ඉන්දියානු කෙටි කතා එකතුවක තිබූ එක් කතාවක සාරාංශය මෙසේයි. මා එය කියැවූයේ පාසැල් යන කාලයේ නිවාඩුවකට දෙමාපියන් සමඟ කොළඹින් ඈත දුරබැහැර පවුලේ හිතවතෙකුගේ නිවසට ගොස් සිටි අතරවාරයේදි යි. ඒ නිවස ඒ තරම් පොත් තිබූ තැනක් නොවේ. කියැවීමේ පිපාසය තදින්ම තිබුණු ඒ කාලයේ මට කම්මැලියැයි කන්කෙඳිරි ගාමින් නිවැසියන්ට වද දී නිවස පීරා අතට හසු වූ පොතක් රැගෙන කියවන්නට ගතිමි. එහි නම මතකයට නොඑයි. කාලයකට කලින් කියැවූ කතාවක් නිසා අඩුපාඩු තිබිය හැකි වූවත් කතාවේ සාරයේ වෙනසක් නැත.
විවාහ වී බොහෝ කලක් යනතුරුත් දරුවකු නොමැතිව සිත් තැවුලෙන් පසු වූ යුවළක්, හාස්කම් ඇති බවට ඔවුන් සිටින ජන සමාජයේ මිනිසුන් විශ්වාස කරන ඉතා දුර බැහැර පිහිටි දේවාලයකට යන්නේ දරුවකු ලබා දෙන ලෙසට දෙවියන්ට කන්නලව් කර බාරහාර වීමට යි. අතරමඟ දී වන්දනා නඩයක් මුණ ගැසෙන යුවළ ඔවුන් හා එකතු වෙනවා. ලොරියක නැගී යන මේ යුවළට නඩය සමඟ රැයක් පහන් කිරීමට ද සිදු වෙනවා. අනෙක් සියලු දෙනා නින්දට වැටී සිටියදී, දරුවකු පතා දේවාලය වෙත යන කාන්තාව සහ නඩයේ සිටි තරුණයකු අතරේ යමක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දේවාලයට ගොස් බාර වී පැමිණෙන කාන්තාවගේ කුසේ දෙයියෝ දුන් දරුවා පිළිසිඳ ගන්නවා.

‘කරුමක්කාරයෝ’ (පින්තූරය අන්තර්ජාලයෙනි)
දරුවකු ලබා දෙන ලෙසට කන්නලව් කර බාරහාර වීමට දේවාලයකට (ලාංකිකයන් අතරේ ජනප්‍රිය කතරගම දේවාලයට) යාම, රැය පහන් කරද්දී බිරිඳ වෙනකෙකු (සැමියා ගේ බාල සහෝදරයා) සමඟ එකතු වීම, ඉන් පසුව ඇගේ කුසට දරුවකු පැමිණීම යන තේමාව ඇතිව බිරිඳට දරුවා ලැබෙන්නේ දේව බැල්මෙකින් මෙන් දරුවකු ලබා දිය හැකි අයෙකු ඇයට හමුවීමෙන්ය යන ව්‍යංගය ප්‍රේක්ෂකයා හමුවේ තබන තවත් නිර්මාණයකි ගුණදාස අමරසේකර විසින් රචිත “කරුමක්කාරයෝ” (1955) නවකතාව. මේ නවකතාව 1980 වසරේ දී තිස්ස අබේසේකර ගේ තිර පිටපතකට අනුව ඔහුගේ ම අධ්‍යක්ෂණය යටතේ සිනමාවට ද නැගුනා. ගුණදාස අමරසේකර ගේ නවකතාවේ තරමට තිස්ස අබේසේකර සිනමා තිර පිටපතෙහි ඇතැම් චරිත ප්‍රබලව මතු නොවීම තිර පිටපතේ ඇති දුර්වලතාවයකි. නවකතාවේ සක්‍රීය ශක්තිමත් ගැහැණියක වන සෝමා, චිත්‍රපටය තුළ දී ලිංගික වශයෙන් පමණක් සක්‍රීය දුර්වල චරිතයක් ලෙස අක්‍රීය බවට පත් කර තිබුණා. නවකතාව තුළ විදහා දැක්වෙන ස්ත්‍රියගේ භූමිකාව නිසි ලෙස ග්‍රහණය කර ගැනීමටත් සීමාවෙන් ඔබ්බට පුළුල් දැක්මක් නිර්මාණකරුවකු සතු විය යුතුයි. තිස්ස අබේසේකර වැනි විවිධ අංශ වලින් කුසලතා දැක්වූ, සංගීතය ආදී විවිධ තැන්හි දී තරමක් දුරකට හෝ පුළුල් දැක්මක් ප්‍රදාර්ශනය කළ කලාකරුවන් පවා ස්ත්‍රිය පිළිබඳ කතාවේ දී බමුණන් විසින් කුමක් හෝ නිශ්චිත ආකෘතියක ස්ත්‍රිය සිර කර තැබීමේ ගතානුගතික රාමුවෙන් ඔබ්බට සිය දැක්ම පුළුල් කර ගැනීමට අසමත් වූ අවස්ථා නිර්මාණ තුළ හමුවෙනවා.
මෙම නිර්මාණ දෙක අතුරින් පළමුව බිහි වූයේ ඉන්දියානු කෙටිකතාවද නැතහොත් ලාංකික නවකතාවදැයි නොදනිමි, ඉන්දියානු කෙටිකතාවේ නම සහ/හෝ එය අඩංගු කෙටිකතා එකතුව ගැන දන්නා අයෙකුට එය මෙහි සඳහන් කළ හැකි නම් කෘතඥ වෙමි.
පහතින් දැක්වෙන්නේ එකම ආකාරයේ කතා තේමාවක් මීට වඩා ප්‍රබල අන්දමින් දෙස් විදෙස් නිර්මාණ තුළ හමු වන තවත් අවස්ථාවක් පිළිබඳ විස්තරයකි.
ගී ද මෝපසාං (1850-1893) ගේ වෙරළ ආශ්‍රිත ගම්මානයක වෙසෙන ධීවර පවුලක් වටා ගෙතුණු කෙටි කතාවක සාරාංශය මෙසේයි:
ධීවර කර්මාන්තය ජීවනෝපාය කර ගත්, කුඩා දරුවන් දෙදෙනෙකු ද සමඟ බොහොම සතුටින් සාමයෙන් තරුණ යුවළක් ඒ ගමෙහි විසීය. දිනෙක මේ පවුලේ පියා මුහුදු ගොස් සිටිය දී කුණාටුවකට හසු වී අතුරුදහන් වු බව ඔහු සමඟින් මුහුදු ගොස් දිවි බේරාගෙන ගමට පැමිණි අනෙක් ධීවරයන් දැනුම් දෙනවා. ඈත දියඹේ දී පෙරලුණු ඔරුකැඳෙහි නැඟී, වෙනත් රටකට ගසා ගෙන ගොස් අතරමං වී සිටින ඔහු අවුරුදු ගණනාවකට පසුව නැවත සිය දරු පවුල සොයා ගමරට බලා ආවත්, ඒ වන විට බොහෝ දේ සිදු වී අවසන් බව සිය ඇස් දෙකින්ම දැක ගන්නවා. සිය සැමියා ගැඹුරු මුහුදේ කුණාටුවට හසු වී මළ බව විශ්වාස කර නැවත විවාහ වී, ඒ වෙද්දී දෙවන සැමියාට දාව තවත් දරුවන් දෙදෙනෙකු ද ලබා සිටින බිරිඳට කළ හැකි දෙයක් ඇත්තේ නැහැ. පළමු සැමියාට ලොකු මහත් වී සිටි සිය දරුවන් හඳුනා ගැනීමට පවා නොහැකියි. ඔහු සිය දරුවන් හඳුනා ගන්නේත් අන්‍යයන්ගෙන් උදව්වෙන් මගේ දරුවන් කවුදැයි විමසීමෙන් පසුවයි. ගමේ පල්ලියට ගොස් පාදිලිතුමා හමු වී මේ අවනඩුව විසඳා ගන්නා ලෙසට ගම්වැසියන්ගේ පිළිගැනීමට ලක් වූ තලතුනා පුද්ගලයකු කරන අවවාදයකින් කතාව හමාර වෙනවා.
මේ කතාව, එනම් අතුරුදහන් වූ සැමියා මිය ගොස් ඇතැයි සලකා බිරිඳ වෙනත් කෙනෙකු හා විවාහ වන්නේ පළමු සැමියා ජීවත්ව සිටියදීමය යන එකම සංසිද්ධිය ඉන් පසුව අපට වෙනත් සාහිත්‍ය සහ සිනමා කෘතීන් කිහිපයකම හමු වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ගේ “ගම්පෙරළිය” (1944) නවකතාව, සාගර පලන්සූරිය ගේ (1908-1961) “සුදෝසුදු” කාව්‍ය සංග්‍රහය, මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ “මුහුදු ලිහිණි” (1983 ) චිත්‍රපටය සහ Pearl Harbor (2001) නම් ඇමෙරිකානු සිනමා කෘතිය එකම සංසිද්ධියක් අන්තර්ගත වූ මා දන්නා ගද්‍ය, පද්‍ය සහ දෘශ්‍ය කාව්‍ය නිර්මාණ වේ. මේ හැර මේ තේමාව රැගත් තවත් කෘතීන් තිබිය හැකියි.

‘මුහුදු ළිහිණි’ පින්තූරය අන්තර්ජාලයෙනි
කෙනෙකුට දැන් මේවා සාහිත්‍යමය සොරකම්දැයි සාධාරණයැයි බැලූ බැල්මට හැඟෙන ප්‍රශ්නයක් පැන නැඟිය හැකියි. සාහිත්‍ය මාසයේ සිදු වූ මතභේදයට තුඩු දුන් කරුණු මත දිග ඇදුණු සංවාද වල දී ඉහත සඳහන් කරන ලද ඇතැම් නිර්මාණවල නම් ද සඳහන් වී තිබෙනු දක්නට ලැබුණි. එම නිර්මාණ සම්බන්ධයෙන් එතරම් පහසුවෙන් “සොරකම” ගැන චෝදනාවක් එල්ල කළ හැකිද? මේ ප්‍රශ්නයට පිළිතුරු විමසා බලමු.
පළමු කතා දෙක එනම් ඉන්දියානු කෙටි කතාව සහ කරුමක්කාරයෝ නවකතාව අතරින් කුමක් පළමුව ප්‍රකාශයට පත් වී ඇතත්, ඒ දෙක අතරේ දැකිය හැකි එකම පොදු සාධකය දේවාලයට යන අතරමඟ දී බිරිඳ වෙනත් පුද්ගලයකු හා සංවාසයෙන් දරුවකු බිහි කළාය යන පුවත පමණයි. යම් හෙයකින් අපේ නවකතාකරුවා විසින් එම ඉන්දියානු කෙටිකතාව හෝ වෙනත් විදෙස් නිර්මාණයක් ඇසුරු කර ඇතත්, සිය කෘතිය හරහා ඔහු විසින් ගමක් පාදක කරගෙන ඉදිරිපත් කරන කතාවේ විශාල දාර්ශනික හරයක් ගැබ් වී තිබෙනවා. ඒ හා සමගාමීව කතාවට පසුබිමෙන් ගමේ සිදුවන සමාජ ආර්ථික පෙරළියත් එහි ප්‍රතිඵල ලෙස ගම්වැසියන් ගේ ජීවන රටාව වෙනස් වන අන්දමත් ඉතාම සූක්ෂ්ම ලෙස පාඨකයා හමුවෙහි තබනවා. වෙනත් විදියකින් කියතොත්, ගුණදාස අමරසේකර ගේ නවකතාව විචාරයට බඳුන් කිරීමට තරම් සුදුසු ස්වාධීන ලක්ෂණ බොහොමයක් අඩංගු නිර්මාණාත්මක ලක්ෂණ බහුල කලාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැකියි.

‘සුදෝසුදු’ පින්තූරය අන්තර්ජාලයෙන්
මෙහි සඳහන් දෙවන තේමාව අන්තර්ගත වූ නිර්මාණ ගැන කියන්නට ඇත්තේ ද එයයි. සැමියා මළ බව සිතා බිරිඳ වෙනත් කෙනෙකු හා විවාහ වූ පසුව පළමු සැමියා නැවත පැමිණීම, මාර්ටින් වික්‍රමසිංහ ගේ “ගම්පෙරළිය” නවකතාව සහ සුදෝසුදු හි ඇති හුදු කතාවක් පමණයි. වඩා වැදගත් වන්නේ ඒ වටා නිර්මාණකරු විසින් කතාව ගොඩ නංවන ආකාරයයි. ගම්පෙරළියේ පෙන්වන තත්කාලීන සමාජ දේශපාලනික පරිවර්තනය, සුදෝ සුදු හි දාර්ශනික හරය සහ කාව්‍ය රසය යන ඒ ඒ කෘතිය සතු ඒවාට ඇති අනන්‍යතා ලක්ෂණ ගැන හුදෙක් පොතක් කියැවූයෙමිය යන තෘප්තිය උදෙසා කියවාගෙන යාමකින් එහා පොත ගැඹුරෙන් කියවාගත් විශ්ලේෂණාත්මක ශක්‍යතාවයක් ඇති පාඨකයකු දනී.

‘Pearl Habor’ Image copied from internet
දෙවන ලෝක සංග්‍රාමය පසුබිම්ව ගුවන් භටයන් දෙදෙනෙකුට මැදි වූ හෙදියක වටා ගොඩ නැගෙන ප්‍රේම කතාවක් වූ ‘Pearl Harbor’ චිත්‍රපටයත් කිහිප සැරයක් නැරඹුව ද එපා නොවෙන ඊට ආවේණික ස්වාධීන ලක්ෂණ තිබුණු ඉතාම ලස්සන චිත්‍රපටයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් සිරිබෝ අයියා (1980) චිත්‍රපටය බෙහෙවින් සාර්ථක නිර්මාණයක් බව මගේ මතයයි. චිත්‍රපටය සාර්ථක වූයේ අධ්‍යක්ෂණය නිසා නොව, ජෝ අබේවික්‍රම ගේ රංගනය නිසා බව ඇතැම් විචාරකයකු පවසනවා. කොහොම වුණත් එය හොඳ නිර්මාණයක්. “මුහුදු ලිහිණි” ද සාපේක්ෂව සලකා බැලුවොත් අඩුපාඩු මධ්‍යයේ වුව ද නිර්මාණයක් ලෙස රස විඳිය හැකි මට්ටමේ චිත්‍රපටයක් ලෙස දකිමි.
නිර්මාණයක් තවත් දෙස් හෝ විදෙස් නිර්මාණයක අභාසය ලබා ඇතැයි හැඟී යන අවස්ථා වල දී සොරකම පිළිබඳ චෝදනාව කටට එන්නන් වාලේ කියන්නට නිර්මාණ වලට ආදරය කරන වගකීමක් ඇතිව කටයුතු කරන පාඨකයකුට නොහැකියි. අනන්‍යතා ලක්ෂණ සහ ස්වාධීන ලක්ෂණ ගැන කියද්දී භාෂා රීතිය හා දෙබස්, පෙළ ගැස්ම, යම් සංසිද්ධියක් පාදක කරගෙන තිර පිටපත තුළ ඒ වටා කතාව ගොඩ නංවන ආකාරය, කතාව තුළ අන්තර්ගත දාර්ශනික හරය, සමාජ දේශපාලන වැදගත්කම ආදී මේ සියලු අංග ගැනද අවධානය යොමු කළ යුතුයි.
මීට අමතරව අප ජීවත්වන ලෝකයේ සනාතන ගැටළු කියා දෙයක් තිබේ. සනාතන ගැටළු යනු කාලය හෝ දේශය අනුව වෙනසක් නොමැතිව විවිධ චෛතසික ස්වභාවයන් හේතුකොට ගෙන මිනිස් සත්ත්වයා මුහුණ දෙන දේවල් ය. ප්‍රබන්ධමය කතා තුළින් එකම සනාතන ගැටළුව විවිධ මුහුණුවරින් එදා ඉදිරිපත් විය. අදත් හෙටත් එසේම සිදු වේ. විද්වතුන් විසින්, මිනිසා මුහුණ දෙන ගැටළු ගැන කියැවෙන මනෝ විද්‍යාත්මක කතා පෙළක් ලෙස හැඳින්වෙන ජාතක කතාවන් අදටත් විවිධ මුහුණුවරකින් ප්‍රති-නිර්මාණය වන්නේ ඒවායේ අකාලික කතා පුවත් අන්තර්ගතවන බැවිනි.
ශිල්ප ඥාණයෙන් අගතැන්පත් වුවත්, මෘදු පිරිමියාට වඩා, සිරුරින් මෙන්ම ගති ස්වභාවයෙන් ද හැඩි දැඩි පිරිමි පෞරුෂයකට ආකර්ෂණය වූ මනමේ කුමාරිය සිටියේ එදා පමණක් නොවේ. ඈ හැමදාමත් ලොව වසන්නීය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සිය මනමේ නාට්‍යය සකස් කරන්නේ ජනශ්‍රැතිය සහ පාරම්පරික දේශීය කලාවන් ආශ්‍රයෙන් නාට්‍යය බිහි වූ යුගයේ රිද්මයට ගැලැපෙන වේදිකා නාට්‍ය සම්ප්‍රදායයක් තනා ගැනීමේ පර්යේෂණාත්මක ව්‍යායාමයක් ලෙස පමණක් නොවේ. ජාතක කතාව අවසානයේ දී චපල ගැහැණියට අත්වෙන ඉරණම ගැන පාඨකයා තුළ ද්වේශයක් ඇති කරවන සුළු වූ බමුණු මතවාදය සපුරා වෙනස් කරමින්, ස්ත්‍රිය දෙස සානුකම්පිතව බැලීමට සබුද්ධික ප්‍රේක්ෂකයා පොළඹවන අරමුණ ද ඇතිවයි. එය පළමුව නාට්‍යයකටත්, පසුව චුල්ල ධනුද්ධර ජාතක කතා වස්තුව නොව, “මනමේ” නාට්‍යය ඇසුරින් එකම කතාව ගීතයක් හරහා වර්තමානයටත් ගෙන ආ හැකි වූයේ අවස්ථාවට අනුව මිනිස් සිත ප්‍රතික්‍රියා කරන ආකාරය පිළිබඳ සනාතන ධර්මතාවයක් එහි අඩංගු වූ එබැවිනි. නමුත් ජාතක කතාව ප්‍රතිනිර්මාණය කරද්දී , කාන්තාව රාජ කුමාරයකු සිටියදී වැද්දෙකුට ආකර්ෂණය වනුයේ වනයේ අතුරු ආන්තරා ගැන පහළ වූ අවිනිශ්චිත බිය හේතු කොටගෙන සිය ජීවිත ආරක්ෂාව ගැන හැඟීම් මාත්‍රයකින්ය යන පෙළ ගැස්වීම හැමෝටම කළ හැක්කක් නොවේ. මළ සැමියා මත්තේ නොසිට, සිය පැවැත්ම තකා වැද්දාගේ සිත් ගැනීම පිණිස පසුව බොරුවක් කියන බව දෙනෙතින් පමණක් ප්‍රකාශ වෙන අන්දමට පෙර කතාව නව්‍ය මුහුණුවරකින්, කාව්‍යමය හැඩයකින් ප්‍රේක්ෂකයා අබිමුව තැබිය හැකි වන්නේ ස්ත්‍රී-පුරුෂ මිනිස් සම්බන්ධතා, ජීවිතය සහ චිත්ත චෛතසික ධර්මතා සහ පොදුවේ ලෝකය ගැන සියුම් ඥානයක් ඇති නිර්මාණකරුවකුට පමණි. හඩ්සන් සමරසිංහ විසින් මනමේ නාටකය ගීතයකට පාදක කර ගනිමින්, විශ්ව විද්‍යාල පෙම් යුවළක් හරහා වර්තමානයට ගෙනැවිත් එය තුන්කල් වලංගු තේමාවක් බව තව දුරටත් සනාථ කරනවා.
ඩබ්ලිව්. ඒ සිල්වා ගේ “විජයබා කොල්ලයේ” (1938) නීලමණීය ද, ඉතාම මුදු ප්‍රසන්න ගුණ ඇති අසංගට ආදරය කර විවාහ ගිවිසගෙන සිටිය ද, දුටු වනම ප්‍රේම රාගයෙන් වශී වූයේ නයනානන්දට යි.
ව්‍යභිචාරයද ලෝකයේ පවතින තවත් එක් සනාතන ගැටළුවකි. පහතරට නර්තන සම්ප්‍රදායේ එන ගිරිදේවී ශාන්තිකර්මයට පාදක වු පුරාවෘතයේ එවැන්නක් හමු වේ. ගිරි ලෙනක සඟවා තැබුව ද, දෙමාපියන්හට සිය සුරූපී දියණිය ඇගේ වැඩිමහල් සහෝදරයාගෙන් සිදු වන අතවරයෙන් ගලවා ගත හැකි නොවේ. දෛවඥයන් ගේ අනාවැකි සනාථ කරමින් අයියා අතින් නැගණිය අතවරයට ලක් වී, පසුව ඒ සංවේගයෙන් ඈ දිවි තොර කර ගෙන ගිරිදේවී නම් යක්ෂණියකව උපදී. පුරාවෘතයේ එන මේ සංසිද්ධිය අපට විජය ධර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කළ “ගුරුගෙදර” (1993) සිනමාපටය තුළ ද හමුවෙනවා. චිත්‍රපටය හමාර වන්නේ සිංහල සංස්කෘතියට සහ සම්ප්‍රදායට බෙහෙවින් ගරුසරු ඇති විදුහල්පතිවරයකුගේ අභ්‍යන්තරය ගැන සැබෑ තතු හෙළි කරමින්. එහි අශෝක සිල්වා විදුහල්පතිවරයා ලෙසත්, ජැක්සන් ඇන්තනි විප්ලවකාරී තරුණ ගුරුවරයකු ගේ භූමිකාවත් ඉතා මැනවින් ඉදිරිපත් කරනවා.
පුතාගේ බිරිඳට හෙවත් ලේලියට , පියා ආකර්ෂණය වීම යන සංසිද්ධිය “කරුමක්කාරයෝ” චිත්‍රපටය තුළ වගේම, 1992 දී බිහි වූ “Damage” නම් මනෝ විද්‍යාත්මක චිත්‍රපටය තුළ ද අඩංගු වෙනවා.
අවට ලෝකය කෙරෙහි විවර වූ ඉන්ද්‍රිය ඇති නිර්මාණකරුවකුට කොතැනක දී හෝ ඇසූ දුටු දෙයක් මතකයේ නිදන්ගතව තිබී, එය වස්තු බීජය ලෙස පමණක් ගෙන, ඉතාම නිර්මාණාත්මකවුත් කලාත්මකවුත් හැඩයකින්, පෙර නොවූ විරූ ස්වරුපයකින් වෙනස්ම කලා මාධ්‍යයක් හරහා ඉදිරිපත් කිරීම නිරායාසයෙන් මෙන් සිදු වීමේ ඉඩකඩක් ද පවතිනවා. ඉහත සඳහන් සියලු නිර්මාණ එබඳු නිරායාසයන් ගණයේ ලා සැලැකිය හැකිදැයි නිශ්චිතවම පැවසිය නොහැකියි. නමුත් පැහැදිලි සමානකම් ඇති බව කිව හැකියි.
ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගේ ගේය පදරචනයක් ගුණදාස කපුගේ විසින් සංගීතවත් කරමින් බිහි වූ “මගෙ හදමඬල මල් යහනකි ප්‍රභාවතී” ගීතය තුළ ද එවැනි නිරායාසයකට වඩා බර අවස්ථාවක් පිළිබඳ තතු කලකට පෙර හඳුනාගත හැකි වුණා. මේ ගීතය සහ “රත්නවල්ලි ගී” නැතහොත් පාසැල් කාලයේ දී කුළු කවි/නැටුම් ලෙස අප ඉගෙනගත් ජන ගායනා විශේෂය අතර දැඩි සාම්‍යයක් හඳුනාගත හැකියි. එහි සමානකම් දැකිය හැකි වූයේ අදහසට වඩා පද ආකෘතිය සහ තනුව තුළයි.
ලොව පවතින සනාතන ගැටළු හෝ ඒ ආශ්‍රය කරගෙන ගොඩ නැඟෙන ජනශ්‍රැතියට හෝ කතෘ අයිතීන් සහ ප්‍රකාශන හිමිකම් වලංගු නැත. මෙහි සංවාදයට බඳුන්වෙන ගැටළුව වන්නේ කතෘ අයිතීන් උල්ලංඝණයක් කිරීමක් ගැන නොවේ. නමුත් නිර්මාණ තුළ පැහැදිලි සමානකම් දුටු හැටියේ වගකීම් විරහිතව “ගෙඩි පිටින් අරගෙන” වැනි නිර්මාණ සොරකම් පිළිබඳ චෝදනා එල්ල කිරීමෙන් ඇති වෙන අනිටු පල විපාකය ගැනයි. එය නිර්මාණකරුවන් මන්දෝත්සාහී වී නිර්මාණකරණයට බරපතල අන්දමින් අහිතකර බලපෑම් ඇති කළ හැකියි.
මේ සමඟම සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් යමක් අවසානයට පෙර සඳහන් කරනු කැමැත්තෙමි. නිර්මාණ සොරකම පිළිබඳ චෝදනා කිරීමට ඉක්මන් නොවිය යුතු වාගේම, නිර්මාණ සොරා ගැනීමට බලා සිටින්නන්ට සොරකමේ යෙදීම පහසු කර ගැනීම සඳහා මෙකි නිරායාසය හේතුවක් කර ගත යුතු ද නැහැ. ඇත්තෙන්ම මෙය ඉතා සීරුවෙන් සලකා බැලිය යුතු දෙයක්.
කිසිදු ප්‍රබන්ධමය කතාවක් හෝ ඉදිරිපත් කිරීමක් නිර්මාණකරු සතු සුදෝ සුදු පරිකල්පන හැකියාව නොවිය හැකියි. එය නිර්මාණකරුවා විසින් විවිධ කෘති සහ ඇසූ දුටු දේ ආශ්‍රයෙන් ගොඩ නැංවූ ප්‍රබන්ධයක් විය හැකියි. කලින් සඳහන් කළ පරිදි සාධාරණ නිගමනයකට එළැඹිය යුතු වන්නේ කතාව ගොඩ නංවා ඇති ආකාරය නිර්මාණාත්මක ද? කාව්‍ය නිර්මාණයක් සතු විය යුතු වූ කලාත්මක ලක්ෂණ පිළිඹිබු කරනවාද? කෙතරම් දුරට තර්කානුකුලව කතාව පෙළ ගස්වා තිබේද? කතා සන්දර්භය කෙසේද? සංදර්භයට අනුරූපී අනන්‍යතා ලක්ෂණ මොනවාද? නිර්මාණය ඉදිරිපත් කෙරෙන මාධ්‍යයට කෙතරම් දුරට යෝග්‍ය ද? එකක් අනෙකෙහි කාබන් කොපියක් නොවී, කතාව තුළ ස්වාධීන ලක්ෂණ කොතෙක් දුරට පෙන්නුම් කරනවාද? යන ප්‍රශ්න සඳහා පිළිතුරු විමසා බැලීමෙන් අනතුරුවයි.
අමා නයනාදරී සිරිවර්ධන
24-09-2023


