අපගේ මේ උත්සාහය ශ්‍රැතධර නිර්මාණකරුවන් තිදෙනෙකුගේ එකතුවෙන් බිහි වූ අසිරිමත් ගේය කාව්‍යයක් විමර්ශනය කර බැලීමට යි. මේ විමසීම මගේ ශක්ති ප්‍රමාණයෙන් කරන්නක් මිස මෙය පරිපූර්ණ විචාරයක් නොවන බවද කියනු කැමැත්තෙමි. වෙසෙසින්ම සීමිත පද කිහිපයකින් සමන්විත පදමාලාව හා සමගාමීව සංගීතය සහ ගායනය තුළින් ඉතා ප්‍රබල භාව ප්‍රකාශනයක් කෙරෙන අතිශය භාවාත්මක (abstract) ගීයක් වචනයෙන් විස්තර කිරීම ඉතාම අසීරු කර්තව්‍යයකි. අර්ථ රසය සහ නාද රසය යන දෙකින්ම සමලංකෘත වූයේ මුත්, ම විසින් මූලිකවම විමසා බැලෙන්නේ ගී පදයි. සංගීත රසිකයකු ගේ භූමිකාව මත පිහිටා සංගීතමය පාර්ශ්වය පිළිබඳවද කෙටි විමසීමක් කර ඇතත්, විචාරයක්යැයි පැවසීමට තරම් එය ප්‍රමාණවත් නැත. ප්‍රමාණවත් සංගීත විචාරයක් නොමැතිව කෙරෙන ගී පද විචාරය, ගීත විචාරයක් ලෙස ගිණිය නොහැකිය. ගීතයක් යනු පදමලාවක් පමණක් ලෙස සලකා ‘සුභාවිත ගීත’ නම් ලේබලය යටතේ ප්‍රවීණ හෝ ආධුනික භේදයක් නැතිව සතර අතින් අඳෝනා ඇසෙන, සුභාවිත ගීතය යනු අඬෝවැඩියාවකැයි ඇතැම් ප්‍රේක්ෂකයකු සිතා සිටින, අද වැනි යුගයක ඒ බව විශේෂයෙන් අවධාරණය කිරීම මැනවැයි සිතේ.
මේ ගීතය ගැන සටහනක් තැබීමට කලෙක සිට සිත සිතා සිටියත්, එය සිතන තරම් පහසු නොවන බව හැඟුණු හෙයින් දෝ දිනෙන් දිනම කල් පසු විය. ඉතාමත් මෑතක දී සිංහල භාෂාව සහ පදරුත් සමූහයේ සාමාජිකයකු විසින් “තුනුසිරි විල” , “ඉදුදුනු දැල” කුමක්දැයි අසා තිබුණු පැනයකට පිළිතුරු ලෙස පද විමසීම මා විසින් මුලින්ම ඉදිරිපත් කරන්නට යෙදුණි. ඇත්තෙන්ම එය ඉතා කෙටියෙන් හදිසියෙන් කළ විස්තරයක් පමණි. ඇතැම් තැනෙක එය ‘ඉදුදුනු’ යැයි ලියා තිබුණත්, නිවැරැදි අක්ෂර වින්‍යාසය “ඉඳුදුනු” විය යුතු බව පළමුව නිවැරදි කළ යුතු වේ.
‘ඉඳුදුනු‘ – ඉඳුදුන්න, ඉන්ද්‍රයාගේ දුන්න, නැත්නම් ඉන්ද්‍රචාපය හෙවත් දේදුන්න යි. දේදුන්නෙන් දැලක් හදන්නේ කෙසේදැයි එම සමූහයේ සාමාජිකයින්ට බරපතල ප්‍රශ්නයක් පැන නැඟී තිබුණි. ඉඳුදුනු දැල නිවැරදි යෙදුමක් නොවන බවද එම සංවාදය තුළ වූ ඇතැම් ප්‍රකාශවල වචන අතරේ දකින්නට ලැබුණි.
මේ සටහනට ප්‍රවේශය ගැනීමට සුදුසුම තැනත් එයයි. ඉඳුදුනු දැල යනු කුමක්‌දැයි විසඳා ගැනීම සඳහා ගීතයේ අර්ථය වඩා සවිස්තරාත්මකව පසිඳලීමට උත්සාහ කර බලමු.
“බඹර පැටික්කී
තුනුසිරි විලේ නටන බඹර පැටික්කී
ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?) මොණර පැටික්කී“

‘තුනුසිරි‘ විල යනු කුමක්ද?
‘තුනුවිල’ යැයි සාහිත්‍යයේ දි යෙදෙන පදයක් වෙයි.
‘තුනු’ – තුනු යනු ශරීරයයි.නමුත් සාමාන්‍යයෙන් කාන්තා ශරීරය වර්ණනා කිරීමට මිස පිරිමි ශරීර වර්ණනා කිරීමට නොයෙදේ. සිහින් / කෙට්ටු යන අර්ථය ද දෙයි. ඒ අනුව සිහින් (හැඩැති) කාන්තා සිරුර හැඳින්වීමට යෙදෙන බව සැලකිය හැකියි.
‘තුනුවිල’ – ශරීරය නැමැති විල යි. කාන්තාවක ගේ ශරීරය පස් පියුමෙන් සැදී, හංසයන් ගැවසෙන මනස්කාන්ත විලකට උපමා කරනවා. පිරිමි ශරීරයට නැති අකර්ෂණීය අවයව ස්ත්‍රී ශරීරයකට ඇති හෙයින් මේ උපමාව යෙදෙන්නේත් ස්ත්‍රීන් විෂයෙහිම පමණි.
ධර්මසේන පතිරාජ හංස විලක් චිත්‍රපටයේ දී “විලක් නම් එය විලක් වුව මැන – නීල ඉඳුවර දියෙන් උපදින” කියන්නේත් එම අර්ථයෙන්.
‘තුනුසිරි‘ – සිහින් සිරුරෙහි අසිරිය. සරල අර්ථය නම් ඉතා මනස්කාන්ත දේහ විලාසය නැත්නම් සරලවම රූප ශ්‍රියාව.
‘තුනුවිල‘ සහ ‘තුනුසිරි විල‘ දෙකම එකම අර්ථය ලබා දේ. තුනුසිරි විල යනු ඉතා සෝබමාන සිහින් සිරුර නැමැති විලයි. රචකයා එය ප්‍රකාශයට පත් කරන්නේ තවත් අලංකාර කාව්‍යෝක්තියකින් – “තුනුසිරි විලේ නටන”.
‘තුනුසිරි විලේ නටන‘ – මනස්කාන්ත දේහය නැමැති විලේ නටන. අතිශය කාව්‍යාත්මක වර්ණනාවකින් මේ කියන්නේ නටන තැනැත්තිය කවරෙකු වුවත්, ඇගේ දේහ සෞන්දර්යය ගැනයි.
‘ඉඳුදුනු‘ – ඉඳුදුන්න, ඉන්ද්‍රයාගේ දුන්න, නැත්නම් ඉන්ද්‍රචාපය යි.
‘ඉඳුදුනු දැල‘ මේ ගීතයේ කුමන අර්ථයකින් යෙදෙනවාද යන ප්‍රශ්නය ගැන මගේ අදහස කිව්වොත් ඒ මෙසේයි.
කවි සංකල්පනා බහුල නිර්මාණවල වචනයෙන් වචනය ගෙන විස්තර කළ හැකි තැන් වලට වඩා එසේ කළ නොහැකි අවස්ථා වැඩිය. සමස්තය දෙස බලා අර්ථය වටහා ගත යුතු වේ. නිර්මාණය සමස්තයක් හැටියට ගෙන අර්ථ දක්වන්නේ නැතිව මෙතැන යෙදෙන්නේ කුමන අර්ථයෙන් දැයි පැවසීම අපහසුයි.
මට නම් එය වාච්‍යාර්ථයකට එහා ගිය බොහොම abstract මට්ටමේ (භාවමය) අර්ථයක් දෙන තැනක්. ඒ නිසා ඒ පදය වෙනමත්, යෙදෙන තැනත්, සමස්ත ගීයත් යන මේ සියල්ලම සැලකිල්ලට ගෙන මේ අවුල විසඳා ගැනීමට සිදු වේ.
එය යෙදෙන්නේ මෙසේයි.
“ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?) මොණරපැටික්කී”
මා දන්නා තරමින් නම් මෙතන යෙදෙන්නේ මොන “ල” යන්නදැයි තෝරා බේරා ගැනීමත් වැදගත්. දැළ කිව්වොත් (දෑල/දෑළ නෙවෙයි) එක් අර්ථයකි. “දැල” කිව්වොත් තවත් අර්ථයක් දෙයි. මගේ මතය මේ ගීතයේ එන්නේ “දැල” මිස දැළ නෙවෙයි.
“දැල” යනු ජාලයයි. එය ගොතන ලද ජාලයක් නැතහොත්, යමකු ඇද බැඳ තබා ගැනීමේ උගුලක් හෝ උපක්‍රමයක් හැඳින්වීම සඳහාත් භාවිතා වෙනවා. ඒ අනුව ඉඳුදුනු දැල යනු ඉන්ද්‍රචාපයෙන් සැදුණු ඉන්ද්‍රජාලයක් හෙවත් මායා දැලක් ලෙස ගැනීමෙහි වරදක් නැත.
එසේත් නැතහොත් දැල යන්න තුනී මීදුම, මීදුම් පටලය (haze), වියමන යන අරුතින් යෙදුවා වෙන්නත් පුළුවන්. එසේ කියන්නේ සහේතුකවයි. මේ කියන්නේ මකුළු දැලක් හෝ මාළු අල්ලන දැලක් වැනි දෙයක් ගැන නොවේ. දේදුන්නකින් සැදෙන දැලක් ගැනයි. දේදුන්න යනු චිත්‍රවල ඇතැම් විට ඇඳ තිබෙන්නා සේ පැහැදිලි තියුණු මායිම් වලින් සලකුණු වූ වර්ණාවලියක් නොවේ. දේදුන්නේ ඇති සියලු වර්ණ නොපැහැදිලි තුනී පටලයක් මෙන් ඈතට විහිදී යයි. ඒ අනුව haze යන අරුතින් දැල යොදා තිබුණත්, “ඉඳුදුනු දැල” දෝෂ සහිත යෙදුමක් නොවේ. එය නිවැරදි යෙදුමකි.
කිව යුතුම වූ වදගත් කරුණක් වන්නේ, පණ්ඩිත් අමරදේව ගේ ගායනය තුළ ස්ථායී කොටසෙහි එන “ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?)” යන පද කොටස අවස්ථා තුනේදී ඇසෙන්නේ “කෙළන” සහ “හෙලන” ලෙසින් මාරුවෙන් මාරුවට තුන් ආකාරයකින් වීමයි. ආරම්භක ස්ථායී කොටසේදී කියන්නේ “කෙළන” ද නැත්නම් “හෙලන” දැයි නිශ්චය කර ගත නොහැකිය. ඇතැම්විට හෙලන ලෙසින් ඇසෙන අතර, තවත් විටෙක කෙළන ලෙසින් ද ඇසේ. පළමු අන්තරා කොටසෙන් පසුව, දෙවන අන්තරාවට පළමුව එන ස්ථායී කොටස ගායනයේ දී “හෙලන” කියවෙනු පැහැදිලිවම ඇසේ. පැහැදිලි ලෙසම “කෙළන” වචනය ඇසෙන්නේ ගීයේ අවසාන ස්ථායී කොටසේ දී පමණි.
මෙය කියවන ඔබට ඇසෙන ආකාරය මීට වෙනස් විය හැකිය. එසේ වේ නම් දැනගනු රිසි වෙමි. කරුණාකර පහතින් සඳහන් කරන්න.
මින් පෙර ගීත දෙකක දී වැරැදියට ඇසුණු පද සේ, මෙහිදීත් මට වැරැදියට ඇසෙන්නේද? නැතහොත්, ගීතය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්න ස්ථායී කොටස තුළ මුල් වර දෙකේදී “ඉඳුදුනු දැලේ හෙලන” ලෙස යොදා අවසානයේ දී පමණක් “ඉඳුදුනු දැලේ කෙළන” ලෙස යොදන්නට හේතු සහිතව අදහස් කළාද? ඒ කිසිවක්ම නොවේ නම්, පණ්ඩිත් අමරදේවයන්ට ගායනයේ දී යම් අතපසු වීමක් වී පද වරදවා ගැයුවේද? සංගීතයෙහි පමණක් නොව, බසෙහිද විශාරදයකු වන ඔහුට එවැනි අතපසු වීමක් සිදු වීයැයි සිතීම තරමක් අසීරුයි.
‘කෙළන‘ – කෙළනවා යන්නෙහි අර්ථය ක්‍රීඩා කරනවා යන්නයි. රති කෙළිය හෙවත් කාම මෛථුනයෙහි යෙදීමටත් කෙළනවා යන පදය භාවිතා වේ.
එහි යෙදෙන්නේ “හෙලන” වූයේ නම් කවුරුත් දන්නා එහි අර්ථය පැවසිය යුතුයැයි නොසිතමි.
නමුත්, “ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?)” කියන්නේ ඇයි යන ප්‍රශ්නය තවමත් ඉතිරි වේ. එය විසඳා ගැනීමට සමස්ත ගීතයම සැලැකිල්ලට ගත යුතුය.
ගීයේ ඉතිරි පද මෙසේයි;
“කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
නෙත් දෑලවරින් කියන කතාවේ
මත් සලෙළ සමේ මහිම උදාවේ”
‘නෙත් දෑලවරින්‘ – දෙනෙත් අගින්
‘මත් සලෙළ‘ – මත් වූ ලීලාසහිත. මත් සලෙළ සමය යනු විනෝදයෙන් මත් වූ (තරුණ) කාලය යැයි ගත හැකියි.
දෙවන අන්තරා කොටසද පරිසර වර්ණනාවකින් ආරම්භය ගෙන මල් යාය මැද රඟ දෙන අභිරූපිකාවගෙන් හමාර වේ.
“රඹ තුරින් තුරට පීත වළාවයි
රන් දොරින් දොරට නීල නීලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි”
‘රඹ’ – කහ පැහැයට හුරු වර්ණයකි. ඉංග්‍රීසියේ දී amber colour යනුවෙන් හඳුන්වන්නේත් එය නොවේද?
‘රඹ තුරින් තුරට පීත වළාවයි’ – එයින් කියන්නේ රඹ නම් තුරු වර්ගයක් ගැන හෝ ස්වභාවයෙන් රඹ පැහැ ගස් ගැන නොවේ. ඒ හරහා දවසේ වේලාව ගැන අදහසක් අපට ලැබේ. මේ කියන්නේ සවස් කාලය ගැනයි. බැස යන හිරු රැස් වැටී ගස් වැල් කහ පැහැ ගැන් වී ඇත. අහස ශ්වේත වර්ණ වළාකුලින් පිරී ගොසිනි.
සමස්ත ගීතයම සැලකිල්ලට ගත් කල මගේ සරල අර්ථ දැක්වීම මෙසේයි;
මේ ගීතයත් බාහිර පාර්ශ්වයක් විසින් සිදු කෙරෙන ඉතා සරල නමුත් මනස්කාන්ත සංසිද්ධියක් පිළිබඳ විස්තරයකි.
මලින් පිරුණු තුරු ලතා වලින් ගහණ වටපිටාව තුළ විනෝදකාමීන් කුල්මත් කරවන වෙලාවේ අහස ශ්වේත වලාවෙන් වැසී ගොස් ඇත.
“රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි“
මල් යාය මැද ඉතා පියකරු තරුණියක් ගී ගයමින් නටමින් සිටියි. එය දකින නිරීක්ෂකයාගේ කවි සිතුවිලි අවදි වේ. ඔහු දකින්නේ මල් යායේ ජීවී අජීවී සියලු දේ බොහොම සතුටින් සිනාසෙමින්, මේ තරුණ ගැහැණු දැරිවියත් සමඟින් ගී ගයමින් නටන බවකි. ඇස් කොණින් ඉඟි බිඟි කරමින් සියලු දෙනාම රංගනයක යෙදෙනවා. ඒ හැමෝගේම සිත් මත් (තරුණ) වියට හිමි කෙළිලොල් බවින් පිරිලා. මද කිපෙන්නේ තරුණ කාලයේ දී නිසා තරුණ විය සලකා ගැනීමට බාධාවක් නැහැ.
“කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
නෙත් දෑළ වරින් කියන කතාවේ
මත් සළෙල සමේ මහිම උදාවේ”
එතකොට කවුද මේ කියන තරුණ ස්ත්‍රිය? ඒ ගැන ඉඟිය ලබා දෙන්නේ මුල් ස්ථායී කොටසේදී යි. කවියා විසින් ඈ ආමන්ත්‍රණය කෙරෙන්නේ “බඹර පැටික්කී” නමින්.ඇය රූප ශ්‍රියාව නැමැති විලෙහි නටමින් සිටින බඹර පැටික්කියකැයි ඔහු කියයි. එසේත් නොමැති නම්, මේ සොබා සොඳුරු වටපිටාව තුළ එහේ මෙහේ පියාසර කරන සැබෑම බඹරියක දකින කවියකු සිත පැන නැඟුණු කවි සංකල්පනාවක් ලෙසද ගත හැකිය.
“බඹර පැටික්කී
තුනුසිරි විලේ නටන බඹර පැටික්කී
ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?) මොණර පැටික්කී“
නමුත්, මා මේ මුළු ගීතයම දකින්නේ රූපකයක් හැටියටයි. රූපකයක් ලෙස දැකීමට මුල්ම එළැඹුම දෙන්නේත් ස්ථායී කොටසේදී ය. බඹර පැටික්කී නම් ස්ත්‍රී වාචිකයෙන් ආරම්භය ගෙන ඒ හා සමඟම , තුනුසපුවේ අසිරිය ගැන වර්ණනාවක් කෙරෙන හෙයින්,මල් යාය සහ මිනිස් ස්ත්‍රියක ගේ රූපය මනසේ චිත්‍රණය වීම වැළැක්විය නොහැක්කකි. හැබැයි කවියා මේ කියා සිටින්නේ හුදෙක්ම මල් යායක් මැද නටන ගැහැණු ළමයෙකු ගැනම නෙවෙයි. මතුපිටින් ඒ වගේ පෙණුනත්, මල්යාය සහ ඒ මැද ගී කියමින් නටන ස්ත්‍රිය උපමාවට ගෙන ඒ ආශ්‍රයෙන් ගැහැණු ළමයා ගේ නාරි දේහය සහ කෙළිලොල් හැසිරීම් විලාසයක් පිළිබඳ බොහොම කාව්‍යාත්මක ඉදිරිපත් කිරීමක් හැටියටයි සමස්තයක් ලෙස ගත් විට මා මේ ගීතය දකින්නේ.
එහේ මෙහේ දිව යමින් බෙහෙවින් කෙළිලොල් හැසිරීම් විලාසයක් පෙන්නුම් කරන ඈ කවියා විසින් “මොණර පැටික්කී” යකැයි ද හඳුන්වනු ලබනවා. ඒ හරහා ගම්‍ය වන්නේ මේ එසේ මෙසේ ලියක් නොව, නෙක විසිතුරු වස්ත්‍රාභාරණයෙන් සැරසුණු ලියක බවයි. මොණරිය යන්නෙන් සාමාන්‍යෙන් සංකේතවත් කෙරෙන්නේ විසිතුරු ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු, ඒ නිසාම උඩඟු බවක් ප්‍රකට කරන කාන්තාවන්ය.
“පොල්කිච්ච් වාගේ සණ්ඩු කරන්නේ
මොණරිය වාගේ ආඩම්බරයි…”
යැයි එම්. එස් ප්‍රනාන්දු ගැයුවේය.
බඹරිය, මල් යාය , කව් කෝකියලයන් ගේ ගී හඬ ඇතුලු සමස්ත දර්ශනයම රූපකයක් බවට පත් වේ. බඹර පැටික්කී යන්නෙන් මල් යාය මැද රඟන ස්ත්‍රියක ගැන කියැවේ නම්, බඹර පැටික්කී / මොණර පැටික්කී යෙදුම් රූපකයක් මැද රූපකයක් යෙදී ඇති අවස්ථාවකි. එකී රූපකය ඇසුරෙන් තමන්ට කැමැති දේ චිත්‍රණය කර ගැනීමට ශ්‍රාවකයාට අවසරය තිබේ.එසේත් නොවී කලින් කියා ඇති පරිදි හුදෙක්ම මල් යායක ඔබ මොබ පියාඹා යන බඹරියක ගැන කිව්වත්, අවශ්‍ය නම් කෙනෙකුට එකී දර්ශනය රූපකයක් ලෙස පමණක් ගෙන තමන්ට කැමැති භාවමය අර්ථයක් විඳීමට බාධාවක් නැත. නමුත් එම භාවමය අර්ථය පද හා සමගාමීව යන්නක් මිස පද වලින් බොහෝ සෙයින් දුරස්ථ ද නොවිය යුතුය.
ඉඳුදුනු දැලේ කෙළන මොණර පැටික්කී යන්නෙහි අර්ථය වටහා ගැනීමට අපට හැකිවන්නේ අන්න එතැනදීයි. ඒ කියන්නේ වචනාර්ථයට එහා ගිහින් මල් යාය සහ ඒ මැද නටන ස්ත්‍රිය යන්න රූපකයක් නැතහොත්, ව්‍යංගයක් ලෙසින් ගත් විට දී මෙහි කියන “ඉඳුදුනු දැල” කුමක්දැයි වටහා ගැනීම පහසු කරවනවා.
මේ කාන්තාව එක තැනක නවනින කෙනෙකුත් නොවන බව එක් පදයකින් ගම්‍ය වෙනවා;
“රඹ තුරින් තුරට පීත වළාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි“
“පිපි මලින් මලට ආල ගුලාවයි” – මගේ වැටහීම නම් අවසානයට එන මේ පදය අර්ථය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවයි. ගීතයේ දෙවන උත්කර්ෂවත්ම අවස්ථාව ද එය වේ. ඒ වගේම ඉතා රසවත් වක්‍රෝක්තියක් එහි තිබේ. “ගුලාව” යන්නෙහි යමක් වෑස්සෙන සිදුරු සහිත බඳුන යන අර්ථය තිබේ. මල්කෙමිය රස වෑහෙන ගුලාවකි. ඉතින් කවියා මේ ව්‍යංගයෙන් කියන්නේ මෙ කියන ස්ත්‍රිය බොහොම කෙළිලොල්, රසකාමී, අනුරාගී චරිතයක් බවයි. මලින් මල කරා යන ඇය රස (මල් පැණි) වෑහෙන ගුලාවක කම් සැපයෙහි කිමිදෙමින් සිටී. මුල් අන්තරා කොටස අනුවත් ඒ බව සනාථ කෙරෙනවා මිස, මේ අර්ථයට එරෙහි වීමක් නැත.
“නෙත් දෑළ වරින් කියන කතාවේ
මත් සළෙල සමේ මහිම උදාවේ”
සරලවම කියතොත්, කාමාවචර ලෝකයේ සියලු මනමෝහන දර්ශන වලින්, මුවෙන් මුව ගැයෙන ගීත නාදයෙන් සහ තරුණ මදයෙන් කුල්මත් වූ තරුණියක, කවියා විසින් අප හමුවේ තබන්නේ කෝකිලයන්ගේ සුමියුරු ගී හඬ, අවට පරිසරයේ චමත්කාරය මැද රඟන බඹර පැටික්කී නම් රූපකයත්, අනෙකුත් සියලු වක්‍රෝක්ති සහ සංකේතත් ආධාරයෙන්. නමුත් ඒ අතරේම ඔහු මෙසේද කියනවා;
“ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?) මොණර පැටික්කී“
දේදුන්න පායා තිබෙන්නේ ඉතාම සුළු වේලාවකි. දේදුන්න කියන්නේ ඉර හඳ තාරකා සේ සත්‍ය වශයෙන්ම පවතින භෞතික වස්තුවක් නොවේ. එය ඉන්ද්‍රජාලයක් හෙවත් මායා දැලකි. මායාවක පැටලුණු කෙනෙකුට සිදු වන දේ පැවසිය යතු නැත. මායා දැලක් මුත් මනස්කාන්ත යි, සිත වශී කරවන සුළුයි. මකුලු දැලක පැටලුණු කෘමියකු අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්නා සේම, කාම ලෝකයේ රස තැන් සොයා යමින්, රස ගුලාවක කිමිදී, කම්සැප විඳිමින් යන මේ ස්ත්‍රිය තරුණ මදයෙන් මත් වී නටන්නේ, (අනුන් විසින් එලූ) මායා දැලක පැටලී බවකුත් මේ සියලු සෞන්දර්ය වර්ණනා මධ්‍යයේ කවියා ප්‍රකාශ කර සිටිනවා. යම් හෙයකින් දෙවන ස්ථායී කොටස තුළ “ඉඳුදුනු දැලේ හෙලන” ලෙස කවියා විසින් සිතාමතාම යෙදුවා වී නම්, එයින් කියවෙන දේ වඩාත්ම රසවත්ය. ඒ කියන්නේ අන්‍යයන් පාට පාට සිහින ලොවක හෙලා සිය වසඟයට ගන්නා මේ ස්ත්‍රිය, අවසානයේ දී තමනුත් ඒ මායා දැලේම පැටලී කෙළන බවකි. එතැන ඇත්තේ උත්ප්‍රාස රසයක්. මේ සියල්ල වෛවර්ණ දේදුන්නක් වැනි මායා පටලය (ඉඳුදුනු දැල) පායා ඇති නිමේෂයකට සීමා වෙනවා. වර්ණවත් සිහින ලෝකයක අතරමං වීම සංකේතවත් කරමින් යෙදුවා විනා, එය ඒ වෙලාවේ සැබැවින්ම පායා ඇති දේදුන්නක් නොවීමට පුළුවන.
වික්ටර් රත්නායක ගේ ශෘංගාරය මුසු සංගීතයටත්, පණ්ඩිත් අමරදේව අවසානයේ දී “ඉඳුදුනු දැලේ කෙළන මොණර පැටික්කී” යන පදය ගයා අවසාන කරන ආකාරයටත් නැවත වරක් හොඳින් සවන් දී බලන්න. මට එහි ඇසෙන්නේ සෝපාහාසාත්මක ස්වරයකි.
“ඉඳුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා”
කේ.ඩී.කේ ධර්මවර්ධන ද දේදුන්න පායා ඇති වී නැති වෙන නිමේෂය ගැන එසේ කියයි.
සාමාන්‍යයෙන් සාහිත්‍යයේ ඇත්තේ බඹරා සහ මල අතර රති ක්‍රීඩාවකි. බඹරාගෙන් පුරුෂ පාර්ශවය නියෝජනය වන අතර, මල ස්ත්‍රීත්වය නිරූපණය කරයි. ඒත් මේ ගීයේ දී මේ දෙපාර්ශවය මාරු වී තිබේ. මලින් මලට යමින් රස ගුලාවේ කිමිදෙන බඹරියක සහ මල් අතර ගනුදෙනුවක් බවට පත් වී ඇත. ඒ අනුව මෙහිදී මල් යාය පුරුෂ පාර්ශ්වය නියෝජනය කරනවා යැයි ගැනීමෙහි වරදක් නොදකිමි. කතා නායිකාව “බඹර පැටික්කී” යන නමින් ආමන්ත්‍රණය වන හෙයින් මේ මාරුව අත්‍යවශ්‍ය වෙයි. එය රස වින්දනයට බාධාවක් ඇති නොකරයි. එසේත් නැතහොත් සිදු වන්නේ අර්ථ විකෘතියකි.
මේ ගීතයේ තනුව හෝ සංගීතය ගැන පරිපුර්ණ විවරණයක් කිරීමට නොහැකි වුවත්, කලාව සම්බන්ධයෙන් මා උගෙන ඇති විෂය නර්තනය වන හෙයින් රිද්මයත්, සංගීත සංයෝජනය ගැනත් සුළුවෙන් හෝ යමක් පැවසිය හැකිය.
තනු රචනය සහ සංගීත සංයෝජනය තුළ දේශීය හෝ වෙනත් කිසිදු පෙරදිග ශෛලියක් නොඇසෙයි. බටහිර සංගීතයේ සිද්ධාන්ත මත පිහිටා කරන ලද්දක් බව පැහැදිලිවම පෙනේ. තනු නිර්මාණයේ දී සහ ගායනයේ ලය තීරණය කිරීමේ දී සංගීතඥ වික්‍තර් රත්නායක මහතා සැලකිල්ලට ගෙන තිබෙන්නේ ගීයේ යටිපෙළ භාවමය අර්ථය නොව, එහි මතුපිට වචනාර්ථයයි. තාල වාද්‍ය භාණ්ඩයෙන් වැයෙන රිද්මය පදත් සමඟ ඇසෙද්දී සොඳුරු පරිසරයක සැබැවින්ම නටන කෙළිලොල් ළඳක් සිහිපත් කරවීමට සමත් වේ. එහෙත්, සංගීත සංයෝජනය හරහා යටිපෙළ අරුත සමඟ ඓන්ද්‍රීය සම්බන්ධතාවය රැක ගැනීමට ඔහු වග බලාගෙන තිබේ. කථා නායිකාව “බඹර පැටික්කී” නමින් ආමන්ත්‍රණය කෙරෙන හෙයින්, වයලීන, සහ බටනළා වාදනය හරහා බඹරියක ගේ ගමන් තාලය මැවේ. තත්පර විස්සක් පුරා දිවෙන ආරම්භක වාද්‍ය ඛණ්ඩය තුළ දී වයලීන, සහ බටනළා වාදන ඛණ්ඩ යොදා ගනිමින් බඹරියක ගේ ගමන් තාලය නිරූපණය කරයි. ගායනයේ දී බඹර පැටික්කී යනුවෙන් ආරම්භය ගැනීමෙන් අනතුරුව, මඳ විරාමයක් අතරතුර වැයෙන වයලීනය හඟවන්නේ මේ කතා නායිකාවගේ මතු කියන්නට යන කම් සැපෙහි ඇලුණු ඇවතුම් පැවතුම් ගැන ඉඟියකි. එය තරුණයන් සිය වසඟයට ගන්නා, ස්ත්‍රියක ගේ වහස් බැලුම් ධ්වනිත කරවයි.
ගීයේ යටි පෙළ භාවාර්ථය හා සමගාමීව පළමු ස්ථායී ගායනයෙන් පසුව වැයෙන වයලීනයෙන් ඇසෙන්නේත් අතිශය ශෘංගාරාත්මක වාදනයක්. ඒ හා සමඟම වැයෙන සුශිර වාද්‍ය භාණ්ඩය සහ සිතාර වාදනය අපට දනවන්නේ කතා නායිකාව ගේ කෙළිලොල් හැසිරීම් ලීලාවයි.
“කව් කෝකිලයින් ගයන වෙලාවේ” පද කොටස නිමවෙත්ම, ඒ හා සමඟම ඇසෙන බටනළාවේ හඬට සවන් දෙන්න. කොවුල් නදක් හා සමාන සුමියුරු බටනළා වාදනයක් ඇසේ. එය මේ ගීයේ ඇති ඉතාම ආකර්ෂණීයම අවස්ථාවකි. එකී බටනළා වාදනයක් දෙවන අන්තරා වේ “රඹ තුරින් තුරට පීත වළාවයි” පද කොටසින් අනතුරුව ඇසෙන්නේ නැත. පදරුත් හා සම්පාත වන සේ අවශ්‍ය තැන දී පමණක් අවශ්‍ය කරන වාද්‍ය භාණ්ඩය යොදා ගැනීමට තරම් සංගීතඥයා සූක්ෂ්ම වී තිබේ.
මේ ගීයේ මෙවැනි සියුම් ස්ථාන මට නම් මඟ හැර යා නොහැකියි. අසිරිමත් ගේය පදයට එකතු වූ සංගීතය අසන්නා අනන්තය කරා ගෙනයනවා. තවත් මෙවැනිම සියුම් සංවේදනයන් සහිත තැන් සංගීත සංයෝජනය තුළ හමුවෙන නමුත්, ඒ එකිනෙක කියන්නට යාමෙන් ලිපිය තව දිගු විය හැකි බැවින් මෙතැනින් නවතිමි.
ඉතා සැලකිල්ලෙන් හැදූ වික්ටර් ගේ ගීතයක්, විශාල වෘන්දයකින් පෙළහර පාද්දී, ප්‍රගුණ කළ හඬකින් මිස, ගායනය කළ හැකි නොවේ. කෙටියෙන්ම කියන්නට ඇත්තේ මේ ගීය සඳහා මෙවැනි භාවාත්මක ගායනයක් පණ්ඩිත් අමරදේවයන්ගෙන්ම හැර බලාපොරොත්තු විය නොහැකි බව පමණි. සුන්දර වටපිටාවක සිදුවන දෙය නිරීක්ෂණය කරමින් කවි සිතුවිලි අවදි කරගන්නා තුන්වෙනි පාර්ශ්වයට හඬ දෙන්නේ ඔහුය. ගීයේ තැනින් තැනට ඉතා සියුම් භාව ප්‍රකාශනයක් අවශ්‍ය වේ. නිරීක්ෂකයා කතාව අප ඉදිරියෙහි තබන්නේ උපශාන්ත බවත්, ප්‍රහර්ෂයත්, අවසානයේ දී සෝපාහාසයත් සම්මිශ්‍රණය වුණු හඬකින්. උදාහරණයක් ලෙස, “නෙත් දෑළ වරින් කියන කතාවේ – මත් සළෙල සමේ මහිම උදාවේ”, “මුව සරින් සරට ගීත කලාවයි – පිපි මලින් මලට ආල ගුලාවයි” කොටසේ ගායනය තුළ මතු වන්නේ ප්‍රහර්ෂයකි. අවසානයේ දී “ඉඳුදුනු දැලේ කෙළන මොණර පැටික්කී” යන පදය ගයා අවසාන කරන තැන මතු වන්නේ සෝපාහාසය මුසු වූ ස්වරයක්.
මෙවැනි සුගායනීය ගේය කාව්‍යයක් නිර්මාණය කිරීමට කෙතරම් නම් උපන් ප්‍රතිභාවක්, නිරන්තර හැදෑරීමක් තිබිය යුතුදැයි මට නම් සිතා ගත නොහැකිය. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, ගී පද රචනා කලාවෙහි ආවාට ගියාට නියැලුණා නොව, ඒ සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ පද රචකයෙකි. සංගීතය හදාරා තිබීම පහසුවෙන් සත්සර හැසිරවිය හැකි පද රචනා කිරීමට පිටිවහල් වන හෙයින් සංගීත විශාරද විභාගය තෙක් ඔහු එම විෂය ද හදාරා ඇත්තේය. එකල පද රචකයින්ට සංගීත ඥානය ද, සංගීතඥයන්ට තමන් ගේ විෂය පථයට අමතරව භාෂා ඥානය ද තිබූ හෙයින් පද මාලාවට උපරිම සාධාරණය ඉටු කළ හැකි විය. මේ හුදෙක් තවත් එක් ගීතයක් පමණක් නොවූයේ එහෙයිනි. අනාගත පරපුර විසින් හැදෑරීමට ලක් කළ යුතු, විශිෂ්ඨයින් තිදෙනෙකුගේ එකතුවෙන් සැදුණු විශිෂ්ඨ කලා කෘතියකි. කලාකරුවන් විසින් නිර්මාණකරණය හරහා සිදු කරන අද ඇතැම් ක්‍රියාවන් ගැන අපට විවේචන ඇතත්, මෙවැනි ගීතයක් ඒ සියල්ල අමතක කරවයි. ඔවුන් ගේ කලාත්මක නිර්මාණ ගොන්න ඒ විවේචන පසෙක තැබීමට තරම් ප්‍රමාණවත් ය. රසාස්වාදය පිණිස මිණිමුතු හා සම මෙවැනි නිර්මාණ අපට දායාද කිරීම වෙනුවෙන්, අපගේ භක්ති පූර්වක ප්‍රණාමය ඔවුන්ට හිමි විය යුතුම ය.
අමා නයනාදරී සිරිවර්ධන
31.03.24
ගී පද:
බඹර පැටික්කී
තුනුසිරි විලේ නටන බඹර පැටික්කී
ඉඳුදුනු දැලේ කෙළන (හෙලන) මොණර පැටික්කී
කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
නෙත් දෑළ වරින් කියන කතාවේ
මත් සළෙල සමේ මහිම උදාවේ
රඹ තුරින් තුරට පීත වළාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි
බඹර පැටික්කී


