එම්. ජේ. පෙරේරා – පුරෝගාමී මාධ්‍ය සේවා පරිපාලකයකු ලෙස

1930 – 40 වකවානුව මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ පෙරැළියක් ආරම්භ වූ වසර ලෙස හැඳින්විය හැකි ය​. ස්වතන්ත්‍ර ගීතය ගැන සංවාදය කරළියට පැමිණ තිබූ එය , අනුකාරක ගීයෙන් ඈත් වී ස්වීය ගීත සම්ප්‍රදායයක් සොයා ගිය සංක්‍රාන්ති සමයකි.  සංගීතය හැදෑරීමට ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගිය අනන්ද සමරකෝනුවන් නැවත සියරට​ පැමිණ සිටියේ ය. අතරින් පතර වෙනස් මඟක් ගත් ගීත බිහි වුණ ද​, එතෙක් මෙරට ජනතාව සංගීතය ලෙස හඳුනාගෙන සිටියේ​ ඉන්දියානු සංගීතය අනුකරණයෙන් සකස් කර ගත් සිංහල ගීත යි. ඒ ගීත ද බොහෝ විට කලාත්මක ගුණයෙන් අඩු, බෞද්ධ සාහිත්‍යයේ එන කතා වස්තූන් ඒ අකාරයෙන්ම වාර්තා කෙරෙන බොදු බැති ගී වලට සීමා වී තිබිණ. රබීන්ද්‍ර සංගීතය හඳුන්වා දුන් ථාගෝර් තුමා ගේ දැක්ම ශ්‍රී ලාංකීය සංස්කෘතික අනන්‍යතාවයට ගැලපෙන ලෙස ක්‍රියාත්මක කිරීමට​ පියවර ගත් සමරකෝනුවන්, මෙරට ජන සංගීතයේ හැඩහුරුකම ඇති දේශජ ලක්ෂණ ඇති සංගීතයක් බිහි කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණේ ය​. කලාත්මක ලක්ෂණ වැඩි වශයෙන් ප්‍රකට කළ​ ප්‍රේම ගීත ,දේශාභිමනී ගීත වඩ වඩාත් සිංහල ගීතයට එක් වීම ඇරැඹුණේ සමරකෝනුවන් ගේ මේ උත්සාහය​ සමඟිනි.

ඒ වනවිට ලංකා ගුවන්විදුලි සේවයේ (Radio Ceylon) පරිපාලන කටයුතු මෙහෙයවනු ලැබුයේ බීබීසී අයතනයෙන් මෙරට පැමිණි පිරිසක් විසිනි.සිංහල ගීත සහ වැඩසටහන් ප්‍රචාරය වූයේ අඩුවෙනි. ගුවන්විදුලි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජෝන් එෆ්. ලැම්ප්සන් මහතා ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ ඇති වෙමින් තිබූ පෙරැළිය හා සමගාමීව,​​ ගුවන් විදුලිය ද දේශීය සංස්කෘතිය හා ජන මනසට සමීප කරවීම පිණිස කටයුතු කිරීමට විශේෂ උපදේශක සභාවක් පිහිටුවන ලදී. එම උපදේශක සභාවේ සභාපති ලෙස ලැම්ප්සන් මහතා විසින් අප කථානායක මාපටුන ගේ ජේම්ස් පෙරේරා නොහොත්, එම්. ජේ පෙරේරා මහතා පත් කරනු ලැබෙන්නේ එතුමා ප්‍රථම පන්තියේ සිවිල් සේවකයකු ලෙස රාජ්‍ය සේවයේ යෙදී සිටියදී යි.

ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් බිහි වීමට මඟ​ විවර කළ බවට අදටත් කියැවෙන​ යූ. ඒ.එස් පෙරේරා මහතා හෙවත් සිරි අයියා ගේ ළමා උයන වැඩසටහනට​ දිරි දෙමින්, සතියේ සෑම​ දිනකම සවස් කාලයේ ප්‍රවීණ නිවේදක නිලධාරීන් කිහිප දෙනෙකු ගේ මෙහෙයවීම යටතේ ටොරිංටන් චතුරස්‍රයේ නව ගොඩනැගිල්ලේ සිට, විවිධ විචිත්‍රාංග වලින් යුතුව ප්‍රචාරය කිරීමට ආරම්භ කරන ලද්දේ ඒ අවධියේ එතුමා ගේ මඟ​ පෙන්වීම යටතේ ය​.

ගුවන් විදුලියේ ප්‍රථම ලාංකික​ අධ්‍යක්ෂ ජනරාල් ලෙස​

එම්.ජේ පෙරේරා

පසුව​, ගුවන්විදුලියේ ස්වදේශීය අංශයේ සහාය අධයක්ෂකවරයකු ලෙසත්, අතිරේක​ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කළ එතුමා, ජෝන් ලැම්ප්සන් ගේ ගේ ධුර කාලය නිමාවත් සමඟ​​, 1952 අප්‍රේල් පළමු වැනිදා, ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් වුයේ ඒ තනතුරට පත් ප්‍රථම ලාංකිකයා ලෙස යි. 1952 වර්ෂය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අදාළව​ වැදගත් සිදුවීම් දෙකක් වූ බව කියැවේ. ඉන් පළමුවැන්න නම් රජයේ සංගීත විද්‍යාලය පිහිටුවීම ය. දෙවැන්න දේශීය සංස්කෘතිය කෙරෙහි ඇල්මක් දැක් වූ සිවිල් සේවක එම්.ජේ පෙරේරා මහතා ගුවන්විදුලි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත් වීම ය​. ගුවන්විදුලියේ දේශීය මුහුණුවර ගැන්වීම සඳහා ලැම්ප්සන් මහතා ගේ කාලයේ දී ස්ථාපිත​ කරන ලද කොමිසම් සභාවල​ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදු වුණේ එම්. ජේ. පෙරේරා මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී බව ගුවන් විදුලි ඉතිහාසය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යයි. ​

මූලාශ්‍රය වලට අනුව​, භාත්ඛණ්ඩ​ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රතන් ජන්කර් පඬිතුමා ගේ පළමු ලංකාගමනය සිදු සිදු වූ බවට වාර්තා වන්නේ ජෝන් ලැම්ප්සන් මහතා ගේ ආරාධනාවකට​ අනුව 1949 දී යි. එම ගමනේ දී ගුවන් විදුලි සංගීත ක්ෂේත්‍රයේ වර්ධනයට රතන් ජන්කර් පඬිතුමා විසින් ලබා දුන් නිර්දේශයන් වන; සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා සඳහා සංගීත අංශ පිහිටුවීම​, ශාස්ත්‍රීය, සරල හා ජන ගී සම්ප්‍රදායයන් ජනතාව ගේ රස වින්දනයට යොමු කිරීම​, පරීක්ෂණ පවත්වා සුදුසු ශිල්පීන් බඳවා ගැනීම, ගුවන්විදුලියට ස්ථිර වාදක මණ්ඩලයක් බඳවා ගැනීම​ යන නිර්දේශ​​ ක්‍රියාත්මක කරන ලද්දේ එම්.ජේ. පෙරේරා මහතා විසිනි.

ගුවන්විදුලියේ සංස්කෘතිමය වශයෙන් ඇති කරන ලද මේ පෙරැළියේ දී සහාය​ පිණිස සිය සරසවි සගයන් වූ එදිරිවීර සරච්චන්ද්‍ර සහ ඩී. ජී. දයාරත්න යන දෙදෙනා ද හවුල් කර ගත්තේ ය​. මේ දෙදෙනා ද එම්.ජේ පෙරේරා මෙන්ම​, බටහිරට නැඹුරුව සිටි ලංකා විශ්ව විද්‍යාලය දේශීය​කරණයට කටයුතු කළ​, සිංහල භාෂාව සහ සිංහල සංස්කෘතික පුනර්ජීවනය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කරන ලද මහාචාර්ය ගුණපාල මලලසේකර අනුදත් මඟ​ ගත් අය වීම නව අධ්‍යක්ෂ ජනරාලවරයාට සිය කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මහත් පිටිවහලක් වූවාට සැක නැත​.

මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා දක්වා සිටින පරිදි, ලංකා ගුවන් විදුලිය මඟින් කරන ලද ප්‍රථම ශාස්ත්‍රීය කටයුත්ත වන්නේ ගැමි සංගීතය , ජන සංගීතය පිළිබඳව පර්යේෂණ ඇරඹීම යි. එම්. ජේ. පෙරේරා පාලන සමයේ දී එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ යෝජනාවක් අනුව​, ජන ගායනා එක් රැස් කිරීමට කමිටුවක් ද පත් කරනු ලැබීය​. එම කමිටුවේ නිර්දේශ මත ගමින් ගමට ගොස් ජන ගායනා එක් රැස් කිරීමේ කාර්යයේ දී, අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස​. එම්. ජේ. පෙරේරා ඒ සඳහා සරච්චන්ද්‍රයන් ඇතුළු කමිටුවට​ අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කළා පමණක් නොව, එම ගමන් සඳහා සහභාගී වූ බව ද සඳහන් වෙනවා. මෙසේ ගමින් ගමට ගොස් එක් රැස් කරන ලද ජන ගායනා විරිදු , ජන කවි , ජන ගීත වශයෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරීමට කටයුතු කෙරුණි.

ගුවන් විදුලි රංග කාව්‍ය සම්ප්‍රදායක් ඇති කිරීම ද එම්.ජේ. පෙරේරා සහ සරච්චන්ද්‍ර එකතුවේ තවත් වැදගත් කාර්යභාරයකි. පළමුව ගුවන්විදුලි ගීත නාටක ලෙස බිහි වී පසුව වේදිකාගත කෙරුණු, ‘පෙමතෝ ජායතී සෝකෝ’ (1955), ‘රත්තරන්’ (1954), ‘සත්ත්ව කරුණාව’ එසේ ලංකාවේ දුෂ්කර ගම්මාන වලට ගොස් එක් රැස් කරන ලද ජන ගී පර්යේෂණවල අතුරු ඵලයන් බව මහාචාර්ය කාරියවසම් මහතා දක්වා සිටී. ගුවන්විදුලි නාට්‍ය මුද්‍රිත මාධ්‍යයකින් පළ කිරිම අරමුණු කර ගනිමින් ‘තරංගනී’ නමින් විශේෂ ගුවන්විදුලි සඟරාවක් ආරම්භ කිරීම ද එම්. ජේ පෙරේරා යුගයේ දී සිදු වූ තවත් වැදගත් කාර්යයකි. ගුවන්විදුලි ගීත නාටක පමණක් නොව​, ගැමි ගී සංරක්ෂණය කිරීමේ පියවරක් සේම පොදු ජනතාව අතරෙහි ව්‍යාප්ත කිරීමේ පියවරක් ලෙස ද, ජන ගී පර්යේෂණයන් හි මුල් පිටපත් ද ‘තරංගනී’ සඟරාව හරහා පළ කිරීමට කටයුතු කිරීම ද​ සිදු කෙරිණ.

එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ගුවන් විදුලි මාධ්‍යය​ ගැන අවබෝධයක් ඇති උගතුන් ද සහාය​ කරගෙන ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ වැනි වැඩසටහන් ආරම්භ​ කළේ එම්. ජේ. පෙරේරා මහතා ය​. නාඩගම් ගීත රචකයින්, වාදකයින් , ශාස්ත්‍රාභිලාශී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශාස්ත්‍රීය සංග්‍රහයට ගෙන ඒම හරහා රට පුරා විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කෙරුණු අතර, ගුවන් විදුලි රසිකයන් ගේ රස වින්දනය උසස් තලයකට​ ගෙන ඒම අරමුණු කොට ගෙන, සරච්චන්ද්‍ර නිර්දේශ අනුව​​ ගුවන් විදුලි වැඩසටහන් ඉහළ ප්‍රමිතියකට ගෙන ඒමට කටයුතු කළේ ද ඒ මහතා විසිනි.

එම්. ජේ. පෙරේරා මහතා ගේ සේවය පිළිබඳව ඇගැයීමකට ලක් කරන ආචාර්ය දයාරත්න රණතුංගයන්, 1952 එතුමා ගේ අධීක්ෂණය යටතේ එවකට සරල ගී වැඩසටහන් මගින් ප්‍රචාරය වූ හින්දි දෙමළ තනු ආශ්‍රිත සිංහල ගීත වෙනුවට, ශ්‍රී ලංකාවේ ජන සංගීතය හා රාගධාරී සංගීතය ඇසුරු කරගෙන ශ්‍රී ලාංකික සංකෘතික අනන්‍යතාවය​ පිළිබිඹු වන සේ සිංහල ගීත නිර්මාණ ඉදිරිපත් කළ යුතු බව ශිල්පීන් දිරි ගන්වමින්, එදිරිවීර සරච්චන්ද්‍ර දැක්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව කියා සිටියි. පසුව​, සංගීත අංශයේ මෙම​ එදිරිවීර සරච්චන්ද්‍ර දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ලයනල් එදිරිසිංහ, පී ඩන්ස්ටන් ද සිල්වා​, මඩවල එස්. රත්නායක​ ද​, ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ඔස්සේ පී. වැලිකල​ ද බඳවා ගැනීමට කටයුතු කෙරෙන්නේ ද එම්.ජේ. පෙරේරා ගේ මැදිහත් වීමෙනි. තවද​, ගුවන්විදුලියේ ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කර​ රසික සිත් විෂය ඥානයෙන් පිරවීමට කටයුතු කිරීම මෙන්ම​, සරල වින්දනයෙන් රසික ජන මන පහන් කිරීම උදෙසා ‘මාසික රැඟුම’ , ‘විනෝද සමය’ වැනි වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු කරන ලද්දේ ද ඒ මහතා ගේ අධීක්ෂණය සහ මඟ​ පෙන්වීම යටතේ ය​.

නිදහස ලැබීමත් සමග ඉදිරියට ගිය සංස්කෘතික පුනරුදයට සමගාමීව ඒ සඳහා සක්‍රීය ලෙස දායක වෙමින්, සිව් වසරකට වැඩි කාලයක් ගුවන් විදුලි මාධ්‍යය වෙත​ දායකත්වයක් ලබා දුන්, එම්. ජේ. පෙරේරා මහතා 1956 දී රාජ්‍ය භාෂා දෙපාර්තමෙන්තුවේ පත්වීමක් ලැබ ගුවන් විදුලියෙන් සමුගත්තේ ය.

පරිපාලන නිලධාරියකු ලෙස

ගුවන්විදුලියෙන් සමුගැනීමෙන් පසු රාජ්‍ය භාෂා දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් (1956) , සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක (1959) , රජයේ ලලිත කලා විද්‍යාලයෙහි වැඩබලන​ අධ්‍යක්ෂක (1960), අධ්‍යාපන සහ​ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් (1963 -1968) , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, උප කුලපති (1968), ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය​​ සභාපති (1969) , රජයේ පොහොර නිෂ්පාදන සංස්ථාවේ සභාපති (1970) සහ රජයේ පුස්තකාල සේවා මණ්ඩල යේ සභාපති​ (1981 – 1982) වශයෙන් තනතුරු ගණනාවක් හොබවන එම්.ජේ. පෙරේරා මහතා ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයකු වශයෙන් 1981 දී නැවතත් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙනවා.

රුපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපති

1982 දී, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපති ලෙස එම්. ජේ පෙරේරා මහතා පත්වීම් ලබන්නේ, 67 වන වියෙහිදී යි. දක්ෂ, ක්‍රියාශීලී නායකයකු වූ එම්. ජේ. පෙරේරා, රුපවාහිනී සංස්ථාවේ සේවය කළ පස් වසරක කාල පරිච්ඡේදය එහි ස්වර්ණමය යුගය බැව්​, එහි ආරම්භක අවධියේ දී අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ නාට්‍යවේදියකු වන හෙන්රි ජයසේන මහතා ප්‍රකාශ කරයි. රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා සියලු පහසුකම් වලින් යුතු මැදිරියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම​, මුනිදාස​ කුමාරතුංග , මාර්ටින් වික්‍රමසිංහ​, පී.බී අල්විස් පෙරේරා, රැපියෙල් තෙන්නකෝන්, පියදාස​ සිරිසේන​ ආදී සාහිත්‍යධරයන් ගේ කෘති ඇගැයීම සඳහා ‘පිය සටහන්’ නමින් වැඩසටහනක් ආධ්‍යපනය ලබන දරු දැරියන් ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කිරීම​ සහ​ යෞවන යෞවනියන් ගේ කුසලතවන් හඳුන්වා දීම උදෙසා ‘ප්‍රතිභා” නමින් යොවුන් වැඩසටහනක් ආරම්භ කිරීම​ වැනි කටයුතු රැසක් සිදු කෙරුණේ එම්. ජේ. පෙරේරා මහතා ගේ අධීක්ෂණය සහ අනුග්‍රහය යටතේ යි.

තමා විසින් කෝකිලදේවී වීරතුංග​, එම්.කේ වින්සන්ට්, ව​සන්තා සන්දනායක​, ඒ.එම්.යූ. රාජ්, නෝනා සුබෙයි දා ආදී ටවර් හෝල් යුගයේ කලාකරුවන් ගේ සේවය අගයනු වස් ‘සම්මානි’ නමින් වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ ද එතුමා ගේ අනුග්‍රහයෙන් බව හෙන්රි ජයසේනයන් කියා සිටී. ජයසේන මහතාට අනුව, 80 දශකය මැද භාගයේ දී ඉහළ ප්‍රමිතියකින් යුතු වේදිකා නාට්‍ය ජනතාව අතරට ගෙන යාමේ සහ ඒවා මුල් කාලීන නළු නිළියන් ගේ රඟපෑම් සහිතව අනාගත පරපුරට ද දායාද කිරීම උදෙසා සංරක්ෂණය කිරීමේ අරමුණ ද ඇතිව​, රූපවාහීනි පටිගත කිරීම් සහ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ ද සිය යෝජනාවක් අනුව​, එම්. ජේ පෙරේරා මහතා ගේ අනුග්‍රහයෙනි. ප්‍රථමයෙන් හෙන්රි ජයසෙනයන් ගේ ‘හුණුවටයේ කතාව​’ පටිගත වූ අතර​, ඉන් පසුව​, එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ ‘වෙස්සන්තර’​, ‘කදා වළලු’, ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘රත්තරන්’ සහ ‘වෙල්ලවැහුම්’ යන වේදිකා නාට්‍ය ද​, බන්දුල ජයවර්ධනයන් ගේ ‘බෙර හඬ​’ , ඩබ්ලිව්. බී. මකුලොලුව මහතා ගේ ‘දෙපානෝ’ , ආර්. ආර්. සමරකෝන් මහතා ගේ ‘කැළණි පාළම​’ සහ ‘අහසින් වැටුණු මිනිස්සු’ , රංජිත් ධර්ම​කීර්ති මහතාගේ ‘අංගාරා ගඟ ගලා බසී’, ජයලත් මනෝරත්නයන් ගේ ‘පුත්‍ර සමාගම​’, ෆීලික්ස් ප්‍රේමවර්ධනයන් ගේ ‘කළුවරෙ ජරමරේ’ සහ හෙන්රි ජයසේනයන් ගේ තවත් නාට්‍ය ද්විත්වයක් වන ‘ජනේලය​​’ සහ ‘තවත් උදෑසනක්’ රූපවාහීනී ප්‍රෙක්ෂක වින්දනය උදෙසා පටිගත කර සංරක්ෂණය කෙරිණ.

විවේචන…

දේශීය සංස්කෘතිය කෙරෙහි ඇල්මක් දැක් වූ එම්.ජේ පෙරේරා මහතා ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය​ ක්ෂේත්‍රයේ සංස්කෘතික පුනරුදයක් ඇති කිරීමෙහි ප්‍රබල කොටස්කරුවකු බව උගත්, වියත් කලාකරුවන් ගේ පිළිගැනීමට ලක් වුවත්, සියලු දෙනා ගේ ප්‍රසාදය එතුමාට දිනා ගත නො හැකි වූ බවක් ද තොරතුරු මූලාශ්‍ර​ විමසා බැලීමේ දී අපට පෙනී යයි. “ජන​ප්‍රිය ලක්ෂණ රැගත් සුභාවිත ගීතයේ උපත” යන මැයෙන් ‘හඬ​’ ඔක්තෝබර් – දෙසැම්බර් (2013) කලාපයට මාධ්‍යවේ දී ෂෙල්ටන් වීරරත්න​ මහතා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ උපදේශකත්වය යටතේ ගුවන්විදුලි වැඩසටහන් ප්‍රමිතිකරණයකට ලක් කිරීමට ගත් උත්සාහයේ දී ගුවන්විදුලියේ කල්ලිවාදයක් ගොඩ නැගුණු සැටිත්, එම කල්ලිවාදය හරහා ජනප්‍රිය සහ බටහිර සංගීත ඇසුර ලත් එහෙත්, උසස් සුභාවිත ගීත ලක්ෂණ පෙන්නුම් කළ ගීත ප්‍රමිතිකරණය නමින් වාරණය වූ ආකාරයත් , එ මඟින් එම ගී නිර්මාණ බිහි කිරීමට​ දයක වූ ශිල්පීන්ට අසාධාරණයක් වූ සැටිත් විස්තර කරමින් ලිපියක් සටහන් තබමින් පැහැදිලි කරයි.

ෂෙල්ටන් වීරරත්න මහතාට අනුව , එම්.ජේ පෙරේරා මහතා මාධ්‍ය ක්ෂේත්‍රයට නවකයකු වූ තමා ගේ සහායට සිය සරසවි මිතුරන් වන​​ එදිරිවීර සරච්චන්ද්‍ර සහ ඩී.ජී දයාරත්න යන දෙදෙනා උපදේශක තනතුරෙහි තබා ගනිමින් කටයුතු කර තිබේ. ඉන් පසු ගුවන්විදුලි සේවයේ සියලු කටයුතු මෙහෙයවීම මේ තිදෙනා ගේ සැලැසුම් සහ​ අධීක්ෂණය යටතේ සිදු වූ බව වීරරත්න මහතා කියයි. ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයේ සංගීත උපාධියක් ලැබූ පී. ඩන්ස්ටන් ද සිල්වා සිංහල සංගීත වැඩසටහන් භාර නිලධාරී (1954 දී) තනතුරටත්, රජයේ සංගීත විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවයේ යෙදී සිටි , ලයනල් එදිරිසිංහ ගුවන්විදුලි සේවයේ සංගීතමය කටයුතු සියල්ලෙහි අධීක්‍ෂක තීරකයා ලෙසත් කටයුතු කිරීමට බඳවා ගැනුණේ මේ තිදෙනා ගේ සැලැසුම් අනුව යි. මේ පිරිස “භාත්කණ්ඩ​ කල්ලිය” නමින් හැඳින්වුණු බව කියැවේ. මෙරට ගුවන් විදුලි සංගීත ශිල්පීන් වර්ගීකරණය සඳහා මහාචාර්ය රතන් ජංකර් පඬිතුමා 1952 දී නැවත මෙරටට පැමිණෙන්නේ එම්.ජේ පෙරේරා – එදිරිවීර සරච්චන්ද්‍ර – ඩී.ජී දයාරත්න යන ත්‍රිත්වයේ ආරාධනයෙනි. ෂෙල්ටන් වීරරත්න මහතාට අනුව, මහාචාර්ය රතන් ජංකර් මෙරටට කැඳවීමේ යටි අරමුණක් වූයේ, භාත්කණ්ඩ පිරිස ගුවන් විදුලිය තුළ මෙහෙයවන ලද අධිපතිවාදයට මහත් බාධාවක් වූ ‘පල්ලියේ සංගීතකාරයා’ ලෙස ඔවුන් විසින් පරිභවයට ලක් කරන ලද,​ සුනිල් සාන්තයන් ගුවන් විදුලියෙන් ඉවත් කිරීම බවට ෂෙල්ටන් වීරරත්න මහතා චෝදනා කරයි. මේ අයුරින්ම ජනප්‍රිය ගීතයේ පුරෝගාමියකු ලෙස​ සැලැකෙන , ලංකා ගුවන් විදුලියේ සංගිත අංශයේ ජ්‍යේෂ්ඨ වැඩසටහන් සහායක තනතුර හෙබ වූ, බී.එස්.පෙරේරා ප්‍රමුඛ​ ඔහු ගේ රිද්ම රටාව අනුගමනය කළ පී.එල්.ඒ. සෝමපාල​, එච්.එඩ්වඩ් පෙරේරා වැනි ශිල්පීන්හට ද අසාධාරණයක් සිදු වූ බව ප්‍රවීණ​ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල මහතා ද ‘දිවයින​’ පුවත්පතට ලිපියක් ලියා තබමින් කියා සිටී. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන ගීත සියල්ල ප්‍රමිතිකරණයකට ලක් කිරීමේ වෑයමේ දී එකල ජනතාව අතර ජනප්‍රිය වී තිබූ සුනිල් සාන්තයන් ගේ ගීත රාශියකුත්, බී . එස්. පෙරේරා තනු යොදා සංගීතවත් කළ අතිශය මියුරු ගීත රාශියක් ද පහත් හැඟීම් අවුස්සන සුළු ගීත ලෙස නම් කර වාරණයට ලක් වීම ද බෙහෙවින් කණගාටුදායක ය​. ශාස්ත්‍රීය හා ඉන්දියානු ශාස්ත්‍රිය සංගීතය සමඟ​ මුසු වූ සරල ගී හැර වෙනත් සම්ප්‍රදායක ගීත ශ්‍රවණය කිරීමේ හැකියාව ජනතාවට අහිමි වී යාම වර්ධනය වෙමින් පැවැති සිංහල ගීයේ ඉදිරිගමනට හිතකර නො වූ බව පෙනී යයි.

සමාලෝචනය

මේ අනුව, පරිපාලකයකු ලෙස එම්.ජේ පෙරේරා මහතා අනුගමන කළ සහ අනුග්‍රහය දැක් වූ ඇතැම් ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඒවායේ මුඛ්‍ය අරමුණුවලින් පරිබාහිර වූ යටි අරමුණු ද ඇතැම් පිරිස් වෙත තිබුණු බව පෙනී යයි. ඒ හරහා මතවාදී ආධිපත්‍යයක් බිහිවීමෙන් ප්‍රතිවිරුද්ධ මත දැරූවන් මර්ධනයට සහ අසාධාරණයට ලක් වී ඇති බව නො සලකා හැරිය නො හැකි ය. කෙසේ වෙතත්, එතුමා ගුවන්විදුලි සේවයේ යෙදී සිටි සිව් වසරක කලය තුළ​​, 50 දශකයේ දී ආරම්භ වුණු, ශාස්ත්‍රීය සංගීත ප්‍රබෝධය නිසා දිවයිනේ රසික රසිකාවියන් හට ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් දිනපතාම පාහේ රාගධාරී සංගීත රසයෙන් ප්‍රභාශ්වර වූ , මධුර වූ තනු සහිත ගී නිර්මාණ මෙන්ම​ ප්‍රමිතියෙන් යුතු සරල ගී හරහා උසස් රස වින්වින්දනයකට යොමු කළ බව ද , ඉන් අනතුරුව එළැඹුණු රූපවාහිනී යුගයේ දී ද ප්‍රමිතියෙන් යුතු වැඩසටහන් ප්‍රචාරය කිරීම මගින් පොදුවේ රටේ සංස්කෘතික පුනරුදයට සක්‍රීය දායකත්වයක් ලබා දුන් බව අවිවාදාත්මක ය. 70 – 77 රිජ්වේ තිලකරත්න යුගය ගුවන් විදුලියේ ස්වර්ණමය​ යුගය බවට පත් වීමටත්, 70-80 දශකයේ රසවත් හරවත් ගී බිහි වීමටත් පදනම ඇති වූයේ 50 දශකයේ සිට ආරම්භ වූ රස ප්‍රවර්ධනයේ ප්‍රතිඵල ලෙසින් බව ද මේ විද්වතුන් ගේ මතය යි. එසේ ම රූපවාහිනිය ආගන්තුක මාධ්‍යයක් ලෙස මෙරට ඇරැඹුණු සමයේ හුදු විනෝදාස්වාදය සපයන මෙවලමක් ලෙස නො ව, ජනතාවට දැනුම අවබෝධය සමඟ රසාස්වාදය​ සපයන සේවයක් ලෙස ස්ථාපිත කිරීමේ පුරෝගාමී සේවයද එතුමා අතින් සිදු වූ බව රූපවාහිනී ඉතිහාසය සාක්ෂි දරයි. මේ කරුණු සියල්ල සැලැකිමේ දී ගුවන් විදුලිය සහ රූපවාහිනිය යන ක්ෂේත්‍ර දෙක ම සඳහා ඔහු සැපැයූ පුරෝගාමී නායකත්වය උත්කෘෂ්ට​ බව නිගමනය කිරීම අතිශය සාධාරණය.

– අමා නයනාදරී සිරිවර්ධන –
11-01-2021

තොරතුරු මූලාශ්‍ර:

“ගුවන්විදුලි නාට්‍ය කලවේ සරච්චන්ද්‍ර භූමිකාව​” – එදිරිවීර සරච්චන්ද්‍ර විශේෂ කලාපය වෙනුවෙන්ප්‍රවීණ​ මාධ්‍ය උපදේශකවරයකු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වන සුගත් වටගෙදර මහතා විසින් සම්පාදිත ලිපියක්, ‘හඬ’ සඟරාව​, 2011 ජූලී – සැප්තැම්බර් කලාපය (පිටුව.48-50).

“ගුවන්විදුලි නාටක හෙවත් ශ්‍රව්‍ය කාව්‍ය හඳුන්වා දීම​” – එදිරිවීර සරච්චන්ද්‍ර විශේෂ කලාපය වෙනුවෙන් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා විසින් සම්පාදිත ලිපියක්, ‘හඬ’ සඟරාව​, 2011 ජූලී – සැප්තැම්බර් කලාපය (පිටුව.42-45).

“ගුවන්විදුලිය සහ ස්වදේශීය​ මුද්‍රාව” – එදිරිවීර සරච්චන්ද්‍ර විශේෂ කලාපය වෙනුවෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් සම්පාදිත ලිපියක්, ‘හඬ’ සඟරාව​, 2011 ජූලී – සැප්තැම්බර් කලාපය (පිටුව.46-47).

“ගුවන් විදුලිය ඇරඹුනේ ම ගීතයෙන්”- ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒරානන් ද හෙට්ටිආරච්චි මහතා ගේ ලිපියක්, ‘හඬ’ සඟරාව​, 2013 ජනවාරි-මාර්තු කලාපය (පිටුව. 42-47).

“ශාස්ත්‍රීය සංගීත ප්‍රබෝධය” – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශයේ ප්‍රථම අධ්‍යක්ෂ ආචාර්ය දයාරත්න රණතුංග මහතා ගේ ලිපියක් , ‘හඬ’ සඟරාව​, 2013 ජනවාරි-මාර්තු කලාපය (පිටුව. 56-63).

“ප්‍රථම ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂ ජනරාල් එම් ජේ පෙරේරා ගේ මතක සටහන්” – ඩී රන්ජිත් පීරිස් විසින් සකස් කරන ලද ලිපියක්, ‘හඬ’ සඟරාව​, 2013 අප්‍රේල් – ජූනි කලාපය​ (පිටුව. 38 – 42).

“සිංහල නිවේදන වෘත්තියේ පෙරගමන්කාරිය”- ප්‍රවීණ නිවේදිකා, ප්‍රභා රණතුංග මහත්මිය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ගුවන්විදුලි මාධ්‍යවේදිනී ශිරානි බාලසූරිය​ මහත්මිය විසින් සකස් කරන ලද ලිපියක්, ‘හඬ’ සඟරාව​, 2013 ඔක්තෝබර් – දෙසැම්බර් කලාපය (පිටුව.24-25).

“ජනප්‍රිය ලක්ෂණ රැගත් සුභාවිත ගීතයේ උපත” – මාධ්‍යවේදී ෂෙල්ටන් වීරරත්න මහතා ගේ ලිපියක්, ‘හඬ’ සඟරාව​, 2013 ඔක්තෝබර් – දෙසැම්බර්, (පිටුව.57-74).

“1924-2013 අධිකාරීන්/සභපතිවරුන්/අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්”, ‘හඬ’ සඟරාව​, 2013 ඔක්තෝබර් – දෙසැම්බර් කලාපය (පිටුව.76-79).

“Appreciations – M.J. Perera” by Raja De Silva, The Island (2002/03/28), http://www.island.lk/2002/03/28/featur02.html

“At the Berliner Ensemble” by Henry Jayasena, Daily News (2007/02/14),
https://web.archive.org/…/www.dailynew…/2007/02/14/art03.asp

“Cultural orthodoxy and popular Sinhala music” by Dr. Tissa Abeysekara, Daily News (2007/08/09), https://web.archive.org/…/www.dailynew…/2007/08/09/fea01.asp

“I bid adieu to Rupavahini” by Henry Jayasena, Daily News (2007/09/05), http://archives.dailynews.lk/2007/09/05/art07.asp

“A Brief Account on Radio in Sri Lanka (Ceylon) – Part 1” by Asoka Tillekeratne, Laksara Website, http://www.laksara.com/radio-ceylon-page1/

සුබා තෙරණි මම පුහුදුන්

බුද්ධ චරිතයේ එක් එක් අවස්ථාවන්, ජාතක කතා වස්තූන් සහ ථෙර / ථෙරී ගාථාවන් පාදක කර ගනිමින් නිර්මාණය වුණු කෘති, වේදිකා නාට්‍ය​, ගේය කාව්‍යය , සාහිත්‍යය ආදී නිර්මාණ තුළ​ සුලබව දකින්නට ලැබෙනවා. මේ අතරින් නූර්ති සහ​ ග්‍රැමෆෝන් යුගයේ දී බිහිවුණු ගීත​ වල ඇත්තේ බොහෝ සෙයින් යම් සංසිද්ධියක් හෝ අවස්ථාවක් එලෙසින් ම වාර්තා කෙරෙන ස්වරුපයක්. “තිලෝ අග රාජා” (ඒ. එම්. යූ . රාජ්), “උතුම් බුදුන් ත්‍රෛලෝනා වී “(ඒ .එම්. යූ . රාජ්) , “නොකියාම එදා” (වසන්තා සන්දනායක) , “බලන්න බුදු ස්වාමිනේ” (වසන්තා සන්දනායක) , “බුදු හිමි දැක්මට ගිය මගේ කුමරුනි නන්ද” (වසන්තා සන්දනායක) මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකියි. මොහිදීන් බෙග් මාස්ටර් ගායනා කළ බෞද්ධ ගීත වල ද බොහෝ සෙයින් ව්‍යුහගත සහ අවවාදාත්මක ස්වරුපයක් විනා කාව්‍යමය ස්වරුපයක් දක්නට ලැබුණේ මඳ වශයෙනි. පැරැණි “සඳ කිඳුරු” සහ “මනමේ” කවි නාඩගම් එකට ඉදිරිපත් කෙරුණේ ද​, සාම්ප්‍රදායක කතාව හරහා කාන්තාවන් විෂයෙහි පතිවත රැකීම ගැන​ පණිවිඩයක් ලබා දිම අරමුණු කර ගනිමින් බව කියැවේ.

එහෙත්, මහගම සේකර , ඩෝල්ටන් අල්විස්, සුනිල් සරත් පෙරේරා වැනි ගී පද රචකයෝ එවැනි සිද්ධීන් වස්තු බීජය ලෙසින් පමණක් ගෙන, එයට යමක් අලුතින් එකතු කර සෞන්දර්යාත්මකවත් , නිර්මාණාත්මකවත් ගී පද රචනය කිරීමට සමත් වූහ. සුබා තෙරණිය ගේ කතා වස්තුවේ එන මානවකයා විසින් තෙරණිය අමතා කියන ලදැයි පැවසෙන ගාථා තුන ඇසුරෙන් ඇසුරෙන් මහගම සේකරයන් අතින්, “ඔබේ දෑසයි ඔබේ දෑසයි නීල උත්පල කිඳුරු දෑසයි” (පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේව) ගීතය බිහි වන්නේ එලෙසිනි. පහතින් දැක්වෙන්නේ ඔබේ දෑසයි ගීතය ගැන ලියන ලද බ්ලොග් සටහනකින් (ගී පොතයි මීවිතයි) උපුටා ගත් කොටසකි;

[අපි දූරගතා සරම්හසෙ, ආයතපම්හෙ විසුද්ධ දස්සනෙනහි මත්ථි තයා පියත්තරා, නයනා කින්නරි මන්ද ලොචනෙ”
මෙහි අර්ථය නම්,

“දිගු දෑස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියකගේ වගේ මඳක් පිබිදුනු ඇස් ඇති ඔයා, කොයි තරම් දුර ගියත් මට ඔය ඇස් දෙක මතක් වෙනව.මං ඔය ඇස්දෙකට තරම් වෙන කිසි දේකට ආස නෑ.”
සේකරයන් විසින් මෙහි එන “නයනා කින්නරි මන්ද ලොචනෙ” පදය “මීන චංචල කිඳුරු දෑසයි..”  ලෙසින් මෙම ගීතයක එක්තු කර ඇත….


ඔබේ අඩවන් නුවන් දුටු සඳ
රාග ගින්නෙන් දැවෙයි මා හද
එවන් දෑසින් සිහිල් දිය ඉස
නිවන් ගිනිගෙන දැවෙන මා හද
නිවන් ගිනිගෙන දැවෙන මා හද…
අවසාන පද කීපයද සේකරයන් ථෙරි ගාථා වලින්ම පෝෂණය කර ගැනීමට සම්ත් වී ඇත.
] – (උපුටා ගැනීම – ගී පොතයි මී විතයි)

වැඩි දුර විස්තර සඳහා මූලාශ්‍ර යටතේ අමුණා ඇති බ්ලොග් සටහන කියවන්න​. මෙසේ සේකර ලියූ “ඔබේ දෑසයි” ගීතය පාලි ථෙරී ගාථා වල සිංහල පරිවර්තනයකට වඩා බෙහෙවින් කාව්‍යාත්මක​ ප්‍රති-නිර්මාණයක් ලෙස හඳුනා ගැනීම සාධාරණ වනු ඇත​​.​

සුනිල් සරත් පෙරේරා මහතා විසින් රචනා කරන ලද, “සිතේ නැගුණු කලකිරීම කුමරිය” (සංගීතය සහ ගායනය – මහාචාර්ය සනත් නන්දසිරි) ගීතය මෙන්ම, සෝමතිලක ජයමහ ශුරින් විසින් රචනා කර, සංගීතවත් කරමින් ගායනා කරන, “නව දැලි හේනක” ගීතය ද අප වෙත එන්නේ අදාළ කතා පුවත බෞද්ධ සාහිත්‍යයේ වාර්තා වන ස්වරුපයෙන් නොවේ. එම පුවත​ පිළිබඳව​ වෙනත් ම ආකල්පයකින් සහ මානයකින් දකිමින්. සුනිල් සරත් පෙරේරා සූරීන් සමග වරෙක සංවාදයේ යෙදෙන්නට ලැබුණු මොහොතක ඔහු මා හට පවසා සිටියේ , “යසෝදරා ගීතය​” රචනා කළේ මාර්ටින් වික්‍රමසිංහ සූරින් විසින් රචිත “භව තරණය​” කෘතිය නැරඹීමෙන් ලද ආස්වාදය තුළින් බව යි​. යසෝදරා ගීතය, භව තරණය කෘතියෙහි කතාව​ පද කීපයකට කැටි කොට දැක්වූවාක් වැනිය​. බුදු සිරිතෙහි එන​ කතාවේ දී යසෝදරා සිදුහත් කුමරුන් ගේ නිවන් මග අවුරා සිටි බව දැක්වෙතත්, ගී පද රචකයා සිය ගීතය තුළින් සිදුහත් කුමරුන් බුද්ධත්වය කරා යන ගමනේ දී යසෝදරාව විසින් ඉටු කරන ලද කාර් යය සඳහා ලබා දෙන්නේ වෙනස් අර්ථ කථනයක්;
“සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට​
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර​…”

නව දැලි හේනක” ගීතයේ දී ද, නෙත දුටු සුරඟන රූ සිරිය සමග​ නන්ද කුමරු ගේ හද දුටු (හදවත හැඳිනූ) කළණිය සංසන්දනය කරන ගී පද රචකයා, ජනපද කළ්‍යාණිය සහ නන්ද කුමරුන් පිළිබඳ අප දන්නා පුවතට අලුත් මානයක් එකතු කිරීමට සමත් වෙනවා;
“නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා…”

පොදු සම්මතයට එරෙහි ආකල්පයක් ගෙන ආ හෙයින් “භව තරණය” ද එවකට විවේචකයන් ගේ දෝෂ දර්ශනයට බඳුන් වූ​ කෘතියෙකි. නමුත්, ආර්ය සත්‍යාවබෝධය ලැබූ රහත් තෙරණු කෙනෙකු තුළ පවතින “නිවීම” වැනි බුදු දහමේ එන මූලික සංකල්ප වලට හානි නොවන සේ, එම සංකල්ප​ විකෘති කිරීම් වලට බඳුන් නොවන සේ, ශ්‍රව්‍ය සහ ගද්‍ය කාව්‍යයක තිබිය යුතු සෞන්දර්යාත්මක බව ද රැක ගනිමින් සිය කෘති ඉදිරිපත් කිරීමට මේ සියලු​ නිර්මාණකරුවන් සැලකිලිමත් වී තිබීම කෙරෙහි ද අප ගේ විශේෂ අවධානය යොමු කළ යුතු ය​.

මහාචාර්ය​ එදිරිවීර සරච්චන්ද්‍රයන් චුල්ල ධනුද්ධර ජාතක කතාව ඇසුරෙන් නිර්මාණය කරන ලද​ “මනමේ” වේදිකා නාට්‍යය ගැන ද මෙහි දී සිහිපත් වෙයි. පැරණි “මනමේ කවි නාඩගමෙහි” ද​ දකින්නට ලැබෙන්නේ, සාම්ප්‍රදායක ජාතක කතාවේම අනුරුවකි. නාඩගම් නිර්මාණාකරු ගේ අරමුණ වූයේ ද​ , සාම්ප්‍රදායික කතාවේ දී මෙන්ම​​, මනමේ කුමරිය සිය සැමියා ට ද්‍රෝහී වූ තැනැත්තියක​ ලෙස නිගමනය කර කතාව අවසන් කිරීම යි​. එහෙත්, සිය නාට්‍යයේ දී මනමේ කුමරිය ගේ චිත්ත වික්ෂිප්තභාවයට හේතු දක්වා සිටින සරච්චන්ද්‍රයන් ඈ දෙස අනුකම්පා සහගත බැල්මක් හෙළමින් ඇය ගේ නිර්දෝෂීභාවය පිළිබඳව තීරණය ගැනීමට නරඹන්නා හට ඉඩ තබමින් සිය නාට්‍යය හමාර කරයි;

“අනේ එ විපත සිදු වුණි , නොදනිමි කාගේ දොසා”

මේ සියල්ලම සිදු වන්නේ, එදා ලංකාවේ පැවතුණු සංස්කෘතික අනන්‍යතාවයට​ ගැලැපෙන සේ, සම්ප්‍රදාය ඇසුරෙන් කරන ලද වේදිකා නාට්‍යයක තිබිය යුතු ගුණාංග ආරක්ෂා කර ගන්නා අතරේ දී වීම මේ නාටකයේ ඇති විශේෂත්වය යි.

මේ ආකාරයෙන්ම, සුබා තෙරණිය ගේ කතාවේ එන තරුණයා සිය වරද පිළිබඳව දැවෙන, තැවෙන ආකාරය මෙසේ විය හැකි යැයි කතාවේ වෙනත් පැති කඩක් දකින ඩෝල්ටන් අල්විස් සූරීන් එය මෙලෙසින් ගීතයකට නංවයි;

“ඔබ දුටු සම්බුදු සමිඳුන්
දකින්න මට ඉඩ නොමදුන්
සුබා තෙරණි මම පුහුදුන්
සුබා තෙරණි මම පුහුදුන්”

සංගීතය සහ ගායනය – ෂෙල්ටන් පෙරේරා

– අමා සිරිවර්ධන –

27/11/2014

ගීතය මෙතැනින්;

“ඔබේ දාඑසයි ඔබේ දෑසයි” ගීතය මෙතැනින්;

යසෝදරා ගුවන්විදුලි පටිගත කිරීම මෙතැනින්;

සටහන ලිවීමේ දී භාවිතා කළ මූලාශ්‍රයයන්:
– “පිං ඇති සරසවි වරමක් දෙන්නේ”, මහාචාර් ය එදිරිවීර සරච්චන්ද්‍ර
“ගී පොතයි මී විතයි”, http://geepothaimeewithai.blogspot.com/2015/07/blog-post_4.html

ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය – හදවිල කළඹන පෙම් ජල රේඛා

ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගී නිර්මාණය කළ යුතු වන්නේ, නාද රටා, අරුත්, සන්දර්භය සහ ඖචිත්‍යය ආදී අංග සලකා, ගැඹුරු කලාත්මක පදනමක පිහිටා මිස​, හුදෙක් විනෝදාස්වාදය සහ වාණිජකරණය අරමුණු කර ගනිමින් නොවන බව මින් පෙර ලිපියක දීර්ඝව සංවාදයට බඳුන් කෙළෙමු (ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය යන ශීර්ෂය යටතේ පළ කර ඇති ලිපිය කියවන්න​)​. ගීතය ආරම්භයේ දී ජන කවියක් ගායනා කළ පමණින්, ජන වහරෙහි එන පද කිහිපයක් පද මාලාව තුළ හමු වු පමණින් නැතහොත්, දේශීය වාද්‍ය භාණ්ඩ කිහිපයක් වාදනය කළ පමණින් ජන ගායනාවක හැඩ රුව ඇති ගීතයක් බිහි නො වන බව ද, එහි දී අවධාරණය කෙරුණි.

සම්ප්‍රදාය අසුරු කරමින් කෙරෙන නව නිර්මාණ සඳහා උදාහරණයක් ලෙස​ “දැඩිමුණඩ දේව වර්ණනාවේ” එන පහත කවි වල ආභාසය ලබා රචනා කර ඇතැයි සැලැකිය හැකි “හද විල කළඹන” ගීතය සලකා බලමු.

දේව යාදින්නෙහි එන පහත කවිය;

සවණත​ කිණිහිර​ මල් පෙති රේකා
ලවනත බඳුවද දත් කොඳ රේකා
දෙවුරත ගජ කුඹු බුජවැල රේකා
උදරය බද රන් රූබර රේකා

දෑල දිලෙයි අළු ගෝමර රේකා
සලා ලමැද රන් පරදන​ රේකා
නීල පළිඟු බැඳි දුනුපට රේකා
බාල චන්දවන් නළලත රේකා

සහ ගීතයේ අන්තරා කොටස් වන;

නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳ රන් රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා

දෑළ ළමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමල රේඛා
මෑතදි බැලු විට ආදර රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා

පද පෙළ අතර ඇති ආකෘතිමය සාම්‍යය​ විමසා බලන්න​. එ මෙන්ම​, දේව යාදින්නෙහි කවි සහ ගීතයේ පද පෙළ යන දෙකම එකම මාත්‍රා කැටි ගණනකින් (හතරකින්) සමන්විත වන​ බව මගේ වැටහිම යි. “සවණත කිණිහිර” දේව යාදිනි කවි යුගලය​ උපුටා ගැණුනේ, ජී. එස්. පෙරේරා විසින් සම්පාදිත ‘දේව විත්ති සහිත කෝල්මුර කවි’ කෘතියෙ නි (පරිච්ඡේදය – ‘අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියෝ’ ​).

ගත් කතුවරයකු, කවියකු මෙන්ම, ගී පද රචකයකු ලෙස නමක් දිනා සිටි මඩවල එස්. රත්නායක සූරීහු සිය ‘ගී සින්දු සාහිත්‍යය’ නැමැති කෘතියෙහි දී, තවත් නිර්මාණාත්මක ගේය පද රචකයකු වන ධර්මසිරි ගමගේ සූරීන් විසින් රචිත​ “හද විල කළඹන” ගීතය පිළිබඳ විවරණයට ප්‍රවේශයක් ලෙස මෙසේ කියා සිටිති;

“කාව්‍යමය ලක්ෂණයන් ගෙන් හෙබි, භාවමය රසයෙන් පරිපූර්ණ, යහපත් පෙම් ගීතයකි. එහෙත්, මේ ගීතය පුරා විසිරී ඇත්තේ විප්‍රලම්භ රසය යි. ගීතයකින් හෝ කවියකින් හෝ අපේක්ෂා කළ යුත්තේ, ශ්‍රාවකයා ආනන්දයට පත් කරවන්නක් මෙන්ම​, බුද්ධි වර්ධනය​ කරවීම යි. අපි බොහෝ විට ගී ලියන විට​, ජනප්‍රිය වීමේ අදහසින්, මගෙ පෙම් රාණි, ඔබ හැරයන් නෑ, අමතක නෑ, වැනි බොළඳ වදන් යෙදීමෙන් කවියක් තුළ අඩංගු විය යුතු ගුණාත්මක ලක්ෂණ විනාශ​ කරන්නෙමු” (පි.245).

“ආනන්දයෙන් ප්‍රඥාවට” යන ප්‍රකට කියමන පරිදි, වින්දනය තුළින් පරිණතභාවය කරා එළැඹීම සඳහා ගීතයකින් හෝ කවියකින් ලැබෙන පිටිවහල කෙබඳුදැයි එසේ විස්තර කරන ඔහු, අතිශය භාවාත්මක මෙන්ම කාව්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන “හද විල කළඹන” ගීතයෙන් ද ප්‍රේමයක් ගැන ඉඟි පළ වුව ද​, එහි කොතැනකවත් ප්‍රේමයක් ගැන සඳහන් නොවන බව සහ​, ඒ හේතු කොට ගෙන ශ්‍රාවකයා හට යමක් සොයා යන්නට ගීතය ශ්‍රවණය කිරීම තුළින් මග විවර කෙරෙන බව ද පෙන්වා දෙයි. මේ ගීතය මෙ තරම් චමත්කාරජනක වීමටත් , ශ්‍රාවක සිත් ඇද ගැනීමටත්, පුරාණ සාහිත්‍යයේ එන උපමා රූපක ආදී යෙදුම් සහිත​ කාව්‍යාලංකාර​ හේතු වී ඇති බව ද​ ඔහු වැඩිදුරටත් කියා සිටී.

කෙසේ නමුත්, රත්නායකයන් සිය කෘතියෙහි දී “සවණත කිණිහිර” දේව යාදින්නෙ හි ආකෘතිය ගීතයේ පද ආකෘතියට වෙනස් බව පැවසීම තරමක් විමතියට කාරණය කි, ඔහු විසින් සිය කෘතිය සඳහා උපුටා ගත් පද්‍ය පන්තියේ කවි ආකෘතිය, ඉහත සඳහන් කවි ආකෘතියට වඩා වෙනස් බව නම් සැබෑව කි. එ බැවින්, මහගම සේකරයන් විසින් රචිත නිබන්ධන​ කෘතියෙක ඇත්තේද ම විසින් ඉහතින් සටහන් කරන ලද , ජී. එස්. පෙරේරා විසින් සම්පාදිත ‘දේව විත්ති සහිත කෝල්මුර කවි’ කෘතියෙහි එන​ ‘සවණත කිණිහිර​’ පද්‍ය ආකෘතියම බව විශේෂයෙන් සඳහන් කළ මනා ය​.

නන්දා මාලිනි ය ඉතාම දක්ෂ​ ලෙස​, පද වැල තුළින් ප්‍රකට කරවන කාව්‍යමය ලක්ෂණ සහ ජන ගායනා හැඩතල වලට අනුගත වන ලෙස, ගීතයට තනු සහ සංගීතය​ රචනා කිරීමට සමත් වන්නීය​​. ගායනයේ දී මෙන්ම සංගීත සංයෝජනය හරහා ද ජන ගී හැඩතල හොඳින් ඇසෙන්නේ ඇගේ මුල් පටිගත කිරීමේදී යි​. පද මාලාව, තනු , සංගීතය සහ ගායනය​ යන සියලු අංග එකට ගත් කළ​, ගීතයෙන් මතු වන භාවයන් පිළිබඳව​ මට ඇත්තේ මඩවල​. එස්. රත්නායක මහතා ගේ මතයට වඩා තරමක් වෙනස් මතයකි. ස්ථායී කොටස සහ අන්තරා කොටස් වෙනස් මාත්‍රා කැටි වලින් (පිළිවෙලින් මාත්‍රා දෙකින් දෙකට සහ හතරෙන් හතරට​) සමන්විත වන සේ තනුව සකස් කිරීම හරහා, ප්‍රේමයක් (බොහෝ දුරට​ ප්‍රථම) ගැන හැඟීමකින් ඒ පිළිබඳව සිහින දකින සහ ඉන් අනතුරුව, ප්‍රේමණීය හැඟීමකින් පිබිදුණු යුවතියක ගේ භාවයන් ඇය කදිමට මතු කරන්නීය​. විප්‍රලම්භය දනවන භාවයන් තරමක් දුරට හෝ මතු වන්නේ “හද විල කළඹන” ස්ථායී කොටසෙහි දී පමණි. අන්තරා කොටසට එළැඹීමට පෙරාතුව වැඩි ලයකින් වැයෙන වාද්‍ය ඛණ්ඩය , ප්‍රේමයෙන් ප්‍රමුදිත සිත් ඇති තරුණිය ගේ චිත්තාවේගයන් ශ්‍රාවකයා වෙත ගෙන එයි.

අනාගත පරපුර උදෙසා ජන ගී ඒවායේ මුල් ස්වරුපයෙන්ම පටිගත කර සංරක්ෂණය කිරීමේ කර්තව්‍යයෙහි යුහුසුළු වූ සී.ද​.එස්. කුලතුංග මහතා විසින් ටී.එම් ජයරත්න ඇතුලු පිරිස සහභාගී කරවා ගෙන කරන ලද “සවණත කිණිහිර” දැඩිමුණ්ඩ දේව වර්ණනාවේ කවි ඇතුළත් ජන ගායනාවන් හි පටිගත කිරීමට පහත යොමුවෙන් සවන් දෙන්න(දෙවන කමෙන්ටුව බලන්න​​)​. එම​ පටිගත කිරීමේ ඇසෙන ගායනයට අනුව නම්, ගීතය සහ ජන ගීයේ නාද රටාවන් අතර සම්බන්ධතාවයක් දැකීම දුෂ්කර ය​. ගායනා කෙරෙන අවස්ථාව අනුව ජන ගී ගයනාවන් හි රිද්මය වෙනස් වන බව ද​, ගුවන්විදුලි මැදිරියක් තුළ කෙරෙන පටිගත කිරීම් වල දි, මුල් ජන ගීයේ හැඩතල වෙනස් වෙන බව ද අසා ඇත්තෙ මි. ගීතය​ සහ මුල් ජන ගීය අතර නාද රටාවන්හි සම්බන්ධයක් නොදැකීමට එය හේතුවක් වූවා ද​? ගීතය නිර්මාණය කිරීමේ දී මුල් ජන ගීයේ නාද රටාවන් හි වර්ධනයක් හෝ වෙනසක් සිදු වී ඇත්දැයි කිසිවකුට හෝ පැහැදිලි කළ හැකි වේ නම් ඒ පිළිබඳව කෘතඥ වෙමි.

කෙසේ වෙතත්, ජනශ්‍ර්‍රැතියෙහි එන කවි , සැහැළි, වන්නම් හා යාදිනි ආදී ජන ගී ආභාසය ලබමින් ගීත නිර්මාණය කිරීමේ ක්‍රමවේදය හරහා බලාපොරොත්තු වන්නේ “අපේ කම”​, නැතහොත් “දේශජ​ ලක්ෂණ” ප්‍රකට කරන නිර්මාණ බිහි කිරීම යි. එහි දී ජන ගායනා හැඩතල සහිතව , නමුත්, පද වැලෙ හි අර්ථය අනුව, නිර්මාණාත්මක ලෙස තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය​ කිරීමක් විනා, මුල් ජන ගීයේ නාද රටාවන් ඇසුරු කර ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බව මගේ වැටහීම යි. ඒ අනුව​, දේශීය අනන්‍යතාවයක් ඇති ගී නිර්මාණය හරහා සම්ප්‍රදාය සහ නූතනත්වය අතර සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම ගැන​ කදිම නිදසුනක් ජන ගී මූලයන් ගෙන් නිෂ්පන්නව නිර්මාණය වී ඇති “හද විල කළඹන” ගීතය​ සපය යි.

– අමා නයනාදරී සිරිවර්ධන
18-04-2020

හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

වරලස අක්බමරුන් රැඳි රේඛා
දෙනෙතිහි නිලුපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හස රැළි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳ රන් රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා

දෑළ​ ළමැද රන් ගෝමර රේඛා
ඈත දි පෙන්වන කෝමල රේඛා
මෑතදි බැලුවිට ආදර රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා

ගීතය මෙතැනින් (Youtube ගත කර ඇති Sisira Athuraliyage මහතා හට ද කෘතඥ පූර්වක වෙමින්):

ටී. එම්. ජයරත්න මහතා ඇතුලු පිරිස විසින් ගායනා කර පටිගත කරන ලද “සවණත කිණිහිර මල් පෙති ශාකා” දේව යාදින්න ඇතුලු ජන ගායනා වලට මෙතැනින් සවන් දෙන්න​. මෙහි පහතරට බෙර පදය (රෙගුං ගුදත් දොං) වාදනය වෙන අන්දම කෙරෙහි ද අවධානය යොමු කරන්න​.

දූවිල්ලෙන් වත්සුණු තවරා – විලාසිනියක ගේ ඉරණම​ සමග සටහන් වන​​ සිනමා ගීතයේ අවසානය​?

සරල , සරල ශාස්ත්‍රීය​, වේග රිද්ම , කණ්ඩායම්, වේදිකා නාට්‍ය සහ පැරැණි නූර්ති, නාඩගම් ආදී වශයෙන් එන​ සිංහල ගීතයේ ප්‍රවර්ග ගණනාව කි. මේ ආකාරයෙන් ම​ සිංහල ගීත සාහිත්‍යයෙහි පෝෂණය උදෙසා “සිනමා ගීතය” නැමැති ප්‍රවර්ගය ද දැක්වූයේ නො මඳ දායකත්වය කි. මඟේ දැක්ම අනුව සිනමාව හරහා අප ලද වටිනාම දායාදය වන්නේත් චිත්‍රපට ගීත සාහිත්‍යය යි.

ඇතැම් චිත්‍රපට වාණිජමය අතින් එ තරම් සාර්ථකත්වයක් නො පෙන්වුව ද​, ඒවායේ එන ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය​. අනුකාරක ගීත බහුල බවට පිළි ගැනීමක් තිබුණු වාණිජ්‍ය ධාරාවේ පවා චිත්‍රපට​ සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස , සරත් දසනායක වැනි සංගීතඥයන් ගේ මැදිහත් වීමෙන් නව මඟක් ගති. සිනමා ගීතය යනු නිෂ්පාදකයා ගේ අභිමතය පරිදි සකස් කරන ලද සම්මත​ වට්ටෝරුවකට අනුව ලියූ පද මාලාවන්, ඊට උචිත තනුවක්, සංගීත සංයෝජනයක් සහ භාවාත්මක ගායනයක් පමණක් නොව​, චිත්‍රපටයේ සමස්ත කතා තේමාව​ සමග අවියෝජනීය සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් අධ්‍යක්ෂකවරයාට​ දෙබස් හරහා ප්‍රකාශ නො කළ හැකි දෑ කියන මෙවලමක් බව​ පෙන්වා දීමේ පුරෝගාමී මෙහෙවර සිදු වූයේ ප්‍රේමසිරි කේමදාස මහතා පසුබිම් සංගීතය මෙහෙය වූ “සැනසුම කොතැනද” (1965) චිත්‍රපටයෙන් බව ඇතැම් විචාරකයන් ගේ මතය යි. පසු කලෙක දී සරත් දසනායකයන් ද මේ ගමනට එකතු වී, ඔහුට අනන්‍ය වූ මඟක් ඔස්සේ සිනමා ගීතයේ ප්‍රගමනයට එක් විය. ප්‍රේමසිරි කේමදාස සංගීත අධ්‍යක්ෂණයෙන්​,​ “මංගල දිනයේ රස මධු පානේ” (‘සීතල වතුර’ , 1965) “මාල පබළුවැල් කරවට ලන්නට​” (‘බිනරි සහ​ සුදු බණ්ඩා’,1979), “මා ප්රාර්ථනා” (‘ළසඳා’, 1974), “පොකුරු පොකුරු මල් සැණකෙළි” (‘වාසනා’, 1976) සහ සරත් දසනායකයන් තැනූ, “අමර පෙම් ලතාවේ” (‘සදහටම ඔබ මගේ’, 1973) , “පාට පොදක් තිලක ලා” (‘කස්තුරි සුවඳ​’,1974), “නිල් වන ලන්දේ – මල් මකරන්දේ” (‘මුවන් පැලැස්ස-2’,1980) වැනි ජනප්‍රිය චිත්‍රපට​ ගීත මේ දෙපළ ගේ සිනමාත්මක නිර්මාණ සඳහා නියෝජනයක් පමණි. පිළිවෙලින් පණ්ඩිත් අමරදේව, ක්ලැරන්ස් විජයවර්ධන, ප්‍රේමසිරි කේමදාස සහ ​රෝහණ වීරසිංහ යන සංගීතඥයන් විසින් පසුබිම් සංගීතය සැපැයූ​​, ‘ගැටවරයෝ (1964)’, ‘සිකුරුලියා‘ (1975) , ‘වසන්තේ දවසක්‘ (1979) ,’ආදරහසුන​’ (1986) වැනි කලාත්මක වාණිජ දෙකෙහිම සංකලනයක් ලෙස සැලැකිය හැකි චිත්‍රපට හරහා බිහි වූ ගීත වලින් ද ගීත සහිත්‍යය වඩාත් පෝෂණය විය​. තවද​, සිනමා ඉතිහාසය පිරික්සීමේ දී, ‘දෙලොවක් අතර’​(සංගීතය -පණ්ඩිත් අමරදේව, 1966, ​), ‘පරසතු මල්‘ (සංගීතය – ලයනල් අල්ගම,1966​) , ‘හංස විලක්‘ (සංගීතය-ප්‍රේමසිරි කේමදාස, 1980) , ‘දුහුළු මලක්’ (සංගීතය – සරත් දසනායක, 1976​), වැනි සම්භාව්‍ය ගණයෙ හි ලා සැලැකිය හැකි චිත්‍රපට තුළින් ධර්මසේන පතිරාජ​, මහගම සේකර, අජන්තා රණසිංහ​ නිර්මාණ දායකත්වයෙන් අර්ථ පූර්ණ, නාද පූර්ණ​ ගීත රැසක් සිනමා ගීත සාහිත්‍ය​ට එකතු වී ඇති අයුරු ද නිරීක්ෂණය වේ​.

මෙහි දී, චිත්‍රපට ගීතයේ උන්නතිය උදෙසා වික්ටර් රත්නායක (උදා: ‘හුලවාලි‘ , 1976), සෝමදාස ඇල්විටිගල (උදා: ‘බක්මහ දීගේ‘ 1969, ‘සත් සමුදුර‘ 197) , එච්.එම් ජයවර්ධන (උදා: ‘කැලෑමල්‘ 1982), ෂෙල්ටන් ප්‍රේමරත්න (උදා: ‘දස්කොන්‘, 1962) යන සංගීතවේදීන් ලබා දුන් දායකත්වය ද විශේෂයෙන් සිහිපත් කළ යුතු ය. මේ සියලුම සංගීතවේදීන් තමන් ගේ ශෛලීන් තුළ පිහිටමින් නමුදු, චිත්‍රපට සන්දර්භයට​ අනුව, ප්‍රායෝගිකත්වය සලකා බලා වෙනස් විය යුතු තැන දී වෙනස් වෙමින් යුග ගණන් රස විඳිය හැකි අග්‍රගණය නිර්මාණ රාශියක් බිහි කරන්නට කටයුතු කළ අන්දම දැකීමට නම් ඒවා එකිනෙක​ සීරුවෙන් විශ්ලේෂණය කර බැලීම අවශ්‍ය වේ​.

අප විසින් මෙහි දී සංවාදයට බඳුන් කිරීමට බලාපොරොත්තු වන “දූවිල්ලෙන් වත්සුණු තවරා” ගීතය ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේ 1993 වසරේ දී තිරගත කරන ලද​, බෙහෙවින් අනුවේදනීය කතා පුවතක් රැගත් ‘සප්ත කන්යා‘ චිත්‍රපටයෙනි. “‘මැද මාවතේ” සිනමාකරුවකු ලෙස විචාරක අභිනන්දනයට පාත්‍ර වූ, සම්මානනීය චිත්‍රපට රැසක් ක්ෂේත්‍රයට දායාද කළ​ එච්. ඩී. ප්‍රේමරත්න එසේ සිනමාවට නැගූයේ වජිර ජයසිංහ ගේ නවකතාවක් පාදක කර ගනිමින් , තලංගම ජයසිංහ විසින් ‘වියරු මුහුද​’ නමින් ‘සතුට’ පත්‍රයේ පළ කරන ලද චිත්‍ර කතාව යි. සිනමා ගීයක අර්ථය එහි චිත්‍රපටයේ කතාව හා බැඳී පවතින හෙයින් පළමුව කතාව සැකෙවින් විමසා බලමු.

චිත්‍රපටය එක්තරා පාතාල නායකයකු විසින් මෙහෙයවනු ලබන, අවන්හල් ආදී නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වලට ගොස් පික් පොකට් ගැසීම සහ​ ගණිකා වෘත්තිය සපයන​ කණ්ඩායමක සේවය කරන්නියක (සංගීතා වීරරත්න​) වටා ගෙතී ඇත​.​ ඇය මේ පාතාල නායකයා හා කලින් විවාහ වී සිටියා ය​. ඇය පසුව ඡායාරූප ශිල්පියකු (කමල් අද්දර​ආරච්චි) හා පෙමින් බැඳී විවාහ වෙයි. ඔහු හා විවාහ වී යහපත් ජීවිතයක් ගත කිරීමට​ ගන්නා උත්සාහය ද අභියෝගයට ලක් කෙරෙන්නේ පාතාල නායකයා ඇය සොයා පැමිණ බහු විවාහ කර ගත් බවට නඩු දමන බවට තර්ජනය කිරීමත් සමඟිනි. මේ අරගලයේ දී ඇය අතින් පාතාල කල්ලියේ සාමාජිකයකු ඝාතනයට ද ලක් වෙනවා ඉන් පසු. සිය සැමියා සමගින් ඈත කඳුකර ප්‍රදේශයකට පළා යනවා. ඇය ගැබිණියක වෙද්දී, ආර්ථික දුෂ්කරතා වලින් මඩනා ලදුව​, පෙර පුරුද්ද අනුව​ පැරැණි රැකියාවටම – සැමියා නිවසෙ හි නැති අතරවාරයේ දී, නගරයට ගොස් වෙළෙඳ සැල් වලින් බඩු භාණ්ඩ පරීක්ෂා කර බලන​ මුවාවෙන් සොරා ගැනීමට පෙළඹෙනවා. මේ අතර, මිනීමැරුම නිසා විමසිල්ලෙන් සිටින​ පොලීසිය ඈ සිටින ඉසව්ව පිළිබඳව​ හෝඩුවාවක් ලබා ගන්නේ ද ඇය විසින් සිදු කරනු ලබන මෙම​ සොරකම් හේතුවෙ නි. ඒවා සිදු වන්නේ එකම ආකාරයකින් වීම සැකයට තුඩු දෙන්නක් වෙනවා. පොලිස් නිළධාරීන් විසින් නිවස වටලද්දී ඉන් බේරීමට පලා යන අතරවාරයේ සප්ත කන්‍යා කඳු වැටියේ දී දරුවා බිහි කරන ඇය, දරු ප්‍රසූතියේ දී මිය යනවා. චිත්‍රපටයේ කතා සාරාංශය එය යි.

චිත්‍රපටයේ දී මේ ගීය​ අවස්ථා දෙකක දී, ගැහැණු (ධම්මිකා වල්පොල) සහ පිරිමි හඬකින් (මොරිස් විජේසිංහ​) ගැයෙනවා. ගීතය පළමු වරට ධාවනය වන්නේ සැන්දෑ වරුවක කණ්ඩායම් නායකයා (ටෝනි රණසිංහ​) තරුණියන් පිරිසක් වෑන් රියකට නංවාගෙන සුපුරුදු ජාවාරම සඳහා කොළොම්පුරය වෙත​ ගෙන යන දර්ශන පෙළක් ද සමඟයි.

ව්‍යංගාර්ථයන් බහුල පද මාලාව​ සම්පූර්ණයෙන් ම පාහේ ලියා ඇත්තේ රූපක සහ වක්ක්‍රෝක්ති භාවිතයෙන්. පද රචක වසන්ත කුමාර කොබවක මහතා ගීතය ගොඩ නඟන්නේ “මොණර කිර්ල්ලී” යන රූපකය වටා යි. එකි රූපකයෙන් නිරූපණය වන්නේ කතාවේ ප්‍රධාන චරිතය වන විලාසිනිය (දීප්ති) ගේ චරිතය යි. “මොණර කිරිල්ලී” – මෙය ඉතා උචිත යෙදුම කි. සිය වෘත්තියට අනුව ඇය මොණරියක මෙන් සැරැසී සිටිය යුතු ය​. අවිච්චියකුගෙන් ණයට ඉල්ලා ගත් ඇඳුමක් හැඳ​ මගුල් ගෙදරක ගොස් නැවැත ඇඳුම බාර නො දුන් මොණරකු ගැන ජන කතාව ද මෙහි දී සිහිපත් වේ. මොණරියක ගේ ඇඳුම් ආයිත්තම් වල විචිත්‍රත්වය ත් “මොණර කිරිල්ලී” යන යෙදුමෙහි ඇති යෝග්‍යතාවයත් එයින් ම වටහා ගත හැකි ය​. කට වහරෙහි තොරොම්බල් කරත්තයක් යැයි උපහාසාත්මක ස්වරූපයෙන් හඳුන්වන්නේ මෙසේ නෙක වර්ණ​ වස්ත්‍රාභරණයෙන් සැරැසුණු කාන්තාවන් ය.

“දූවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ
වහස් බැලුම් දෙන හැන්දෑවේ
නන් නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේෂයක්
කොඳුරාවී රහසින්
ආ ගිය උන්හිටි තැන් සඟවා”

දූවිල්ලෙන් වත්සුණු තවරා” – ව්‍යංගයෙන් කියැවෙන්නේ තරුණියන් වත්සුණු, සුවඳ විලවුන් තවරා ගෙන යතත්, මේ යන්නේ සමාජ සම්මත කාර්යයක් සඳහා නො වන බව යි.
වහස් බැලුම්” – අඩ බැල්ම / නුරා බැල්ම
නන්නඳුනනා කය මිස සිත නැති පුරවරයේ – කවුරුන් හෝ තුරුලේ” – කිසිවකු හෝ නොහඳුනන නගරයේ තමන් සමීපයට එන ඕනෑම​ පුද්ගලයකු හා ඇය මිතුරු වෙයි. ඔවුන් ද ඇය ගේ තුනු සපුව කෙරෙහි ලොල් වී එනවා හැර​, දෙදෙනා ගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමක් හෝ ආදරය , සෙනෙහස වැනි හැඟීම් වටහා ගැනීමක් දෙපාර්ශ්වයට ම අවශ්‍ය වන්නේ ද නැත​.
නිමේෂයක් – කොඳුරාවී රහසින් – ආ ගිය උන්හිටි තැන් සඟවා” – මෙසේ තමා හා කුළුපග වන කෙනෙකුට, තුරුල් වන​ කිසිවකුට සිය වතගොත හෝ ඇගේ අතීත පුවත් (ආ ගිය උන්හිටි තැන්) හෝ ඇය හෙළි කරන්නේ නැත. ඇසුර ​සුළු මොහොතකට (නිමේෂයක්) පමණක් සීමා වෙයි.

“ගිනිකඳු සිරසේ
මළපුඩු අතරේ
කැදලි සදාවී
මොණර කිරිල්ලී”

නැවතත් රූපක ආධාරයෙන් ව්‍යංගයෙන් කියන්නේ මේ තරුණිය කැදැළි සදන්නේ (විවාහ වන්නේ) එක්කෝ ඉතාමත් අවදානම් සහගත නැත්නම් ජීවයෙන් තොර​ ස්ථානයෙක බව යි. චිත්‍රපටයට අනුව නම්, මේ පද කොටසින් විශේෂයෙන්ම යම් කිසි ගැටළුවකින් පළා යාමේ මාර්ගයක් ලෙස පමණක් තෝරා ගත් පාතාල නායකයා හා සිදු වූ විවාහය ගැන කියැවෙන බවක් පෙනේ. එය ඉතා අස්ථිර තත්ත්ව යටතේ ඉතා බියකරු (ගිනිකඳු සිරසේ), ජීවයෙන් තොර වූ (මළ පුඩු අතරේ) තැනෙක​ තැනූ කැදැල්ලකි. එසේත් නැත්නම් ප්‍රේමයෙන් බැඳී වුව ඇගේ දෙවන විවාහය බහු විවාහයක අවදානම ගත්, සිදුවීම් බහුල​ විවාහයක් වූ හෙයින් එය ගිනි කන්දක් මත​ තැනූ කැදැල්ලකට ද​, පළමු විවාහය ජීවයෙන් තොර මළපුඩු අතරේ තැනූවක් බවට ද​ රූපක ආධාරයෙන් ප්‍රකාශ කළා විය හැකියි. සුනිල් ආරියරත්නයන් ලියූ “සුළං කපොල්ලේ” ගීය ද මෙහි දී මට සිහිපත් වේ. ඉන් පසුව සන්දර්භයට ගැලැපෙන එවැනි අපූරු උපමා රූපකයක් දකිනු ලැබූයේ මේ ගීයෙනි.

“රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවණැල්ලේ
සිත ඇති – කය නැති
මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන
ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී
මොණර කිරිල්ලී”

එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට (රැයකින් රැයකට කුස පිරෙනා) ප්‍රමාණවත් තරම් යමක් උපයා ගැනීම විනා, හෙට දවසක් මේ ජීවිතය තුළ ඇයට නැත​. එනමුදු, ඇය බලාපොරොත්තු සහගතව සිය පුරුදු වේශය වන මොණර කිරිල්ලියක ගේ (ගණිකාවක ගේ) වේශය හැර දමා වෙනස් ම ස්වරූපයකින් (ගුරුළු වෙසක් ගෙන) ආදරය සෙනෙහස (සිත ඇති කය නැති) ඇති මිටියාවතක් සොයා යාමට ද නො පැකිළෙන්නී ය​.
ගුරුළු වෙසක්” – මිථ්‍යා සත්තවයකු ලෙස සැලැකෙන ගුරුළා විෂ්ණු දෙවියන් ගේ වාහනය යි. මොණර වේශය හැර දමා, ලෝකයේ පැවැත්ම ලෙස සැලැකෙන විෂ්ණු දෙවියන් ගේ වාහනය වූ ගුරුළු වෙස් ගැනීම මගින් පුහු ආටෝපයන් බහුල අර්ථයක් නැති ජීවිතයෙන් මිදී, වඩා අර්ථවත් ,වගවීම් සහිත​ ජීවිතයකට එළැඹීමට ගත් උත්සාහය​ සංකේතවත් කළා විය හැකි යි.
උකුසු ඇසක් ගෙන” – මෙය ඉතා අලංකාර වක්ක්‍රෝක්තිය කි. ආදරය සෙනෙහස ඇති තැනක් සොයා යන ගමනේ දී එවැනි තැන් දැකීමට උකුසු ඇසක් – ආදරය ඇති හදවතක් හඳුනා ගැනීමේ තියුණු නුවණක් – අවශ්‍ය ය. චිත්‍රපටයට අනුව ඇය පෙමින් වෙළෙන තරුණයා හමු වන්නේ එසේ යන ගමනේ දී යි​.

මිටියාවත” – උස් කඳු මුදුන් අතර , එනම් දුෂ්කර ගමන් මාර්ගයක දී, හමුවන බාධක වලින් තොර, සරු බිම් ප්‍රදේශයකි. සාමාන්‍යයෙන් මේ යෙදුම​ සාහිත්‍යයේ දී දුක් කම්කටොළු සහිත ගමනක අවසානයේ එළැඹෙන​ සහනදායී කාල සීමාවක් සංකේතවත් කිරීම සඳහා භාවිතා වෙයි. ඒ නිම්න භූමියේ දී ඈ තුළින් පැරැණි මොණර වේශය හෝ වහස් බැලුම් හෝ දකින්නට නො ලැබේ.

අවසානයේ දි එළැඹෙන්නේ ගීතයේ උච්ඡතම අවස්ථාව යි;
“සැඩ සුළඟේ
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන් කිරි කඳුලේ
සිහින දකීවී මොණර කිරිල්ලී
සිහින දකීවී මොණර කිරිල්ලී
සිහින දකීවී මොණර කිරිල්ලී
සිහින දකීවී මොණර කිරිල්ලී”

ඒ විවාහය තුළ දී ද ඇය අනේක විධ ව්‍යසනයන්ට පත් වීම ප්‍රකාශ කෙරෙන්නේ බෙහෙවින් කාව්‍යාත්මක යෙදුම් අනුසාරයෙන්. ඇය මෙවර කැදැලි සදන්නේ අතු වලින් බර වූ සුවිසල් තුරු මුදුනක වුවත්, සැඩ සුළඟට හසු වන ගස මුල් ඉදිරී බිම වැටෙයි. මිය යන්නට පණ අදින අවසාන මිනිත්තුවේ දී පවා සිහින දැකීමේ මනුෂ්‍ය ස්වභාවය අනුව​, ඉදිරී වැටෙන ගස මුදුනත තැනූ කැදැල්ලේ සිට මෙසේ තවමත් සිය නූපන් බිළිඳා (රන් කිරි කඳුලේ) ගැන සිහින දකියි. නමුත්, අවසානයේ දී එය ද​ තවමත් නො එළැඹුණු දවසක් (නූපන් දවසේ) ගැන සිහිනයක් ම පමණක් වෙයි. චිත්‍රපටයට අනුව පද වැලෙහි මේ අවසාන කොටස, ඇය සිය දෙවන විවාහය තුළ දී මිනී මැරුමකට හසු වීම, පොලීසිය ලුහු බැඳීම, සැමියා සමගින් පලා යාම සහ ඒ අතරවාරයේ දී ගැබිණියක වීම අනුව පහසුවෙන් ගලපා ගත හැකිය​.

ගේය කාව්‍යයක් රචනා කිරීම​, පද්‍ය කාව්‍යයක් රචනා කිරීමට වඩා අසීරු වන්නේ විනාඩි තුනක දී ගයා නිම කළ හැකි වන සේ අවම වචන සංඛ්‍යාවකට නිර්මාණය සීමා කළ යුතු බැවිනි. එහිදී නිර්මාණයේ කාව්‍යාත්මක ගුණය රඳා පවත්වා ගැනීම නිර්මාණකරු සතු දක්ෂතාවය අනුව තීරණය කරනු ලබනවා. චිත්‍රපට ගීතයක දී නම්, කතාවට අනුව රචනා කළ යුතු හෙයින් ගේය පද රචකයාට තව දුරටත් සීමා පැනැවී , කාර්යය වඩාත් අභියෝගාත්මක වෙනවා. මොණර කිරිල්ලී ගීතය වඩාත්ම පැසසුමට බඳුන් කළ යුතු වන්නේ මෙතැනදි යි. මේ සියලු අභියෝග ජය ගනිමින්, සමස්ත චිත්‍රපට කතාව ම එක මිටකට​ කැටි කොට දැක්වීම තුළ යි. ගීතයක දී රූපක වලින් කළ හැකි බලපෑම කෙබඳු ද යන්න පිළිබඳව කදිම උදාහරණයක් ද​ මේ ගීතයෙන් සැපයෙනවා. සමස්ත ගීතයම රුපකයක් වී තිබීම ද මෙහි තවත් විශේෂත්වය කි. චිත්‍රපට ගීතයක් තුළින් මුළු කතාවම එකට කැටි කළ​ අවස්ථාවන් ලෙස “රන් කෙන්දෙන් බැඳ” (‘දුහුළු මලක්’, පද රචනය – අජන්තා රණසිංහ​) , “තොලින් තොලට වෑහෙන ගී සින්දූ” (‘පරසතු මල්’ , පද රචනය – මහගම සේකර​) මඟේ මතකයට නැගෙයි. ගීතය චිත්‍රපට සන්දර්භය තුළ බහා විමසීමෙන් අර්ථය වටහා ගැනීම පහසු වන නමුදු, චිත්‍රපටය නො බැලූව ද​, විවේක බුද්ධියත් අවට​ සමාජය ගැන සහජ ඉවත් ඇත්නම් මේ ගීත​වල​ අර්ථය වටහා ගැනීම එ තරම් අපහසු විය යුතු නැත​​.

මා පෞද්ගලිකව වඩා ප්‍රිය කරන්නේ මොරිස් විජේසිංහ​ මහතා ගායනා කරන ගීතය යි. චිත්‍රපටයේ සමස්ත කතා තේමාව හා හොඳින් පෑහෙන රෝහණ වීරසිංහ මහතා ගේ තනු සහ සත්සර මුසුව සමග එක් වන භාව පූර්ණවූත්, ධ්වනිපූර්ණවූත් ඔහු ගේ ගායනය පද වැලෙහි ජීව ගුණය වැඩි කරවනවා. සංගීතය නිර්මාණය කර ඇත්තේ ගීතය පළමුව වාදනය වන අවස්ථාවට එනම්, තරුණියන් වෑන් රියකට නංවාගෙන කොළොම්පුරය වෙත ගෙන යන අවස්ථාවට උචිත වන පරිදි තරමක වේග රිද්මයක් සහිතව යි. එ තුළින් විද්‍යාමාන වන්නේ බටහිර ආරේ ලකුණු. වෑන් රථයෙන් නගරයට යන ගමනේ රිද්මය පවත්වා ගන්නා අතරේ දී ප්‍රධාන චරිත නිරූපණය කරන ජීවිත වල ඇති සිදුවීම් බහුල බව​, යම් ඛේදවාචකයක සළකුණු ප්‍රකාශයට පත් කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. පසුබිමෙන් “ඔක්ටපෑඩ්” වැනි භාණ්ඩයක හඬ ඇසෙන නමුදු, රස වින්දනයට බාධාවක් නො වන මට්ටමක එම​ වාදනය පවත්වා ගැනීමට වග බලාගෙන ඇත​. හැරත් එය ආගන්තුක වාදනයක් නොවී ගීතයත් සමඟ​ එකටම පෑහී ගලා යන ලෙස මුසු කර ඇති “ඔක්ටපෑඩ්” වාදනය කි. “සැඩ සුළෙඟේ – මුල් ඉදිරී යන​ ගස මුදුනේ” යනුවෙන් පටන් ගන්නා අවසාන පද කොටසට එළැඹීමට පෙර එන අතුරු වාදනයේ දී රිද්මය තරමක් වෙනස් වන (වැඩි වන) ආකාරය කෙරෙහි අවධානය යොමු කරන්න​. එමගින් අනුවේදනීය කතා පුවතක අවසානය වඩාත් තීව්‍ර කර දැක්වීමට​ රෝහණ වීරසිංහයන් සමත් වෙනවා​. “සිහින දකීවී මොණර කිරිල්ලී” යන පද කොටස පුනරුක්තියක් සහිතව ගැයීම හරහා, අසන්නා තුළ කම්පනයක් සහ කරුණා රසයක් ජනිත කරවමින් මතු එළැඹෙන ඛේදාන්තය ගැන නරඹන්නන්හට පූර්වයෙන් ම ඉඟි කරන්නට කටයුතු කර ඇති අයුරු ප්‍රශංසනී ය යි.

සිංහල ගීතය ගැන විශේෂ උනන්දුවක් ඇති , විවිධ වකවානුවල ගීත අසා හුරු පුරුදු අයකුට​, 90 ගණන් වල මුල පටන් ගීත ආකෘතියෙ හි, විශේෂයෙන්ම තනු සහ සංගීත රචනය තුළ එතෙක් පැවැති හුරු පුරුදු ශෛලියෙන් බැහැරව​, වෙනස් ම ශෛලියක් අනුගමනය කිරීමේ නැඹුරුවක් දැකිය හැකිය​. මේ ශෛලිය කුමක් දැයි යන්න ගැන සාමාන්‍ය අවබෝධයක් හැර නිශ්චිත අර්ථ දැක්වීමක් දීමට අපොහොසත් වෙමි​. නමුත් පැහැදිලි වෙනසක් දැනේ.​ සප්ත කන්‍යා චිත්‍රපටයේ එන “දූවිල්ලෙන් වත්සුණු තවරා” , “උන්මාද වූ ප්රේමාදරේ” සහ “සුවඳ දැනී දැනී දැනෙනවා” යන ගීත ත්‍රිත්වයෙහි දී ම​ මේ නැඹුරුව මැනැවින් විද්‍යාමාන වෙයි.එම ශෛලිය ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ භාතිය – සන්තුෂ් ගායක දෙපළ විසින් වන අතර,​ ප්‍රවීණ සංගීතඥයන් අතුරෙන් මෙකී ආරෙහි ගීත නිර්මාණය කිරීම​ පළමුව අරඹන ලද්දේ රෝහණ වීරසිංහ මහතා විය යුතු බව කාලාන්තරයක් තිස්සේ මගේ සිතේ තිබෙන කුකුස කි. ඒ කෙසේ වුවත්, මේ නවතම ශෛලිය භාවිතා කළ මුල් කාලයේ දී වීරසිංහ මහතා අතින් ​ සාර්ථක ගීත නිර්මාණ බිහි විය​. පසු කාලීනව ඔහු ගේ ගීත බෙහෙවින් ඒකාකාරී ස්වභාවයක් ගත් බව ද පැවැසිය යුතු ය​.

1993 වසරේ දී තිරගත වූ ‘සප්ත කන්යා‘ චිත්‍රපටයෙන් පසුව මතකයේ රැඳෙන ගීතයකට හමු වන්නේ ඒ ආසන්න කාල වකවානුවේදී ම තිරගත වූ ‘ගුරු ගෙදර​’ (සංගීතය​ – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස,1994​) චිත්‍රපටයේ එන “මගේ මද්රි නම් බිසෝ ගේ” ගීතය යි. නමුත්, එය කේමදාසයන් ගේ නැවුම් නිර්මාණයක් නොව පැරැණි නූර්ති ගීයක ප්‍රති-නිර්මාණයකි. අතරින් පතර බිහි වූ, ‘කෙළි මඩල’ (1992), ‘කුලගෙය’ (1993), ‘පුරහඳ කළුවර’ (2001) සහ ‘අග්නි දාහය‘ (2002) වැනි චිත්‍රපටයක් හැරුණු කොට​ ඉන් පසුව එක දිගටම පාහේ චිත්‍රපට​ නමින් නිර්මාණය වූයේ “අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි” ශීර්ෂය​ යටතේ බිහි වූ කාම රැල්ල කි. ඒ තුළ​, නිර්මාණශීලී ලක්ෂණ ප්‍රකට කළ ගීතයක් නො ඇසුණු තරම් විය​. 70 දශකයේ දී ඉන්දියානු අනුකාරක වලින් මුදවා ගත් සිනමා කර්මාන්තය 80 සහ 90 දශක වල දී තව දුරටත් මුහුකුරා ගොස්, පරිණත භාවයට ළඟා වීමෙන් අනතුරුව, එහි අවගමනය ඇරැඹීමට පෙරාතුව​, තිරගත වූ චිත්‍රපටයක් ලෙස සප්ත කන්‍යා හැඳින්වීමෙ හි වරදක් නැතැයි සිතමි.’ ඒ අනුව​,​ සිත රංජනය කිරීමෙ හි සමත් හෙළ සිනමා ගීත සාහිත්‍යයක අවසානය ‘සප්ත කන්යා‘ විත්‍රපටයත් සමඟ ම​ සටහන් වූවා ද?

– අමා නයනාදරී සිරිවර්ධන​
08-04-2020

පසු සටහන​: |
——————-
දක්වා ඇති තොරතුරු වල සදොස් තැනක් ඇත්නම් එය කාරුණිකව පෙන්වා දෙන මෙන් මේ ලිපිය කියවන​ සියලුම​ සහෘදයින් ගෙන් ඉල්ලා සිටින අතර​, මෙහි දක්වා ඇති මතවාද වලට විරුද්ධ අදහස් වලට සහ සංවාදයට විවෘත බව ද විශේෂයෙන් සඳහන් කරනු කැමැත්තෙ මි.

වෙනත් සමූහයක මේ ලිපිය ගැන​ කෙරුණු සංවාදයක දී මතු වූ කරුණු අතර​​, 90 දශකයේ දී ලංකාව පුරා පැතිර ගිය කාම චිත්‍රපට රැල්ලට අමතරව , ළමා සහ විකට චිත්‍රපට රැල්ල ගැන ද සඳහන් විය​. ‘සෙයිලම’ (1993) චිත්‍රපටය ද මා අතින් මඟ හැරී තිබීම විශාල වරදකි. ජන ගී ආශ්‍රයෙන් රෝහණ වීරසිංහ මහතා තැනූ “මේ කොයි යන්නේ රයිගම් යන්නේ” වැනි අතිශය නිර්මාණාත්මක ලක්ෂණ ප්‍රකට කළ ගීතයක් හමුවන්නේ ‘සෙයිලම​’ චිත්‍රපටයෙන්.

මොරිස් විජේසිංහ මහතා ගායනා කරන ගීතය මෙතැනින්:

ධම්මිකා වල්පොල මහත්මිය ගායනා කරන ගීතය මෙතැනින්:

විත්‍රපටයේ කතාව ගැන සවිස්තරාත්මක සටහනක් සහ චිත්‍රපටය ගැන විවේචනාත්මක විග්‍රහයක් මෙතැනින්:

http://www.sarasaviya.lk/films-local/2019/01/10/2149/%E0%B6%8B%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF-%E0%B7%80%E0%B7%96-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BB%E0%B7%9A-%E0%B7%83%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F?fbclid=IwAR0rNt7MxwschyeWjM0htXoH88stBJEsFsqhRmQtzKoNe4NBnqnZuOmCWBU

Design a site like this with WordPress.com
Get started