මව : මොකද ළමයෝ පිටිපස්සේ හැරි හැරී බලන්නේ ? මොනවද ඔච්චර පිටි පස්සේ බලන්න තියෙන්නේ?
දියණිය : මේ ම..ං …මං අර බිත්තියේ තියෙන කැටයම් බලනවා අම්මේ
මේ සිය පවුලේ අය සමග ටවර් රඟහලේ වේදිකාගත වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගිය මවක සහ වැඩිවිය පත් දියණියක අතර ඇති වූ දෙබසකි. මහත් උනන්දුවකින් නාට්‍යය නැරඹීමේ ආශාවෙන් සිටි සිය දියණිය නාට්‍යය නරඹන අතරවාරයේ වරින්වර පසුපස හැරී බැලීම ගැන පුදුමයටත්, නො රිස්සුමටත් පත් වූ මව විමසූ පැනයට දියණිය දුන් පිළිතුර එය යි.
“දඟකාරී මං මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ”

ලූෂන් බුලත්සිංහලයන් බොහෝ විට ගීතය හරහා පොදු සමාජ ප්‍රශ්න ඉතා සියුම් ලෙස විවිරණය කිරීමට සාර්ථක උත්සාහයක යෙදුණු ගී පදරචකයෙකි. “පිපුණු මලේ රුව එමල දනීදෝ” ( නන්දා මාලනී), ‘අහසින් තරුවක් කඩා වැටෙනවා’ (මාලනී බුලත්සිංහල), “රජ මැදුරක ඉපදී සිටියා නම්“(මාලනී බුලත්සිංහල) හා “විදුලි මිණි පහන් දැවී” (ගුණදාස කපුගේ), “පුන් පෝදා සඳ“(මාලනී බුලත්සිංහල) වැනි නිර්මාණ මෙයට කදිම උදාහරණ. ඔහුගේ නිර්මාණ තුළ, උපහාසය සහ උත්ප්‍රාසය මුසු වූ ව්‍යංගාර්ථය බහුලය. “ඔසරි පොටින් අදින්නෙපා” ගීතයද මෙසේ නෝක්කාඩුව සහ සෝපාහාසය පෙන්නුම් කෙරෙන තවත් ගීතයකි.
ඔහුගේ මේ “දඟකාරී මං” ගීතය තුල, තරුණ දියණියන් සිටින මව්වරුන් නිතර මුහුණ දෙන ගැටළුවක් ඉතා සියුම්ව, දියණියකගේ මුවින් ගැයෙන ගීතයකට හැරවෙන්නේ ඔවුන්ගේ මව්වරුනට සිතන්නට යමක්ද ඉතිරි කරමින්.
තරුණ ළඳක් නිතැතින්ම අවධානය ආකර්ෂණය දිනා ගනී. ඇගේ අවධානය , ආදරය පතමින් ඇය වටා සරන්නන් ඇයට නැවැතිය නොහැකියි. මෙය ව්‍යංගාර්ථයෙන් කියන්නේ ඉතා සුවඳැති කුසුමක් ලෙස ප්‍රචලිත, “බක් මී” මල වෙත බඹරුන් ඇදීමේ ස්වභාවික සංසිද්ධිය අපූරු උපමා රූපකයක් ලෙස යොදා ගනිමින්.
“බක් මී මල වට බඹරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ?”
මේ නිසාම රට්ටුන් ගේ කුරිරු කතා බහටත් ඇය ලක් වෙනවා. එයත් ඇයට නවතා ලිය නොහැකියි. මේ ඉබේටම වාගේ එන අවධානයට බිය වන සිය මව ඇය මෙසේ අමතනන්නීය.
“යන එන එතරේ පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් මුමුණනවා
දිවෙන් දිවට රස කථා ගොතද්දී
කට වට කොට වැට බඳින්නදෝ අම්මේ”
ඉහත පද පේළි හතරෙන් කියැවෙන දෙය මීටත් වඩා සරලව හා රසවත්ව ගීතයක යෙදිය හැකිද?
“යන එන අතරේ පාර දෙපැත්තේ – දොරින් දොරට ඇස් මුමුණනවා” – අසල්වැසියන් වචනයෙන් පමණක් නොව, ඇස් වලින් ද ඉඟි මරමින් ඇය වටා කතා සෑදීමට මඟ බලා සිටී. රට වැට කර බඳින වැට, කට වට කර බැඳිය නොහැකි ය. ඔවුන් ගේ කාර්යය රිසි සේ කර ගැනීමට ඉඩ හැරිය යුතුයැයි දියණිය මවට පවසයි.
ගීතයේ වැදගත්ම ප්‍රකාශය සටහන් වන්නේ අවසානයේදීයි. තමුන් රැකීමට මව ගන්න ස්ථාවරයේ නිෂ්ඵල බව ඇය උත්ප්‍රාසය මුසු වූ ව්‍යංගාර්ථයක් තුළින් කියා සිටී. ජව සම්පන්න අගේ තරුණ සිත වට කර වැට කඩොලු දැමීමෙන් ඇය රැක ගත නොහැකි බව ඇය මෙසේ කියන්නීය.
“දහසක් වැට කොටු තහංචි බැන්දේ
මගෙ හිත රැහැනින් බඳින්න දෝ
මටම මගේ හිත කීකරු නැතිදා
මුර සෙබලුන් මා රකින්නදෝ අම්මේ”
“වරද මලේ සුවඳද අම්මේ” යැයි ඇසුවත්, මේ තරම් සීමා බන්ධන දැමීමට හේතුව ඇය ගේ තරුණ රූපය නිසා ඇදෙන බඹර කැළ පමණක් ද? එය වටහා ගැනීමට නම් පද අතර නො ලියැවී ඇති දේ කියවා ගත යුතුය. දියණිය සමාජය විසින් අනුදත් ගතානුගතික ගති පැවතුම් වලට එකඟව ජීවත් වීමට කැමැත්තක් නොදක්වන යුවතියක නො වන බව ගීතයේ යටිපෙළ තුළින් දිස් වේ.
“මටම මගේ හිත කීකරු නැතිදා
මුර සෙබලුන් මා රකින්නදෝ අම්මේ”
ඇය වටා රඟන තරුණ පිරිසට දක්වන ඇගේ ප්‍රතිචාරය ද මව බියට පත් කරවන සුළුය. නමුත් ඒ සමඟම මව තුළ ඇති බිය පහ වන වදනක් ද සමස්ත ගීතයම ගත් කළ පෙනෙනවා. ඇත්තෙන්ම දියණිය ගේ ඇමතුම ආරම්භ කරන්නෙම ඒ විශ්වාසය මව තුළ ඇති කරමින් ; දඟකාරී මං මද්දුම දෝණී – “ඔබට අකීකරු නෑ අම්මේ”. තරුණ සිතක සිතුම් පැතුම් සහ මවට ඇති ආදරය අතර දෝලනය වන යුවතිකයක ගේ හැඟීම් ගීතය තුළින් මනාව නිරූපණය කරනවා.
සමස්ත ගීතයම, විශේෂයෙන්ම දෙවන අන්තරා කොටස සියුම් උපහාසයක්ද සමඟින් දියණියකගේ මුවින් නැගෙන ප්‍රකාශනයක් බවට පත් කර තිබෙන අයුරු ඇත්තෙන්ම අපූරුයි. මධ්‍යම පාන්තික පවුල්වල මව්වරුන් සහ ගැටවර වියේ සිටින දියණිවරුන් අතර සුලබව දකින අරගලයක් ඉතාම රසවත් ලෙස ගීතයකින් ප්‍රති-නිර්මාණය කළ අවස්ථාවකි. අද දියණිය හෙට මවක වී එම අත්දැකීමට මුහුණ දෙනු ඇත. එහෙයින් සර්ව කාලීන වටිනාකමක් ඇති ගීතයක් ලෙස ද සැලැකිය හැකියි.
මව සහ දියණිය අතර එවැනි ගැටුමක් ඇති නොවීමට නම්, සම්මත සමාජය තුළ සාම්ප්‍රදායක රාමුවට අනුගතව ජීවත් වීමට දියණිවරුන් දැන සිටිය යුතු වේ. මව විසින් දියණිය වටා සීමා බන්ධන පැනවෙන්නේත් සාමාජීය බලපෑම් හේතුවෙන්. අපේ සමාජය ගැහැණු දරුවකුගෙන් අපේක්ෂා කරන දේ මව්වරුන් දන්නා නිසයි. අනෙකා ගේ කැමැත්තට , නිදහසට ගරු කරන සමාජයක මේ ගැටුම අවම වේ. පවතින සාමාජීය රාමුව නිදහසේ වැඩෙන්නට ඉඩ නොදෙන, නිවහල් චින්තනයට මඟ අවුරන, පසුගාමී ආකල්ප බහුල, ගොහොරු මඩක් නම්, ගැහැණු දරුවන් එම රාමුව තුළ සදා සිර වී සිටිය යුතුද? ප්‍රවේණිගත උරුමය ඉදිරි පරපුරටත් ගෙන යා යුතුද?
සමාජයේ යහ පැවැත්ම තහවුරු කෙරෙන්නේ ආගම් ධර්මයන් තුළින් නොව ස්වාධීනව සිතන්නට පුරුදු පුහුණු කරවන අධ්‍යාපන ක්‍රමවේදයකිනි. එවැනි අධ්‍යාපනයකින් පෝෂිතව ගැහැණු දරුවන් ස්වාධීන මනුෂ්‍යයන් ලෙස සලකන සමාජයක් අපේ රටේ බිහි වන්නේ කවදාද? ඒ සඳහා පෙරමුණ ගත යුතු වන්නේ ද අන් කවරෙකු හෝ නොව කාන්තාවන් ම වේ.
ගායනය – ඉන්ද්‍රාණි විජේබණ් ඩාර
සංගීතය – සිසිර සේනාරත්න
-අමා නයනාදරී සිරිවර්ධන-
(19.04.2015 වැනි දින ‘පැරැණි සිංහල ගී රසික හවුල’ සමූහයේ පළ කරන ලද සටහනක් සංස්කරණය කර නැවත පළ කිරීමකි. ලාංකික සමාජය සමඟ ගැටීමේ දී බහුතරයක් කාන්තා පිරිමි දෙපක්ෂයම කාන්තාවන්ගෙන් අපේක්ෂා කරන්නේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස දෙපයින් සිට ගෙන සිටීමක් නොව, කවුරුන් හෝ කියන දෙයක් අසාගෙන බොළඳ සුකුමොළ වදන් තෙපලමින් සිටින හැසිරීමක් බව පෙනී යයි. කාන්තාවන් කෙරෙහි සමාජය තුළ පැනවෙන මෙවැනි සීමා බන්ධන වලට එරෙහිව හඬක් නැඟෙන වර්තමානයට මෙම සටහන වඩාත් උචිත යැයි හැඟේ. ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට ගැහැණු දරුවන් පුරුදු පුහුණු කළ යුතුය. එය ආරම්භ කළ යුත් වන්නේ ගැටවර වියේදීම යි.)
“දඟකාරී මං මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ”
බක් මී මල වට බඹරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ
යන එන එතරේ පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් මුමුණනවා
දිවෙන් දිවට රස කථා ගොතද්දී
කට වට කොට වැට බඳින්නදෝ අම්මේ
දහසක් වැට කොටු තහංචි බැන්දේ
මගෙ හිත රැහැනින් බඳින්න දෝ
මටම මගේ හිත කීකරු නැතිදා
මුර සෙබලුන් මා රකින්නදෝ අම්මේ”
ගීතය මෙතැනින් අසන්න:
දඟකාරී මං මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ
බක් මී මල වට බඹරු නටනවා
වරද මලේ සුවඳද අම්මේ
යන එන එතරේ පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් මුමුණනවා
දිවෙන් දිවට රස කථා ගොතද්දී
කට වට කොට වැට බඳින්නදෝ අම්මේ
දහසක් වැට කොටු තහංචි බැන්දේ
මගෙ හිත රැහැනින් බඳින්න දෝ
මටම මගේ හිත කීකරු නැතිදා
මුර සෙබලුන් මා රකින්නදෝ අම්මේ
