
‘සත්‍යා’ ටෙලි නාට්‍ය රූපවාහිනී විකාශය අවසන් වී තරමක් කල් පසු වී ඇතත්, කඩින් කඩ බැලූ හෙයින් සම්පූර්ණයෙන් නරඹා හමාර කළ හැකි වූයේ අද යි. දීර්ඝ විචාරයක් කළ යුතු ටෙලි නාට්‍යයකට කෙටි සටහනක් තැබීම ඒ තරම් සාධාරණ නැතැයි සිතේ. එ තරම් වේලාවක් ගත නො හැකි හෙයින් ඉතාම කෙටියෙන් පැවසුවහොත් නාට්‍යය ගැන මගේ අදහස මෙසේ යි;
නාට්‍යයේ නිර්මාණකරු නාමල් ජයසිංහට වර්තමාන ලාංකීය සමාජය ගැන අත්දැකීමෙන් සහ නිරීක්ෂණය තුළින් පැවසිය යුතු වැදගත් යමක් තිබුණා. ඉතාම සාධාරණ විවේචනයක් තිබුණා . අවසාන කොටස නැරැඹූ පසු මට නම් හැඟී ගියේ සෑහෙන පමණ කුතුහලය සහ නිර්මාණාත්මක බව රඳවා ගත් කතාවක් තුළ සීරුවෙන් තෝරා ගත් චරිත හරහා ඔහු ඒ කිව යුතු සියල්ල පවසා “මගේ කතාව අවසානයි මෙතෙක් නැරැඹූ ඔබ සැමට ස්තූතියි” කියන්නා සේ නාට්‍යය හමාර කළ බව යි. අද අප ඉන්නේ නාට්‍ය හරහා ඔහු ප්‍රකාශයට පත් කළ කිසිවක් අසත්‍ය නො වන බව “සාධාරණ සැකයෙන් ඔබ්බට” පිළි ගත හැකි වටපිටාවක් තුළ. වෙන කාලයක නම් මෙවැනි දේ හුදෙක් නිර්මාණ තුළ මවන ජුගුප්සාජනක දේ ලෙස සිතා බැහැර කරනවා. සෑහෙන කාලයක් තිස්සේ අවිඥානිකව සිතා සිටියේ ප්‍රබන්ධ කතා තුළ මිස, සත්‍ය ලෝකය තුළ මේවා ඉතා විරල සිදුවීම් බව යි. ඒත් අද වෙද්දී සැබෑ ලෝකය තුළ ද කිසිසේත්ම දුර්ලබ නොවන, අරුම පුදුම දෑ නොවන බව පසක් වී හමාර යි.
ඇත්තෙන්ම, මේ නාට්‍යය නරඹද්දී මිනිසකු පණ පිටින් වළ දැමීම මුල සිටම පෙණුනේ රූපකයක් (metaphor) ලෙසින්. ඒ තරමට වර්තමාන සමාජය තුළ පවතින්නේ ජීවත් වන මිනිසුන් පසට යට කිරීම නොයෙකුත් ආකාර වලින් ක්‍රියාත්මක වන තත්ත්වයක්. ඒ බව තත්ත්වාකාරයෙන් දැකීමට අවශ්‍ය කරන්නේ “පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය” රාමුව තුළින් ඉවතට පැමිණ ලෝකය දැකිය හැකි “මනැස”ක් පමණි.
කෙසේ නමුත්, නාට්‍යය හමාර වුණේ නරඹන්නන්හට තමන් කැමැති පරිදි විසඳා ගැනීමට ප්‍රහේළිකා ඉතිරි කරමින්. ප්‍රධාන චරිතය වන කුලී රථ රියැදුරු ගේ වෘත්තීය සගයා සිය මිතුරාගේ මළ ගමින් පසු අතුරුදහන් වීම කතාවට ගලපන්නේ කෙසේද යන්න පැහැදිලි නැහැ. එම කුලී රථ සමාගමත් දේශපාලකයන් ගේ මිනීමැරුම් වලට හවුල් ද? අවසානයේ දී ප්‍රබල දේශපාලන චරිතයට අත් වූ ඉරණම කුමක් ද? මේ සියල්ල ප්‍රේක්ෂකයාට විසඳා ගන්නට හැර නාට්‍යය හමාර කිරීම එහි රසය බොහෝ දුරට හීන කරවනවා.
ඒ හැර අනෙක් සියලු නිර්මාණාත්මක පාර්ශ්වය මෙන් ම, සියලුම නළු නිළියන් ගේ රඟපෑම් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින ටෙලි නාට්‍යයක් බව කිව හැකියි. මගේ නම් වඩාත් සිත් ගත්තේ සැලූන් හිමිකරු ගේ රංගනය යි. සමාජයේ ආන්තික ජන කොටසක් පිළිබඳව නිර්මාණකරු තුළ පවතින හෘදය සංවේදී බව හොඳින්ම කියාපාන්නේ එවැනි චරිතයක් කතාවට සම්බන්ධ කරගැනීම තුළින්. හුදු විනෝදාස්වාදය සහ සමාජය තුළ සිදු වන දේ දැනුම් දීමකට අමතරව, මේ කතාව තුළින් දෙන වැදගත් පණිවිඩය ක් තිබේ. ඉතාම කම්පනයට පත් කළ සත්‍ය කතා පුවතක් වන, “උසාවිය නිහඬයි” වාර්තා චිත්‍රපටය අවසාන භාගයේ දී මානව හිමිකම් සංවිධානයේ නීතිඥවරයා මෙවැනි ප්‍රකාශයක් කරනවා;

“ඕකත් එක්ක දැන් කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් මේ කරන දේවල් වල තේරුමක් තියේද කියලා? මම හිතන්නේ මේක හොඳ අතට නො ගියත්, හොඳ අතට නොහැරුණත්, මට හිතෙනවා අපි කරපු දේවල් නිසා මේක වඩා ඉක්මනින් , මීට වඩා නරක් නොවී තියෙන්නේ අපි කරපු මෙහෙවර නිසා කියලයි. එහෙම නැත්නම් මේක මීට වඩා භයානක තත්ත්වයක් මේ රටේ මතුවෙන්න තිබුණා.”
අගතියට පත් වූ කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටු නො වනවා පමණක් නොව, ඊට වග කිවයුතු සියලු දෙනා අදටත් නිදැල්ලේ පසු වෙනවා. එවැනි මුග්ධ , සදාචාර විරෝධී ක්‍රියා ඉදිරියේ දී පුරවැසියන් ගේ නිහඬතාවය අත් කර දෙන්නේ ඊටත් වඩා භයානක ප්‍රතිඵල. පුරවැසියන් තම තමන් ගේ වගකීම ඉටු නො කිරීමෙන් වෙන්නේ තත්ත්වය වඩාත් දරුණු වීම යි. ඔවුන් සිය යුතුකම ඉටු කළ යුතුයි. ටෙලි නාට්‍යයේ “සංජය” නම් චරිතය හරහා නාමල් ජයසිංහ දුන්නේ ඒ පණිවිඩය.
උතුම් සංස්කෘතියක් හිමි රටක් ලෙස ආරෝහණය කිරීමට දෙයක් තවත් ඉතිරි ව නැත .අවශ්‍ය කරන්නේ ලංකාව තවත් එක් රටක් ලෙස සලකා අවශ්‍ය තැන දී වහ වහා ක්‍රියාත්මක වීම පමණි.
අමා නයනාදරී සිරිවර්ධන
16-01-2021

