Take Care
සම්මත නියම් ඇසුරකින් වෙන් කර ගැනීම උදෙසා අනියම්, අසම්මත යන විශේෂණ පද වලින් හැඳින්වෙන ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය ලංකාවේ සිනමා සහ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් නොවේ. චිත්‍රපට, නවකතා, ගීත සහ නාට්‍ය වැනි විවිධ මාදිලියේ නිර්මාණ වල ප්‍රධාන තේමාව කොට ගත් අවස්ථා ඉතිහාසය තුළ අනන්තවත් ඇත. නමුත් ඒවායේ පොදු ලක්ෂණය ලෙස දකින්නේ විවාහක පාර්ශ්වය සපුරා නිදොස් කොට, අනියම් ඇසුරට යොමු වෙන බිරිඳ හෝ සැමියා සහ තුන්වැනි පාර්ශ්වය වරදකරුවන් බවට පත් කිරීමකි. අවසානයේ දී මම මුළාවේ වැටී වරදේ බැඳුණෙමි, විවාහක සැමියා ගේ හෝ බිරිඳ ගේ අගය වටහා ගත්තෙමි, අනෙක් පාර්ශ්වයට කලකම් පල දේ අබ සරණයි වැනි තැනකින් කතාව හමාර වේ. ඉන් එහා දෙයක් සිතන්නට නිර්මාණය ප්‍රේක්ෂකයාට ඉඩක් නොතබයි. මේ අතර ඉඳහිට ව්‍යතිරේක නොතිබුණා නොවේ.

“දැනට විකාශය වුණු කොටස් අනුව” මෙකී තේමාව පාදක කොට ගත් අතීත නිර්මාණ හා සංසන්දනාත්මකව ගත් කළ “Take Care”, අනියම් ඇසුරකට පෙළඹෙන පාර්ශ්වවල අභ්‍යන්තරික හේතු වඩා විවෘතවත් , සියුම්වත් මතුපිටට රැගෙනවිත් තිබෙන නාට්‍යයකි. මෙවැනි කතාවක් ළමා වැඩිහිටියන් නැරඹීමෙන් නම් කිසිදු පලක් නොවනු ඇත. බුද්ධිය හෝ උගත්කම නොව, දැනටමත් ලෝක විෂය පිළිබඳව දැනුම් තේරුම් ඇති, ජීවිතාවබෝධය හෙවත් ප්‍රඥාව වැඩූ වැඩිහිටියන්ට මිනිස් සිතේ ගූඨත්වය තව දුරටත් හඳුනා ගැනීමට මඟ විවර කරන, ඒ නිසාම ආනන්දනීය අත්දැකීමක් වනු ඇතැයි බලාපොරොත්තු සහගතව සිටිය හැකි ලකුණු පෙන්නුම් කරයි.
නමුත් මේ සටහන නාට්‍යය ගැන කතා කිරීමට නොවේ. Take care ටෙලි නාට්‍ය තේමාව සටහනට පාදක වෙනවා පමණි. තවමත් විකාශය වී ඇත්තේ කොටස් පහක් නිසා නාට්‍යය විචාරීමට කල් වැඩියි. හැරත් මෙය “පීතෘ” හෝ “සුසුම් රස්තියාදුව” මෙන් නොවෙතැයි කාට නම් කිව හැකිද? ප්‍රගතිශීලී මාවතක සේයාවන් මුල් කොටස් තුළින් විද්‍යාමාන කර, සියලු ප්‍රේක්ෂක බලාපොරොත්තු කඩ කරමින් අවසානයේ ඒවා නැවතුණේ ගැහැණිය සොඳුරු සුකුමාල ළඳ බොළඳ චරිතයක් විය යුතුය, සමාජ අපවාදයට බියෙන් මුළු ගැන් වී සිටිය යුතුය, පිරිමියාගේ වුවමනා එපාකම් ඉටු කිරීමට ඇප කැප වී කටයුතු කළ යුතුය, සොඳුරු ගම ඇතහැර කොළඹට පැමිණීම සියලු ව්‍යසනයන්ට මුලය යන ගතානුගතිකව එන ප්‍රලාප තව දුරටත් තහවුරු කරමින්. පීතෘ මා හඳුනාගන්නේ “වීරයා ගෙදර ඇවිත්”, “ජීවිතයට ඉඩ දෙන්න” වැනි නිර්මාණ හරහා ප්‍රේක්ෂක වින්දනය නවමු ඉසව් කරා රැගෙන ගිය ආනන්ද අබේනායක ගේ දුර්වලම අධ්‍යක්ෂණයක් ලෙසිනි.
කිසිසේත්ම අලුත් අත්දැකීමක් නොවන කාම මිථ්‍යාචාරය සමාජය තුළ එදා සිට අද දක්වා වරින්වර කතාබහට ලක් වෙන නමුත්, අප මතුපිටින් දකිනවාට වඩා බෙහෙවින් සුලබ, කෙතරම් සුලබදැයි කියතහොත් ඇතැමුන් විවාහ වන්නේම සමාජීය තත්ත්වය රැක ගැනීමේ අවශ්‍යතාවය මත සම්මත විවාහයක බැඳෙන අතරේ දී, තවත් පසෙකින් සිය ලිංගික ෆැන්ටසීන් අසම්මත බැඳීම් තුළින් යථාර්තයක් බවට පත් කර ගැනීමේ ඒකායන පරමාර්ථයෙන්දැයි සැක සිතෙන තරමට ශ්‍රී ලාංකිකයන් අතරේ දරුණු ලෙස ඔඩු දුවා ඇති ඉතාමත් සංකීර්ණ හේතු ඵල දහමක් මත ක්‍රියාත්මක වන සංසිද්ධියකි. මේ දක්වා නැරඹූ කොටස් අනුව නම් Take Care නාට්‍ය නිර්මාණකරුවන් සාකච්ඡාවට බඳුන් කරන්නේත් මේ සංකීර්ණ සංසිද්ධියේ එක් සීමාසහිත පැතිකඩක් පමණි.එහි ගැටළුවක් නැත. ඕනෑම නිර්මාණයකට සීමාවක්, වපසරියක් තිබිය යුතුය. එය ඔක්කොම එක කැඳ හැළියේ දැමූ තවත් “කොඩි ගහ යට” කතාවක් විය යුතු නැත.
Sapiens සහ කාම මිථ්‍යාචාරය
අද ලෝකයේ විවාහ සංස්ථාවන් තුළ බහුලව දකින්නට ලැබෙන චපලත්වය සහ පරදාර සේවනයට හේතු ආදී කල්පික මිනිස් චර්යාවන් ආශ්‍රයෙන් ඉදිරිපත් කෙරෙන අවස්ථා සමාජ සංවාද මණ්ඩප තුළ නිතර දකින්නට ලැබේ. දීර්ඝ කාලීන දඩයම් යුගය තුළ දී මිනිසා ජානමය වශයෙන් එක් ලිංගික සහකරුවකුට සීමා වී සිටීමට පරිණාමනය වී නැතය යන්න ගෙනහැර දක්වන හේතු පාඨයයි. මේ තේමාව පිළිබඳ සංවාදයක් “Sapiens” කෘතිය තුළ ද හමු වේ. නමුත් එහි කතෘ Yuval Noah Harari ආදී කල්පික මානවයාගේ හැසිරීම් පාදක කොටගෙන එකිනෙකට ප්‍රති-විරුද්ධ න්‍යායන් දෙකක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් ලෙස දකිමි. මා මේ කෘතිය වඩාත් ප්‍රිය කිරීමට හේතුවත් හරාරි ගේ ව්‍යායාමය පළමුව මතයක් නිර්මාණය කර පසුව එය සනාථ කිරීමට උත්සාහ කිරීමක් නොව, ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක්දැයි සොයා බැලීමේ උනන්දුව සහ ඒ සඳහා මාර්ගය කෘතිය හරහා පාඨකයා වෙත විවර කර තිබීම වීමයි. පහතින් දැක්වෙන්නේ එම කෘතියේ දෙවැනි සහ තුන්වැනි වැනි පරිච්ඡේද වලින් උපුටා ගත් කොටස් වල සංක්ෂිප්ත පරිවර්තනයකි.
අවුරුදු දස දහස් ගණනක දඩයම් යුගය හා සැසඳීමේ දී, අවුරුදු 12,000 ක් තරම් වන කෘෂිකාර්මික විප්ලවයෙන් පසු යුගය ඇස්පිල්ලන් ගහන තරමේ නොසලකා හැරිය යුතු කාලයක් බව හරාරි කියා සිටී. නූතන මානවයාගේ චෛතසික ලක්ෂණ සහ චර්යාවන් කෙරෙහි පදනම වැටුණේ සාපේක්ෂව අතිශයින් දීර්ඝ දඩයම් යුගයේ දී බැවින්, මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය සහ චර්යාවන් වටහා ගැනීමට පූර්ව කෘෂිකර්මික යුගය තුළ දඩයමින් ජීවත් වූ මානවයාගේ මනස අභ්‍යන්තරයට කිඳා බැස එහි ක්‍රියාකාරීත්වය වටහා ගැනීම අතිශයින් වැදගත් බව එනයින් ඔහු අවධාරණය කර සිටී. අපගේ ආහාර පුරුදු, එකිනෙකා අතර ගැටුම්, සහ ලිංගිකත්වය යන මූලික ක්‍රියාකාරකම් කෙරෙහි, අපේ ජාන වල ලියැවී, යටිසිතේ පැළපදියම් වී තිබෙන දඩයම් යුගයේ චර්යාවන්වල දැඩි බලපෑමක් ඇත.

Sapiens – පින්තූරය අන්තර්ජාලයෙන්
“Ancient Commune Theory”
මෙය සමාජය තුළ කාම සේවනය පිළිබඳව දඩයම් යුගයේ මිනිසා ගේ චර්යා ආශ්‍රයෙන් විෂය ප්‍රාමාණිකයින් විසින් ගෙන එන ජනප්‍රිය න්‍යායකි.
– මේ න්‍යායට අනුව අදීකාලීන මානව සමාජයේ එක් සහකරුවකුට/සහකාරියකට සීමා වූ න්‍යෂ්ටික පවුල් සංස්ථා (nuclear families) නොවීය. ස්ත්‍රියක් ජන සමූහයේ පිරිමින් රැසක් සමඟ සංවාසයේ යෙදුණු අතර පිරිමින් ද එසේම වෙයි. මේ තමන් ගේ දරුවායැයි හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම හෝ අවස්ථාව සමූහයේ පිරිමින්ට තිබුණේ නැත. සමූහයේ වැඩිහිටියන් සියලු දෙනා දරුවන් බලා හදා ගැනීමේ කාර්යයේ නිරත විය. හරාරි එම මතය වෙනුවෙන් ජානමය වශයෙන් මිනිසාට කිට්ටු බන්ධුතාවයක් ඇති ඇතැම් වානර විශේෂවල සහ වර්තමානයේ පවා ලොව ඇතැම් සංස්කෘතීන් තුළ පවතින බහු-භාර්යා/බහු-පුරුෂ ලිංගික චර්යාවන් ගෙනහැර දක්වනවා.
– මෙයට සහයෝගය දක්වන්නවුන් කියා සිටින්නේ දීර්ඝ කාලයක් තිස්සේ සාමූහික වශයෙන් ලිංගික සේවනයට හුරු වී සිටි මිනිසාට එක් ලිංගික සහකරුවකුට සීමා වී ගත කරන දිවිය ඔහුගේ ජීව විද්‍යාත්මක මෘදුකාංගය හා කිසිසේත්ම අනුකූල නොවන බවයි. අද ලෝකයේ විවාහ සංස්ථාවන් තුළ පරදාර සේවනය බහුල වීම සාමාජීය පෙළැඹවීම හේතු කොටගෙන ජීවිත කාලය පුරා එක් ලිංගික සහකරුවකු කෙරෙහි බැඳී සිටීමෙන් නිර්මාණය වන කෘත්‍රිම දිවි පැවැත්ම, ඇතුළත ජාන සැකැස්ම හා එකඟ නොවීමේ ප්‍රතිඵලයකි.
මෙම න්‍යාය සංවාද මණ්ඩප තුළ දී බොහෝදෙනා ඉදිරිපත් කරන මතය හා සම්පාත වේ.
Eternal Monogamy Theory
– මෙය ඉහතින් ප්‍රකාශිත න්‍යායට ප්‍රතිපක්ෂ මතයයි. ඉදිරිපත් කරන විද්වත් පාර්ශ්වය කියා සිටින්නේ එක් සහකරුවකුට පමණක් සීමා වූ කුටුම්බ සංරක්ෂණය (nuclear families) දඩයම් යුගයේ අප මුතුන්මිත්තන් ගේ සමාජ හර පද්ධතිය තුළ පැවති පොදු සම්මතය වූ බවකි.
– බොහෝ සංස්කෘතීන්වල පති-පතිනි වෘතය ආරක්ෂා කිරීමට බැඳී සිටින්නේත්, විවාහ සංස්ථාව සමාජ සම්මතය වී (norm) ඇත්තේත්, possessive සහ ඊර්ෂ්‍යා සහගත සහකරුවන් සිටින්නේත් අපගේ පූර්වජයන්ගේ ජාන සැකැස්ම එසේ සිදු වී ඇති හෙයින්යැයි ඔවුන් සිය මතය සනාථ කිරීම පිණිස කියා සිටී. ඔවුන්ට අනුව බහුපුරුෂ බහුභාර්යා සේවනය ජාන සැකැස්මට අනුකූල නොවන විකෘතියක් විය යුතුය.
කෙසේ වෙතත් ආදිකාලීන බහු-පුරුෂ , බහු-භාර්යා සාමූහික ලිංගිකත්වය සහ සදාකාලිකව එක් ලිංගික සහකරුවකුට සීමා වීම යන මේ මත දෙක අතර විවාදය පවතින්නේ දුර්වල සාක්ෂි පදනම් කරගෙන බැවින් ඒවායේ නිරවද්‍යතාවය මැන ගැනීම අපහසු වී තිබේ.
Cognitive Revolution and Imagined Reality
අවුරුදු 70,000 ට පෙර cognitive revolution සිදු වූ තැන් සිට මිනිසා ගේ සිතීමේ ශක්තිය දියුණු වී පංචේන්ද්‍රිය සීමාවේ දකින භෞතික යථාර්තයට එහා කල්පිත යථාර්ථයන් ගොඩ නැගීමේ හැකියාව ලද්දේය. කල්පිත හෝ මායා යථාර්ථයන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දී ඔහු මෙවලම කොට ගත්තේ භාෂාවයි. නිර්මාණාත්මක භාෂාව භාවිතයෙන් සංකල්ප, ප්‍රබන්ධ, පුරාණෝක්ති ආදී කල්පිත යථාර්ථයන් ගොඩ නැංවීමට උත්සුක විය.එදා සිට මානව සමාජයේ හර පද්ධතිය විවිධ කල්පිත සහ ප්‍රබන්ධ මත පදනම් වී තිබේ. කුටුම්බ , ව්‍යාපාරික ආයතන, ආගමික සංස්ථා සහ සංස්කෘතීන් තුළ සාමූහික අනන්‍යතාවයේ (collective identity) පදනමත් කුමක් හෝ මිථ්‍යා විශ්වාසයකි, ප්‍රබන්ධයකි හෙවත් කල්පිත යථාර්ථයකි. උදාහරණ ලෙස රජ්‍යයක් හෝ ආයතනයක් තුළ නීතිමය ප්‍රබන්ධයක් (legal fiction) ලෙස සැලකිය හැකි ව්‍යවස්ථාවකට අනුව මිනිසුන් එකිනෙකා සාමූහික වගකීමකින් බැඳී අන්‍යොන්‍ය සහභාගීත්වයෙන් කටයුතු කරයි. එය කල්පිතයක් වන්නේ අද්‍රව්‍යමය සම්මුති සත්‍යය තුළ පමණක් පවතින නීති මාලාවක් වී ඒ වටා සාමූහිකත්වය ගොඩ නැගෙන බැවිනි. ආගමික සංස්ථා තුළ දී මිනිසා විසින් නිර්මාණය කරන ලද යථාර්තවාදී නොවූ විශ්වාස පද්ධතියක් වටා මිනිසා ගේ සාමූහික යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.
අදාළ කල්පිතය හෙවත් ෆැන්ටසිය වෙනස් කිරීමෙන් මවා පෑ යථාර්ථය වෙනස් වී , එකී මායා යථාර්ථය වටා සන්ධානගතව සිටින මිනිසුන් ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාකරකම් ද ඒ අනුව වෙනස් වීම් වලට භාජනය වීම මේ සියලු සංස්ථා ෆැන්ටසියක් මත ගොඩ නැගීම නිසා සිදුවෙන තවත් සංසිද්ධියකි. Cognitive revolution එකෙන් පසුව ජාන සැකැස්මේ වෙනසක් සිදු නොවීත් හුදෙක්ම නිර්මාණාත්මක ආවේශයන් ගැනීමේ හැකියාවද මිනිසාට ලැබිණි. නූතන මානවයාගේ සාර්ථකත්වයේ රහස වූයේත් මේ නිර්මාණාත්මක ආවේශය හරහා වෙනස් වන සමාජ සංස්කෘතීන් තුළ පවතින මනෝ මූලික ව්‍යාජ යථාර්ථයන්ට (imagined reality) ඉක්මනින් හැඩ ගැසීමේ හැකියාව බව හරාරි පවසනවා.
Cognitive Revolution and Sexuality
හරාරි අවසානයේ දී ඉදිරිපත් කරන තර්කය අපගේ මාතෘකාවේ දී සෑහෙන්න වැදගත්. ලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ආදීකාලීන මානව හැසිරීම් අප සිතනවාට වඩා බෙහෙවින් සංකීර්ණ , පුළුල් පරාසයක පැතිරී තිබිය යුතු බවත් , ඒ බොහෝ කරුණු අනාවරණය නොවූ මට්ටමින් සැඟ වී පැවතිය හැකි බවත් ඔහු කියා සිටිනවා. මිනිසාගේ සිතීමේ ශක්තිය සහ තර්කනය දියුණු වී නිර්මාණාත්මක හැකියාව වර්ධනය වූ (cognitive revolution) තැන් සිට ඔවුන්ගේ ස්වභාවික ජීවන රටාව මේ යැයි පෙන්විය හැකි එක් විශේෂිත හැසිරීමක් මානවයන්ට නොතිබිණි. තිබූයේ සිත්තරකු ගේ වර්ණ ඵලකයක් මත ඇඳි සායම මෙන් වෛවර්ණ වූත් විචිත්‍ර වූත්, අනේක විධ සංස්කෘතිකමය තේරීම් ගොන්නක් පමණි.
ලාංකේය ජන සමාජය තුළ කාමසේවනය
මෙය ලාංකික ජන සමාජය තුළ කාම සේවනය සම්බන්ධයෙන් නිරීක්ෂණය වන දේ හරාරි ගේ මතවාද හා ගැලපීමට උත්සාහ කිරීමක් නොවේ. නමුත් අප සමාජය තුළ කාම මිථ්‍යාචාරය මෙතරම් සුලබව පැතිරීම සඳහා හේතු සොයා යාමේදී Sapiens කෘතියේ සඳහන් කරුණු දැන සිටීම ප්‍රයෝජනවත් වනු ඇති හෙයින් සඳහන් කෙළෙමි.
පුරාණයේ සිට අපේ සමාජය තුළ කිසිසේත්ම නැවුම් නොවූ මාතෘකාවක් වූ කාම මිථ්‍යාචාරය නැතහොත් පරදාර සේවනය සංස්කෘතීන් මිශ්‍ර වීම වේගවත් වෙද්දී වඩාත් සංකීර්ණ හැඩයක් ගත්තේද යන්න සාමාජීය ගැටුම් නිරීක්ෂණය කිරීමේ දී මතුවෙන ගැටළුවකි. තමන් ඉදිරියේ අනේකවිධ අවස්ථා දර්ශනය වන මිනිසාට ෆැන්ටසි නිර්මාණය කිරීමේ හැකියාව කිහිප ගුණයකින් පුළුල් විය. ෆැන්ටසි නිර්මාණය කරන්නා එතැනින් නොනැවතී ඒවා යථාර්ථයක් බවට පත් කර ගැනීමේ ආශාවෙන් ලුහුබඳියි.
විවාහක කාන්තාවක හෝ පුරුෂයකු විවාහයෙන් පිට සම්බන්ධතා පවත්වා ගැනීම කෙරෙහි බලපාන හේතුව මේ යැයි එක් විශේෂිත හේතුවක් පෙන්විය නොහැකි වේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. අනියම් ඇසුරකට යොමු වන්නේ විවාහක සහකරු හෝ සහකාරිය තුළ කැපී පෙනෙන දුර්වලකමක් හේතු කොටගෙන මානසිකව තනි වන්නන් හෝ පීඩා විඳින්නන් පමණක් ම නොවීම විශේෂත්වයකි. Take care කතාවේ මෙන් නොව, පරදාර සේවනයට නැඹුරු වූවන්ට ඒ සඳහා හේතුවක් සැපයීමට අසමත් වන අවස්ථා අනන්ත තිබිය හැකියි. නමුත් හේතුවක් නැත්තේමත් නැත. හුදෙක්ම නිතරම වෙනසක් සොයා යාමේ නොතිත් ආශාවෙන් මඬනා ලද සිතුවිල්ලේ සිට, පෙමින් වෙළී බැඳී වසර ගණනාවක ඇවෑමෙන් සුවිශේෂී සංවේදී නිලයක් උත්තේජනය කරන පිටස්තරයකු අහඹු ලෙස මුණ ගැසීම දක්වා විවිධකාර වූ අවස්ථා ගණනාවක් මේ තුළ තිබිය හැකියි. මේ විවිධාකාර වූ අවස්ථාවන් තුළ පොදු සාධක කිහිපයක් දකිමි. ඒ ෆැන්ටසි නිර්මාණය කිරීමේ ලා මිනිසා තුළ පවතින දක්ෂතාවය, නිතර වෙනස් වන සුළු සිත සහ විවිධත්වයට ඇති සහජාශාවයි.
සමාජය විනිවිද දැකීමේ උත්සාහය ඇති රැඩිකල් නිර්මාණකරුවකු වූ චින්තක ගීතදේව අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බොහොමයක් කුටුම්බයන්හි ඇතුළත කතාව සුප්‍රකට ප්‍රේම වෘතාන්තයක් වූ ටයිටැනික් චිත්‍රපටය ආශ්‍රයෙන් මෙසේ ගීතකයට නංවනවා.
“ටයිටැනික් නැව ගිලුණේ නෑ
අයිස්පරයක වැදුණේ නෑ
මැරුණ් නැති හින්දා
ජෑක් රෝස් බැන්දා”
ටයිටැනික් කතාවේ නැව යම් හෙයකින් නොගිලී තිබුණේ නම්, ජැක් නොමැරී දිවි රැක ගත්තා නම්, ජැක් සහ රෝස් ආදර කතාව විවාහයෙන් කෙළවර වූයේ නම්, එතැන් සිට ඔවුන්ගේ ජිවිතය කෙසේ ගලා යාවිද? යන ප්‍රශ්නය ඔහු එහිදී මතු කරනවා. එතැන ඇත්තේ “what if” කතාවකි.
“ජැක් හොඳට බොනවා
ජැක්ට බඩ එනවා
ව්‍යාඝ්‍රාවෙන් ලොරි අරන්
දෙව්ලොවට යනවා”
සාම්ප්‍රදායික යුග ජීවිතය තුළ ජැක්ගේ චාර්යාව එසේ වෙද්දී, රෝස් කුමක් කරනු ඇද්ද?
“රෝස් බත් කනවා
රෝස් නිදියනවා
සෙක්සි සාදුගේ බණ අහන්නට
අසපුවට යනවා”
ඔහු එසේ පද කිහිපයකට ගොනු කළේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ බොහොමයක් කුටුම්බයන්හි ඇතුළත යථාර්තය යි. විවාහ ජීවිතය ආදර කතාව තරම් සුන්දර නොවේ. පෙමින් වෙළී විවාහ වී වසර කිහිපයක ඇවෑමෙන් බීමත්කම නිසා බෙලහීන බවට පත් වන ස්වාමියා ලිංගික උත්තේජක භාවිතයෙන් වෙනත් කාන්තාවන් සොයා ඇදෙද්දී, සිය අභ්‍යන්තරික චිත්ත චික්ෂෝපයට, ඉච්ඡා භංගත්වයට මූල හේතුව යටපත් කර ගැනීමට පොළඹවන සංස්කෘතික රාමුවක් තුළ තනි වූ මැදිවියේ භාර්යාව සැනසුම සොයා ධර්ම මාර්ගයේ යන්නී, ඇත්ත වශයෙන්ම කරන්නේ උඩුකය නිරාවරණ භික්ෂූන් ගේ දැකුමෙන් සිය අතෘප්තිකර ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමකි යන්න මේ ගීතයෙන් ප්‍රකාශිත අර්ථය යි. මෙයද රසික සිත් ඥානනය කරවන තවත් එක් නිර්මාණයක් පමණි. පූර්ණ සත්‍යය මේ තුළ ද නොවිය හැකිය.
මිනිසුන් මුදල්, නිලතල, තනතුරු, රූපය වැඩි වර්ධනය කර ගැනීම සහ දැනුම හරහා බලය අත්පත් කර ගැනීමට උත්සාහ කරන්නේත් මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය වන බැවිනි. ආහාර, ඇඳුම් පැළඳුම්, යාන වාහන සහ නිවාස වලට අමතරව විරුද්ධ ලිංගික ආකර්ෂණය දිනා ගැනීම ද ඒ අතර වේ. සමලිංගිකයන්ටත් මෙකී කාරණය අදාළ වනු ඇත.
ඇතැමුන් වින්දනය ලබා ගැනීමට අමතරව, තමන් සතු බලය උරගා බැලීමේ ක්‍රමෝපායයක් ලෙසත් අනියම් ඇසුරකට පෙළඹෙන අවස්ථා නිරීක්ෂණය වේ. මේ සඳහා වැඩිමනත් නැඹුරු වන්නේ තමන් විසින් අත්පත් කරගත් යම් සිවිල් බලයක් ඇතැයි විශ්වාස කරන විවාහක පිරිමින් ය.
Take care කතාවේ මෙන් ස්වාමියා ගේ හැඟීම් සහ ලිංගික ෆැන්ටසි වටහා නොගෙන, ගෙදර දොර වැඩකටයුතු නොපිරිහෙලා ඉටු කිරීමේ අප්‍රමාදී සාම්ප්‍රදායික ගෘහණියක ගේ භූමිකාව කෙරෙහි පමණක් සැලකිලිමත් වන විනීත තැන්පත් බිරින්දෑවරුන් සැමියා අන්‍ය ස්ත්‍රීන් කරා යාමට වග කිව යුතු යැයි පැවසීම සම්පූර්ණ සත්‍යයෙන් තොර කතාවකි.
කොහොමත් මෑතක සිට කාන්තාවන් සමාජය ඉදිරියේ යම් විනයක් ඇතිව කටයුතු කිරීම පිරිමින් විෂයෙහි බෙහෙවින් උදාසීන චර්යාවක් ලෙස හෙළා දකින්නටත්, පිරිමින් වසඟ වන්නේ විනීත ගති පැවතුම් වලට නොව, වැඩි උගත්කමක් නැති, පැල්පත්වාසී ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිත භාෂාවෙන් ප්‍රසිද්ධියේ කතා කරන ගැහැණුන් වෙත බව හුවා දක්වන ප්‍රවණතාවයක් ඇතැම් ටෙලි නිර්මාණ තුළ කැපී පෙනෙන මට්ටමින් වැඩි වර්ධනය වී තිබේ. යසෝදරාවන් විවාහ කරගෙන, ෆැන්ටසි ක්‍රියාවේ නැංවීමට එවැනි අඹුවන් සොයා යාම ලංකාවේ පොදු පිරිමියා අතර සුලබ වීම එකී ප්‍රවණතාවයට හේතු විය හැකි නමුත්, නූගත් බව සහ අවිනීත චර්යාවන් ප්‍රවර්ධනය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ.
Take care කතාවම ගත්තොත්, වාසුල සහ සටන්කාමී චරිතයක් වූ මේනකා ලිංගික ෆැන්ටසි ගැලපෙන විවාහක සහකරුවන් වී සිට වසර ගණනාවකට හෝ පසුව වාසුලට අසෙනි වැනි විනීත ගති පැවතුම් ඇති කාන්තාවක මුණ ගැසී ඈ කෙරෙහි සිත ඇදී යා නොහැකිද? එවැනි දේ සිදු විය නොහැකිද? පරදාර සේවනය සඳහා බලපාන හේතු මේ යැයි එක හෙළා පැවසිය නොහැකි බවත්, සංකීර්ණ තලයක ඇති බවත් පැවසුවේ එබැවිනි.
ඇතැම් කාරණා වලදී මතුපිටට අනාවරණ නොවී පවතින දේ රහසිගතව එසේම පැවතීමට ඉඩ හැරීම වඩා ඥානාන්විත ද එසේ නැතහොත් මතුපිටට ගෙනැවිත් මිනිස් සිතේ ගූඨත්වය අවබෝධ කරගෙන ඥානවිභාගයෙන් පිළිතුරු සොයා ගැනීම වඩා ප්‍රතිඵලදායක ද යන්න නම් තරමක උභතෝකෝටිකයකි. මිනිස් සිතේ සැබෑ තතු මතුපිටට රැගෙන ඒම සමාජය නොසන්සුන් වී සාමූහික ක්‍රියාකාරකම් බිඳී යාමට හේතු විය හැකිය. නමුත් සත්‍යය මතුපිටට රැගෙන නොඒම එය කවදා හෝ මතු වී ඊට වඩා අනිටු ඵල විපාක අත් කර දෙනු ඇත. කුටුම්බ සේවනය තුළ දකින කාම මිථ්‍යාචාරය සම්බන්ධයෙන් ද එම ගැටළුව පැන නඟී.
කුටුම්බ, සංස්ථාපිත ආයතන සහ සංස්කෘතීන් තුළ මිනිසාගේ ඒකරාශී වීමේ පදනම imagined reality එකක් හෙවත් මනෝ මූලික ව්‍යාජයක් ය යන වැටහීම ලද හැටියේ මේ සියලු සංස්ථා බිඳ වැටී සාමූහිකත්වයට බාධා පැමිණිය යුතුය. එය එසේය කියා මිනිසා ෆැන්ටසි නිර්මාණය කිරීම හෝ ඒවා ලුහුබැඳ යාම නතර නොකරයි. ඒ නිසාම මෙවැනි නිර්මාණ බිහි වීම නතර වන්නේවත් ඒ වටා ගොඩ නැගෙන කතා බහ සිදු නොවී තිබෙන්නේවත් නැත. එසේ වූ කළ මේවා තුළ පවතින ෆැන්ටසිය දකින මිනිසා ඒවා වෙනස් කරමින් යන ගමනේ දී, පවතින කල්පිතයට වෙනස් යථාර්තයන් ගොඩ නැඟී ඒ නව සමාජ යථාර්තයට යෝග්‍ය පූර්වයෙන් තිබු සම්මතයට වඩා වෙනස් පොදු සම්මත නිර්මාණය විය හැකිය. ඒ නව සම්මතය වටා ඒකරාශී වී සාමූහිකව ක්‍රියා කිරීමේ අවස්ථාව මිනිසාට ලැබේ. මෙවැනි නිර්මාණ සහ ඒ වටා ගොඩ නැගෙන කතා බහ නව සම්මුතීන් නිර්මාණය වන දිශානතිය තීරණය කිරීමට උදව් වේ.
බටහිර ලෝකය, මිනිස් සමාජයේ නව ප්‍රවණතා අනුව ගොඩ නැඟුණු, පවතින සමාජ යථාර්ථය මැනවින් සැලකිල්ලට ගෙන ඊට සරිලන විසඳුම් සොයා ගනිද්දී , පොදු සම්මත වෙනස් කරමින් සාර්ථක ගමනක යෙදී සිටිද්දී, ලාංකීය ජනතාව නූතන මිනිසාගේ අවශ්‍යතා සහ සමාජ යථාර්ථය ප්‍රමාණවත් ලෙස වටහාගෙන ඇති බවක් තවමත් දකින්නට නැත. ඒ වෙනස්වීම් වලට නිසි ප්‍රතිචාර දක්වන්නේත් ඉතාම මන්දගාමීවයි. බොහෝ විට විසඳුම් ලෙස ගෙන එන්නේත් දහම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම වැනි පය බරවායට පිටිකර බෙහෙත් බඳින පිළියමකි. ඔවුන් තවමත් අනාදිමත් කාලයක සිට පැවත එන ව්‍යාජයක් සංස්කෘතිය ලෙස සලකා කරපින්නා ගත් ගමනක යෙදී සිටී.
“තොල් අග මඳහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැඟෙයි කඳුල නැඟෙයි එයයි ජීවිතේ”
අමා නයනාදරී සිරිවර්ධන
17.06.24
ටෙලි නාට්‍ය රූපරාමු උපුටා ගත්තේ සිනමාවේදීන් සමූහයේ සටහනකිනි. අනෙක් පින්තූරය අන්තර්ජාලයෙන්.


