පසුගිය දා ෆේස්බුක් පිටුවක මේ ගීතය පළ කර තිබුණා. මේ සටහන මෙහි “කහවන් ගොයම” යැයි යොදා ඇත්තේ ඇයිදැයි එතැන දී කිසිවකු විසින් අසා තිබුණු ප්‍රශ්නයට මා දුන් කෙටි පිළිතුර වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය කි. තමන් බොහෝ සේ ප්‍රිය කරන ගීතයක් හෝ වෙනත් කලා කෘතියක් විචාරය කිරීමෙන් ලැබෙන ආනන්දය පවතින්නේ වෙනම තලයක යි. එය මා එදා සිටම ප්‍රිය කරන දෙයක්.
ඉහත ප්‍රශ්නය ඇසූ රසිකයා එසේ විමසීමට හේතුවක් තිබේ. ගද්‍ය පද්‍ය සාහිත්‍යය තුළ ගොයම හැඳින්වෙන්නේ එක්කෝ “නිල්වන් ගොයම” නැත්නම් “රන්වන් ගොයම” යන විශේෂණය සහිතව යි.
සාහිත්‍යයේ දී “නිල්” පැහැය, කලු සහ හරිත යන වර්ණ දෙකම නිරූපණය කිරීම සඳහා යොදා ගන්නවා. පහත දැක්වෙන උදාහරණ දෙස බලන්න.
“නිල් වනලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ එසඳ නිබන්දේ
නුරා මුකුළු ලොබ උපදවනා”
(අජන්තා රණසිංහ/ සරත් දසනායක / වික්ටර් රත්නායක සහ නන්දා මාලනී)
වික්ටර් සහ නන්දා ගායක ගායිකා යුවළ ගයන ඉහත ගීයේ දී නිල් වනලන්ද යැයි කියන්නේ කොළ පැහැයෙන් බබළන වනාන්තරයට යි. පහතින් දක්වා ඇත්තේ කලු පැහැය නිරූපණය කිරීම සඳහා ද නිල් වර්ණය ම යොදා ගත් ගීතමය උදාහරණයක්.
“නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීලවර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියාසලන සිතට සුවඳ පවන් සලන
නීලවර්ණ නීල කොබෙයියෝ”
(පී.එච්.කේ රත්නසිරි / චන්ද්‍රදාස බෝගොඩ / ඉන්ද්‍රාණි බෝගොඩ)
මේ එ කල ගුවන්විදුලියෙන් නිතරම ඇසුණු ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ගේ ඉතාම මියුරු ගීතයක්. මෙහි “නීල කොබෙයියා” යන රූපකය භාවිතා වන්නේ කාලවර්ණ දේහධාරී තරුණයකු ආමන්ත්‍රණය කිරීම පිණිසයි. එය නිලට හුරු තද කලු පැහැය කි. යෙදෙන අවස්ථාව අනුව ඉන් කියැවෙන්නේ හරිත වර්ණය ද, නැත්නම් කලු වර්ණය ගැන ද යන්න අප විසින් තීරණය කළ යුතු වෙනවා.

“කහවන් ගොයමට රන් දිය වැහලා” ගීතය රචනා කළ මර්සලීන් ජයකොඩි පියතුමා “කහවන් ගොයම”යන විශේෂණ පදයක් භාවිතා කරන්නට හේතුව පදමාලාව තුළින්ම විමසා බලමු.
මේ ගීයේ එක්තරා තැනක සුවිශේෂී පද පේළියක් හමුවෙනවා.පදමාලාව තුළ මා දකින වඩාත් සිත් ගන්නා සුළු පද කොටස ද එය යි.
“කවියක් ගීයට හැරුණු කලක් දෝ
ඉපනැළි නළියනවා”
කරල් කැපූ පසු ගොයම් ගසෙහි ඉතිරිවන කොටස ඉපනැල්ලයි. පීදී කරලින් බර වූ ගොයම මෙන් නොව, ඉපනැල්ල සැහැල්ලුය. එමෙන්ම කවියකට වඩා ගීතය සැහැල්ලුය. කවියක් සහ ගීතයක් අතර ඇති වෙනස පිළිබඳව මර්සලින් ජයකොඩි පියතුමන් දකින්නේ එසේයි.
එසේත් නැතිනම්, කවියට වඩා ගීතය සාරවත් බවින් හීන බවක් ප්‍රකාශ කරන්නට පියතුමා එහි දී අදහස් කළා ද යන සැකය මට එදා ඉඳන්ම ඇත. මට එසේ සිතෙන්නේ මර්සලීන් ජයකොඩි පියනම ගී පද රචනයට ද වඩා කාව්‍යකරණය කෙරෙහි තද බල ඇල්මක් තිබූ හොඳ කවියකු ද වූ බව දන්නා බැවිනි. ඒ හැර මගේ අනුමානය සනාථ ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ගීතය තුළින් හමු නොවේ.
නිල්වන් ගොයම නොවී “කහවන් ගොයම” ලෙසින් යෙදීමට හේතුව පිළිබඳව පළමු සාක්ෂිය හමුවන්නේත් එතැන දී යි. මේ වෙද්දී කුඹුරු යායෙන් කොටසක් කපා අවසන්. ඉපනැළි නලියන්නේ ඒ නිසයි.
එ පමණක් නොව, ගීයේ අවසාන භාගයේ දී මෙසේ ද කියැවේ;
“මින්නේරිය වැව හෙට හී කවියේ
මින්නේරිය වැව හෙට හී කවියේ
උදයට ළංවෙනවා
උදයට ළංවෙනවා”
“කයිය” යන්න පිරිසක් එක් රැස් වීම නැතහොත් සමූහය යන අරුත් දේ. කමත් බසින් “ගොයම් කයිය” ලෙස ව්‍යවහාර වන්නේ ගොයම් කැපීමේ චාරිත්‍රය නැතහොත්, ගොයම් කැපීමට ආරාධනා ලැබූ පිරිස ඒකරාශී වීමකට යි.
නමුත් ගායනයේ දී ශ්‍රවණය වෙන්නේ නම්, “මින්නේරිය වැව හෙට හී කවියේ” ලෙසිනි. විරිත පවත්වා ගැනීමත්, ගායන අලංකාරයත් යන දෙකම එකවර අරමුණු කර ගනිමින් “හෙට හී කයියේ” යන්න “හෙට හී කවියේ” ලෙස ගායනය සඳහා සකස් කර ගත්තා ද? එසේත් නොවේ නම්, කමත් භාෂාව අනුව “ගොයම් කයිය” සහ “ගොයම් කවිය” එකම අරුත් ලබා දේ දැයි නොදනිමි. දන්නා කෙනෙකු සිටී නම්, කරුණාකර පැහැදිලි කරන්න.
ඒ අනුව, තවත් පසෙකින් හෙට දිනයේ කැපීමට නියමිත (හෙට හී කවියේ) රන්වන් කරළින් බර වුණු ගොයමක් ඇති බව ගීයේ පද විසින්ම අපට සැළ කර සිටිනවා.
එසේ නම් කවියා විසින් එය, රන්වන් ගොයම නොවී, කහවන් ගොයමයැයි හඳුන්වන්නේ ඇයිදැයි තවත් ප්‍රශ්නයක් පැන නඟී. පදමාලාව හොඳින් විමසා බැලූ කළ ඊට හේතුව සොයා ගැනීම ද අපහසු නැත.
ගීතය ආරම්භ වන්නේම කාලය පිළිබඳව ඉඟියක් අසන්නාට ලබා දෙමින්;
“ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙලා
විහඟ වලා ගුවන වෙලා
දුර අහසේ නොපෙනී යනවා”
මේ කියන්නේ සූර්යයා අවරගිරින් බැස ගෙන යන සවස් කාලය ගැන යි. එය ගස්වල හෙවණැලි කළු වෙන, කුරුල්ලන් රංචු පිටින් කැදලි කරා පියාඹා යන ඇඳිරි වැටීගෙන එන යාමය යි. මෙහිදී ගොයම කහ පැහැ ගැන්වී ඇත්තේ පැසී ඇති නිසා පමණක් ද? එය එසේ නොවන බැව් මගේ අදහසයි. “රන්දිය වැහැලා” කුමක්ද මේ “රන්දිය”? රන්දිය පමණක් එකට නොඑයි. එය යෙදී ඇත්තේ “රන්දිය වැහැලා” යනුවෙනි. එසේ නම් මේ සවස් යාමයේ ගොයම පුරා පතිත වී ඇති රන්වන් හිරු කිරණ විය යුතුය. මෙහි දී පියතුමන් “කහවන් ගොයම” යැයි හඳුන්වන්නේ ගොයම පැසී ඇති නිසා පමණක් නොව, පැසුණු ගොයම මත බැස යන හිරු ගේ කිරණ වැටීමෙන් කහ පැහැයක් ගත් නිසාත් විය හැකි බව මගේ මතයයි. මේ පිළිබඳ මගේ අරුත් ගැන්වීම මෙසේයි ; පීදුණු ගොයම රන්වන් හිරු රැස් වැටී කහ පැහැයෙන් බබළනවා. කහ පැහැ ගැන්වුණු ගොයම නියරෙන් උතුරා ගලා යනවා.
කාන්තාවක ගේ කෙස් කළඹ රාස්සිගේ අව්ව වැටුණු කල දඹ රන් පැහැයෙන් බබළන හැටි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා තැනෙක මෙහෙම කියනවා;
“රාස්සිගේ අව්ව වැටී දඹ රන් වූ ඔබ කෙහෙරැළි
සුළං සමඟ පොර බැදුවා
ඔබට මතක නැති වුණාට
අද වාගේ මතකයි මට…”
(සුනිල් ආරියරත්න/එච්.එම්. ජයවර්ධන / සනත් නන්දසිරි)
මේ වගද සඳහන් කරනු කැමැත්තෙමි. “රන්දිය වැහැලා’ යන්නෙන් කවියා අදහස් කරනු ලැබුයේ කුමක් ද යන්න නිශ්චිතව කිව නොහැකිය. ඇතැම් විට කුඹුරට වැව් දිය වැස ඇති බවක් අදහස් කළා ද විය හැකියි. මේ ගීතයේ කේන්ද්‍රීය වස්තුව මින්නේරිය වැව වන නිසා එකී අරුත් ගැන්වීමෙහි ද වරදක් නොදකිමි. එහෙත්, මගේ වැඩි කැමැත්ත ඇත්තේ පළමුව විස්තර කරන්නට යෙදුණු අර්ථ දැක්වීමට යි.
මින්නේරිය වැව අසබඩ එහි අසිරිය දකින කවියාට මහසෙන් රජු කාලයේ සිට කෙත් බිම් සරු කරවන වැව ගැන ඇති වූ භක්ති පූර්වක හැඟීම් සමුදායයක් මෙසේ පද මාලාවකට නැංවෙනවා. ඔහු එතැනට එන්නේ ඇඳිරි වැටීගෙන එන සවස් කාලයේ දී යි. සවස් කාලයේ සිට පෙරයම තෙක් එහි රැඳී සිටින ඔහුට මින්නේරිය වැව ගැන අපූර්ව කවි සිතුවිලි පහළ වෙනවා. කාව්‍යකරණයේ දී බොහෝ විට ස්වභාවික පරිසරයේ වස්තූන්ට ස්ත්‍රීත්වයක් ආරෝපණය කෙරේ. අපගේ කවියාට, මින්නේරිය වැව පෙනෙන්නේ ගොයමට දියවර සැපයීමෙන් නොනැවතී, තමන් නිසා සරුසාර වුණු කෙත් යාය දෙස සතුටු සිතින් බලා සිටින ලලනාවක මෙනි. කරළින් බර වුණු කුඹුරු යාය දෙසට හැරී ඔංචිලි පදිමින්, ඒවා වැඩෙන හැටි අස්වනු නෙළන හැටි නරඹමින්, වැව් ලලනාව සතුටු වෙන ආකාරය ඔහු අතින් කවියකට චිත්‍රණය කෙරනවා. අනතුරුව ඔහු දකින්නේ තමන් විසින් දිය සපයා අස්වද්දන කුඹුරු යාය වැඩෙන හැටි, ගොයම් නෙළන හැටි මේ සියල්ල දෙස බලා සිටි වැව් අංගනාව දැන්, හෙට අලුයම ගොයම් කයිය ද දැක බලා ගැනීමට සැරසෙන ආකාරයයි.
“මින්නේරිය වැව හෙට හී කවියේ
මින්නේරිය වැව හෙට හී කවියේ
උදයට ළංවෙනවා
උදයට ළංවෙනවා”

මර්සලින් ජයකොඩි පියතුමන් විසින් අමිශ්‍ර සිංහලයෙන් කවි බසින් ලියා දුන් පද රචනාවට තනුව සහ සංගීතය නිර්මාණය කරන ලද්දේ ගුවන් විදුලි සංස්ථාවේ සංගීත පාලකවරයකු වූ පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියාණන් විසිනි. 1950 ගණන් වල දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ගුවන්විදුලිය තුළ ඇති වූ සංස්කෘතික පුනරුදය කෙරෙහි සක්‍රීය දායකත්වයක් ලබා දුන් නාමයන් අතර පී. ඩන්ස්ටන් ද සිල්වා නාමය ද නිතර දකින්නට ලැබේ. “මනෝහාරී” ගීත නාටකය වැනි මුල් කාලීන එදිරිවීර සරච්චන්ද්‍ර නිර්මාණ වල සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහු යි. හින්දුස්ථානී රාගධාරී සංගීතයෙහි ලා විශේෂ නිපුණතා දැක් වූ බවට ප්‍රකටව, ඒ නිසාම හින්දුස්ථානී ගැති බවට විවිධ විවේචන වලට ලක් වූ වද, “කහවන් ගොයමට” ගීයේ පදමාලාවට අනුගතව, අවස්ථාව සහ අර්ථය අනුව ඔහු විසින් සංගීතය නිර්මාණය කර ඇති අයුරු ඉතාමත් ප්‍රශස්ත යි. සංගීතයෙන් සවස් කාලය මැවීම සඳහා සංගීතඥයා විසින් යම් කිසි රාගයක් නිර්මාණාත්මකව ඇසුරු කර ගන්නට ඇතැයි සිතේ. එහෙත් ගීතය ශ්‍රවණය කරද්දී නාදමලාවෙන් හින්දුස්ථානී ශෛලියක් ප්‍රකාශයට පත් නොවෙන තරම් ය. ගායිකාව ගේ ගැමි ඌරුවේ උච්චාරණය නිසා ගීයට ලැබෙන ජන ගීයට ආවේණික වර්ණය සහ හැඩය ද ඉන්දියානු රාගධාරී ස්වරූපයක් ශ්‍රවණය නොවීමට ප්‍රබල හේතුවක් වූවා විය හැකියි.

නාලිනී රණසිංහ මහත්මිය ගේ වචන උච්චාරණය සාටෝපයෙන් තොර ය. අව්‍යාජ සිංහල ගැමි හඬක් සහ වචන උච්චාරණ විලාසයක් ඇගේ ගායනය තුළින් ශ්‍රවණය වේ. ජයකොඩි පියතුමා ගේ කාව්‍යමය පදමාලාවට පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා ගේ සංගීතය වගේම, සාටෝපයෙන් තොර මිහිරි ගායනය නිසා ලැබෙන්නේ අපමණ ජීව ගුණයකි. ඒ හඬ අතීතකාමී මතක රැසකට අපව කැඳවාගෙන යනවා. එ කල අප පාසැල් යාමට නින්දෙන් පිබිදෙන්නේ ඇගේ හඬින් ගැයෙන “මගේ සිත තැන්පත් ය” ගීතය අසමින්. සරත් බාලසූරිය ගේ බටහිර ආරට බර සංගීතයට ඈ ගැයූ “දරදිය ඇදලා දහදුක් වින්දා” සහ කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්‍ෂණය යටතේ “මී මැස්සෝ” චිත්‍රපටයට ගැයූ “සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල” ගීතයද මට මෙහිදී සිහිපත් වෙයි. ඩබ්. බී. මකුලොලුව මහතා ඇසුරේ ජන සංගීතය ආශ්‍රිත නිර්මාණ සඳහාත්, සුනිල් සාන්ත මහතා යටතේ සුනිල් ගීයටත් දායක වීමෙන් වැඩි දියුණු කර ගත් ශිල්පීය නිපුණතාවය තුළින් පී. ඩන්ස්ටන් ද සිල්වා ගේ සංගීතයට ඈ සිය උපරිම හැකියාව මුදා හරිනවා.
ඉහත විග්‍රහය මා විසින් කරන්නට යෙදුණේ සාමන්‍ය දැනීමට අමතරව ඉඳහිටෙක අනුරාධපුරය ආශ්‍රිත ගමකට ගිය විට ලබා ඇති ඇත්දැකීම් ද ආශ්‍රය කර ගනිමින් පමණි. ගම්බද පළාත්වල ජීවත් වී ප්‍රායෝගික ඇත්දැකීම් ඇති අයෙකුට ගී පද අරුත් සම්බන්ධයෙන් මීට වෙනස් අදහස් තිබිය හැකියි.
කහවන් ගොයමට ගීයේ යොමුව පහතින් සඳහන් කර ඇත. ගීතයට සවන් දෙමින්, ගොම්මන් කලුවර වැටෙන යාමයක මින්නේරිය වැව අසබඩට ගොස් එහි අසිරිය සිතින් විඳ ගන්න.
අමා නයනාදරී සිරිවර්ධන
30-07-2023
කහවන් ගොයමට රන්දිය වැහැලා නියරෙන් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී මිහිමත වැතිරෙනවා
විහඟ වළා ගුවන වෙලා දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුණු කලක්දෝ ඉපනැළි නලියනවා
මින්නේරිය වැව දැන් නිල් කැටයකි තැන තැන රතු වෙනවා
එක දෙක දියරැළි සුළඟට කැඩි කැඩි සුදු ඉරි මතුවෙනවා
මුතු අමුණා ගී මුමුණා දුර වෙරළට ඇද්දෙනවා
මින්නේරිය වැව පටසළු ඇඳගෙන ඔන්චිලි පැද්දෙනවා
මහසෙන් රජු වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට හිනැහී සැනහෙනවා
යල වපුරා මහ වපුරා ගොයමට දිය රැළි නංවනවා
මින්නේරිය වැව හෙට හී කවියේ උදයට ළංවෙනවා