මානවසිංහ ගී මග වර්ණවත් වන්නේ 1950 වසරේදී අමරදේවයන්ගේ සොඳුරු හමුවීමෙනි. උග්‍ර සම සමාජ පාක්ෂිකයකු වූ හෙන්රි පීරිස්ගේ ‘දුගී නාදය’ නමැති නාටකයෙහි ගීත රචනා කිරීමට මොරටුව කොරලවැල්ලට ගිය මානවසිංහයන්ට එහි සංගීතය සපයන්නට පැමිණි ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා මුණ ගැසේ. මේ සුසංයෝගයෙන් සිංහල ගීත කලාවට වැටුණු ආලෝක ධාරාව අද ද පරාවර්තනය වෙමින් දීප්තිය විහිදුවයි.
සිංහල ගීත සාහිත්‍ය සුපෝෂණය කළ ගේය පද රචකයන් අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. හින්දි සහ දමිළ ගී තනුවලට වචන පිරිද්දීම බහුල ව සිදු කෙරෙන අවදියේදී ගීත රචනයට ප්‍රවිෂ්ට වූ ඔහු එමඟින් බැහැර ව සාධනීය ගමනකට ප්‍රාරම්භක වූවන් අතර පෙරමුණේ හිඳී. කුඩා අවදියේ සිට ම ප්‍රගුණ කොට මහඟු ඵල නෙළා ගත් කවිකම සේම ආගම දහමට සහ සොබාදහමට දැක්වූ හිතෛෂීකම ඔහුට ඒ සඳහා මහෝපකාරී වන්නට ඇත.
එමතු ද නොව පාලි සංස්කෘත ඇතුළු භාෂා ගණනාවක හසළ දැනුම, ජ්‍යොතිෂය, නක්ෂත්‍ර මෙන්ම හදිහූනියම් පිළිබඳ ව පවා ඔහු තුළ වූ අවබෝධය අතිමහත් ය. ලංකාදීප පත්‍රයේ වගතුග තීරු ලිපි රචකයා ලෙස කීර්තිමත් නමක් දිනා සිටි මානවසිංහයන් ගීත රචනයට එළඹුණේ රට පිළිගත් ප්‍රාමාණික උගතකු ලෙසිනි.
ජනප්‍රිය හින්දි හෝ දෙමළ තනුවක් ගෙන මොනවා හෝ වචන පෙළක් ඒ හා සැසඳෙන පරිදි භාවිත කිරීම සුලබ වූ නිසාම බුදුගුණ මවුපිය ගුණ ආදී ගීතවලත් ප්‍රේම ගීතවලත් වෙන් වෙන්ව භාවිත වූයේ එක ම වචන මාලාවකි. තනුවට අවශ්‍ය පරිදි ගීත රචනය කිරීමෙන් අරුත යටපත් වී ශබ්දය ඉස්මතු වීම දක්නට ලැබුණි.
මානවසිංහයන් ලංකාදීපයේ සේවය කරන විට ලංකාදීප, වනිතා විත්ති සහ රසවාහිනී යන පත්‍ර සඟරාවලත් ඊට පරිබාහිර ව ප්‍රකාශයට පත් කරන ලද විවිධ වාර ප්‍රකාශනවලත් කව් සහ ගී නිර්මාණය කර පළ කිරීම නිසා කිසියම් ජනප්‍රසාදයක් උපයාගෙන තිබිණි. ඒ නිසාම ගීත රචනය සඳහා ආරාධනා ලැබීමට ඔහු සුදුසුකම් සපුරා සිටියේ ය. මානවසිංහයන්ගේ මුල් ම ගී පද රචනා ගායනා කළේ කිංස්ලි ජයසේකර විසිනි.
ග්‍රැමපෝන් තැටියක් සඳහා කිංස්ලි වෙනුවෙන් රචනා කළ මුල් ම ගීත දෙක මානවසිංහයන්ට ලියන්නට සිදු වූයේ හින්දි තනු අනුව ය.
“නමව් නමව් සමාදරෙන්” සහ “කෝමල තාලෙන්” ඒ ගී දෙකයි.
1955 නිදහස් උලෙළ සඳහා රුක්මණී දේවිය ගායනා කළ “දල්වවු බැති ආදර පෙම්” ගීය ද හින්දි තනුවක් අනුව ලියූ මානවසිංහ රචනයකි.
මේ ‘වචන දැමීම’ නොඉවසූ මානවසිංහයන්ට අද්භූත ආගන්තුකයකු හමු විය. ඔහු, භාරතයට ගොස් පෙරළා සිය රට පැමිණ නව ගී ආරක් සඳහා පියවිලි එලූ ආනන්ද සමරකෝනුවන් ය. ඔහුගෙන් ලද ආභාසය තමන්ට බෙහෙවින් ම ඉවහල් වූ බව අප ගීත රචකයා කෘතවේදී ව සඳහන් කළේ “සමරකෝන් අවමංගල්‍යය” වෙනුවෙන් ලියූ ලිපියක ය.
“ආනන්ද සමරකෝන් ජන ජීවිතය රසවත් කළ කවියෙකි. සංගීතවේදියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ඔහු අපට ඉදිරිපිටින් සිට අපට පාර කැපූවෙකි. සැබෑ වචනයේ යථාර්ථය හැටියට මේ ලියන වගතුග ලියුම්කරුට වුවද සෞන්දර්ය රසාකරයෙන් මහඟු පබැදුම් සෙවීමට සිත මෙහෙයවන අවස්ථාව සැලසුණේ සමරකෝන් ගීයෙන් බව පැවසිය යුතු ය.” (මානවසිංහ සාහිත්‍යය)
සීමාසහිත වචන කිහිපයකින් තම කාර්යය ඉටුකළ හැකි නිසා භාෂා දැනුමක්වත්, පර තනුවකට වදන් අමුණන නිසා විරිත් පිළිබඳ අවබෝධයක්වත් එකල බොහෝ ගීත රචකයනට අවශ්‍ය වූයේ නැත. එහෙත් මානවසිංහයන් ඉහත කාරණා දෙකෙහිම පාරප්‍රාප්තව සිටි බැවින් ගලායන අතට නොව උඩුගම් බලා යාමට උත්සුක විය. ඔහු සතු සංස්කෘත භාෂා දැනුම ස්වතන්ත්‍ර ගී රචනා සඳහා භාවිත කළේ නිර්ලෝභී ව ය.
කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භ මිව පීත පයෝධර පූර්කාමෘත ධාරා
සරස්වතී ගීතය – අමරදේව
පංකජනයනී – කෝමල පාණී
වීණාධාරී – රංග තරංගී
ජීවනයේ මධුපාණී
සුරකුල රාණී – මනෝ මෝහිණී
කනක කිංකිණී – පාද ජාලිනී
භගවති භාරති දේවි
සරස්වතී ගීතය – පී. වී. නන්දසිරි
මානවසිංහ ගී මග වර්ණවත් වන්නේ 1950 වසරේදී අමරදේවයන්ගේ සොඳුරු හමුවීමෙනි. උග්‍ර සම සමාජ පාක්ෂිකයකු වූ හෙන්රි පීරිස්ගේ ‘දුගී නාදය’ නමැති නාටකයෙහි ගීත රචනා කිරීමට මොරටුව කොරලවැල්ලට ගිය මානවසිංහයන්ට එහි සංගීතය සපයන්නට පැමිණි ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා මුණ ගැසේ. මේ සුසංයෝගයෙන් සිංහල ගීත කලාවට වැටුණු ආලෝක ධාරාව අද ද පරාවර්තනය වෙමින් දීප්තිය විහිදුවයි.
සැබෑ නිර්මාණකරුවකුට සොබා දහමින් ඈත්ව කටයුතු කළ නොහැකි බව ප්‍රාරම්භක අවදියේ ම සනාථ කළ ගේය පද රචකයා මානවසිංහයන් ය. පණ්ඩිතමානී විදග්ධ භාෂාව උපයෝගී කර ගනිමින් ගී ලියූ ඔහු ගැමි ගීත කලාවට යොමු වන්නේ ඒ කිසිත් නොදත් අමුම අමු ගැමියකු ලෙසිනි. එහිදී ඔහුගේ වදන් මාලාව සේම ඇසුරු කරගත් විරිත ද අතිශයින්ම සරල ය. කුඩා දරුවකුට වුවද ඉතා පහසුවෙන් මතකයේ රඳවා ගත හැකිය.
අකුරට යනවයි කියලා
ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මං ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි
අල්ලල දෙන්නම්
පඳුරු අස්සෙ කුරුල්ලන්ට
ඔමරි කරනවා විතරයි
සිළිදු ඉතින් දර කැඩුව ද මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට
අල්ලල දෙන්නම්
එස්. කරුණාදාස සහ සහාය ගායිකාව
බුදු ගුණ ගීත රචනයේදී මානවසිංහයන් වදන් හැසිරවූයේ භක්තිය සහ ශාන්ත බව දනවන අයුරිනි. සංගීතය ගැඹුරින් හදාරා නැතත් ඔහුට විවිධ රාග පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබුණි.
කවි සමයේ එන ඉපැරැණි විරිත් භාවිත කළ හැකි සේම නානාවිධ විරිත් උපද්දා ගත හැකිය යන්න ඔහු පසක් කරගෙන සිටියේ ය. ඒ නිසාම ඔහුගේ රචනා ශෛලීන් එකිනෙකට වෙනස් විය. මහබෝ වන්නම ගැන ඔහුගේ පහත සටහන විමසා බලන්න.
“කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන්වන මහල් තලයේ කවුළුව ළඟට වී වසන්ත සුළං රැලිවලින් වෙලී ගිය බෝ ගසක නැටවෙන කොල දෙස බලා සිටි මගේ සිත එහි ලතාව සමඟ වෙලී ගියේය. මේ ලතාව ඉබේටම වාගේ තන තන තනෙන – තන තන තනෙනා – තානෙන තන තනෙනා… ලෙසින් මගේ මුවට නැගෙනවාත් සමඟම ඒ අතිරමණීය ප්‍රභාමත් ප්‍රභාතයේ නේරංජනා නදී තීරයේ බෝ රුක් සෙවණේ සව්නේ ගෙවා දැන පහන් වී ගිය මුහුණින් යුතුව ශාන්ත සමාධි සුවයෙන් වැඩසිටි ශාක්‍ය සිංහයන් වහන්සේගේ විලාසයත් ඉන් පසු කලෙක සඟමිත් මෙහෙණිය විසින් සිරිමා බෝ දකුණු ශාඛාව හෙළදිවට ගෙන ආ දිනයේ එහි බෝපත් නමා ගිය සැටිත් මගේ මනසෙහි ඇඳී ගියේය.
– කෝමල රේඛා
මානවසිංහයන්ගේ චිත්‍රපට ගීත කලාව ද සුවිශේෂ ය. ලංකාදීපයේ සේවය කළ ජයතිස්ස හේරත් විසින් ඔහු කැඳවාගෙන ගියේ දෛවයෝගය චිත්‍රපටයේ ගීත ලියන්නට ය.
මේ නවක චිත්‍රපට පසුබිම් ගීත රචකයා ඒ චිත්‍රපටයට ලියූ ගීත හතර ම අතිශයින් ම ජනප්‍රියත්වයට පත් විය.
ජීවිත ගමනේ දෛවයෝගේ – මොහිදින් බෙග්
ආදරියේ රුචිරාණනියේ – මොහිදින් බෙග්
හද ගිලෙයි අමමිහිරේ – බෙග් සහ රුක්මණී
දොයි දොයිය පුතා දොයි දොයි – රුක්මණි
ඉනික්බිතිව රන්මුතුදුව චිත්‍රපටය සඳහා ලියූ ගීත තුන අදටත් ජනප්‍රියත්වයෙන් අඩුවක් නැත.
පාරමිතා බල – අමරදේව
ගලන ගඟකි – නාරද සහ නන්දා මාලිනි
පිපි පිපී රේණු නටන – නාරද දිසාසේකර සහ පිරිස
මෙම චිත්‍රපටයේ ගීත රචනය උදෙසා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පවත්වන ලද ප්‍රථම සරසවි සම්මාන උලෙළේ සම්මාන හිමි වූයේ මානවසිංහයන්ටය . ඉන්පසු ඔහු ලා දලු, සැපත සොයා සීතල වතුර, සිකුරු තරුව ආදි චිත්‍රපට ගණනාවකට ගීත රචනයෙන් දායක විය.
ගුවන්විදුලි ගීත, ග්‍රැමෆෝන් ගීත සහ චිත්‍රපට ගීත රචනා කළ ඔහුගේ ප්‍රතිභාව ඉහළින් ඔසවා තබන්නේ ගුවන් විදුලි ගීත නාටකයි. මනෝහාරි උල්පත සීතාවක රනගුරු ශ්‍රී වල්ලි සේනානායක විරායණය ආදි ගීත නාටක 15ක් පමණ ඔහු ගුවන්විදුලියට රචනා කළේ ය.
හින්දු දේව කතා, ඓතිහාසික කතා මිථ්‍යා කතා කවි කල්පිත ඇසුරෙන් ඔහු ගීත නාටක රචනා කළ අතර ඒ සියල්ල අතිශයින්ම ජනාදරයට පාත්‍ර විය. ගීත නාටක ලෙස සහ එහි ඇතුළත් ගීත වෙන් වෙන්ම ගෙන රස විඳින්නට රසිකයෝ උනන්දු වූහ. ‘උල්පත’ ගීත නාටකයේ එන ‘ප්‍රේම තටාකේ මේකයි මැණිකේ’ ගීතය එවැන්නකි.
ගුවන්විදුලි පළමු ගීත නාටකය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ මානවසිංහයන්ට ය. නිෂ්පාදක තේවිස් ගුරුගේ සහ සංගීත අධ්‍යක්ෂ ඩන්ස්ටන් ද සිල්වා සෙසු පාර්ශ්වකරුවෝ වූහ.
මානවසිංහයන් ඉනික්බිතිව යොමු වන්නේ මුද්‍රා නාට්‍ය සඳහා ගීත නිර්මාණයටයි. ඒ අභියෝගය ඉතා පහසුවෙන් ජය ගත් ඔහු වසන්ත කුමාර, බැසිල් මිහිරිපැන්න, ප්‍රේමකුමාර එපිටවෙල, කාලිංග ඔබේවංශ ආදි නර්තන ශිල්පීන්ගේ මුද්‍රා නාට්‍යවලට සිය නිර්මාණ දායකත්වය ලබා දුන්නේ ය.
ඉතා කෙටි කලක් තුළ ගේය පද රචකයකු ලෙස ඉහළ ම සමත්කම් දැක්වූ මානවසිංහයන් විශේෂ අවස්ථා සඳහා ලියූ ගී ප්‍රමාණය ද සුලුපටු නැත. බුද්ධ ජයන්තිය, වෙසක්, පොසොන්, ඇසල ගීත, ආයුර්වේද ජ්‍යොතිෂය, බාලදක්ෂ, මැයි දින, සාම ආදි වශයෙන් ඔහු ගීත රචනා කර ඇත.
කවියකු, ගීත රචකයකු, පුවත්පත් කලාවේදියකු පමණක් නොව දේශකයකු ලෙස ද මානවසිංහ නමක් දිනා සිටියේය. ඔහුගේ දේශන අසා ගී පද රචකයන් බවට පත්වූ අය අතර මහගමසේකරයන් ද වෙති.
ඉගෙනීම අවසන් කොට ගුරුවරයකු සේ සේවය කිරීම සඳහා කොළඹ නගරයට පැමිණීමට බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමයේදී මානවසිහංයන්ගේ දේශනයකට සවන් දීමට ලැබිණි. ගීත රචකයකු වීම තම ජීවිතයේ එක් අරමුණක් ඉටුවීමකැයි ඒ මහතා එහිදී සඳහන් කළේය. මා ද ගීත රචකයකු වූවොත් මැනවැයි එවෙලේ මට නිකමට සිතිණ.
– මහගමසේකරගේ ගීත
මානවසිංහයන් රන්මුතු දූවට ලියූ ගීත තුන තුන් ආකාරයකි. ‘පාරමිතා බල’ බුදු ගුණ ගීයකි. ‘ගලන ගඟකි ජීවිතේ’ සොබා සෞන්දර්යයෙන් පිරිපුන් ප්‍රේම ගීයකි.
‘පිපී පිපී රේණු නටන’ විනෝදාස්වාදය සඳහා වූ ගීයකි. එක ම චිත්‍රපටයක එන මේ එකිනෙකට වෙනස් ගීත තුන පමණක් විමසා බැලීමෙන් ඔහුගේ ප්‍රතිභාව හඳුනාගත හැකිය.
සීමාසහිත වපසරියක දෝලනය වූ ගීත කලාව ඉන් මුදවාගෙන ඔබ්බට රැගෙන යන්නට මානවසිංහයන්ට හැකි විය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඔහු පිළිබඳ ව මෙසේ සටහන් තබයි.
සේකර අද්‍යතන ගීත රචනා පරපුරේ
පියා ලෙස සලකන්නට පිළිවන
එසේ නම් මානවසිංහ අද්‍යතන
ගීත රචනා පරපුරේ සීයා ලෙස
හැඳින්වීමේ වරදක් නොපෙනේ
– ආනන්ද සමරකෝන් අධ්‍යයනය
එදා මානවසිංහයන් වැනි කිහිප දෙනෙකු එක්ව යහපත් මාර්ගයකට ගෙනා සුභාවිත ගීත රචනා කලාව අද අයාලේ ඉබාගාතේ ගමන් කරනු පෙනේ. එදා මෙන්ම අදත් අර්ථය අබිබවා ශබ්දය ඉස්මතු වීම හිතකර තත්ත්වයක් නොවේ. මානවසිංහයන් වැනි සුවිහේෂී නිර්මාණවේදීන් හැදෑරීමත්, ඔහු වැන්නන්ගේ ආගමනය ප්‍රාර්ථනා කිරීමත් හැර අන් යමක් අපට ඉතිරි ව නැත.
–බණ්ඩාර ඇහැළියගොඩ