ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය – දේවාර් සූරියසේන දායකත්වය

පොදු ජන සම්ප්‍රදායයන්ගෙන් පෝෂණය ලැබූ දේශීය​​ ලක්ෂණ ප්‍රකට කරන​ සංගීත ආරක් බිහි කිරීම සඳහා අවධානය යොමු කර ඇත්තේ එක් දහස් නමසිය තිස්වන දශකය අග භාගයේ දී බැව් මූලාශ්‍ර ද සමග පෙර ලිපියකින් සාකච්ඡාවට බඳුන් කෙළෙමු. එහි ලා ආනන්ද සමරකෝන් මහතා දැක් වු පුරෝගාමී දායකත්වය ඇතුළු තීරණාත්මක සම්ප්‍රදානයන් කිහිපයක් ගැන ද කෙටියෙන් සඳහන් කෙරිණි​. දේශීය අනන්‍යතාවය පිළිඹිබු කෙරෙන සංගීත ක්‍රමයක් උදෙසා ආනන්ද සමරකෝන් මහතා මුල් පියවර තැබූ බව සාමාන්‍යයෙන් පිළිගත් මතය යි. ඒ මහතා ගේ ඇතැම් ගීත වල වංග ගී ගායනාවන් හි ස්වරූපය ප්‍රකට වුව ද​, ගායනයේ දී ගීතයට දේශීය හැඩයක් ලබා දීමට වග බලා ගෙන තිබීම විශේෂත්වය කි (මූලාශ්‍ර සඳහා “ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය” යටතේ පළ වූ මුල් ලිපිය කියවන්න​). ශාන්ති නිකේතනයේ සංගීත අධ්‍යාපනය හදාරා 1937 දී සිය රට බලා පැමිණෙන, වාග්ගේයාකාර සංගීතවේදියකු වන සමරකෝනුවන් විසින් නිර්මාණය කර ගායනා කරන ලද “එන්නද මැණිකේ” ගීතය නිර්මාණය කරන තුරු ලංකාවේ දේශීය සංගීත සම්ප්‍රදායයක් පිළිබඳව අවධානය යොමු කර තිබේ ද​? එසේ අවධානය යොමු කැර ඇති බවට දැක්විය හැකි මූලාශ්‍රයයක් වේද​? මේ ලිපියෙන් එවැනි මූලාශ්‍රයයන් කිහිපයක් සහ ඒවායෙන් කියැවෙන තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීමට​ අපි බලාපොරොත්තු වෙමු.

තිස්ස අබේසේකර මහතා විසින් රචිත “අයාලේ ගිය සිතක සටහන්” කෘතිය ඉන් එකකි. සිය කෘතියේ දී ආනන්ද සමරකෝන් යුගයට පෙර , වන්නම් ගී සහ පාරු කවි වල ස්වර රටා ඇසුරෙන් 1934 දී කරන ලද ස්වතන්‍ත්‍ර​ නිර්මාණයක් අබේසේකර සූරීන් අප හමුවේ තබන්නේ තවත් විශිෂ්ට ගණයේ ලාංකීය නිර්මාණකරුවකු පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් ද සමගිනි.

අගනුවර වංශවත් පවුල් පසුබිමකින් පැවතෙන, චාර්ල්ස් ජෙකොබ් පීරිස් කුඩා කළ සිට හැදී වැඩෙන්නේ එංගලන්‍තයේ ය​. කේම්බ්‍රිජ් සරසවියෙන් නීතිය පිළිබඳ ගෞරව උපාධියෙක් ලබන හෙතෙම, සරසවි අධ්‍යාපනයෙන් පසුව, එහි දී දැන හඳුනාගෙන විවාහ වූ සිය ලාංකික බිරිඳ වන ඊඩිත් ද ෆොන්සේකා සමග නැවත ලංකාවට පැමිණ නීතිඥ වෘත්තියේ වැඩ අරඹයි. බටහිර සංගීතය කෙරෙහි ඔහු තුළ තිබූ මහත් ඇල්ම නිසා ඔහු බටහිර සංගීතය ද සිය අධ්‍යාපන කටයුතු අතර තුර මනාව හැදෑරීය​​. අධ්‍යාපනය හමාර කරන චාර්ල්ස් ජෙකොබ් පීරිස් මෙසේ සිය රට පැමිණෙන්නේ 1924 වර්ෂයේ දී යි. රබීන්ද්‍රනාත් තාගෝර් තුමා ගේ පළමු ලංකාගමනයේ දී පවත්වන ලද ප්‍රසංග නැරැඹූ තරුණ ජෙකොබ් තුළ ඇති වූයේ මහා චින්තනමය පරිවර්තනය කි. එය දෙවැදෑරුම් පරිවර්තනයක් බව තිස්ස අබේසේකර මහතා කියා සිටී. එකක් තමන් සතු යුග මෙහෙවර නීතිඥ වෘත්තියට වඩා භාර දූර කාර්යයක් බව වටහා ගැනීමයි. සංගීතය ගැන උපතින් ලද හැකියාව දේශීය සංගීතයක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් භාවිතා කළ යුතු බව ප්‍රත්‍යක්ෂ කර ගැනීම අනෙක යි. ඒ අනුව නීතිඥ වෘත්තියට සමු දෙන ඔහුට පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් නැවත එංගලන්තයට යාමට සිදු වෙයි. එහි සිටින කාලය අතර තුර​ මේ දෙපළ බටහිර සංගීතය වැඩි දුරටත් ප්‍රගුණ කරන්නේ දේශීය සංගීතය නගා සිටු වීමේ මුඛ්‍ය පරමාර්ථයෙ නි. ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අවුරුද්දක පමණ කාලයක් රාගධාරී සංගීතය ද හදාරා නැවත 1929 දී මෙරට පැමිණෙන ඔහු, සිය බිරිඳ ද සමග සිංහල සංගීතය වෙනුවෙන් සිය දිවි කැප කිරීමට පියවර තැබුවේ දේවාර් සූරියසේන සහ නෙළුම් දේවි ලෙස නම් පවා වෙනස් කර ගනිමිනි. එය​ මේ දෙදෙනා තුළ පෙරදිග සංස්කෘතිය කෙරෙහි තිබූ ඇල්මේ තරම​ කියා පායි.

දේශීය සංගීත සම්ප්‍රදායයක් ගොඩ නැගීමේ උත්තර කාර්යයේ දී පළමු කොට​ ඔහු ගත් වෑයම දෙවැදෑරුම් විය​. එකක් ගම් නියම් ගම් සිසාරා යමින් අපේ ජන ගීයේ නාද රටා සොයා පාදා ගැනීම යි. එය මුළුමනින් ම දේවාර් සූරියසේන විසින් තනිව ම කරන ලද්දක් බව සඳහන්. දෙවැන්න එසේ එකතු කර ගත් ජන ගී නූතන ප්‍රසංග වේදිකාවට උචිත පරිදි වාද්‍ය වෘන්දයක් සහිතව ගායනා කිරීමයි. ඔහු මේ දෙකම බොහෝ දුරට ඉටු කර ගැනීමට සමත් විය. දැන් ඒ පිළිඳව විමසා බලමු.

සිය ජිවිතය සංගීතයට කැප කළ තුටු මෙහෙවර 1929 දී ලංකාවට පැමිණ තෙමසකින් පසුව ආරම්භ කිරීමට සූරියසේනයන් සමත් වීම විශේෂත්වය කි. කොළඹ රාජකීය විදුහලේ ප්‍රසංගයක් පවත්වන ඔහු, එවකට මෙරට අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් ඉදිරියේ දී බටහිර ගීත ද සමගින් තමන් විශේෂ ළැදියාවක් දැක් වූ වන්නම්, නූර්ති , නාඩගම් ඇතුළු ජන ගී ගයා වයා ඉදිරිපත් කරන්නේ අපේ රටේ එවැනි සංගීතයක් තිබූ බවක් හෝ එතෙක් දැන නොසිටි සියල්ලන් පුදුමයට පත් කරවමිනි. යුරෝපයේ රටක මුලින්ම සිංහල ගීයක් ගායනය වූයේ ද දේවාර් සූරියසේන ගේ හඬින් බව තිස්ස අබේසේකර මහතා ගේ මතය යි. ඒ 1920 දශකයේ අවසාන වසර වල දී දේවාර් සූරියසේන මහතා යුරෝපයේ ජීවත් වූ කාලයේ එංගලන්තයේ රාජකීයයන් ඉදිරිපිට පවත්වන ලද ප්‍රසංගයක දී ය​. නිරූපණයෙන් තොර වුණු නාඩගම් ගීත එහි දී ගායනය​ කර ඇත්තේ සාම්ප්‍රදායික ව නාඩගම් රඟ දැක්වීමේ දී භාවිතා කරන සර්පිනාව සහ මද්දලය වෙනුවට සුගම තත් භාණ්ඩ වාදනය කරමිනි.

තිස්ස අබේසේකරයන් සිය කෘතියෙහි සඳහන් කරන තවත් වැදගත් කරුණක් වෙයි. එනම්; අපේ රටේ ජන ගී වල එන තාල රටා අපරදිග සංගීතයේ ශිල්ප ක්‍රම වන ස්වර සංගත හා සුසංගතයන්ට අනුබල දෙන බවකි. ඒ අනුව​, ලංකාවේ ජන සංගීතයට මධ්‍යම යුරෝපීය සම්භවයක් තිබිය යුතුය යන මතය දේවාර් සූරියසේන ඉදිරිපත් කරන්නේ සිය ගවේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙසිනි​​. කෙසේ වෙතත් මෙය විවාදයට තුඩු දිය හැකි මතයක් බව ද ඔහු අවධාරණය කර සිටී.

මෙසේ දෙස් විදෙස් රට වල ප්‍රසංග වේදිකාව කරා අපේ ජන ගීය රැගෙන ගිය​ දේවාර් සූරියසේනයන් , සිංහල සංගීතයේ ඉදිරි ගමන වෙනුවෙන් තබන ලද තවත් පියවරක් ගැන​ මී ළඟට​ සලකා බලමු. ඒ බද්දේගම ක්‍රිස්තු දෙව් මැදුරේ දේව මෙහෙය සඳහා, ජන ගී නාද රටා ආශ්‍රයෙන් ඔහු විසින් නිර්මාණය කළ “ජන වන්දනාව” නම් ගීතිකා විශේෂය​ ගැන යි.

කිතුණු දේව මෙහෙයන්හි දී ගායනා කරන ජන වන්දනාව සඳහා එතෙක් කෙරුණේ ලතින් බසේ උච්චාරණය සහ ශබ්ද ධර්මයන්ට අනුකූල වන ලෙස නිර්මාණය කර තිබූ ස්වර රචනයන්ට සිංහල වචන ඔබා කරනු ලැබූ ගායනය කි. වෙනත් වචන වලින් කිවහොත්, ලතින් අනුකාරක ගීතිකාව කි. එහි දී අප බසට නුහුරු උච්චාරණ විධි ක්‍රම වලට කෙරුණු ස්වර රචනයකට අනුව බස හැසිර විය යුතු හෙයින් බසෙ හි විකෘත වීමක් සිදු වෙයි. බද්දේගම ක්‍රිස්තු දෙව් මැදුරේ දේව මෙහෙය භාර ව සිටි , ලක්දාස ද මැල් දේවගැතිවරයා මේ පිළිබඳව සිටියේ බලවත් කණසල්ලෙනි. යුරෝපාකරයෙන් ආ ක්‍රිස්තු ලබ්ධිය වැළැඳ සිටිය ද​​, පූජකතුමා දැඩි ජාති මාමකයකු විය​. ගජගා වන්නම​, පාරු සී පද වැනි විලම්බ ජන ගායනාවන් වල නාද රටාවන් ආශ්‍රය කර ගනිමින් දේවාර් සූරියසේන “සුවිශුද්ධය” , “පව් දුරැලීම”​ සහ​ “පැසසුම් ගීය” දක්වා සම්පූර්ණ ජන වන්දනාව සඳහා ස්වීය ස්වර රචනාවන් නිර්මාණය​ කරන්නේ දේවගැති වරයා ගේ ඉල්ලීමකට අනුව​යි. එතෙක් බටහිර සංගීත භාණ්ඩ වාදනය කිරීමට​ හුරුව සිටි පල්ලියේ ගීතිකා කණ්ඩායමට පෙරදිග වාද්‍ය භාණ්ඩ වාදනය පුහුණු කරවීම ද දේවාර් සූරියසේනයන්ට දෙමසක් පමණ ගිය දුෂ්කර කර්තව්‍යයක් වූයේ ය​.

1934 වර්ෂයේ එක්තරා ඉරු දිනෙක , බද්දේගම ක්‍රිස්තු දෙව් මැදුරේ වාදනය කළේ සිංහල බසේ උච්චාරණ ශෛලියට​ කදිමට ගැලපෙන ස්වර මාලාව කි. වාද්‍ය වෘන්දය තාම්පුරාව​, දිල්රුබාව​, තම්මැට්ටම, ගැටබෙරය හා තාලම්පට වැනි පෙරදිග සංගීත භාණ්ඩ වලින් සමන්විත වු අතර​, ඊට රබාන ද එකතු කැර ගෙන තිබුණි. මේ අනුව පළමු වරට ප්‍රසංග වේදිකාවේ සිංහල ගී ගායනය සඳහා රබාන එකතු කර ගනු ලැබුවේ ද දේවාර් සූරියසේන විසිනි. බද්දේගම ක්‍රිස්තු පල්ලියේ පාරම්පරික සිංහල ගැමියන්ට එදා දෙනෙත් කඳුළෙන් තෙත් කළ දිනක් විය​. ආත්මගත පාරම්පරික උරුමයක හඬ ජන වන්දනාවේ නාද රටාවන් තුළින් ශ්‍රවණය කිරීමට ඔවුනට හැකි විය.​

මෙසේ ලංකාවේ ජන සංගීතය පිළිබඳව අපූර්ව අත් හදා බැලීම් දේවාර් සූරියසේන විසින් කරන ලද්දේ 1934 දී යි. එසේ තිබියදීත්, ඔහු ගේ පර්යේෂණ පදනම් කර ගනිමින් සංගීත ක්ෂේත්‍රයේ රැල්ලක් ඇති නොවූයේ ඇයි දැයි යන ප්‍රශ්නය පැන නැගෙයි. ඔහු විසින් ජන සංගීතය ගැන​ කරන ලද පර්යේෂණ සහ ජන වන්දනාව වැනි ස්වතන්ත්‍ර නිර්මාණ තිබියදීත් ආනන්ද සමරකෝන් 1940 දී “එන්නද​ මැණිකේ” ගීතය නිර්මාණය කරන තුරු ලංකාවේ දේශීය සංගීතයක් ගැන කතා නොකරන්නේ ඇයි? රැල්ලක් කෙසේ වතුදු සූරියසේනයන් දේශීය සංගීතයක් ගොඩ නැංවීම සඳහා ගත් ව්‍යායාමය එ කල විචාරක ඇගැයුමට පාත්‍ර වීද​? ඒ පිළිබඳ තොරතුරු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර චරිතාපදානය වන, “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියේ මුල් පරිච්ඡේද වල දී අපට හමු වෙයි.

සරච්චන්ද්‍ර මහතා සිය සමකාලීනයකු වූ, දේවාර් සූරියසේන සහ ඔහු ගේ ජන සංගීත පර්යේෂණ පිළිබඳව මෙසේ සඳහන් කර සිටී;

සංචාරක ගායකයකු වීමේ ආධ්යාශයෙන් හෙතෙම බිරිඳත් සමග ශාන්ති නිකේතනයට ගොස් වංග​ සංගීතය සහ​ භාරතීය සංගීතය හදාරා , ආපසු ලංකාවට විත් දේශීය සංගීතය පිළිබඳ පර්යේෂණ පැවැත්වූයේ ය​. මේ පර්යේෂණයේ ප්රතිඵලයක් වශයෙන් සොයා ගත් කරත්ත කවි, පාරු සිව් පද​, ගොයම් කවි , වන්නම් ආදිය ගායනා කරන්ට ඉගෙන ගෙන , බටහිර සංගීතයෙහි කෙළ පැමිණි ස්වකීය බිරිඳත් සමග ඔහු යුරෝපයේ ප්රධාන නගරවල ගීත ප්රසංග පවත්වමින් රටින් රට සැරිසැරියේ ය​. මෙසේ දේශ දේශාන්තරවල ලත් කීර්තියෙන් උදම් වූ හෙතෙම​, ලංකාවෙහි ගීත ප්රසංගයක් පැවැත්වූයේ ය​. එහෙත් ඔහුට ලාංකික රසිකයන් ගේ සිත් දිනා ගැනීමට හැකි වූයේ නැත​. ඔවුන් කීවේ ඔහු සිංහල ගැමි ගී හා වෙනත් පෙරදිග සින්දු බටහිර ඌරුවට ගායනා කරමින් ඒවා විකෘත කරනවා පමණක් නොව නීරස ද කරන බව ය​.

යුනිවසිටි කොලීජියෙහි පැවැත් වූ ගීත ප්රසංගයෙහි ද සූරියසේන සිංහල ගැමි ගී ගැයුවේ තම බිරිඳගේ පියානෝ සහවාදනයට ය​. බටහිර ඌරුවට පුරුදු කරන ලද කටහඬින් සිංහල ගී ගයන විට ගැමියාගේ මුවින් නිකුත් වන සමහර ස්වර පවා අත් හරිනු නොලැබේ දැයි සිතේ. සූරියසේන ගයන්නේ සැබැවින් ම සිංහල ගී ද නැතහොත් සිංහල ගී යැයි සිතාගෙන තමා ගේ ගායන ශෛලියට අනුකූලව හැඩ ගැසුණු වෙන ම ම ගී විශේෂයක් දැයි මට සිතුණි. – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර” (‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ‘, පිටු. 46-47)

ජන ගී ගායනයේ දී දේවාර් සූරියසේනයන් අතින් සිදු වූ මේ වරද කුමක් ද ? මෙම පැනයට සාධාරණ පදනමක​ පිහිටියා වූත් , තර්කානුකූලවූත් පිළිතුරක් ලබා දීමට​ තිස්ස අබේසේකර සූරීන් සමත් වෙයි. පහත දැක්වෙන්නේ “අයාලේ ගිය සිතක සටහන්” කෘතියෙන් උපුටා ගත් එම​ පැහැදිලි කිරීමේ සාරාංශයකි;

ඕනෑම රටක ජන සංගීතය එම රටේ ජන ජීවිතයේ රිද්මය හා බැඳී තිබේ​​. ජන ජීවිතයේ රිද්මය මෙන්ම ශබ්ද උච්චාරණ ධර්මයන්ට අනුව ද ජන සංගීතය හැඩ ගැසී ඇත​. ඒ අනුව බසෙහි ශබ්ද ආකෘතිය​ සහ ස්වර අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවය කි (මේ අදහසම , වෙනත් ආකාරයකින් පණ්ඩිත් අමරදේවයන් පුවත්පත් සාකච්ඡාවක දී ඉදිරිපත් කර සිටියේ “ජන කවියට නියමිත හැඩයක් සහ වර්ණයක්” ඇත කියමින් බව මෙහි දී සිහිපත් වෙයි​). ස්වර රචනය සිදු විය යුතු වන්නේ බසේ උච්චාරණ ධර්මයන්ට අනුකූලව ය​. සිංහල බසේ ශබ්ද ආකෘතියේ (ශබ්ද ධර්මයන්හි එන​) ප්‍රධාන ලක්ෂණයකි ලඝු සහ ගුරු භේදය​. ස්වර රචනා කළ යුතු වන්නේ මෙම ලඝු ගුරු භේදය ඉක්මවා නොයමිනි. එය සැලකිල්ලට නොගෙන ස්වර ආදේශ කළ විට ශබ්ද ආකෘතිය බිඳ වැටෙයි. මෙසේ බසෙහි ශබ්ද ආකෘතිය සහ ස්වරය​ අතර තිබිය යුතු සම්බන්ධතාවය බිඳුණු කළ ඇති වන නාද විකෘතිය ගීතයක අර්ථ රසය හීන කරයි.​

ජන කවියේ දී එකට බැඳී සිටින ස්වරය සහ අක්ෂරය වෙන් කොට ගීතයේ ස්වරය පමණක් අපරදිග ප්‍රස්ථාරයෙන් ලියා ගත් දේවාර් සූරියසේන එය ස්වර නගන්නේ බටහිර සංගීතයෙන් ශික්ෂණය ලැබූ කටහඬක පිහිටමිනි. ජන කවියක පදයේ ඇති ශබ්ද ආකෘතියට පිටු පා ස්වර නැගීම, වෙනත් ආකාරයකින් කියන්නේ නම් ලඝු සහ ගුරු භේදය නො සලකා හරිමින් ස්වර පිහිටුවීමේ දෝෂය හේතු කොට ගෙන ඇති වී ඇත්තේ නාද විකෘතියකි. නාද විකෘතිය ඇති කළේ අර්ථ සම්භාධකයකි. රස භංගය කි. මෙසේ දේවාර් සූරියසේනයන් සිංහල ජන සංගීතයේ වූ බස සහ ස්වරය අතර තිබූ බැඳීම සැලකිල්ලට නොගත් බැවින්, ජන සංගීතය පිළිබඳව ඔහු කළ පර්යේෂණයන් මල් ඵල ගැන් වී, එයින් රැල්ලක් ඇති නොවූ බව තිස්ස අබේසේකර මහතා පෙන්වා දෙන්නේ තරමක දීර්ඝ විස්තරයක් ද සහිතව ය​. (අයාලේ ගිය සිතක සටහන්, පිටු:114-171).

ගීතයක ස්වර මාලාව සාදා ගැනීමේ දී බසෙහි ඇති ලඝු ගුරු භේදය සැලකිල්ලට ගත යුතු ආකාරය​ පිළිබඳ විස්තරයක් පණ්ඩිත් විමල් අභයසුන්දර සූරීන් ගේ “නිෂාදි” කෘතිය සඳහා සපයා ඇති දීර්ඝ ප්‍රස්තාවනාවෙ හි ද​ සඳහන්. නමුත්, සංගීතය ගැන අල්ප වූ දැනුමක් ඇති අයෙකුට පවා පහසුවෙන් වැටහෙන පරිදි තිස්ස අබේසේකර මහතා කර ඇති පැහැදිලි කිරීම වඩා ප්‍රශංසනීය බවක් හැඟෙයි.

කෙසේ නමුත්, මෙහිදී මට ගැටළුවක් පැන නගියි. ස්වර රචනයේ දී සිංහල බසේ ශබ්ද ධර්මයන් පිළිබඳව සැලකිලිමත් නොවීම හේතු කොට ගෙන ඔහු අතින් නාද විකෘතියක් සහ ඒ නිසා අර්ථ සම්භාධක පැන වුණි නම්, එදා බද්දේගම ක්‍රිස්තු දෙව් මැදුරේ දී ඔහු විසින් වාදනය කළ ස්වතන්‍ත්‍ර සිංහල ජන වන්දනාව එ ගම පාරම්පරික සිංහල​ ගැමියන්ට සිය අතීත උරුමයක් සිහිපත් කැරවූයේ කෙසේද​?

තිස්ස අබේසේකර මහතා විසින් සිංහල සංගීතය සම්බන්ධයෙන් දේවාර් සූරියසේන ගත් ව්‍යායාමය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේ පාඨකයා තුළ සූරියසේනයන් කෙරෙහි ගෞරවයක් ඇති වන පරිද්දෙනි. එකී උත්සාහයේ දී සූරියසේනයන් අතින් සිදු වූ බරපතල දෝෂය සීරුවෙන් මුත් නො වළහා ඉදිරිපත් කිරීමට ද ඔහු මැළි නොවෙයි. එක් පරිච්ඡේදයක් අනෙකට යා වන ලෙස ගොනු කැර ඇති ඔහු ගේ කෘතියෙහි දී , දේවාර් සූරියසේන සම්ප්‍රදානය පිළිබඳ තතු විමසීම ඇරඹෙන්නේ ද ඔහු ජන ගී ගායනය කළේ බටහිර ඌරුවට බව ප්‍රේක්ෂකයා වෙත ඉඟි පළ කරමින්. ඔහුට දේවාර් සූරියසේන මහතා ගේ ගයනයක් පළමු වරට අහම්බයකින් මෙන් අසන්නට ලැබෙන්නේ බටහිර සිරිතට හැඩ ගැසුණු, බටහිර ගීයට ළැදි, ශ්‍රී ලාංකිකයන් වෙසෙන පරිසරයකදී යි. ඒ “බඹර කෝකිල නාද සපිරි ගීතය යි. ගීතයේ පද උච්ඡාරණය සිංහල බසෙහි ශබ්ද ධර්මයන්ට අනුකූල නොවෙතැයි තමන්ට හැඟුණු බවත්, ඔහු පිළිබඳ තොරතුරු සෙවීමට තමන් උත්සුක වූ බවත් අබේසේකර මහතා එහි දී සඳහන් කරයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ද​ තිස්ස අබේසේකර මහතා ගේ මතය සනාථ කරන නමුත්, සිය විවේචනය ඔහු ඉදිරිපත් කරන්නේ තරමක දැඩි ස්වරයෙකිනි.

සරච්චන්ද්‍ර මහතා තුළ වූයේ ස්වභාවයෙන්ම පෙරදිග සංගීතයට නැඹුරු වූ සිත කි. බටහිර විරෝධී ප්‍රතිපත්තියක සිටි එතුමා, බටහිර සංගීතය කෙරෙහි ද දැරුවේ ඊට නො දෙවෙනි ආකල්පයක් බව අපි වරින් වර සංවාදයට බඳුන් කර ඇත්තෙමු. මෙවැනි දැඩි විවේචනයක් කිරීමට ඔහු දැරූ එබඳු ප්‍රතිපත්තිමය කාරණා බලපෑවේ ද? එසේ නැතහොත් , සූරියසේන මහතා විසින් සිංහල ගායකයන් ගේ ගායනා ශෛලිය අපහාසයට ලක් කෙරෙමින් කරන ලද ඇතැම් ප්‍රකාශ ඒ සඳහා හේතු වීද​?

බටහිර ඌරුවයි – පෙරදිග ඌරුවයි කියල දෙකක් නෑ තියෙන්නෙ, පුහුණු කරපු කටහඬවලුයි – පුහුණු නොකරපු කටහඬවලුයි අතර වෙනස විතරයි. මගේ කටහඬ පුහුණු කරපු එකක්. ඒ ගොල්ලෝ මට කියන්නෙ ඒ ගොල්ලො වගේ මටත් ඤෑ …… ඤෑ…. කියල ගායනා කරන්නෙයි කියල ද​?” තමන් වෙත එල්ල වෙන විවේචන වලට පිළිතුරු දෙමින් සාමාන්‍ය සිංහල ගායකයන් ගේ අනුනාසිකා ගායනා ශෛලිය සූරියසේන මහතා විසින් එසේ පරිභවයට ලක් කරන ලදැ යි සරච්චන්ද්‍රයන් චෝදනා කරයි. (සරච්චන්ද්ර චරිතාපදානය​, පිටු. 48)

එක් එක් රටවල සංගීත සම්ප්‍රදයයන් හි ස්වර පද්ධතිය සකස් වී ඇත්තේ වෙනස් ක්‍රම වලට බවත්, ස්වර පද්ධතිය අනුව ගායකයන් විසින් සිය කටහඬ සකස් කර ගනු ලබන බවත් සරච්චන්ද්‍ර මහතා පැහැදිලි කර දක්වන්නේ උදාහරණ ද​ සහිතව යි. ඒ අනුව අපේ ගායකයන් ගේ ගායනය බටහිර මිම්මෙන් මැනීම අසාධාරණ බව ද එම ප්‍රකාශයට පිළිතුරු සපයමින් ඔහු පවසයි. අනෙක් අතට, ලංකාවේ ජනශ්‍රැතිය ගවේෂණය කිරීමේ නොමඳ ආසාවකින් පෙළුණු​, ජන ගී එක් රැස් කිරීමේ කාර්යයෙහි නියැලී සිටි සරච්චන්ද්‍රයන්ට, සූරියසේන මහතා ගේ ජන ගායනා පිළිබඳව​ යම් ව්වේචනයක් තිබීම වටහා ගත හැකිය. උදාහරණයක් ලෙස​ එදිරිවීර සරච්චන්ද්‍ර චින්තනය නාට්‍යය – විචාරය අභිභවා ඈතට යන්නක් බවත්, ශාන්තිකර්ම , තොවිල් , කංකාරි ආදී ජන ගී විශේෂ එක් රැස් කරමින් ගමින් ගම සැරිසරන්නේත් මේ කාලයේ දීම බවත් (1930 වන දශකයේ මුල් වසර වල), හඬ සඟරාවට ලිපියක් තබමින් පැහැදිලි කරන මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා කියා සිටී (“සරච්චන්ද්ර – විදග්ධ සංස්කෘතියේ මහා බල කණුව” කලාපය)​.

ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත යන දෙදෙනා ගේ ගීත සඳහා ස්වර රචනා කෙරෙන්නේ භාෂාවේ නාදය හෙවත්, ශබ්ද ආකෘතිය සැලකිල්ලට ගනිමින්. දේවාර් සූරියසේනයන් 1920 දශකය අග භාගයේ පටන් ජන සංගීතයේ නාද​ රටා ඇසුරු කරමින් පර්යේෂණාත්මක මට්ටමෙන් ස්වතන්‍ත්‍ර​ නිර්මාණ ඉදිරිපත් කළ ද​, ඔහු ගේ ගායනය තුළ තිබූ නාද විකෘතිය හේතුවෙන් දේශීය අනන්‍යතාවයක් පිළිඹිබු නො වීය​. ඒ හේතුවෙන් අග නගරයේ ඉංග්‍රීසි කතා කරන සීමිත පිරිසක ගේ අවධානයට පාත්‍ර වුවා විනා , සූරියසේනයන් ගේ පරිශ්‍රමය සංගීත ක්ෂේත්‍රය තුළ රැල්ලක් ඇති නොකරන ලද්දේය​. එනයින් බැලූ කළ​, 1930 දශකය අග භාගයේ දී ශාන්ති නිකේතනයේ සිට මෙරට පැමිණෙන ආනන්ද ස්මරකෝනුවන් සහ ඉන් පසුව එළැඹෙන දශකයේ දී සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු සුනිල් සාන්තයන් දේශීය සංගීතයක් ගොඩ නැංවීමෙ හි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබූ බවට පිළි ගැනෙතැයි අපට පැහැදිලි වෙයි.

සිංහල සංගීත සම්ප්‍රදායයක් ගොඩ නැගීම උදෙසා දේවාර් සූරියසේන මහතා ගත් ව්‍යායාමය දීර්ඝව විස්තර කැර සිටියේ කරුණු කිහිපයක් අරමුණු කර ගනිමිනි.

ඔහු ගත් මග තුළින් දේශීය අනන්‍යතාවය ඇති ගීත සම්ප්‍රදායයක් බිහි නොවූව ද​, එය​ ජන සංගීතයේ ආභාසය ලැබූ සංගීත සම්ප්‍රදායයක් බිහි කිරීම උදෙසා ආනන්ද සමරකෝනුවන් ගේ සිට අනෙකුත් සංගීතවේදීන්හට කිසියම් උත්තේජනයක් සැපයුවේ නැතැයි කිව හැකිද​? ඔහු පිළිබඳ අප්‍රකට තොරතුරු ගෙන එමින් ප්‍රේක්ෂක උපහාරය පිදීම එක් අරමුණක් විය​. ගෞරව උපාධියක් දක්වා සරසවි අධ්‍යාපනය ලැබ​, නීතිඥ වෘත්තිය ද හැර දමා සිංහල සංගීත සම්ප්‍රදායයක් වෙනුවෙන් ජීවිතය කැප කිරීම අප ගේ සම්භාවනාවට​ පාත්‍ර විය යුතුය​.

දේවාර් සූරියසේන විසින් බසේ ශබ්ද උච්චාරණය සහ ස්වරය අතර තිබිය යුතු යාව ජීව සම්බන්ධතාවය බිඳීම හේතු කොට ගෙන ඇති වූ නාද විකෘතිය නිසා අවසානයේ දී අර්ථ රසය හීන වූ ආකාරය පිළිබඳව කෙරෙන තිස්ස අබේසේකරයන් ගේ පැහැදිලි කිරීම ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් දේශීය අනන්‍යතාවයක් ඇති ගීත නිර්මාණ පිළිබඳ​​ වැදගත් තොරතුරක් අපට​ සපයයි. තව ද, එකී පැහැදිලි කිරීම ​ජන සංගීත නාද රටාවන් හා වෙනත් සම්ප්‍රදයයන් වල නාද රටා මුසු කළ ඇතැම් අවස්ථා වල දී දේශීය අනන්‍යතාවයක් ඇති වන්නේ කෙසේදැයි මා තුළ මෙතෙක් පැවැති ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙන​ බවක් හැඟේ. උදාහරණයක් ලෙස, පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන “මලක මහිම බල අතු අග පිපිලා” ගීතයේ දී පද රචක මහගම සේකරයන් ජන කවියක ආභාසය ලැබුවද​, ස්වර රචනයේ දී ප්‍රකට වන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීතය යි. එසේ තිබියදීත්, එම ගීතය තුළින් “අපේ කමක්” එසේත් නැත්නම්, හුරු පුරුදු බවක් දැනෙන්නේ , ජන ගී ගායනාවක දී මෙන් බසෙහි උච්චාරණයන්ට අනුගතව ස්වර රචනය සිදු වූ බැවින් ද​? වෙනත් වචන වලින් කිවහොත්, රාග මිශ්‍රිත තනුව අභිභවා ගීතය තුළින් ජන ගීයක හැඩය මතු වී පෙනෙන හෙයින් ද​? මේ පිළිබඳව​ සංවාදයට ගැනීම​ අනෙක් අභිලාෂය විය​.

අවසාන වශයෙන්, දේවාර් සූරියසේන මහතා ගේ​ සොයා ගැනීම පරිදි, අපේ ජන ගීයට​ බටහිර සංගීතයේ සම්භවයක් ඇත් නම්, ජන සම්ප්‍රදායයන් සහ බටහිර සම්ප්‍රදායයන් මුසු කරමින් ගීත නිර්මාණය කිරීම වඩා පහසු විය යුතු මෙන්ම​, එවැනි ගීත දේශීය ලක්ෂණ වඩාත් ප්‍රකට කළ යුතු නොවේදැයි මෙහි දි ප්‍රශ්නයක් පැන නැගේ. මේ සඳහා ද සංවාදයේ දී පිළිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

– අමා නයනාදරී සිරිවර්ධන
11/07/2020

තොරතුරු මූලාශ්ර​:

– “අයාලේ ගිය සිතක සටහන්” , තිස්ස අබේසේකර​, ප්‍රථම මුද්‍රණය – 2007

– “පිං ඇති සරසවි වරමක් දෙන්නේ”, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර​​, හයවන මුද්‍රණය

– 2015- “නිෂාදි” ,පණ්ඩිත් විමල් අභයසුන්දර​, දෙවැනි මුද්‍රණය – 2006

– “ගුවන්විදුලි නාටක හෙවත් ශ්රව්ය කාව්ය හඳුන්වා දීම”​, මහාචාර්ය තිස්ස කාරියවසම්, ‘හඬ​’ ගුවන්විදුලි සඟරාව, ‘විදග්ධ සංස්කෘතියේ මහ බලකණුව ‘කලාපය (පිටුව 42-45).

– “ගීතයේ හරය හඳුනාගෙන නිර්මාණකරණයේ යෙදීම වැදගත්” – පණ්ඩිත් අමරදේව සමග කරන ලද සංවාදයක් ඇසුරෙන් සම්පාදිත ලිපියක්, ‘හඬ​’ ගුවන්විදුලි සඟරාව​, 2009 ජනවාරි 1 කලාපය (පිටුව 15-17)

පහතින් දැක්වෙන්නේ සී.ද​.එස්. කුලතිලක මහතා ගේ මෙහෙයවීමෙන් කරන ලද සංගීතවේදී දේවාර් සූරියසේන​ අනුස්මරණ ගුවන්විදුලි වැඩසටහනකි. සිය “අයාලේ ගිය සිතක සටහන්” කෘතියෙහි තිස්ස අබේසේකර මහතා සඳහන් කරන “බඹර කෝකිල නාද සපිරි” ගීතය ද මෙම පටිගත කිරීමෙ හි ඇතුළත් වේ.

ඉහතින් අමුණා ඇති වීඩියෝවේ “බඹර කෝකිල නාද සපිරි” ගීය ද වාදනය කෙරෙනවා. එහි බස උච්චාරණය තුළ ඇත්තේ බටහිර ඌරුවක් පමණක් ම නෙවෙයි. ඇත්තෙන්ම වැරදි උච්චාරණයක්. නමුත්, එතුමා ගේ “වීර මලේ රොන් ගෙන යන්නේ” ගීයේ දී, බස හැසිරවීම තුළ බටහිර ආර මතු වුවත්, උච්චාරණ දෝෂ බොහෝ දුරට මග හරවා ගෙන ඇති බවක් හැඟී යනවා. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් දේවාර් සූරියසේන ඡේදය​ අවසානයේ දී සටහන් කරන දේ ඔහු ගේ වචන වලින්ම කියතොත් ; “දේවාර් සූරියසේන පසු කාලයක දී, සිය මුරණ්ඩු ගති අත් හැර උච්චාරණය නිවැරදි කර ගන්නට පසුව වෙහෙසුණා. නමුත්, විචාරකයන් පැවසුවේ දේවාර් සූරියසේනට දැන් පෙරදිග ඌරුවටවත් බටහිර ඌරුවටවත් ගීත ගායනය කරන්න බැරි බවයි. “

කෙසේ නමුත්, “වීර මලේ” ගීය පටිගත කළ වර්ෂය (ක්ෂේත්‍රයට පිවිස සෑහෙන්න කල් පසු වී කළ පටිගත කිරීමක් දැයි කීමට) පිළිබඳ තොරතුරු මා ළඟ නැත.

“වීර මලේ රොන් ගෙන යන්නේ” ගීතයට මෙතැනින් සවන් දෙන්න​:

ලූෂන් බුලත්සිංහල නාට්‍ය නිර්මාණ තාරාවෝ ඉගිළෙති

පය ඔසොවා ගන්න බෑ මගේ
සියොළඟින්ම බැඳ දමා තිබේ
සිර මැදිරිය හැරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ

සිංහල සංගීතයේ වර්ධනයට​ වේදිකා නාට්‍යයෙන් ලද අනුග්‍රහය ද කිසිසේත්ම සුළු පටු නොවේ.​ ඇත්තෙන්ම නාට්‍ය සංගීතයෙන් ලත් පෝෂණය පුළුල් ලෙස සංවාදයට ගත යුතු මාතෘකාව කි. ඒ සඳහා ප්‍රවේශයක් ලෙස මේ ලිපියෙන් “තාරාවෝ ඉගිළෙති” නාට්‍යයේ ගීත කිහිපයක් පිළිබඳව​ විමසා බැලීමට මේ ලිපියෙන් අදහස් කෙරේ.

ගුණදාස කපුගේ, ගැඹුරු හඬ පෞරුෂයක් ඇති, දක්ෂ ගායකයකු ලෙස පොදු රසිකයා අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වී සිටිය ද, ගායනයට අමතරව තනු සහ සංගීත රචනයෙහි ලා ඔහු පෙන් වූ කුසලතාවයන් ගැන කතා බහ කෙරුණේ අඩුවෙනි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගේය පද රචනයක් වන​​, “මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී” ගීයේ දී , “කුළු කවි” නැමැති ගැමි ගීයේ තාලය ආශ්‍රිතව ඔහු විසින් එහි තනුව සහ සංගීතය නිර්මාණය​ කර ඇති අන්දම මින් පෙර අප විසින් සංවාදයට බඳුන් කර ඇත්තෙමු. ඒ ගීය අපට මෙ තරම් සමීප බවක් දැනෙන්නේත් අඩුම තරමින් පාසැල් විෂය නිර්දේශය යටතේ හෝ ජන ගායනාවන් ඇසුරු කර ඇති හෙයින් අපට හුරු පුරුදු ගායනා තාලයක් ඇසෙන නිසා විය යුතුය​. නිර්මාණකරුවන් විසින් ජන සම්ප්‍රදායයන් ආශ්‍රිත ව නිර්මාණ බිහි කිරීමේ අභිලාෂය වුණේත් එය ම නොවේ ද​?

‘වම’ පුවත්පතට ලිපියක් තබමින් චන්දන සිරිමල්වත්ත කපුගේ සංගීත භාවිතාව ගැන මෙසේ ප්‍රකාශ කරයි; “කටහඬ මෙන්ම ගායන විලාශයද සංගීතයේ සම්මත ශික්ෂිත සීමාවෙන් ඔබ්බට ගෙන යාම නිසාම කපුගේ වඩාත් හිමිකම් කීවේ සම්භාව්‍ය සංගීතයට වඩා ජන සංගීතයේ, ජනප‍්‍රිය සංගීතයේ සහ සම්භාව්‍ය සංගීතයේ මුහුම්කරණයක් වූ අපූර්ව සංගීත භාවිතාවකටය“.

ගුණදාස කපුගේ මහතා විසින්ම තනු නිර්මාණය කර ගායනා කළ “සීතල සඳ එළියේ“, “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි“, “අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ“, “දවසක් පැල නැති හේනේ” වැනි ගීත විමසා බැලීමේ දී , ඔවුන් යම් නිශ්චිත සාම්ප්‍රදායික රාමුවක කොටු වී නො සිටි නමුත්, සිය සංගීතය තුළින් දේශීය සංස්කෘතික පසුබිමට ගැලපෙන ආරක් අනුගමනය කර ඇති බව​​​, විවිධ සංගීත​ සම්ප්‍රදායයන් අසා හුරු පුරුදු කෙනෙකුට​ හඳුනා ගැනීම අපහසු නොවෙනු ඇත​.

ඉන්දියානු සංගීතය පමණක් හැදෑරීමෙන් සංගීතය ඉගෙනගන්න බැහැ. විශ්ව සංගීතය කියන්නෙ ඊට වඩා පුළුල් දෙයක්. මේ අදහස මට මුලින් ම දුන්නෙ මගේ තාත්තා” ; ලාංකාවේ සිංහල සංගීතය කෙසේ විය යුතුදැයි ගුණදාස කපුගේ මතය​ මෙසේ අප වෙත තබන්නේ ඔහු පුත් මිත්‍ර කපුගේ මහතා විසිනි.

ඉහත උපුටනයන් තුළ සඳහන් සේ ම​, ජනප්‍රිය , ඉන්දියානු රාගධාරී හෝ ජන සංගීත ආදී කිසිදු කුලකයකට අයත් නොවී එහෙත්, මේ සියලු ආරෙහි සංකලනයන් යොදා ගැනීමේ ගුණදාස කපුගේ දැක්ම ක්‍රියාත්මක කළ කදිම අවස්ථාවක් ලෙස සටහනට​ ප්‍රස්තූතය වූ ‘තාරාවෝ ඉගිළෙති’ ප්‍රහසන වේදිකා නාට්‍යය හඳුන්වා දිය හැකියි.

කතාවට අනුව, පසුබිම වන්නේ සිංගප්පූරුව සහ එහි සංස්කෘතික පරිසරය යි. එක් ප්‍රධාන චරිතයක් වන මර්සි එදිරිසිංහ නිරූපණය කරන්නේ චීන සම්භවයක් සහිත කාන්තාවක ගේ චරිතයක්. අනෙක් ප්‍රධාන චරිතය වන​, ලොරීටා ලෙස රඟන අනුලා බුලත්සිංහල ඉදිරිපත් කරන්නේ බටහිර පන්නයේ චරිතය කි. මේ සියල්ල සලකා බලා , නාට්‍යය පෙන්වන්නේ ලංකාවේ හෙයින් , ලංකාවේ එදා පැවැති ( මුල් නිෂ්පාදනය​වේදිකාගත කරන ලද කාල වකවානුවේ) සිංහල සංස්කෘතික ජන රිද්මය ට ගැලැපෙන ලෙස සංගීතය හසුරුවා තිබීම මේ නාට්‍ය සංගීතය තුළ මා දකින විශේෂ ලක්ෂණය කි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නො වූවා නිසැකය. නාට්‍යයේ පෙළ සහ සන්දර්භයට අනුව​ උපහාස රසය ද​​ මුසු කරමින්, ඖචිත්‍යය සලකා ජන සංගීතය, ජනප්‍රිය සංගීතය සහ සම්භාව්‍ය සංගීතය යන විවිධ ආරේ සංගීත සම්ප්‍රදායයන් වල ඇසුර ලබා ගත් ලකුණු මේ නාට්‍යය පුරා විද්‍යාමාන වෙයි. නාට්‍යය ආරම්භ වන්නේ adventurous ගමනක ආරම්භය ප්‍රකාශ කරවන​​ තේමා වාදනයකින්.

පුරුෂභාවයයි අපේ ආයුදේ
ඔබ නිදා වැටුණොතින්
හොරු ගනී ආයුදේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ


පුරුෂ ශක්තියෙන් සුගන්ධ
ශක්තියෙන් ලොවක් තනන්න​
වීදුරු නළයක හිර වී බැරි වෙතේ
නව ආරක තටු මැවෙන්න​
ඉපැරණි තටු හළව් බිමට​
කුරුලු වේශයෙන් නැගී යමව් අම්බරේ

නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හළව් බිමට
පුරුෂ වීර්යයෙන් නැගී යමව් අම්බරේ

ගීතයේ රිද්මය​ “සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්” (ගායනය – ජැක්සන් ඇන්තනි) – වැඩ කරන ජනතාව ගේ සුප්‍රසිද්ධ විප්ලවවාදී තේමා ගීතය සිහිපත් කරයි. කතාවට අනුව​, ගීතය තුළින් ද විප්ලවයකට ඇරැයුම් කෙරෙන ස්වභාවයක් හඟවන හෙයින් එය​ කදිම​ තෝරා ගැනීම කි. පුරුෂාධිපත්‍යය යනු ලොව අතීතයේ පටන් තිබූ දෙයක් නිසා, විප්ලවවාදී ගීයෙක​ රිද්මය​​ යොදා ගැනීම හරහා, අසාධාරණ ලෙස පුරුෂාධිපත්‍යය පැතිරවීම කෙරෙහි සියුම් උපහාසයක් එල්ල කිරීමට අරමුණු කළා ද​ විය හැකියි (ඒ ගීතය ගැයෙන අවස්ථාවට අනුව). තාරාවෝ ඉගිළෙති නාට්‍යය තුළින් අතිශයින් ජනප්‍රිය වූ “මඩේ ලගින තාරාවන්” (ගායනය – මර්සි එදිරිසිංහ​) ගීතයේ, ජන සහ ජනප්‍රිය සංගීත ශෛලීන් දෙකේම සංකලනයක් ඇති බවක් හැඟී යයි. “කඩේට පලයන් චූන් චෑන්” සහ​ “යාළුවෝ මාළුවෝ යාළුවෝ” ගීත වල සංගීතය ජනප්‍රිය සංගීතය​ට වඩා නැඹුරු බවක් හැඟේ.

අතුරු මිතුරු දඹදිව තුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු

කිරි මුට්ටිකට පනින්න හිටි පිනුමක් ගැහුවා” වැනි ගීතයක (ගායනය – ගාමිණී සමරකෝන්) ඇසෙන්නේ ජන සම්ප්‍රදායයේ ආභාසය යි.

තට්ටු කරන්න හෙමින්” ( ගායනය – අනුලා බුලත්සිංහල​) ගීතයේ දී ඉතා කෙටි පද මාලාවකට​, අනුරාගය මුසු භාවාත්මක ගායනයක් කරා මෙහෙයවිමෙන් අනුගමනය කර ඇත්තේ ද​, “හිඟන කොල්ලා” චිත්‍රපටයේ “මට ආසයි හිනැහෙන්න” ගීතයේ දී, එහි නිර්මාණකරුවන් වන ප්‍රේමසිරි කේමදාස සහ අජන්තා රණසිංහ විසින් අනුගමනය කරන ලද උපක්‍රමයට බෙහෙවින් සමාන උපක්‍රමයක් නොවේදැයි විමසා බලන්නට ඇරැයුම් කරන්නෙමි​. ඇත්තෙන්ම මට මේ නාට්‍යය පුරා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත​ භාවිතාවෙහි හෙවණැළි දකින්නට ලැබෙයි. නමුත්, එය හුදු අනුකරණයක් නොවී, සම්ප්‍රදායයන් කිහිපයක ආභාසයෙන්, තමන් ගේ ම ශෛලියක් ලෙස ඉදිරිපත් කිරීමට කපුගේ මහතා සමත් වී තිබීම ප්‍රශංසනීය ය​.

ලූෂන් බුලත්සිංහල මහතා ගේ පද රචනා ගැන ද කෙටියෙන් හෝ සඳහනක් කළ යුතුය​. ඔහුගේ නිර්මාණ තුළ දකින්නට ලැබෙන, සුපුරුදු උපහාසය සහ උත්ප්‍රාසය මුසු වූ ව්‍යංගාර්ථය නාට්‍ය යේ එන පෙර සඳහන් කර ඇති හැම ගීයක ම දැකිය හැකි වෙතත්, එය වඩාත් කැපී පෙනෙන්නේ මෙහි එන ගීත අතුරෙන් වඩාත් ජනප්‍රිය වූ ගීතයක් වන​ “මඩේ ලගින තාරාවන්” ගීතය තුළයි;

මදන ඇතුන් නෙළුම් හුයෙන්
බැඳ​ ගන්නද මං

කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙලන්නෙ මං

හුදෙක් වචන හරඹයකට සීමා නොවී, ගීතවත් යෙදුම් භාවිතයෙන්, නාට්‍යයේ පෙළ හා අනුගත වන ලෙස​, සජීවීව වේදිකාව මත රඟ දැක්වෙන නාට්‍යයකට උචිත ​ භාෂා ශෛලියකින් මෙවැනි සෝපාහාසාත්මක “නාට්‍ය ගීතයක්” රචනා කිරීමට නම් මනා භාෂා නිපුණත්වයක් තිබිය යුතුය​​. චරිතයට පණ දෙන නිළිය (මර්සි එදිරිසිංහ​) චරිතය තුළ ඉදිරිපත් කරන​ ගමන් තාලයටත් ඇය ගේ ළාමක චරිත ස්වභාවයටත් සම්පාත වන ලෙස , පද මාලාවේ ගැබ් වී ඇති එකී සෝපාහාස ද සැලැකිල්ලට ගනිමින් සංගීතය මුසු කර ඇත​.

ඊට අමතරව තවත් ජනප්‍රිය ගීයක් වන “සෝබාව දේ” ගීතයේ එන​;

“ජේත්තුකාර ලියන් ගත විලවුන්
මුහුණ​ සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා
මල් පූදින්නා”

වැනි කාව්‍යාත්මක යෙදුම් ව්‍යංගාර්ථ භාවිතයේ දී බුලත්සිංහල මහතා දක්වන දක්ෂතාවය තවත් සනාථ කරවයි.”යාළුවෝ මාළුවෝ ගීයේ පද දෙස බලන්න​;
පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර​ කරතී
වළකින් ගොඩ ගන්න කියා
ගල් ගෙඩියක් දමා යතී


හවුලට ඇවිදින් ළං වී
රැවුලට ගිනිතියා යතී
උණු හින්දා බොන්න බැරී
කිරි හින්දා හළනු බැරී


පහතින් දැක්වෙන්නේ ජැක්සන් ඇන්තනී සහ අනුලා බුලත්සිංහල ප්‍රධාන චරිත ඉදිරිපත් කරන ලද රූපවාහිනී පටිගත​ (මුල් නිෂ්පාදනයේ) කිරීමේ රූප රාමු ය​. කෙසේ වෙතත් මෙහි පසු නිෂ්පාදනයේ ගීත වල​ සංගීත සංයෝජනයන් හි ‘තාරාවෝ ඉගිළෙති’ නාට්‍ය සංගීතය හරහා ගුණදාස කපුගේ මහතා අරමුණු කළ​ දේශීය අනන්‍යතාවය පිළිඹිබු වේදැ යි ප්‍රශ්නාර්ථයක් නැඟේ .

බෑ බෑ ගෙදර යන්න බෑ
ගෙදර යන්නෙ නෑ මං ගෙදර යන්නෙ නෑ
ගෙදර යන්නෙ නෑ මං ගෙදර යන්නෙ නෑ
පය ඔසවා ගන්න බෑ මගේ
සියොළඟින්ම බැඳ දමා තිබේ
පය ඔසවා ගන්න බෑ මගේ
සියොළඟින්ම බැඳ දමා තිබේ
සිර මැදිරිය හැරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ

ඉගිළ යන්න ඇයි බැරී
ඉගිළ යන්න ඇයි බැරී
ඉගිළ යන්න ඇයි බැරි මගෙ තාරාවෝ
ඉගිළ යන්න ඇයි බැරි මගෙ තාරාවෝ
කූඩුවේ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා
කූඩුවේ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා
විසල් ලොවට මග​ ඉඩ දෙන් නා
ඉතින් ඉගිළියන් තාරාවා
ඉතින් ඉගිළියන් තාරාවා
ඉතින් ඉගිළියන් තාරාවා

බෑ බෑ ගෙදර යන්න බෑ
මට ගෙදර යන්න බෑ
මං ගෙදර යන්නෙ නෑ
දිය පීනා එයි තාරාවා
ඉගිළී පල කළු තාරාවා
දිය පීනා එයි තාරාවා
ඉගිළී පල කළු තාරාවා

ගායනය – ලූෂන් බුලත්සිංහල සහ අනුලා බුලත්සිංහල​

බෑ බෑ ඉගිළ යන්න බෑ:

තට්ටු කරන්න හෙමින්​:

රොඩ්නි වර්ණකුල ගයන “යාළුවෝ මාළුවෝ”:

තොරතුරු මූලාශ්‍ර​::

“ගුණදාස කපුගේ – ඔහුගේ සීමාව සහ සමාජයේ සීමාව”, චන්දිම සිරිමල්වත්ත​ 07.04.2017 HTTPS://WWW.LANKAVIEWS.COM/%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80/

“ප්‍රකම්පනයෙන් ඇසෙන මිත්‍ර කපුගේ ගීතාවලිය”, මිත්‍ර කපුගේ සමග කළ සංවාදයක් ඇසුරෙන් , තිඹිරියාගම බණ්ඩාර​ විසින් සකස් කරනලද කිපිය​, 24.09.2015 HTTP://WWW.DINAMINA.LK/2015/09/24/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B7%83%E0%B7%99%E0%B6%B1-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA

ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය​ – මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී

“සමන්ත කූටෙට බැල්ම තියෙන් නේ
දිවා ගුහාවට මුරේ සිටින් නේ
සිරිපා පද්මේ නිතර වදින් නේ
සමන් දෙවියො මල් යහන වඩින් නේ”

මේ සුමන සමන් දෙවියන් ට මල් යහනකට වඩින මෙන් ඉල්ලා ශාන්තිකර්ම අතරතුර ගැයෙන කවියක්. තිස්තුන් කෝටියක් ඇතැයි සැලකෙන දෙවි දේවතාවුන් විශේෂයෙන්ම, සතර වරම් දෙවිවරුන් අයැද ලෙඩට – දුකට පිහිට, අසහනයට සහනය, අපල උපද්‍රවයන්ගෙන් රැකවරණය උදෙසා කෙරෙන ශාන්ති කර්ම වලදී තැනෙන මල් යහන් මතට වඩින ලෙස දෙවියන් ට ඇරැයුම් කර ගායනා කෙරෙන කවි ‘මල් යහන් කවි’ ලෙස හැඳින්වෙනවා. මල් යහන් කවි ගැයීම කොහොඹා යක් කංකාරියේද ප්‍රධාන අංගයකි. උඩට උඩුවියන් බැඳ, සුවඳ කපුරු දුම් අල්ලා, සුවඳ මල් අතුල, සඳුන් සහ කිරි දියර ඉසින ලද, මල් යහන විසිතුරුය, පිවිතුරුය. දෙවියන්ට වැඩ සිටීමට සුදුසුය.

රජරට ගැමි සම්ප්‍රදායන් හොඳින් දැන ඇසුරු කල, තමන් “වන්නියේ එකෙකු” ලෙස හඳුන්වා ගත් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගේ අතින් ලියැවී, රජරට ගැන විශාල අත්දැකීම් රැසක් ඇති ගුණදාස කපුගේ ශුරීන්ගේ සංගීතය සහ ගායනයෙන් බිහිවුණු ‘මගේ හද මඬල මල් යහනකි ප්‍රභාවතී’ මේ සම්ප්‍රදායික යාග ශාන්තිකර්ම වල ආභාසය ලබා ජන ගී විරිත් ඇසුරු කරමින් නිර්මාණය වුණු ගීතයක්.

“මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබේ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී”

මල් යහන් කවි ගායනය කෙරෙන්නේ මිනිසුන් තැනු මල් යහන් මතට දෙවියන්ට වඩින ලෙස ඇරයුම් කරමින් මුත්, මේ ගීතයේ දී කියැවෙන්නේ ඔහුගේ හදවත නම් පිවිතුරු මල් යහනෙන් දේවතාවියක් නමුත්, කටු යහනක් වැනි හදවතක් ඇති ඇයට නික්මෙන ලෙසයි. ඒ මෙහි ඇති උත්ප්‍රාසයයි. ඇය නිසා ඔහු විඳි දුක් තාපය පද රචකයා ප්‍රකාශ කරන්නේ එකම වදනකින්.ඒ ඇය ‘ප්‍රභාවතී’ ලෙස නම් කරමින්. එනම ඇසුන සැණින් සිහිපත් වන්නේ පබාවතිය ට බැඳී ආලය නිසා නිසා සත් මසක් පුරාවට කුස රජු විඳි දුක් කඳ.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් මේ ගීතය පුරාම ව්‍යංගාර්ථය පිරුණු වහරක් තුලින් ඔහුගේ කවි බස හසුරවනවා. ඔහුගේ උපමා රූපක ඉතාම සියුම් වගේම නොවරදින සුළුයි.

“පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ”
“මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ”
“පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ”

ගීතයෙ හි මා දකින​ සුවිශේෂීම කාරණය වරදෙහි බැඳුණු සිය බිරිඳ (හෝ පෙම්වතිය​) කතා නායකයා විසින් “දේවතාවයේ” ලෙසින් ආමන්ත්‍රණය කිරීම යි. ඊට හේතු කිහිපයක් තිබිය හැකි යි. ඒ ඔහු සිය බිරිඳ​/පෙම්වතිය ට පිවිතුරු සිතකින් ආදරය කිරීම​, වරදෙහි බැඳුණ ද ඇය ඉහළ ස්ථානයක රඳවා ආදර, සැලකුම් ලබන්නට තරම් හැකියාවක් ද ඇති කාන්තාවක වීම – බොහෝ විට ඇය​ රූ සපුවෙන් වගේම​ සමාජ තත්ත්වයෙන් අනෙකුත් ස්ත්‍රීන්ට වඩා ඉහළ තත්වයක සිටින නිසා – ආදී කරුණු ඒ අතර විය හැකි යි. ඊට අමතරව පෙර කී පරිදි පද රචකයා ‘මල් යහන් කවි’ ගායනා කෙරෙන්නේ මල් යහනට වඩින ලෙස කෙරෙන දේවාරාධනයක් ලෙස යැයි යන නිමිත්ත මත පිහිටා රචනා කළ හෙයින් එසේ යෙදුවා වන්නට ත් පුළුවන. මේ කොයි දේ නිසා යෙදුණත් මෙසේ තමන්ට පිටු පෑ කාන්තාව දේවතාවියක ලෙස ඇමතීමට හැකි වීම​,​ ගැමි සමාජය තුළ නාගරික සමාජයෙ හි අප දකින “ප්‍රේමය යි වෛරය යි අතරේ වෙනස කෙස් ගසකට සමයි” වැනි චිත්තාවේගයන්​ එ තරම් මුල් බැස ගෙන නො තිබුණු බවටත් කදිම නිදසුනක් සපයනවා.

කෙසේ නමුත්, ඇයට ඇත්තේ අසම්මත හැසිරීම් බව ගීතය පුරාවට කියැවෙනවා;
“සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඬන් කුමාරියේ “

ඇයගේ මේ අසම්මත හැසිරීම් නිසාත්, නපුරු ගති පැවතුම් නිසාත් (ඔබෙ හද මඩල කටු යහනකි) මල් යහනක් වැනි පිවිතුරු ඔහුගේ හදවතින් ඉවත්වන ලෙස ඔහු ඇයට දන්වා සිටිනවා.

“පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ” – මොණරුන් සිය පිල් ගොමුව විදහා රඟන විට සෙබඩක් ඇදී යන්නාක් මෙන් ඇයද එක් පිරිමියකු වෙතින් ඉවත්ව යන්නේ තවත් පිරිමියකු වෙත යාම සඳහා යි. “මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ” – ඇය මෙසේ පිරිමින් ඇසුරු කරන්නේ “ඉතාම සුළු” සතුටක් , ලාභයක් උදෙසායි.
මේ ගීතයේ පසු පටිගත කිරීම් වලදී මේ කොටස “මල්වර සුවඳ රැඳි වරලස ඉනුව ලියේ” ලෙසින් ගායනා කරනු ඇසීම ඉතාම කණගාටුදායකයි. එය මෙහි ගායකයාණන් වන ගුණදාස කපුගේ ශුරීන් විසින්ම ගීතයට කරන ලද හානියක් හානියක් බව නො කියාම බැහැ.

“පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ” – “පවලම් පොට” යනු පබළූ වැලයි. ගීතයේ එන මේ පද පෙළ පිළිබඳව විවිධ​ මත පළ වී තිබෙනු දැකිය හැකි නමුත්, අප ගේ අදහස නම් ඇයගේ අසම්මත චර්යාව කරණකොට ගෙන සම්මත ජන සමාජයෙන් ඇය පිටමං කිරීම පබළු වැලෙන් තාරකාව ගිලිහී යාම හරහා සංකේතවත් කර ඇති බවයි. මේ තර්කයට හේතු වූ පදනමක් ඇත​. පවලම් පට ගැන “කුළු කවි” නොහොත් “රත්නවල්ලි ගී” වල මෙසේ සඳහන්;

“ඈත සිටන් එන්නෙ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලම් වැල නො සෙල්ලියේ
පැරකුම් රජු ගේ නවරත්නවල්ලි යේ”

ලිපියෙහි පහත විස්තර කර ඇති පරිදි ගීයේ තනුවට මෙන් ම පද මාලාව සකස් කිරීමේදී ද, පාදක වී ඇත්තේ මේ රත්නවල්ලි ගී නම් ජන ගී විශේෂයේ කවි ගායනා තාලය සහ එහි පද ආකෘතිය බව පහසුවෙන් හඳුනා ගත හැකි යි. රත්නවල්ලි ගී වලම එන පහත කවියේ පද ආකෘතිය දෙසත් බලන්න​;

“නිල්බර නිල් රුකට නැගිලා උන්නු ලියේ
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ
නිල්බර එ නිල් අතු පැහැපත් ලාපු ලියේ
නිල්බර තෙලඹුවෙන් බහු රත්නවල්ලියේ”

“රත්නවල්ලි ගී” හා බැඳුණු පුරාවෘතයට අනුව, රත්නවල්ලිය ද රජ කුලයෙ හි ඉපිද, ඈ තුළ ප්‍රකට වූ අසම්මත චර්යාවක් හේතු කොට ගෙන (මිනී මස් කෑමට ගිජු වූ නිසා බව තැනෙක කියන අතර​, රජ ගෙදරට මස් සැපැයූ රොඩී කුල පුරුෂයකු හා පෙමින් වෙළීම නිසා බව තවත් තැනෙක සඳහන්) රොඩී කුලයට පිටමං කෙරුණු තැනැත්තිය කි. ජනශ්‍රැතිය​ හොඳින් අසා හුරු පුරුදු ස්වර්ණ ශ්‍රි බණ්ඩාරයන්හට ගීතය රචනා කිරීමේ දී රත්නවල්ලි පුරාවෘතයෙ හි ආභාසය ලැබීම නිසා එකී අර්ථයෙන් යෙදුවායැයි සිතීම වඩා සාධාරාණයැයි සිතේ.

“සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ -මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ” – ඇය මෙසේ බොහෝ පිරිමින් සමග යහන් ගත වුවත්, එය ඇයට තාවකාලික සතුටක් පමණක් ගෙන දුණි. ඒ හැම විටෙකම අවසානයේදී තමා විසින් කරන ලද වරද පිළිබඳව ඇය පසුතැවිලි වෙනවා.
“මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඬන් කුමාරියේ”,
“කරපු පවට නාඬන් දේවතාවියේ”
ඔහු මෙසේ පවසන්නේත් ඒ නිසයි.

මේ ගීතය පිළිබඳව​ මුල් වරට ම විසින් සටහනක් පළ කරනු ලැබූයේ 11/12/2013 දින​ “ගීයක වරුණ​” ගීත සමූහය තුළ කෙටි පූර්විකාවක් නැතහොත් ප්‍රවේශයක් ලෙසින් පමණි. ඒ හැර ගීත විචාරයක් කිරීම එම සටහනින් බලාපොරොත්තු වූයේ නැත​. දිනියස් එකතුව සමූහයේ සාමාජිකාවක​ විසින් මෙහි එන​ ඇතැම් යෙදුම් වල අර්ථය පිළිබඳව​ විමසීමක් කර තිබූ හෙයින් ගීතයේ පදරුත් ගැන​ මගේ කියැවීම මෙසේ සටහන් කිරීමට​ අදහස් කෙළෙමි.

‘ගීයක වරුණ​’ සමූහයේ දී ඇති වූ සංවාදය තුළ මෙතෙක් සිංහල ගීතය සම්බන්ධයෙන් කෙරුණු සංවාදයන් හි දී මුහුණ දුන් ​ දුර්ලභ අත්දැකීමක් පිළිබඳව ද​​ විශේෂයෙන් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි; ඒ ගීයෙහි තනුවට පාදක වූ ජන ගීය කුමක්දැයි යන්න අනාවරණය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබීම යි. ‘ගීයක වරුණ’ සංවාදයේ දී ද “පවලම් පොට​” යනු කුමක්දැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුර සටහන් කර ගෙන යද්දී – මගේ මතකයට නැගුණේ මේ ගීයේ තාලය රත්නවල්ලි ගී තාලය හා බෙහෙවින් සම්පාත වෙනවා නො වේද යන කාරණය යි;
[පවලම් පට කියන්නේ කරේ බඳින අභාරණයක් ලෙස තමයි දන්නේ. කුළු නැටුමේ එන මේ කවිය බලන්න.
“ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නි සෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලම් පොට නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ”

කපුගේ, මේ ගීතයේ තනුව මේ කුළු නැටුම් කවි ගායනා විරිත ඇසුරෙන් නිර්මාණය කළාදෝ කියා සිතෙනවා?”] – මම පැවසුවෙමි.

කෙසේ වෙතත්, කවිය ගයා පෙන්වීමේ හැකියාවක් නො තිබූ හෙයින්, දැනට සමාජ මාධ්‍ය පරිහරණයෙන් බැහැරව සිටින දුෂාන් අත්තිඩියවිදාන සහෘදයා ගෙන් ලද සහයෝගය නො වන්නට මේ කරුණ තහවුරු කර ගැනීමේ අවස්ථාව ගිලිහී යන්නට ඉඩ තිබුණි. වහා ඔහු සතුව තිබූ “රත්නවල්ලි ගී” ගුවන්විදුලි පටිගත කිරීම අප වෙත ලැබෙන්නට සැලස් වූ හෙයින් රත්නවල්ලි ගී සහ ගුණදාස කපු ගේ ශූරීන් ගේ “ප්‍රභාවතී” ගීයේ තනුව අතර ඇති සමානකම හඳුනා ගැනීමේ අවස්ථාව සංවාදයට සහභාගී වූ අප සියල්ලන්ටම ලැබී ගිය බව​ කෘත ගුණ පූර්වකව සඳහන් කරමි. ඉහතින් සඳහන් කර ඇති පරිදි රත්නවල්ලි ගී පුරාවෘතය පිළිබඳ කරුණු අනාවරණය වූයේ ද ඉන් අනතුරුව යි. ඉතිහාස කරුණුවල සදොස් තැන් ඇත්නම් නිවැරැදි කරනු ඇතැයි අපේක්ෂා කරමි.

අවසාන වශයෙන්, මේ ගීතයේ ගායනය ගැනද යමක් නොලියැවුණහොත් විශාල අඩුවකි. ගායනයේදී අවස්ථානුකුලව භාවයන් උත්පාදනය වන සේ පද උච්චාරණය සඳහා කදිම නිදසුනක් මේ ගීතය සපයනවා. පිටිසර බද ගමක උපත ලද, රජරට කලක් ජීවත්වූ ගුණදාස කපුගේ සූරීන් ගේ වචන උච්චාරණය කිරීමේ ඇති ගැමි ආර ගීතය පුරාම විද්‍යමාන වෙයි. එහෙත්, ගීතය ආරම්භයේදී “මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී” – ‘ප්‍රභාවතී’, “සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ – මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ” – ‘ලියේ’, “මල් සුවඳකට බැඳී වරලස ඉනුව ලියේ” – ‘වරලස’ සහ “කරපු පවට නාඬන් දේවතාවියේ” – ‘නාඬන්’ යන පද උච්චාරණයේ දී මේ ගැමි ආර වඩා ප්‍රකට වෙයි.

ගීතය අවසාන යේ දී ඇසෙන බට නළා වාදනය කතා නායකයා මේ සමස්ත සිද්ධි දාමය හරහා යාමේ දී, ඔහු සිත් ඔහු තුළ හට ගැනෙන​ අනුවේදනීය හැඟීම් සියල්ල එකට කැටි කොට දක්වා සිටී.

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබේ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඬන් කුමාරියේ

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ
මල් සුවඳකට බැඳී වරලස ඉනුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඬන් දේවතාවියේ

අමා නයනාදරී සිරිවර්ධන​
14/08/2019

මෙතැනින් ගීතයට සවන් දෙන්න:

https://www.mediafire.com/file/ofllg4lml3zyt3a/Prabhawathi_-_Gunadasa_Kapuge.mp3/file

රත්නවල්ලි ගී ජන කවිය ටි.එම් ජයරත්න සහ නීලා වික්‍රමසිංහ දෙපළ ගේ හඬින්:

තොරතුරු මුලාශ්‍ර:

‘සිංහල සැහැලි’, විකි පොත් වෙබ් අඩවිය http://si.wikibooks.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B7%83%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%92_-_ii

‘හෙළ ජන ගී’ වෙබ් අඩවිය http://www.helajanagee.org/page.php?cat=yaga-gee

‘නුවර කලාවියේ හෙලුවැලි බලිය’ , ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් සැමරුම් විශේෂාංගය, දිනමිණ (2012/12/07) http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/12/07&id=2012/12/07/b1212072

‘කිසිදිනක නොමියෙන සත්‍යයේ හඬ කපුගේ’, කපුගේ ශුරින් සැමරුම් විශේෂාංගය, දිවයින (2010/08/08) http://www.divaina.com/2010/08/08/cineart06.html


‘උඩරට නැටුම් කලාව’ (2010), ජේ . ඊ සේදරමන්

Design a site like this with WordPress.com
Get started