සත්‍යා

සත්‍යා

‘සත්‍යා’ ටෙලි නාට්‍ය රූපවාහිනී විකාශය අවසන් වී තරමක් කල් පසු වී ඇතත්, කඩින් කඩ බැලූ හෙයින් සම්පූර්ණයෙන් නරඹා හමාර කළ හැකි වූයේ අද​ යි. දීර්ඝ විචාරයක් කළ යුතු ටෙලි නාට්‍යයකට කෙටි සටහනක් තැබීම ඒ තරම් සාධාරණ නැතැයි සිතේ. එ තරම් වේලාවක් ගත නො හැකි හෙයින් ඉතාම කෙටියෙන් පැවසුවහොත් නාට්‍යය ගැන මගේ අදහස මෙසේ යි;

නාට්‍යයේ නිර්මාණකරු නාමල් ජයසිංහට වර්තමාන ලාංකීය සමාජය ගැන අත්දැකීමෙන් සහ නිරීක්ෂණය තුළින් පැවසිය යුතු වැදගත් යමක් තිබුණා. ඉතාම සාධාරණ විවේචනයක් තිබුණා . අවසාන කොටස නැරැඹූ පසු මට නම් හැඟී ගියේ සෑහෙන පමණ කුතුහලය සහ නිර්මාණාත්මක බව රඳවා ගත් කතාවක් තුළ සීරුවෙන් තෝරා ගත් චරිත හරහා ඔහු ඒ කිව යුතු සියල්ල​ පවසා “මගේ කතාව අවසානයි මෙතෙක් නැරැඹූ ඔබ සැමට ස්තූතියි” කියන්නා සේ නාට්‍යය හමාර කළ බව යි. අද අප ඉන්නේ නාට්‍ය හරහා ඔහු ප්‍රකාශයට පත් කළ කිසිවක් අසත්‍ය නො වන බව “සාධාරණ සැකයෙන් ඔබ්බට”​ පිළි ගත හැකි වටපිටාවක් තුළ​. වෙන කාලයක නම් මෙවැනි දේ හුදෙක් නිර්මාණ තුළ මවන ජුගුප්සාජනක දේ ලෙස සිතා බැහැර කරනවා. සෑහෙන කාලයක් තිස්සේ අවිඥානිකව සිතා සිටියේ ප්‍රබන්ධ කතා තුළ මිස​, සත්‍ය ලෝකය තුළ මේවා ඉතා විරල සිදුවීම් බව යි. ඒත් අද වෙද්දී සැබෑ ලෝකය තුළ ද​ කිසිසේත්ම​ දුර්ලබ නොවන, අරුම පුදුම දෑ නොවන බව පසක් වී හමාර යි.

ඇත්තෙන්ම​, මේ නාට්‍යය නරඹද්දී මිනිසකු පණ පිටින් වළ දැමීම​ මුල සිටම​ පෙණුනේ රූපකයක් (metaphor) ලෙසින්​. ඒ තරමට වර්තමාන සමාජය තුළ පවතින්නේ ජීවත් වන මිනිසුන් පසට යට කිරීම​ නොයෙකුත් ආකාර වලින් ක්‍රියාත්මක වන තත්ත්වයක්. ඒ බව තත්ත්වාකාරයෙන් දැකීමට අවශ්‍ය කරන්නේ “පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය​” රාමුව තුළින් ඉවතට පැමිණ ලෝකය දැකිය හැකි “මනැස”ක් පමණි.

කෙසේ නමුත්, නාට්‍යය හමාර වුණේ නරඹන්නන්හට තමන් කැමැති පරිදි විසඳා ගැනීමට ප්‍රහේළිකා ඉතිරි කරමින්. ප්‍රධාන​ චරිතය වන කුලී රථ රියැදුරු ගේ වෘත්තීය සගයා සිය මිතුරාගේ මළ ගමින් පසු අතුරුදහන් වීම කතාවට ගලපන්නේ කෙසේද යන්න පැහැදිලි නැහැ. එම කුලී රථ සමාගමත් දේශපාලකයන් ගේ මිනීමැරුම් වලට හවුල් ද​? අවසානයේ දී ප්‍රබල දේශපාලන චරිතයට අත් වූ ඉරණම කුමක් ද​? මේ සියල්ල ප්‍රේක්ෂකයාට විසඳා ගන්නට හැර නාට්‍යය හමාර කිරීම එහි රසය බොහෝ දුරට හීන කරවනවා.

ඒ හැර අනෙක් සියලු නිර්මාණාත්මක පාර්ශ්වය මෙන් ම, සියලුම නළු නිළියන් ගේ රඟපෑම් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින ටෙලි නාට්‍යයක් බව කිව හැකියි. මගේ නම් වඩාත් සිත් ගත්තේ සැලූන් හිමිකරු ගේ රංගනය යි. සමාජයේ ආන්තික ජන කොටසක් පිළිබඳව නිර්මාණකරු තුළ පවතින හෘදය සංවේදී බව හොඳින්ම කියාපාන්නේ එවැනි චරිතයක් කතාවට සම්බන්ධ කරගැනීම තුළින්. හුදු විනෝදාස්වාදය සහ සමාජය තුළ සිදු වන දේ දැනුම් දීමකට අමතරව, මේ කතාව තුළින් දෙන වැදගත් පණිවිඩය ක් තිබේ. ඉතාම කම්පනයට පත් කළ සත්‍ය කතා පුවතක් වන​, “උසාවිය නිහඬයි” වාර්තා චිත්‍රපටය අවසාන භාගයේ දී මානව හිමිකම් සංවිධානයේ නීතිඥවරයා මෙවැනි ප්‍රකාශයක් කරනවා;

උසාවිය නිහඬයි

“ඕකත් එක්ක දැන් කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් මේ කරන දේවල් වල තේරුමක් තියේද කියලා? මම හිතන්නේ මේක හොඳ අතට නො ගියත්, හොඳ අතට නොහැරුණත්, මට හිතෙනවා අපි කරපු දේවල් නිසා මේක වඩා ඉක්මනින් , මීට වඩා නරක් නොවී තියෙන්නේ අපි කරපු මෙහෙවර නිසා කියලයි. එහෙම නැත්නම් මේක මීට වඩා භයානක තත්ත්වයක් මේ රටේ මතුවෙන්න තිබුණා.”

අගතියට පත් වූ කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටු නො වනවා පමණක් නොව, ඊට වග කිවයුතු සියලු දෙනා අදටත් නිදැල්ලේ පසු වෙනවා. එවැනි මුග්ධ , සදාචාර විරෝධී ක්‍රියා ඉදිරියේ දී පුරවැසියන් ගේ නිහඬතාවය අත් කර දෙන්නේ ඊටත් වඩා භයානක ප්‍රතිඵල​. පුරවැසියන් තම තමන් ගේ වගකීම ඉටු නො කිරීමෙන් වෙන්නේ තත්ත්වය වඩාත් දරුණු වීම යි. ඔවුන් සිය​ යුතුකම ඉටු කළ යුතුයි. ටෙලි නාට්‍යයේ “සංජය” නම් චරිතය හරහා නාමල් ජයසිංහ​ දුන්නේ ඒ පණිවිඩය​.

උතුම් සංස්කෘතියක් හිමි රටක් ලෙස ආරෝහණය කිරීමට දෙයක් තවත් ඉතිරි ව නැත .අවශ්‍ය කරන්නේ ලංකාව තවත් එක් රටක් ලෙස සලකා අවශ්‍ය තැන දී වහ වහා ක්‍රියාත්මක වීම පමණි.

අමා නයනාදරී සිරිවර්ධන​
16-01-2021

තණමල්විල කොල්ලෙක් (ලිපි අංක 2)

“තණමල්විල කොල්ලෙක්” හි අවසානය ඊයේ සටහන් විය.

නාට්‍යය පිළිබඳව​ ඉතාම හරවත් විග්‍රහ දැනටමත් දුටු හෙයින්, මගේ මානයට හසු වූ, එහෙත් මෙතෙක් කියවන්නට නොලැබුණු, කරුණු කිහිපයක් පිළිබඳව පමණක් මෙහි සටහන් කරමි.

සම්පූර්ණයෙන්ම වචනයක් පාසා විස්තර නොකැර, එක් රූප රාමුවක් හෝ දෙකක් හරහා පමණක් ප්‍රේක්ෂකයන්ට සිය පරිකල්පන ශක්තිය මෙහෙයවා, සිදු වීම අවබෝධ කර ගැනීමට ඉඩක් ඉතුරු කළ අවස්ථා මේ නාට්‍යය තුළ​ බොහෝ විය. ඉන් කිහිපයක් සඳහන් කළොත්;

– අවසාන කොටසේ දී , යසෝදරා ගේ ගෙය ඉදිරිපිට ළමුන් පිරිසක් මිදුලේ සිටින රූප රාමුව තත්ත්පර 5-6 කට පමණක් සීමා වෙයි. ගේ ඉදිරිපිට බෝඩ් ලෑල්ලක් ද පෙනෙන්නට ඇත​. අඩු තරමින් එය කියවා ගැනීමටවත් ඉඩක් තබා නැති නමුත්, සිදු වී ඇති දේ අවබෝධ කර ගැනීම නරඹන අපට​ කිසිසේත් ම අපහසු නොවෙයි. රුප රාමු සහ ඉන් අනතුරුව ඇති වන දෙබස තුළින් යසෝදරා ගේ ජීවිත කතාව ඇගේ මරණයෙන් අවසාන නොකර, ඊට​ සුදුසු ම සමාප්තියක් වෙත​ ගෙන යාමට​ නිර්මාණකරු වා සමත් වී ඇත​.

– දිප්ත ගේ සොහොයුරා ට අත් වූ ඉරණම ගැන ද පැහැදිලි චිත්‍රයක් තත්ත්පර කිහිපයකට පමණක් සිමා වන රූප රාමු සහ දෙබස් තුළ තුළ සැඟවී තිබුණි. විශේෂයෙන්ම ඔහු ගේ බිරිඳ ඔහු ව පැන් නහවන දර්ශනය තුළින් අදහස් කරන්නේ ආබාධිත වුව ද, බිරිය ඔහු ගේ සෙවණැල්ල සේ ළඟ සිටින බව ප්‍රේක්ෂකයා වෙත දන්වා සිටීම යි.

– කැළුම්සිරි පැවිද්ද ලැබීමෙන් අනතුරුව , ඔහු ගේ කල්ලියේ මිතුරන් කට පුරා ඇමතුවේ සිරිරතන හාමුදුරුවෝ නමිනි. නමුත් , අවසාන කොටසේ දී “කැළුම්සිරි දැන් කොහේද ඉන්නේ” දීප්ත අසයි. සිරිරතන හාමුදුරුවන් වැඩ සිටි පන්සලද අගුලු දමා ඇති බව පෙන්ව යි. කැළුම්සිරි උපැවිදි වී ඇති බවත්, නමුත්, පැවිදි ජීවිතයේ දී ආරම්භ කළ කවි බණ ව්‍යාපාරය උපැවිදි වීමෙන් පසුව ද, ඔහු දිගටම කර ගෙන යන බවත් ප්‍රේක්ෂකයා වෙත දන්වා සිටින්නේ රූප රාමු කිහිපයක් සහ දෙබස් කිහිපයක් තුළින් පමණි.

සමාජයේ සත්‍ය වශයෙන්ම සිදු වූ ඇතැම් සිදු වීම් සිය නිර්මාණ සඳහා බොහෝ විට නිර්මාණකරුවන් විසින් පාදක කර ගනී. ඒවා වස්තු බීජය ලෙසින් ගෙන සිය පරිකල්පන ශක්තිය මෙහෙයවා වැඩි දියුණු කර නිර්මාණ හරහා ඉදිරිපත් කිරීමට ඔවුන් සමත් වෙයි. කැළුම්සිරි පැවිදි වීම සහ උපැවිදි වීම ද ලංකාවේ සිදු වූ සත්‍ය සිදු වීමක් බව , මා දැන ගත්තේ නාට්‍යය ගැන සමූහය තුළ මතු වූ සංවාදයක දී අදහස් දැක්වීමකිනි;

“කාලෙකට කලින් කවි බණ සෑහෙන්න ජනප්‍රිය වෙලා තිබ්බා, ඒ කාලෙ දෙරණ එෆෙම් එකේ කවිබණ කිව්වා අලවතුරේ විජිතවංශ කියලා හාමුදුරු කෙනෙක්, කැසට් පවා තිබ්බා.. මේ මෑතක දි මට ඇහුණා ඒ හඩම අලවතුරේ විජිත කිවිදු කියලා… මට ඒක මතක් උනේ සිරිරතන හාමුදුරුවොන්ගෙ චරිතෙ එක්ක…” (උපුටා ගැනීම කි).

දිගින් දිගටම කතාවක් පෙන්වා, ප්‍රේක්ෂකයා අවසානයේ දී වූයේ කුමක් දැයි සිතා ගත නො හැකි තැනක අතරමං කර නිර්මාණකරුවන් පලා යන අවස්ථා චිත්‍රපට සහ නාට්‍ය වල අප විසින් අත් දුටු අවස්ථා බොහෝ ය​. ප්‍රේක්ෂක බුද්ධිය මෙහෙයවීමට ඉඩ විවර කර තබමින් , හැම චරිතයක් වෙත ම ප්‍රේක්ෂකයා ගෙන ගොස් ඔවුන්ට සිදු වූ දෙය ගැන කියා නාට්‍යය හමාර කිරීමට තරම් මෙහි නිර්මාණකරුවන් වගකීම් සහගත වීම මෙසේ මෙම නාට්‍යය තුළ​ මා දුටු තවත් විශේෂත්වය කි.

සමාජයේ පිළි ගත් සාම්ප්‍රදායික මත නිර්දය විවේචනයට ලක් කෙරුණු අවස්ථා ද විය.

– සාලිය , මාරියාට කරන්නේ අයුතු යෝජනාවක් බව දන්වා සිටින්නේ ද මරියා කෝපයෙන් “කලාකරුවන් වුණාම මීට වඩා වගකීම් සහගතව හැසිරෙන්න ඕනෑ” යයි කරන එකම ප්‍රකාශය තුළිනි. සාලිය නාට්‍යයට අනුව, සම්මානලාභී විදග්ධ මට්ටමේ කලාකරුවෙ කි. “කලාකරුවෝ සොඳුරු හදවත් ඇත්තෝ වෙති” යන ප්‍රසිද්ධ මතයට මේ හරහා එල්ල කෙරෙන්නේ දැඩි පහර කි.

– 44 වන කතාංගයේ දී “දැන් ඉන්න පාතාලයේ එවුන්ට වඩා මට මේ පොත් කියවන එවුන් විශ්වාස නැහැ” යැයි දීප්තට අහම්බෙන් හමුවන “සහෝදරයා” ප්‍රකාශ කරයි. ඒ ප්‍රකාශය තුළ ඇති ගැඹුරු අරුත​ කියවා ගැනීම ප්‍රේක්ෂකයා සතු වගකීම කි. ඉතාම සරලව එයින් මට ගම්‍ය වන්නේ “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” යන කියමන ප්‍රශ්න කිරීමේ උත්සාහයකි. කෙසේ වෙතත්, එම ප්‍රකාශය අද සාමාන්‍ය සමාජය තුළ අපට හමු වන​ “පොත් කියවන සහ නොකියවන” දෙපාර්ශ්වයටම වලංගු වන බව මගේ අත් දැකීම යි.

– කැළුම්සිරි ගේ චරිතය තුළින් ඉදිරිපත් කෙරෙන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ බෞද්ධයන් විසින් අන්ධ භක්තියෙන් අල්ලා ගත් ඇතැම් දේ පිළිබඳ බරපතල විවේචනය කි, කැළුම්සිරි පැවිදි වන්නේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට හෝ ආදායම් මාර්ගයක් මේ සමාජ ක්‍රමය තුළ ඔහුට නැති හෙයිනි. හීන කුලයේ කෙනෙකු වූ ඔහු පැවිදි කරවා ගන්නේ පන්සලේ ප්‍රධාන දායකයන් ගේ දැඩි විරෝධතාවය මැද, ලොකු හාමුදුරුවන් ගේ සහ අනෙකුත් කාරුණික දායක මහත්වරුන් ගේ වුවමනා ව මත ය.ඊට මුළු ගමක්ම ද​ විරුද්ධ වෙයි. නමුත්, උපන් දා සිට හරි හමන් මුදලක් අතට ලද​ පුරුද්දක් නැති සිරිරතන හිමියන්, ටිකෙන් ටික මුදලට ගිජු වෙයි. ඒ පන්සලේ නඩත්තුව සහ අවම අවශ්‍යතාවයන් පිණිස පමණ ද ? නැත​​, සිය සුඛ විහරණය උදෙසා ද මුදල් හරි හම්බ කර ගන්නා තැනට පත් වෙයි. අවසානයේ දී හොරකමක් කර පලා ගොස් උපැවිදි වෙයි. මේ සිදු වීම් තුළින් කුල ක්‍රමය විවේචනය කිරීම පමණක් නොව, සසුන් ගත වන්නේ කුමන අරමුණු වෙනුවෙන් දැයි විවෘත මනසකින් බැලීමට ප්‍රේක්ෂකයාට ආරාධනා කරයි.

– පන්සලේ ලොකු හාමුදුරුවන් ගේ චරිතය ද බෙහෙවින් මතභේදාත්මක චරිතය කි. උන් වහන්සේ දායිකාවක සමග ඇසුරක් පවත්වා ඇති බවට ඇතැම් දෙබස් හරහා ඉතා සියුම් ලෙස​ ඉඟි ලබා දේ. නමුත්, අසම්මත චර්යාවන් තුළින් හෝ අවසානයේ දී යම් කිසි අවබෝධයක් කරා ළඟා වීමට උන් වහන්සේ ට හැකි වී ඇති බව ද කියා සිටින තැන් අපට දකින්නට ලැබේ. ඉතාම නිහඬ චරිතයක් වීම, සමාජ ආශ්‍රයෙන් බැහැර වී නිරතුරුව භාවනානුයෝගීව වැඩ වසන බව පෙන්වා සිටීම, පන්සල පිළිබඳ තීරණ ගැනීම සිරිරතන හාමුදුරුවන්ට පැවරීම හරහා වස්තු තණ්හාවක් නැති බව සහ අත් හැරීම ප්‍රගුණ කර ඇති බව කියා සිටීම​ මගේ මතකයට නැගෙන එවැනි තැන් කිහිපයෙ කි. එයින් අරමුණු කර ඇත්තේ භික්ෂු ශීලය රැකීම ගැන බෞද්ධයන් තුළ මුල් බැස ගෙන ඇති ආකල්ප කඩා විසුරුවා දැමීමක් පමණක් ම නොවෙයි. පුද්ගල විමුක්තිය උදෙසා භාවනාව වගේම​, අත්දැකීම් වලින් ලැබෙන පිටු බලය ගැනත් දන්වා සිටීමට නිර්මාණකරුවන් අරමුණු කළේ ද​?

තණමල්විල කොල්ලෙක්

මෙවැනි මතභේදාත්මක තැන් සාම්ප්‍රදායක බෞද්ධයා කුපිත කරවන සුළු විය හැකියි. ඇතැමෙකු මේවා බුදු දහමට විරුද්ධව එල්ල වෙන කුමන්ත්‍රණ ලෙස අර්ථ කථනය කිරීමේ ඉඩක් ද.පවතී. නමුත්, මේ නාට්‍යයේ නිර්මාණකරුවන් ගේ අරමුණ වූයේ විවෘත මනසකින් නො බලන ඇතැම් බෞද්ධයන් විසින් බෞද්ධ සංස්කෘතිය තුළ අන්ධ භක්තියෙන් අල්ලා ගත් දේ විවේචනය කිරීමක් මිස, බුදුන් වදාළ ධර්මය විවේචනය කිරීමක් නොවන බව ඉතා ප්‍රබලව දන්වා සිටින්නේ අවසාන රූප රාමුව යි. බුදු රජාණන් වහන්සේ චිත්ත සමාධියෙන් වැඩ සිටින බුදු රුවක් පෙන්වා කතාව හමාර කර යි. ඒ හරහා පිළිඹිබු කෙරෙන්නේ , මෛත්‍රි , කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ ප්‍රතිපදාව අනුව ජීවිතය පවත්වා ගෙන යාමේ​ ඇති වැදගත් කම ගැන නොවේද?

ඇත්තෙන්ම “තණමල්විල කොල්ලෙක්” පහන් සංවේගය දනවමින්, ප්‍රේක්ෂක බුද්ධිය අවදි කළ නාට්‍යය ක් බව සඳහන් කරනු කැමැත්තෙ මි.

අමා නයනාදරී සිරිවර්ධන​
30-06-2020

තණමල්විල කොල්ලෙක් (ලිපි අංක 1)

නාට්‍යය පෙන්වන​ සාමාජීය පසුබිම ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා, ඉන්දියානු ටෙලි නාට්‍යයන්හි එන ක්‍රම්වේද අනුකරණය කරමින් නිපද වන්නට වූ, බෙහෙවින් කෘත්‍රිම ස්වභාවයක් පෙන්නුම් කළ​ ටෙලි නාට්‍ය රැල්ලට​ පිළිතුරු ලෙස​, ඒවායෙන් ප්‍රේක්ෂක අවධානය ඉවතට ඇද ගැනීම පිණිස කරළියට පැමිණියේ ළමා චිත්‍රපට රැල්ල අනුව යමින්, වාණිජමය අරමුණු වෙනුවෙන් ළමුන් අවභාවිතා කරන්නට වූ “සිඳූ” වැනි නාට්‍යය කි. ඒ අතරට ආ ‘කූඹියෝ’ සහ ‘සහෝදරයා’ වැනි නිර්මාණ තරමක හෝ රසඥතාවයක් ඇති ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මහත් අස්වැසිල්ලක් වූයේ ය.​ මෙම නාට්‍ය අලුත් පරපුර පමණක් නොව​, ‘පළිඟු මැණිකේ’, ‘වෙද හාමිනේ’ , ‘දඬුබස්නාමානය’, ‘කඩුල්ල​’ වැනි නාට්‍ය නැරඹූ , ඒ රසයම නැවත නැවතත් ඉල්ලා හඬන පරපුරෙහි අවධානය දිනා ගැනීමට​ සමත් වීම ද විශේෂත්වය කි. මෙසේ ‘කූඹියෝ’, ‘සහෝදරයා’ නිර්මාණ තුළින් පිබිදීමකට ලක් වූ වර්තමාන ටෙලි නාට්‍ය කලාව, එම​ ප්‍රගතිශීලී පියවර ඔස්සේ “වීරයා ගෙදර ඇවිත්” සහ “සුදු ඇඳගෙන කළු ඇවිදින්” වැනි ටෙලි නාට්‍ය හරහා තව දුරටත් ඉදිරියට ඇදෙනු දැක ගත හැකි විය​. “තණමල්විල කොල්ලෙක්” ටෙලි නිර්මාණය​ මා දකින්නේ එකී දාමයෙහි ම තවත් පුරුකක් ලෙසිනි.

මේ හැම නාට්‍යයකටම ආවේණික ශෛලීන් කැපී පෙනෙයි. “Plot twist” රීතිය අනුගමනය කර තිබූ ‘කූඹියෝ’ එකිනෙකට ඈඳුණු නමුත්, වෙන් වෙන්ව විකාශනය වී ඇති කතන්දර කිහිපයක් අවසානයේ දී එකට පූට්ටූ කරමින් හමාර කිරීමට දක්ෂ වීම​ අතින් දෙවැනි වන්නේ ඩබ්ලිව්. ඒ . සිල්වා සූරීන් ගේ නවකතා වලට පමණක් බව නාට්‍යය නරඹා අවසානයේ දී හැඟුණි. ‘සහෝදරයා’, ‘වීරයා ගෙදර ඇවිත්’ වැනි නාට්‍ය​ කූඹියෝ කතාවට වඩා මා සිත් ගත්තේ ඒවායේ අන්තර්ගත වූ භාවාත්මක ස්වභාවයට ප්‍රිය කළ නිසා විය යුතුය. එහෙත්, නගරයෙන් එපිට, ග්‍රාමීය පරිසරය පසුබිම් කර ගත් “වීරයා ගෙදර ඇවිත්” කතාව තිරයේ දිග හැරෙන්නේ, නිර්මාණකරුට ගොඩ නගන්නට අවශ්‍ය වන දේශපාලනික මතවාදයට රුකුල් දෙන අංගෝපාංග පමණක් පසුබිම් සන්දර්භයෙන් ගෙන හුවා දක්වමින් වීම නාට්‍යය​ පුරා කැපී පෙනුණි. සහෝදරයා කතාවේ මුඛ්‍ය අරමුණ වන්නේ ද කතාව තුළින් එක්තරා දේශපාලන මතවාදයක් ප්‍රවර්ධනය කිරීම යි. මේ දිනවල ප්‍රචාරය වන “ගිරිදේවී” ද, නිර්මාණයක් ලෙස ගත් කළ යම් සාධනීය ලකුණු ප්‍රකට කළත්, එහිදී ද ඉහත කී ස්වභාවය, එනම් නිර්මාණකරු දැනටමත් එල්බ සිටින මතයට සහ කතා තේමාවට සරිලන සේ ​, ගැමියන් තුළ ඇති දුර්වලතා සහ කාන්තා අපයෝජන අතිශයෝක්තියෙන් හුවා දැක්වීම පැහැදිලිව දකින්නට තිබේ.

‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ සහ ‘තණමල්විල කොල්ලෙක්’ වැනි ටෙලි නිර්මාණ වෙනස් වන්නේ මෙතැන දී යි. සුදු ඇඳගෙන කළු ඇවිදින් හි නිර්මාණකරු සිය නාට්‍යය තුළින් ප්‍රකාශ කරන්නට අරමුණු කළ පණිවිඩයක් ඇතත්, එම පණිවිඩය ඉදිරිපත් කිරීමේ දී , අපක්ෂපාතී විචාරකයකු ගේ භූමිකාව ගෙන​ ගැමි සමාජයේ යථාර්ථය​, නැතහොත්, ධනත්මක සහ සෘණාත්මක පැති විනිවිද පෙනෙන සේ කතාව ගොඩ නැංවීමට වග බලාගෙන තිබුණි. මෙතෙක් විකාශනය වූ කොටස් අනුව​, ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යය තුළ, නාට්‍යයේ නමින්ම ප්‍රකාශ වන පරිදි ගම්බද තරුණයකු ගේ හැසිරීම් රටා පිළිබඳව ජනතාව තුළ ඇති කියැවීම​ සහ ගැමියන් මුහුණ දෙන ජීවන අරගලය හැරෙන්නට, නිර්මාණකරුට ඉදිරිපත් කිරීමට අවශ්‍ය යැයි හැඟෙන කිසිදු මතවාදයක ලකුණු පෙනෙන්නට නැත​. බොහෝ විට​ උත්කර්ෂයට නැංවෙන ගැමියන් ගේ අව්‍යාජත්වය විවිධ චරිත හරහා පිළිඹිබු කරන ඔහු, අසීමිතව වර්ණනාවට බඳුන් කෙරෙන ගැමි ජීවතයේ සුන්දරත්වයට යටින්, ඇති බියකරු යථාර්ථය ද​ ඇතැම් චරිත සහ සිදු වීම් හරහා මතු කර දැක්වීමට ද මැළි නොවෙයි.

තණමල්විල කොල්ලෙක්

සැපතෙහි මෙන්ම විපතෙහි ද නොවෙනස්ව එකා වන්ව සිටින මිතුරු කැළ​, පියා ගේ චරිතය තුළින් පෙන්වන උපේක්ෂා සහගත, අසරණ සරණ වන​ කාරුණික​ ගැමියා, පවුල ගොඩ ගැනීමේ උදාරතර අරමුණ ද ඇතිව, යහපත් හෙටක් ගැන සිතා කටයුතු කරන සහෝදරියක තුළ ඇති සහෝදර ප්‍රේමය එම සමාජය තුළ තවමත් නොබිඳී නොවෙනස්ව ඇතැයි පෙන්වන්නට උත්සාහ කර ඇති ධනාත්මක මනුෂ්‍ය ගුණ ධර්මයන් අතර වෙයි. නමුත් අනෙක් අතට​, පසළොස් හෝ සොළොස් හැවිරිදි වියේ පසු වන ගර්භණී මාතාවකට සිය මිය ගිය සැමියා ගේ පාර්ශ්වයෙන් ම එල්ල කෙරෙන ගැරහිලි, බුද්ධ දේශනා වලින් සපුරා පටහැණි ව යමින්, සහස්‍රය එළැඹිමින් තිබූ කාල වකවානුවේ දී පවා කුලයෙන් පිට දරුවන් මහණ කිරීමට එරෙහි වන කුල ගෝත්‍ර කරට ගත් දායකයන් , කුල හීන​ හිමිවරු සිටින පන්සල් වලට දානය නොදෙන බෞද්ධයන් සිද්ධීන් තුළ ගැමි සමාජය දෙස විවේචනාත්මක ඇස යොමු කළ ස්ථාන හමු වෙයි​. පන්සල් ඇතුළත සිදු වන වාණිජමය ක්‍රියාවන්, කාම සේවනය වැනි දේ වක්‍රාකාරයෙන් ඉදිරිපත් කරන්නේ ඊට කිසිවකුට එරෙහි වීමට ඉඩක් නොතබමින් ඉතාම සියුම් ආකාරයෙනි.

“මල්ලී අපිට වෙනස් කරන්න බැරි දේවල් ගම් වල තියෙනවා” – ගැමියන් ගේ පටු අදහස් වලට එරෙහිව කතා කළ මල්ලීට අක්කා දුන් පිළිතුරෙහි බොහෝ දේ ගැබ් වී ඇත​. ගැමියන් තුළ පවතින ඇතැම් ආකල්ප වල​ හොඳ නරක විග්‍රහ කරන්නට යාම පවා නිෂ්ඵල බවත්, ඒවා කාලයත් සමඟ හෙමිහිට වෙනස් වීමට ඉඩ හැරිය යුතු බවත් එහි අනියමින් පැවසෙයි.

යසෝදරා සහ දීප්ත​ අතර ඇති වන සංවාද හරහා ‘ගම් පෙරළිය’​, ‘කලියුගය’ , ‘යුගාන්තය’ නවකතා වරින්වර ගෙන හැර දැක්වීම තුළින් සංකේතාත්මකව ඉදිරිපත් කරන​ සාමාජීය සහ සංස්කෘතික පෙරළිය ද ගැමි තරුණියන් රුප ලාවණ්‍ය පාඨමාලා හැදෑරීම​, නගරයේ කර්මාන්ත ශාලා වල රැකියා අවස්ථා ලබා ගැනීම​, ගැමි තරුණයන් ඉතාලිය වැනි රටවලට​ සංක්‍රමණය වීම, ආදිය මගින් නිරූපණය කෙරෙයි. වෙනස් වූ සමාජ ක්‍රමයට අනුගත වන ලෙස​ සිය බිරින්දෑවරුන් හැඩ ගස්වා ගැනීමට තරුණයන් තුළ ඇති උනන්දුව ද ඉතා සියුම්ව පෙන්වීමට නිර්මාණකරු දක්ෂ වී ඇත​.

ගම පෙන්වීමෙන් අනතුරුව නගරය දෙසට හැරෙන ඔහු, නගරය සහ ගම අතර ඇත්තේ වංචාව සහ සූරා කෑම් සිදු වන ක්‍රමයේ සහ මාධ්‍යයන්හි වෙනස පමණක් බව ප්‍රේක්ෂකයාට දැනෙන්නට ඉඩ හරී.

කෙටියෙන් පවසනවා නම් ‘තණමල්විල කොල්ලෙක්’, අවටින් ඇති සමාජයේ වෙනස් වීම් වලට ප්‍රතිචාර ලෙස, ක්‍රමයෙන් වෙනස් වෙන “ගම” සහ එහි යථා ස්වභාවය නිර්ව්‍යාජව​ කියා පෑමට ගත් සාර්ථක උත්සාහයක් ලෙස හඳුන්වා දිය හැකියි. පූර්විකාවේ දී පවසන පරිදි, “කළ කී දේ හැර​, ඉර හඳ දුටු දේ හැර​, කිසිදු වත්කමක්, අයිතියක් සදාකාලික නොවන වග තාරුණ්‍යයේ දීම පසක් වීම තරම් නිවීමක් ජීවිතයකට වේද​?” යන පණිවිඩය හැර​, නිර්මාණකරු ගොඩ නැංවීමට වෙහෙසෙන වෙනත් යටි පෙළ දැක්මක් හෝ මතවාදයක් නාට්‍යය තුළ දකින්නට නැත​.

අමා නයනාදරී සිරිවර්ධන​
14 -05-2020

Design a site like this with WordPress.com
Get started