ජන සම්ප්‍රදායයන් ඇසුරෙන් ගීත නිර්මාණය

ගීත නිර්මාණයේ දී සාම්ප්‍රදායික ජන කවි, ගී පද සහ නාද මාලා සංකලනය කිරීමේ ​ උනන්දුවක් ඇති වී තිබෙනු වර්තමානයේ බිහි වන ඇතැම් ගී නිර්මාණ දෙස බැලූ විට පෙනී යයි​. ඇති වී ඇති මේ උද්‍යොගය ජනප්‍රියත්වය විනා කිසියම් පුළුල් පරමාර්ථයක් පෙරදැරිව සිදු වන්නක් දැ යි යන සැකය මේ ඇතැම් ගීත වලට සවන් දෙන විට මතු වේ. එදා ගැමි සංස්කෘතියෙහි දකින්නට ලැබුණු සිරිත් විරිත්, ඇඳුම් පැළැඳුම් සහ ගායනා විධි ආදී අංග​ අගය කිරීම හුදු විලාසිතාවක් බවට පත් කරගෙන ඇති නාගරික ජනයාගෙන් සමන්විත වෙළෙඳ පොළ ඉලක්ක කිරීමක් හැරුණු කොට​, ගී පදමාලා, නාද රටා, අරුත්, සන්දර්භය සහ ඖචිත්‍යය ආදී අංග සලකා, ගැඹුරු කලාත්මක පදනමක පිහිටා කෙරෙන ගී නිර්මාණ​ දකින්නට​ නො ලැබෙන තරම් වෙයි. කෙසේ වෙතත්, මේ තත්ත්වය වර්තමානයට පමණක් සීමා නො වන්නක් බවත්, වර්තමාන සිංහල ගීතයේ ආරම්භක යුගයේ (1940-50 දශක වල​) පටන් ම පැවැති ගැටළුවක් බවත් ගීත ඉතිහාසය පරීක්ෂා කර බැලිමේ දී පෙනී යන කරුණ කි. විදුලි හෝ ගෑස් උදුන් භාවිතයෙන් ඇලුමිනියම් භාජන වල පිසින ලද කෑම වර්ග මැටි බඳුන්වල දමා ප්‍රදර්ශනයට තබා “ගමේ කෑම” අලෙවි කරන්නා සේ, ගැමි ගීයක පද කිහිපයක් හෝ ගැමි වහරෙහි එන වචන කිහිපයක් අතරින් පතර ඇසෙන්නට සලස්වා ජන ගී ආභාසය ලැබූ ගී නිර්මාණ ලෙස​ හුවා දක්වන ආකාරයක් නිරීක්ෂණය වේ. ගීතය ආරම්භයේ දී ජන කවියක් ගායනා කළ පමණින්, ජන වහරෙහි එන පද කිහිපයක් පද මාලාව තුළ හමු වු පමණින් නැතහොත්, දේශීය වාද්‍ය භාණ්ඩ කිහිපයක් වාදනය කළ පමණින් ජන ගායනාවක හැඩ රුව සහ වර්ණය ඇති ගීතයක් බිහි නො වන බව​ වටහා ගැනීමට නම්, වර්තමාන ගීතයේ ආරම්භක අවධියේ සිට​​ ජන ගී ඇසුර ලබා කර ඇති නිර්මාණ පුළුල්ව විමර්ශනය කළ යුතු ය​.

ජන සම්ප්‍රදායයන්ගෙන් පෝෂණය ලැබූ අපේ ම සංගීත ආරක් බිහි කිරීම සඳහා අවධානය යොමු කර ඇත්තේ විසිවන සියවසෙහි මුල් දශක කිහිපය තුළදී ම බැව් විවිධ මූලාශ්‍ර පිරික්සීමේ දී පෙනී යයි. මතු දැක්වෙන්නේ එහි ලා කෙරුණු පුරෝගාමී සහ තීරණාත්මක සම්ප්‍රදානයන් පිළිබඳව කෙටි විමසුම කි.

යටත් විජිත පාලනයේ අවසන් සමය වන විට නිදහස් රටක් වීමේ අපේක්ෂාවත් සමඟ​ ජාතික අනන්‍යතාවය සොයා යාම පිළිබඳ උනන්දුවක් ලංකාවේ සෑම ක්ෂේත්‍රයක ම පාහේ ඇති විය​. නූර්ති යුගයෙන් පසුව එළැඹෙන යුගයේ දී ඉන්දීය ගැති භාවයෙන් මිදී, අපේම ගීත සම්ප්‍රදායයක්, වෙනත් වචනයෙන් කිවහොත්, හෙළ ඌරුව ඇති සංගීත ආරක්, බිහි කර ගැනීමේ වැදගත්කම කෙරෙහි සංගීත ක්ෂේත්‍රයේ අවධානය යොමු විය​. ඒ සඳහා ගත යුතු මඟ​ ගැන සැවොම එක ම මතයක නොසිටියෝ ය. අපේ ජන සම්ප්‍රදායයන් ඇසුරු කරගෙන අපේ සංගීතය ගොඩ නගා ගත යුතු ය යන අදහස නැඟූ පිරිසක් සිය මතය ප්‍රබල ලෙසින් කියා පෑවෝ ය.

“අපටම උරුම වූ දේශීය සංගීතයක් නැතැයි ද​, එවැන්නක් ගොඩ නැගිය යුත්තේ භාරතිය හින්දුස්ථානි සංගීතයේ අනුසාරයෙන් යයි ද ඇතැමෙක් කියති. ඇතැමෙක් එය වංග සංගීතයට අනුව සෑදිය යුතු යැයි කියති. මේ අතර බටහිර ඌරුව අනුව මෙය සකස් විය යුතු බව සමහරෙකු ගේ අදහස යි. සිංහල සංගීතය ජන කවි, වන්නම් ආදියට පමණක් සීමා විය යුතු බව තවත් අය ගේ අදහස යි. මේ හැම ක්‍රමයේ ම හැම සැලැස්මේ ම සංගීත රසයක් තිබෙන බව ලොකු කුඩා කා හට වුව ද වැටහී යන කරුණ කි. ජනප්‍රිය සිංහල සංගීතයක් ඇති කිරිමට අප විසින් තෝරා ගත යුත්තේ කවර ක්‍රමය ද, කවර ඌරුව ද​?” (සමරකෝන් 2013, පිටු.141-142)

කවර ක්‍රමය යොදා ගත්ත ද සිංහල සංගීතය සකස් කර ගත​ යුත්තේ අපට හුරු පුරුදු දේශීය ඌරුවටම බැව් ආනන්ද සමරකෝන් මහතා සිය ලිපියෙහි වැඩි දුරටත් කියා සිටී. අද විකාශනය වී ඇති හින්දුස්ථානී රාගධාරී, කර්ණාටක සහ බෙංගාලයේ වංග සංගීත සම්ප්‍රදායයන් වල ද මූලය ඒ ඒ ප්‍රදේශ වල පොදු ජනයා අතර ප්‍රචලිතව පැවැති​ ජන සංගීතයම බව ඒ මහතා පෙන්වා දෙන වැදගත් කරුණකි. බෙංගලයේ පවතින වංග සංගීතය ද ජන සංගීතයෙන් ආභාසය ලැබ රාගධාරී සහ බටහිර​ සංගීතයෙන් පෝෂණය වී බිහි වූවක් බව ආනන්ද සමරකෝන් මහතා පෙන්වා දෙයි. එකී රටවල මේ සංගීත සම්ප්‍රදායයන් මුල් බැස ගත්තේත්, දේශීය මුහුණුවරක් සහිතව විකාශනය වූයේත් පොදු ජන සම්ප්‍රදායයන් වල ආභාසය ලබා ඇති බැවිනි (සමරකෝන්, 2013). වර්ෂ​ 1937 දී ශාන්ති නිකේතනයේ සිට මෙරට පැමිණෙන​ ආනන්ද සමරකෝන් මහතා සිංහල ජන ගීයට සමීප වන​ වංග සංගීත සම්ප්‍රදායයේ ආභාසය ලබමින් නිර්මාණකරණයේ යෙදෙන්නේ ද හෙළ ආරේ ගීත​ සම්ප්‍රදායයක් බිහි කිරීමේ අදහස පෙරදැරිව යි. එ නමුත්, ඒ මහතා ගේ ඇතැම් ගීත වල නාදමාලාවන් හි ප්‍රකට වුයේ වංග ගීත ස්වරූපය වන අතර​, දේශීයත්වය රැඳී තිබුණේ පද රචනාව තුළ පමණක් බව ‘හඬ’ සඟරාවේ ආනන්ද සමරකෝන් සමරු කලාපයට ලිපියක් තබමින්, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු වන​ කෝලිතභානු දිසානායක මහතා (2011) කියා සිටී.

ආනන්ද සමරකෝන්ගෙන් පසු ලාංකීය​ අනන්‍යතාවයකින් යුතු සංගීතයක ඇති වැදගත්කම අවධාරණය කෙරෙන්නේ 1944 දී ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය ලබා මෙරට පැමිණි සුනිල් සාන්තයන් විසිනි. ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ මුනිදාස කුමාරතුංගයන් හඳුන්වා දෙනු ලැබූ “හෙළ මියැසිය” චින්තනය​, හෙළ හවුලට බැඳුණු සුනිලුන් විෂයෙහි “දේශීය සංගීතය” නමින් ක්‍රියාත්මක වන්නට විය​ (ආරියරත්න,2015)​. වර්ෂ​ 1948 දී ලංකාදීප පුවත්පතට ලිපියක් තබන සුනිල් සාන්තයන්, හෙළ සංගීතයක් බිහි කර ගැනීමේ අරමුණ පෙරදැරිව​, වංග ගී රූපය අනුව ගී නිර්මාණ ඉදිරිපත් කරමින් ආනන්ද සමරකෝන් මහතා විසින් කරන ලද මෙහෙවර​ අගය කරන අතරේ​​, අපේ රටේ සංස්කෘතික අනන්‍යතාවයට අනුකූලව​, අපටම වෙසෙස් වූ, පිරිසිදු දේශීය ලක්ෂණ වලින් පොහොසත් සංගීත ක්‍රමයක් ඇති කිරීමට නම්, හින්දුස්ථානි ස්වරූපය පමණක් නොව​, වංග ගී රූපයෙන් ද මිදිය යුතු බව​ අවධාරණය කර සිටී (සුනිල් සාන්ත​ 2013). ගැමි ගැහැණියක ගේ මුවින් නැගෙන හැවීම්, වැළැපීම් ලතාව​ සිය “කුකුළු හැවිල්ල” ගීතයෙහි තනුව සඳහා ආශ්‍රය කර ගනු ලැබුවේ, එසේ සිංහල ඌරුව ඇති ගීතයක් සකස් කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් බව​ සුනිල් සාන්තයන් කියා සිටින්නේ 1950 දී යි (සුනිල් සාන්ත​ 2013). මෙසේ සුනිල් සාන්තයන් භාරතීය හින්දුස්ථානි සංගීතයෙන් පමණක් නොව, වංග ගීතයෙන් ද මිදී පිරිසිදු​ දේශජ ලක්ෂණ ප්‍රකට කරවන​ සංගීතයක් නිපදවා ගැනීම සඳහා ශ්‍රී ලාංකීය ජන සම්ප්‍රදායයන් වල ආභාසය ලැබීමේ වැදගත්කම පෙන්වූ ව ද​​, රාග ඥානය අත් හළ​ සුනිලුන් ගේ ගීත බොහෝ සෙයින්​​ බටහිර සංගීත විධි ක්‍රම​ කේන්ද්‍ර කර ගනිමින්,​ රබීන්ද්‍ර සංගීතයෙන් ද පෝෂණය ලබා ගොඩ නැඟී ඇති බව​ ‘සුනිල් සාන්ත අධ්‍යනය​’ කෘතියෙහි දී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා  (2015) පෙන්වා දෙයි.

මේ අනුව බලද්දී, ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත යන මේ දෙදෙනා ම ලංකාවේ ආධ්‍යාත්මික සහ සංස්කෘතික පරිසරයට අනුකූල දේශීය අනන්‍යතාවයකින් යුත් සංගීත සම්ප්‍රදායයක් බිහි කර ගැනීම පිළිබඳව සංකල්පයක් ලෙස ඉදිරිපත් කළ ද, ප්‍රායෝගිකව ඒ සඳහා සැලැකිය යුතු මට්ටමකින් දායක විය නො හැකි වීමට කරුණු කාරණා යෙදිණි​. සුනිල් සාන්තයන්හට ගුවන්විදුලියේ රැඳී සිටිය හැකි වූයේ අවුරුදු හතක් පමණ වූ කෙටි කාලයක් වීම ද ඒ සඳහා එක් හේතුවක් විය හැකි යි. මධ්‍යස්ථ විචාරකයකු වූ  ආචාර්ය තිස්ස අබේසේකර මහතා (2007) පෙන්වා දෙන්නේ සමරකෝන් සහ සුනිල් සාන්ත සංගීතයෙහි ඇති දේශීය ස්වරූපය, ජන වහරට ආවේණික ශබ්ද ධර්මයන්ට​ අනුගතව, බස සහ ස්වරය අතර ඇති ඓන්ද්‍රිය සම්බන්ධතාවය සැලැකිල්ලට ගනිමින් ස්වර පිහිටුවීම​ නිසා ඇති වූවක් බව යි. ඇත්තෙන්ම​  සිංහල ගීතයේ ඉතිහාසය පිළිබඳව​ සොයා බලන්නෙකුට  1937 දී  ආනන්ද සමරකෝන් ගේ ලංකාගමනයට පූර්වයෙන් ද ජන සංගීතය ආශ්‍රිත නිර්මාණ​ පර්යේෂණ මට්ටමෙන් කෙරී ඇති බවට අප්‍රකට තොරතුරු හමු වෙයි. දේවාර් සූරියසේනයන් 1934 දී වන්නම් සහ පාරු සී පද නාද රටාවන් ඇසුරෙන් කළ කිතුණු ජන වන්දනාව ද එ වැන්නකි. දේවාර් සූරියසේනයන් ගේ සමකාලීනයන් වූ, හියුබට් රාජපක්ෂ, සරණගුප්ත අමරසිංහ​, වැනි ශිල්පීන් ගේ සහභාගීත්වයෙන් තැටිගත​ කෙරුණු වන්නම්, කවි ඇතුළත් පර්යේෂණාත්මක ගායනාවන් ද ඒ අතර වේ.  එහෙත්, හෙළ බසේ නෛසර්ගික​ ශබ්ද ධර්මයන්ට පිටු පා ස්වර නැඟීම හේතු කොට ගෙන ඔවුන් ගේ නිර්මාණ​ ජනගත නො වීය​​ (අබේසේකර​, 2007; සරච්චන්ද්‍ර​, 2015).  මීට අමතරව මෙම කාල වකවානුවේදී ම​, බටහිර හෝ  හින්දුස්ථානී ශෛලියට ගැති  නොවී, ස්වාධීන ආරක් ගත් මොහොමඩ් ගවුස් සහ​ යූ.ඩී පෙරේරා වැනි සංගීතවේදීන් ගේ වන්නම් සහ  පිරිත් වැනි නාද රටා ආශ්‍රිත නිර්මාණ ද හමු වේ. ජනයා අතර ප්‍රචලිත නොවුණ ද​​, මොහොමඩ් ගවුස්, යූ.ඩී. පෙරේරා , දේවාර් සූරියසේන ආදීන් ගේ උත්සාහය ඔවුන් ගේ අනුප්‍රාප්තිකයන් වන​​  ආනන්ද සමරකෝන් සහ​ සුනිල් සාන්ත දෙපළට දේශීය සංගීතයක් උදෙසා සිය චින්තනය සකස් කර​ ගැනීම පිණිස​ උත්තේජනදායී ආරම්භයක් ලබා දුන් බව අපට බැහැර කළ නො හැකිය​.

1952 න් ඇරැඹෙන ගුවන් විදුලියේ එම්.ජේ පෙරේරා යුගයේ දී (1952 – 1956) උත්තර භාරතීය රාගධාරී සංගීතය සමඟ​​ සිංහල ජන ගී නාද රටාවන් මුසු කරමින් දේශීය අනන්‍යතාවයක් ඇති ගීත නිර්මාණය සඳහා ශිල්පීන් දිරි ගැන් වූ බව ආචාර්ය දයාරත්න රණතුංග මහතා (2013) ප්‍රකාශ කරයි, අද ද බෙහෙවින් ජනප්‍රිය ගීතයක් වූ “මහ රෑ යාමේ මේ ඇල්හේනේ” ගීතය බිහි වූයේ ද මේ අවධියේ දී බව ඒ මහතා නිදසුනක් ලෙසින් පෙන්වා දෙයි.

ඉන් අනතුරුව​ අපට හමුවන්නේ දේශීය අනනන්‍යතාවයකින් යුතු ගීත​ කලාවක් උදෙසා පණ්ඩිත් අමරදේවයන් විසින් දක්වන ලද දායකත්වය යි. භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරූ පණ්ඩිත් අමරදේවයන් ගේ ලංකාගමනයෙන් පසුව​, ඔහු ගුවන්විදුලියට සම්බන්ධ වීමත් සමඟ​​ (1959න් පසු) ජන ගීයෙහි ආභාසය ලබමින් දේශයට හිතකර සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය පිළිඹිබු කරන​ සිංහල​ ගීත සම්ප්‍රදායයක් බිහි කිරීමේ ක්‍රමවේදය එතුමන් ගේ නිර්මාණ දායකත්වයෙන් තව දුරටත් මල් ඵල ගැන් වී, ඉදිරියට ගලා ගිය බව​ ගීත විශ්ලේෂණය කිරීමේ දී පෙනෙන්නට තිබේ. ජන​ සංගීතය ඇසුරු කිරීමේ ක්‍රියාවලියේ දී, උත්තර භාරතීය රාගධාරී සංගීතය මහා සම්ප්‍රදාය වශයෙන් ද, සිංහල ජන සංගීතය චූල සම්ප්‍රදාය වශයෙන් ද තබා ගත යුතුය යන​ ස්ථාවරයෙ හි සිටි පණ්ඩිත් අමරදේවයන් ප්‍රමුඛව දේශීය හැඩතල ඇති ගීත රාශියක් “මධුවන්ති”,”පිළේ පැදුර​” සහ​ “ස්වර වර්ණ​” වැනි ගුවන්විදුලි වැඩසටහන් සහ ගීත නාටක හරහා හෙළ ගීත සාහිත්‍යය පෝෂණය කරමින් බිහි වූ අතර, මඩවල එස්. රත්නායක , මහගම සේකර ආදී පද රචකයන් ගේ සහභාගීත්වයෙන් සාහිත්‍යමය ගුණයෙන් ද ඒවා බෙහෙවින් පොහොසත් විය (රණතුංග 2013 ; සරච්චන්ද්‍ර 2013)​.

බටහිර ආභාසය ලැබූ බවට බොහෝ විට ගර්හාවට ලක් වුව ද, ප්‍රේමසිරි කේමදාස මහතා ගත් මඟ​ ද​ මෙයම බව පරීක්ෂා කර බැලීමට නදීක ගුරුගේ මහතා (2013) යෝජනා කර සිටී. කේමදාස සංගීතයේ මූලය සහ පදනම වන්නේ ජන සංගීතය ම බවට ඒ මහතා උදාහරණ දෙකක් සපය යි. ඒ දේව යාදින්නක් වූ කෝල්මුර කවි ආශ්‍රයෙන් නිර්මාණය කළ “දඬුබස්නාමානය” ටෙලි වෘත්තාන්තයේ තේමා ගීතය සහ අයිවෝ ඩෙනිස් මහතා ගායනා කළ “ඉර වට යන ගිරවියනේ” ගීත දෙක යි. සරත් දසනායක​, ඔස්ටින් මුණසිංහ​,සෝමදාස ඇල්විටිගල​, ගුණදාස කපුගේ, රෝහණ වීරසිංහ, වික්ටර් රත්නායක, රෝහණ බැද්ද ගේ වැනි කලාකරුවන් ද විවිධ සංගීත සම්ප්‍රදායයන් සහ ශිල්ප ක්‍රම ඇසුරු කරමින් මුත්, අවසානයේ දී අපේ රටේ ජන විඥානයට​ ගැලපෙන , අපටම ආවේණික සංගීත ක්‍රමයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කළ බව ඔවුන් විසින් කරන ලද නිර්මාණ විමර්ශනය කරන්නෙකුට පැහැදිලි වෙයි.​

ඉහත සඳහන් සංගීතවේදීන් ගත් මඟ නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන තවත් වැදගත් කරුණක් ඇත​​. දේශීය සංගීතයක් උදෙසා ගත යුතු මඟ ගැන සැවොම එක ම මතයක නොසිටිය නමුත්, ක්‍රමානුකූලව ගොඩ නැඟුණු කුමන හෝ විදේශීය මහා සම්ප්‍රදායයක ඇසුර නො මැතිව​, සුපිරිසිදු දේශීය සංගීතයක්  බිහි කර ගැනීම යන සංකල්පය යතාර්ථවාදී නොවන​ බව ඔවුන්​ දැන සිටි බවයි​​.  ඔවුන් ගේ නිර්මාණ ඒ සඳහා සාක්ෂි සපය යි.  ඒ වෙනුවට ඔවුහු විදෙස් සංගීත සම්ප්‍රදායයන්ගෙන්​ අවශ්‍ය දේ ගෙන​, යෝග්‍යතාවය​ අනුව ඒවා අපේ ජන සංගීත නාද රටාවන් හා  සංයෝග කරමින්,​ දේශීය අනන්‍යතාවයක් ඇති  නිර්මාණාත්මක ව්‍යවහාරික සංගීත කලාවක් බිහි කර ගැනීමේ කාර්යයෙහි නියැලුණ හ​.

ජන සංගීතයේ ආභාසය ලබමින් කළ නිර්මාණාත්මක ගීත​ සංඛ්‍යාව මඳ​ වුව ද, අපේකම පිළිඹිබු වන​ සංගීත සම්ප්‍රදායයක් බිහි කර ගැනීමේ ක්‍රියාවලියේ දී ඩබ්ලිව්. බී. මකුලොලුව සහ සී. ද. එස් කුලතිලක දෙදෙනා ගේ තීරණාත්මකය සම්ප්‍රදානයන් ද විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙයි.

මකුලොලුව මහතා ජන සංගීතය පිළිබඳව ප්‍රායෝගිකව​​ ගවේෂණයෙහි සහ පර්යේෂණයන්හි නියැලුණෙ කි. මකුලොලුව මහතා ගේ මතය වූයේ අපේ සංගීතය, ජන සංගීතය මත ම පදනම් විය යුතු බව යි. විදෙස් සම්ප්‍රදායයන් හි භාවිතය අවම විය යුතු බව යි. ප්‍රාසාංගිකව ඉදිරිපත් කළ හැකි සෑම දෙයක්ම ජන සංගීතය මත පදනම් ව කළ හැකි බව පෙන්වීමට ඔහු සිය පර්යේෂණයන් ගේ ප්‍රතිඵල අනුසාරයෙන් “දෙපානෝ” වැනි ගීත නාටක ඉදිරිපත් කර පෙන්වීය. ජන ගී සංරක්ෂණය කැරවී ය​​. ගුවන්විදුලිය තුළ අධිපතිවාදී ව කටයුතු කළ​, උත්තර භාරතීය සංගීත සම්ප්‍රදායයන්ගෙන් තොරව සංගීතයක් නො පැතූවන් ගෙන් එල්ල වූ විශාල ප්‍රතිරෝධය හමුවේ නො සැලී කටයුතු කළ​, මකුලොලුව මහතා ගේ ජන සංගීතය පිළිබඳ සොයා ගැනීම් 60 වැනි දශකය අග භාගයෙහි දී මෙරට සංගීත අධ්‍යාපනයට ද ඇතුළත් වුණි (ප්‍රනාන්දු 2013).

ජන සංගීතය පිළිබඳව ගවේෂණ කටයුතු වල යෙදී සිටි සී.ද​. එස් කුලතිලක මහතා, 1970 දී ගුවන්විදුලියේ ජන ගී පර්යේෂණ අංශයෙහි ප්‍රධානියා වශයෙන් පත් වීමෙන් අනතුරුව විශාල වශයෙන් ජන ගී පටිගත කර සංරක්ෂණයට කටයුතු කෙළේය​. එසේ ම ජන ගී ඇසුරින් නව නිර්මාණ බිහි කිරීමට ද අවධානය යොමු කෙළේය​. මුල් ජන ගායනා ස්වරූපයෙන් ම පටිගත කිරීම ඔහු ගේ අභිලාෂය​ වුව ද​, එවකට ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබැවූ රිජ්වේ තිලකරත්න මහතා ගේ උපදෙස් අනුව , බෙර වැනි අවනද්ධ භාණ්ඩ ඇතුළු අවම සංගීත භාණ්ඩ සංඛ්‍යාවක් යොදාගෙන, සරල සංගීතයක් මුසු කරමින් ජන ගායනා තරමක් නිර්මාණාත්මක ස්වරූපයකින් පටිගත කිරීමට කටයුතු කෙරිණි. මුල් ස්වරූපයෙන් සංරක්ෂණය කළ ජන ගායනා සහ නාද මාලා ද​, ඒ ඇසුරෙන් කළ නව නිර්මාණ ද තැටි ගත කර ජනතාව අතරට යැවීමට ද කුලතිලක මහතා කටයුතු කළේය (කුලතිලක, 1974 ; ප්‍රනාන්දු, 2013).

මෙතෙක් අප සඳහන් කළ සියළු ශිල්පීන් විසින් අපේ ජන උරුමයේ ඇසුර ලබමින් නිර්මාණකරණයේ යෙදීමට උත්සුක වූයේ හුදෙක් විනෝදාස්වාදය සහ වාණිජකරණය අරමුණු කර ගනිමින් නොව​, ඊට වඩා පුළුල් පරමාර්ථයකින් බව පෙනී යයි. ජන සංගීතය ඇසුරෙන් අපේ ම සංගීත ආරක් බිහි කරගැනීම, සම්ප්‍රදාය අසුරු කරගෙන කෙරෙන නව නිර්මාණ හරහා සම්ප්‍රදාය සහ නූතනත්වය​ අතර සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම, ජන සම්ප්‍රදායයන් ජාතික උරුමයන් සේ සලකා සංරක්ෂණය කිරීම​ යන ප්‍රධාන අරමුණු ඔවුන් ගේ සම්ප්‍රදානයන් තුළ දැකිය හැකි ය. ගීතයක අර්ථ රසයට හානි නොවන සේ, අර්ථය වැඩි දියුණු වන සේ, අනෙකුත් සියලුම අංග හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින සේ, එමෙන් ම ගීතය වාදනය කෙරෙන සංදර්භයට ගැලැපෙන සේ ජන කවියෙහි එන නාදමාලා සහ පද සංකලනය​​​, ඉතා සීරුවෙන් ශාස්ත්‍රීය පදනමක පිහිටා කළ යුතු ය යන ස්ථාවරයෙ හි පිහිටා ඉහත කී පිරිස කටයුතු කර ඇති බව ඔවුන් ගේ ගී නිර්මාණ විමසා බැලීමේ දී පෙනී යයි. මුල් කාලීන ශිල්පීන් ගේ ප්‍රයත්නයන් එ තරම් සාර්ථක වූ බවක් නො පෙන්වූව ද​​​, ඒවා පසු කාලීනව අවිච්ඡින්නව ගලා ගිය ජනශ්‍රැති ආශ්‍රිත පර්යේෂණ සඳහා​ අනුප්‍රාප්තිකයන්ට මඟ පෙන් වූ ආලෝකයක් විය​​. 

ජනශ්‍ර්‍රැතියෙහි එන කවි , සැහැළි, වන්නම් හා යාදිනි ආදී ජන ගී ආභාසය ලබමින් දේශීය අනන්‍යතාවයක් ඇති ගී නිර්මාණය කිරීමේ ක්‍රමවේදය පුළුල් මාතෘකාවක් වන අතර​, මේ සටහන ඒ සඳහා ප්‍රවේශයක් පමණක් බව සඳහන් කරනු කැමැත්තෙ මු. මෙකී ක්‍රමවේදයේ දී බොහෝ විට​ මුල් ජන ගීතයේ නාද රටාවන් යොදා ගනිමින් තනුවේ වර්ධනය කිරීමක් සිදු කර ඇති බව හැර මුල් ජන ගීතය පැහැදිලිව හඳුනා ගත නොහැකිය. එහෙත් ඇතැම් අවස්ථාවන් වලදී මුල් ජන ගී ආකෘතිය එලෙසින්ම පාහේ යොදා ගත් බවක් ද හඳුනා ගැනීම​ අපහසු නැත​. ඒවායින් ඇතැමෙක​ කවි ගායනා ආකෘතිය පමණක් දැකිය හැකි වන අතර, මුල් ජන ගීයේ කවි ගායනා ආකෘතිය මෙන් ම, පද ආකෘතිය ද ගීතය තුළ හමු වන අවස්ථා ද තිබේ​. මේ එක් එක් අවස්ථා සඳහා උදාහරණ ලෙස​, වර්තමාන ගීතයේ ආරම්භක අවධියේ සිට නිර්මාණය වූ ගීත​ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

– අමා නයනාදරී සිරිවර්ධන

තොරතුරු මූලාශ්‍රයයන්:​

  1. ආරියරත්න, සුනිල් 2015, ‘සුනිල් සාන්ත අධ්‍යයනය​’, ප්‍රථම මුද්‍රණය​.
  2. අබේසේකර, තිස්ස 2007, ‘අයා-ලේ ගිය සිතක සටහන්’, ප්‍රථම මුද්‍රණය.
  3. කුලතිලක, සී. ද එස්. 2007, ‘ලංකාවේ සංගීත සම්භවය’,තෙවන මුද්‍රණය.​-සරච්චන්ද්‍ර, එදිරිවීර 2015,
  4. ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’, හයවන මුද්‍රණය.
  5. ප්‍රනාන්දු, රංජිත් 2013,’මානව වංශ සංගීත විද්‍යාව​’, ‘හඬ​’ ගුවන්විදුලි සඟරාව​, 2013 ජනවාරි – මාර්තු කලාපය​ (පිටුව 100 -105).
  6. සමරකෝන්, ආනන්ද 2013, “සිංහල සංගීතය නංවන මග”, ‘හඬ​’ ගුවන්විදුලි සඟරාව​, 2013 ජනවාරි – මාර්තු කලාපය (පිටුව 141 – 143).
  7. සාන්ත, සුනිල්​ 2013, “දේශීය සංගීතය”,’හඬ​’ ගුවන්විදුලි සඟරාව​, 2013 ජනවාරි – මාර්තු කලාපය (පිටුව 144 – 151)​.
  8. මකුලොලුව, ඩබ්ලිව්. බී.​ 2013, “ගැමි ගී යනු කුමක් ද”​, ‘හඬ​’ ගුවන්විදුලි සඟරාව​, 2013 ජනවාරි – මාර්තු කලාපය (පිටුව 154 – 157)​​.
  9. ගුරුගේ, නදීක 2013, “නුතන ගීතයේ නව ප්‍රවණතා”, ‘හඬ​’ ගුවන්විදුලි සඟරාව​, 2013 ජනවාරි – මාර්තු කලාපය (පිටුව 164 – 179)​​.​
  10. කුලතිලක, සී. ද එස්. 2013​,”පර්යේෂණ ගී” , ‘හඬ’ ගුවන්විදුලි සඟරාව​, 2013 ජූලි – සැප්තැම්බර් කලාපය (පිටුව 44 – 46)​​.
  11. දිසානායක, කෝලිතභානු​ 2011, “ස්වභාවෝක්ති අලංකාරය ආත්ම ප්‍රකාශනය කර ගත් සෞන්දර්යවාදියා”, ‘හඬ’ ගුවන්විදුලි සඟරාව​, 2011 ජනවාරි – මාර්තු කලාපය (පිටුව 7 – 13).
  12. රණතුංග, දයාරත්න ​ 2013, “ශාස්ත්‍රීය සංගීත ප්‍රබෝධය” , ‘හඬ​’ ගුවන්විදුලි සඟරාව​, 2013 ජනවාරි – මාර්තු කලාපය (පිටුව 56 – 63)​.
  13. – සරච්චන්ද්‍ර, එදිරිවීර 2013, “භාරතීය මහා සම්ප්‍රදායෙන් මිදී යා හැකි ද​?”, ‘හඬ​’ ගුවන්විදුලි සඟරාව​, 2013 ජනවාරි – මාර්තු කලාපය (පිටුව 158 – 163)​​.


Design a site like this with WordPress.com
Get started