදා ගත්තා පමණක් නොව, පද රචක අචාර්ය අජන්තා රණසිංහයන් මුල් ජන ගීයේ පද ආකෘතිය ද අනුගමනය කර තිබෙනු දැකිය හැකි ය​.

මෙහි පළ කිරීමට ම විසින් තෝරා ගන්නා ලද ප්‍රේමසිරි කේමදාසයන් තනු සහ සංගීතය නිර්මාණය කළ ටී. එම්. ජයරත්න මහතා විසින් ගායනය කෙරෙන​ “නවාතැනේ අම්බලමේ” ගීතයේ ද​ සාම්ප්‍රදායික ජන සංගීතයේ ලක්ෂණ පෙනෙන්නට ඇතත්, එයට පාදක වූ ජන ගීතය පැහැදිලිව හඳුනා ගත නොහැකි ය. එහෙත් ගීතයට සවන් දීමේ දී එහි ඇතැම් යාග ශාන්තිකර්ම වල නාද රටාවන් මුසු වී ඇති බවක් පෙන්නුම් කෙරෙයි.  ගීතයේ රිද්මය සහ​ යාග ශාන්තිකර්ම වල දී බහුලව​ ඇසෙන “ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන” නම් නාද මාලාව​​ අතර පැහැදිලි සාම්‍යයක් හඳුනා ගත හැකිය​.

කේමදාසයන්ගේ ගීත නිර්මාණ ඇතුළත් ‘පහන් තරුව’ ගීත එකතුවෙහි එන මේ ගීතයෙහි පද රචනය දේවින්ද දසනායක නම් පද රචකයකු ගේ බව සඳහන් වෙයි. එය අසා හුරු පුරුදු නමක් නොවන හෙයින් ආධුනික ගී පද රචකයකු යැයි අනුමාන කරමි. එහෙත්, පද රචනාවෙහි නම් ආධුනික බවක් පෙනෙන්නට නැත.

“දෑස පියවෙතත් සිතුවිලි නොනිදාය
නාමල් සුවඳ අතිනත අරගෙන යාය
පෙම් සිහිනයේ හිත තාමත් පාවේය
පින් මදි නිසා අපි දෙතැනක තනිවේය “

මෙවැනි සරල සුමට බස් වහරක් යොදා ගනිමින් සියුම් රසයන් මතු වෙන ලෙස ගී පබැඳුමෙහි යෙදිය හැකි වන්නේ ගීත රචනය පිලිබඳ මනා අවබෝධයක් සහ භාෂාව හැසිරවීමේ යම් ශක්‍යතාවයක් ඇති අයෙකුට පමණි. යුවතියක වෙතින් නාමල් සුවඳ හමන්නේ ඇයි දැයි දැන ගන්න​ ටී.බී ඉලංගරත්නයන් ලියූ “තිලක සහ තිලකා” පොත කියවන්න​.

ජන නාද රටා ආශ්‍රය කරමින් නිර්මාණය කළ කේමදාස සංගීතය, ගීතයේ පසුබිමටත්, පද වියමින තුළ භාවිත​ ජන  වහරටත් ඓන්ද්‍රීය ලෙස​ බද්ධ වී ඇත​. ගීතය පුරා පද තුළින් මතු වන විරහා තාපය සංගීතය නිසා තවත් තීව්‍ර වී දැනේ.  මෙහි දී ද​ බටහිර සංගීත ශිල්ප ක්‍රම නො මඳව භාවිතා කර ඇතත්, ඖචිත්‍යය අනුව​ ජන නාද රටා සංකලනය කරමින්, ගීතය තුළ​ “දේශීය සළකුණ​” මැනවින් රඳවා තබා ගැනීමට කේමදාසයන් සමත් වී තිබීම මේ නිර්මාණයේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණය කි. ගුවන්විදුලිය තුළ ජන ගී සංරක්ෂණ වැඩ පිළිවෙලට සිය හඬ දායකත්වය ලබා දෙමින් ජන ගී ගායනයෙහි බුහුටිකම් පෑ ටී.එම්. ජයරත්න මහතා ගේ භාවමය ගායනය පද රචනයට සහ සංගීත සංයෝජනයට අනුපූරක වෙයි.

– අමා නයනාදරී සිරිවර්ධන​

ගී පද​:

නවාතැනේ අම්බලමේ ඉන්නවිට
ළමාතැනී නුඹ එනවා වලව්වට
කතා කරන්නට හිතුණත් පුරුද්දට
තාමත් දුකයි නුඹ මගෙ හිත රිදෙව්වට

රැළි  තියලා  ඔසරිය හැඳ ලතාවට
ඉස්සර දොහක ආවා මල් නෙළන්නට
නාමල් කඩා  දුන්නේ පින් කරන්නට
ඔය මල නෙළන්නට පෙර පින් මදිය මට

ඉහට හෙවණ  දුන්නේ පොල් අතු වහළයි
ගතට සුවය දුන්නේ දුම්බර පැදුරයි
කවට කමක් දෝ සැකයක් හිත කොඳුරයි
හිතට දුකක් දුන්නේ මට නුඹ විතරයි

දෑස පියවෙතත්  සිතුවිලි නොනිදාය
නාමල් සුවඳ අතිනත අරගෙන යාය
පෙම් සිහිනයේ හිත තාමත් පාවේය
පින් මදි නිසා අපි දෙතැනක තනිවේය

ගීතය මෙතැනින්:

ගීතයට මුසු වී ඇතැයි සැලැකිය හැකි යාග ශාන්තිකර්ම වල නාද රටාවන් සඳහා පහත යොමුවෙන් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරන්‘ වේදිකා නාට්‍යයේ 12.25 සිට සවන් දෙන්න

ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය ​- නිල් වනලන්දේ මල් මකරන්දේ …

“වරලස නිල් පැහැයෙන්ද
අඩසඳ පටු නළලින්ද
තුනඟුල් බැම සඟලින්ද
ඉඳුනිල් නෙත් දෙකිනා”

මේ මා අසා ඇති ගොයම් නෙලුමේ කවියක්. වික්ටර් – නන්දා යුවළ ගයන මේ ‘නිල් වන ලන්දේ’ ගීතය ඉහත කවියෙහි තාලය සිහිපත් කරයි. ඇත්තෙන්ම ‘නිල් වන ලන්දේ’ ගීතය තුළ අඩුම වශයෙන් සාම්ප්‍රදායික නාද රටා තුනක් මට ඇහෙනවා.

ගීතය ආරම්භ වන්නේ නාඩගම් ශෛලියෙහි එන බෙර වැයුමකින්.

“නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ
නුරා මුකුළු ලොබ උපදවනා”

මේ පද චන්ද කින්නර ජාතකය (නාඩගම) සිහි ගන්වයි. එහි තනුව, මේවර කෙළියේ කවි ගායනා තාලය ම නොවුණත් ඒ තනුවම වැඩි ලයකින් ගැයෙන බව මගේ විශ්වාසයයි.

“කොස්වතු කන්දේ කොස් කොටනා දා
වළ ගියාදෝ මගේ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා”

“කින්නර ලන්දූ දැක හද බැන්දූ – ආල මතින් මන්තොස වඩනා” පද දෙපෙලට පසුව ඇසෙන වයලීන වාදන ඛණ්ඩය තුල ප්‍රශස්ති ගැයුමක නාද රටා ඇසේ.

“වරමාති සුභ චරිතේ…”

‘ගිරි කුළු උර මඩලේන්ද’ ලෙසින් ආරම්භ වන ගීතයේ මධ්‍ය කොටස ගොයම් නෙළුමේ කවි සහ එහි තාලය හා මනා සේ සමපාත වෙයි.

“තන තන තම්දෙන තාන
තෙතන තනම් දෙන තාන
තෙයිතන තම්දෙන තාන
තෙන තම්දෙන තානා

දෙතොල එනාදළු මෙන්ද
දත් කොඳ කැකුළු ලෙසින්ද
මනහර ගෙල වට බැන්ද
රන්මාලා දිලුනේ”

අජන්තා රණසිංහයන්ගේ පද රචනයෙන් සහ සරත් දසනායකයන්ගේ සංගීත සංයෝජනයෙන් නිර්මාණය වූ මෙය ‘මුවන් පැලැස්ස 2’ චිත්‍රපටයේ එන ගීතයකි. මේ අනුව,​ ගීතය සඳහා තනු නිර්මාණය කිරීමේදී සරත් දසනායකයන් ‘නෙලුම් කවි‘ සහ​ ‘මේවර කව ‘ ගායනා ආකෘතිය යොදා ගත්තා පමණක් නොව, පද රචක අචාර්ය අජන්තා රණසිංහයන් මුල් ජන ගීයේ පද ආකෘතියද අනුගමනය කර තිබීම විශේෂත්වය කි. චිත්‍රපටයක් සඳහා නිර්මාණය වූ ගීතයක් නිසා පද රචකයා, සංගීත අධ්‍යක්ෂක වරයා සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා යන සියල්ලන්ගේ සාමුහික එකඟතාවයෙන් මේ ගීතය නිර්මාණය වූ බව සිතිය හැකි නමුත් සංගීත අධ්‍යක්ෂණයේ දී සරත් දසනායකයන් මෙහිදී පෙන්වන ප්‍රතිභාව අගය නොකරම බැරිබව මගේ අදහසයි. ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයට බටහිර waltz නර්තන සම්ප්‍රදාය තුලින් නාද රටා ගෙන ‘අමර පෙම් ලතාවේ’ ගීතය නිර්මාණය කළ ඔහු, මුවන් පැලැස්ස චිත්‍රපටයට ජන ගායනා ඇසුරෙන් කරන ලද මේ සංගීත සංයෝජනය ඔහුගේ පරාසය මැනවින් කියා පානවා.

නිල් වන ලන්දේ ගීතය තුල ඇසෙන සාම්ප්‍රදායික නාද රටා ගැන මා අදහස් පළ කරන්නේ මගේ මතකයෙන්. මගේ අදහස් දැක්වීමෙහි අඩුවක් හෝ දොසක් ඇත්නම් මා නිවැරදි කරන්න.

– අමා නයනාදරී සිරිවර්ධන –
(16.11.2013 වැනි දින ‘ගීයක වරුණ​’ සමූහයට ම විසින් තැබූ සටහන කි.)

නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ
නුරා මුකුළු ලොබ උපදවනා

කින්නර ලන්දූ දැක හද බැන්දූ
ආල මතින් මන්තොස වඩනා//

ගිරි කුළු උර මඩලේන්ද
තෙද බල නෙතු බැල්මේන්ද
නුඹ හිමි කිඳුරු සමින්ද
මට ඔබිනා

දේදුනු බැම සඟලින්ද
රෑන වලා මුහුලින්ද
දිය පිට පියුමක් මෙන්ද
නුඹ දිලෙනා

මේ වන පුෂ්ප සුගන්දේ
නේක තැවුල් හද සින්දේ
පෙම්බර කිඳුරු රජින්දේ
මගෙ සරණා

රාග හැඟුම් කළඹාලා
පියයුරු වටකුරු ලීලා
සැනහෙමු පෙම් සිතුලෝලා
වන අරණේ

නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ
නුරා මුකුළු ලොබ උපදවනා

කින්නර ලන්දූ දැක හද බැන්දූ
ආල මතින් මන්තොස වඩනා//

කින්නර ලන්දූ දැක හද බැන්දූ
ආල මතින් මන්තොස වඩනා

කින්නර ලන්දූ දැක හද බැන්දූ
ආල මතින් මන්තොස වඩනා

ගීතය මෙතැනින් අසන්න​ :

ප්‍රේමසිරි කේමදාස – ධර්මසිරි ගමගේ රස​ සංයෝගය​

රුං රුං රුං රුං මී මැස්සෝ….

ජනප්‍රිය ඉන්දියානු සිනමාවෙහි අනුකරණයක් ලෙස උපත ලබන සිංහල සිනමාවෙහි මුල් අවධියෙහි දී, සිනමා සංගීතය ලෙස පිළිගනු ලැබුවේද ජනප්‍රිය ඉන්දියානු සිනමා සංගීතයෙහි අනුකරණයකි. ඒ සිනමා සංගීත භාවිතය හුදු ගී තනු නොඉක්මවූවක් විය. මුල් ඉන්දියානු සිනමා ගී තනු තුළ යම් මධුර බවක් තිබුණි නම්, අපේ සිනමාව තුළ බලහත්කාරයෙන් එබැවූ ගී පද මාලා හේතුවෙන් එයද බොහෝ විට විනාශ විය. ගීතය භාව ප්‍රකාශනයක් වෙනුවට හුදු විචිත්‍රාංගයක් ම ලෙස යොදා ගැනුණි. අතරින් පතර සුනිල් සාන්ත, බී එස් පෙරේරා, මර්සලින් ජයකොඩි පියතුමා සහ චන්ද්‍රරත්න මානවසිංහ වැනි අය විශිෂ්ට ගණයෙහි ලා සැලැකිය හැකි සිනමා ගීත ( රේඛාව, දෛයවයෝගය ) බිහි කළත්, ප්‍රධාන ධාරාවෙහි වෙනසක් සිංහල සිනමා සංගීතයෙහි මුල් දශක පුරාවටම දැකීම දුෂ්කරය.

කේමදාසයන් උඩුගම් බලා යාත්‍රා කිරීමට සිංහල සිනමාවට එකතු වනුයේ මෙබඳු පසුබිමකය. හුදු අනුකරණයෙන් මිදුණු, ස්වතන්ත්‍ර නිර්මාණකරණයෙහි යෙදුණු ඔහු ට සිනමා සංගීතය පිළිබඳව ඒ යුගය අතික්‍රමණය කල දැක්මක් විය. සංගීතය වචන ඉක්මවන කලාවක් බව ඇදැහු ඔහු, ගීතය නම් වචන සහ සංගීතය හමු වන තැන සිදු වන භාව ප්‍රකාශනය උදෙසා ගී පද මාලාවක තිබිය යුතු දායකත්වය මැනවින් හැඳිනීය. ගී පද රචනා ඔහුට අවැසි තැනට රැගෙන ඒමට ගී පද රචකයන් මෙහෙයවීමට ඔහු කිසිවිටෙක පසු බට නොවිණි. කේමදාසයන්ගේ දුෂ්කර ගමනෙහි සහයට මෙන්, ස්වතන්ත්‍ර පිරිසුදු සිංහල ගී පද රචනා කලාවෙහි පුරෝගාමීන් වන මානවසිංහයන්, ජයකොඩි පියතුමන්, හියුබත් දිසානායකයන්, අරිසෙන් අහුබුදුවන් පසු පසින් ආ ඉමහත් නිර්මාණශීලීත්වයක් කැටි කරගත් තරුණ ගී පද රචකයකු ඔහුට මුණ ගැසෙයි. ඒ සිංහල සිනමා සංගීතය නව මගකට යොමු කළ ‘සැනසුම කොතැනද’ චිත්‍රපටය (1966) වෙනුවෙන් “සුළං කුරුල්ලෝ” (ඇන්ජලින් ලැනරෝල් / හරූන් ලන්ත්‍රා) සහ “ආදරයේ රන් විමනේ” (ලතා වල්පොල) ගීත රචනා කළ​ ධම්සිරි ගමගේ සූරීන්ය.

සිනමාව තුළ ඔවුන් දෙදෙනා පළමු වරට මුණ ගැසෙනුයේ ‘සැනසුම කොතැනද’ හරහා වුව ද, මේ දෙපොළගේ සංයෝගයෙහි ඇරඹුම කේමදාසයන් ගේ ‘නව රැල්ල’ (1963) ගීත නාටකයයි. ‘නව රැල්ල’ සඳහා ගීත රචනය ධර්මසිරි ගමගේ සූරීන් අතින් සිදු විය. ඒ හරහා සරල, සුගායනීය වදන් හරහා ගැඹුරු ප්‍රකාශනය ට ධර්මසිරි ගමගේ සුරීන් තුළ වූ මනා හැකියාව කේමදාසයන් හඳුනා ගන්නට ඇත. මෙසේ ඇරැඹෙන කේමදාස – ගමගේ සංයෝගය සිංහල සිනමාව තුළ එතෙක් මෙතෙක් බිහිවූ මිහිරිතම මෙන්ම අරුත්බර ගීත රැසක් බිහි කරමින් දශක කිහිපයක් ඉදිරියට ඇදෙනු දැකිය හැක.

“කුරුළු රෑන් රෑන්” (ලතා වල්පොල සහ පිරිස – ‘කපටිකම’ ,1966), “රෑන ගිරා ජෝඩුවයි” (ඩබ්ලිව්. ඩී. අමරදේව/ නන්දා මාලිනී – ‘රෑන ගිරව්’,1967), “මහගිරි අරණේ මේ දිවි උයනේ” (නන්දා මාලිනී – ‘හන්තානේ කතාව ‘,1969), “රන්කෙන්දෙන් රනින් සැදූ” ( මල්ලිකා කහවිට /ඇන්ජලින් ගුණතිලක – ‘රන් ඔන්චිල්ලා’ ,1971), “සීත මෝසම් ගීත නාදෙන්” (එච්. ආර්. ජෝතිපාල – ‘ජනක සහ මංජු’ , 1978) , “ආදර මල් පවනේ” (එච්. ආර්. ජෝතිපාල/ලතා වල්පොල – ‘දුලීකා’, 1974) සහ “සඳ පෙම් යහනින් පායා වී” (සනත් නන්දසිරි/ලතා වල්පොල – “වසන්තයේ දවසක්” -1979) වැනි ගීත මේ දෙදෙනාගේ සංයෝගයෙන් අපට තිලිණ වූ අදද ජනප්‍රියත්වය එකසේ රැඳී පවත්නා ගීත ලෙස සඳහන් කළ හැක. මෙතෙක් සිංහල ගීත සාහිත්‍යයේ බිහිවූ විශිෂ්ඨතම මව්ගුණ ගීතයක් ලෙස සැලැකිය හැකි නන්දා මාලිනී ගායනා කරන “අම්මාවරුනේ” (‘යස ඉසුරු’ -1982) සහ විශිෂ්ඨතම පියගුණ ගීතයක් ලෙස සැලැකිය හැකි පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන “දරු දුක උහුලා” (‘පූජා’- 1986) මෙම එකතුවේ තවත් මහඟු ඵලයන් වෙයි. කේමදාසයන්ගේ “නව රැල්ල” සඳහා ධර්මසිරි ගමගේ සූරීන් ගීත රචනය කර දශක දෙකකට පමණ පසුව, ධර්මසිරි ගමගේ සූරින්ගේ අධ්‍යක්ෂයණයෙන් බිහි වුණු ‘යස ඉසුරු’ ,සහ ‘පූජා’ සඳහා සංගීතය කේමදාසයන් අතින් නිමැවීම , මේ දෙදෙනා තුළ එකිනෙකා පිලිබඳ වූ විශ්වාසය අපට පෙන්වා දෙයි.

නිර්මාණකරණයෙහි දී අතිශය සියුම් මෙන්ම ගැඹුරු තැන් ස්පර්ශ කිරීමට මොවුන් දෙදෙනා සතුව අපරිමාණ පරිචයක් තිබුණද, නිර්මාණයකට ඇවැසි ලෙස තම භාවිතය ශික්ෂණයක් සහිතව නම්‍යශීලීව හැසීරවීම ට ඔවුන් තුළ වූ හැකියාවද මේ සංයෝගය තුළ දැකිය හැක. ‘ලසඳා’ (1974) චිත්‍රපටියෙහි එන,“මා ප්‍රාර්ථනා ආසාවෝ“ (එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක ) සහ “ගෙදර හිටිය රෝස කැකුළ” (එච්. ආර්. ජෝතිපාල / එම්.එස්. ප්‍රනාන්දු) ගී ද්විත්වයෙහිද, ‘ජනක සහ මංජු’,(1978) චිත්‍රපටියෙහි එන “ලෝකේ ජීවත් වන්නට” ( ක්ලැරැන්ස් විජේවර්ධන / ලතා වල්පොල) , “සුවඳක් දැනේවි හදේහි” (ක්ලැරැන්ස් විජේවර්ධන) සහ “සීත මෝසම් ගීත නාදෙන්” ( එච්. ආර්. ජෝතිපාල ) ගී ත්‍රිත්වයෙහිද ඇති විවිධත්වය මේ බැව් සනාත කරයි.

කේමදාස – ගමගේ සංයෝගය සංකේතවත් කරවීමට නිර්මාණ රැසක් අතුරින් මේ තේරීම නිරතුරුව අපට නෑසෙන වික්ටර් රත්නායක සහ නන්දා මාලිනී විසින් ‘මී මැස්සෝ’ (1969) චිත්‍රපටයට ගායනා කරන “රුං රුං රුං රුං මී මැස්සෝ” ගීතය යි. ශෘංගාරාත්මක අරුතක් සෞන්දර්යයාත්මක ලෙස, සංයමයකින් යුතුව කැටිකොට පද රචනය කෙරී ඇති අන්දමත්, ඊටම සබැඳි තනුව සහ සංගීතයත් විඳිමු.

– අමා නයනාදරී සිරිවර්ධන –

රුං රුං රුං රුං මී මැස්සෝ
පෙම් මල් රොන් බොන මී මැස්සෝ
පියුම් විලයි පිපී වැනෙන මල් යහනාවයි
මී මැස්සන් පැද්දෙන පෙම් ඔංචිල්ලාවයි

රුවට රුවක් දුටු තැන රුව අතහැර යාදෝ
හඬට හඬක් දී රුං රුං හඬ නැගුවාදෝ
තොලට තොලක් ගෑවී පෙම් මී බීවාදෝ
මලට මලක් දුටු තැන මල අමතක වේදෝ

කපුරු මලේ සුවඳට බඹරෙකු රැවටේදෝ
ලියතඹරා මළ පුඩුවට ඌ හසුවේදෝ
වනන්තරේ වන සපුමල් නොපිපී යාදෝ
මී මැස්සෝ පෙම් මී වදයක් නොබඳී දෝ

ගීතය මෙතැනින්:

(මේ 11.12.2014 වැනි දින පැරැණි සිංහල ගී රසික හවුල සමූහයේ පළ කරන ලද සටහන කි.)

නන්නාඳුනන සොල්දාදුවා ගේ සොහොන්ගෙය​ – Tomb of the Unknown Soldier

ක්‍රියාන්විතයේ  දී මිය යන සොල්දාදුවන් ගේ දේහයන් හඳුනාගත නොහැකි වීම යුද්ධයක දී අත් දකින්නට සිදු වන ඉතාමත් ම ඛේදනීය සිදුවීම් වලින් එකකි. යුද මෙහෙයුම් වල දී සොල්දාදුවන් ගේ හඳුනා නො ගත්  මළ සිරුරු වලට ගෞරව කිරිමේ අදහස මුලින්ම ඉදිරිපත් වුණේ 1920 දී, මහා බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍යය​ අනුව යමින් 1921 දී, හඳුනා නොගත්‍ ඇමෙරිකානු හමුදා භටයකු ගේ සිරුර සිය රට​ ගෙනැවිත් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව භූමදානය කිරීමට ඇමෙරිකානු කොංග්‍රසයේ යෝජනාවක් සම්මත වුණි. Arlington සුසාන ​භූමියේ එළිමහන් රංගාවාටය අසල ඉදිකිරීමට නියමිතව තිබූ සොහොන් ගෙය තුළ මේ නාඳුනන සොල්දාදුවා ගේ  දේහය තැන්පත් කිරීම හා සබැඳි සම්පූර්ණ විස්තරය පහත යොමුවෙන් කියවන්න​. අනතුරුව​, 1958 දී දෙවන ලෝක යුද්ධයෙන් සහ කොරියානු යුද්ධයේ දී මියගිය සොල්දාදුවන් ගේ සිරුරුද සොහොන්ගෙයි  ස්මාරකය අසල භූමදානය කිරීමට කටයුතු කෙරුණි.

නාඳුනන සොල්දාදුවා ගේ සොහොන්ගෙය​ සම්බන්ධයෙන් වඩාත් සිත් ගන්නා සුළු මෙන් ම වැදගත්ම කාරණය වන්නේ මුරභටයකු විසින් සොහොන්ගෙය ඉදිරිපිට​ දිවා රෑ දෙකෙ හි රැකවලෙහි යෙදී සිටීම යි. 1948 වර්ෂයේ අප්‍රේල් මස 6 වැනි දා සිට​  මේ රැකවල් කිරීම වසරේ​ දින​ 365 දීම පැය 24 ක් පුරා හිතකර හෝ අහිතකර ඕනෑම දේශගුණික​ තත්ත්වයන් යටතේ දී නොකඩවා ක්‍රියාත්මක වේ. සීත සෘතුවේ දී සෑම​ පැයකටම වරක් බැගින් සහ​, වසන්ත සෘතුවේ දී සෑම​ පැය භාගයකටම වරක් බැගින් රැකවලෙ හි යෙදී සිටින මුර භටයා මාරු වීම උත්සවාකාරයෙන් පැවැත්වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ම​ චාරිත්‍රය කි.

සුසාන භූමිය නැරඹීමට ගිය මට මෙකී චාරිත්‍රය දෙස බලා සිටිද්දී සිහිපත් වූයේ අපේ රටේ යුද සෙබළුන්ට අත් වන ඉරණම ගැන යි. අද වන විට ඔවුන් ගේ ඉරණම අතිශයින් දුක්ඛදායක මට්ටමට වැටී තිබෙනු බලා සිටිය නො හැකි තරම් වේ.  එදා මෙදා තුර ඇමෙරිකාවේ කොතෙකුත් ආණ්ඩු වෙනස් වුව ද​, යුද සෙබළුන්ට ගෞරව කෙරෙන සියලුම චාරිත්‍ර විධි එක සේ නො වෙනස්ව එදා මෙන් ම අද ද​ පවත්වා ගෙන එයි. ආණ්ඩු මාරු වෙද්දී  යුද විරුවන් ද්වේෂ සහගත ලෙස මිනීමරුවන් බවට පත් වන්නේ නැත​​. බටහිර සියලුම සිරිත් විරිත් අනුගමනය කරන්නට බලා සිටින අපේ රටේ රැඩිකල් මතධාරීන්ට​ මේවා නො පෙනෙන්නේ මන්ද​?  මෙවැනි සිරිත් විරිත් වල දී පමණක් ඔවුන් බටහිර වැසියන් අනුගමනය කරන්නට නොසිතන්නේ ඇයි? ඒ ඔවුන් ඇමෙරිකානුවන්ටත් වඩා නිදහස් චින්තකයන් නිසා ද නැත්නම් ඔවුන් ගේ නිදහස් චින්තනය එක් පැත්තකට පමණක් බර වූවක් නිසා ද​?

රැකවලෙ හි යෙදී සිටින සිටින මුරභටයා මාරු වීමේ චාරිත්‍රය මෙතැනින් නරඹන්න:​

නාඳුනන සොල්දාදුවා ගේ සොහොන්ගෙය ඉදිකිරීම හා සබැඳි කතා පුවතට මෙතැනින් සවන් දෙන්න​:

මේ භවයෙදි මුළු දිය දායේ

මේ ගීතය, කරුණාරත්න අබේසේකරයන් මගේ ප්‍රියතම ගී පද රචකයන් අතරට පැමිණීමට ප්‍රබල සාධකයක් බව මට සිතේ. ගීතයේ මුල් පද පේළි හතර තුළම සමස්ථ කතාවම කැටි කොට තිබෙන බව පෙනේ. මේ පද කිහිපයෙන් කියැවෙන්නේ, වචන දහසකින්වත් කියා නිම කළ නොහෙන කතාවක්. මට අදහාගත නොහැකි ඔහුගේ ප්‍රතිභාව මෙයයි.

” මේ භවයෙදි මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ”

ඉතිරි පද ඇත්තේ පැහැදිලි කිරීමකට පමණි.

“ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
අවසන මුල වෙයි ළතැවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුණත් ඇත කරදිය රැල්ලේ ”

මහා සයුරෙන් නිවාගන්නට පතන පවසට සහනයක් නැත. එහෙත් වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් කරදිය රැල්ලට තෙමී වත් සෑහිමට පත්විය හැකිව තිබුණි. ගීතයේ ඇති උත්කර්ශවත් අවස්ථාව මෙයයි. කරූ මෙහිදී ‘මුහුදු රැල්ල’ වෙනුවට ‘කරදිය රැල්ල’ යන යෙදුම ගන්නේ ඇයි ? රිද්මය රැකීම පිණිසද ? ධ්වනිතාර්ථය වෙනුවෙන්ද ? එකම රැල්ල වුවත් ‘මුහුද’ යන පදය සුමුදු බවක් හඟවයි. ‘කරදිය’ යන පදය දෙසවන ගැටී ඝර්ෂණයක් දනවයි.

“සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පස රළ ලුහුබඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
පැතුම් සඳුන් හද ගලෙහි උලා ”

සමස්ත ගීතය දෙස විමැසුම් ඇසීමෙන් බැලීමේ දී පෙනී යන්නේ කතා නායකයා “ඔබ​” යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ලෝකයා විසින් මහත් පිළිගැනීමකට ලක් වන තත්ත්වයේ සිටින තැනැත්තියකට බව යි.එහෙත්, ඔහුට අවශ්‍ය දේ එතැන තිබී නැත​. හැඟීම් දැනීම් යන සංවේදනාවන් ඇති සිතකට කරදිය රැල්ලකින් සෑහීමකට පත් වී සිටිය නො හැකිය​.

පැතුම් සඳුන් හද ගලෙහි උලා” ; මෙවැනි යෙදුම් මා මවිතයට පත් කරයි. එය පැහැදිලි කරන්නට යාමෙන් රස වින්දනයට බාධා විය හැකි නිසා ඔබටම විඳ ගැනීමට ඉඩ තබමි.

නාරද දිසාසේකරයන් ගායනා කර ඇති ගීත සංඛ්‍යාත්මකව අඩුය. නමුත් ඒ හැම ගීතයක්ම ගුණාත්මක භාවයෙන් ඉහළ තලයක ඇති බව මගේ හැඟීමයි.

තනුව සහ සංගීතය – නාරද දිසාසේකර

-අමා නයනාදරී සිරිවර්ධන​-
(19.06.2015 වැනි දින පැරැණි සිංහල ගී රසික හවුල සමූහයට තැබූ සටහන කි.)

ගීතය අසන්න, විඳින්න:

ප​.ලි: මේ අර්ථ දැක්වීම මේ ආකාරයෙන් ම මා පාසැල් යන කාලයේ දී මගේ ඥාති සහෝදර සහෝදරියන්ටත්, යහළු යෙහෙළියන්ට ත් පහදා දෙන අයුරු මගේ මතකයේ ඉතා සුන්දර අත්දැකීමක් ලෙස​ තැන්පත්ව ඇත.​

මානවසිංහ නම් ගේය පද රචකයා

අපේ උරුමය, අදීනත්වය සොයා යන ගමන
සිළුමිණ – 2016 ජුලි මස 31 වැනි දා

මානවසිංහ ගී මග වර්ණවත් වන්නේ 1950 වසරේදී අමරදේවයන්ගේ සොඳුරු හමුවීමෙනි. උග්‍ර සම සමාජ පාක්ෂිකයකු වූ හෙන්රි පීරිස්ගේ ‘දුගී නාදය’ නමැති නාටකයෙහි ගීත රචනා කිරීමට මොරටුව කොරලවැල්ලට ගිය මානවසිංහයන්ට එහි සංගීතය සපයන්නට පැමිණි ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා මුණ ගැසේ. මේ සුසංයෝගයෙන් සිංහල ගීත කලාවට වැටුණු ආලෝක ධාරාව අද ද පරාවර්තනය වෙමින් දීප්තිය විහිදුවයි.

සිංහල ගීත සාහිත්‍ය සුපෝෂණය කළ ගේය පද රචකයන් අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. හින්දි සහ දමිළ ගී තනුවලට වචන පිරිද්දීම බහුල ව සිදු කෙරෙන අවදියේදී ගීත රචනයට ප්‍රවිෂ්ට වූ ඔහු එමඟින් බැහැර ව සාධනීය ගමනකට ප්‍රාරම්භක වූවන් අතර පෙරමුණේ හිඳී. කුඩා අවදියේ සිට ම ප්‍රගුණ කොට මහඟු ඵල නෙළා ගත් කවිකම සේම ආගම දහමට සහ සොබාදහමට දැක්වූ හිතෛෂීකම ඔහුට ඒ සඳහා මහෝපකාරී වන්නට ඇත.

එමතු ද නොව පාලි සංස්කෘත ඇතුළු භාෂා ගණනාවක හසළ දැනුම, ජ්‍යොතිෂය, නක්ෂත්‍ර මෙන්ම හදිහූනියම් පිළිබඳ ව පවා ඔහු තුළ වූ අවබෝධය අතිමහත් ය. ලංකාදීප පත්‍රයේ වගතුග තීරු ලිපි රචකයා ලෙස කීර්තිමත් නමක් දිනා සිටි මානවසිංහයන් ගීත රචනයට එළඹුණේ රට පිළිගත් ප්‍රාමාණික උගතකු ලෙසිනි.

ජනප්‍රිය හින්දි හෝ දෙමළ තනුවක් ගෙන මොනවා හෝ වචන පෙළක් ඒ හා සැස‍ඳෙන පරිදි භාවිත කිරීම සුලබ වූ නිසාම බුදුගුණ මවුපිය ගුණ ආදී ගීතවලත් ප්‍රේම ගීතවලත් වෙන් වෙන්ව භාවිත වූයේ එක ම වචන මාලාවකි. තනුවට අවශ්‍ය පරිදි ගීත රචනය කිරීමෙන් අරුත යටපත් වී ශබ්දය ඉස්මතු වීම දක්නට ලැබුණි.

මානවසිංහයන් ලංකාදීපයේ සේවය කරන විට ලංකාදීප, වනිතා විත්ති සහ රසවාහිනී යන පත්‍ර සඟරාවලත් ඊට පරිබාහිර ව ප්‍රකාශයට පත් කරන ලද විවිධ වාර ප්‍රකාශනවලත් කව් සහ ගී නිර්මාණය කර පළ කිරීම නිසා කිසියම් ජනප්‍රසාදයක් උපයාගෙන තිබිණි. ඒ නිසාම ගීත රචනය සඳහා ආරාධනා ලැබීමට ඔහු සුදුසුකම් සපුරා සිටියේ ය. මානවසිංහයන්ගේ මුල් ම ගී පද රචනා ගායනා කළේ කිංස්ලි ජයසේකර විසිනි.

ග්‍රැමපෝන් තැටියක් සඳහා කිංස්ලි වෙනුවෙන් රචනා කළ මුල් ම ගීත දෙක මානවසිංහයන්ට ලියන්නට සිදු වූයේ හින්දි තනු අනුව ය.

“නමව් නමව් සමාදරෙන්” සහ “කෝමල තාලෙන්” ඒ ගී දෙකයි.

1955 නිදහස් උලෙළ සඳහා රුක්මණී දේවිය ගායනා කළ “දල්වවු බැති ආදර පෙම්” ගීය ද හින්දි තනුවක් අනුව ලියූ මානවසිංහ රචනයකි.

මේ ‘වචන දැමීම’ නොඉවසූ මානවසිංහයන්ට අද්භූත ආගන්තුකයකු හමු විය. ඔහු, භාරතයට ගොස් පෙරළා සිය රට පැමිණ නව ගී ආරක් සඳහා පියවිලි එලූ ආනන්ද සමරකෝනුවන් ය. ඔහුගෙන් ලද ආභාසය තමන්ට බෙහෙවින් ම ඉවහල් වූ බව අප ගීත රචකයා කෘතවේදී ව සඳහන් කළේ “සමරකෝන් අවමංගල්‍යය” වෙනුවෙන් ලියූ ලිපියක ය.

ආනන්ද සමරකෝන් ජන ජීවිතය රසවත් කළ කවියෙකි. සංගීතවේදියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ඔහු අපට ඉදිරිපිටින් සිට අපට පාර කැපූවෙකි. සැබෑ වචනයේ යථාර්ථය හැටියට මේ ලියන වගතුග ලියුම්කරුට වුවද සෞන්දර්ය රසාකරයෙන් මහඟු පබැදුම් සෙවීමට සිත මෙහෙයවන අවස්ථාව සැලසුණේ සමරකෝන් ගීයෙන් බව පැවසිය යුතු ය.” (මානවසිංහ සාහිත්‍යය)

සීමාසහිත වචන කිහිපයකින් තම කාර්යය ඉටුකළ හැකි නිසා භාෂා දැනුමක්වත්, පර තනුවකට වදන් අමුණන නිසා විරිත් පිළිබඳ අවබෝධයක්වත් එකල බොහෝ ගීත රචකයනට අවශ්‍ය වූයේ නැත. එහෙත් මානවසිංහයන් ඉහත කාරණා දෙකෙහිම පාරප්‍රාප්තව සිටි බැවින් ගලායන අතට නොව උඩුගම් බලා යාමට උත්සුක විය. ඔහු සතු සංස්කෘත භාෂා දැනුම ස්වතන්ත්‍ර ගී රචනා සඳහා භාවිත කළේ නිර්ලෝභී ව ය.

කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භ මිව පීත පයෝධර පූර්කාමෘත ධාරා

සරස්වතී ගීතය – අමරදේව

පංකජනයනී – කෝමල පාණී
වීණාධාරී – රංග තරංගී
ජීවනයේ මධුපාණී
සුරකුල රාණී – මනෝ මෝහිණී
කනක කිංකිණී – පාද ජාලිනී
භගවති භාරති දේවි

සරස්වතී ගීතය – පී. වී. නන්දසිරි

මානවසිංහ ගී මග වර්ණවත් වන්නේ 1950 වසරේදී අමරදේවයන්ගේ සොඳුරු හමුවීමෙනි. උග්‍ර සම සමාජ පාක්ෂිකයකු වූ හෙන්රි පීරිස්ගේ ‘දුගී නාදය’ නමැති නාටකයෙහි ගීත රචනා කිරීමට මොරටුව කොරලවැල්ලට ගිය මානවසිංහයන්ට එහි සංගීතය සපයන්නට පැමිණි ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා මුණ ගැසේ. මේ සුසංයෝගයෙන් සිංහල ගීත කලාවට වැටුණු ආලෝක ධාරාව අද ද පරාවර්තනය වෙමින් දීප්තිය විහිදුවයි.

සැබෑ නිර්මාණකරුවකුට සොබා දහමින් ඈත්ව කටයුතු කළ නොහැකි බව ප්‍රාරම්භක අවදියේ ම සනාථ කළ ගේය පද රචකයා මානවසිංහයන් ය. පණ්ඩිතමානී විදග්ධ භාෂාව උපයෝගී කර ගනිමින් ගී ලියූ ඔහු ගැමි ගීත කලාවට යොමු වන්නේ ඒ කිසිත් නොදත් අමුම අමු ගැමියකු ලෙසිනි. එහිදී ඔහුගේ වදන් මාලාව සේම ඇසුරු කරගත් විරිත ද අතිශයින්ම සරල ය. කුඩා දරුවකුට වුවද ඉතා පහසුවෙන් මතකයේ රඳවා ගත හැකිය.

අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මං ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි
අල්ලල දෙන්නම්
පඳුරු අස්සෙ කුරුල්ලන්ට
ඔමරි කරනවා විතරයි
සිළිදු ඉතින් දර කැඩුව ද මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට
අල්ලල දෙන්නම්

එස්. කරුණාදාස සහ සහාය ගායිකාව

බුදු ගුණ ගීත රචනයේදී මානවසිංහයන් වදන් හැසිරවූයේ භක්තිය සහ ශාන්ත බව දනවන අයුරිනි. සංගීතය ගැඹුරින් හදාරා නැතත් ඔහුට විවිධ රාග පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබුණි.

කවි සමයේ එන ඉපැරැණි විරිත් භාවිත කළ හැකි සේම නානාවිධ විරිත් උපද්දා ගත හැකිය යන්න ඔහු පසක් කරගෙන සිටියේ ය. ඒ නිසාම ඔහුගේ රචනා ශෛලීන් එකිනෙකට වෙනස් විය. මහබෝ වන්නම ගැන ඔහුගේ පහත සටහන විමසා බලන්න.

“කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වන මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැලිවලින් වෙලී ගිය බෝ ගසක නැටවෙන කොල දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමඟ වෙලී ගියේය. මේ ලතාව ඉබේටම වාගේ තන තන තනෙන – තන තන තනෙනා – තානෙන තන තනෙනා… ලෙසින් මගේ මුවට නැගෙනවාත් සමඟම ඒ අතිරමණීය ප්‍රභාමත් ප්‍රභාතයේ නේරංජනා නදී තීරයේ බෝ රුක් සෙවණේ සව්නේ ගෙවා දැන පහන් වී ගිය මුහුණින් යුතුව ශාන්ත සමාධි සුවයෙන් වැඩසිටි ශාක්‍ය සිංහයන් වහන්සේගේ විලාසයත් ඉන් පසු කලෙක සඟමිත් මෙහෙණිය විසින් සිරිමා බෝ දකුණු ශාඛාව හෙළදිවට ගෙන ආ දිනයේ එහි බෝපත් නමා ගිය සැටිත් මගේ මනසෙහි ඇඳී ගියේය.

– කෝමල රේඛා

මානවසිංහයන්ගේ චිත්‍රපට ගීත කලාව ද සුවිශේෂ ය. ලංකාදීපයේ සේවය කළ ජයතිස්ස හේරත් විසින් ඔහු කැඳවාගෙන ගියේ දෛවයෝගය චිත්‍රපටයේ ගීත ලියන්නට ය.

මේ නවක චිත්‍රපට පසුබිම් ගීත රචකයා ඒ චිත්‍රපටයට ලියූ ගීත හතර ම අතිශයින් ම ජනප්‍රියත්වයට පත් විය.

ජීවිත ගමනේ දෛවයෝගේ – මොහිදින් බෙග්
ආදරියේ රුචිරාණනියේ – මොහිදින් බෙග්
හද​ ගිලෙයි අමමිහිරේ – බෙග් සහ රුක්මණී
දොයි දොයිය පුතා දොයි දොයි – රුක්මණි

ඉනික්බිතිව රන්මුතුදුව චිත්‍රපටය සඳහා ලියූ ගීත තුන අදටත් ජනප්‍රියත්වයෙන් අඩුවක් නැත.

පාරමිතා බල – අමරදේව
ගලන ගඟකි – නාරද සහ නන්දා මාලිනි
පිපි පිපී රේණු නටන – නාරද දිසාසේකර සහ පිරිස

මෙම චිත්‍රපටයේ ගීත රචනය උදෙසා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පවත්වන ලද ප්‍රථම සරසවි සම්මාන උලෙළේ සම්මාන හිමි වූයේ මානවසිංහයන්ටය . ඉන්පසු ඔහු ලා දලු, සැපත සොයා සීතල වතුර, සිකුරු තරුව ආදි චිත්‍රපට ගණනාවකට ගීත රචනයෙන් දායක විය.

ගුවන්විදුලි ගීත, ග්‍රැමෆෝන් ගීත සහ චිත්‍රපට ගීත රචනා කළ ඔහුගේ ප්‍රතිභාව ඉහළින් ඔසවා තබන්නේ ගුවන් විදුලි ගීත නාටකයි. මනෝහාරි උල්පත සීතාවක රනගුරු ශ්‍රී වල්ලි සේනානායක විරායණය ආදි ගීත නාටක 15ක් පමණ ඔහු ගුවන්විදුලියට රචනා කළේ ය.

හින්දු දේව කතා, ඓතිහාසික කතා මිථ්‍යා කතා කවි කල්පිත ඇසුරෙන් ඔහු ගීත නාටක රචනා කළ අතර ඒ සියල්ල අතිශයින්ම ජනාදරයට පාත්‍ර විය. ගීත නාටක ලෙස සහ එහි ඇතුළත් ගීත වෙන් වෙන්ම ගෙන රස විඳින්නට රසිකයෝ උනන්දු වූහ. ‘උල්පත’ ගීත නාටකයේ එන ‘ප්‍රේම තටාකේ මේකයි මැණිකේ’ ගීතය එවැන්නකි.

ගුවන්විදුලි පළමු ගීත නාටකය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ මානවසිංහයන්ට ය. නිෂ්පාදක තේවිස් ගුරුගේ සහ සංගීත අධ්‍යක්ෂ ඩන්ස්ටන් ද සිල්වා සෙසු පාර්ශ්වකරුවෝ වූහ.

මානවසිංහයන් ඉනික්බිතිව යොමු වන්නේ මුද්‍රා නාට්‍ය සඳහා ගීත නිර්මාණයටයි. ඒ අභියෝගය ඉතා පහසුවෙන් ජය ගත් ඔහු වසන්ත කුමාර, බැසිල් මිහිරිපැන්න, ප්‍රේමකුමාර එපිටවෙල, කාලිංග ඔබේවංශ ආදි නර්තන ශිල්පීන්ගේ මුද්‍රා නාට්‍යවලට සිය නිර්මාණ දායකත්වය ලබා දුන්නේ ය.

ඉතා කෙටි කලක් තුළ ගේය පද රචකයකු ලෙස ඉහළ ම සමත්කම් දැක්වූ මානවසිංහයන් විශේෂ අවස්ථා සඳහා ලියූ ගී ප්‍රමාණය ද සුලුපටු නැත. බුද්ධ ජයන්තිය, වෙසක්, පොසොන්, ඇසල ගීත, ආයුර්වේද ජ්‍යොතිෂය, බාලදක්ෂ, මැයි දින, සාම ආදි වශයෙන් ඔහු ගීත රචනා කර ඇත.

කවියකු, ගීත රචකයකු, පුවත්පත් කලාවේදියකු පමණක් නොව දේශකයකු ලෙස ද මානවසිංහ නමක් දිනා සිටියේය. ඔහුගේ දේශන අසා ගී පද රචකයන් බවට පත්වූ අය අතර මහගමසේකරයන් ද වෙති.

ඉගෙනීම අවසන් කොට ගුරුවරයකු සේ සේවය කිරීම සඳහා කොළඹ නගරයට පැමිණීමට බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමයේදී මානවසිහංයන්ගේ දේශනයකට සවන් දීමට ලැබිණි. ගීත රචකයකු වීම තම ජීවිතයේ එක් අරමුණක් ඉටුවීමකැයි ඒ මහතා එහිදී සඳහන් කළේය. මා ද ගීත රචකයකු වූවොත් මැනවැයි එවෙලේ මට නිකමට සිතිණ.

– මහගමසේකරගේ ගීත

මානවසිංහයන් රන්මුතු දූවට ලියූ ගීත තුන තුන් ආකාරයකි. ‘පාරමිතා බල’ බුදු ගුණ ගීයකි. ‘ගලන ගඟකි ජීවිතේ’ සොබා සෞන්දර්යයෙන් පිරිපුන් ප්‍රේම ගීයකි.

‘පිපී පිපී රේණු නටන’ විනෝදාස්වාදය සඳහා වූ ගීයකි. එක ම චිත්‍රපටයක එන මේ එකිනෙකට වෙනස් ගීත තුන පමණක් විමසා බැලීමෙන් ඔහුගේ ප්‍රතිභාව හඳුනාගත හැකිය.

සීමාසහිත වපසරියක දෝලනය වූ ගීත කලාව ඉන් මුදවාගෙන ඔබ්බට රැගෙන යන්නට මානවසිංහයන්ට හැකි විය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔහු පිළිබඳ ව මෙසේ සටහන් තබයි.

සේකර අද්‍යතන ගීත රචනා පරපුරේ
පියා ලෙස සලකන්නට පිළිවන
එසේ නම් මානවසිංහ අද්‍යතන
ගීත රචනා පරපුරේ සීයා ලෙස
හැඳින්වීමේ වරදක් නොපෙනේ

– ආනන්ද සමරකෝන් අධ්‍යයනය
එදා මානවසිංහයන් වැනි කිහිප දෙනෙකු එක්ව යහපත් මාර්ගයකට ගෙනා සුභාවිත ගීත රචනා කලාව අද අයාලේ ඉබාගාතේ ගමන් කරනු පෙනේ. එදා මෙන්ම අදත් අර්ථය අබිබවා ශබ්දය ඉස්මතු වීම හිතකර තත්ත්වයක් නොවේ. මානවසිංහයන් වැනි සුවිහේෂී නිර්මාණවේදීන් හැදෑරීමත්, ඔහු වැන්නන්ගේ ආගමනය ප්‍රාර්ථනා කිරීමත් හැර අන් යමක් අපට ඉතිරි ව නැත.

බණ්ඩාර ඇහැළිය­ගොඩ

චන්ද්‍රමඬල බැද්ද වටින් මෝදු වෙලා – හුදු අතීතකාමය ද​?

මේ රූප රාමු ගීත ප්‍රචාරය සඳහා රූප රචනා කිරීම සුලබ නොවූ අවධියක, ප්‍රේක්ෂකයින් රූපවාහිනී මාධ්‍යයෙන් ගීත ගායනා කරනු ඇසූ, දුටු ආකාරය පිළිබඳව කදිම නිදසුන කි. 1980 දශකයෙහි අග භාගයේදී පමණ “දඟකාරී මං මද්දුම දෝණි”, “පිපුණු මලේ රුව”, “කොත්තිලාක්කු පහන”, “කැරකෙන රෝදේ” වැනි ගීත කිහිපයක් ද සරල රූප රචනා සහිතව රූපවාහිනිය හරහා ප්‍රචාරය වනු මෙහිදී මතකයට නැගෙයි. මේ රූප රාමු තුළින් පැහැදිළි වන යමක් නම්, ගීතය ගැයීමේ දී සුනිල් එදිරිසිංහයන්ගෙන් ප්‍රදර්ශනය වන ප්‍රාසාංගිකත්වයෙහි ඇති සරල ස්වභාවයයි. එකල යමුනා විනෝදිනී, පුණ්‍යා කත්‍රිආරච්චි, ඉන්ද්‍රාණි බෝගොඩ, ලතා වල්පොල වැනි ගායිකාවන් ගේ ගීත ද රූපවාහිනිය හරහා දුටු සැටි ද මේ සමඟ ම​ සිහියට නැගෙයි. මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන්ගේ සජීවී ගායනයක දී අංග චලනයක් තබා, දෙතොල් යම්තමින් සෙලවෙනවා හැරුණු කොට මුහුණෙහි ඉරියව් වෙනස් වීමක් හෝ අප දුටුවේ ඉතාමත් කලාතුරෙකිනි.

එහෙත් මේ රූප රාමු බැහැර නොකරම, රූප ඇතුව මෙන්ම නැතුවත් අපි එදා මෙන්ම අදත් මේ ගීත රස විඳින්නෙමු. ඒ අද බොහෝ දෙනා පවසන පරිදි ඉදිරිපත් කිරීමේ ඇති ආරුඪ කරගත් “ප්‍රාසාංගිකත්වය” නැතුවාට මෙහි “ගැයීම“ ඇති නිසාද එසේ නැතහොත් අප තුළ ස්වභාවයෙන්ම පවතින්නා වූ පැරණි දෙයට ඇති කැමැත්ත නොහොත් “අතීතකාමය” ද ?

සැබැවින්ම, අප විසින් බොහෝ විට කතා බහට බඳුන් කෙරෙන පැරැණි ගීතවල ඇති සෞන්දර්යාත්මක ගුණය හරිහැටි හඳුනා නොගෙන හුදෙක් අසා හුරු පුරුදු බව නිසා, නැතහොත්, පෞරාණික බව​ නිසා පැරැණි ගී අගයන්නේ නම් එය හුදෙක් අතීතකාමය පමණක් වනු ඇත. නමුත් ඉන් ඔබ්බට යන විමසීමක් හරහා මේ විඳීම සහ බැඳීම හුදු අතීතකාමය ද යන වග පසක් කර ගත හැක. මෙහිදී පණ්ඩිත් අමරදේවයන් වරෙක “සුභාවිත ගීතය” අර්ථ කථනය කළ අයුරු සිහිපත් වෙයි.

මිනිස් කටහඬත්, මධුර නාද කෘතියත් යන කලා අංගයන්ගේ සංයෝජනය ගීතයයි. එසේම ගීතය යනු සංගීතය හා භාෂාවේ අනුකූලතා පූර්වක සංයෝගයේ ඵලයක්. ‘නාද’ නැමැති මූල ද්‍රව්‍යයත් ‘වචන’ මූල ද්‍රව්‍යයත් හරියට තෙලුයි වතුරයි වගේ පරස්පර විරෝධී වස්තු දෙකක්. ඒ දෙක අනුකූලතා පූර්වකව සංයෝග වෙන්න ඕනෑ. එවිටයි සුභාවිත ගීතය බිහිවෙන්නේ” – පණ්ඩිත් අමරදේව

මේ අර්ථ කථනයට අනුව ගීතයක්, අර්ථ පූර්ණ, සුගායනීය සහ කාව්‍යමය පද වැලක්, ඊට අනුරුප වන සංගීතය සහ භාව පූර්ණ ගායනය ද සමගින් රසිකයන් වෙත ඉදිරිපත් වන්නේ නම් වින්දනීය ගීතයක් වනු ඇත. අප එ දවස රූපවාහිනිය තුළින් ඇසු දුටු ගී, ප්‍රාසාංගික පාර්ශ්වයෙහි ඇති සරල බව අභිබවා අප සිත් ගත්තේ මෙ නිසා විය යුතුය.

විශිෂ්ට ගීත නිර්මාණයක් යනු හැමවිටම මිනිස් හඬ සංගීත භාණ්ඩයක් ලෙසත්, සංගීත භාණ්ඩ මිනිස් හඬ ලෙසත් අභිමුඛ වීම සඳහා තෙරපුමක් සපයා දෙන කලාත්මක ප්‍රකාශනයෙකි.” මේ තවත් වරෙක සිළුමිණ පුවත් පතෙහි පුන්කළස අතිරේකයෙහි පළවුණු ලිපියක ගීතය පිළිබඳව කෙරුණු අර්ථ දක්විමෙකි.

මේ අනුව බලන කළ, සුනිල් එදිරිසිංහ මෙහි ගායනා කරන “චන්ද්‍ර මඬල බැද්ද වටින්” වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන් ම සුභාවිත ගීතයකි, කලාත්මක ප්‍රකාශනයකි. උඩැක්කිය සහ සිතාර වාදනයත් සමඟ​ ඇරැඹෙන මේ ගිතයේදී, මුල සිට අග දක්වාම මේ මිනිස් කටහඬය, මේ සංගීත භාණ්ඩ යැයි වෙනසක් නොහැඟෙන තරමට, සුනිල් එදිරිසිංහයන්ගේ ගායනය සහ සංගීත භාණ්ඩ වලින් නැගෙන නාදය එකිනෙක හා මනා සේ සංයෝග වී ඇත. ගායනය වාදනය අභිබවා යාමක් හෝ වාදනය ගායනය අභිබවා යාමක් දක්නට නොලැබේ. සිතාරය සහ බටනළා වාදනයෙන් අසන්නන් සිත් තුළ “ගොම්මන් වේලාව” මවන්නට සමත් වී ඇති අතර, ගීතයෙහි රිද්මය කාන්තාවකගේ ගමන් තාලයට සමපාතව නිමැවී ඇති බැව් හැඟේ. සංගීත සංයෝජනය තුළ ද, ඉතා සියුම් ලෙස මතුවන පදරුත් තීව්‍ර කරනා ශෘංගාරය මුසු විරහ තාපයකි. රූප පෙළ හරහා දකින ඉදිරිපත් කිරීමේ දී ගායකයා ගේ මුහුණෙන් , අංග චලනයෙන් පළවන්නේ ද ගීතය නොපරයන නමුත් ඊට අනුකූල ප්‍රාසාංගික බවකි. ගීතයට අවශ්‍ය වන හැඟීම් ප්‍රකාශනය ඔහුගේ ගායනය සහ හඬ හරහා නොඅඩුව මතුවෙයි. “සරල බව තුළ සංකීර්ණත්වය ද සැඟ වී ඇත” යන කියමන ද මට මෙහි දී සිහිපත් වෙයි.

තව දුරටත් මේ තරම් සංයමයකින් ගීත නිර්මාණය වේ දැයි සැකයකි. ගීතයක් රූප මාධ්‍යයකින් ප්‍රචාරය වීමේ දී කිසියම් ප්‍රාසාංගික බවක් එකතු කිරීමෙහි වරදක් නැත. එ මෙන්ම​, කලා කෘතියෙකින් ඒවා බිහි වූ යුගයේ පසුබිම , මේ ලිපියේ තේමාවට අනුව, ගීතයකින් නම් එම යුගයේ රිද්මය පිළිඹිබු වේ යන සත්‍යය ද​ අප විසින් වටහා ගත යුතුව ඇත​. ඒ අනුව​, එදාට සාපාක්ෂව අති-ධාවනකාරී ගමනක යෙදෙන, පෙර පාසැල් වියේ පටන් දරුවන්ට තාක්ෂණය හුරු වන​ ඩිජිටල් යුගයේ බිහි වෙන​ නිර්මාණ වලින් එදා යුගයේ රිද්මය අපේක්ෂා කිරීම අර්ථ විරහිත ය​​. කෙසේ වතුදු කවර යුගයෙක වුව ද​, ගීතයක් නම් එහි තිබිය යුතු මූලිකාංග සපුරාලිය යුතු නොවේ ද​? අද බොහෝ දෙනා විසින් ගීතයකට ප්‍රාසාංගික බවක් ලබා දීම යනු නාටකීය රංගනයක යෙදීම පමණක් බව වරදවා වටහා ගෙන ඇති බවක් පෙනේ. අද බිහිවන බොහෝ ගීතයන් හි ප්‍රාසාංගික පාර්ශ්වය නොඅඩුව තිබුණත් අවතැන් වී ඇත්තේ පදවැල, ගායනය සහ සංගීතය නැතහොත් ගීතයයි.

අමා නයනාදරී සිරිවර්ධන​

(22.11.2014 වැනි දින ලියූ ලිපියක් සංස්කරණය​ කර නැවත පළ කිරීම කි.)

ගීතයට මෙතැනින් සවන් දෙන්න​:

ගායනය – සුනිල් එදිරිසිංහ
ගී පද – කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය – රෝහණ වීරසිංහ

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගේ දුව යන්ට ගියා
බැල්ම හෙලා
බැල්ම හෙලා

පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන්
හනික සෝඩි නගේ

දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ
පාළු දැනෙයි නගේ

තොරතුරු මූලාශ්‍ර:

  • “සිංහල සුභාවිත සංගීතයේ නාද සිත්තම්පාණ පණ්ඩිත් අමරදේව” (පණ්ඩිත් අමරදේවයන්ගේ 84 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් කුමාර ලියනගේ මහතා විසින් තබන ලද පුවත්පත් සටහන), සිළුමිණ “පුන්කලස” විශේෂාංගය (04/12/2011).

http://www.silumina.lk/punkalasa/20111204/_art.asp…

  • “මමත් බයිලා සින්දු කියලා තිබෙනවා” (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සමග මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල මහතා විසින් කරන ලද පුවත්පත් සාකච්ඡාවකි), ‘සිළුමිණ’ පුවත්පත (02/12/2012).

22.11.2014 වැනි දින ලියූ සටහන කි.

ඔස්ටින් මුණසිංහ

“දීකිරි දීකිරි ගෙනාවා දීකිරි – මිහිපිට කාටත් ගුණදෙන දීකිරි”

පාසැල් යන වයසේ දරු දැරියන්ගේ සිට කා අතරත් එක සේ ජනප්‍රිය මේ ගීතය හමුවන්නේ ලූෂන් බුලත්සිංහලයන්ගේ “රතු හැට්ටකාරී” (1974) වේදිකා නාට්‍යයෙනි. ලූෂන් බුලත්සිංහලයන් සිය සුපුරුදු උත්ප්‍රාසය සහ උපහාසය මුසු ප්‍රහසනය නාට්‍යයේ දෙබස් සහ ගී පදමාලා තුළ පවත්වා ගන්නට දරන ව්‍යායාමයට රුකුල් දී එකී ප්‍රහසනය සංගීතයෙන් ද මවන්නේ ඔස්ටින් මුණසිංහයන්ය. “දීකිරි දීකිරි” ගීතය මෙතරම් ලාංකීය ජන සමාජය තුළ ප්‍රචලිත වූයේ ඇයි දැයි සිතා බැලීම වටී. එය එසේ වී ඇත්තේ මේ ගීතය තුළින් අපට “අපේ කම” ඇසෙන නිසා නොවේද?

මේ අපේ කම මුසු සංගීතය ඔස්ටින් මුණසිංහයන් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද වේදිකා නාට්‍ය සියල්ලෙහි ම පාහේ දැකිය හැකිය. “බෙර හඬ” (බන්ධුල ජයවර්ධන) , “රන් කන්ද” (චන්ද්‍රසේන දසනායක) , “සොක්කානෝ රජාණෝ” (සතිස්චන්ද්‍ර එදිරිසිංහ), “විශ්ව සුන්දරී”(මර්සි එදිරිසිංහ) ,”බිසෝ”(හෙක්ටර් කුමාරසිරි), “මහගිරි දඹ”(ජයලත් මනෝරත්න), “උමතුසන් වරුසාව”(සෝමපාල ගුණධීර), “දෙව්ලෝ දෝණි”(ආනන්ද එස්. විජේසිරි) ඉන් අතර වෙයි.

මේ අතරින් විශේෂයෙන් ම​ බන්ධුල ජයවර්ධනයන් ගේ “බෙර හඬ” වේදිකා නාට්‍යයේ සංගීතය කැපී පෙනෙයි. බන්ධුල ජයවර්ධනයන් සැලෙකෙන්නේ මහාචාර්ය​ එදිරිවීර සරච්චන්ද්‍ර අනුදත් මඟ ඔස්සේ යමින් එතුමන් ගේ පර්යේෂණ කාර්යය​ ඉදිරියට ගෙන ගිය නාට්‍යකරුවකු ලෙසිනි.​ සැබැවින්ම ග්‍රීක නාට්‍යයක අනුවර්තනයක්දැයි සැක සිතෙන තරමට හුදු අක්ෂර පෙරැළියක් නොවී, ලාංකික සන්දර්භයට උචිත මුහුණුවරක් ලබා දී, කාව්‍යමය හැඩයකින් සහ බසකින් ඉදිරිපත් කිරීමට වග බලා ගත් නාට්‍යකරුවා ගේ අභිප්‍රාය හොඳින් හැඳින​, ඊට ම සරිලන සංගීතය නිර්මාණය කරන ලද්දේ අප කතා නායකයා විසිනි. ගී තනු හා සංගීත අධ්‍යක්‍ෂණය තුළින් ලාංකීය ජන සමාජයේ රිද්මය සහ අනන්‍යතාවය ඉස්මතු කිරීමට ඔස්ටින් මුණසිංහයන් සමත් වී ඇත​.

සුවිශේෂී පෙළක් සහිත මෙම නාට්‍යයේ, වේශ නිරූපණය​, ඇඳුම් නිර්මාණය​, රිද්මයානුකූල බස් වහර සමඟ ඓන්ද්‍රීය ලෙස බද්ධ වී, අපේ රටේ ජන විඥානයට ගැලැපෙන​ පහතරට තොවිල් නාදමාලා සහ හැඩරුව​ ආශ්‍රිත සංගීතයක් ඔහු නිමැවීය​. 1961 දී “බෙරහඬ” පළමු නිෂ්පාදනයේ සංගීතය සංගීතවේදී එච්.එච්. බණ්ඩාර මහතා විසින් බව ද සඳහන් කරන්නේ ගෞරවයෙනි. 1980 දශකයේ රූපවාහිනී නිෂ්පාදනයේ දී ඔස්ටින් මුණසිංහ මහතා විසින් සංගිතය නැවත නිර්මාණය කරන ලදී. ‘බෙරහඬ’ නාට්‍යයට ඔස්ටින් මුණසිංහ දායකත්වය පිළිබඳව අනුවර්තක​ බන්ධුල ජයවර්ධනයන් මෙසේ සිය අදහස් ප්‍රකාශ කරයි;
“රුපවාහිනී නිෂ්පාදනය සඳහා ඔස්ටින් මුණසිංහයන් විසින් නැවත වරක් සම්පූර්ණයෙන්ම වාගේ තනු නිර්මාණය කළා. එච්.එච් බණ් ඩාරයන් පේරාදෙණියේ කළ නිෂ්පාදනයට වඩා වෙනස් සංගීත නිර්මාණ දායකත්වයක් දීමට රූපවාහිනී නිෂ්පාදනයේ දී ඔස්ටින් සමත් වුණා. ඔස්ටින් පහතරට බෙරය සහ ශාන්තිකර්ම වල එන නාදමාලා මෙම තනු නිර්මාණයේ දී භාවිත කළා. ඒ සංගීතය නාට්‍යයට හොඳ ජවයක් සැපයුවා” ( මෙම ප්‍රකාශය උපුටා ගත්තේ ‘සිංහල නාට්‍ය සංගීතයේ ප්‍රවණතා 1966-1996’, තරුපති මුණසිංහ කෘතියෙන්).

නාට්‍යය සඳහා යොදා ගත් සංගීත භාණ්ඩ අතර තිබුණේ සර්පිනාව​, පහතරට බෙරය​, බටනළාව​, සහ ගිටාරය වැනි කිහිපයක් පමණක් බව තරුපති මුණසිංහ මහතා ගේ කෘතියෙහි තව දුරටත් සඳහන් වෙනවා. පූර්වයෙන් සඳහන් කරන ලද ස්වතන්ත්‍ර නාට්‍යයක් වූ ‘රතු හැට්ටකාරී’ හි අර්ධ ශෛලිගත​, විකාරරූපී රංග රීතියට සමාන්තරව අවස්ථාවෝචිතව​ සරල බව සහ ස්වභාවෝක්ති අලංකාරය මනාව රැක ගත් සංගීත වින්‍යාසයක් එහි කැපී පෙනේ. ඒ සඳහා හොඳම උදාහරණ ලෙස​ තරුණිය ගේ සහ සෙබළා ගේ ජව සම්පන්න බව ගායනයෙන් පමණක් නොව සංගීතයෙන් ද කියාපාන “දීකිරි දීකිරි ගෙනාවා දීකිරි” සහ “යස ඉසුරූ පිරුණූ තැනා සිරි දෙව් දූ සිටින තැනා” ගීත ද්වය​ සඳහන් කළ හැකිය​​. තරුපති මුණසිංහ මහතා පවසන පරිදි, යස ඉසුරූ ගීතයේ රිද්මය බයිලා තාලයක් වන 6/8 තාලය වුවත්, “ලය මානය” නුවර පෙරහැරේ මත්‍රා 12 ගමන් තාලයෙන් පවත්වා ගෙන ඇත​. ඒ තරුණිය නැතහොත් රතු හැට්ටකාරියව සෙබළා විසින් කැඳවාගෙන යන අවස්ථාව සංගීතය තුළින් නිවේදනය කිරීම පිණිස යි. දීකිරි දීකිරි ගීතයේ දී කිරි විකුණන යුවතිය ගේ ගමන් තාලය හා අනුනාද වෙමින් ​, වයලීන , ගිටාර් වැනි වාද්‍ය භාණ්ඩ සමඟ කළය හෙවත් ඝටම් නැමැති වාද්‍ය භාණ්ඩය ද වාදනය කෙරේ.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ නාට්‍යය​ ස්වතන්ත්‍ර නිර්මාණයක් වේවා, අනුවර්තනයක් වේවා ඒ සඳහා අපේ රටේ සාමාජීය සංස්කෘතික පසුබිමට ගැලැපෙන ලෙස සංගීත අධ්‍යක්ෂණය කිරීමේ ලා ඔස්ටින් මුණසිංහයන් විශද කරන ලද අප්‍රමාණ ප්‍රතිභාව යි. හෙන්රි ජයසේනයන්ගේ වේදිකා නාට්‍යවල එහි සංගීත අධ්‍යක්‍ෂක ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා යටතේ තාල භාණ්ඩ වාදනය මෙහෙයවනු ලැබුවේද තාල භාණ්ඩ වාදනය පිළිබඳව විශේෂ නිපුණතාවයක් දැක් වූ මුණසිංහයන් විසිනි. ඇත්තෙන්ම වේදිකා නාට්‍ය සංගීතයෙන් තොරව ඔස්ටින් මුණසිංහයන් සංගීත ක්‍ෂේත්‍රයට කරන ලද කාර්යභාරය​​ පිළිබඳව කතා කළ නොහැකි තරමට වේදිකා නාට්‍ය පෝෂණය උදෙසා ඔහු විසින් සපයන ලද දායකත්වය අතිමහත් බව ඔහුගේ මේ සියලු නිර්මාණ දෙස් දෙයි.

භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයෙන් ගායනය සහ වාදනය පිළිබඳව​ විශාරද උපාධිය ලත් ඔස්ටින් මුණසිංහයන් භාරතීය රාගධාරී පදනමක පිහිටා මෙරට දේශීය අනන්‍යතාවයක් ඇති සංගීත සම්ප්‍රදායයක් බිහි කිරීමේ ලා පුරෝගාමී වූවන් අඩිපාරේ ගිය සංගීතවේදීන් අතරට එකතු වීමට වරම් ලද්දේය. විශේෂයෙන්ම ඩබ්ලිව්. බී. මකුලොලුව , සී. ද . එස්. කුලතිලක වැනි අය අනුගමනය කළ ක්‍රමවේදය පිළිපදිමින් ජන ගී ආර ඔප මට්ටම් කර එය නවමු හැඩ තල ඔස්සේ ඉදිරිපත් කිරීමට මුණසිංහයන් සමත් විය. අපේ රටේ අනෙකුත් සංගීතඥයන් හා සසඳද්දී ඔහු ගේ සංගීත සම්ප්‍රදානය තුළ කැපී පෙනෙන විශේෂත්වයක් වන්නේ, ජන ගී ආරට සමීප වන අතරේ දී ම​, සංකීර්ණ භාව ප්‍රකාශනයක යෙදීමට ද ​, නිර්මාණාත්මක ගුණය වෙසෙසින් ම​ රැක ගැනීමට ද ඔහුට තිබූ හැකියාව යි. සංසන්දනාත්මක ව​ එය, ජන ගී සම්ප්‍රදාය මුල් තැන් හි තැබූ මඟ අනුදත් මකුලොලුව​, සී. ද එස් කුලතිලක, රෝහණ බැද්දගේ වැනි සංගීතවේදීන් ගේ නිර්මාණ වලට වඩා අතිශය නැවුම් බවක් ගැනීම යි​. සෞන්දර්යාත්මක සහ​ නිර්මාණාත්මක ලක්ෂණ​ වැඩි වශයෙන් ප්‍රකට කිරීම යි​. සීමිත ස්වර සංඛ්‍යාවක් ඇති ජන සංගීත​ නාද රටා භාවිතයෙන් පමණක්, සංකීර්ණ භාව ප්‍රකාශනයක​ යෙදීම සහ නිර්මාණාත්මක බව රැක ගැනීම යන දෙකම එක විට​ මේ මිහිපිට නම් කළ නොහැක්කක් බව ඔහු විසින් මනාව​ වටහාගෙන සිටියා සේ ය​. ඒ සඳහා පෙරදිග හෝ අපරදිග​ මහා සංගීත​ සම්ප්‍රදායයක​ ඇසුර​ පැතිය යුතු වේ. නමුත් අනෙක් අතට​, දේශීය සංගීතය සම්බන්ධයෙන් මකුලොලුව ආදීන්ට විරුද්ධ මතවාදයක සිටිමින්, මහා සම්ප්‍රදාය ලෙස ඉන්දීය රාගධාරී සංගීතයත්, චූල සම්ප්‍රදාය ලෙස ජන සංගීතයත් තබා ගත යුතුය යන දැක්ම අනුව බිහි වූ පණ්ඩිත් අමරදේව නිර්මාණ හා සසඳන කළ ඔස්ටින් මුණසිංහ සංගීත සම්ප්‍රදානය​ ලාංකීය​ සමාජයේ ජන විඥානයට ද​ බෙහෙවින් සමීප වීය​. අමරදේව නිර්මාණ සමස්තයක් ලෙස ගෙන​ විමසා බලද්දී,​ ‘මධුවන්ති’ , ‘ස්වර වර්ණ’ වැනි දේශීය අනන්‍යතාවය පිළිඹිබු වන ගීත ඉදිරිපත් කිරීම සඳහා ම වෙන් වූ ගුවන්විදුලි වැඩසටහන් හරහා බිහි වූ ගීත තුළ​ පවා​ දේශජ බව බොහෝ විට රැක ගැණුනේ ගායනයේ දී සහ​ හඬ පාලනයේ දී ලබා දෙන දේශීය ඌරුව​ සහ​ හැඩය නිසා පමණක් බව නිරීක්ෂණය වේ. එම අනන්‍යතාවය ද පසු කාලීන පටිගත කිරීම් වල දී වියැකී ගොස් තිබුණි. අවාසනාවට සමාජගත වූයේ මුල් පටිගත කිරීම් නොව පසු පටිගත කිරීම් ය​. කෙසේ නමුත් රාගධාරී සංගීතමය​ පදනමක පිහිටා කටයුතු කරන අතරේ දී, ගායන මාධූර්යයෙන් සහ බොහෝ කොටම ගායනයේ දී ලබා දෙන හැඩතල වලින් දේශීය අනන්‍යතාවය රැක ගැනීම ද​ සාමාන්‍ය ගායකයකුට නොව , ශිල්ප ඥානයෙන් පිරිපුන්, සුවිශේෂී සහජ දක්ෂතාවයක් ඇති සංගීතඥයකුට පමණක් කළ හැකි දෙයක් ලෙස හඟිමි. එ බැවින් මෙම සංසන්දනය, විචාරය සහ විශ්ලේෂණය උදෙසාත් ඒ හරහා ඔස්ටින් මුණසිංහ භාවිතාව නිවැරැදිව හඳුනා ගැනීම සඳහාත් පමණි. ඒ මිස​, ඇතැමුන් කරන්නා සේ පණ්ඩිත් අමරදේවයන් විසින් සිංහල සංගීතය උදෙසා කරන ලද මෙහෙවර​ අවප්‍රමාණ කිරීම පිණිස නොවන බව සඳහන් කළ යුතු ම වේ​. මඟේ දැනීම අනුව, අමරදේව සංගීත සම්ප්‍රදානය සමඟ​ සසඳන කළ භාරතීය සම්ප්‍රදායේ ද ප්‍රාමාණිකයකු වුවත්, ජන ගීයේ හැඩයට වඩා කිට්ටු, ඒ නිසාම අපට හුරු පුරුදු බවක් ඔස්ටින් මුණසිංහ ගීතාවලියේ නාද රටාවන් තුළින් ද ඇසේ. මේ විස්කම කෙසේ කරන ලද්දේදැ යි විමසන මට හැඟී යන්නේ ඔහු ගේ නිර්මාණ තුළ පවතින්නේ ජන ගීයේ හුදු අනුකරණයක් නොව​, මහා සම්ප්‍රදායයක ඇසුර ලබා සිදු කරන ලද​​ විවිධ ජන ගී නාද රටාවන් හි වර්ධිත අවස්ථාවන් වීම ඊට හේතුව වන​ බව යි. ඒ තුළ දේශීය මුද්‍රාව තැබීමත්, අතිශය නිර්මාණාත්මක සෞන්දර්යයත් එක විට සිද්ධ වන්නේ ඒ අනුව යි. එවැනි නිර්මාණාත්මක කුසලතාවයක් සහජයෙන් පමණක් උරුම නොවන බවත් ඒ සඳහා ශාස්ත්‍ර ඥානය ද නො මඳව ලබා තිබිය යුතු බවත් නො කිවමනා ය​.

තාල භාණ්ඩ වාදනයෙහි පෙන්නුම් කළ සුවිශේෂී කුසලතාවය ඔහු විසින් කරන ලද අනෙකුත් ගීත නිර්මාණ තුළ ද දැක ගත හැකි වෙයි. 1980 දශකයේ දී නිකුත් වූ නන්දා මාලිනිය ගේ ගීත එකතූන් ගේ එන ගී නිර්මාණ අතර ඔස්ටින් මුණසිංහයන් ගේ නිර්මාණ, ඔහු අනුගමනය කරන ලද හෙළ ජන ගී ආර මුසු සංගීත සම්ප්‍රදාය නිසාම ඒවායේම ඇති අනෙකුත් ගීත අතරින් වෙසෙසින් කැපී පෙනෙයි. ජන ගී නාද රටාවන්ට අනුකූලව, “බෝ මැඩ වගුරන ” ගීතයේ තම්මැට්ටම සහ යක් බෙරයද, “පෙර රජ දවස” ගීතයේ උඩැක්කියද , “පානම් පත්තුවේ” ගීතයේ දවුලද, “ආලය වන් මනරම්” ගීතයේ යක් බෙරයද භාවිතා කර තිබීම නිදසුන් කීපයකි. නන්දා මාලිනියගේ
“සතර වටින් කළු කෙරුවත් වැහි වැටුණේ නෑ යාළූ
පඳුරු ලලා ගස වැඩුණත් මල් පිපුණේ නැහැ යාළූ”

ගීතය ද කුඩා කළ ඇසූ දා පටන් ම මා විශේෂයෙන් සිත් ගත් ගීතයකි. ජන වහර මුසු පදමාලාවේ අර්ථ උද්දීපනයට ජන විරිත් සහ ගී නාද රටාවන් ගෙන් ලැබී ඇති පිටිවහල මහත් ය​.
“පිරිමදිමින් සුකොමළ අත් දෙඩූ කතා කවි සිරිමත්
ගං දොර ගිං ගංතෙර කිරළ කැලේ තව රැඳුණත්
මිහිරි හීන ගඟේ ගිලී කොක්කුත් නෑ ගඟට උඩින්
කොක්කුත් නෑ ගඟට උඩින්”
නමුත්, පද රචක මහාචාර්ය​ සුනිල් ආරියරත්න හැරුණු විට මේවා පසු පස සිටි අනෙක් දැවන්ත ප්‍රතිරූප අප හඳුනා ගත්තේ බෙහෙවින් පසුකාලීනව සිංහල සංගීතයේ ඉතිහාසය සොයා ගිය ගමනේ දී යි. තිස්ස අබේසේකරයන් ගේ “වන සරණ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන “නංගීට බැඳපු මල් වියනයි” (සේනානායක වෙහෙරලියද්ද) ගීතය ඔහු විසින් වැදි සැහැළි නාද රටාවන් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි.

ඔස්ටින් මුණසිංහයන් ගේ නිර්මාණ අතුරෙන් මෙහි පළ කරන්නට තෝරා ගැනුණේ ද ජන ගී මූලයන් තුළින් අපේම ආරක් තැනීමෙහි ලා ඔහු විසින් අනුගමනය කරන ලද ක්‍රියා පිළිවෙත මැනැවින් පෙන්නුම් කෙරෙන “හිතුමතේට දීග ගිය දුවේ” ගීතයයි. බටනළාව, වයලීනය , සිතාරය , තම්මැට්ටම සහ යක් බෙරය ආදී සංගීත භාණ්ඩ කිහිපයකින් පමණක් හැඩවුණු එහි සංගීත සංයෝජනය තුළ බෙහෙවින් සරල බවක් දක්නට ලැබෙයි. සරල නමුත් තනු සහ සංගීත සංයෝජනය පදමාලාවට අනුව සංවේදී බවත්, මවක ගේ නොමියෙන දරු සෙනෙහසත් වඩාත් ඉස්මතු කර පෙන්වයි. “යව්වනයේ හීන ලොවේ” ලෙසින් ආරම්භ වන අන්තරා කොටසේදී සහ “නෙළුම් කවි” ගායනා රිද්මය අතර යම් සමනාමක් ඇති බව මඟේ අදහසයි. ඒ පිළිබඳ​ ඔබේ මතයද දැන ගනු කැමැත්තෙමි.

ගීතයක පදමාලාවෙන් ඉදිරිපත් කෙරෙන අර්ථය, තනු සහ සංගීත සංයෝජනය හරහා වඩාත් ඉස්මතු කරමින්ද ගායකයා හෝ ගායිකාව ගීතයේ එක් එක් කොටස් වලදී ඊට නියමිත හැඟීම් ගායනය සඳහා යොමු කරමින්ද ගීතයක් නිර්මාණය කිරීමේ දී සංගීතඥයකු විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඔස්ටින් මුණසිංහයන් මේ කාර්යභාරය නොපිරිහෙළා ඉටුකළා පමණක් නොව, එය ඉටු කරන ලද්දේ හුදෙක් ජනප්‍රියත්වය හඹා යමින් හෝ වාණිජමය අරමුණු පෙරදැරිව හෝ නොව​, අපේ රටට සහ එහි සංස්කෘතියට ගැලපෙන “අපේ කම” විදහා දැක්වෙන සංගීත සම්ප්‍රදායයක් බිහි කිරීමේ ලා ඔහු තුළ තිබූ “දැක්මක්ද” සමඟිනි. අප විසින් මේ වන විට​ අත්දකිමින් සිටින්නේ ශාස්ත්‍ර ඥානයෙන් ඔප මට්ටම් කරන ලද සහජ කුසලතාවයෙන් පිරිපුන්, නිසි දැක්මක් සහිතව​ කටයුතු කරන​ සංගීතඥයන් ගේ අඩුව යි. අද හතු පිපෙන්නා සේ බිහි වෙන සංගීතඥයන් යැයි කියා ගන්නා අය ද ගායක ගායිකාවෝ ද ජනතාව ඉල්ලන කුමක් හෝ ලබා දීමේ කාර්යයේ විනා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කිසියම් හෝ ඵලදායී සේවයක් කරනු දකින්නට ලැබෙන්නේ කලාතුරෙකිනි. මේ තත්ත්වයට​ කිසිවක් නො විමසාම පිළි ගන්නට පුරුදු වී සිටින ප්‍රේක්ෂකයින් මෙන් ම, වෙළෙඳ අරමුණු මත​ පුවත්පත් පිටු පුරවන​ නිර්මාණ විචාරයෙ හි යෙදෙන විචාරකයින් ද සෑහෙන පමණ වග කිව යුතුය​. මේ සටහන සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන උදෙසා යහපත් දැක්මක් ද​ සමඟින් ඔස්ටින් මුණසිංහයන් විසින් කරන ලද අප්‍රමාණ මෙහෙවරට පිදෙන සුළු උපහාරයකි.

-අමා නයනාදරී සිරිවර්ධන​-
( මෙය මා විසින් 27.04.2015 වැනි දින ඔස්ටින් මුණසිංහ ගුණානුස්මරණය නිමිත්තෙන් තැබූ සටහනකට​ අලුතෙන් කොටස් අමුණා සංස්කරණය කර ඉදිරිපත් කිරීම කි.)

ගීතය මෙතැනින්:

හතර වටින් කළු කෙරුවත් ගීතය​:

එමෙන්ම සටහන තැබීම සඳහා පහත මූලාශ්‍රයය ඇසුරු කළ බව ද සලකන්න:

  • Rabindranath Tagore 213 Success Facts – Everything you need to know about – https://books.google.com.au/books…
  • ස්වාධීන රූපවාහිනි සේවයේ “සංහිඳ” වැඩසටහන , 2102/05/ 27

හිතුමතේට දීග ගිය දුවේ
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා
විඳින දුක දැනේ

ඇස් දෙක වන් පුංචි දුවේ
නුඹ නැති ගෙය ගෙයක් නොවේ
ගෙයි ඇවිලූ පහන නිවේ
පපුවේ ගිනි පුලිඟු දැවේ

යව්වනයේ හීන ලොවේ
හිනා සැබෑ ලොවෙහි නොවේ
නිදුකින් හිමිසඳ සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින්

රඟහල දැන් ඇත අඩ අඳුරේ…

මේ ගීතය බොහෝ දෙනා හුදෙක් සරසවි ප්‍රේම ගීතයක් පමණක් යැයි වරදවා වටහා ගත් ගීයක්. නමුත් සරසවි ප්‍රේමයකට එහා ගිය කතාවක් මේ තුළ ගැබ්වී තිබෙනවා.ඒ සඳහා ජාතක කථාව දැන සිටීම මෙන්ම, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ නාටකය නරඹා තිබීමත් අවශ්‍ය වෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘මනමේ නාටකය නිර්මාණය කළේ ජාතක කථාව අසුරු කර ගනිමිනුයි. නමුත් එහිදි ඔහු ජාතක කථාවේ හරය මුලුමනින්ම පාහේ වෙනසකට භාජනය කළා. හරියටම කියනවා නම්, “නව දැලි හේනක” ගීතයේදී මෙන් සාම්ප්‍රදායික කථාවෙන් බැහැරව,  මිනිස් සම්බන්ධතාවයන් වල පැවැතිය හැකි සියුම් තැන් පෙන්වීමෙන්. විශේෂයෙන්ම​ ස්ත්‍රී පුරුෂ​ සබඳතාවන් සැම විටම නො වෙනස්ව, නිකැළැල් ව නො පවතින බවත්, ඒවා තත්ත්වයන් සම්පූර්ණ වූ විට​ නොයෙකුත් විපර්යාසයන්ට භාජනය විය හැකි බවත් සම්ප්‍රදායට ඔබ්බෙන් සිය​ නුවණ මෙහෙයවන කලාකරුවන් විසින් වටහා ගනු ලබනවා. ‘මනමේ’ නාටකයෙන් අප දකින්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන් පවතින වාතාවරණයට අනුව​, ඊට ප්‍රතිචාර ලෙස හැඩ ගැහෙන්නට ස්ත්‍රියක විසින් ගත් උත්සාහයක් දෙස හෙලූ සානුමකම්පිත බැල්මක්.

මගේ අදහසේ හැටියට මේ ගීතයට පදනම් වී ඇත්තේ, ජාතක කථාව නොව මනමේ නාටකයයි. ඒ වගේම ගීතයේදී නාටකය සරසවී ප්‍රේමයක් හරහා වර්තමානයට රැගෙන එයි. ජාතක කථාවේදී කියැවෙන්නේ වැදි රජු කෙරෙහි අති වූ අනුරාගයෙන් මනමේ කුමාරිය, හිතා මතාම කුමරා හා වැදි රජු අතර සටනෙහි දී කඩුව වැදි රජුට ලැබෙන්නට සැලැස්වූ බවයි. එහෙත් මනමේ නාටකයේදී එදිරිවීර සරච්චන්ද්‍රයන් පවතින තත්ත්වයට නැතහොත් අනපේක්ෂිත ලෙස තමා මුහුණ දුන් ඉරණමට​​ අනුගත වීම සඳහා එය මනමේ කුමාරිය කළ රැවැටීමක් ලෙස පෙන්වන්නට උත්සාහ කරනවා.

නාටය්‍යයේ දී ඔහු පෙන්වන්නේ කුමරිය වැදි රජුට කඩුව නොදුන් බවත්, කුමරා හා වැදි රජු අතර සිදුවන සටන නිසා වික්ෂිප්තවී බලා සිටි කුමරිය අතින් වැදි රජු කඩුව උදුරා ගත් බවත් ය. අවසානයේ දි පවතින තත්ත්වයට හැඩ ගැසෙනු හැර වෙන කරන්නට දෙයක් නොහැකි වු කුමරිය වැදි රජු ගේ සිත දිනා ගැනීම සඳහා ඔහුට කඩුව ලැබෙන්නට සැලැස් වූ බවට බොරුවක් කියයි . සිය දක්ෂතාවයෙන් සටන දිනුවා විනා ඇගේ පිහිටෙන් සටන දිනූ බව පැවැසීම නොරිස්සු වැදි රජු ඇය අත හැර යයි.

හඩ්සන් සමරසිංහ විසින් මනමේ නාට්‍යය වර්තමානයට ගෙන එනු ලබන්නේ සරසවි ප්‍රේමයක් හරහායි. පළමු පද කිහිපයෙන් මනසෙහි මැවෙන්නේ තරුණයෙකු සිය පෙම්වතිය සමගින් මනමේ නාටකය නරඹන අයුරුයි. නමුත් මෙහිදී ඉස්මතු වන්නේ ඔහුගේ අදහස වන;

” අන්න බලන් කුමරිය මනමේ – තනි වී ඇත හිමගිරි අරණේ ” යන්න නොවේද?

රඟහල දැන් ඇත අඩ අඳුරේ
අප දෙදෙනා පෙම් පිළිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනි වී ඇත හිමගිරි අරණේ

හදිසියේම වෙනස්වන සංගීතය රසිකයා මනමේ නාටකය වෙත කැඳවාගෙන යයි. එහිදී පෙම්වතියගේ සිතුවිලි මනමේ නාටකයේ එන මනමේ කුමරියගේ චරිතය හරහා රසිකයාට දැනෙන්නට සලස්වයි (මේ ගී පද තුළ නාටකයේ ස්වරූපය රැගත් පද ඇතුළත් වුවත් නාටකයේ ගී පද නොවේ).

දිරියෙන් යුධ කළ ඔබ දුටු මොහොතේ
මගෙ හද ගැබ තුළ පිරුණයි ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර මෙමටා නැත අන් සරණේ

ඇගේ පිළිතුරෙන් ලබා දෙන​ මූලික පණිවුඩය නම්;  “නැතිමුත් රජ සැප හිමගිරි අරණේ – ඔබ හැර මෙමටා නැත අන් සරණේ”

ගීතය නැවතත් වර්තමානයට එයි. පෙම්වතා මෙසේ පවසයි:

අවසන් වසරේ සරසවියේ
ඔබෙ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවණේ
මනමේ කුමරිය ඔබද ළඳේ

මා දකින විදිහට මේ ගීතයේ සියලු හරය ගැබ්වී ඇත්තේ මෙහි අවසාන පදය වන; “මනමේ කුමරිය ඔබද ළඳේ?” යන පදය තුළයි.

එහෙත් එය ඔහු විසින් අනාගතය දැකීමක්ද නැතිනම් ඇය දැනටමත් මනමේ කුමරියක් දැයි සැක පහළ කිරීමක්ද? මේ ප්‍රශ්නයට පිළිතුර මෙහි තිබේ;
“අවසන් වසරේ සරසවියේ – ඔබෙ අත අරගෙන හන්තානේ” –
ඇය ඔහු වෙත එන්නේ සරසවියේ අවසන් වසරේදීයි. ඇය දැනටමත් මනමේ කුමරියක බවට මේ පදයෙන් දෙන ඉඟිය ගීතයේ අනෙකුත් පද වලින් ද තහවුරු වෙයි. 

නැවතත් සංගීතය වෙනස් වෙයි. පෙම්වතියගේ පිළිතුර මනමේ නාටකය අනුසාරයෙන් ශ්‍රාවකයාට හැඟෙන්නට​ සලස්වයි.

හැඩි දැඩි සිරුරට ආලය බැඳුණා
ඔබ වෙත අසිපත දෙන්නට සිතුණා
මනමේ කුමරුන් මරුමුව වැටුණා
දැන් මම රැජිණකි හිමගිරි අරණා

නාටකයේදී මනමේ කුමරිය පවසන්නේ බොරුවක් බව පෙන්නුම් කෙරෙන්නේ මනමේ කුමරියට රඟපාන නිළියගේ ඇස් දෙකයි. මුලු නාටකයේම හරය රඳා පැවතියේ “සිතුණෙ කඩුව ඔබ අතටම දෙන්නයි……” යන පද පවසන මොහොතෙහි ඇය සිය නෙත් වලින් කියාපාන​ දෙය මතයි. මෙහිදී ගීත රචකයාට අවශ්‍ය​ වන්නේත් වර්තමාන පෙම්වතියගේ පරමාර්ථයත් එයම බව පැවසීමද?

” මනමේ කුමරුන් මරුමුව වැටුණා – දැන් මම රැජිණකි හිමගිරි අරණා” :- රාජධානියක අග බිසව වන්නට සිටි ඇය මහා වනාන්තරයක රැජිණක් වන්නට ලැබීම පිළි ගැනීම? ඒ ඉරණමට ඇය ගේ ඇති සුදානම​? 

ජීවිතය තමා සිතන තරම් සුමටව සියුමැලිව ගලා නො යන අවස්ථාවල දී පවතින තත්ත්වයට අනුගත වී, නො නැසී ජිවත් වීම සඳහා කාන්තාවක සිය ප්‍රයෝග සම්පත්තිය උපයෝගී කර ගන්නා ආකාරය යථාර්තවාදී කලාකරුවන් අතිශය නිර්මාණශීලී ලෙස පෙන්වා දෙන ආකාරය මවිත කරවන සුළුයි. කෙසේ නමුත්, ඒ ප්‍රයෝග සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගැනීමට වැද්දකු ඉදිරියේ දී ඇයට හැකි වේවි ද​?

අවසානයේ දී පෙම්වතා නැවැතත් මෙසේ පවසයි;

රඟහල දැන් ඇත අඩ අඳුරේ
අප දෙදෙනා පෙම් පිළිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනි වී ඇත හිමගිරි අරණේ

අවසන් වශයෙන් ඔහු කියන්නට උත්සාහ කරන්නේ සිය පෙම්වතියටත් කවදා හෝ සමාජය නැමැති මහා වනාන්තරයේ තනිවන්නට සිදුවන බව ද?

ගී පද රචනය – හඩ්සන් සමරසිංහ
සංගීතය – ඔස්ටින් මුණසිංහ

-අමා නයනාදරී සිරිවර්ධන​-
(12.08.2013 වැනි දින ‘ගීයක වරුණ​’ සමූහයට තැබූ සටහන කි.)

ගීතයට මෙතනින් සවන් දෙන්න:

මුල් ගීතය අසන්නට සැලැස්වූ හෂිත අබේවර්ධනට විශේෂ ස්තූතිය!

Design a site like this with WordPress.com
Get started