මෙතුමා අභාවප්‍රාප්ත වී දැනට දින දෙකක් පමණ වේ. වසර අවසාන රාජකාරි සහ මිතුරු හමු මැද ප්‍රමාද වී හෝ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා පිළිබඳ මෙම සටහන තබන්නේ ඔහු විසින් මෙරට කලා ක්ෂේත්‍රයට කරන ලද අග්‍රගණ්‍ය මෙහෙවරට ගෞරවයක් වශයෙනි. කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද, ප්‍රවීණ කලාකරුවෙකුගේ සිනමා සහ ටෙලි නාට්‍ය දායකත්වය මගේ පුද්ගලික මතකයන් සමඟ මුසු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.

මේ වෙද්දී ඔහුගේ රංගන කාර්යය පිළිබඳ බොහෝ තොරතුරු, එකතු කළ යුතු අමතර කරුණක් නැති තරමට විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වී හමාර හෙයින්, මාගේ මතකයේ රැඳුණු සුවිශේෂී චරිත ද්විත්වයක් මෙහිදී ස්මරණය කිරීමට කැමැත්තෙමි
සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගැන මගේ මුල්ම මතකය “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ “චීවරධාරී” චරිතයයි. ගම් වැසියන් ගේ සිතුම් පැතුම් සහ ආකල්ප බෞද්ධ දර්ශනයට අනුකුලව හැඩ ගස්වා ගැනීම කෙරෙහි ප්‍රබල බලපෑමක් කරන සිල්වත් හිමි නමක ගේ චරිතයට ආරූඨ වී, ඊට මනා සාධාරණයක් ඉටු කරනු ලැබුවා.
එමෙන්ම ‘කොටි වලිගය’ චිත්‍රපටයේ ජාතිවාදයට එරෙහිව පෙනී සිටින භික්ෂුවකගේ චරිතයක් වෙනුවෙන් තත්පර 90 ක් තුළ කරන ලද නිරූපණය සඳහා ඔහු සම්මානයට පවා පාත්‍ර වූ බව අප අසා ඇත. එම චිත්‍රපටයේ ප්‍රචාරක රූපරාමු එකල රූපවාහිනියෙන් ප්‍රචාරය වූ අයුරු මට යම්තමින් මතක තිබේ.
එහෙත්, එය එවකට ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ තිරගත වූවක් නිසා, කුඩා දරුවන් වූ අපව එය නැරඹීමට රැගෙන යාමට දෙමාපියන් කටයුතු කළේ නැත. ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කළ විශිෂ්ටතම චිත්‍රපට අතරට ගැනෙන මෙහි සියලු පිටපත් විනාශ වී ඇති බව වාර්තා වේ. එම නිසා, විශිෂ්ට සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව සදහටම අපෙන් ගිලිහී ගොස් තිබීම කණගාටුවට කරුණකි.
“කවුළුව” (1987) චිත්‍රපටය ද ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ තිරගත වුවත්, වාසනාවකට මෙන් අපේ වැඩිහිටියන් ඒ පිළිබඳව දැන නොසිටීම නිසා, එය නැරඹීමේ දුර්ලභ අවස්ථාව මටත් මගේ මිතුරියකටත් උදා විය. මගේ මවගේ පාසලේ ගුරුවරියන් පිරිසක් සමඟ ගිය එම ගමනේදී, තවත් ගුරුවරියකගේ මා හා සමවයස් දියණිය සහ මම කිසිදු බාධාවකින් තොරව එම සිනමාපටය නරඹා රස වින්දෙමු. අද ආපසු හැරී බලන විට එය සතුටුදායක මෙන්ම අපූරු මතකයකි. “කවුළුව” අපගේ හදවත් තුළ නොමැකෙන සටහනක් තැබූ, කලාත්මක ශානරයේ රහස් පරීක්ෂක කතාවකි.
‘තාරාදේවී’ හරහා දුටු සතිස්චන්ද්‍රයන්ගේ වෙනස්ම මුහුණුවර
1987 වසරේ විකාශය වූ, ඒ වසර සඳහා නිර්දේශිත ‘විජය’ සම්මාන 11න් සම්මාන 9ක්ම දිනාගත් ‘තාරාදේවී’ එකල රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගත් ටෙලි නාට්‍යයකි.
ලා බාල වයසේ පාසැල් සිසුවියක ලෙස ඒ ටෙලි නාට්‍යය ප්‍රථම වරට රූපවාහිනියෙන් නරඹද්දී ප්‍රේමය, චපල බව, අයථා සම්බන්ධතා, ආදී පුද්ගල සම්බන්ධතා වල ස්වරූපය පිළිබඳ දළ හෝ වැටහීමක් තිබුණද, එකල එහි ගැඹුරු මානයන් වූ ප්‍රේමය සහ වෛරය අතරේ දෝලනය වන සංකීර්ණ මනෝ භාවයන් වටහා ගැනීමට අසමත් වූ නමුත්, ලූෂන් බුලත්සිංහලගේ විශිෂ්ට තිර පිටපතත්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු රංගන ශිල්පීන්ගේ ප්‍රබල චරිත නිරූපණයනුත් අප තුළ කලාත්මක සංවේදීතාව ඇති කිරීමට සමත් විය. ජැක්සන් ඇන්තනී නිරුපණය කළ චරිතය කිසිසේත්ම තේරුම් ගත නොහැකිව අසරණ ව බලා සිටියා හොඳින්ම මතකයේ තිබේ.
මෑතකදී ‘YouTube’ හරහා මෙය නැවත නැරඹීමේ දී, එහි හෙන්රි නික්ලස් ජයසුන්දර නම් වංශවත්, කූට ව්‍යාපාරිකයාගේ චරිතයට සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඉටු කරන සාධාරණය වටහා ගත හැකිවිය. සාමාන්‍යයෙන් ඔහු රඟපෑ සාම්ප්‍රදායික හෝ ආගමික චරිතවලින් බැහැරව, දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස ඔහු එහි පෙන්වූ දායකත්වය විශිෂ්ටයි.
‘තාරාදේවී’ ටෙලි වෘතාන්තයේ සාරාංශය
හෙන්රි නික්ලස් ජයසුන්දර යනු වංශවත් ප්‍රභූ ව්‍යාපාරිකයෙකි. ඔහු තමා සතු ධනය සහ සිවිල් බලය යොදාගනිමින් නීතිය නමා ගනිමින්, තරුණියන් අනාථ කරන අපරාධ ජාලයකට පවා සම්බන්ධ වූ කූට පුද්ගලයෙකි. එහෙත් සමාජ පිළිගැනීම උදෙසා ඔහු ප්‍රසිද්ධියේ ස්වේච්ඡා සමාජ සුබසාධන කටයුතුවල නිරත වෙයි.
කාන්තා ආකර්ෂණය නිරායාසයෙන්ම හිමි වූ හෙන්රිට, සුභද්‍රා නම් සුරූපී යුවතිය වසඟයට ගැනීම අපහසු නොවේ. ඒ වන විටත් නිශ්ශංක නම් තරුණයෙකු සමඟ පෙමින් බැඳී සිටියත්, දිළිඳු පවුලක තරුණියක වූ සුභද්‍රා ගේ ප්‍රේමය හෙන්රි ජයසුන්දරගෙන් ලද වස්තුව සහ තාන්න මාන්න හමුවේ පරාජයට පත් වෙනවා. ඈ සිය පෙම්වතා අතහැර දමා, හෙන්රි ජයසුන්දරට අවනත වී, ඔහුත් සමඟ අයථා සම්බන්ධයක් ගොඩ නඟා ගනී.
කාලයත් සමඟ මෙම අයථා සම්බන්ධයෙන් දියණියක උපදියි. පසුව හෙන්රිගෙන් වෙන්වන සුභද්‍රා, ‘තාරාදේවී’ යන නමින් ප්‍රකටව, චිත්‍රපට නිළියක ලෙස ජනප්‍රිය වෙමින් ස්වාධීනව ජීවිතය ගොඩනඟා ගැනීමට උත්සාහ කරයි. තාරාදේවීය කෙරෙහි හට ගත් ප්‍රේමය සහ වෛරය අතර දෝලනය වෙන ඇගේ පැරැණි පෙම්වතා වූ නිශ්ශංක, ඇයව පිළිකුල් කරමින් ඈ අසලම ගැවසෙයි. මේ අතර ඇයගේ නවයොවුන් වියේ පසුවන දියණිය කන්‍යාරාමයක හැදී වැඩෙන්නේ පියෙකුගේ ආදරය සහ රැකවරණය අහිමිවය.
මෙම ටෙලි නාට්‍යයට, තාරාදේවිය ගේ ජීවිතයේ පිළිඹිබුවක් බඳු වූ අතිශය ජනප්‍රිය තේමා ගීතයක් ඇතුළත් විය. නිර්මාණාත්මක ගී පද රචකයෙක් ලෙස ද ප්‍රකට ලූෂන් බුලත්සිංහල ගේ රූපවාහිනී ටෙලි නිර්මාණයක් වුවද, එහි එන, “මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ” යන ජනප්‍රිය තේමා ගීතය රචනා කරන්නේ තවත් ප්‍රවීණ ගීත රචකයකු වූ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් වීම විශේෂත්වයකි. එම අර්ථපූර්ණ පදවැලට හෘදයාංගම නාද මාලාවක් එක් කරමින් එය ගායනයෙන් හැඩගැන්වූයේ විශාරද ගුණදාස කපුගේ සූරීන් විසිනි.
“ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයට ද පාරක් ඇති නැති ගානය”
හදවතේ රිදුම් දෙන තුවාල මැද වුවද, නිසලව ගලා ගිය මෙම ජීවිත යළිත් කැළැඹිල්ලට ලක්වන්නේ හෙන්රි ජයසුන්දරගේ වෛවාහක බිරිඳ සහ එකම පුතු ගුවන් අනතුරකින් හදිසියේම මියයාමත් සමඟය. මානසිකව කඩා වැටෙන හෙන්රි, වරෙක තමන් විසින්ම ප්‍රතික්ෂේප කළ සිය දියණිය සොයා එන්නේ හදිසියේ උපන් දරු සෙනෙහසක් පෙරදැරිවය.
ඇතැමුන් තුළ දාරක ප්‍රේමය හටගන්නේ විවාහය තුළ ඉපැදෙන දරුවන් කෙරෙහි පමණක් ද? ඒ ඇයි? විවාහයෙන් පිටත තමන් විසින් ජාතක කළ දරුවකු කෙරෙහි පීතෘ සෙනෙහසක් උපදින්නේ, තමන් සතු සියල්ල අහිමි වී ‘ඊගෝව’ (Ego) තදින්ම රිදුම් දෙන තැනකදී පමණක්ද? යන ප්‍රබල මනෝ විද්‍යාත්මක ප්‍රශ්න ද ඒ හරහා සමාජය වෙත යොමු කෙරේ.
තාරාදේවී හෙන්රිගේ එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරයි. හොඳින් බැරි වූ තැන, බලහත්කාරයෙන් හෝ දියණිය තමන් සන්තක කර ගැනීමට හෙන්රි උත්සාහ කරයි. ඔහුගෙන් එල්ල වන සියලු අභියෝග හමුවේ සිය දියණිය රකින්නට වෙහෙසෙන දිරිය මවකගේ භූමිකාව ප්‍රේක්ෂක කුතුහලය මැද “තාරාදේවී” හරහා දිග හැරෙයි.
තමන් පිළිකුල් කරන සිය පෙම්වතිය සහ ඇගේ දියණිය ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට එන නිශ්ශංක නිසා අවසානයේ දී හෙන්රි නික්ලස් ජයසුන්දරට හිමිවන්නේ ඛේදනීය ඉරණමකි.
හෙන්රි නික්ලස් ජයසුන්දරගේ සංකීර්ණ භූමිකාවට උපරිම සාධාරණයක් ඉටු කිරීමට සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සමත් විය. අප බොහෝ විට ඔහුව රූපවාහිනී තිරය මත දුටුවේ භික්ෂු චරිත හෝ හෙළ බොදු සාරධර්ම නියෝජනය කරන චරිත ඔස්සේ වුවද, ‘තාරාදේවී’ හි ඔහු නිරූපණය කළේ ඊට හාත්පසින්ම වෙනස් වූ, මනුෂ්‍ය ස්වභාවයේ කළු පැහැයට වඩාත් ළඟ තද අළු පැහැති චරිතයකි. එමගින් ඔහු තමන් සතු ප්‍රබල චරිතාංග රංගන කෞශල්‍යය මැනවින් ප්‍රකට කළේය.
අවස්ථාවාදී හැඟීම් හමුවේ කඩා වැටෙන මිනිස් සබඳතා, රාගය සහ විරාගය අතර අරගලය මෙන්ම සම්මතය හා අසම්මතය පිළිබඳ ගැටුම ‘තාරාදේවී’ හරහා ප්‍රශ්න කෙරේ. ඒ සියල්ල මැද තවමත් ශේෂව පවතින මනුෂ්‍යත්වය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රේක්ෂකයාට ඉතිරි කරන මෙම නිර්මාණය, එකල කාල සන්දර්භය තුළ මෙන්ම අදට ද එකසේ සාර්ථක ටෙලි වෘතාන්තයකි. ‘තාරාදේවී’ නැවත නරඹන ඕනෑම ප්‍රේක්ෂකයෙකුගේ හදවත කම්පනය කිරීමට සමත් වීම එහි ඇති සර්වකාලීන අගයට සාක්ෂියකි.
ටිකිරි නිළමේ – අමතක නොවන තවත් චරිතයක් සහ වත්මන් සමාජ දේශපාලනය
සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා උඩරට රදළ නිළමේවරයකු ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කළ, එමෙන්ම කිසිදු තැනක සඳහන් වෙනවා තවමත් නොදුටු, තවත් එක් අපූරු ටෙලි නිර්මාණයක් මගේ මතකයේ තිබේ. ඒ ටිකිරි නිළමේ ටෙලි කතාමාලාවයි. වංශවත් යැයි කියාගන්නා වංචනික තරුණයකුගේ ‘අවිනීත ගමන් විලාසය’ දැක ඔහු තුළ ඇතිවන සැකය එම කතාවේ හැරවුම් ලක්ෂය විය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ පෙනී සිටියේ සිය පවුලේ ගෞරවය සහ කුල පරම්පරාව පණ මෙන් රකින උඩරට රදළ නිළමේවරයකු ලෙසය. තම දියණිය (හෝ සහෝදරිය) වෙනුවෙන් ඔහු සොයන්නේ තමන්ගේම පන්තියට ගැළපෙන වංශවත් තරුණයෙකි.
ඒ අතරතුර, තමන් ද උඩරට ප්‍රභූ පවුලකින් පැවත එන නිළමේවරයකු බව පවසමින් තරුණයෙක් ඔවුන් වෙත පැමිණෙයි. ඔහුගේ වතගොත සහ කුලය පිළිබඳ තොරතුරු නිළමේවරයා දන්නා දත්තයන් හා මැනවින් සැසඳෙන බැවින්, කිසිදු සැකයකින් තොරව සතිස්චන්ද්‍ර ඇතුළු පවුලේ පිරිස මෙම විවාහ යෝජනාවට එකඟ වෙති.
කතාවේ හැරවුම් ලක්ෂය සනිටුහන් වන්නේ තරුණයා පෙරහැරේ ගමන් කරන අවස්ථාවේදීය. උඩරට නිළමේ ඇඳුමින් සැරසී පෙරහැරේ ගමන් කරන මෙම තරුණයාගේ අවිනීත සහ අසංවර ගමන් විලාසය දකින සතිස්චන්ද්‍රයන් තුළ, ඔහු පිළිබඳ පළමු වරට සැකයක් මතු වෙයි. සැබෑ රදළ නිළමේවරයකුට හිමි ඒ ගාම්භීරත්වය සහ ශික්ෂණය එම තරුණයා තුළ නොමැති බව ඔහු වටහා ගන්නේ එවිටය. එහෙත් ඒ වන විටත් ප්‍රමාද වැඩිය. එම වංචනිකයාට රැවටුණු තරුණිය තම ජීවිතය විනාශ කරගෙන හමාරය.
මෙම කතාව වත්මන් දේශපාලන වේදිකාවේ දිග හැරෙන දේ සමඟ මැනවින් ගලපා ගත හැකි උපමාරූපකයකි. ඇවිදින පුස්තකාල ලෙස පෙනී සිටින්නේ, “සායම් බාල්දිය හලාගත් නරි රංචුවක්” බව ඔවුන්ගේ අවිනීත හැසිරීම් තුළින් හඳුනා ගැනීමට නොහැකි වූ 68 ලක්ෂයක් දෙනා විසින් රට “රාහු මුඛයේ” හෙළා දමා හමාරය.
නරින් හූ කියද්දී බලා සිටීම හැර දැන් කරන්නට දෙයක් ඇත්තේ නැත.
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් වැනි විශිෂ්ට කලාකරුවන් ශාරීරිකව අපෙන් සමුගත්ත ද, ඔවුන් ඉතිරි කර ගිය මෙවැනි ගැඹුරු කලා නිර්මාණ හරහා ඔවුන් සදා අමරණීය වනු ඇත.
එතුමන්ට සුබ ගමන්!
අමා නයනාදරී සිරිවර්ධන
25/12/2025