මේ ගීතය, කරුණාරත්න අබේසේකරයන් මගේ ප්‍රියතම ගී පද රචකයන් අතරට පැමිණීමට ප්‍රබල සාධකයක් බව මට සිතේ. ගීතයේ මුල් පද පේළි හතර තුළම සමස්ථ කතාවම කැටි කොට තිබෙන බව පෙනේ. මේ පද කිහිපයෙන් කියැවෙන්නේ, වචන දහසකින්වත් කියා නිම කළ නොහෙන කතාවක්. මට අදහාගත නොහැකි ඔහුගේ ප්‍රතිභාව මෙයයි.
මේ භවයෙදි මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ”
ඉතිරි පද ඇත්තේ පැහැදිලි කිරීමකට පමණි.
“ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
අවසන මුල වෙයි ළතැවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුණත් ඇත කරදිය රැල්ලේ “
මහා සයුරෙන් නිවාගන්නට පතන පවසට සහනයක් නැත. එහෙත් වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් කරදිය රැල්ලට තෙමී වත් සෑහිමට පත්විය හැකිව තිබුණි. ගීතයේ ඇති උත්කර්ශවත් අවස්ථාව මෙයයි. කරූ මෙහිදී ‘මුහුදු රැල්ල’ වෙනුවට ‘කරදිය රැල්ල’ යන යෙදුම ගන්නේ ඇයි ? රිද්මය රැකීම පිණිසද ? ධ්වනිතාර්ථය වෙනුවෙන්ද ? එකම රැල්ල වුවත් ‘මුහුද’ යන පදය සුමුදු බවක් හඟවයි. ‘කරදිය’ යන පදය දෙසවන ගැටී ඝර්ෂණයක් දනවයි.
“සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
රළ පස රළ ලුහුබඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
පැතුම් සඳුන් හද ගලෙහි උලා ”
සමස්ත ගීතය දෙස විමැසුම් ඇසීමෙන් බැලීමේ දී පෙනී යන්නේ කතා නායකයා “ඔබ” යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ ලෝකයා විසින් මහත් පිළිගැනීමකට ලක් වන තත්ත්වයේ සිටින තැනැත්තියකට බව යි.එහෙත්, ඔහුට අවශ්‍ය දේ එතැන තිබී නැත.
“පැතුම් සඳුන් හද ගලෙහි උලා” ; මෙවැනි යෙදුම් මා මවිතයට පත් කරයි. එය පැහැදිලි කරන්නට යාමෙන් රස වින්දනයට බාධා විය හැකි නිසා ඔබටම විඳ ගැනීමට ඉඩ තබමි.
නාරද දිසාසේකරයන් ගායනා කර ඇති ගීත සංඛ්‍යාත්මකව අඩුය. නමුත් ඒ හැම ගීතයක්ම ගුණාත්මක භාවයෙන් ඉහළ තලයක ඇති බව මගේ හැඟීමයි.
තනුව සහ සංගීතය – නාරද දිසාසේකර
ගීතය අසන්න, විඳින්න: