නිසංසල රෑ ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා
මා සොයා ආවා…
ගීතය කවියෙන් වෙනස් වන්නේ කවියට සාපේක්ෂව ගීතය වඩා කෙටිවීම හෝ අඩු වචන සංඛ්‍යාවක් භාවිතා කර තිබීම නිසා පමණක් නොවේ. ගීතයක ඇති සීමිත අවකාශය තුළ සංගීත රචකයා හට පහසුවෙන් නාද රටාවන් මුසු කිරීමටද ඉඩකඩ ලැබී තිබිය යුතුය. එසේ කළ හැකි වන්නේ ගීත රචකයා විසින් ගිතයේදී බසෙහි ඇති වැදගත්කම හඳුනාගෙන ගීතයකට සරිලන, සරල සුගායනීය පද වැලක් නිර්මාණය කර ඇත්නම් පමණි.

“මගේ පෑනෙන් සිත්තම් කළ සිතුවිලි නාදමය ලෝකයට පිවිසවා ශ්‍රොත විඥනය දිගේ ගලා යැමට සැලැස්‌වීම මැනැවයි මට සිතුනු බැවින්, කවීත්වයේ ආභාෂය තුළින් ගීත රචනා නිර්මාණය කළෙමි. මෙම ගීත කෙතෙක් දුරට සාර්ථක ද අසාර්ථක ද යන්න නිගමනය කිරීම ශ්‍රාවකයන් සතු කාර්යයක් යැයි මම සිතමි.”
දිවයින පුවත්පතෙහි එන තීරු ලිපියෙක දැක්වෙන පරිදි, ගීත රචනයට පිවිසීමට පෙර කවියකු ලෙස නම් දරා සිටි ඩෝල්ටන් අල්විස් සූරීන් තමා ගී පද රචනයට පිවිසියේ ඇයි දැයි මතකය අවදි කර සිටියේ එලෙසිනි. කාව්‍යකරණයෙන් ලත් අභාෂය ගී පද රචනයේදී මනා සේ බස හැසිරවීමට ඔහුට මහත් පිටිවහලක් වන්නට ඇත. කවියකුට මෙන් නොව ගී පද රචකයකුට නිසි සේ වචනයෙන් පෙළහර පෑමේ ඉඩකඩ සීමාසහිත බව හඳුනා ගැනීමටත් එම සීමිත අවකාශයෙහි නොයෙක් දස්කම් පෑමටත් ඔහුට හැකි වූයේ මෙසේ කවියකුව සිටියදී ලද පළපුරුද්ද නිසාම විය යුතුය. සරලවූත් සුගායනීයවූත් පද වැලක් හරහා ගැඹුරු භාව ප්‍රකාශනයක යෙදෙමින් මේ දුෂ්කර කර්තව්‍යය ජය ගැනීමෙහි ලා ඩෝල්ටන් අල්විසුන් සතු වූ අසීමිත හැකියාව ඔහු විසින් රචිත ගීතාවලිය පිරික්සා බැලීමේදී අපට තහවුරු වෙයි.
‘උඩඟුලියන්’ (විශාරද නන්දා මාලිනි), ‘නිවහල් සිතුවිලි සිතනා’ (ආචාර්ය අමරදේව), ‘කවුරුදෝ අර කවුළුවෙන්’ (ශාන්ති ගීතදේව / මහාචාර්ය සනත් නන්දසිරි), ‘එගොඩහ යන්නෝ’ (ෂෙල්ටන් පෙරේරා), ‘චාමර පවන්සලා’ (මහාචාර්ය අමරා රණතුංග), ‘සසර වසන තුරු’ (ආචාර්ය අමරදේව), ‘රන් දහඩිය බින්දු බින්දු’ (ආචාර්ය අමරදේව), ‘කුණ්‌ඩලකේශී’ (ආචාර්ය අමරදේව), ‘දෙනුවන් වැසූ’ (නන්දා මාලිනී) මේ සඳහා නිදසුන්ය. මේ සෑම ගීතයකදීම ඔහු ගීතයේ මුල සිට අග දක්වා එකම කවි බසක් හසුරුවමින් සංගීත රචකයාහට සිත් සේ සිය නාද රටාවන් ගලා යැවීමට ඉඩ හසර ලබා දෙයි.
ඩෝල්ටන් අල්විස් සූරීන් විසින් රචනා කරන ලද, “නිසංසල රෑ ඔබේ වෙණ නද” ගීතය හමුවන්නේ නන්දා මාලිනියගේ ගීත ඇල්බම අතුරෙන් මගේ ප්‍රියතම ගීත සමූහය ඇතුළත් වන ‘තාරකා ඇස්’ නම් ගීත ඇල්බමයේයි.
“නිසංසල රෑ ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා
මා සොයා ආවා”
නිසංසල රාත්‍රියේ ඔහුගේ වෙණ නද සෙමින් එන්නේ ඇය සොයා ගෙනයි. මේ හැඟීම රසිකයා වෙත ගෙනයාමේදී සංගීත රචකයා බෙහෙවින් කල්පනාකාරී ද , සූක්ෂ්ම ද විය යුතුය. සරල සුගම පදමාලාවට සරිලන සංගීත රටාවන් ඔස්සේ පදවලින් මතු කෙරෙන හැඟීම රසිකයාට දැනෙන්නට සැලැස්වීම ඔහුගේ වගකීමයි. ගායිකාව විසින් “නිසංසල රෑ” පද ගයා අවසාන වනවාත් සමගම වයලීනයත්, “ඔබේ වෙණ නද “ පද කොටස ගැයීමෙන් අනතුරුව වයලීනය සමග සිතාරයත් හැඬ වෙන්නේ එහෙයිනි. නැවතත් ගායිකාව “නිසංසල රෑ ඔබේ වෙණ නද” ලෙසින් ගයයි. ඉන් පසු නැවැතත් සිතාරය සෙමින් හැඬවෙයි. මේ සියල්ලෙන් නිහඬ නිසල රාත්‍රියක වීණාවේ සත්සර ඇය සොයා සෙමින් සෙමින් එන බව අපට හැඟෙන්නට සලස්වයි.
එනමුදු, “බමර සරයෙන්” සවන් පාරවමින් එන ඒ වෙණ නදින් ඇගේ හදවත පෑරෙයි.
“බමර සරයෙන් සවන පාරා හද තුලට ආවා”
ඇගේ දෑස කඳුලින් තෙමී වැසෙයි. පෑරුණු හදක ඇති දුක තාපය තීව්‍ර කර පැවසීමට මෙන් ගායිකාව විසින් “දෑස කඳුළින් තෙමී වැසුණා” යන පද පෙළ දෙවරක් ගායනා කෙරෙයි. ඒ හා සමග සිතාරය යළිදු වාදනය කෙරෙයි.
“දෑස කඳුළින් තෙමී වැසුණා
දෑස කඳුළින් තෙමී වැසුණා”
මේ සිදුවීම දෙස මහත් වූ වුවමනාවෙන් බලා සිටිනා පිරිසක් වෙති. ඒ නිල් අහසේ තාරකාවෝය.
“සහස් සුවහස් තාරකාවෝ
කන් යොමාගෙන නෙත් අයාගෙන
බලා හිටියා නීල ආකාසේ”
ඩෝල්ටන් අල්විසුන් “බමර සරයෙන් සවන පාරා හද තුලට ආවා” සහ “කන් යොමාගෙන නෙත් අයාගෙන බලා හිටියා” වැනි අපුර්වත්වයෙන් අනූන බස් වහරක් යෙදීමෙහි සමත්කම් දැක්වූයේ ගීත රචනයට පෙරාතුව කාව්‍යකරණයේ යෙදීමෙන් ලැබුවා වූ පළපුරුද්ද නිසාම යැයි මට නැවැතත් සිතෙයි. එපමණක්ද නොව, “සහස් සුවහස් තාරකාවන්” වැනි යෙදුම් කෙතරම් කාව්‍යාත්මකද? ගීතයකට උචිතද?
ගීතය තුළ ඇති වදන් වැලෙහි අරුත මේ ගීතයට සංගීතය නිර්මාණය කළ අමරදේවයන් කෙතරම් හොඳින් ග්‍රහණය කර ගෙන තිබේද? එම අරුත නොඅඩුව නොවැඩිව සංගීත සංයෝජනය ඔස්සේත්, ගායකාවගේ හඬ හැසිරවීම හරහාත් රසිකයා වෙත ගෙන එන්නට ඔහු සමත්වී ඇත්ද? ගීතයේ මුඛ්‍ය පරමාර්ථය වන;

ගීතය තුළ ඇති වදන් වැලෙහි අරුත මේ ගීතයට සංගීතය නිර්මාණය කළ අමරදේවයන් කෙතරම් හොඳින් ග්‍රහණය කර ගෙන තිබේද? එම අරුත නොඅඩුව නොවැඩිව සංගීත සංයෝජනය ඔස්සේත්, ගායකාවගේ හඬ හැසිරවීම හරහාත් රසිකයා වෙත ගෙන එන්නට ඔහු සමත්වී ඇත්ද? ගීතයේ මුඛ්‍ය පරමාර්ථය වන;
“නිසංසල රෑ ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා
මා සොයා ආවා
බමර සරයෙන් සවන පාරා හද තුලට ආවා
දෑස කඳුළින් තෙමී වැසුණා”
යන්න ඔහු මැනැවින් අසන්නාහට දැනෙන්නට සලස්වයි. “සුභාවිත ගීතය” යනු වචන ඉක්මවන කලා නිර්මාණයක් බවත් වචන සහ සංගීතය හමු වන තැන සිදු වන භාව ප්‍රකාශනයක් බවත් මේ ගීතය නැවත වරක් අපට පසක් කර දෙයි.
ඩෝල්ටන් අල්විස් සූරීන් ගේ පද රචනා තුළ මහගම සේකරයන් ගේ රචනා ශෛලියෙ හි ඡායාව වැටී ඇති බවක් පෙනේ. ඔහු ගේ “නිසංසල රෑ’, ‘සුමුදු සුවදෙන සිහින යහනේ;, සේකරයන් ගේ “නිම් වළල්ලෙන් එපිට සඳ රැස් ගලන නිල් මිටියාවතේ” ගී පද සිහිපත් කරයි.
“දහස් ගණනක් සෙනඟ අතරේ
මහා තනියක් මට දැනේ”
(මහගම සේකර/සරත් දසනායක/ නන්දා මාලිනී)
නිම් වළල්ලෙන් එපිට සඳ රැස්” ගීතය ඇතුළත් වුණේ ද නන්දා මාලිනියගේ ‘තාරකා ඇස්’ ගීත ඇල්බමයෙහි” ම ය. ගීතය බිහිවන්නේ මහගම සේකරයන්ගේ පැදි පෙළක් ඇසුරින්. සංගීතය නිර්මාණය කළේ සරත් දසනායකයන්. ‘කස්තුරි සුවඳ’ , ‘නිල්ල සොයා’, ‘දුහුළු මලක්’, ‘එක්ටැම් ගේ’, ‘මුවන් පැලැස්ස 2’ වැනි චිත්‍රපට වල දී එකෙනෙකට වෙනස් පරාසයන් තුළ ගීත නිර්මාණය කළ දසනායකයන් මේ ගීතයේදී වෙනස්ම ආරක් ගනිමින් සංගීතය නිර්මාණය කර තිබෙනවා. ගීත දෙකෙහිදීම නන්දා මාලිනියගේ හඬ පරාසයට ගැලපෙන සේ ඇය ගේ ශෝකී ස්වරය උද්දීපනය වන කරමින් ස්වර රචනය කර තිබීමත් ඒවා අතර සමානකමක් අපට දැනීමට තවත් හේතුවක් විය හැකියි.
අල්විස් සූරීන් ගේ “නීල වරල නිල් චාමර පවන් සලන්නී”(තනුව සහ ගායනය – පණ්ඩිත් අමරදේව) සහ මහගම සේකර නිර්මාණයක් වන “ඈත කඳුකර හිමව් අරණේ”(තනුව සහ ගායනය – පණ්ඩිත් අමරදේව) ගී පද අතර පවතින සාම්‍යය ද සලකා බලන්න. සේකරයන් , ඩෝල්ටන් අල්විස් සූරීන් ගේ ජන වහරින් සහ ගැමි වහරින් පෝෂණය ලද ගී පද කෙටි ය, සරල සුගම ය, කවීත්වයෙන් අනූන ය, ඒ හැමටත් වඩා ගීතයකට නැගිය හැකි වන සේ සුගායනී ය ය.
– අමා නයනාදරී සිරිවර්ධන
23/12/2014
නිසංසල රෑ ඔබේ වෙණ නද
නිසංසල රෑ ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා
මා සොයා ආවා
බමර සරයෙන් සවන පාරා හද තුලට ආවා…
දෑස කඳුළින් තෙමී වැසුණා
දෑස කඳුළින් තෙමී වැසුණා
නොලියු ගීතය සිතේ ගුලිවී
නිදා සිටියා ඒ වෙලාවේ
දෑස කඳුළින් තෙමී වැසුණා
දෑස කඳුළින් තෙමී වැසුණා
සහස් සුවහස් තාරකාවන්
කන් යොමාගෙන නෙත් අයාගෙන
බලා හිටියා නීල ආකාසේ
බඹර සරයෙන් සවන පාරා හද තුලට ආවා
දෑස කඳුළින් තෙමී වැසුණා
දෑස කඳුළින් තෙමී වැසුණා
තොරතුරු මූලාශ්‍රය:
“ඩෝල්ටන් අල්විස් නම් සෞන්දර්යවේදියාණෝ”, සංස්‌කරණය – නාරද නිශ්ශංක, ‘සිනමා කලා’ විශේෂාංගය, ‘දිවයින’ පුවත්පත (2010/07/30)
ගීතය මෙතැනින්: