සාම්ප්‍රදායික බෞද්ධ සාහිත්‍යයේදී යසොදරවන්ටත් ඇය කළ කැපකිරීම් වලටත් විශේෂ ස්ථානයක් ලබා දී ඇති නමුදු සිදුහත් බෝසතුන් භව දුකින් මිදීමේ මාර්ගය සොයා යාමේ වෑයමේ දී ඇගෙන් ලද සහයෝගය ගැන කියැවෙන්නේ අල්ප වශයෙනි. යසොදරව ගේ ඇල්මත් බැඳීමත් සිදුහතුන් ගේ භව තරණය අවුරන බාධකයක් ලෙස සාහිත්‍යය කරුවා දකියි. එහෙත් මේ ගීතයේදී ඇයගේ ආදරය සෙනෙහස බෝසතුන් නිවන් මඟ සොයා යන ගමනෙහි දී ඉමහත් පිටිවහලක් වූ බව පැවසෙයි. මෙහි මා දකින විශේෂත්වය එය යි.
ගීතයෙන් ප්‍රකාශිත අවස්ථාව පිළිබඳව ප්‍රශ්නයක් පැන නඟී. එය සිදුහත් කුමාර (බෝධිසත්ව) අවදිය තුළ අවස්ථාවක් ද? නැතහොත් බුද්ධත්වයෙන් පසු අවදිය තුළ අවස්ථාවක් ද? කෙනෙකු, සිදුහත් කුමරා ගිහි ගෙය හැර යන මොහොතේ දී කුමරාට යසෝදරාවන් ගේ මුහුණ ක්‍රමයෙන් නොපෙනී යාම බෝසතුන් විසින් ප්‍රකාශ කිරීමකැ යි ද , එහිදී බෝසතුන් සිත් තුළ පහළ වුණු හැඟීම් සමුදායයැයි ද පවසන අතර, තවත් කෙනෙකු, පිරිනිවන් පාන්නට යාමට පෙර යසෝදරාවන් පැමිණ බුදුන් වැඳ අවසර ගන්නා මොහොත බව ද පවසනවා.
බුදුවරයකු සහ රහත් තෙරණියක අතර බැඳීමක් ගැන කතා කළ නොහැකි හෙයින්, මෙ කියන මොහොත යසෝදරා තෙරණිය පිරිනිවන් පෑම සඳහා යන අවස්ථාව යැයි කිසිසේත්ම සැලැකිය නොහැකි ය.ගීතයේ නිර්මාතෘ දෙස බැලූ විට එවැනි අර්ථ කථනයක් කිරීම සාධාරණ නොවේ යැයි සිතේ.
එ මෙන්ම, ගීයේ පද රචක සුනිල් සරත් පෙරේරා සූරීන් “යසෝදරාවත” යන යෙදුම කුමන අර්ථයෙන් යෙදුවේදැයි යන්න පිළිබඳවද ගැටළුවක් පැන නැඟිණි. බොහෝ දෙනා එය යසෝදරාවන් ගේ වතමඬල නොහොත් මුහුණ යැයි අර්ථ කථනය කළ ද, නැවතත් ගී පද රචකයා පිළිබඳව සිහිපත් වීමේ දී , ඊට වඩා ගැඹුරු අරුතකින් යෙදුවා විය හැකියැයි යන සැකය මට තිබිණි.
සමස්ත ගීතයම විමසා බැලීමේ දී මගේ වැටහීම වූයේ මෙය, සිදුහත් ගිහිගෙයින් නික්ම යාමත්, බුද්ධත්වය ලැබීමත් අතරතුර කාලයේ දී, එනම් සිදුහත් තාපස අවදියේ දී, තවුසාණන් සිතෙහි යසෝදරාවන් පිළිබඳව පහළ වූ කෘතවේදී සිතුවිලි ගීතය තුළින් ප්‍රකාශ වන බවයි. එසේ වටහා ගැනීමේ දී බුදු දහමෙහි එන මූලික සංකල්ප වලට එරෙහි ව යාමක් සිදු වන්නේ ද නැත. බෝසතුන් සිය ගිහි කළ බිරිඳ වූ යසෝදරාව පිළිබඳ මතකය අවදි කිරීමක් ලෙසින් නැතහොත්, එසේ ඇය පිළිබඳ මතකාවර්ජනය හරහා විමුක්තිය සොයා යන ගමනෙහි දී, ඈ විසින් බෝසතුන් ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා කරන ලද කාර්යභාරය ගැන කෘතඥතා පූර්වක සිහිපත් කිරීමක් ලෙස වටහා ගැනීමට බාධාවක් පැන නොනඟී.
පර පැවසූ පරිදි සාම්ප්‍රදායික බෞද්ධ කතා වල දී සමාන්‍යයෙන් කියවා ඇත්තේ, යසෝදරාව ගේ ඇල්මත් බැඳීමත් සිදුහතුන් ගේ භව තරණය අවුරන බාධකයක් ලෙස සාහිත්‍යය කරුවා දකින බවයි. නමුත් මේ ගීතයේදී, ඇයගේ ආදරය සෙනෙහස බෝසතුන් ගේ නිවන් මඟ සොයා යන ගමනෙහි දී ඉමහත් පිටිවහලක් වූ බව පවසනවා. ඒ අනුව, පළමු අන්තරා කොටසෙන් කියැවෙන්නේ බෝසතුන්හට බුදුබව ලැබීම පිණිස යසෝදරාවන් අනුග්‍රහය දැක් වූ ආකාරය ගැනයි.
“එයින් මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොවී යළි ඇවිදින් මේ දෙස”
[එයින් මිදෙන මංපෙත සොයනා සඳ – ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර] – මෙහි ධ්වනිතාර්ථය තුළ අවසන් ආත්මභාවයේ දී මෙන්ම, අතීත භවයන්හි දීත් බෝධිසත්වයන්හට ඇය දුන් අනුග්‍රහය පිළිබඳ අදහස ගැබ් වී ඇත. සිදුහත් තවුස් දිවිය තුළ පවා ඈ සමඟ පැවති ඇසුර බෝසතුන්ට විමුක්ති අවබෝධයට උපකාරයක් වූ බව වටහා ගැනීම අපහසු නැත.
[සමාධියෙන් සිත ඈත දිවෙන විට – පමා නොවී යළි ඇවිදින් මේ දෙස] – බෝසතුන් ගේ චිත්ත සමාධිය බිඳී යන හැම විටෙකම , නැවතත් එය වඩවා ගැනීමට උන්වහන්සේ අසලට එන්නී යසෝදරාව යි.
යසෝදරාවත පිළිබඳ ගැටළුව මතු වන්නේ දෙවන අන්තරා කොටසෙහි දී යි;
“එයින් මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
කෙමෙන් මැකී යයි යසෝදරාවත”
සුනිල් සරත් පෙරේරා වැනි පුළුල් දැක්මක් ඇති ගී පද රචකයකු, “යසෝදරාවත” හරහා බෝසතුන්ට යසෝදරාවන් ගේ මුහුණ අමතක වී යාමට ලඝු කරතැයි සැලැකීම අපහසු බැවින්, මෙසේ නිවන් මඟ වෙත යන ගමනෙහි දී, බෝසතාණන් සිතෙන් කෙමෙන් මැකී යන්නේ භව ගණනන් පුරා දිවෙන සිදුහත් සහ යසෝදරා අතර පුවත, විය යුතු බව මෑතක් වන තුරුම මගේ මතය විය. එම අර්ථ කථනයට අනුව;
[දයා සිතින් එක බැල්මක් දී නෙත] – සිදුහත් තවුසාණන් සිතෙහි ඇය පිළිබඳ මතකය සටහන් වී ඇති ආකාරය යි.
කාමභෝගී ජීවිතයක් ගත කරන සාමාන්‍ය මනුෂ්‍යයකුට පමණක් නොව, විමුක්තිය පිණිස ආධ්‍යාත්මික ජීවිතයකට බට තාපසයෙකුට වුවද කාලයක් පුරා තමන් සමඟ එකට සිටි සිය සහකාරිය සමඟ පැවති බැඳීම එක් වරම අමතක කළ නොහැක්ක කි. බැඳීම ප්‍රබල වන තරමට එය අසීරු වෙයි. අමතක වුව ද, එය සිදු වන්නේ සෙමිනි. ඈ ගැන මතකය සිතෙන් මැකී යාමට යම් කාලයක් ගත වෙයි. නිර්වාණ අවබෝධය කරා යන ගමනේ දී යශෝධරාවන් සමඟ තිබූ සාංසාරික බැඳීම නොහොත් සිදුහත්-යසෝදරා පුවත සිදුහත් බෝසතාණන් මනසින් ක්‍රමයෙන් වියැකී යන අයුරු මෙම පද පෙළ හරහා පද රචකයා විසින් ප්‍රකාශ කෙරෙතැයි වටහාගෙන සිටියෙමි.
එසේ වුවද,
“දයා සිතින් එක බැල්මක් දී නෙත
කෙමෙන් මැකී යයි යසෝදරාවත”
පද පෙළ අනුව යමින් අයෙකුට, මේ ගීතය සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම යාමට පෙර, යසෝදරාවන් වෙතින් සමුගැනීම සටහන් කෙරෙන්නේ යැයි තර්ක කිරීම ද අපහසු නොවේ. ඇත්තෙන්ම, ගීතය ගැන කරන ලද විමසීම් වලදී බොහෝ දෙනා ගේ මතය වුණේත්, අභිනිෂ්ක්‍රමණ අවස්ථාව මෙහි සටහන් වන බවයි. ඒ අනුව “යසෝදරාවත” යන්නෙන් ඇගේ මුහුණ ගැන කියැවෙන බව යි.
මේ ගීතයට ඇති බලවත් කැමැත්ත නිසාම සුනිල් සරත් පෙරේරා මහතා හා කතා බහ කරන්නට අවස්ථාවක් ලද විටෙක මේ පිළිබඳව විමසා සිටියෙමි. එතුමා පවසා සිටියේ, අප විසින් අර්ථ දැක් වූ පරිදි සිදුහත් සහ යසෝදරා අතර කතාපුවත යන්නට සමීප නමුත්, “යසෝදරාවත” යැයි යෙදීමෙන් තමා අදහස් කළේ “යසෝදරා ව්‍රතය” යන්න බව යි. එය සිදුහත් සිතෙහි , යසෝදරාවන් කෙරෙහි පැවැති පිළිවෙත වැනි අදහසක් දෙන බවද කියා සිටියේය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ගේ ‘භව තරණය’ කෘතිය ප්‍රකාශයට පත් වූ අවදියේ දී එය කියැවීමෙන් ලද මහත් ප්‍රමෝදය මෙය රචනා කිරීමට උත්තේජනයක් සැපැයූ බවත් ඔවුන් වැඩි දුරටත් මා හා පවසා සිටියේය.
“එයින් මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
කෙමෙන් මැකී යයි යශෝධරාවත“
සාම්ප්‍රදායික බෞද්ධ සාහිත්‍යකරුවන් මෙන් නොව, අනන්ත සසරෙහිද බෝසතුන් සමිපයෙහිම රැඳෙමින් පෙරුම් පුරන්නට වරෙක සහාය වූත් වරෙක නිමිත්තක් වූත් (කුස ජාතකය – අධිෂ්ඨාන පාරමිතාව) යසෝදරා අවසන් භවයෙහි දී පමණක් වෙනසක් කරන්නට හේතුවක් නොමැති බව අප ගීත රචකයා මැනැවින් වටහා ගෙන ඇත. එබැවින් මම මෙය විරෝධාකල්ප ගීයක් ලෙස දකිනු කැමැත්තෙමි.
ගීතයෙහි සාර්ථකත්වයට සනත් නන්දසිරි මහතාගෙන් ලැබී ඇති දයකත්වය ගැන ද මෙහි සඳහන් කළ යුතුම වේ. විශාල ස්වර පරාසයක් තුළ දිවෙන මෙහි, ආරම්භය ‘යසෝදරා’ ලෙස ඉහළ ස්වරයකිනුත් එයින් පසුව එන “සිතේ නැගුණු කල කිරීම කුමරිය ….” පහළ ස්වරයකිනුත් ගයන්නට, සනත් නන්දසිරි හැර වෙනත් ගායකයකු අපේ රටේ නැති බව මගේ විශ්වාසයයි. ගීතයට අවශ්‍ය ඉතා සියුම් භාවයන් නියමිත ස්ථානයන්හි දී නිවැරදිව ලබා දෙමින් ඔහු මවිතය දනවන සුළු ගායනයක යෙදෙයි. මේ තේමාව යටතේ තවත් ගීත කිහිපයක් නිර්මාණය වී ඇති නමුදු, මහාචාර්ය සනත් නන්දසිරි ගේ ගීතය, ගායනය, සංගීතය හා පද රචනය යන තුන් ඈඳුතුවෙහිම ප්‍රකාශිත අසමසම වූ ප්‍රතිභාව හේතු කොට ගෙන ඒ අතර සුවිශේෂී ස්ථානයක් ගනී.
ඇත්තෙන්ම , සිදුහත්-යශෝධරා සංසාරගත බැඳීම ගැන කියැවෙන ගී නිර්මාණ අතරේ මේ ගීතය පැරදවිය හැකි ගීතයක් අසා නොමැත්තෙමි.
ගුවන් විදුලි සංස්ථාවෙන් කළ පටිගත කිරීමට පහතින් සවන් දෙන්න. තවත්, පටිගත කිරීම් කිහිපයක් ඇතත්, ගීතයට අවශ්‍ය ඉතා සියුම් භාවයන් නිවැරදිව ලබා දෙන්නේත්, සංගීත සංයෝජනය ප්‍රශස්ත මට්ටමකින් ඇත්තෙත් මෙහි බව මගේ අදහසයි.
පසුව කරන ලද පටිගත කිරීමක්. මෙහිදී ද සනත් නන්දසිරි මහතා ගේ ගායනය ප්‍රශස්ත යි.
අමා නයනාදරී සිරිවර්ධන
24-07-2021