1930 – 40 වකවානුව මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ පෙරැළියක් ආරම්භ වූ වසර ලෙස හැඳින්විය හැකි ය. ස්වතන්ත්‍ර ගීතය ගැන සංවාදය කරළියට පැමිණ තිබූ එය , අනුකාරක ගීයෙන් ඈත් වී ස්වීය ගීත සම්ප්‍රදායයක් සොයා ගිය සංක්‍රාන්ති සමයකි. සංගීතය හැදෑරීමට ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගිය අනන්ද සමරකෝනුවන් නැවත සියරට පැමිණ සිටියේ ය. අතරින් පතර වෙනස් මඟක් ගත් ගීත බිහි වුණ ද, එතෙක් මෙරට ජනතාව සංගීතය ලෙස හඳුනාගෙන සිටියේ ඉන්දියානු සංගීතය අනුකරණයෙන් සකස් කර ගත් සිංහල ගීත යි. ඒ ගීත ද බොහෝ විට කලාත්මක ගුණයෙන් අඩු, බෞද්ධ සාහිත්‍යයේ එන කතා වස්තූන් ඒ අකාරයෙන්ම වාර්තා කෙරෙන බොදු බැති ගී වලට සීමා වී තිබිණ. රබීන්ද්‍ර සංගීතය හඳුන්වා දුන් ථාගෝර් තුමා ගේ දැක්ම ශ්‍රී ලාංකීය සංස්කෘතික අනන්‍යතාවයට ගැලපෙන ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගත් සමරකෝනුවන්, මෙරට ජන සංගීතයේ හැඩහුරුකම ඇති දේශජ ලක්ෂණ ඇති සංගීතයක් බිහි කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණේ ය. කලාත්මක ලක්ෂණ වැඩි වශයෙන් ප්‍රකට කළ ප්‍රේම ගීත ,දේශාභිමනී ගීත වඩ වඩාත් සිංහල ගීතයට එක් වීම ඇරැඹුණේ සමරකෝනුවන් ගේ මේ උත්සාහය සමඟිනි.
ඒ වනවිට ලංකා ගුවන්විදුලි සේවයේ (Radio Ceylon) පරිපාලන කටයුතු මෙහෙයවනු ලැබුයේ බීබීසී අයතනයෙන් මෙරට පැමිණි පිරිසක් විසිනි.සිංහල ගීත සහ වැඩසටහන් ප්‍රචාරය වූයේ අඩුවෙනි. ගුවන්විදුලි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජෝන් එෆ්. ලැම්ප්සන් මහතා ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ ඇති වෙමින් තිබූ පෙරැළිය හා සමගාමීව, ගුවන් විදුලිය ද දේශීය සංස්කෘතිය හා ජන මනසට සමීප කරවීම පිණිස කටයුතු කිරීමට විශේෂ උපදේශක සභාවක් පිහිටුවන ලදී. එම උපදේශක සභාවේ සභාපති ලෙස ලැම්ප්සන් මහතා විසින් අප කථානායක මාපටුන ගේ ජේම්ස් පෙරේරා නොහොත්, එම්. ජේ පෙරේරා මහතා පත් කරනු ලැබෙන්නේ එතුමා ප්‍රථම පන්තියේ සිවිල් සේවකයකු ලෙස රාජ්‍ය සේවයේ යෙදී සිටියදී යි.
ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් බිහි වීමට මඟ විවර කළ බවට අදටත් කියැවෙන යූ. ඒ.එස් පෙරේරා මහතා හෙවත් සිරි අයියා ගේ ළමා උයන වැඩසටහනට දිරි දෙමින්, සතියේ සෑම දිනකම සවස් කාලයේ ප්‍රවීණ නිවේදක නිලධාරීන් කිහිප දෙනෙකු ගේ මෙහෙයවීම යටතේ ටොරිංටන් චතුරස්‍රයේ නව ගොඩනැගිල්ලේ සිට, විවිධ විචිත්‍රාංග වලින් යුතුව ප්‍රචාරය කිරීමට ආරම්භ කරන ලද්දේ ඒ අවධියේ එතුමා ගේ මඟ පෙන්වීම යටතේ ය.
ගුවන් විදුලියේ ප්‍රථම ලාංකික අධ්‍යක්ෂ ජනරාල් ලෙස

පසුව, ගුවන්විදුලියේ ස්වදේශීය අංශයේ සහාය අධයක්ෂකවරයකු ලෙසත්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කළ එතුමා, ජෝන් ලැම්ප්සන් ගේ ගේ ධුර කාලය නිමාවත් සමඟ, 1952 අප්‍රේල් පළමු වැනිදා, ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් වුයේ ඒ තනතුරට පත් ප්‍රථම ලාංකිකයා ලෙස යි. 1952 වර්ෂය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අදාළව වැදගත් සිදුවීම් දෙකක් වූ බව කියැවේ. ඉන් පළමුවැන්න නම් රජයේ සංගීත විද්‍යාලය පිහිටුවීම ය. දෙවැන්න දේශීය සංස්කෘතිය කෙරෙහි ඇල්මක් දැක් වූ සිවිල් සේවක එම්.ජේ පෙරේරා මහතා ගුවන්විදුලි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත් වීම ය. ගුවන්විදුලියේ දේශීය මුහුණුවර ගැන්වීම සඳහා ලැම්ප්සන් මහතා ගේ කාලයේ දී ස්ථාපිත කරන ලද කොමිසම් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදු වුණේ එම්. ජේ. පෙරේරා මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී බව ගුවන් විදුලි ඉතිහාසය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යයි.
මූලාශ්‍රය වලට අනුව, භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රතන් ජන්කර් පඬිතුමා ගේ පළමු ලංකාගමනය සිදු සිදු වූ බවට වාර්තා වන්නේ ජෝන් ලැම්ප්සන් මහතා ගේ ආරාධනාවකට අනුව 1949 දී යි. එම ගමනේ දී ගුවන් විදුලි සංගීත ක්ෂේත්‍රයේ වර්ධනයට රතන් ජන්කර් පඬිතුමා විසින් ලබා දුන් නිර්දේශයන් වන; සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා සඳහා සංගීත අංශ පිහිටුවීම, ශාස්ත්‍රීය, සරල හා ජන ගී සම්ප්‍රදායයන් ජනතාව ගේ රස වින්දනයට යොමු කිරීම, පරීක්ෂණ පවත්වා සුදුසු ශිල්පීන් බඳවා ගැනීම, ගුවන්විදුලියට ස්ථිර වාදක මණ්ඩලයක් බඳවා ගැනීම යන නිර්දේශ ක්‍රියාත්මක කරන ලද්දේ එම්.ජේ. පෙරේරා මහතා විසිනි.
ගුවන්විදුලියේ සංස්කෘතිමය වශයෙන් ඇති කරන ලද මේ පෙරැළියේ දී සහාය පිණිස සිය සරසවි සගයන් වූ එදිරිවීර සරච්චන්ද්‍ර සහ ඩී. ජී. දයාරත්න යන දෙදෙනා ද හවුල් කර ගත්තේ ය. මේ දෙදෙනා ද එම්.ජේ පෙරේරා මෙන්ම, බටහිරට නැඹුරුව සිටි ලංකා විශ්ව විද්‍යාලය දේශීයකරණයට කටයුතු කළ, සිංහල භාෂාව සහ සිංහල සංස්කෘතික පුනර්ජීවනය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කරන ලද මහාචාර්ය ගුණපාල මලලසේකර අනුදත් මඟ ගත් අය වීම නව අධ්‍යක්ෂ ජනරාලවරයාට සිය කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මහත් පිටිවහලක් වූවාට සැක නැත.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා දක්වා සිටින පරිදි, ලංකා ගුවන් විදුලිය මඟින් කරන ලද ප්‍රථම ශාස්ත්‍රීය කටයුත්ත වන්නේ ගැමි සංගීතය , ජන සංගීතය පිළිබඳව පර්යේෂණ ඇරඹීම යි. එම්. ජේ. පෙරේරා පාලන සමයේ දී එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ යෝජනාවක් අනුව, ජන ගායනා එක් රැස් කිරීමට කමිටුවක් ද පත් කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශ මත ගමින් ගමට ගොස් ජන ගායනා එක් රැස් කිරීමේ කාර්යයේ දී, අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස. එම්. ජේ. පෙරේරා ඒ සඳහා සරච්චන්ද්‍රයන් ඇතුළු කමිටුවට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කළා පමණක් නොව, එම ගමන් සඳහා සහභාගී වූ බව ද සඳහන් වෙනවා. මෙසේ ගමින් ගමට ගොස් එක් රැස් කරන ලද ජන ගායනා විරිදු , ජන කවි , ජන ගීත වශයෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරීමට කටයුතු කෙරුණි.
ගුවන් විදුලි රංග කාව්‍ය සම්ප්‍රදායක් ඇති කිරීම ද එම්.ජේ. පෙරේරා සහ සරච්චන්ද්‍ර එකතුවේ තවත් වැදගත් කාර්යභාරයකි. පළමුව ගුවන්විදුලි ගීත නාටක ලෙස බිහි වී පසුව වේදිකාගත කෙරුණු, ‘පෙමතෝ ජායතී සෝකෝ’ (1955), ‘රත්තරන්’ (1954), ‘සත්ත්ව කරුණාව’ එසේ ලංකාවේ දුෂ්කර ගම්මාන වලට ගොස් එක් රැස් කරන ලද ජන ගී පර්යේෂණවල අතුරු ඵලයන් බව මහාචාර්ය කාරියවසම් මහතා දක්වා සිටී. ගුවන්විදුලි නාට්‍ය මුද්‍රිත මාධ්‍යයකින් පළ කිරිම අරමුණු කර ගනිමින් ‘තරංගනී’ නමින් විශේෂ ගුවන්විදුලි සඟරාවක් ආරම්භ කිරීම ද එම්. ජේ පෙරේරා යුගයේ දී සිදු වූ තවත් වැදගත් කාර්යයකි. ගුවන්විදුලි ගීත නාටක පමණක් නොව, ගැමි ගී සංරක්ෂණය කිරීමේ පියවරක් සේම පොදු ජනතාව අතරෙහි ව්‍යාප්ත කිරීමේ පියවරක් ලෙස ද, ජන ගී පර්යේෂණයන් හි මුල් පිටපත් ද ‘තරංගනී’ සඟරාව හරහා පළ කිරීමට කටයුතු කිරීම ද සිදු කෙරිණ.
එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ගුවන් විදුලි මාධ්‍යය ගැන අවබෝධයක් ඇති උගතුන් ද සහාය කරගෙන ‘ශාස්ත්‍රීය සංග්‍රහය’ වැනි වැඩසටහන් ආරම්භ කළේ එම්. ජේ. පෙරේරා මහතා ය. නාඩගම් ගීත රචකයින්, වාදකයින් , ශාස්ත්‍රාභිලාශී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශාස්ත්‍රීය සංග්‍රහයට ගෙන ඒම හරහා රට පුරා විශාල ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කෙරුණු අතර, ගුවන් විදුලි රසිකයන් ගේ රස වින්දනය උසස් තලයකට ගෙන ඒම අරමුණු කොට ගෙන, සරච්චන්ද්‍ර නිර්දේශ අනුව ගුවන් විදුලි වැඩසටහන් ඉහළ ප්‍රමිතියකට ගෙන ඒමට කටයුතු කළේ ද ඒ මහතා විසිනි.
එම්. ජේ. පෙරේරා මහතා ගේ සේවය පිළිබඳව ඇගැයීමකට ලක් කරන ආචාර්ය දයාරත්න රණතුංගයන්, 1952 එතුමා ගේ අධීක්ෂණය යටතේ එවකට සරල ගී වැඩසටහන් මගින් ප්‍රචාරය වූ හින්දි දෙමළ තනු ආශ්‍රිත සිංහල ගීත වෙනුවට, ශ්‍රී ලංකාවේ ජන සංගීතය හා රාගධාරී සංගීතය ඇසුරු කරගෙන ශ්‍රී ලාංකික සංකෘතික අනන්‍යතාවය පිළිබිඹු වන සේ සිංහල ගීත නිර්මාණ ඉදිරිපත් කළ යුතු බව ශිල්පීන් දිරි ගන්වමින්, එදිරිවීර සරච්චන්ද්‍ර දැක්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව කියා සිටියි. පසුව, සංගීත අංශයේ මෙම එදිරිවීර සරච්චන්ද්‍ර දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ලයනල් එදිරිසිංහ, පී ඩන්ස්ටන් ද සිල්වා, මඩවල එස්. රත්නායක ද, ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ඔස්සේ පී. වැලිකල ද බඳවා ගැනීමට කටයුතු කෙරෙන්නේ ද එම්.ජේ. පෙරේරා ගේ මැදිහත් වීමෙනි. තවද, ගුවන්විදුලියේ ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කර රසික සිත් විෂය ඥානයෙන් පිරවීමට කටයුතු කිරීම මෙන්ම, සරල වින්දනයෙන් රසික ජන මන පහන් කිරීම උදෙසා ‘මාසික රැඟුම’ , ‘විනෝද සමය’ වැනි වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු කරන ලද්දේ ද ඒ මහතා ගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ ය.
නිදහස ලැබීමත් සමග ඉදිරියට ගිය සංස්කෘතික පුනරුදයට සමගාමීව ඒ සඳහා සක්‍රීය ලෙස දායක වෙමින්, සිව් වසරකට වැඩි කාලයක් ගුවන් විදුලි මාධ්‍යය වෙත දායකත්වයක් ලබා දුන්, එම්. ජේ. පෙරේරා මහතා 1956 දී රාජ්‍ය භාෂා දෙපාර්තමෙන්තුවේ පත්වීමක් ලැබ ගුවන් විදුලියෙන් සමුගත්තේ ය.
පරිපාලන නිලධාරියකු ලෙස
ගුවන්විදුලියෙන් සමුගැනීමෙන් පසු රාජ්‍ය භාෂා දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් (1956) , සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක (1959) , රජයේ ලලිත කලා විද්‍යාලයෙහි වැඩබලන අධ්‍යක්ෂක (1960), අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් (1963 -1968) , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, උප කුලපති (1968), ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය සභාපති (1969) , රජයේ පොහොර නිෂ්පාදන සංස්ථාවේ සභාපති (1970) සහ රජයේ පුස්තකාල සේවා මණ්ඩල යේ සභාපති (1981 – 1982) වශයෙන් තනතුරු ගණනාවක් හොබවන එම්.ජේ. පෙරේරා මහතා ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයකු වශයෙන් 1981 දී නැවතත් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙනවා.
රුපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපති
1982 දී, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපති ලෙස එම්. ජේ පෙරේරා මහතා පත්වීම් ලබන්නේ, 67 වන වියෙහිදී යි. දක්ෂ, ක්‍රියාශීලී නායකයකු වූ එම්. ජේ. පෙරේරා, රුපවාහිනී සංස්ථාවේ සේවය කළ පස් වසරක කාල පරිච්ඡේදය එහි ස්වර්ණමය යුගය බැව්, එහි ආරම්භක අවධියේ දී අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ නාට්‍යවේදියකු වන හෙන්රි ජයසේන මහතා ප්‍රකාශ කරයි. රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා සියලු පහසුකම් වලින් යුතු මැදිරියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම, මුනිදාස කුමාරතුංග , මාර්ටින් වික්‍රමසිංහ, පී.බී අල්විස් පෙරේරා, රැපියෙල් තෙන්නකෝන්, පියදාස සිරිසේන ආදී සාහිත්‍යධරයන් ගේ කෘති ඇගැයීම සඳහා ‘පිය සටහන්’ නමින් වැඩසටහනක් ආධ්‍යපනය ලබන දරු දැරියන් ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කිරීම සහ යෞවන යෞවනියන් ගේ කුසලතවන් හඳුන්වා දීම උදෙසා ‘ප්‍රතිභා” නමින් යොවුන් වැඩසටහනක් ආරම්භ කිරීම වැනි කටයුතු රැසක් සිදු කෙරුණේ එම්. ජේ. පෙරේරා මහතා ගේ අධීක්ෂණය සහ අනුග්‍රහය යටතේ යි.

තමා විසින් කෝකිලදේවී වීරතුංග, එම්.කේ වින්සන්ට්, වසන්තා සන්දනායක, ඒ.එම්.යූ. රාජ්, නෝනා සුබෙයි දා ආදී ටවර් හෝල් යුගයේ කලාකරුවන් ගේ සේවය අගයනු වස් ‘සම්මානි’ නමින් වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ ද එතුමා ගේ අනුග්‍රහයෙන් බව හෙන්රි ජයසේනයන් කියා සිටී. ජයසේන මහතාට අනුව, 80 දශකය මැද භාගයේ දී ඉහළ ප්‍රමිතියකින් යුතු වේදිකා නාට්‍ය ජනතාව අතරට ගෙන යාමේ සහ ඒවා මුල් කාලීන නළු නිළියන් ගේ රඟපෑම් සහිතව අනාගත පරපුරට ද දායාද කිරීම උදෙසා සංරක්ෂණය කිරීමේ අරමුණ ද ඇතිව, රූපවාහීනි පටිගත කිරීම් සහ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ ද සිය යෝජනාවක් අනුව, එම්. ජේ පෙරේරා මහතා ගේ අනුග්‍රහයෙනි. ප්‍රථමයෙන් හෙන්රි ජයසෙනයන් ගේ ‘හුණුවටයේ කතාව’ පටිගත වූ අතර, ඉන් පසුව, එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ ‘වෙස්සන්තර’, ‘කදා වළලු’, ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘රත්තරන්’ සහ ‘වෙල්ලවැහුම්’ යන වේදිකා නාට්‍ය ද, බන්දුල ජයවර්ධනයන් ගේ ‘බෙර හඬ’ , ඩබ්ලිව්. බී. මකුලොලුව මහතා ගේ ‘දෙපානෝ’ , ආර්. ආර්. සමරකෝන් මහතා ගේ ‘කැළණි පාළම’ සහ ‘අහසින් වැටුණු මිනිස්සු’ , රංජිත් ධර්මකීර්ති මහතාගේ ‘අංගාරා ගඟ ගලා බසී’, ජයලත් මනෝරත්නයන් ගේ ‘පුත්‍ර සමාගම’, ෆීලික්ස් ප්‍රේමවර්ධනයන් ගේ ‘කළුවරෙ ජරමරේ’ සහ හෙන්රි ජයසේනයන් ගේ තවත් නාට්‍ය ද්විත්වයක් වන ‘ජනේලය’ සහ ‘තවත් උදෑසනක්’ රූපවාහීනී ප්‍රෙක්ෂක වින්දනය උදෙසා පටිගත කර සංරක්ෂණය කෙරිණ.
විවේචන…
දේශීය සංස්කෘතිය කෙරෙහි ඇල්මක් දැක් වූ එම්.ජේ පෙරේරා මහතා ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ සංස්කෘතික පුනරුදයක් ඇති කිරීමෙහි ප්‍රබල කොටස්කරුවකු බව උගත්, වියත් කලාකරුවන් ගේ පිළිගැනීමට ලක් වුවත්, සියලු දෙනා ගේ ප්‍රසාදය එතුමාට දිනා ගත නො හැකි වූ බවක් ද තොරතුරු මූලාශ්‍ර විමසා බැලීමේ දී අපට පෙනී යයි. “ජනප්‍රිය ලක්ෂණ රැගත් සුභාවිත ගීතයේ උපත” යන මැයෙන් ‘හඬ’ ඔක්තෝබර් – දෙසැම්බර් (2013) කලාපයට මාධ්‍යවේ දී ෂෙල්ටන් වීරරත්න මහතා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ උපදේශකත්වය යටතේ ගුවන්විදුලි වැඩසටහන් ප්‍රමිතිකරණයකට ලක් කිරීමට ගත් උත්සාහයේ දී ගුවන්විදුලියේ කල්ලිවාදයක් ගොඩ නැගුණු සැටිත්, එම කල්ලිවාදය හරහා ජනප්‍රිය සහ බටහිර සංගීත ඇසුර ලත් එහෙත්, උසස් සුභාවිත ගීත ලක්ෂණ පෙන්නුම් කළ ගීත ප්‍රමිතිකරණය නමින් වාරණය වූ ආකාරයත් , එ මඟින් එම ගී නිර්මාණ බිහි කිරීමට දයක වූ ශිල්පීන්ට අසාධාරණයක් වූ සැටිත් විස්තර කරමින් ලිපියක් සටහන් තබමින් පැහැදිලි කරයි.
ෂෙල්ටන් වීරරත්න මහතාට අනුව , එම්.ජේ පෙරේරා මහතා මාධ්‍ය ක්ෂේත්‍රයට නවකයකු වූ තමා ගේ සහායට සිය සරසවි මිතුරන් වන එදිරිවීර සරච්චන්ද්‍ර සහ ඩී.ජී දයාරත්න යන දෙදෙනා උපදේශක තනතුරෙහි තබා ගනිමින් කටයුතු කර තිබේ. ඉන් පසු ගුවන්විදුලි සේවයේ සියලු කටයුතු මෙහෙයවීම මේ තිදෙනා ගේ සැලැසුම් සහ අධීක්ෂණය යටතේ සිදු වූ බව වීරරත්න මහතා කියයි. ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයේ සංගීත උපාධියක් ලැබූ පී. ඩන්ස්ටන් ද සිල්වා සිංහල සංගීත වැඩසටහන් භාර නිලධාරී (1954 දී) තනතුරටත්, රජයේ සංගීත විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවයේ යෙදී සිටි , ලයනල් එදිරිසිංහ ගුවන්විදුලි සේවයේ සංගීතමය කටයුතු සියල්ලෙහි අධීක්‍ෂක තීරකයා ලෙසත් කටයුතු කිරීමට බඳවා ගැනුණේ මේ තිදෙනා ගේ සැලැසුම් අනුව යි. මේ පිරිස “භාත්කණ්ඩ කල්ලිය” නමින් හැඳින්වුණු බව කියැවේ. මෙරට ගුවන් විදුලි සංගීත ශිල්පීන් වර්ගීකරණය සඳහා මහාචාර්ය රතන් ජංකර් පඬිතුමා 1952 දී නැවත මෙරටට පැමිණෙන්නේ එම්.ජේ පෙරේරා – එදිරිවීර සරච්චන්ද්‍ර – ඩී.ජී දයාරත්න යන ත්‍රිත්වයේ ආරාධනයෙනි. ෂෙල්ටන් වීරරත්න මහතාට අනුව, මහාචාර්ය රතන් ජංකර් මෙරටට කැඳවීමේ යටි අරමුණක් වූයේ, භාත්කණ්ඩ පිරිස ගුවන් විදුලිය තුළ මෙහෙයවන ලද අධිපතිවාදයට මහත් බාධාවක් වූ ‘පල්ලියේ සංගීතකාරයා’ ලෙස ඔවුන් විසින් පරිභවයට ලක් කරන ලද, සුනිල් සාන්තයන් ගුවන් විදුලියෙන් ඉවත් කිරීම බවට ෂෙල්ටන් වීරරත්න මහතා චෝදනා කරයි. මේ අයුරින්ම ජනප්‍රිය ගීතයේ පුරෝගාමියකු ලෙස සැලැකෙන , ලංකා ගුවන් විදුලියේ සංගිත අංශයේ ජ්‍යේෂ්ඨ වැඩසටහන් සහායක තනතුර හෙබ වූ, බී.එස්.පෙරේරා ප්‍රමුඛ ඔහු ගේ රිද්ම රටාව අනුගමනය කළ පී.එල්.ඒ. සෝමපාල, එච්.එඩ්වඩ් පෙරේරා වැනි ශිල්පීන්හට ද අසාධාරණයක් සිදු වූ බව ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල මහතා ද ‘දිවයින’ පුවත්පතට ලිපියක් ලියා තබමින් කියා සිටී. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන ගීත සියල්ල ප්‍රමිතිකරණයකට ලක් කිරීමේ වෑයමේ දී එකල ජනතාව අතර ජනප්‍රිය වී තිබූ සුනිල් සාන්තයන් ගේ ගීත රාශියකුත්, බී . එස්. පෙරේරා තනු යොදා සංගීතවත් කළ අතිශය මියුරු ගීත රාශියක් ද පහත් හැඟීම් අවුස්සන සුළු ගීත ලෙස නම් කර වාරණයට ලක් වීම ද බෙහෙවින් කණගාටුදායක ය. ශාස්ත්‍රීය හා ඉන්දියානු ශාස්ත්‍රිය සංගීතය සමඟ මුසු වූ සරල ගී හැර වෙනත් සම්ප්‍රදායක ගීත ශ්‍රවණය කිරීමේ හැකියාව ජනතාවට අහිමි වී යාම වර්ධනය වෙමින් පැවැති සිංහල ගීයේ ඉදිරිගමනට හිතකර නො වූ බව පෙනී යයි.
සමාලෝචනය
මේ අනුව, පරිපාලකයකු ලෙස එම්.ජේ පෙරේරා මහතා අනුගමන කළ සහ අනුග්‍රහය දැක් වූ ඇතැම් ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඒවායේ මුඛ්‍ය අරමුණුවලින් පරිබාහිර වූ යටි අරමුණු ද ඇතැම් පිරිස් වෙත තිබුණු බව පෙනී යයි. ඒ හරහා මතවාදී ආධිපත්‍යයක් බිහිවීමෙන් ප්‍රතිවිරුද්ධ මත දැරූවන් මර්ධනයට සහ අසාධාරණයට ලක් වී ඇති බව නො සලකා හැරිය නො හැකි ය. කෙසේ වෙතත්, එතුමා ගුවන්විදුලි සේවයේ යෙදී සිටි සිව් වසරක කලය තුළ, 50 දශකයේ දී ආරම්භ වුණු, ශාස්ත්‍රීය සංගීත ප්‍රබෝධය නිසා දිවයිනේ රසික රසිකාවියන් හට ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් දිනපතාම පාහේ රාගධාරී සංගීත රසයෙන් ප්‍රභාශ්වර වූ , මධුර වූ තනු සහිත ගී නිර්මාණ මෙන්ම ප්‍රමිතියෙන් යුතු සරල ගී හරහා උසස් රස වින්වින්දනයකට යොමු කළ බව ද , ඉන් අනතුරුව එළැඹුණු රූපවාහිනී යුගයේ දී ද ප්‍රමිතියෙන් යුතු වැඩසටහන් ප්‍රචාරය කිරීම මගින් පොදුවේ රටේ සංස්කෘතික පුනරුදයට සක්‍රීය දායකත්වයක් ලබා දුන් බව අවිවාදාත්මක ය. 70 – 77 රිජ්වේ තිලකරත්න යුගය ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය බවට පත් වීමටත්, 70-80 දශකයේ රසවත් හරවත් ගී බිහි වීමටත් පදනම ඇති වූයේ 50 දශකයේ සිට ආරම්භ වූ රස ප්‍රවර්ධනයේ ප්‍රතිඵල ලෙසින් බව ද මේ විද්වතුන් ගේ මතය යි. එසේ ම රූපවාහිනිය ආගන්තුක මාධ්‍යයක් ලෙස මෙරට ඇරැඹුණු සමයේ හුදු විනෝදාස්වාදය සපයන මෙවලමක් ලෙස නො ව, ජනතාවට දැනුම අවබෝධය සමඟ රසාස්වාදය සපයන සේවයක් ලෙස ස්ථාපිත කිරීමේ පුරෝගාමී සේවයද එතුමා අතින් සිදු වූ බව රූපවාහිනී ඉතිහාසය සාක්ෂි දරයි. මේ කරුණු සියල්ල සැලැකිමේ දී ගුවන් විදුලිය සහ රූපවාහිනිය යන ක්ෂේත්‍ර දෙක ම සඳහා ඔහු සැපැයූ පුරෝගාමී නායකත්වය උත්කෘෂ්ට බව නිගමනය කිරීම අතිශය සාධාරණය.
– අමා නයනාදරී සිරිවර්ධන –
11-01-2021
තොරතුරු මූලාශ්‍ර:
“ගුවන්විදුලි නාට්‍ය කලවේ සරච්චන්ද්‍ර භූමිකාව” – එදිරිවීර සරච්චන්ද්‍ර විශේෂ කලාපය වෙනුවෙන්ප්‍රවීණ මාධ්‍ය උපදේශකවරයකු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වන සුගත් වටගෙදර මහතා විසින් සම්පාදිත ලිපියක්, ‘හඬ’ සඟරාව, 2011 ජූලී – සැප්තැම්බර් කලාපය (පිටුව.48-50).
“ගුවන්විදුලි නාටක හෙවත් ශ්‍රව්‍ය කාව්‍ය හඳුන්වා දීම” – එදිරිවීර සරච්චන්ද්‍ර විශේෂ කලාපය වෙනුවෙන් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා විසින් සම්පාදිත ලිපියක්, ‘හඬ’ සඟරාව, 2011 ජූලී – සැප්තැම්බර් කලාපය (පිටුව.42-45).
“ගුවන්විදුලිය සහ ස්වදේශීය මුද්‍රාව” – එදිරිවීර සරච්චන්ද්‍ර විශේෂ කලාපය වෙනුවෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් සම්පාදිත ලිපියක්, ‘හඬ’ සඟරාව, 2011 ජූලී – සැප්තැම්බර් කලාපය (පිටුව.46-47).
“ගුවන් විදුලිය ඇරඹුනේ ම ගීතයෙන්”- ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒරානන් ද හෙට්ටිආරච්චි මහතා ගේ ලිපියක්, ‘හඬ’ සඟරාව, 2013 ජනවාරි-මාර්තු කලාපය (පිටුව. 42-47).
“ශාස්ත්‍රීය සංගීත ප්‍රබෝධය” – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශයේ ප්‍රථම අධ්‍යක්ෂ ආචාර්ය දයාරත්න රණතුංග මහතා ගේ ලිපියක් , ‘හඬ’ සඟරාව, 2013 ජනවාරි-මාර්තු කලාපය (පිටුව. 56-63).
“ප්‍රථම ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂ ජනරාල් එම් ජේ පෙරේරා ගේ මතක සටහන්” – ඩී රන්ජිත් පීරිස් විසින් සකස් කරන ලද ලිපියක්, ‘හඬ’ සඟරාව, 2013 අප්‍රේල් – ජූනි කලාපය (පිටුව. 38 – 42).
“සිංහල නිවේදන වෘත්තියේ පෙරගමන්කාරිය”- ප්‍රවීණ නිවේදිකා, ප්‍රභා රණතුංග මහත්මිය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ගුවන්විදුලි මාධ්‍යවේදිනී ශිරානි බාලසූරිය මහත්මිය විසින් සකස් කරන ලද ලිපියක්, ‘හඬ’ සඟරාව, 2013 ඔක්තෝබර් – දෙසැම්බර් කලාපය (පිටුව.24-25).
“ජනප්‍රිය ලක්ෂණ රැගත් සුභාවිත ගීතයේ උපත” – මාධ්‍යවේදී ෂෙල්ටන් වීරරත්න මහතා ගේ ලිපියක්, ‘හඬ’ සඟරාව, 2013 ඔක්තෝබර් – දෙසැම්බර්, (පිටුව.57-74).
“1924-2013 අධිකාරීන්/සභපතිවරුන්/අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්”, ‘හඬ’ සඟරාව, 2013 ඔක්තෝබර් – දෙසැම්බර් කලාපය (පිටුව.76-79).
“Appreciations – M.J. Perera” by Raja De Silva, The Island (2002/03/28), http://www.island.lk/2002/03/28/featur02.html
“At the Berliner Ensemble” by Henry Jayasena, Daily News (2007/02/14),
https://web.archive.org/…/www.dailynew…/2007/02/14/art03.asp
“Cultural orthodoxy and popular Sinhala music” by Dr. Tissa Abeysekara, Daily News (2007/08/09), https://web.archive.org/…/www.dailynew…/2007/08/09/fea01.asp
“I bid adieu to Rupavahini” by Henry Jayasena, Daily News (2007/09/05), http://archives.dailynews.lk/2007/09/05/art07.asp
“A Brief Account on Radio in Sri Lanka (Ceylon) – Part 1” by Asoka Tillekeratne, Laksara Website, http://www.laksara.com/radio-ceylon-page1/


