Blog

බඹර පැටික්කී

අපගේ මේ උත්සාහය ශ්‍රැතධර​ නිර්මාණකරුවන් තිදෙනෙකුගේ එකතුවෙන් බිහි වූ අසිරිමත් ගේය කාව්‍යයක් විමර්ශනය කර බැලීමට යි. මේ විමසීම මගේ ශක්ති ප්‍රමාණයෙන් කරන්නක් මිස මෙය පරිපූර්ණ විචාරයක් නොවන බවද කියනු කැමැත්තෙමි. වෙසෙසින්ම සීමිත පද කිහිපයකින් සමන්විත පදමාලාව හා සමගාමීව සංගීතය සහ ගායනය තුළින් ඉතා ප්‍රබල භාව ප්‍රකාශනයක් කෙරෙන අතිශය භාවාත්මක (abstract) ගීයක් වචනයෙන් විස්තර කිරීම ඉතාම අසීරු කර්තව්‍යයකි​. අර්ථ රසය සහ නාද රසය යන දෙකින්ම සමලංකෘත වූයේ මුත්, ම විසින් ‍මූලිකවම​ විමසා බැලෙන්නේ ගී පදයි. සංගීත රසිකයකු ගේ භූමිකාව මත පිහිටා සංගීතමය පාර්ශ්වය පිළිබඳවද කෙටි විමසීමක් කර ඇතත්, විචාරයක්යැයි පැවසීමට තරම් එය ප්‍රමාණවත් නැත​.​ ප්‍රමාණවත් සංගීත විචාරයක් නොමැතිව කෙරෙන ගී පද විචාරය, ගීත විචාරයක් ලෙස ගිණිය නොහැකිය​. ගීතයක් යනු පදමලාවක් පමණක් ලෙස සලකා ‘සුභාවිත ගීත’ නම් ලේබලය යටතේ ප්‍රවීණ හෝ ආධුනික භේදයක් නැතිව සතර අතින් අඳෝනා ඇසෙන, සුභාවිත ගීතය යනු අඬෝවැඩියාවකැයි ඇතැම් ප්‍රේක්ෂකයකු සිතා සිටින​, අද වැනි යුගයක ඒ බව විශේෂයෙන් අවධාරණය කිරීම මැනවැයි සිතේ.

මේ ගීතය ගැන සටහනක් තැබීමට කලෙක සිට සිත සිතා සිටියත්, එය සිතන තරම් පහසු නොවන බව හැඟුණු හෙයින් දෝ දිනෙන් දිනම කල් පසු විය. ඉතාමත් මෑතක දී සිංහල භාෂාව සහ පදරුත් සමූහයේ සාමාජිකයකු විසින් “තුනුසිරි විල” , “ඉදුදුනු දැල” කුමක්දැයි අසා තිබුණු පැනයකට පිළිතුරු ලෙස පද විමසීම මා විසින් මුලින්ම ඉදිරිපත් කරන්නට යෙදුණි. ඇත්තෙන්ම එය ඉතා කෙටියෙන් හදිසියෙන් කළ විස්තරයක් පමණි. ඇතැම් තැනෙක එය ‘ඉදුදුනු’ යැයි ලියා තිබුණත්, නිවැරැදි අක්ෂර වින්‍යාසය “ඉඳුදුනු” විය යුතු බව පළමුව නිවැරදි කළ යුතු වේ.

ඉඳුදුනු‘ – ඉඳුදුන්න​, ඉන්ද්‍රයාගේ දුන්න, නැත්නම් ඉන්ද්‍රචාපය හෙවත් දේදුන්න යි. දේදුන්නෙන් දැලක් හදන්නේ කෙසේදැයි එම සමූහයේ සාමාජිකයින්ට බරපතල ප්‍රශ්නයක් පැන නැඟී තිබුණි. ඉඳුදුනු දැල නිවැරදි යෙදුමක් නොවන බවද එම සංවාදය තුළ වූ ඇතැම් ප්‍රකාශවල වචන අතරේ දකින්නට ලැබුණි.

මේ සටහනට ප්‍රවේශය ගැනීමට සුදුසුම තැනත් එයයි. ඉඳුදුනු දැල යනු කුමක්‌දැයි විසඳා ගැනීම සඳහා ගීතයේ අර්ථය වඩා සවිස්තරාත්මකව​ පසිඳලීමට උත්සාහ​ කර බලමු.

බඹර​ පැටික්කී
තුනුසිරි විලේ නටන බඹර​ පැටික්කී
ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?) මොණර පැටික්කී


තුනුසිරි‘ විල යනු කුමක්ද?

තුනුවිල’ යැයි සාහිත්‍යයේ දි යෙදෙන පදයක් වෙයි.

‘තුනු’ – තුනු යනු ශරීරයයි.නමුත් සාමාන්‍යයෙන් කාන්තා ශරීරය වර්ණනා කිරීමට මිස පිරිමි ශරීර වර්ණනා කිරීමට නොයෙදේ. සිහින් / කෙට්ටු යන අර්ථය ද දෙයි. ඒ අනුව සිහින් (හැඩැති) කාන්තා සිරුර හැඳින්වීමට යෙදෙන බව සැලකිය​ හැකියි.

‘තුනුවිල’ – ශරීරය නැමැති විල යි. කාන්තාවක ගේ ශරීරය පස් පියුමෙන් සැදී, හංසයන් ගැවසෙන මනස්කාන්ත විලකට උපමා කරනවා. පිරිමි ශරීරයට නැති අකර්ෂණීය අවයව ස්ත්‍රී ශරීරයකට ඇති හෙයින් මේ උපමාව යෙදෙන්නේත් ස්ත්‍රීන් විෂයෙහිම පමණි.

ධර්මසේන පතිරාජ හංස විලක් චිත්‍රපටයේ දී “විලක් නම් එය විලක් වුව මැන – නීල ඉඳුවර දියෙන් උපදින” කියන්නේත් එම අර්ථයෙන්.

තුනුසිරි‘ – සිහින් සිරුරෙහි අසිරිය​. සරල අර්ථය නම් ඉතා මනස්කාන්ත දේහ විලාසය නැත්නම් සරලවම රූප ශ්‍රියාව.

තුනුවිල‘ සහ ‘තුනුසිරි විල‘ දෙකම එකම අර්ථය ලබා දේ. තුනුසිරි විල යනු ඉතා සෝබමාන සිහින් සිරුර නැමැති විලයි. රචකයා එය ප්‍රකාශයට පත් කරන්නේ තවත් අලංකාර කාව්‍යෝක්තියකින් – “තුනුසිරි විලේ නටන”.

තුනුසිරි විලේ නටන‘ – මනස්කාන්ත දේහය නැමැති විලේ නටන. අතිශය කාව්‍යාත්මක වර්ණනාවකින් මේ කියන්නේ නටන තැනැත්තිය කවරෙකු වුවත්, ඇගේ දේහ සෞන්දර්යය ගැනයි.

ඉඳුදුනු‘ – ඉඳුදුන්න, ඉන්ද්‍රයාගේ දුන්න, නැත්නම් ඉන්ද්‍රචාපය යි.

ඉඳුදුනු දැල‘ මේ ගීතයේ කුමන අර්ථයකින් යෙදෙනවාද යන ප්‍රශ්නය ගැන මගේ අදහස කිව්වොත් ඒ මෙසේයි.

කවි සංකල්පනා බහුල නිර්මාණවල වචනයෙන් වචනය ගෙන විස්තර කළ හැකි තැන් වලට වඩා එසේ කළ නොහැකි අවස්ථා වැඩිය. ‍සමස්තය දෙස බලා අර්ථය වටහා ගත යුතු වේ. නිර්මාණය සමස්තයක් හැටියට ගෙන අර්ථ දක්වන්නේ නැතිව මෙතැන යෙදෙන්නේ කුමන අර්ථයෙන් දැයි පැවසීම අපහසුයි.

මට නම් එය වාච්‍යාර්ථයකට එහා ගිය බොහොම abstract මට්ටමේ (භාවමය) අර්ථයක් දෙන තැනක්. ඒ නිසා ඒ පදය වෙනමත්, යෙදෙන තැනත්, සමස්ත ගීයත් යන මේ සියල්ලම සැලකිල්ලට ගෙන මේ අවුල විසඳා ගැනීමට සිදු වේ.

එය යෙදෙන්නේ මෙසේයි.

ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?) මොණරපැටික්කී

මා දන්නා තරමින් නම් මෙතන යෙදෙන්නේ මොන “ල” යන්නදැයි තෝරා බේරා ගැනීමත් වැදගත්. දැළ කිව්වොත් (දෑල/දෑළ​ නෙවෙයි) එක් අර්ථයකි. “දැල” කිව්වොත් තවත් අර්ථයක් දෙයි. මගේ මතය මේ ගීතයේ එන්නේ “දැල” මිස දැළ නෙවෙයි.

“දැල” යනු ජාලයයි. එය ගොතන ලද ජාලයක් නැතහොත්, යමකු ඇද බැඳ තබා ගැනීමේ උගුලක් හෝ උපක්‍රමයක් හැඳින්වීම සඳහාත් භාවිතා වෙනවා. ඒ අනුව ඉඳුදුනු දැල යනු ඉන්ද්‍රචාපයෙන් සැදුණු ඉන්ද්‍රජාලයක් හෙවත් මායා දැලක් ලෙස ගැනීමෙහි වරදක් නැත​.

එසේත් නැතහොත් දැල යන්න තුනී මීදුම, මීදුම් පටලය (haze), වියමන යන අරුතින් යෙදුවා වෙන්නත් පුළුවන්. එසේ කියන්නේ සහේතුකවයි. මේ කියන්නේ මකුළු දැලක් හෝ මාළු අල්ලන දැලක් වැනි දෙයක් ගැන නොවේ. දේදුන්නකින් සැදෙන දැලක් ගැනයි. දේදුන්න යනු චිත්‍රවල ඇතැම් විට ඇඳ තිබෙන්නා සේ පැහැදිලි තියුණු මායිම් වලින් සලකුණු වූ වර්ණාවලියක් නොවේ. දේදුන්නේ ඇති සියලු වර්ණ නොපැහැදිලි තුනී පටලයක් මෙන් ඈතට විහිදී යයි. ඒ අනුව haze යන අරුතින් දැල යොදා තිබුණත්, “ඉඳුදුනු දැල” දෝෂ සහිත යෙදුමක් නොවේ. එය නිවැරදි යෙදුමකි.

කිව යුතුම වූ වදගත් කරුණක් වන්නේ, පණ්ඩිත් අමරදේව ගේ ගායනය තුළ ස්ථායී කොටසෙහි එන “ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?)” යන පද කොටස අවස්ථා තුනේදී ඇසෙන්නේ “කෙළන” සහ “හෙලන” ලෙසින් මාරුවෙන් මාරුවට තුන් ආකාරයකින් වීමයි. ආරම්භක ස්ථායී කොටසේදී කියන්නේ “කෙළන” ද නැත්නම් “හෙලන” දැයි නිශ්චය කර ගත නොහැකිය​. ඇතැම්විට හෙලන ලෙසින් ඇසෙන අතර, තවත් විටෙක කෙළන ලෙසින් ද ඇසේ. පළමු අන්තරා කොටසෙන් පසුව, දෙවන අන්තරාවට පළමුව එන ස්ථායී කොටස ගායනයේ දී “හෙලන” කියවෙනු පැහැදිලිවම ඇසේ. පැහැදිලි ලෙසම “කෙළන” වචනය ඇසෙන්නේ ගීයේ අවසාන ස්ථායී කොටසේ දී පමණි.

මෙය කියවන ඔබට ඇසෙන ආකාරය මීට වෙනස් විය හැකිය. එසේ වේ නම් දැනගනු රිසි වෙමි. කරුණාකර පහතින් සඳහන් කරන්න​.

මින් පෙර ගීත දෙකක දී වැරැදියට ඇසුණු පද සේ, මෙහිදීත් මට වැරැදියට ඇසෙන්නේද? නැතහොත්, ගීතය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්න ස්ථායී කොටස තුළ මුල් වර දෙකේදී “ඉඳුදුනු දැලේ හෙලන” ලෙස යොදා අවසානයේ දී පමණක් “ඉඳුදුනු දැලේ කෙළන​” ලෙස යොදන්නට හේතු සහිතව අදහස් කළාද? ඒ කිසිවක්ම නොවේ නම්, පණ්ඩිත් අමරදේවයන්ට ගායනයේ දී යම් අතපසු වීමක් වී පද වරදවා ගැයුවේද​​? සංගීතයෙහි පමණක් නොව, බසෙහිද විශාරදයකු වන ඔහුට එවැනි අතපසු වීමක් සිදු වීයැයි සිතීම තරමක් අසීරුයි.

කෙළන‘ – කෙළනවා යන්නෙහි අර්ථය ක්‍රීඩා කරනවා යන්නයි. රති කෙළිය හෙවත් කාම මෛථුනයෙහි යෙදීමටත් කෙළනවා යන පදය භාවිතා වේ.

එහි යෙදෙන්නේ “හෙලන” වූයේ නම් කවුරුත් දන්නා එහි අර්ථය පැවසිය යුතුයැයි නොසිතමි.

නමුත්, “ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?)” කියන්නේ ඇයි යන ප්‍රශ්නය තවමත් ඉතිරි වේ. එය විසඳා ගැනීමට සමස්ත ගීතයම සැලැකිල්ලට ගත යුතුය​.

ගීයේ ඉතිරි පද මෙසේයි;

කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
නෙත් දෑලවරින් කියන කතාවේ
මත් සලෙළ සමේ මහිම උදාවේ

නෙත් දෑලවරින්‘ – දෙනෙත් අගින්

මත් සලෙළ‘ – මත් වූ ලීලාසහිත​. මත් සලෙළ සමය යනු විනෝදයෙන් මත් වූ (තරුණ​) කාලය යැයි ගත හැකියි.

දෙවන අන්තරා කොටසද පරිසර වර්ණනාවකින් ආරම්භය ගෙන මල් යාය මැද රඟ දෙන අභිරූපිකාවගෙන් හමාර වේ.

රඹ තුරින් තුරට පීත වළාවයි
රන් දොරින් දොරට නීල නීලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාව​යි

‘රඹ’ – කහ පැහැයට හුරු වර්ණයකි. ඉංග්‍රීසියේ දී amber colour යනුවෙන් හඳුන්වන්නේත් එය නොවේද​?

‘රඹ තුරින් තුරට පීත වළාවයි’ – එයින් කියන්නේ රඹ නම් තුරු වර්ගයක් ගැන හෝ ස්වභාවයෙන් රඹ පැහැ ගස් ගැන නොවේ. ඒ හරහා දවසේ වේලාව ගැන අදහසක් අපට ලැබේ. මේ කියන්නේ සවස් කාලය ගැනයි. බැස යන හිරු රැස් වැටී ගස් වැල් කහ පැහැ ගැන් වී ඇත​. අහස ශ්වේත වර්ණ වළාකුලින් පිරී ගොසිනි.

සමස්ත ගීතයම සැලකිල්ලට ගත් කල මගේ සරල අර්ථ දැක්වීම මෙසේයි​;

මේ ගීතයත් බාහිර පාර්ශ්වයක් විසින් සිදු කෙරෙන ඉතා සරල නමුත් මනස්කාන්ත සංසිද්ධියක් පිළිබඳ විස්තරයකි.

මලින් පිරුණු තුරු ලතා වලින් ගහණ​ වටපිටාව තුළ විනෝදකාමීන් කුල්මත් කරවන වෙලාවේ අහස ශ්වේත වලාවෙන් වැසී ගොස් ඇත.

රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි

මල් යාය මැද ඉතා පියකරු තරුණියක් ගී ගයමින් නටමින් සිටියි. එය දකින නිරීක්ෂකයාගේ කවි සිතුවිලි අවදි වේ. ඔහු දකින්නේ මල් යායේ ජීවී අජීවී සියලු දේ බොහොම සතුටින් සිනාසෙමින්, මේ තරුණ ගැහැණු දැරිවියත් සමඟින් ගී ගයමින් නටන බවකි. ඇස් කොණින් ඉඟි බිඟි කරමින් සියලු දෙනාම රංගනයක යෙදෙනවා. ඒ හැමෝගේම සිත් මත් (තරුණ) වියට හිමි කෙළිලොල් බවින් පිරිලා. මද කිපෙන්නේ තරුණ කාලයේ දී නිසා තරුණ විය සලකා ගැනීමට බාධාවක් නැහැ.

කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල්‍ යාය කිකිණි හඬට සිනාසේ
නෙත් දෑළ වරින් කියන කතාවේ
මත් සළෙල සමේ මහිම උදාවේ

එතකොට කවුද මේ කියන තරුණ ස්ත්‍රිය​? ඒ ගැන ඉඟිය ලබා දෙන්නේ මුල් ස්ථායී කොටසේදී යි. කවියා විසින් ඈ ආමන්ත්‍රණය කෙරෙන්නේ “බඹර පැටික්කී” නමින්.ඇය රූප ශ්‍රියාව නැමැති විලෙහි නටමින් සිටින බඹර පැටික්කියකැයි ඔහු කියයි. එසේත් නොමැති නම්, මේ සොබා සොඳුරු වටපිටාව තුළ එහේ මෙහේ පියාසර කරන සැබෑම බඹරියක දකින කවියකු සිත පැන නැඟුණු කවි සංකල්පනාවක් ලෙසද ගත හැකිය.

බඹර​ පැටික්කී
තුනුසිරි විලේ නටන බඹර​ පැටික්කී
ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?) මොණර පැටික්කී

නමුත්, මා මේ මුළු ගීතයම දකින්නේ රූපකයක් හැටියටයි. රූපකයක් ලෙස දැකීමට මුල්ම එළැඹුම දෙන්නේත් ස්ථායී කොටසේදී ය. බඹර පැටික්කී නම් ස්ත්‍රී වාචිකයෙන් ආරම්භය ගෙන ඒ හා සමඟම , තුනුසපුවේ අසිරිය ගැන වර්ණනාවක් කෙරෙන හෙයින්,මල් යාය සහ මිනිස් ස්ත්‍රියක ගේ රූපය මනසේ චිත්‍රණය වීම​ වැළැක්විය නොහැක්කකි. හැබැයි කවියා මේ කියා සිටින්නේ හුදෙක්ම මල් යායක් මැද නටන ගැහැණු ළමයෙකු ගැනම නෙවෙයි. මතුපිටින් ඒ වගේ පෙණුනත්, මල්යාය සහ ඒ මැද ගී කියමින් නටන ස්ත්‍රිය උපමාවට ගෙන ඒ ආශ්‍රයෙන් ගැහැණු ළමයා ගේ නාරි දේහය සහ කෙළිලොල් හැසිරීම් විලාසයක් පිළිබඳ බොහොම කාව්‍යාත්මක ඉදිරිපත් කිරීමක් හැටියටයි සමස්තයක් ලෙස ගත් විට​ මා මේ ගීතය දකින්නේ.

එහේ මෙහේ දිව යමින් බෙහෙවින් කෙළිලොල් හැසිරීම් විලාසයක් පෙන්නුම් කරන ඈ කවියා විසින් “මොණර පැටික්කී” යකැයි ද හඳුන්වනු ලබනවා. ඒ හරහා ගම්‍ය වන්නේ මේ එසේ මෙසේ ලියක් නොව, නෙක විසිතුරු වස්ත්‍රාභාරණයෙන් සැරසුණු ලියක බවයි. මොණරිය යන්නෙන් සාමාන්‍යෙන් සංකේතවත් කෙරෙන්නේ විසිතුරු ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු, ඒ නිසාම උඩඟු බවක් ප්‍රකට කරන කාන්තාවන්ය.

පොල්කිච්ච් වාගේ සණ්ඩු කරන්නේ
මොණරිය වාගේ ආඩම්බරයි…

යැයි එම්. එස් ප්‍රනාන්දු ගැයුවේය​.

බඹරිය​, මල් යාය , කව් කෝකියලයන් ගේ ගී හඬ ඇතුලු සමස්ත දර්ශනයම රූපකයක් බවට පත් වේ. බඹර​ පැටික්කී යන්නෙන් මල් යාය මැද රඟන ස්ත්‍රියක ගැන කියැවේ නම්, බඹර​ පැටික්කී / මොණර පැටික්කී යෙදුම් රූපකයක් මැද රූපකයක් යෙදී ඇති අවස්ථාවකි. එකී රූපකය ඇසුරෙන් තමන්ට කැමැති දේ චිත්‍රණය කර ගැනීමට ශ්‍රාවකයාට අවසරය තිබේ​.එසේත් නොවී කලින් කියා ඇති පරිදි හුදෙක්ම මල් යායක ඔබ මොබ පියාඹා යන​ බඹරියක​ ගැන කිව්වත්, අවශ්‍ය නම් කෙනෙකුට එකී දර්ශනය රූපකයක් ලෙස පමණක් ගෙන තමන්ට කැමැති​ භාවමය අර්ථයක් විඳීමට බාධාවක් නැත​. නමුත් එම භාවමය අර්ථය පද හා සමගාමීව යන්නක් මිස පද වලින් බොහෝ සෙයින් දුරස්ථ ද නොවිය යුතුය.

ඉඳුදුනු දැලේ කෙළන මොණර පැටික්කී යන්නෙහි අර්ථය වටහා ගැනීමට අපට හැකිවන්නේ අන්න එතැනදීයි. ඒ කියන්නේ වචනාර්ථයට එහා ගිහින් මල්‍ යාය සහ ඒ මැද නටන ස්ත්‍රිය යන්න රූපකයක් නැතහොත්, ව්‍යංගයක් ලෙසින් ගත් විට දී මෙහි කියන “ඉඳුදුනු දැල” කුමක්දැයි වටහා ගැනීම පහසු කරවනවා.

මේ කාන්තාව එක තැනක නවනින කෙනෙකුත් නොවන බව එක් පදයකින් ගම්‍ය වෙනවා;

රඹ තුරින් තුරට පීත වළාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි

“පිපි මලින් මලට ආල ගුලාවයි” – මගේ වැටහීම නම් අවසානයට එන මේ පදය අර්ථය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවයි. ගීතයේ දෙවන​ උත්කර්ෂවත්ම අවස්ථාව ද එය වේ. ඒ වගේම ඉතා රසවත් වක්‍රෝක්තියක් එහි තිබේ. “ගුලාව” යන්නෙහි යමක් වෑස්සෙන සිදුරු සහිත බඳුන යන අර්ථය තිබේ. මල්කෙමිය රස වෑහෙන ගුලාවකි. ඉතින් කවියා මේ ව්‍යංගයෙන් කියන්නේ මෙ කියන ස්ත්‍රිය බොහොම කෙළිලොල්, රසකාමී, අනුරාගී චරිතයක් බවයි. මලින් මල කරා යන ඇය රස (මල් පැණි) වෑහෙන ගුලාවක කම් සැපයෙහි කිමිදෙමින් සිටී. මුල් අන්තරා කොටස අනුවත් ඒ බව සනාථ කෙරෙනවා මිස, මේ අර්ථයට එරෙහි වීමක් නැත.

නෙත් දෑළ වරින් කියන කතාවේ
මත් සළෙල සමේ මහිම උදාවේ

සරලවම කියතොත්, කාමාවචර ලෝකයේ සියලු මනමෝහන දර්ශන වලින්, මුවෙන් මුව ගැයෙන​ ගීත නාදයෙන් සහ තරුණ මදයෙන් කුල්මත් වූ තරුණියක, කවියා විසින් අප හමුවේ තබන්නේ කෝකිලයන්ගේ සුමියුරු ගී හඬ, අවට පරිසරයේ චමත්කාරය මැද රඟන බඹර පැටික්කී නම් රූපකයත්, අනෙකුත් සියලු වක්‍රෝක්ති සහ​ සංකේතත් ආධාරයෙන්. නමුත් ඒ අතරේම​ ඔහු මෙසේද කියනවා;

ඉඳුදුනු දැලේ කෙළන (හෙලන?​) මොණර පැටික්කී

දේදුන්න පායා තිබෙන්නේ ඉතාම සුළු වේලාවකි. දේදුන්න කියන්නේ ඉර හඳ තාරකා සේ සත්‍ය වශයෙන්ම පවතින භෞතික වස්තුවක් නොවේ. එය ඉන්ද්‍රජාලයක් හෙවත් මායා දැලකි. මායාවක පැටලුණු කෙනෙකුට සිදු වන දේ පැවසිය යතු නැත. මායා දැලක් මුත් මනස්කාන්ත යි, සිත වශී කරවන සුළුයි. මකුලු දැලක පැටලුණු කෘමියකු අවාසනාවන්ත ඉරණමකට ​ මුහුණ පාන්නා සේම, කාම ලෝකයේ රස තැන් සොයා යමින්, රස ගුලාවක කිමිදී, කම්සැප විඳිමින් යන මේ ස්ත්‍රිය තරුණ මදයෙන් මත් වී නටන්නේ, (අනුන් විසින් එලූ) මායා දැලක පැටලී බවකුත් මේ සියලු සෞන්දර්ය වර්ණනා මධ්‍යයේ කවියා ප්‍රකාශ කර සිටිනවා. යම් හෙයකින් දෙවන ස්ථායී කොටස තුළ “ඉඳුදුනු දැලේ හෙලන” ලෙස කවියා විසින් සිතාමතාම යෙදුවා වී නම්, එයින් කියවෙන දේ වඩාත්ම රසවත්ය. ඒ කියන්නේ අන්‍යයන් පාට පාට සිහින ලොවක හෙලා සිය වසඟයට ගන්නා මේ ස්ත්‍රිය, අවසානයේ දී තමනුත් ඒ මායා දැලේම පැටලී කෙළන බවකි. එතැන ඇත්තේ උත්ප්‍රාස රසයක්. මේ සියල්ල වෛවර්ණ දේදුන්නක් වැනි මායා පටලය (ඉඳුදුනු දැල)​ පායා ඇති නිමේෂයකට සීමා වෙනවා. වර්ණවත් සිහින ලෝකයක අතරමං වීම සංකේතවත් කරමින් යෙදුවා විනා, එය ඒ වෙලාවේ සැබැවින්ම පායා ඇති දේදුන්නක් නොවීමට පුළුවන.

වික්ටර් රත්නායක ගේ ශෘංගාරය මුසු සංගීතයටත්, පණ්ඩිත් අමරදේව අවසානයේ දී “ඉඳුදුනු දැලේ කෙළන මොණර පැටික්කී” යන පදය ගයා අවසාන කරන ආකාරයටත් නැවත වරක් හොඳින් සවන් දී බලන්න​. මට එහි ඇසෙන්නේ සෝපාහාසාත්මක​ ස්වරයකි.

ඉඳුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා

කේ.ඩී.කේ ධර්මවර්ධන ද දේදුන්න පායා ඇති වී නැති වෙන නිමේෂය ගැන එසේ කියයි.

සාමාන්‍යයෙන් සාහිත්‍යයේ ඇත්තේ බඹරා සහ මල අතර රති ක්‍රීඩාවකි. බඹරාගෙන් පුරුෂ පාර්ශවය නියෝජනය වන අතර, මල ස්ත්‍රීත්වය නිරූපණය කරයි. ඒත් මේ ගීයේ දී මේ දෙපාර්ශවය මාරු වී තිබේ. මලින් මලට යමින් රස ගුලාවේ කිමිදෙන බඹරියක සහ මල් අතර ගනුදෙනුවක් බවට පත් වී ඇත. ඒ අනුව මෙහිදී මල් යාය පුරුෂ පාර්ශ්වය නියෝජනය කරනවා යැයි ගැනීමෙහි වරදක් නොදකිමි. කතා නායිකාව “බඹර පැටික්කී” යන නමින් ආමන්ත්‍රණය වන හෙයින් මේ මාරුව අත්‍යවශ්‍ය වෙයි. එය රස වින්දනයට බාධාවක් ඇති නොකරයි. එසේත් නැතහොත් සිදු වන්නේ අර්ථ විකෘතියකි.

මේ ගීතයේ තනුව හෝ සංගීතය ගැන පරිපුර්ණ විවරණයක් කිරීමට නොහැකි වුවත්, කලාව සම්බන්ධයෙන් මා උගෙන ඇති විෂය නර්තනය වන හෙයින් රිද්මයත්, සංගීත සංයෝජනය ගැනත් සුළුවෙන් හෝ යමක් පැවසිය හැකිය.

තනු රචනය සහ සංගීත සංයෝජනය තුළ දේශීය හෝ වෙනත් කිසිදු පෙරදිග ශෛලියක් නොඇසෙයි​. බටහිර සංගීතයේ සිද්ධාන්ත මත පිහිටා කරන ලද්දක් බව පැහැදිලිවම​ පෙනේ. තනු නිර්මාණයේ දී සහ ගායනයේ ලය තීරණය කිරීමේ දී සංගීතඥ වික්‍තර් රත්නායක මහතා සැලකිල්ලට ගෙන තිබෙන්නේ ගීයේ යටිපෙළ භාවමය අර්ථය නොව​, එහි මතුපිට වචනාර්ථයයි. තාල වාද්‍ය භාණ්ඩයෙන් වැයෙන රිද්මය පදත් සමඟ ඇසෙද්දී සොඳුරු පරිසරයක සැබැවින්ම නටන කෙළිලොල් ළඳක් සිහිපත් කරවීමට සමත් වේ. එහෙත්, සංගීත සංයෝජනය හරහා යටිපෙළ අරුත සමඟ ඓන්ද්‍රීය සම්බන්ධතාවය රැක ගැනීමට ඔහු වග බලාගෙන තිබේ. කථා නායිකාව “බඹර පැටික්කී” නමින් ආමන්ත්‍රණය කෙරෙන හෙයින්, වයලීන, සහ බටනළා වාදනය හරහා බඹරියක ගේ ගමන් තාලය මැවේ. තත්පර විස්සක් පුරා දිවෙන​ ආරම්භක වාද්‍ය ඛණ්ඩය​ තුළ දී වයලීන, සහ බටනළා වාදන ඛණ්ඩ යොදා ගනිමින් බඹරියක ගේ ගමන් තාලය නිරූපණය කරයි. ගායනයේ දී බඹර පැටික්කී යනුවෙන් ආරම්භය ගැනීමෙන් අනතුරුව, මඳ විරාමයක් අතරතුර වැයෙන වයලීනය හඟවන්නේ මේ කතා නායිකාවගේ මතු කියන්නට යන කම් සැපෙහි ඇලුණු ඇවතුම් පැවතුම් ගැන ඉඟියකි. එය තරුණයන් සිය වසඟයට ගන්නා, ස්ත්‍රියක ගේ වහස් බැලුම් ධ්වනිත කරවයි​.

ගීයේ යටි පෙළ භාවාර්ථය හා සමගාමීව පළමු ස්ථායී ගායනයෙන් පසුව වැයෙන වයලීනයෙන් ඇසෙන්නේත් අතිශය ශෘංගාරාත්මක වාදනයක්. ඒ හා සමඟම වැයෙන සුශිර වාද්‍ය භාණ්ඩය සහ සිතාර වාදනය​ අපට දනවන්නේ කතා නායිකාව ගේ කෙළිලොල් හැසිරීම් ලීලාවයි.

“කව් කෝකිලයින් ගයන වෙලාවේ” පද කොටස නිමවෙත්ම, ඒ හා සමඟම ඇසෙන බටනළාවේ හඬට සවන් දෙන්න​.​ කොවුල් නදක් හා සමාන සුමියුරු බටනළා වාදනයක් ඇසේ. එය මේ ගීයේ ඇති ඉතාම ආකර්ෂණීයම අවස්ථාවකි. එකී බටනළා වාදනයක් දෙවන අන්තරා වේ “රඹ තුරින් තුරට පීත වළාවයි” පද කොටසින් අනතුරුව ඇසෙන්නේ නැත. පදරුත් හා සම්පාත වන සේ අවශ්‍ය තැන දී පමණක් අවශ්‍ය කරන වාද්‍ය භාණ්ඩය යොදා ගැනීමට තරම් සංගීතඥයා සූක්ෂ්ම වී තිබේ.

මේ ගීයේ මෙවැනි සියුම් ස්ථාන මට නම් මඟ හැර යා නොහැකියි. අසිරිමත් ගේය පදයට එකතු වූ සංගීතය අසන්නා අනන්තය කරා ගෙනයනවා. තවත් මෙවැනිම සියුම් සංවේදනයන් සහිත තැන් සංගීත සංයෝජනය තුළ හමුවෙන නමුත්, ඒ එකිනෙක කියන්නට යාමෙන් ලිපිය තව දිගු විය හැකි බැවින් මෙතැනින් නවතිමි.

ඉතා සැලකිල්ලෙන් හැදූ වික්ටර් ගේ ගීතයක්, විශාල වෘන්දයකින් පෙළහර පාද්දී, ප්‍රගුණ කළ හඬකින් මිස​, ගායනය කළ හැකි නොවේ​. කෙටියෙන්ම කියන්නට ඇත්තේ මේ ගීය සඳහා මෙවැනි භාවාත්මක ගායනයක් පණ්ඩිත් අමරදේවයන්ගෙන්ම හැර බලාපොරොත්තු විය නොහැකි බව පමණි. සුන්දර වටපිටාවක​ සිදුවන දෙය නිරීක්ෂණය කරමින් කවි සිතුවිලි අවදි කරගන්නා තුන්වෙනි පාර්ශ්වයට හඬ දෙන්නේ ඔහුය. ගීයේ තැනින් තැනට ඉතා සියුම් භාව ප්‍රකාශනයක් අවශ්‍ය වේ. නිරීක්ෂකයා කතාව අප ඉදිරියෙහි තබන්නේ උපශාන්ත බවත්, ප්‍රහර්ෂයත්, අවසානයේ දී සෝපාහාසයත් සම්මිශ්‍රණය වුණු හඬකින්. උදාහරණයක් ලෙස, “නෙත් දෑළ වරින් කියන කතාවේ – මත් සළෙල සමේ මහිම උදාවේ”, “මුව සරින් සරට ගීත කලාවයි – පිපි මලින් මලට ආල ගුලාවයි” කොටසේ ගායනය තුළ මතු වන්නේ ප්‍රහර්ෂයකි. අවසානයේ දී “ඉඳුදුනු දැලේ කෙළන මොණර පැටික්කී” යන පදය ගයා අවසාන කරන තැන මතු වන්නේ සෝපාහාසය මුසු වූ ස්වරයක්.

මෙවැනි සුගායනීය ගේය කාව්‍යයක් නිර්මාණය කිරීමට කෙතරම් නම් උපන් ප්‍රතිභාවක්, නිරන්තර හැදෑරීමක් තිබිය යුතුදැයි මට නම් සිතා ගත නොහැකිය. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, ගී පද රචනා කලාවෙහි ආවාට ගියාට නියැලුණා නොව, ඒ සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ පද රචකයෙකි. සංගීතය හදාරා තිබීම පහසුවෙන් සත්සර හැසිරවිය හැකි පද රචනා කිරීමට පිටිවහල් වන හෙයින් සංගීත විශාරද විභාගය තෙක් ඔහු එම විෂය ද හදාරා ඇත්තේය​. එකල පද රචකයින්ට සංගීත ඥානය ද, සංගීතඥයන්ට තමන් ගේ විෂය පථයට අමතරව භාෂා ඥානය ද තිබූ හෙයින් පද මාලාවට උපරිම සාධාරණය ඉටු කළ හැකි විය​. මේ හුදෙක් තවත් එක් ගීතයක් පමණක් නොවූයේ එහෙයිනි. අනාගත පරපුර විසින් හැදෑරීමට ලක් කළ යුතු, විශිෂ්ඨයින් තිදෙනෙකුගේ එකතුවෙන් සැදුණු විශිෂ්ඨ කලා කෘතියකි. කලාකරුවන් විසින් නිර්මාණකරණය හරහා සිදු කරන අද ඇතැම් ක්‍රියාවන් ගැන අපට විවේචන ඇතත්, මෙවැනි ගීතයක් ඒ සියල්ල අමතක කරවයි. ඔවුන් ගේ කලාත්මක නිර්මාණ ගොන්න ඒ විවේචන පසෙක තැබීමට තරම් ප්‍රමාණවත් ය. රසාස්වාදය පිණිස මිණිමුතු හා සම මෙවැනි නිර්මාණ අපට දායාද කිරීම වෙනුවෙන්, අපගේ භක්ති පූර්වක ප්‍රණාමය ඔවුන්ට හිමි විය යුතුම ය​​.

අමා නයනාදරී සිරිවර්ධන​
31.03.24

ගී පද​:
බඹර​ පැටික්කී
තුනුසිරි විලේ නටන බඹර​ පැටික්කී
ඉඳුදුනු දැලේ කෙළන (හෙලන) මොණර පැටික්කී

කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල්‍ යාය කිකිණි හඬට සිනාසේ
නෙත් දෑළ වරින් කියන කතාවේ
මත් සළෙල සමේ මහිම උදාවේ

රඹ තුරින් තුරට පීත වළාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි

බඹර​ පැටික්කී

සුවඳයි මේ මල මොන මලදෝ

පරසතු උයනෙහි පිපුණු මලක් සේ සදිසි, සුමුදු පෙති ඇති සුවඳ විහිදුවන මලක්. ඒ පෙති මත සැතපෙන්නේ (එහි පහස විඳින්නේ) කවුද​?

සුවඳයි මේ මල මොන මලදෝ
පරසතු උයනෙන් වැඩියා සේ
සුමුදුයි මේ පෙති මොන පෙතිදෝ
ඒ මත සැතපෙන්නේ කවුදැයි

එ මල කරා පැමිණ​ මේ රොන් අරගෙන යන්නේ කවුරුන් ද? කොතෙකුත් රොන් ගත්තද , බී පමණින් රොන් නොසිඳෙන සෙයකි. මේ කෙබඳු මලක්දැයි යත්, දුටු සැණෙකින් සා පවස දනවන​ සුළු (එහෙත් කොතෙක් පානය කළත් පිපාසය ද නොසන්සිඳෙන)​ මහ ​මුහුද වැනි ආකර්ශණීය රූ සපුවක් ඇත්තීය​.

මේ රොන් බී යන්නේ කවුදෝ
බී පමණින් නොසිඳෙන ගානයි
දුටු සැනෙකින් පවසින් දවනා
මන් මත් කරවන රුවනාරයි


“රුවනාර” යනු මුහුද යන්නට පර්යාය පදය කි. සමානාර්ථ ඇති පද වෙනස් අර්ථයන් ධ්වනිත කිරීම උදෙසා සාහිතයේ දී භාවිතා කෙරෙන​ අවස්ථා දැක ඇත්තෙමි. එකම මුහුද වුව​, සමුද්‍රය, සාගරය​ හෝ සත් සමුදුර ලෙසින් යෙදී ඇත්නම් , එවිට අසන්නා සිත් තුළ ඇති වන්නේ විශාලත්වය පිළිබඳ හැඟීමකි.

නිදසුනක් ලෙස ​“සත් සමුදුර තරණය කර ආවා – සත්කුළු පව් අතරින් දිව ආවා” -ගීත ඛණ්ඩයේ දී අපට දැනෙන්නේ මුහුදෙහි විශාලත්වය පිළිබඳ අදහසක්.

ඇතැම් තැනක මුහුදු රැල්ල, මුහුදේ ගැඹරේ කියනවාට වඩා , “කරදිය රැල්ල”​, “කරදිය ගැඹරේ” යැයි සඳහන් වන්නේ මුහුදෙහි ඇති වියළි , කර්කශ ස්වභාවය පිළිබඳ හැඟීමක් ධ්වනිත කරවීමට අවශ්‍ය වූ විට යි.

වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් – තෙමුණත් ඇත කරදිය රැල්ලේ
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ – නුඹගේ දෑතට දිරිය වඩන්නයි
ඒ සඳහා නිදසුන් ය.

සුවඳයි මේ මල​ ගීතය දෙස බැලූ විට එහි පද රචක ලූෂන් බුලත්සිංහලයන් “රුවනාර​” යන යෙදුම යොදා ගෙන ඇත්තේ මුහුදෙහි ඇති සුන්දරත්වය පිළිබඳ හැඟීමක් ඇති කරවීමේ අරමුණින් බව​ක් හැඟෙයි. ඒ සඳහා සමස්ත ගීතයම අවධානයට ගත යුතු වේ.

ඒ මිස මුහුද දුටු වහා පිපාසය දනවන බවක් කියන්නේ කරුණාරත්න අබේසේකරයන් සිය ගීතයෙක;

“මේ භවයෙදී මුළු දිය දායේ – එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ – ඇයි මහ සාගරයක් වූයේ”

යැයි ඇසුවා සේ සෙසු ලෝකයාට ඔබ මහා සාගරයක් සේ වුව, ​ මගේ පිපාසයට එයින් කම් නැතැයි කියන අර්ථය ඇතිව බවක් මෙහි දී නොහැඟේ. දුටු වහා පිපාසය දනවන සුළු මන් මත් කරවන රූ සපුවක් ඇති එහෙත්, කොතෙකුත් බලා සිටිය ද, රොන් බිව ද පවස නොසන්සිඳේ වැනි අර්ථයක් එහි ගැබ් වී ඇත.

මේ අත් තටු දෙක කාගේදෝ
රන් ලිය කම් රන් රූ දිලිසෙයි
සමනළයෙක් මෙහි ආවේදෝ
අත්තටු බිම දා ගියෙ ඇයි දෝ

මේ මල අසල වැටී ඇති අත් තටු යුවළ කාගේද ? සමනළයකු ආ බවට සලකුණ කි. ඇවිත් ඇත්තේ එසේ මෙසේ සමනළයකු ද නොවන වගක් පෙනේ;

මේ අත් තටු දෙක කාගේදෝ – රන් ලිය කම් රන් රූ දිලිසෙයි” – මෙහි දමා ගොස් ඇත්තේ රනින් වැඩ දැමූ පියාපත් යුගලය කි. එයින් කියන්නට අදහස් කරන්නේ ආ තැනැත්තා සමාජයේ කැපී පෙනෙන ප්‍රබල චරිතයක් බව ද? ඔහු සිය පියාපත් ද අත් හැර දමා තටු සිඳුණු සමනළයකු සේ පිට වී ගියේ ඇයි ? මෙයින් අදහස් වන්නේ කුමක්ද? නැවත පෙර සේ සැහැල්ලුවෙන් පියාඹා යන්නට ඔහුට බැරි බව ද ?

පරසතු උයනෙන් වැඩි මලක් සේ සුවඳ විහිදුවන මලක පෙති මත සැතැපී එහි පහස ලැබ යන්නෙක් ගැන​ඉහත ප්‍රශ්න සියල්ල කැටි කරගත්, මේ ගීතය ලූෂන් බුලත්සිංහලයන් රචනා කර ඇත්තේ තුන්වන පාර්ශ්වයක් විසින් සිදු කෙරෙන සෝදිසි කිරීමක් ලෙසිනි. තනුව සහ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගෙන්. ගායන ශිල්පී විල්බට් ඇන්තනි මහතා ගයා ඇති ගීත ප්‍රමාණය අල්ප වුවද​​, එ කල පාසැල් නිවාඩු දිනවල හෝ පාසැල් නොගොස් ගෙදර නැවතුණු දිනෙක දිවා කාලයේ දී ඔහු ගේ ගීතයක් ගුවන්විදුලියෙන් නොඇසුණු දිනයක් නැති තරම් ය​. ‘කුංකුම චන්දන අංජන තවරා’, ‘ගම හැරදා’, ‘බමරු මත්වෙලා’, ‘කවියන්ගේ රස හැඟුම’, ‘සුදු සේල අගින් වැසු’, ‘නොමඟ නොයන් පුතේ’ වැනි මධුර ගීත ද ඔහු ගේ නිතර ඇසුණු ජනප්‍රිය ගීත අතර විය. “ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ” ගීතයේ දී ඔහුට ම ආවේණික ගායනා ශෛලිය පද රචනය අබිබවා යන තරමේ අලංකාරයක් ගීතයට එක් කරනවා.

මෙහි අප ගේ විමසුමට බඳුන් වෙන “සුවඳයි මේ මල මොන මලදෝ” ගීතය එක්තරා යුගයක සිංහල සරල ගීතයෙහි හැඩරුව නිරූපණය කරනවා. පදමාලාව තුළ කාව්‍යමය ගුණය නොමඳව රැඳී පවතිනවා. එ තුළ ජනකවි රීතියෙහි ආභාෂය ද දැකිය හැකියි. ගායනය භාව පූර්ණයි. ඊට අමතරව සංගීත සංයෝජනය ද ඒ යුගයේ බිහි වූ ගීතයට ආවේණික සරල සුගම ලක්ෂණයෙන් අනූන යි. පද ආකෘතිය තුළ කැපී පෙනෙන ජනකවියේ ආභාෂයටම සරිලන නාදමාලාව “එළුවන් කෑම” නම් ප්‍රකට ජන ගීයේ රිද්මය සිහිපත් කරවනවා. පෙර-අපර දෙදිග සංගීත භාණ්ඩ වාදනය ගායනයට ඉඩ දෙනවා මිස ගීතය ආක්‍රමණය කරන්නේ නැත. තාල වාද්‍ය භාණ්ඩ වලින් ගීතයට රිද්මය ලබා දෙන අතර, එකිනෙක සංගීත භාණ්ඩයේ නාදය පද රචනය තුළින් මතු වෙන අර්ථයටත් , ගායනය තුළින් මතුවන භාවයන්ටත් ඌණපූරණයක් සපයනවා.

මෙය බිහි වූයේ ගුවන්විදුලි සරල ගීතයක් ලෙසින්. පහතින් පළමුව අමුණා ඇත්තේ මුල් ගුවන්විදුලි පටිගත කිරීම යි. එකල ගුවන්විදුලියේ දක්ෂ වාදක මණ්ඩලයක් සිටි බව අපි අසා ඇත්තෙමු. අදට සාපේක්ෂව අඩු පහසුකම් යටතේ වුව ගීත පටිගත කිරීම සැලැකිල්ලෙන් සිදු කෙරී ඇති බවට මේ ගීය ද සාක්ෂි සපයනවා.

දෙවනුව අමුණා ඇත්තේ වෙළෙඳ කැසට් පටයක් සඳහා කරන ලද පසු පටිගත කිරීමකි. අප සාමාන්‍යයෙන් කෙරෙන්නා සේ මෙහිදී ද මුල් ගුවන්විදුලි පටිගත කිරීම වඩා ප්‍රිය කළ ද, මෙම වෙළෙඳ කැසට් පටයට කළ ගීතයේ, ශ්‍රවණ තත්ත්වය තරමක් දුර්වල වුව ද, සංගීත සංයෝජනයේ දී සැලැකිය යුතු මට්ටමක ගුණාත්මකභාවයක් පවත්වා ගැනීමට සමත් වී තිබේ. විශේෂයෙන්ම මුල් ගීතයේ දී අපේක්ෂා කළ පරිදි ජන ගී විරිතෙහි අභාෂයට සරිලන දේශීය හැඩතල සංගීත සංයෝජනය තුළ පවත්වා ගැනීමට සැලකිලිමත් වී තීබීම අගය කළ යුතුය​. ගායනය පවතින හැම තැන දී උඩැක්කිය (හෝ ඩැක්කිය​) වැනි තාල වාද්‍ය භාණ්ඩයකින් නැඟෙන ගැඹුරු (බුම්) හඬ පදරුත් හා සමගාමිව යම් ගුප්ත බවක් ගීතයට එකතු කරයි. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ බහුලව ඇසෙන වර්තමානයේ මේ ගීතය පටිගත වූවා නම් එය සපුරා වෙනස් හැඩයක් ගනු නිසැකයි. සංගීත සංයෝජනයේ දී ගීතයට ලැබෙන හැඩය සහ වර්ණය කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි ය​.

අමා නයනාදරී සිරිවර්ධන​
18-07-2024

සුවඳයි මේ මල මොන මලදෝ
පරසතු උයනෙන් වැඩියා සේ
සුමුදුයි මේ පෙති මොන පෙතිදෝ
ඒ මත සැතපෙන්නේ කවුදැයි

මේ රොන් බී යන්නේ කවුදෝ
බී පමණින් නොසිඳෙන ගානයි
දුටු සැනෙකින් පවසින් දවනා
මන් මත් කරවන රුව නාරයි

මේ අත් තටු දෙක කාගේදෝ
රන් ලිය කම් රන් රුව දිලිසෙයි
සමනලයෙක් මෙහි ආවේදෝ
අත්තටු බිම ගියේ දා ඇයිදෝ

ගී පද – ලූෂන් බුලත්සිංහල​
සංගීතය – රෝහණ වීරසිංහ​
ගායනය – විල්බට් ඇන්තනී

සුවඳයි මේ මල” – මුල් ගුවන්විදුලි පටිගත කිරීම 
සුවඳයි මේ මල” – වෙළෙඳ කැසට් පටයක් සඳහා කරන ලද පසු පටිගත කිරීම

මලින් පිරී ගිය විසල් වනේ, ඉර වට යන ගිරවියනේ සහ කිරළි සිය බිජු රකින විලසින

මේ සටහන තුළින් එක හා සමාන අරුත් ඇති ගීත තුනක් ඉදිරිපත් කිරීම අරමුණු කෙරේ.

ඉරවට යන ගිරවියනේ මගෙ ගිරවිය කොයිද අනේ
වනන්තරේ තුරු වදුලේ කූඩු වෙලා උන්නු අපී
නිරන්තරේ ආල මතින් ළෙන්ගතු වී උන්නු අපි
මගෙ ගිරවිය කොයිද කියන් සඳවට යන සාවුනේ

කයිතාලම් ගීත හඬින් කවි සීපද සින්දු කියා
ඈ රහසින් පඳුරු උඩින් මට නො කියා යන්න ගියා
මගෙ ගිරවිය කොයිද කියන් වනයට හිමි දේවනේ

හිත පපුවට ගිනි ඇවිළී මට තනිකම් දැණුනාවේ
සතර වරම් දෙවි සරණින් ඈ නිදුකින් උන්නාවේ
මගෙ ගිරවිය කොයිද කියන් සත් පත්තිනි සාමිනේ

මේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීතයට මීට වසර හතරකට පමණ පෙර​ අප අතරින් සමුගත් අයිවෝ ඩෙන්ස් සූරීන් ගයන ලද ගීතයකි. මේ ගීතයේ අදහස හා බෙහෙවින් සමාන ගීත දෙකක් සිංහල ගීතාවලිය තුළ මට හමු වෙයි. “ඉරවට යන ගිරවියනේ” ගීතයේ දී මෙන්ම අනෙක් ගීත දෙකෙහි දී ද සිය පණ මෙන් සිට නැති වූ පෙම්වතිය (හෝ බිරිඳ) සොයන කතා නායකයා ඈ ගැන විමසා සිටින්නේ කුරුල්ලන්ගෙන් සහ නො පෙනෙන බලවේග වලින්. ඉන් එක් ගීයක් ගායනා කරන්නේ ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාල විසින් වන අතර, අනෙක ගායක චන්ද්‍ර කුමාර් කඳනාරච්චි විසින් ගැයූවකි.

අයිවෝ ඩෙනිස්

මලින් පිරී ගිය විසල් වනේ
පියාසලා යන කුරුල්ලනේ
මගේ ප්‍රියාදරි සෙයා ගොසින්
හිතේ තියෙන දුක කියව් අනේ

කරුණාරත්න අබේසේකර ගේ පද රචනයකට සත්සර මුසු කරන ලද්දේ මෙල්රෝයි ධර්මරත්න යි. ​

කරල් කපන කල – දර අහුලන කල
දිය ගෙන එන කල බඩවැටියේ
පියුමෙහි හිරවුන බඹරෙකු විලසට
මා ඇය ළඟ තනියට සිටියේ

පියුමෙහි හිරවුණු බමරෙකු විලසට – මා ඇය ළඟ තනියට සිටියේ” වැනි කවි සිතුවිල්ලක් භාවිතා වූ වෙනත් තැනක් සිංහල සාහිත්‍යය තුළ මට හමු වී නැත​. එය කරුණාරත්න අබේසේකර පද රචනයේ දී සිය කවීත්වය මැනවින් පෙන්නුම් කළ තැනකි.

ඇය දැක ගන්නට පිබිඳුණු නෙත් දෙක
රෑ යාමෙත් නැහැ පියවෙන්නේ
සිසිල තුරුලු කර එන මුදු මඳ නළ
ඇයගේ සුවඳයි ගෙන එන්නේ

එච්.ආර්. ජෝතිපාල​

කලා කෘතියක් ප්‍රබුද්ධනයට පත් වීම උදෙසා සාහිත්‍යමය යෙදුම් , අලංකාර හෝ ගැඹුරු වක්‍රෝක්ති භාවිතය අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බවට මෙවැනි ගීත අපට තව දුරටත් උදාහරණ සපයනවා. ස්වභෝවෝක්ති රසයත් නිරායාස ගුණයත් ආත්මය කොට ගත් සරල පද තුළ ප්‍රබල චිත්ත රූප මැවීමෙහි සමත් කවියක් හෙවත් කාව්‍යමය ගුණයක් ගැබ් වී ඇත. අදහස නිරවුල්‍ ය පැහැදුල් ය​.

මේ අදහසම දෙන අනෙක් ගීතය​ ගුවන්විදුලියේ හිටපු නිවේදකයකු වූ පියල් ප්‍රේමනාත් ජයතිලක මහතා විසින් රචිත “කිරළි සිය බිජු රකින විලසින”​ ගීතයයි. නිරංජලා සරෝජිනී ගයන “කොත්විලක්කු පහන තිබෙයි පෙට්ටගමක් යට​” සහ සනත් නන්දසිරි ගේ “සොවින් පිරි මගේ හදවත” ගීත රචනා කරන ලද්දේ ද ඔහු විසිනි.

කිරළි සිය බිජු රකින විලසින
නැතොත් මගෙ පණ සේ රැකී
අනේ වන දෙවි දේවතාවුනි
නැති වෙලා මගෙ ජානකී

ගායක චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහතා ගැයූ ගීත ඇත්තේ අතළොස්සක් පමණි. නමුත් ඒ හැම එකක්ම පාහේ රසික ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. කේ. ඩී.කේ ධර්මවර්ධන (උදා: “පෙම් බැන්ද සිත් බැන්ද​”, “ඇගෙ සිනහව තහනම්” , “ගම මහනුවරයි”) , ප්‍රේමකීර්ති ද අල්විස් (උදා: “නෙලුම් විලේ කැලුම් පෙරා” ) වැනි පද රචකයන් ගේ ගී පද රචනා ඊට හේතු වන්නට ඇතැයි සිතනවා. චන්ද්‍රකුමාර් මහතා මේ තනුවම හින්දි බසින් ද ගායනය කරනවා – “ජ්‍යාසේ ප් යාරී දෝ හමාරී” – මගේ හින්දි වචන අහුලා ගැනීම නිවැරැදි නැත්නම් සමාව භජනය කරත්වා.

චන්ද්‍ර කුමාර කඳනාරච්චි

ගීත විචාරයේ දී බොහෝකොටම පදමාලාව සහ සාහිත්‍යය විචාරය කරන්නට යෙදුණත්, අප රස විඳින ඕනෑම ගීතයක අප ගේ සිත් එක් වරම සැබැවින්ම පැහැර ගන්නේ ඒවායේ පද නොව, ගී පද හා ඓන්ද්‍රීයව අනුනාද වන රිද්මය සහ සංගීතය යි. පළමුව සංගීතය සහ තනුව ආශ්‍රය කරගත් නාද රසයට​ ආකර්ෂණය වන රසිකයා , ගීයේ පදරුත් සොයන්නට වෙහෙසෙන්නේ ඉන් පසුවය. කවියකට වඩා ගීතයක් වෙනස් වන්නේ එහි ලතාවක්, රිද්මයක් සහ සංගීත සංකලනයක් තිබීම හේතුකොට ගෙනයි. ඇතැම් කවියක ද යම් කිසි විරිතකට​ ගැයිය හැකි ගුණයක් ඇතත්, තනුවක් සහ සංගීත නිර්මාණයක් සිදු වෙන තුරු එය ගීතයක් බවට පත් වන්නේ නැත​. ඇතැමුන් කියන්නා සේ රසිකයන් විසින් රසාස්වාදය කෙරෙන්නේ ගීතයක​ පද සහ අර්ථය​ පමණි. ඒ නිසාම විචාරක භූමිකාවට එළැඹෙන රසිකයා අතින් විචාරයට බඳුන් වන්නේ ද සාහිත්‍යමය පද ටිකක් පමණි. රස විඳින්නේ පදමාලාව පමණක් නම්, ගීතයට සවන් දෙන්නේ නැතිව පදමාලාව තැනෙක​ ලියා තබාගෙන නිතර නිතර කියවීමෙන් සෑහී සිටිය හැකි විය යුතුය​. එහෙත්, කැමැති ගීත නිතරම් මුමුණා සිටිමෙන් පමණක් නොනවතින අප ඒවාට නිතර නිතර, නැවත නැවතත් සවන් දෙන්නේ පද අර්ථය පමණක් නොව, එහි ඇති සංගීත රසයක්ද නැවත නැවතත් විඳින්නට කැමැති හෙයින් බව අමුතුවෙන් විස්තර කළ යුතු වන හේතුව මට නොවැටහේ. ගීතයක් රස විඳීමෙන් ලැබෙන ආනන්දයෙන් මත් වෙන රසිකයා , විචාරකයා ගේ භුමිකාවට ප්‍රවිශ්ට වීමේ දී, සංගීත විචාරකයකු ගේ කාර්යභාරය ද ඉටු කිරීම​ ඔහුගෙන් බලාපොරොත්තු විය යුතු නැත​. රසිකයා විසින් එය විචාරය කරන්නට යෙදෙන්නේ තමන්ට නිර්මාණය දැනෙන හැඟෙන හැටියෙන් පමණි. රිද්මයට කැමැතියි කියා හැමවිටම ප්‍රකාශ කිරීම අවැසි නොවන්නේ එය එසේ වෙන බව විශේෂයෙන් කිව යුතු කාරණයක් නොවන බැවිනි.

මෙහි දී කලකට පෙර අත්දැකීමක් සිහිපත් වේ. ලක්ෂ්මන් විජේසේකර සහ නිරංජලා සරෝජිනී ගයන “සුපෙම් හැඟුම් ඔබෙන් එපා” ගීතය​ පළමුව අසන්නට ලැබී වසර කිහිපයක් ගත වෙන තුරුම ඊට මගේ අවධානය යොමු නොවුණු තරම් විය​. අර්ථය කුමක්දැයි වටහා ගැනීමට හෝ උනන්දුවක් ඇති නොවුණු බව හොඳින්ම මතකය. අර්ථය ගැන පැහැදීමක් ඇති වූයේ දිනක් ඉරිදා පුවත්පතක, ඒ ගීයේ පද ලොකු අකුරෙන් ලියා, රාමු කර තිබෙනු දැක​ කියවා බැලීමෙන් පසුවයි. මින් පෙර මේ ගීය ගැන උනන්දුවක් ඇති නොවූයේ මන්දැයි සිතා බැලූ කල​ මට වැටහුණේ ඒ කෙරෙහි ආකර්ෂණයක් ඇති නොවීමට හේතුව තනුවේ සහ සංගීත රසයේ ඇති කුමක් හෝ දුර්වලකමක් බවයි. අදටත් නිසඳැස් කවියක් ලෙස විනා ගීයක් ලෙස මට ඒ ගීතය විඳිණු නොහැකිය​. අර්ථ රසයක් ගැන මිස​, නාද රසයක් විඳීම අපහසුය.

“ඉරවට යන” ගීතය සඳහා යොදා ගෙන ඇති වාද්‍ය භාණ්ඩ සංඛ්‍යාව සීමිතය. සීමිත තාල වාද්‍ය භාණ්ඩ කිහිපය සමඟින් තදින් වැයෙන වයලීනය කතා නයකයා ගේ හද ගැස්ම මැනවින් නිරූපණය කරවයි. “මලින් පිරී ගිය” ගීතය විරහ ගීතයක් නමුදු, එයින් අපූරු තාලයක් සහ රිද්මයක් නැඟේ. එය ඉබේම වාගේ රිද්මයානුකූලව අංග චලනය කිරීමට අසන්නා පොළඹවන තාලයකි. විරහ වේදනාව ප්‍රකාශයට පත් වන්නේ ගායකයා ගේ හඬින් පමණක් සේ ය . ඒ අනුව විරහව පවා යම් කිසි ප්‍රහර්ෂයකින් යුතුව ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවන් සමත් වී තිබේ. එය මේ ගීතයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් සේ දකිමි.

ගායක අයිවෝ ඩෙනිස් මහතා ගැන කෙටියෙන් හෝ යමක් කිව යුතුම වේ. අයිවෝ ඩෙනිස් සිංහල ගීත ක්‍ෂ්ත්‍රයට​ ප්‍රවේශය ලැබුවේ කිතුණු පල්ලිය ආශ්‍රිත කන්තාරු ගායනයෙන් පන්නරය ලබමින්. දේශීය අනන්‍යතාවය සොයා ගිය සුනිල් සාන්ත ඇසුරේත් , ඉන් අනතුරුව​, ඩබ්ලිව්. බී මකුලොලුව මහතා සමඟ දේශීය ජන ගී ආරේ වැඩසටහන් වලට ද සම්බන්ධ විය​. ආචාර්ය කේමදාස නිර්මාණ වලට සහභාගී වීමේ දී එකිනෙකට වෙනස් ආරේ නිර්මාණකරනයෙහි යෙදුණු දැවැන්තයින් දෙදෙනෙකු ම යටතේ ලද පරිචය ඔහුට මහත් පහසුවක් වන්නට ඇත​. කන්තාරු ගායනාවේ සිට , ජන ගීයටත්, සරල ගීයට වගේම සංකීර්ණ​ ඔපෙරා , කැන්ටාටා ශෛලියේ ගීත වලටත් අපහසුවකින් තොරව ප්‍රවිශ්ට වීය​.

“ඉරවට යන” ගීතයේ බටහිර මාත්තුව ඇහෙන්නේ වාද්‍ය භාණ්ඩ වලින් පමණි. පද​, තනුව සහ ගායනය තුළින් මතු වන්නේ අපට බෙහෙවින් හුරු පුරුදු ජන ගීයට නෑ කම් කියන ශෛලියක්. අද යුගයේ ජන ගී ගායකයන් ලෙස ප්‍රසිද්ධව​ ජන කවි කියන්නන් කෙරෙන්වත් මෙවැනි ජන ගී ආරේ ගායනයක් ඇසීම උගහට ය​. ඔවුන් ගේ ගායනයේ ජන ගී සම්ප්‍රදාය දකින්නට ලැබෙන්නේ පද තුළ පමණි. ගායනය තුළ ජන ගී ආරක් ඇසෙන්නේ නැත​. ඒ අනුව බලද්දී කන්තාරු ශෛලියට නෑ කම් ඇති හඬකින් ගීත ගායනය කරමින් ක්ෂේත්‍රයට පිවිසි අයිවෝ ඩෙනිස් ජන ගී හැඩතල මත පිහිටා මෙහිදී පෙන්නුම් කරන දක්ෂතාවය ඉහළින්ම අගය කල යුත්තකි.

මේ ගීත වල සංගීතමය පාර්ශ්වය ගැන මට හැඟෙන දැනෙන දේ එපමණකි. ඒ හැර ස්වර රචනා සිදු කර ඇති අන්දම ගැන කියන්නට මා දන්නේ නැත​. එක හා සමාන ස්වරූප ගත් අරුත් ඇති ගීත ද්විත්වයකින් යළිත් හමුවෙමු.

අමා නයනාදරී සිරිවර්ධන​
19-02-23

ඉර වට යන ගිරවියනේ
කිරළි සිය බිජු රකින විලසින

“මලින් පිරී ගිය ගීතයේ” නව සංගීතය මුසු වී නැති මුල් ගීය සොයා ගැනීම අපහසුයි. එය සොයාගෙන YouTube හරහා අන්තර්ජාලයට දැමූ පසුව මෙහි පළ​ කරන්නෙමි.

ප්‍රබන්ධ කතාව සුදෝ සුදු ද නැතහොත් සාහිත්‍ය ඡායානුවාදයක් ද​?

ඉන්දියානු කෙටි කතා එකතුවක තිබූ එක් කතාවක සාරාංශය මෙසේයි. මා එය කියැවූයේ පාසැල් යන කාලයේ නිවාඩුවකට දෙමාපියන් සමඟ කොළඹින් ඈත දුරබැහැර​ පවුලේ හිතවතෙකුගේ නිවසට ගොස් සිටි අතරවාරයේදි යි. ඒ නිවස ඒ තරම් පොත් තිබූ තැනක් නොවේ. කියැවීමේ පිපාසය තදින්ම තිබුණු ඒ කාලයේ මට කම්මැලියැයි කන්කෙඳිරි ගාමින් නිවැසියන්ට වද දී නිවස පීරා අතට හසු වූ පොතක් රැගෙන කියවන්නට ගතිමි. එහි නම මතකයට නොඑයි. කාලයකට කලින් කියැවූ කතාවක් නිසා අඩුපාඩු තිබිය හැකි වූවත් කතාවේ සාරයේ වෙනසක් නැත.

විවාහ වී බොහෝ කලක් යනතුරුත් දරුවකු නොමැතිව සිත් තැවුලෙන් පසු වූ යුවළක්, හාස්කම් ඇති බවට ඔවුන් සිටින ජන සමාජයේ මිනිසුන් විශ්වාස කරන ඉතා දුර බැහැර පිහිටි දේවාලයකට යන්නේ දරුවකු ලබා දෙන ලෙසට දෙවියන්ට කන්නලව් කර බාරහාර වීමට යි. අතරමඟ දී වන්දනා නඩයක්‌ මුණ ගැසෙන යුවළ ඔවුන් හා එකතු වෙනවා. ලොරියක නැගී යන මේ යුවළට නඩය සමඟ රැයක් පහන් කිරීමට ද සිදු වෙනවා. අනෙක් සියලු දෙනා නින්දට වැටී සිටියදී, දරුවකු පතා දේවාලය වෙත යන කාන්තාව සහ නඩයේ සිටි තරුණයකු අතරේ යමක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දේවාලයට ගොස් බාර වී පැමිණෙන කාන්තාවගේ කුසේ දෙයියෝ දුන් දරුවා පිළිසිඳ ගන්නවා.

‘කරුමක්කාරයෝ’ (පින්තූරය අන්තර්ජාලයෙනි)
දරුවකු ලබා දෙන ලෙසට කන්නලව් කර බාරහාර වීමට​ දේවාලයකට (ලාංකිකයන් අතරේ ජනප්‍රිය කතරගම දේවාලයට) යාම, රැය පහන් කරද්දී බිරිඳ වෙනකෙකු (සැමියා ගේ බාල සහෝදරයා) සමඟ එකතු වීම, ඉන් පසුව ඇගේ කුසට දරුවකු පැමිණීම යන තේමාව ඇතිව බිරිඳට දරුවා ලැබෙන්නේ දේව බැල්මෙකින් මෙන් දරුවකු ලබා දිය හැකි අයෙකු ඇයට හමුවීමෙන්ය යන ව්‍යංගය ප්‍රේක්ෂකයා හමුවේ තබන තවත් නිර්මාණයකි ගුණදාස අමරසේකර විසින් රචිත “කරුමක්කාරයෝ” (1955) නවකතාව. මේ නවකතාව 1980 වසරේ දී තිස්ස අබේසේකර ගේ තිර පිටපතකට අනුව ඔහුගේ ම අධ්‍යක්ෂණය යටතේ සිනමාවට ද නැගුනා. ගුණදාස අමරසේකර ගේ නවකතාවේ තරමට තිස්ස අබේසේකර සිනමා තිර පිටපතෙහි ඇතැම් චරිත ප්‍රබලව මතු නොවීම තිර පිටපතේ ඇති දුර්වලතාවයකි. නවකතාවේ සක්‍රීය ශක්තිමත් ගැහැණියක වන සෝමා, චිත්‍රපටය තුළ දී ලිංගික වශයෙන් පමණක් සක්‍රීය දුර්වල චරිතයක් ලෙස අක්‍රීය බවට පත් කර තිබුණා. නවකතාව තුළ විදහා දැක්වෙන ස්ත්‍රියගේ භූමිකාව නිසි ලෙස ග්‍රහණය කර ගැනීමටත් සීමාවෙන් ඔබ්බට පුළුල් දැක්මක් නිර්මාණකරුවකු සතු විය යුතුයි. තිස්ස අබේසේකර වැනි විවිධ අංශ වලින් කුසලතා දැක්වූ, සංගීතය ආදී විවිධ තැන්හි දී තරමක් දුරකට හෝ පුළුල් දැක්මක් ප්‍රදාර්ශනය කළ කලාකරුවන් පවා ස්ත්‍රිය පිළිබඳ කතාවේ දී බමුණන් විසින් කුමක් හෝ නිශ්චිත ආකෘතියක ස්ත්‍රිය සිර කර තැබීමේ ගතානුගතික රාමුවෙන් ඔබ්බට සිය දැක්ම පුළුල් කර ගැනීමට​ අසමත් වූ අවස්ථා නිර්මාණ තුළ හමුවෙනවා.

මෙම නිර්මාණ දෙක අතුරින් පළමුව බිහි වූයේ ඉන්දියානු කෙටිකතාවද නැතහොත් ලාංකික නවකතාවදැයි නොදනිමි, ඉන්දියානු කෙටිකතාවේ නම සහ/හෝ එය අඩංගු කෙටිකතා එකතුව ගැන දන්නා අයෙකුට එය මෙහි සඳහන් කළ හැකි නම් කෘතඥ වෙමි.

පහතින් දැක්වෙන්නේ එකම ආකාරයේ කතා තේමාවක් මීට වඩා ප්‍රබල අන්දමින් දෙස් විදෙස් නිර්මාණ තුළ හමු වන තවත් අවස්ථාවක් පිළිබඳ විස්තරයකි.

ගී ද මෝපසාං (1850-1893) ගේ වෙරළ ආශ්‍රිත ගම්මානයක වෙසෙන ධීවර පවුලක් වටා ගෙතුණු කෙටි කතාවක සාරාංශය මෙසේයි:

ධීවර කර්මාන්තය ජීවනෝපාය කර ගත්, කුඩා දරුවන් දෙදෙනෙකු ද සමඟ බොහොම සතුටින් සාමයෙන් තරුණ යුවළක් ඒ ගමෙහි විසීය. දිනෙක මේ පවුලේ පියා මුහුදු ගොස් සිටිය දී කුණාටුවකට හසු වී අතුරුදහන් වු බව ඔහු සමඟින් මුහුදු ගොස් දිවි බේරාගෙන ගමට පැමිණි අනෙක් ධීවරයන් දැනුම් දෙනවා. ඈත දියඹේ දී පෙරලුණු ඔරුකැඳෙහි නැඟී, වෙනත් රටකට ගසා ගෙන ගොස් අතරමං වී සිටින ඔහු අවුරුදු ගණනාවකට පසුව නැවත සිය දරු පවුල සොයා ගමරට බලා ආවත්, ඒ වන විට බොහෝ දේ සිදු වී අවසන් බව සිය ඇස් දෙකින්ම දැක ගන්නවා. සිය සැමියා ගැඹුරු මුහුදේ කුණාටුවට හසු වී මළ බව විශ්වාස කර නැවත විවාහ වී, ඒ වෙද්දී දෙවන සැමියාට දාව තවත් දරුවන් දෙදෙනෙකු ද ලබා සිටින බිරිඳට කළ හැකි දෙයක් ඇත්තේ නැහැ. පළමු සැමියාට ලොකු මහත් වී සිටි සිය දරුවන් හඳුනා ගැනීමට පවා නොහැකියි. ඔහු සිය දරුවන් හඳුනා ගන්නේත් අන්‍යයන්ගෙන් උදව්වෙන් මගේ දරුවන් කවුදැයි විමසීමෙන් පසුවයි. ගමේ පල්ලියට ගොස් පාදිලිතුමා හමු වී මේ අවනඩුව විසඳා ගන්නා ලෙසට ගම්වැසියන්ගේ පිළිගැනීමට ලක්‌ වූ තලතුනා පුද්ගලයකු කරන අවවාදයකින් කතාව හමාර වෙනවා.

මේ කතාව, එනම් අතුරුදහන් වූ සැමියා මිය ගොස් ඇතැයි සලකා බිරිඳ වෙනත් කෙනෙකු හා විවාහ වන්නේ පළමු සැමියා ජීවත්ව සිටියදීමය යන එකම සංසිද්ධිය ඉන් පසුව අපට වෙනත් සාහිත්‍ය සහ සිනමා කෘතීන් කිහිපයකම හමු වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ගේ “ගම්පෙරළිය” (1944) නවකතාව, සාගර පලන්සූරිය ගේ (1908-1961) “සුදෝසුදු” කාව්‍ය සංග්‍රහය, මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ “මුහුදු ලිහිණි” (1983 ) චිත්‍රපටය සහ Pearl Harbor (2001) නම් ඇමෙරිකානු සිනමා කෘතිය එකම සංසිද්ධියක් අන්තර්ගත වූ මා දන්නා ගද්‍ය, පද්‍ය සහ දෘශ්‍ය කාව්‍ය නිර්මාණ වේ. මේ හැර මේ තේමාව රැගත් තවත් කෘතීන් තිබිය හැකියි.

මුහුදු ළිහිණි’ පින්තූරය අන්තර්ජාලයෙනි

කෙනෙකුට දැන් මේවා සාහිත්‍යමය සොරකම්දැයි සාධාරණයැයි බැලූ බැල්මට හැඟෙන​​ ප්‍රශ්නයක් පැන නැඟිය හැකියි. සාහිත්‍ය මාසයේ සිදු වූ මතභේදයට තුඩු දුන් කරුණු මත දිග ඇදුණු සංවාද වල දී ඉහත සඳහන් කරන ලද ඇතැම් නිර්මාණවල නම් ද සඳහන් වී තිබෙනු දක්නට ලැබුණි. එම නිර්මාණ සම්බන්ධයෙන් එතරම් පහසුවෙන් “සොරකම” ගැන චෝදනාවක් එල්ල කළ හැකිද? මේ ප්‍රශ්නයට පිළිතුරු විමසා බලමු.

පළමු කතා දෙක එනම් ඉන්දියානු කෙටි කතාව සහ කරුමක්කාරයෝ නවකතාව අතරින් කුමක් පළමුව ප්‍රකාශයට පත් වී ඇතත්, ඒ දෙක අතරේ දැකිය හැකි එකම පොදු සාධකය දේවාලයට යන අතරමඟ දී බිරිඳ වෙනත් පුද්ගලයකු හා සංවාසයෙන් දරුවකු බිහි කළාය යන පුවත පමණයි. යම් හෙයකින් අපේ නවකතාකරුවා විසින් එම ඉන්දියානු කෙටිකතාව හෝ වෙනත් විදෙස් නිර්මාණයක් ඇසුරු කර ඇතත්, සිය කෘතිය හරහා ඔහු විසින් ගමක් පාදක කරගෙන ඉදිරිපත් කරන කතාවේ විශාල දාර්ශනික හරයක් ගැබ් වී තිබෙනවා. ඒ හා සමගාමීව කතාවට පසුබිමෙන් ගමේ සිදුවන සමාජ ආර්ථික පෙරළියත් එහි ප්‍රතිඵල ලෙස ගම්වැසියන් ගේ ජීවන රටාව වෙනස් වන අන්දමත් ඉතාම සූක්ෂ්ම ලෙස පාඨකයා හමුවෙහි තබනවා. වෙනත් විදියකින් කියතොත්, ගුණදාස අමරසේකර ගේ නවකතාව​ විචාරයට බඳුන් කිරීමට තරම් සුදුසු ස්වාධීන ලක්ෂණ බොහොමයක් අඩංගු නිර්මාණාත්මක ලක්ෂණ බහුල කලාත්මක කෘතියක් ලෙස හැඳින්විය හැකියි.

‘සුදෝසුදු’ පින්තූරය අන්තර්ජාලයෙන්

මෙහි සඳහන් දෙවන තේමාව අන්තර්ගත වූ නිර්මාණ ගැන කියන්නට ඇත්තේ ද එයයි. සැමියා මළ බව සිතා බිරිඳ වෙනත් කෙනෙකු හා විවාහ වූ පසුව පළමු සැමියා නැවත පැමිණීම, මාර්ටින් වික්‍රමසිංහ ගේ “ගම්පෙරළිය” නවකතාව සහ සුදෝසුදු හි ඇති හුදු කතාවක් පමණයි. වඩා වැදගත් වන්නේ ඒ වටා නිර්මාණකරු විසින් කතාව ගොඩ නංවන ආකාරයයි. ගම්පෙරළියේ පෙන්වන තත්කාලීන සමාජ දේශපාලනික පරිවර්තනය, සුදෝ සුදු හි දාර්ශනික හරය සහ කාව්‍ය රසය යන ඒ ඒ කෘතිය සතු ඒවාට ඇති අනන්‍යතා ලක්ෂණ ගැන හුදෙක් පොතක් කියැවූයෙමිය යන තෘප්තිය උදෙසා කියවාගෙන යාමකින් එහා පොත ගැඹුරෙන් කියවාගත් විශ්ලේෂණාත්මක ශක්‍යතාවයක් ඇති පාඨකයකු දනී.

‘Pearl Habor’ Image copied from internet

දෙවන ලෝක සංග්‍රාමය පසුබිම්ව ගුවන් භටයන් දෙදෙනෙකුට මැදි වූ හෙදියක වටා ගොඩ නැගෙන ප්‍රේම කතාවක් වූ ‘Pearl Harbor’ චිත්‍රපටයත් කිහිප සැරයක් නැරඹුව ද එපා නොවෙන ඊට ආවේණික ස්වාධීන ලක්ෂණ තිබුණු ඉතාම ලස්සන චිත්‍රපටයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් සිරිබෝ අයියා (1980) චිත්‍රපටය බෙහෙවින් සාර්ථක නිර්මාණයක් බව මගේ මතයයි. චිත්‍රපටය සාර්ථක වූයේ අධ්‍යක්ෂණය නිසා නොව, ජෝ අබේවික්‍රම ගේ රංගනය නිසා බව ඇතැම් විචාරකයකු පවසනවා. කොහොම වුණත් එය හොඳ නිර්මාණයක්. “මුහුදු ලිහිණි” ද සාපේක්ෂව සලකා බැලුවොත් අඩුපාඩු මධ්‍යයේ වුව ද​ නිර්මාණයක් ලෙස රස විඳිය හැකි මට්ටමේ චිත්‍රපටයක් ලෙස දකිමි.

නිර්මාණයක්‌ තවත් දෙස් හෝ විදෙස් නිර්මාණයක අභාසය ලබා ඇතැයි හැඟී යන අවස්ථා වල දී සොරකම පිළිබඳ චෝදනාව කටට එන්නන් වාලේ කියන්නට නිර්මාණ වලට ආදරය කරන වගකීමක් ඇතිව කටයුතු කරන පාඨකයකුට නොහැකියි. අනන්‍යතා ලක්ෂණ සහ ස්වාධීන ලක්ෂණ ගැන කියද්දී භාෂා රීතිය​ හා දෙබස්, පෙළ ගැස්ම​, යම් සංසිද්ධියක් පාදක කරගෙන තිර පිටපත තුළ ඒ වටා කතාව ගොඩ නංවන ආකාරය​, කතාව තුළ අන්තර්ගත දාර්ශනික හරය, සමාජ දේශපාලන වැදගත්කම​ ආදී මේ සියලු අංග​ ගැනද අවධානය යොමු කළ යුතුයි.

මීට අමතරව අප ජීවත්වන ලෝකයේ සනාතන ගැටළු කියා දෙයක් තිබේ. සනාතන ගැටළු යනු කාලය හෝ දේශය අනුව වෙනසක් නොමැතිව විවිධ චෛතසික ස්වභාවයන් හේතුකොට ගෙන මිනිස් සත්ත්වයා මුහුණ දෙන දේවල් ය. ප්‍රබන්ධමය කතා තුළින් එකම සනාතන ගැටළුව විවිධ මුහුණුවරින් එදා ඉදිරිපත් විය. අදත් හෙටත් එසේම සිදු වේ. විද්වතුන් විසින්, මිනිසා මුහුණ දෙන ගැටළු ගැන කියැවෙන මනෝ විද්‍යාත්මක කතා පෙළක් ලෙස හැඳින්වෙන ජාතක කතාවන් අදටත් විවිධ මුහුණුවරකින් ප්‍රති-නිර්මාණය​ වන්නේ ඒවායේ අකාලික කතා පුවත් අන්තර්ගතවන බැවිනි.

ශිල්ප ඥාණයෙන් අගතැන්පත් වුවත්, මෘදු පිරිමියාට වඩා, සිරුරින් මෙන්ම ගති ස්වභාවයෙන් ද හැඩි දැඩි පිරිමි පෞරුෂයකට ආකර්ෂණය වූ මනමේ කුමාරිය සිටියේ එදා පමණක් නොවේ. ඈ හැමදාමත් ලොව වසන්නීය​. මහාචාර්ය​ එදිරිවීර සරච්චන්ද්‍ර සිය මනමේ නාට්‍යය සකස් කරන්නේ ජනශ්‍රැතිය සහ පාරම්පරික​ දේශීය කලාවන් ආශ්‍රයෙන් නාට්‍යය​ බිහි වූ යුගයේ රිද්මයට​ ගැලැපෙන වේදිකා නාට්‍ය සම්ප්‍රදායයක් තනා ගැනීමේ පර්යේෂණාත්මක ව්‍යායාමයක් ලෙස පමණක් නොවේ. ජාතක කතාව අවසානයේ දී චපල ගැහැණියට අත්වෙන ඉරණම ගැන පාඨකයා තුළ ද්වේශයක් ඇති කරවන සුළු වූ බමුණු මතවාදය සපුරා වෙනස් කරමින්, ස්ත්‍රිය දෙස සානුකම්පිතව බැලීමට සබුද්ධික ප්‍රේක්ෂකයා පොළඹවන අරමුණ ද ඇතිවයි. එය පළමුව නාට්‍යයකටත්, පසුව චුල්ල ධනුද්ධර ජාතක කතා වස්තුව නොව, “මනමේ” නාට්‍යය ඇසුරින් එකම කතාව ගීතයක් හරහා වර්තමානයටත් ගෙන ආ හැකි වූයේ අවස්ථාවට අනුව මිනිස්‌ සිත ප්‍රතික්‍රියා කරන ආකාරය පිළිබඳ සනාතන ධර්මතාවයක් එහි අඩංගු වූ එබැවිනි. නමුත් ජාතක කතාව ප්‍රතිනිර්මාණය කරද්දී , කාන්තාව රාජ කුමාරයකු සිටියදී වැද්දෙකුට ආකර්ෂණය වනුයේ වනයේ අතුරු ආන්තරා ගැන පහළ වූ අවිනිශ්චිත බිය හේතු කොටගෙන සිය ජීවිත ආරක්ෂාව ගැන හැඟීම් මාත්‍රයකින්ය යන පෙළ ගැස්වීම​ හැමෝටම කළ හැක්කක් නොවේ. මළ සැමියා මත්තේ නොසිට, සිය පැවැත්ම තකා වැද්දාගේ සිත් ගැනීම පිණිස පසුව බොරුවක් කියන බව දෙනෙතින් පමණක් ප්‍රකාශ වෙන අන්දමට පෙර කතාව නව්‍ය මුහුණුවරකින්, කාව්‍යමය හැඩයකින් ප්‍රේක්ෂකයා අබිමුව තැබිය හැකි වන්නේ ස්ත්‍රී-පුරුෂ මිනිස්‌ සම්බන්ධතා, ජීවිතය සහ චිත්ත චෛතසික ධර්මතා සහ පොදුවේ ලෝකය ගැන සියුම් ඥානයක් ඇති නිර්මාණකරුවකුට පමණි. හඩ්සන් සමරසිංහ විසින් මනමේ නාටකය ගීතයකට පාදක කර ගනිමින්, විශ්ව විද්‍යාල පෙම් යුවළක් හරහා වර්තමානයට ගෙනැවිත් එය තුන්කල් වලංගු තේමාවක් බව තව දුරටත් සනාථ කරනවා.

ඩබ්ලිව්. ඒ සිල්වා ගේ “විජයබා කොල්ලයේ” (1938) නීලමණීය ද, ඉතාම මුදු ප්‍රසන්න ගුණ ඇති අසංගට ආදරය කර විවාහ ගිවිසගෙන සිටිය ද​, දුටු වනම​ ප්‍රේම රාගයෙන් වශී වූයේ නයනානන්දට යි.

ව්‍යභිචාරයද ලෝකයේ පවතින තවත් එක් සනාතන ගැටළුවකි. පහතරට නර්තන සම්ප්‍රදායේ එන ගිරිදේවී ශාන්තිකර්මයට පාදක වු පුරාවෘතයේ එවැන්නක් හමු වේ. ගිරි ලෙනක සඟවා තැබුව ද, දෙමාපියන්හට සිය සුරූපී දියණිය ඇගේ වැඩිමහල් සහෝදරයාගෙන් සිදු වන අතවරයෙන් ගලවා ගත හැකි නොවේ. දෛවඥයන් ගේ අනාවැකි සනාථ කරමින් අයියා අතින් නැගණිය අතවරයට ලක් වී, පසුව ඒ සංවේගයෙන් ඈ දිවි තොර කර ගෙන ගිරිදේවී නම් යක්ෂණියකව උපදී. පුරාවෘතයේ එන මේ සංසිද්ධිය අපට විජය ධර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කළ “ගුරුගෙදර​” (1993) සිනමාපටය තුළ ද හමුවෙනවා. චිත්‍රපටය හමාර වන්නේ සිංහල සංස්කෘතියට සහ සම්ප්‍රදායට බෙහෙවින් ගරුසරු ඇති විදුහල්පතිවරයකුගේ අභ්‍යන්තරය ගැන සැබෑ තතු හෙළි කරමින්. එහි අශෝක සිල්වා විදුහල්පතිවරයා ලෙසත්, ජැක්සන් ඇන්තනි විප්ලවකාරී තරුණ ගුරුවරයකු ගේ භූමිකාවත් ඉතා මැනවින් ඉදිරිපත් කරනවා.

පුතාගේ බිරිඳට හෙවත් ලේලියට , පියා ආකර්ෂණය වීම යන සංසිද්ධිය “කරුමක්කාරයෝ” චිත්‍රපටය තුළ වගේම​, 1992 දී බිහි වූ “Damage” නම් මනෝ විද්‍යාත්මක චිත්‍රපටය තුළ ද අඩංගු වෙනවා.

අවට ලෝකය කෙරෙහි විවර වූ ඉන්ද්‍රිය ඇති නිර්මාණකරුවකුට කොතැනක දී හෝ ඇසූ දුටු දෙයක් මතකයේ නිදන්ගතව තිබී, එය වස්තු බීජය ලෙස පමණක් ගෙන, ඉතාම නිර්මාණාත්මකවුත් කලාත්මකවුත් හැඩයකින්, පෙර නොවූ විරූ ස්වරුපයකින් වෙනස්ම කලා මාධ්‍යයක් හරහා ඉදිරිපත් කිරීම නිරායාසයෙන් මෙන් සිදු වීමේ ඉඩකඩක් ද පවතිනවා. ඉහත සඳහන් සියලු නිර්මාණ එබඳු නිරායාසයන් ගණයේ ලා සැලැකිය හැකිදැයි නිශ්චිතවම පැවසිය නොහැකියි. නමුත් පැහැදිලි සමානකම් ඇති බව කිව හැකියි.​

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගේ ගේය පදරචනයක් ගුණදාස කපුගේ විසින් සංගීතවත් කරමින් බිහි වූ “මගෙ හදමඬල මල් යහනකි ප්‍රභාවතී” ගීතය තුළ ද එවැනි නිරායාසයකට වඩා බර​ අවස්ථාවක් පිළිබඳ තතු කලකට පෙර හඳුනාගත හැකි වුණා. මේ ගීතය සහ “රත්නවල්ලි ගී” නැතහොත් පාසැල් කාලයේ දී කුළු කවි/නැටුම් ලෙස අප ඉගෙනගත් ජන ගායනා විශේෂය අතර දැඩි සාම්‍යයක් හඳුනාගත හැකියි. එහි සමානකම් දැකිය හැකි වූයේ අදහසට වඩා පද ආකෘතිය සහ තනුව තුළයි.

ලොව පවතින සනාතන ගැටළු හෝ ඒ ආශ්‍රය කරගෙන ගොඩ නැඟෙන ජනශ්‍රැතියට හෝ කතෘ අයිතීන් සහ ප්‍රකාශන හිමිකම් වලංගු නැත. මෙහි සංවාදයට බඳුන්වෙන ගැටළුව වන්නේ කතෘ අයිතීන් උල්ලංඝණයක් කිරීමක් ගැන නොවේ. නමුත් නිර්මාණ තුළ පැහැදිලි සමානකම් දුටු හැටියේ වගකීම් විරහිතව “ගෙඩි පිටින් අරගෙන” වැනි නිර්මාණ සොරකම් පිළිබඳ චෝදනා එල්ල කිරීමෙන් ඇති වෙන අනිටු පල විපාක​ය ගැනයි. එය නිර්මාණකරුවන් මන්දෝත්සාහී වී නිර්මාණකරණයට බරපතල අන්දමින් අහිතකර බලපෑම් ඇති කළ හැකියි.

මේ සමඟම සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් යමක් අවසානයට පෙර සඳහන් කරනු කැමැත්තෙමි. නිර්මාණ සොරකම පිළිබඳ චෝදනා කිරීමට ඉක්මන් නොවිය යුතු වාගේම, නිර්මාණ සොරා ගැනීමට බලා සිටින්නන්ට සොරකමේ යෙදීම පහසු කර ගැනීම සඳහා මෙකි නිරායාසය හේතුවක් කර ගත යුතු ද නැහැ. ඇත්තෙන්ම මෙය ඉතා සීරුවෙන් සලකා බැලිය යුතු දෙයක්.

කිසිදු ප්‍රබන්ධමය කතාවක් හෝ ඉදිරිපත් කිරීමක් නිර්මාණකරු සතු සුදෝ සුදු පරිකල්පන හැකියාව නොවිය හැකියි. එය​ නිර්මාණකරුවා විසින් විවිධ කෘති සහ ඇසූ දුටු දේ ආශ්‍රයෙන් ගොඩ නැංවූ ප්‍රබන්ධයක් විය හැකියි. කලින් සඳහන් කළ පරිදි සාධාරණ නිගමනයකට එළැඹිය යුතු වන්නේ කතාව ගොඩ නංවා ඇති ආකාරය නිර්මාණාත්මක ද? කාව්‍ය නිර්මාණයක් සතු විය යුතු වූ කලාත්මක ලක්ෂණ පිළිඹිබු කරනවාද​? කෙතරම් දුරට තර්කානුකුලව කතාව පෙළ ගස්වා තිබේද​? කතා සන්දර්භය කෙසේද? සංදර්භයට අනුරූපී අනන්‍යතා ලක්ෂණ මොනවාද? නිර්මාණය ඉදිරිපත් කෙරෙන මාධ්‍යයට කෙතරම් දුරට යෝග්‍ය ද​? එකක් අනෙකෙහි කාබන් කොපියක් නොවී, කතාව තුළ ස්වාධීන ලක්ෂණ කොතෙක් දුරට පෙන්නුම් කරනවාද? යන ප්‍රශ්න සඳහා පිළිතුරු විමසා බැලීමෙන් අනතුරුවයි.

අමා නයනාදරී සිරිවර්ධන​
24-09-2023

සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල

ධර්ම ශ්‍රී කල්දේරා ගේ “මී මැස්සෝ” (1969) චිත්‍රපටයෙන්
ඔක්තෝබර් 24 වැනි දිනට යෙදී තිබුණු ප්‍රේමසිරි කේමදාස ගුණානුස්මරණය වෙනුවෙන් පමා වී පිදෙන සටහනකි.

දකුණු ඉන්දීය අනුකාරක ප්‍රවාහයකට නතුව, වට්ටෝරු ආකෘතියක් තුළ සිර වී තිබුණු සිංහල සිනමාවට කලාත්මක මුහුණුවරක් ලැබෙන්නේ 1956 දී තිරගත වූ “රේඛාව” චිත්‍රපටයෙන්. චිත්‍රපටයේ කලාත්මක හැඩයටම සරිලන කලාත්මක ධාරාවේ ගීතාවලියකින් සාරවත් වූ රේඛාව, අනුකාරක ප්‍රවාහයෙන් මිදුණු නව සිනමා ගීත සම්ප්‍රදායක ආරම්භය ලෙස සැලැකිය හැකිය​. සිය පහසුව තකා පවතින රැල්ලේ පහසු ගමන් නොයා සිටීමට තරම් ආත්ම ශක්තියක් තිබූ තවත් අදීන කලාකරුවකු වූ සුනිල් සාන්ත මහතා ගී තනු නිර්මාණයෙන් සහාය නොවන්නට​ පරිසමාප්ත​ ස්වතන්ත්‍ර සිනමා කෘතියක් බිහි කිරීමේ අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීම​ අධ්‍යක්ෂක​ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට පහසු නොවන බවට සිංහල සිනමා ඉතිහාස මූලාශ්‍ර සාක්ෂි දරයි. රේඛාවෙන් ඇරඹෙන කලාත්මක ස්චතන්ත්‍ර ගීතයට වඩාත් කාව්‍යමය හැඩයක් ලැබෙන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවියා ගේ සිනමාගමනයෙන්. ඒ දෛවයොගය (1959) සහ රන්මුතු දූව (1962) චිත්‍රපට වලදී යි.

නමුත් අද මෙන්ම එකල ද ගැඹුරු අවබෝධයකට වඩා නොගැඹුරු ඝෝෂාවේ ශබ්දය වැඩි විය​. ‘රන්මුතු දුව’ (1962) සහ ‘ගම් පෙරළිය’(1963) හරහා ස්වීය තනු සහ දේශීය සංස්කෘතික පසුබිමට උචිත නව පසුබිම් සංගීතයක් හඳුන්වා දෙමින් ආචාර්ය අමරදේවයන් සිනමා සංගීත අධ්‍යක්ෂණයට ප්‍රවිශ්ට වී සිටිය ද, දකුණු ඉන්දීය ග්‍රහණයෙන් මුදවා ගෙන අපේ සිනමාව නිවැරැදි මාර්ගයේ තැබීම ඔවුන්ට ද පහසු නොවුණි. අමරදේවයන් ගේ සහායට “පසුබිම් සංගීතය කියන්නේ සින්දුවක් ඕනෑ වුණු හැටියේ ඉන්දියාවට දිව ගොස් පරණ සින්දු කෑලි ටිකක් හොයාගෙන​ වාදනය කිරීමවත්, දුකට වයලීන් එකක් ,සිතාර් එකක් වාදනය කිරීමවත්, සතුටට තවත් එකක් වාදනය කිරීමවත් නොවේ” කියමින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට ප්‍රවේශ වන්නේ මෙවැනි පසුබිමකදී යි. කේමදාසයන් පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ මුල් චිත්‍රපට දෙකේදී ම සිනමා සංගීතය පිළිබඳව ඔවුන් ගේ දැක්ම ‍පිළිබඳ ඉදිරිගාමී ලකුණු කියාපෑවේය​​. සීතල වතුර (1965) චිත්‍රපටයේ  “මංගල දිනයේ රස මධුපානේ” (ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ), සහ සැනසුම කොතැනද (1966) චිත්‍රපටයේ “සුළං කුරුල්ලෝ” (ධර්මසිරි ගමගේ) , “ආදරයේ රන් විමනේ” (ධර්මසිරි ගමගේ) එදා යුගය අතික්‍රමණය කළ නිර්මාණ විය​. මා හට මෙතෙක් නැරඹීමට අවස්ථාව ලැබී නැති “සැනසුම කොතැනද​” සිංහල සිනමා සංගීතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව ප්‍රබුද්ධ විචාරක මතයයි. චිත්‍රපට පසුබිම් සංගීතය යනු හුදෙක් හිස්තැන් පිරවීමකට එහා යන අධ්‍යක්ෂකවරයාට​ දෙබස් වලින් කිව නොහැකි දේ ප්‍රකාශයට පත් කෙරෙන භාව ප්‍රකාශනයක් විය යුතු බව ලාංකික ප්‍රේක්ෂකයා දැන ගන්නේ ඒ චිත්‍රපටයෙන්. සංගීතයට අමතරව “නිහඬ” බවද භාව ප්‍රකාශනය සඳහා ඇතැම් විටෙක​ ඔහු භාවිතා කළ තවත් එක් ප්‍රයෝගයකි. ඒ වගේම​ “දඩයම” චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන නමුදු, බෙහෙවින් උද්වේගක​කර අවසන් රූපරාමු වලට එනතෙක් අපට සංගීතයක් ඇසෙන්නේ නැත​.

පින්තූරය ගත්තේ අන්තර්ජාලයෙන්

1969 දී තිරගත වූ “මී මැස්සෝ” චිත්‍රපටයට එද්දී කේමදාස මාස්ටර් චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් වඩාත් පරිණත වී සිටියේය​. පාසැල් යන වයසේ කුඩා දැරියකව සිටි කාලයේ රූපවාහිනියෙන් චිත්‍රපටය නරඹා ඇති මට පසුබිම් සංගීතය ගැන කියන්නට තරම් දෙයක් මතකයේ රැඳී නැත​. එහි තිබූ ගීත අතුරෙන් බෙහෙවින්ම මගේ සිත්​ ගත්තේ ධර්මසිරි ගමගේ පද රචනයෙන් දායක වූ, වික්ටර් රත්නායක ගායනය කළ නන්දා මලනී සහාය ගායනයෙන් එක් වූ​ “රුං රුං රුං රුං මී මැස්සෝ රුං රුං” ගීතයයි. ළමා කාලයේ දී හුදෙක්ම නාද රසය නිසා ආසා කළ ද, යොවුන් වියට එළැඹෙද්දී අර්ථ රසය දැනී මේ ගීය  වඩ වඩාත් සිතට සමීප වීය​.

ප්‍රේමසිරි කේමදාස ගුණානුස්මරණය වෙනුවෙන් අද තේරීම “මී මැස්සෝ” චිත්‍රපටයේම එන තවත් ගීත නිර්මාණයකි. ඒ  කේමදාස දැක්ම මොනවට පිළිඹිබු කරවන​ “සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල” ගීතය යි. කේමදාසයන් ගායනය සඳහා තෝරා ගන්නේ කිසිදු කලෙක ජනප්‍රිය හෝ ප්‍රබුද්ධ ආදී එකදු කුලයකට නොවැටුණු ගායිකාවක වූ නාලිනී රණසිංහ මහත්මිය යි. එය ඉතාම නිවැරැදි තෝරා ගැනීමක් බව මේ ගීතය අසන ඔබට වැටෙහෙනු ඇත.

තාල වාද්‍ය භාණ්ඩ අවම වීමත්, තාලයත්, තාලයක් නොමැති කමත් අතරමැදි මන්දගාමී ස්වරූපයකින් ඉදිරියට ගලා යාමත්, සංගීත භාණ්ඩ වලින් කෙරෙන හැඟීම් ප්‍රකාශනයකට වඩා ගායිකාව ගේ හඬට සහ ගායනයෙන් ඉදිරිපත් කෙරන භාවයන්ට අවස්ථාව ලබා දීමත් මේ ගීතයේ ඇති විශේෂත්වයන් වේ. ​වරින් වර වැයෙන චෙලෝව, වයලීනය​, සිතාරය සහ තවත් සුසර භාණ්ඩයක් අතරින් ඉඳහිටෙක ගිටාරයෙන් තාල වාදනයක් සැපයේ. කේමදාස මාස්ටර් මේ ගීතය සඳහා මෙබඳු ප්‍රයෝගයන් භාවිතා කළේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගැනීමට ගීතයේ අර්ථය විමසා බලමු. චිත්‍රපට ගීතයක අර්ථය බොහෝ විට එය චිත්‍රපටය තුළ වාදනය වන අවස්ථාවට සමාන්තරව පවතින හෙයින්, එම අවස්ථාව කෙටියෙන් හෝ පැවසිය යුතුවේ.

හැරත්, වෙනත් චිත්‍රපට ගීත මෙන් නොව​, චිත්‍රපට සංදර්භයෙන් පිටතට ගෙන මෙහි අරුත් පසිඳලීම කිසිසේත්ම පහසු නොවන බව මගේ වැටහීමයි. පදමාලාව තුළ හමුවෙන පද සහ සංකේත කිහිපයකින් ඡායාමාත්‍ර වශයෙන් යමක් වටහා ගත හැකි යි. අර්ථය විසඳා ගත හැකි වන්නේ ගී පද චිත්‍රපට සංදර්භය තුළ බහා සංගීත අධ්‍යක්ෂකවරයා ගේ සංගීතමය  ප්‍රයෝගද ඇසුරෙන් විමසා බැලූ කල පමණි. එතෙකුදු හමුවන්නේ බොහෝදුරට භාවමය (abstract) අර්ථයක් මිස, පදයෙන් පදය විග්‍රහ කළ හැකි පැහැදිලි අර්ථ කථනයක් නොවේ​.

ගීතයේ අර්ථයට සෘජුව බලපෑමක් නොකරන නමුදු සම්පුර්ණ කතාවම සැකෙවින් විස්තර කිරීම මැනවයි සිතමි;

චිත්‍රපටයට​ පසුබිම් වන්නේ කොළඹින් දුර බැහැර ගම්මානයකි.  නාඹර වියේ  තරුණියන් බිලිගන්නා බහිරව යක්ෂයකු නිසා ගම්මානය භීතියෙන් ඇළලී යයි. ගම්වැසියන් ගේ දෛනික කටයුතු වලට බාධා පැමිණේ. අවතාරය ඒ වෙද්දීත් ඇඳිරි වැටෙන යාමයේ එළිමහනේ තනිව ගැවසුණු කන්‍යාවන් දෙතුන් දෙනෙකුම බිලිගෙන අවසන්. ඔවුන් ගේ සිරුරු ගඟ දිය පතුලෙන් මතු වෙද්දී ගම්මුන් පිළිසරණ පැතීමට යන්නේ ගමේ සිටින වංශවත් පවුල වෙතයි. එම ප්‍රභූ පවුලේ පියා මිය ගොස් සිටින අතර නිවසේ සිටින්නේ රෝගී මවත් , තරුණ පුත්‍රයාත්, මෙහෙකරුවනුත් පමණි. ළඟ දී නයිට් පදවියක් ද බලාපොරොත්තුවෙන් සිටින පුත්‍රයා (ආනන්ද ජයරත්න​) ගම්වැසියන් ගේ දුක් ගැනවිල්ල අසා , ඊට විසඳුමක් සොයා ගැනීමට උදව් කරන බවට පොරොන්දු වේ.

මේ අතරේ දී චිත්‍රපටයේ කතා නායිකාව වන අනුලා කරුණතිලක ද යක්ෂයාට හසු වී ඇගේ සිරුර හෝ ගම්මුන්ට සොයා ගත නොහැකි වෙන ලෙස අතරුදහන් වෙනවා. ඈ නැති සොවින් කලකිරීමට පත් වෙන​ ඇගේ පෙම්වතා (ගාමිණී ෆොන්සේකා) ගමෙන් පිට වී නගරයට යන්නේ හාමුදාවට බැඳී සේවය කිරීමේ අරමුණෙන්. ප්‍රධාන කතාව හා සමගාමීව ඉදිරියට යන අතුරු කතාවක් ලෙස ගාමිණී හා එකට සේවයේ නියුතු ලුතිනන්වරයකු, ඔහු ගේ බිරිඳ සහ තවත් තරුණියක අතර තුන්කොන් ආදර කතාවක් ද තිරයේ දිග හැරේ. විවිධ මෙහෙයුම් වල නිරත වෙන මේ කණ්ඩායම සමඟින්​ ගම්වැසියන් මුහුණ දෙන ව්‍යසනය සොයා බැලීමට ගාමිණී සිය උපන් ගමවෙත නැවත පැමිණෙනවා.

පොලීසිය හා එක්ව සිදුකෙරෙන මෙහෙයුමකින් අනතුරුව ගැමි කන්‍යාවන් බිලිගත් බහිරවයා වෙනත් කිසිවකු නොව, ගමේ වෙසෙන වංසක්කාර​ පුත්‍රයාම බවට තොරතුරු  ගාමිණී ෆොන්සේකා , ලයනල් දැරණියගල ඇතුලු කණ්ඩායම හෙළි කරගන්නේ බැහැර කළ නොහැකි සාක්ෂියක් ද සමඟින්. ඒ වෙනත් කිසිවකු නොව​, තමන් විසින් දූෂණය කිරිමෙන් අනතුරුව, ගඟට වීසි කර මරා දැමී යැයි මෙතෙක් විශ්වාස කළ අනුලා කරුණාතිලක යි. ඇය දරුවකු ද වඩා ගෙන වංසක්කාර පුත්‍රයා ඉදිරියේ පෙනී සිටිනවා. ගඟට දැමුව ද අනුලා කරුණතිලක මිය යන්නේ නැත. දිවි බේරා ගෙන, දරුවකුද ලැබ වනගතව ජීවත් වන ඇය සොයා ගන්නේ ගාමිණී ඇතුලු කණ්ඩායම විසිනි. ඇය හමුදා නිළධාරීන් සමඟ වලව්වට පැමිණ දූෂකයා ඉදිරියේ පෙනී සිටී.  නයිට් පදවියේ හීනය ද සුන් වී ගම්වැසියන් ඉදිරියේ ලැජ්ජාවට​ පත් වෙන පුත්‍රයා වහා ක්‍රියාත්මක වී උඩු මහලට දිව ගොස් තුවක්කුවෙන් වෙඩි තබා ගෙන සිය මව සහ ගම්වැසියන් ඉදිරියේදී ම දිවි නසා ගනී.

ගාමිණී සහ අනුලා එක් වන අතර සියල්ලෝ සිතුටින් විසිර ගියහ යි කියා කතාව හමාර වේ.

කලින් සඳහන් කළ සේ ගී පද චිත්‍රපට සංදර්භය තුළ බහා සංගීත අධ්‍යක්ෂකවරයා ගේ සංගීත ප්‍රයෝගද ඇසුරෙන් විමසා බැලීමට උත්සාහ කරමු.

චිත්‍රපටයෙහි පෙළ ගැසීම අනුව, මේ ගීතය වාදනය වන්නේ උප ප්‍රධාන චරිතයක් වූ ලයනල් දැරණියගල ඔහු ගේ භාර්යාව සහ දියණිය අතහැර වෙනත් කාන්තාවක (සෝනියා දිසා) වෙත ගොස් සිටින අවස්ථාවේ දී ඔවුන් ගේ දියණිය තුරුලු කර ගත් බිරිඳගේ හැඟීම් ප්‍රකාශනයක් ලෙසිනි.

ගී පද:
සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල
හැඟුම් කෙරෙහි සුවඳ නොදේ ඒ දුනුකේ මල

තුසර පිටාරය විසිරී නමුදු කිමැති පල
සතර දිගන්තයට ඇදී නොපෙනී යන කල

සමන්ත සොම්නසින් සසල නිසල දහන තුළ
අනන්ත මල් කැකුළු පුබුදු වේද සිහිල කල

ඈත හිමාලේ සඳුනෙන් සැදුන සඳළුතල
ගීත මවන්නේ හිමියනි නොමැති බමර කැල

පද රචනය : ආනන්ද​ සරත් විමලවීර

[සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල – හැඟුම් කෙරෙහි සුවඳ නොදේ ඒ දුනුකේ මල]

දුනුකේ මල යනු ඉතා දුරට සුවඳ විහිදුවන පුෂ්පයකි.  දුනුකේ මල උපමා වන්නේ ලුතිනන්වරයා ගේ බිරිඳට යි. ස්වභාවයෙන්ම සුවඳ විහිදුවන පුෂ්පයක්වීත්, මේ දුනුකේ මල ඇයගේ සැමියා ගේ හැඟුම් අවදි කරවීමට සමත් නොවේ. ඈ ළඟ සහන් සුවයක් ඇතත්, ඇගේ සැමියා ට ඇය ගැන හැඟීමක් ඇති වන ආකාරයට ඒ මලේ සුවඳ විහිදෙන්නේ නැත. – “හැඟුම් කෙරෙහි සුවඳ නොදේ ඒ දුනුකේ මල”
ඔහු ගේ හැඟීම් වෙනත් පුෂ්පයක් සමඟින් යා වී ඇත​.

[තුසර පිටාරය විසිරී නමුදු කිමැති පල – සතර දිගන්තයට ඇදී නොපෙනී යන කල]
කියන්නට දහසක් දේ ඇතත් , අසන්නට කෙනෙකු නැති කල කුමන පලයක් ද වැනි අරුතක් මෙහි තිබිය හැකියි.

[සමන්ත සොම්නසින් සසල නිසල දහන තුළ – අනන්ත මල් කැකුළු පුබුදු වේද සිහිල කළ]

“සිහිල කළ? සිහිල කල?” – මෙහි යෙදෙන්නේ කුමන ‘ල​’ යන්න යන්න වැදගත්. යෙදෙන “ල” යන්න අනුව අර්ථය වෙනස් විය හැකි බැවිනි.

කළ – කරන ලද​ ; සිහිල කළ – සිසිල් කරන ලද
කල – එකල් හි /එවිට ; සිහිල කල – ‍සිසිල් වූ කල්හි​
ඇසෙන්නේ “වේද සිහිල කල” මිස “වේද සිහිල කළ” නොවේ.

“සමන්ත” යන්න පරිපූර්ණ යන අර්ථය දේ. මල් කැකුළු යන්නෙන් මේ දෙදෙනාගේ දියණිය නිරූපණය වෙනවා විය හැකියි. ඒ අනුව සියලු සැප සම්පත් ඇති නිවස තුළ (සමන්ත සොම්නසින් සසල නිසල දහන තුළ) මල් කැකුළු පිබිදේද, ඒවාට පිබිදීමට අවශ්‍ය කරන වාතාවරණය නැතිනම් (අධික ශීතලය ඇති විට) ? – “අනන්ත මල් කැකුළු පුබුදු වේද සිහිල කල”.

එසේත් නැත්නම් සැමියා හැර ගිය කල​, කුමන සැප සම්පත් තිබුණද  සීතල වූ ඇගේ හදවතේ මල් පිබිදෙන්නේ නැත වැනි අර්ථයක් තිබෙනවා ද විය හැකියි.

[ඈත හිමාලේ සඳුනෙන් සැදුන සඳළුතල – ගීත මවන්නේ හිමියනි නොමැති බමර කැල]
ඇය සැප සම්පත් ඇති සඳළු තලයට (සඳුනෙන් සැදුන සඳළුතල) වී බඹරුන් නැතිවම තනිවම ගී ගයමින් සිටිනවා – “ගීත මවන්නේ හිමියනි නොමැති බඹර​ කැල”.

මෙවැනි අවස්ථාවකට පත් වූ කාන්තාවක ගේ මානසිකත්වයටම සරිලන පද මාලාවක් ලිවීමට පද රචකයා, සහ සංගීත අධ්‍යක්ෂකවරයා ඇතුලු චිත්‍රපට කණ්ඩායම​ සිතාමතාම සැලසුම් කළාදෝයි සැක සිතේ. සැමියා තමන් හැර වෙනත් ස්ත්‍රියක් කරා ගිය කාන්තාවන් පවසන දේ බොහෝ විට පැහැදිලි නැත. ඔවුන් පවසන දේ අන්‍යයන් විසින් බෙහෙවින් අසීරුවෙන් වචන තෝරා බේරා ගෙන වටහා ගත යුතු වේ.

තාල වාදනය අවම කර, තාලයත් නොතාලයත් අතරට මැදිව ගීතය ගායනය වන්නේ ඈ විවාහක කතක් නමුත්, ආස්වමික කාන්තාවක සේ තනි වී සිටීමට සිදුව ඇති බවට සමස්ත ගීතය තුළින් අපට ලබා දෙන ප්‍රමුඛතම භාවමය අර්ථයට අනුරූපීව යි. විවාහයේ තිරසර බව බිඳී ගොස් ඇත​. දරුවා නිසා සපුරා වෙන් වී නොගොස් තවමත් විවාහය යම්තමින් රැඳී පවතී. ඉඳහිට ගිටාරයෙන් තාලයක් දෙන්නේ එබැවිනි. ඒත් සාමාන්‍යයෙන් ගීත වල මෙන් එකම රිද්මයකට නොවේ. සංගීත භාණ්ඩවල නාදය අවම කර​, ගායිකාව ගේ හඬට වැඩි ඉඩක් ලබා දෙන්නේ කතා නායිකාව ගේ හැඟීම් වල උස් පහත් බව​​ ප්‍රකාශයට පත් කරවනු පිණිසයි.

එම අවස්ථාවේදී බිරිඳ ගේ සිත තුළ ඇති කැළැඹීම​ ප්‍රකාශ වන්නේ ගීතයේ පද වලට ද වඩා නාලිනී රණසිංහ මහත්මියගේ මිශ්‍ර හැඟීම් දනවන ගායනයෙන් සහ ගීතයට මුසු කර ඇති සංගීතමය ප්‍රයෝග ආධාරයෙන්. ‍මෙය ලෙහෙසි පහසු ගායනයක් නොවන බව මගේ වැටහීම යි. නාලිනී රණසිංහ මහත්මිය ඉතාමත් ප්‍රශංසනීය ලෙස එම අභියෝගයත් සීරුවෙන් ජය ගැනීමට සමත් වන්නීය​. මේ ගායනය අපව අනන්තය වෙත කැඳවාගෙන යාමට සමත් ගායනයක්.

ගීතයක් යනු හුදෙක් පදමාලාවක් පමණක් නොව, වචන ඉක්මවන කලා මාධ්‍යයක් බවට තවත් කදිම නිදසුනක් කේමදාස මහතා මේ ගීතය තුළින් අපට සපයනවා. ගී පද චිත්‍රපට සංදර්භය තුළින් ගෙන සංගීත අධ්‍යක්‍ෂකවරයා ගේ සංගීතමය උපක්‍රම ද ඇසුරෙන් විමසා බැලිය යුතුයැයි කලින් සඳහන් කරන ලද්දේ එබැවිනි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගෞරව බහුමානයට​ පාත්‍ර විය යුතු කලාකරුවකු වන්නේ ස්වතන්‍ත්‍ර ගීත කලාවේ ප්‍රගමනයට ඔවුන් ලබා දුන් කිසිවකුටත් දෙවෙනි නොවන දායකත්වය නිසා පමණක්ම නොවේ. ඒ සමස්ත ක්‍රියාවලිය තුළදී ඔහු විසින් ප්‍රකට කළ අදීන බවත් ඊට හේතු පාදක වේ. එක් පසෙකින් දකුණු ඉන්දීය නිෂ්පාදකවරුන් ගේ දත් තිස් දෙක මැද සටන් කිරීමට සිදු වෙද්දී, අපේම රටේ නිෂ්පාදකවරුන්ගෙන් සිදු වූ බලපෑම් ද සුළු පටු නොවේ​. හුදු ජනප්‍රියත්වය හෝ වාණිජ අරමුණු තකා කිසිදු නිෂ්පාදකවරයකු ගේ බලපෑමකට ඔහු නතු වූයේ නැත​.

ඉන්දියාවෙන් ගෙන් වූ සංගීතඥයින් විසින් ගුවන් විදුලි ශිල්පීන් ශ්‍රේණිගත කිරීමට විරුද්ධව ද ඔහු පෙනී සිටියේය. ගායනය අර්ථ රසය හා බැඳී පවතින හෙයින් , ඉන්දියානු ශ්‍රේණිගත කිරීම් වලින් ​ශබ්ද රසයට විනා සමස්ත භාව  ප්‍රකාශනයකට ඉඩක් නොලැබෙන බවට සිය මතය ප්‍රබලව කියාපෑවේය​​.​

දේශපාලනය නිසා ද ඔහුට බොහෝ දේ අහිමි වෙද්දීත්, හුදු ලාභය තකා සිය මතය පාවා දීමට තරම් යුහුසුළු නොවෙන ආත්ම විශ්වාසයක් ඔහු සතු වීය.​

වරෙක​ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට විරෝධය පළකරමින් පෙත්සමක් අත්සන් කිරීම හේතු කොටගෙන​ ප්‍රේමසිරි කේමදාස නාමය​ ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණි. මේ තහනම නිසා එකල තිරගත වූ ‘හංස විලක්’ සහ ‘පාරදිගේ’ යන චිත්‍රපටවල ප්‍රචාරක වැඩ සටහන්වලදී සංගීත අධ්‍යක්ෂ කේමදාසගේ නම ප්‍රචාරය නොවීය.  ඒ තහනම​ ඔහුට ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගි වීම, ඒවාට සංගීතය සැපයීම පමණක් නොව ඔහු සංගීතය සැපයූ ගීතවලට ද බලපැවැත්වෙන අයුරෙන් ක්‍රියාත්මක වුව ද ඔහු නොවේ අඩියක් පසුපසට ගත්තේ. පෙත්සමට අත්සන් කළ ඇතැම් කලාකරුවන් ප්‍රබල දේශපාලකයන් ගේ මාර්ගයෙන් තහනම ඉවත් කරවා ගැනීමට ක්‍රියා කළ ද​, කේමදාස මහතා සිය තීරණය වෙනස් නොකෙළේය.​ දරු පවුලක් ද නඩත්තු කරන අතරේ, පවුලේ බර අදින එකම පිරිමියා වී සිටිය දී, මෙවැනි දෙයකට නොබියව ඉදිරිපත් වීම හැම කෙනෙකුටම කළ නොහැකි දෙයකි. රැල්ලට බිය වී කලාකරුවන් සමාව ඉල්ලා හඬා වැටුණු යුගයක් ඇසින් දුටු අපට ඒ බව වඩාත් පැහැදිලි වේ. 83 අඳුරු යුගයේ දී සහෝදර කලාකරුවකු ජාතිවාදී කෝලාහලයට මැදිව පලා යද්දී අවදානම ද නොතකා  ඔවුන්ට රැකවරණය සලසන්නේ කේමදාස මහතා සහ එම මහත්මිය විසින් බවට තොරතුරු හමුවෙනවා.

පවතින රැල්ලට පිහිනීම බෙහෙවින් පහසුයි. ජනප්‍රියවාදී රැලි වලට හසු නොවී උඩු ගං බලා පිහිනීම කිසිසේත්ම පහසු නොවෙන ඉතාම පීඩාකාරී ගමනකි. ප්‍රේක්ෂකයා එතෙක් නොදුටු මානයකට කැඳවා, ඔවුන් ගේ රස වින්දනය  ඉහළට ඔසොවා තබන සිනමා සංගීතයක් සහ ගීත කලාවක් හඳුන්වා දීමේ යුග මෙහෙවර ඉටු කිරීමේ සමස්ත ක්‍රියාවලියේ දී ප්‍රේමසිරි කේමදාස උත්තම පුරුෂයකු වන්නේ​ ඒ අදීන බව නිසයි.

අමා නයනාදරී සිරිවර්ධන​
29-10-202

‘සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල’ ගීතය :

සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල

රුං රුං රුං රුං මී මැස්සෝ” ගීතය :

රුං රුං රුං රුං මී මැස්සෝ’
“ප්‍රේමසිරි කේමදාස – ධර්මසිරි ගමගේ රස​ සංයෝගය​” ගැන මා විසින් මීට පෙර ලියූ ලිපියක්

ලාංකේය පසුබිම තුළ බුද්ධිමය දේපළ ආශ්‍රිත ගැටළු – 2

ලාංකේය සන්දර්භය තුළ කලා නිර්මාණ සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පනතේ ක්‍රියාකාරීත්වය සහ ඒ ආශ්‍රිතව පවතින ගැටළු පිළිබඳව මූලාශ්‍රයය තොරතුරු මත පදනම් කරගෙන සකස් කරන ලද ලිපියක් මීට පෙර ඉදිරිපත් කළා. විවිධ සංවාද මණ්ඩප වලදී ප්‍රකාශයට පත් වන දේ අනුව ඇත්ත වශයෙන්ම පවතින්නේ පනත ක්‍රියාත්මක කිරීමේ දී මතුවෙන ගැටළු වලට වඩා, දැනට තිබෙන පනත නිසි ලෙස ක්‍රියාවට නැංවෙන්නේම නැති තත්ත්වයක් බව පෙනෙන්නට තිබේ. එවැනි පසුබිමක් තුළ ගායක ගායිකාවන් පමණක් නොව, දේශපාලකයන්, රසිකයන්, විචාරකයන් ආදී බාහිර පාර්ශ්වයන් විසින් ද අපේ රටේ සංස්කෘතියට ගැලපෙන ලෙස ගීතයක ප්‍රකාශන හිමිකම් හෙවත් ගීතය ප්‍රති-නිර්මාණය කිරීම, නැවත පටිගත කර විකිණීම ආදී අයිතීන් ගායන ශිල්පීන්ට ද පවරා දෙන පරිදි දැනට තිබෙන පනත සංශෝධනය කළ යුතු බවට බවට හඬ නඟන අයුරු දැක ගැනීමට ලැබෙනවා.

මෙම යෝජනාව කෙතරම් දුරට ප්‍රඥා ගෝචර වේදැයි සලකා බලමු.

සාමූහික නිර්මාණයක්‌ ලෙස ගීතය සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් සම්මුතිය වන්නේ එහි නෛතික අයිතිය පදරචකයා සහ සංගීත නිර්මාපකයාහට හිමිවන බවයි. එවැනි සම්මුතියක් ඉබේ පහළ වූයේ නැත. දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අධ්‍යනයයන්ගෙන් අනතුරුව සකස් කරනලද ශතවර්ෂයකට අධික කාලයක් පුරා පවතින ලෝක සම්මුතියකි. ඇතැමුන් විසින් යෝජනා කරන්නේ එවැනි දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඉවත දමා, අපේ රටේ පූජනීය 2500යේ සංස්කෘතික සභ්‍යත්වයට සහ සදාචාරයට ගැලපෙන ලෙස ප්‍රකාශන හිමිකම් වෙනම සකස් කර ගත යුතු බවක්ද? ලෝකය පිළිගත් සම්ප්‍රදාය ඉවත දමා ගායන ශිල්පීන්ටත් නෛතික හිමිකම් ලැබෙන ලෙස අපේකමට ගැලපෙන, අපේම සම්ප්‍රදායක්‌, අපේම තාලයකට, අපේම ලතාවකට​ සෑදිය හැකිද?  සෙසු ලෝකය සමඟ ගණුදෙනු කිරීමේදී ලෝක සම්මුතිය තුළ පවතින මූලික සංකල්ප ඉවතහළ අපේම සම්මුතියක් කෙතරම් දුරට ප්‍රයෝගික වේද?

මගේ මතය නම් මෙය ඉතාම සීරුවෙන් වටහා ගතයුතු දෙයක් බවයි.

1) පෙර ලිපියෙන් පැහැදිලි කළ පරිදි, නිර්මාණකරුවන් වෙනුවෙන් ප්‍රකාශන හිමිකම් (copyrights) සහ ගායන ශිල්පීන් ආදී යම් නිර්මාණයක් මහජනතාව අතරට ගෙනයාමට දායකවන පාර්ශ්ව වෙනුවෙන් ආසන්න හිමිකම් (related rights) සඳහා වෙන වෙනම ආයතන හැම රටකම පවත්වා ගත යුතු වෙනවා. ඇතැම් රටවල ආසන්න හිමිකම් නැතත් ප්‍රකාශන හිමිකම් ඇති හෙයින් ඒ වෙනුවෙන් අඩුම තරමින් එක් ආයතනයක්‌ හෝ පවත්වා ගන්නවා. මෙම ආයතනවල ලියාපදිංචි වී තිබෙන සංවිධාන හරහා නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතීන් උදෙසාත්, නිර්මාණ මහජනතාව වෙත ඉදිරිපත් කරන්නන්ගේ ආසන්න හිමිකම් උදෙසාත් සාමූහික කළමනාකරණය වෙනම සිදු වෙනවා. බුද්ධිමය දේපළ සඳහා සාමූහික කළමනාකරණය මඟින් සිදුවන්නේ ලොව ඕනෑම තැනක සිදුවන නිර්මාණ භාවිතා කිරීම් වලදී, නිර්මාණයට සම්බන්ධ සියලු පාර්ශවවල ප්‍රකාශන අයිතීන් සහ ආසන්න අයිතීන් කඩ නොවන පරිදි නිර්මාණය  භාවිතාවෙන බවට​ වග බලා ගැනීමයි. මේ අනුව ලොව අනෙකුත් රටවල ගායක ගායිකාවන් සඳහා ප්‍රකාශන හිමිකම් නොලැබෙන පසුබිම්ක දී අපේ රටේ පමණක් එම අයිතිය ඔවුන්ට ලබා දුනහොත් රටවල් අතර සාමූහික කළමනාකරණයේ දී කෙබඳු තත්ත්වයක් උද්ගත විය හැකිද? ඇති විය හැකි ප්‍රයෝගික ගැටළු කවරේද? ඒවා කෙතරම් සංකීර්ණ විය හැකිද?

අපේ රටේ බිහිවෙන නිර්මාණ භාවිතා කිරීම අප රට තුළ පමණක් සීමා වන්නක් නොවේ. බාහිර ලෝකය​ සමග ගනුදෙනු කිරීමේ දී මතුවිය හැකි එවැනි සංකීර්ණ ගැටළු ගැන කිසිදු විමසා බැලීමක් සිදු නොකොට හුදෙක් දයාසිරි ජයසේකර වැනි දේශපාලකයන්ගේ හෝ, ගායක ගායිකා කණ්ඩායමක හෝ වෙනත් බාහිර පාර්ශ්වයක වුවමනාවක් මත හෝ ලෝක සම්මත සම්මුතියක් තුළ පවතින මූලික සංකල්ප අපට වෙනස් කළ හැකිද?

උපුටා ගැනීම – Lanka C News වෙබ් අඩවියෙන්

භූමියේ හැසිරීමට අනුව ලෝක සම්මුතිය තුළ පවතින ඇතැම් වගන්ති අපේ රටට ගැලපෙන ලෙස පනත සකස් කරගත හැකි වූවත්, අපට ඕනෑ පරිදි මූලික සංකල්ප වෙනස් කළ හැකිද? උදාහරණයක් ලෙස නිර්මාණයක් ප්‍රචාරය කෙරෙන මාධ්‍ය භාවිතය රටින් රටට වෙනස් විය හැකි බැවින් ආසන්න අයිතීන් සඳහා ඒ අනුව ක්‍රමවේදයන් සකස් කරගත යුතු වෙනවා. නමුත් මූලික සංකල්ප වෙනස් නොවිය යුතුයි?

2) දැන ගැනීමට ලැබෙන පරිදි දැනට තිබෙන පනත පවා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ සංශෝධන ගෙන එන්නේ කුමකටද? ගායක ගායිකාවන් ගේ අයිතීන් වෙනුවෙන් සංශෝධනයන් ගෙන ඒම සඳහා උනන්දු වන පාර්ශ්ව අඩුම තරමින් ඔවුන්ගේ ආසන්න අයිතීන් (related rights) රැක ගැනීම උදෙසාවත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද? වාර්තා වෙන කරුණු අනුව දැනට දශකයක පමණ වේලේ සිට ලාංකික ගීත නිර්මාණකරුවන් ගේ පාර්ශ්වය නියෝජනය කරන ACPO සංවිධානය විසින් ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා කරන ලද යෝජනා කිසිවක් ගායන ශිල්පීන් නියෝජනය කරනු ලබන කණ්‌ඩායම් විසින් සැලකිල්ලට ගෙන නැත.ගායක ගායිකාවන්ගේ ආසන්න හිමිකම් වෙනුවෙන් ලියාපදිංචි වූ සංවිධානයක් ලංකාවේ නැත.

මෙවැනි තත්ත්වයක් තුළ පනත් සංශෝධනය සඳහා ගෙන එන යෝජනා විසුළු සහගත යි.

ගීතයක් ප්‍රබන්ධය කිරීම සහ සංගීතය සැපයීම වෙනුවෙන් ගායක ගායිකාවන් විසින් එහි නිර්මාණකරුවන් දෙපළට යම් මුදලක් ගෙවන හෙයින් ගීතයේ අයිතිය ගායක ගායිකාවන්ටද හිමි විය යුතු බවට තර්කයක් තවත් තැනෙක දකින්නට ලැබුණා. නිර්මාණකරුවන්ට මුදල් ගෙවූ පමණින් නිර්මාණයක සදාචාරාත්මක අයිතිය පනත අනුව නිර්මාණකරුවන්ට අහිමි නොවේ. ඒ අනුව ගීතය වෙනස් කර ප්‍රතිනිර්මාණය කරන්නේ නම් නිර්මාණකරුවන්ගේ අවසරය ගායක ගායිකාවන් විසින් ලබා ගත යුතුය.

වර්තමානයේ නිර්මාණකරුවන් විසින් ගායන ශිල්පීන්හට මුදල් ගෙවා ගීතයක් සාදා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන්නේ බුද්ධිමය දේපළවල නෛතික හිමිකම් ගායක ගායිකාවන්ට නොලැබෙන හෙයින් යැයි දැන ගැනීමට ලැබෙනවා. අවසානයේ දී මේ සියලු දෙයින් සිදු වන්නේ ගීතයක් බිහි වීම සඳහා වඩාත් වැදගත්ම සාධකය වන නිර්මාණකරුවන් ගේ දායකත්වය පසුබෑමට ලක්වීම යි. සිංහල ගීතය පරිහානිය කරා යන ගමන වේගවත් වීම යි.

අමා නයනාදරී සිරිවර්ධන​
13-09-2023

ලාංකේය සංදර්භය​ තුළ කලා නිර්මාණ ආශ්‍රිත බුද්ධිමය දේපළ පණත, එහි ක්‍රියාකාරීත්වය සහ පවතින ගැටළු

බුද්ධිය සහ දැනුම මෙහෙයවා කෙරෙන ඕනෑම සොයා ගැනීමක් හෝ නිර්මාණය කරනු ලබන​ ඕනෑම වස්තුවක්  බුද්ධිමය දේපළක් ලෙස අර්ථ දැක්වේ. එය අස්පර්ශනීය වස්තුවකි.  ඒ අනුව බුද්ධිමය දේපළ පනත සහජ කුසලතාවය​, අභ්‍යාසය, ගවේෂණය සහ දැනුම කේන්ද්‍රීයව ක්‍රියාත්මක වෙයි. පනත ප්‍රකාරව බුද්ධිමය දේපළ අයිතිය ලබා ගැනීමට නම්,යම් අදහසක් කිසියම් මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශයට පත් වී තිබිය යුතුයි. බුද්ධිමය දේපළක් උදෙසා ආර්ථික ප්‍රතිලාභ​ ලබා ගැනීමේ හැකියාව එහි හිමිකරුට පවතී. මේ පනත මඟින් ලේඛකයන් , ගී පද රචකයන්, සංගීතඥයන් , ඡායාරුප ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් ආදී නිර්මාණකරුවන්හට සිය නිර්මාණ සඳහා​ නීතිමය රැකවරණය ලැබේ.

පනතෙහි ක්‍රියාකාරීත්වය​ සොයා බැලීමේ දී  අපගේ අවධානය යොමු වන්නේ  සංගීතය​, චිත්‍රපට​, නාට්‍ය, ගද්‍ය පද්‍ය සාහිත්‍යය, චිත්‍ර, ඡායාරූප ආදී කලා නිර්මාණ කෙරෙහි පමණි. පොදුවේ සියලු කලා නිර්මාණ සැලකිල්ලට ගෙන ඇතත්, මේ ලිපිය සකස් කිරීමේ මූලික අරමුණ වූයේ ශ්‍රී ලාංකේය සංදර්භය​ තුළ,​ සංගීතය විෂය සම්බන්ධයෙන් පනතෙහි ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම යි. එහෙයින් සංගීතය ආශ්‍රිත නිර්මාණ වලට විශේෂ සැලකිල්ලක් දක්වා ඇත​. ශ්‍රී ලංකාවේ සමාජ පසුබිම තුළ පනත ක්‍රියාත්මක කිරීමේ දී මතුවන සංකීර්ණ​ ගැටළු සහගත​ තත්ත්වයන් ගැන ලිපිය අවසානයේ දී සාකච්ඡාවට බඳුන් කෙරේ.

ලංකාවේ සංගීතය විෂය ආශ්‍රිත නිර්මාණ අරබයා බුද්ධිමය දේපළ පනතේ ක්‍රියාකාරීත්වය​ සම්බන්ධයෙන් මේ සටහන තුළ සියලු කරුණු ඇතුළත් වී නොතිබිය හැකිය​. වඩාත් වැදගත් කරුණු පමණක් කෙටියෙන් සඳහන් කිරීමට වග බලා ගෙන  ඇත​. විවිධ මූලාශ්‍රයයන් පරිශීලනයෙන් අනතුරුව සටහන සකසන ලද අතර, මෙය වර්තමානයේ ක්ෂේත්‍රය තුළ මතු වී තිබෙන මතභේදාත්මක​ තත්ත්වය පැහැදිලි කරගැනීම පිණිස, මූලාශ්‍රය භාවිතයෙන් තොරතුරු විමර්ශනය කිරීමේ උත්සාහයක් පමණක් බව සැලකිය යුතුය. ඇතැම් තැනෙක මේ ප්‍රශ්නය මීට වඩා සංකීර්ණ බව පුන පුනා කියා තිබෙනු විනා, සංකීර්ණ වන්නේ මන්දැයි කෙටියෙන් හෝ විස්තර කර නොතිබූ හෙයින්, එසේ සංකීර්ණ වීමට හේතු මා විසින් විමසා බලා, එකට ගොනුකොට දැක්වීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.

දැනට දශකයකට පමණ පෙර සිට ලූෂන් බුලත්සිංහල​, රෝහණ විරසිංහ වැනි කලාකරුවන් සිය නිර්මාණවල බුද්ධිමය අයිතීන් වෙනුවෙන් පැහැදිලි පදනමක පිහිටා මැදිහත් වන ආකාරයක් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වරින්වර අපට​ දැක ගන්නට ලැබුණි. ඒ අතරට සංගීතවේදී හර්ෂ බුලත්සිංහල ද එකතු වී සිය විෂය පථය වෙනුවෙන් සමාජය දැනුම්වත් කිරීමේ අරගලයක යෙදී සිටී. මේ සටහන සකස් කිරීමේ දී ගැටළුව අවබෝධ කරගැනීම සඳහා, තමන්ගේ විෂය සහ ඒ ආශ්‍රිතව බුද්ධිමය දේපළ නීති පද්ධතිය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇතිව සක්‍රීය මැදිහත්වීමක් කරන හර්ෂ බුලත්සිංහල විසින් සාකච්ඡා මණ්ඩප වලදී ඉදිරිපත් කරන ලද තොරතුරු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. මූලාශ්‍රය තොරතුරු පහතින් සඳහන් වේ.

ප්‍රකාශන සහ සම්බන්ධිත​ හිමිකම් (Copyrights and Related  rights)

බුද්ධිමය අයිතිවාසිකම්,  ප්‍රකාශන හිමිකම් සහ සම්බන්ධිත හිමිකම් යනුවෙන් දෙවැදෑරුම් වේ. මේ දෙක අතර වෙනස හඳුනා ගැනීම ඉතාම වැදගත්. එම වෙනස නිවැරදිව හඳුනා නොගැනීම සහ මෙම අයිතිවාසිකම් ගැන වැරැදි අර්ථකථන සමාජය තුළ මුල් බැස ගැනීම හේතුවෙන් සංකීර්ණ ගැටළු රාශියක් මේ වනවිට මතු වී තිබේ.

ප්‍රකාශන හිමිකම් :

නිර්මාණකරුවකුගේ ශාස්ත්‍රීය සහ/හෝ කලාත්මක​ නිර්මාණ සඳහා බුද්ධිමය දේපළ නීතිය යටතේ ලැබෙන නෛතික රැකවරණය ප්‍රකාශන අයිතිය යනුවෙන් සරලව හැඳින්විය හැකිය. ප්‍රකාශන හිමිකම් යටතේ, නිර්මාණකරුවකු සතු බුද්ධිමය දේපළ භාවිතා විය යුතු අකාරය පාලනය කිරීම සහ ඒ හරහා ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ නෛතික අයිතිවාසිකම ඔහුට හිමි වේ. අවශ්‍ය නම් සිය නිර්මාණය නැවත පිටපත් කර බෙදා හැරීමේ පුර්ණ හිමිකම කතුවරයා සතුයි. කිසිවෙකු විසින් අනවසරයෙන් ඔබගේ නිර්මාණයක් පිටපත් කර ප්‍රකාශයට පත් කරන්නේ නම් එය ඔබ සතු ප්‍රකාශන අයිතිවාසිකම කඩකිරීමකි. නීතිය අනුව සම්පූර්ණයෙන්ම පිටපත් කිරීම මෙන්ම, සුළු වෙනස්කම් සිදු කර පිටපත් කිරීමෙන්ද පනතෙහි වගන්ති උල්ලංඝනය වීමක් සිදු වේ. එම නිසා යමෙක් තවකෙකුගේ නිර්මාණයක් පිටපත් කර, එය පිටපත් කළ ආකාරය හඳුනාගත නොහැකි වීම සඳහා සුළු වෙනස්කම් සිදු කර ඇත්නම්, එය ද  කතුවරයාගේ ප්‍රකාශන අයිතිය කඩකිරීමකි.

දැනට බලපැවැත්වෙන පනතට අනුව, නිර්මාණයක්‌ සඳහා ප්‍රකාශන හිමිකම් වලංගු කාලය ගැන සැලකුවහොත්, නිර්මාණකරු ජීවත්ව සිටිනාතාක් සහ ඔහුගේ මරණින් පසු වසර හැත්තෑවක් දක්වා කතෘ අයිතීන් ඔහු සතු වේ.

ප්‍රකාශන හිමිකම් යටතේ ආර්ථික මෙන්ම සදාචාරාත්මක අයිතිවාසිකම ද නිර්මාණකරුට ලැබේ. උදාහරණයක් ලෙස, යම් නිර්මාණයක් වෙනත් පාර්ශ්වයකට විකුණා ඇති විටෙක දී ඒ හා බැඳුණු නෛතික අයිතිවාසිකම නැති වී යන හෙයින් ආර්ථික ප්‍රතිලාභ තවදුරටත් ඔහුට නොලැබී යයි. නමුත්, සදාචාරාත්මක අයිතිවාසිකම ඔහු සතුව දිගටම පවතී. නිර්මාණය වෙනත් මාධ්‍යයක් හරහා ප්‍රචාරය කිරීමේදී නිර්මාණකරුගේ නම සඳහන් කිරීමේ සදාචාරාත්මක වගකීමක් මාධ්‍ය ආයතන වලට ඇත​. තවත් නිදසුනක් ගතහොත්,  මාධ්‍ය ආයතනයක සේවය කරන පුවත්පත් ලේඛකයන් ඔවුන් ගේ ලිපිවල ප්‍රකාශන අයිතිය ගිවිසුමක් හරහා මාධ්‍ය ආයතන වලට පවරා දී තිබිය හැකියි. නමුත් කතුවරයා ලෙස ඔහුට හිමි සදාචාරාත්මක හිමිකම් එයින් අවලංගු නොවේ.

සම්බන්ධිත හිමිකම් :

යම් නිර්මාණයක්‌ මහජනතාව වෙත ගෙනයාම වෙනුවෙන් ඊට දායක වන විවිධ කණ්ඩායම් වලට ඔවුන්  විසින් කරනු ලබන වැදගත් කාර්යභාරය උදෙසා ලැබෙන නීතිමය රැකවරණය “සම්බන්ධිත හිමිකම්” යටතේ අර්ථ දක්වා ඇත. මෙය ආසන්න හිමිකම් ලෙසින්ද හැඳින්වේ. ගායන හා රංගන ශිල්පීන්, හඬ තැටි නිෂ්පාදකයන් සහ මාධ්‍ය ආයතන  උදෙසා පිළිවෙලින් ඔවුන්ගේ ගායනා හා රඟපෑම්, පටිගත කිරීම් සහ විද්‍යුත් මාධ්‍ය හරහා විකාශනය කිරීම් වල දී මේ හරහා රැකවරණය සැලසේ.

  • ගීතයක් පටිගත කිරීමේදී සහ විකාශනය කිරීමේදී ගායක ගායිකාවන් ගේ අවසරය ලබා ගත යුතුවීම.
  • තැටි නිෂ්පාදකයන්ට ඇති නීතිමය අයිතිවාසිකම් අනුව, ඔවුන්ගේ අවසරයකින් තොරව, පිටපත් කිරීම සහ බෙදා හැරීම වැළැක්වීම​.
  • වැඩසටහනක් විකාශනය කිරීම පිළිබඳ පාලනය වැඩසටහන ප්‍රචාරය වූ මුල් මාධ්‍ය ආයතනය සතු වීම.

ඉහත සඳහන් එක් එක් පාර්ශ්ව සඳහා ඇති සම්බන්ධිත හිමිකම්වල ක්‍රියාකාරිත්වයට නිදසුන්ය. ජීවිතාන්තය දක්වා මෙන්ම මරණින් පසුව වසර පනහක් දක්වාද මෙම සම්බන්ධිත නැතහොත් ආසන්න හිමිකම්වල වලංගුභාවය පවතී. ඉන් පසුව එම නිර්මාණයන්හි අයිතිය හිමිවනුයේ මහජනතාවටය.

කෙසේවෙතත්, යම් කලා කෘතියක් උදෙසා ප්‍රකාශන අයිතීන් හා සම්බන්ධිත හිමිකම් එකිනෙකින් ස්වායත්තව ක්‍රියාත්මක වේ​. එමෙන්ම එකක් අනෙකෙන් අවතක්සේරුවට භාජනය වීමක් නොවිය යුතු බවද සඳහන් වෙනවා. නිදසුනක් ලෙස, සංගීතමය වැඩසටහනක් ගුවනින් ප්‍රචාරය​ කිරීමේදී මාධ්‍ය ආයතනයකට ලැබෙන අසන්න හිමිකම සහ එම වැඩසටහන තුළින් ප්‍රචාරය කරන ලද නිර්මාණවල ප්‍රකාශන හිමිකම් අතරෙහි කිසිදු සම්බන්ධතාවයක් නැත​.

බර්න් සම්මුතිය​ (Berne Convention, 1886)

සාහිත්‍ය කලා නිර්මාණ ආරක්ෂා කර ගැනීම උදෙසා අවශ්‍ය කරන මූලධර්ම, ප්‍රතිපත්තීන්, අවම ප්‍රමිතීන්, ආදායම් උපයා ගැනීමේ ව්‍යතිරේක ආදී නිර්දේශ සකස් කරන සහ ඒ පිළිබඳව සාකච්ඡාවට බඳුන් කෙරෙන අන්තර්ජාතික සම්මුතියකි. ලංකාවේ දැනට භාවිතාවෙන බුද්ධිමය දේපළ පනත බර්න් සම්මුතියෙහි අනුවාදයකි. එනම්, සම්මුතියෙහි වගන්ති ලාංකික භූමියේ හැසිරීම අනුව​ සකස් කරගන්නා ලද්දකි. නමුත් මූලික සංකල්ප සියල්ල බර්න් සම්මුතියට අනුකූලව පවතී.

බුද්ධිමය දේපළ පනතකින් සැලැසෙන වාසි මොනවාද​?

  • මෙවැනි පනතක් තබා ගැනීමේ මූලික අරමුණ නිර්මාණයක් විකෘති කිරීමෙන් සිදුවිය හැකි හානිය වළක්වා, කලා නිර්මාණයක ආරක්ෂාව තහවුරු කිරීමයි.
  • නිර්මාණකරුවන්ට සිය දැනුම සහ හැකියාව මෙහෙයවා කරන කටයුතු වලින් ආදායමක් ලැබීම සහ කලාකරුවන් දිරිමත් වීම​ හේතු කොටගෙන සිංහල සංගීතය කර්මාන්තයක් ලෙස දියුණු වීම ද ප්‍රධානතම වාසි අතර වේ.
  • කලාකරුවන්ට තමන් හැදූ ගීත වලට නීතිමය ව්‍යුහයක් තුළ ආදායමක් උපයා ගත හැකි වෙද්දී,  රජයට බදු අය කර ගැනීමක් දක්වා දියුණු කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කරගත හැකිවීම​ තවත් වාසියකි. ඒ හරහා රටේ දළ ජාතික නිෂ්පාදනයට නිර්මාණකරුවාගේ දායකත්වයක් ලැබෙන අතර​, රජයේ ආරක්ෂාව​ නිර්මාණකරුවාට ලැබේ.
  • කලාකරුවන් ගේ ජීවන මට්ටම ඉහළ යයි. මේ හරහා කලාකරුවන් නිසි ඇගයීමට පාත්‍ර වීම සහ, අනෙකාට ගෞරව කිරීමේ සංස්කෘතියක් නිර්මාණය වේ.
  • කලා නිර්මාණ කොල්ලකෑම් වලින්, විකෘත කිරීම් වලින් ආරක්ෂා කිරීම ආදී ඉහත සඳහන් වාසි වලට අමතරව​, ලෝක සම්මත පනතක් අනුව ක්‍රියාත්මක වීම හේතු කොටගෙන ලංකාව සෙසු ලෝකය සමඟ සම්බන්ධ වීමක් ද සිදුවේ.

ප්‍රකාශන සහ සම්බන්ධිත හිමකම් ලංකාවේ බලපැවැත්වෙන ආකාරය​

සමහර රටවල, උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ බලපැවැත්වෙන්නේ ප්‍රකාශන අයිතිය පමණි. එහි ආසන්න හිමිකම් බල නොපැවැත්වේ. ඇමෙරිකාවේ ආසන්න හිමිකම් බල නොපැවැත්වෙන හෙයින් ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය ආයතන ගායක ගායිකාවන්ට ගෙවීමක් සිදු නොකරයි. ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ යුරෝපීය බුද්ධිමය දේපළ සම්ප්‍රදාය යි. එනම්, ප්‍රකාශන සහ සම්බන්ධිත හිමකම් යන දෙවර්ගයම බල පැවැත්වෙන හෙයින් එම නෛතික අයිත්වාසිකම් වෙනුවෙන් ආයතන දෙකක් පවත්වාගත යා හැකිය​. 2010 වසරේ දී පමණ ලංකා භූමියේ ඇති වෙමින් තිබූ නව ප්‍රවණතා ගැන සලකා, ප්‍රකාශන හිමිකම් සහ සම්බන්ධිත හිමිකම් වෙනුවෙන් ආයතන දෙකක් පිහිටුවා ගන්නා ලෙසට ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් නිර්දේශ ලබා දී තිබේ. එම නිර්දේශ අනුව ක්‍රියාත්මක වීමක්‌ මෙතෙක් සිදු වී නැත​.

අද උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇත්තේ මේ හිමිකම් දෙවර්ගය සඳහා වෙන වෙනම ආයතන ව්‍යුහයන් දෙකක් පවත්වා නොගෙන, සාමූහික නිර්මාණයකට දායක වන සියලු පාර්ශ්ව​ එකට මිශ්‍ර කර  ගැනීම තුළ බව හර්ෂ බුලත්සිංහල මහතා අවධාරණය කරනවා.

අපේ රටේ බුද්ධිමය දේපල සම්බන්ධව වර්තමානයේ බලපැවැත්වෙන ව්‍යවස්ථාපිත නීතිය වන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත වේ. එම පනත තුළද පැහැදිලි ලෙස ප්‍රකාශන හා සම්බන්ධිත හිමිකම් වෙන වෙනම අර්ථ දක්වා තිබේ. නමුත් එවැනි පසුබිමක අපේ රටේ බුද්ධිමය දේපළ කාර්යාලය මෙම  හිමිකම් දෙවර්ගය වෙනුවෙන් ආයතන දෙකක් පවත්වා ගැනීමට තවමත්  කටයුතු කර නැත. ඒ  අනුව බුද්ධිමය දේපළ කාර්යාලය පනත අනුව ක්‍රියාත්මක වීමක් ද සිදු වී නැත.

මී ළඟට බුද්ධිමය දේපල පනත නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා මතු වී ඇති ගැටළු විමසා බලමු. බුද්ධිමය දේපළ කාර්යාලය විසින් ප්‍රකාශන සහ සම්බන්ධිත හිමිකම් යටතේ රැකවරණය ලැබෙන පාර්ශ්ව සඳහා වෙන වෙනම ආයතන දෙකක් පවත්වා නොගැනීම තුළ දැඩි අර්බුදයකට ලක් වී ඇත්තේ ගීත කලාවයි.

ගීතයක අයිතිය කාටද​?

ගීතයක් යනු සාමූහික නිර්මාණයකි. නමින්ම කියැවෙන පරිදි දැනුම කේන්ද්‍රීය කරගත් මෙම පනත අනුව කලා නිර්මාණයක ප්‍රකාශන අයිතිය එහි කතෘත්වය සතුවේ. ගීතය සම්බන්ධයෙන් සලකා බැලූ විට, එහි ප්‍රධාන හිමිකාරීත්වය ගීතයේ පද රචකයාටත්, දෙවනුව සංගීත රචකයාටත් ලැබේ. මේ දෙදෙනාම ගීතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිය බුද්ධිමය පරිකල්පන හැකියාව​ සහ කාලයක් මුළුල්ලේ ගොඩ නඟා ගත් දැනුම, අවබෝධය ආදී ශාස්ත්‍රීය ඥානය යෙදැවූ අයයි. ගීතයේ ප්‍රකාශන අයිතිවාසිකම පද රචකයාට සහ සංගීත නිර්මාපකයාට පමණක් හිමිවෙන අතර, ගායකයාට හෝ ගායිකාවට ගීතයක් වෙනුවෙන් ප්‍රකාශන හිම්කම්  (copyrights) නොලැබේ​. නමුත් ගායක ගායිකාවන්, හඬ තැටි නිෂ්පාදකයන් සහ මාධ්‍ය ආයතන සඳහා ඉහතින් විස්තර කරන ලද සම්බන්ධිත හිමිකම් (Related Rights) යටතේ ඔවුනට රැකවරණය සැලසේ.

නිදසුනක් ලෙස මාධ්‍ය ආයතන විසින් ගීතයක් ප්‍රචාරය කිරීමේ දී පදරචකයා, සංගීත අධ්‍යක්ෂකවරයා මෙන්ම, ගායකයා සහ හඬ තැටි නිෂ්පාදකයා වෙත ද කතෘභාග ගෙවීමක් සිදු කළ යුතුය. ගායකයාට සහ හඬ තැටි නිෂ්පාදකයාට එකී ආර්ථික ප්‍රතිලාභය ලැබෙන්නේ ආසන්න හිමිකම් යටතේ මිස​, ප්‍රකාශන හිමිකම් යටතේ නොවේ.

බුද්ධිමය දේපළ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දක්වන හර්ෂ බුලත්සිංහල මහතා ගේ සාකච්ඡා ඇතුලු  සියලු මූලාශ්‍රය කරුණු සලකා බැලූ කළ ගම්‍ය වන්නේ, ගායකයා සතුවද ප්‍රකාශන අයිතිවාසිකම බලපැවැත්වෙන බවට විශ්වාසයක් බොහෝ දෙනෙකු තුළ මුල් බැස ගෙන ඇත්තේ ප්‍රකාශන සහ සම්බන්ධිත හිමිකම් ලැබෙන පාර්ශ්ව වෙන්කර නොගැනීමේ ගැටළුව නිසා බවයි. මෙය බරපතල ගැටළුවක් බවට අද වෙද්දී පත්ව තිබෙනවා. අපේ රටේ බුද්ධිමය දේපළ පනතේ ඉතා පැහැදිලිව ප්‍රකාශන සහ සම්බන්ධිත හිමිකම් අර්ථ දක්වා ඇති බව ඔහු සඳහන් කරනවා.

සාමූහික කළමනාකරණය

බුද්ධිමය දේපළ ලෝකයේ විවිධ තැන් වල භාවිතා වෙන අන්දම පිළිබඳව සොයා බැලීමට සහ ඒවා පාලනය සඳහා පිහිටුවා ගන්නා ආයතන “Collective Societies” නමින් හැඳින්වේ. නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතීන් සහ  ඒවා මහජනතාව අතරට රැගෙන යන ගායක ගායිකාවන් සහ රංගන ශිල්පීන් වැනි පාර්ශ්වවල කතෘභාග අයිතීන් උදෙසා සාමූහික කළමනාකරණය වෙන වෙනම සිදුවේ. එක් එක් රටවල කලා සංස්කෘතික පසුබිම අනුව​ සාමූහික කළමනාකරණ ආයතනවල වෙනස්කම් තිබිය හැකි වුවත් මූලික සංකල්ප වෙනස් නොවේ.

ගීතයක් යනු වාණිජමය වටිනාකමක් ඇති දෙයකි. ගීතය වැනි  සාමූහික නිර්මාණයක දී පදරචකයා, සංගීත නිර්මාපකයා, ගායකයා, හඬ තැටි නිෂ්පාදකයා සහ මාධ්‍ය​ ආයතන​ යන එක් එක් පාර්ශ්වවල අරමුණු වෙනස් වෙනවා. ඒ අනුව ඔවුන් ගමන් කරන මාර්ගය ද වෙනස් වෙන බවත්, මේ මාර්ග දෙක එකට දමා කළමනාකරණය කළ නොහැකි බවත් ලෝකය හඳුනාගන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද හැදෑරීම් වලින් අනතුරුව බව හර්ෂ බුලත්සිංහල මහතා කියා සිටියි.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ප්‍රකාශන සහ ආසන්න අයිතීන් වෙනුවෙන් ආයතන දෙකක් පවත්වා ගන්නා ලෙසට නිර්දේශ ලැබී ඇති පසුබිමක අපේ රටේ බුද්ධිමය දේපළ කාර්යාලය ඒ අනුව ක්‍රියාත්මක වී නැත​. මේ ආයතන  දෙකේ සාමාජිකත්වය ලබා ගත හැකි පාර්ශ්ව වෙන වෙනම හඳුනා ගැනීමක් ද සිදු කර නැත​. 2002 දි පිහිටුවා ගත් ඔස්කාර් වැනි සංවිධානයක් ගතහොත් ඒ තුළ පදරචකයන්, සංගීත නිර්මාපකයන්, ගායන ශිල්පීන් මේ සියලු සාමාජිකයන් සිටී. ප්‍රකාශන සහ සම්බන්ධිත හිමිකම් ආයතන දෙකෙන් මේ අය අයත් වන්නේ කුමකටදැයි පැහැදිලි කර ගැනීමක් ද සිදු වී නැත​. වර්තමානය දක්වා ඈදී එන ගැටළුවට මූලික හේතුව වී ඇත්තේ මේ හඳුනා නොගැනීම තුළයි.

ගැටළුවට විසඳුමක් සොයා ගැනීමේ අභිප්‍රාය ඇතිව, 2013 දී හර්ෂ බුලත්සිංහල ඇතුලු නිර්මාණකරුවන්ගේ මැදිහත් වීමෙන් ACPO නමින් රචකයන් සහ සංගීතවේදීන්ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් සාමූහික කළමනාකරණ එකමුතුවක් පිහිටුවා එය ප්‍රකාශන හිමිකම් යටතේ ලියාපදිංචි කරවා ගන්නේ එවැනි වාතාවරණයක් තුළයි. ඒ අනුව පදරචකයන් සහ සංගීතවේදීන් එක්ව, ඔස්කාර් සංවිධානයෙන් වෙන්වී ACPO හි සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කළ බවට වාර්තා වේ. බුද්ධිමය දේපළ පනත ප්‍රකාරව​, ප්‍රකාශන හෝ ආසන්න හිමිකම් සඳහා ඇති ආයතන දෙකෙන් එක් ආයතනයක් යටතේ “සාමාන්‍යයෙන්” ලියාපදිංචි කළ හැකි වන්නේ එක් සාමූහික කළමනාකරණ සංගමයක් පමණි.  සාමූහික කළමනාකරණය 1977 ගණන් දක්වා ඈතට දිව යන්නක් වුවත්, අපේ රටේ ඒ වෙනුවෙන් පනතක් රැගෙන එන ලද්දේ 1979 දී බවත්, ඒ ගැන ප්‍රමාණවත් තරම් උනන්දුවක් ඇති වී තිබෙන්නේ ද ඉතාම මෑතක සිට බවත් සංගීතවේදී හර්ෂ බුලත්සිංහල වැඩි දුරටත් කියා සිටිනවා.

බුද්ධිමය දේපළ නිසා ඇතිවෙන සංකීර්ණ ප්‍රශ්න මොනවාද?

මෙරට ගොනුවී ඇති  බුද්ධිමය දේපළ හා බැඳුණු නඩුකර අතුරින් අතිවිශාල සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රකාශන හිමිකම් කඩවීම් සහ කතෘභාග ගෙවීමේ අයිතිය පැහැර හැරීම​ සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි.  ගායක ගායිකාවන් විසින් නිර්මාණකරුවන් ගේ අවසරයකින් තොරව, හඩ තැටි වලට පටිගත කිරීම්, ringing  tone සඳහා විකිණීම් ආදිය ගැන වරින්වර වාර්තා වේ. ප්‍රකාශන අයිතිවාසිකම් නීතිය ඉදිරියේ දී අර්ථ දැක්වුණ ආකාරය සලකා බැලීම සඳහා ප්‍රසිද්ධ නඩුකර කිහිපයක් සැකෙවින් සලකා බලමු.

  1. හෙළ රටාවට ඉවුම් පිහුම්

සාහිත්‍ය කලා නිර්මාණයක කතෘත්වය සම්බන්ධයෙන් පැන නැඟිය හැකි අර්බුදකාරී අවස්ථා තිබිය හැකිය. එවැනි අවස්ථාවක් ගැන ගල්කිස්ස හෝටලයේ ප්‍රධාන සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ “හෙළ රටාවට ඉවුම් පිහුම්” නමින් පළ කරන අද කෘතිය අළලා වාර්තාවේ.  පබිලිස් සිල්වා මහතාට ඉවීමේ මිස ලිවීමේ සාක්ෂරතාවයක් නැති හෙයින්, ඒ මහතා සමඟ කරන අද සම්මුඛ සාකච්ඡා ආශ්‍රයෙන්, ඔහුගේ ද අනුදැනුම ඇතිව, පොත ලියා පළ කරන ලද්දේ තමන් බවත්, එබැවින් එම පොතෙහි කතෘ අයිතීන් තමන් සතු වන බවටත් පවසමින් ධර්මා සමරනායක නම් ලේඛිකාවක නඩු මඟට බසිනවා.  සරසවි ප්‍රකාශකයන් විසින් පොත සංස්කරණය කිරීම වෙනුවෙන් ධර්මා සමරනායක මහත්මියට ගෙවන්නේ පළමු මුද්‍රණයේ දී ඇයට හිමි සංකාරක ගාස්තුව පමණි. ඒ අනුව ඇගේ  කතෘ අයිතිය කඩ වී ඇති බවට ධර්මා සමරනායක විසින් සරසවි ප්‍රකාශකයන්ට එදිරිව නඩු පවරනවා. වාණිජ මහාධිකරණ තීන්දුව ලැබෙන්නේ ලේඛිකා ධර්මා සමරනායක මහත්මියට වාසි සහගත වන ලෙසයි. ඇයගේ  කතෘ අයිතිය​ පිළිගන්නා වාණිජ අධිකරණය​, ඇයගේ අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් වන්දි මුදලක් ගෙවන ලෙසට සරසවි ප්‍රකාශකයන්හට නියම කරනවා. වාණිජ අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරන සරසවි ප්‍රකාශකයන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට​ අනුව පොතේ සැබෑ කතෘ ලෙස නෛතික හිම්කම් පැවරෙන්නේ පොත ලියූ ධර්මා සමරනායකට නොව, සූපවේදී පබිලිස් සිල්වා මහතාට යි. ඊට හේතු වූ කරුණු සොයා බැලීම පනතේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම සඳහා අතිශයින්ම වැදගත්.

මෙකී නඩුකරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි අඩංගු වන වගන්තියේ සංක්ෂිප්ත අදහස වන්නේ, සාක්ෂරතාවය නැතත්, උගත් වුවත් එතරම් උගත් නොවුණත්, ඔවුන්ගේ බුද්ධිමය දායකත්වය වෙනුවෙන් ආරක්ෂාවක් ලැබිය යුතු බවයි. ඒ අනුව නිර්මාණයක්‌ එළි දැක්වීම සඳහා යොදා ගන්නා ලද​ ශිල්පීය නිපුණතාවය, ශ්‍රමය, අත්දැකීම්, අදහස් යනාදිය කතෘ අයිතිය නිගමනය කිරීමේදී සැලකිල්ලට ගන්නා බව මෙමඟින් පැහැදිලි වේ.කෙසේ නමුත්, තමන් විසින් කරන ලද්දේ  කියවන විට ලිවීමක් නොවන බවට ලේඛිකා ධර්මා සමරනායක මහත්මිය ප්‍රකාශ කරනවා. මෙම නඩුව හා සම්බන්ධ සම්පූර්ණ විස්තරය සහ ලේඛිකාවගේ ප්‍රකාශ සහිත යොමුව පහතින් සඳහන් කර ඇත.

2. දඩයම

වසන්ත ඔබේසේකර මහතා විසින් 1984 වසරේ දී නිර්මාණය කරන ලද “දඩයම” චිත්‍රපටයට එරෙහිව, හිටපු විනිසුරු ඒ.සී. අලස් මහතා ප්‍රකාශන හිමිකම් නඩුවක් ගොනුකරන ලද්දේ දඩයම චිත්‍රපටය තමා විසින් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් ලියූ කෘතියකින් උපුටා ගන්නා ලද්දක් බව පවසමිනි. රටම කැළඹූ “විල්පත්තු ඝාතන” නඩුව හෙවත් ඇඩ්ලින් විතාරන ඝාතන නඩුව පාදක කරගනිමින් අලස් මහතා විසින් රචිත “The Tragedy of Adeline Vitharana” නැමති පරිච්චේදය ඔහුගේ “Famous Criminal Cases of Sri Lanka” කෘතිය තුළ විස්තර වන අපරාධ නඩු අතරින් එකකි. විනිසුරු ඒ.සී. අලස් මහතා ගේ චෝදනාව වී ඇත්තේ තමන් ගේ අවසරයකින් තොරව සිය කෘතියෙන් උපුටා ගත් තොරතුරු වලින් දඩයම චිත්‍රපටය නිපදවා සිය බුද්ධිමය දේපළක් සොරාගෙන ඇති බවටයි. නමුත් අලස් මහතාගේ කෘතිය සතුව ස්වාධීන නිර්මාණයක් සතු ලක්‍ෂණ කිසිවක් දක්නට නොවූ බවට අධිකරණයේ නිගමනය විය. එබැවින් දඩයම චිත්‍රපටය නිර්මාණය කිරීම හේතු කොටගෙන ඔබේසේකර මහතා අතින් ඔහුගේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වී නැති බවටද උසාවිය විසින් තීන්දුව ලබා දුනි.

3. මනමේ

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් චුල්ල ධනුද්ධර ජාතක කතාව පාදක කොටගෙන,ඊට අලුතින් තවත් යමක් එකතු කරමින්, ජාතක කතාවේ හරය මුළුමනින්ම පාහේ වෙනස් කර, එහි ස්ත්‍රිය ගේ භූමිකාව කෙරෙහි හෙළන ලද  වඩා සානුකම්පිත දෘෂ්ටියක් සහිතව  “මනමේ” වේදිකා නාට්‍යය නිර්මාණය කළේය. මනමේ යනු ලාංකික නාට්‍ය කලාව කෙසේ විය යුතුදැයි යන්න පිළිබඳ ඉදිරි දැක්මක් ඇතිව කරන ලද, දීර්ඝ කාලීන හැදෑරීමක ප්‍රතිඵලයකි. අවසානයේ දී එය දේශීය නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ද සනිටුහන් කළේය. නාට්‍යයේ කතෘ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මරණින් පසු එහි සියලු හිමකම් උරුම වූ ලලිතා සරච්චන්ද්‍ර මහත්මියට පසුකාලීනව ප්‍රකාශන අයිතීන් වෙනුවෙන් නඩු මඟට බසින්නට සිදු විය. උසස්පෙළ විෂය නිර්දේශයට නියමිත, මනමේ තිර පිටපත උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් අනවසරයෙන් මුද්‍රණය කර බෙදාහැරීම​ ඊට හේතුවයි. සන්නස්ගල ට එරෙහිව ලලිතා සරච්චන්ද්‍ර ගොනුකල නඩුවේදී උසාවියේ තීන්දුව වූයේ උපුල් ශාන්ත සන්නස්ගලගේ මනමේ කෘතිය සතුව කිසිදු ස්වාධීන නිර්මාණයක ලක්ෂණ දකින්නට නැති බවයි. ඒ අනුව ඔහුගේ කෘතියෙන් සරච්චන්ද්‍ර මහතාගේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය​ වී ඇති බවට තීන්දු විය​. කෙසේ නමුත් තවත් තැනෙක, සන්නස්ගල විසින් යම් වන්දි මුදලක් සරච්චන්ද්‍ර මහත්මියට ගෙවා නඩු මඟට බැසීමට පෙර සමථයකට පත්කරවා ගත් බවක් ද සඳහන් වෙනවා.

ප්‍රකාශන අයිතිය තීරණය කිරීමේදී අදාළ නිර්මාණය කොතෙක් දුරට ශාස්ත්‍රීයද, කොතෙක් දුරට කලාත්මක බවක් උසුලයිද යන්න නොසලකා හැරීම පනතෙහි තවත් විශේෂ ලක්ෂණයකි. ස්වාධීන බව පවතින තුරු නිර්මාණයට අදාළව ප්‍රකාශන අයිතීන් හිමිය. බුද්ධිමය දේපළ ආශ්‍රිත නඩු වලට පෙනී සිටින නීතිඥයන්හට අදාළ සාහිත්‍ය කලා විෂයයන් ගැන පුළුල් දැනුමක් සහ අවබෝධයක් ද තිබිය යුතු වෙනවා. නිවැරැදි තීන්දුව ලබා ගැනීම එමඟින් පහසු කරවයි.

4. සංගීත ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රකාශන හිමිකම් කඩවුනු අවස්ථා

රඟහල දැන් ඇත අඩ අඳුරේ සංගීත් විජේසූරිය විසින් ගායනය කිරීමට එදිරිව එහි පද රචක හඩ්සන් සමරසිංහ මහතා පැවරූ නඩුවෙන් ඔහු ජයග්‍රහණය කළේය. එහි දී කතෘ අයිතීන් කඩ වීමක් පමණක් නොව,​ ගීයේ පද වෙනස් කිරීමෙන් සහ යුග ගීතයක් කේවළ ගායනයක් කර විකෘත කිරීමක් සිදු වී, කතෘ මෙන්ම සහෘද රසික අයිතීන් කඩවීමක්  ද සිදු වී ඇති බව මගේ මතයයි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ විසින් ගත් නීතිමය ක්‍රියාමාර්ග හේතු කොට ගෙන රජීව් සෙබස්තියන්ට ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත ගැයීමට තහනම් කරමින් අධිකරණ තීන්දුවක් ලබා දී තිබේ.

ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතා “මේ තරම් සියුමැලිද කළුගල්” ගීතය ගායනයෙන් වැළැකී සිටින්නේ, එහි පද රචක රජීව් වසන්ත වෙල්ගම කතෘ හිමිකම් කඩ කිරීම වෙනුවෙන් නඩු මඟට බැසීමට සූදානම් වීම නිසා බවට දැන ගන්නට ලැබේ. මේ ගීතය ringing tone එකක් ලෙස භාවිතා කිරීමට යම් සමාගමක්‌ වෙත නිර්මාණකරුවන් ගේ අවසරයකින් තොරව ලබා දීමට ගායක සුනිල් එදිරිසිංහ කටයුතු කිරීම ගැටළුවට හේතු වී ඇත​.

ලූෂන් බුලත්සිංහල මහතා සහ ලතා කේමදාස මහත්මිය විසින් ගායන ශිල්පී අමරසිරි පීරිස්ට එරෙහිව කන්‍යාවී වෙනුවෙන් එවූ එන්තරවාසිය නිසා එම ගීතය ප්‍රසිද්ධියේ ගායනය කිරීම වළක්වාලනු ලැබීය.

කෙසේ නමුත්, ප්‍රකාශන අයිතීන් සඳහා ව්‍යතිරේකයන් පවතී. එවැනි අවස්ථාවක් ලංකාවේ ජාතික ගීයේ අයිතිය සම්බන්ධව මීට බොහෝ කලකට පෙර උද්ගත විය​. නිර්මාණකරු විසින් නිර්මාණයක් වෙනත් පාර්ශ්වයකට පවරා දී ඇති විට දී, බුද්ධිමය දේපළ අයිතිය එම පාර්ශ්වය සතු වේ. ජාතික ගීය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එය නිර්මාණය කිරීම වෙනුවෙන් එවකට රජයෙන් ගෙවන ලද මුදල එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාට හිමි නොවිණි. ඒ වනවිට ජාතික ගීය​ ඇතුලු ඔහු ගේ තවත් නිර්මාණ අතුලත් “කුමුදුනී” පොත එහි ප්‍රකාශකයන්ට විකුණා තිබූ බැවින් ජාතික ගීයේ නෛතික අයිතිය​ හිමි වී තිබුණේ පොත් ප්‍රකාශකයන්ට යි. රජයෙන් මුදල් තිළිණය ප්‍රදානය කරන ලද්දේ ජාතික ගීයට මිස​, “නමෝ නමෝ මාතා” ගීය ප්‍රබන්ධ කිරීම වෙනුවෙන් නොවෙන බැවින් එම මුළු මුදලම සමරකෝන් මහතාහට ලබා දීමේ සදාචාරාත්මක වගකීමක් ප්‍රකාශන සමාගම සතුව තිබූ බව මගේ පුද්ගලික මතයයි.

දැන් මී ළඟට බුද්ධිමය දේපළ නිසා ඇතිවෙන සංකීර්ණ සදාචාරාත්මක ගැටළු පිළිබඳව සලකා බලමු.

බුද්ධිමය දේපළ නිසා ඇතිවෙන සංකීර්ණ සදාචාරාත්මක ගැටළු

බුද්ධිමය දේපළ පනතට අනුව ගීතයක කතෘත්වය හිමි වන්නේ එහි පදරචකයාට සහ සංගීත අධ්‍යක්ෂකවරයාට යි. ගායක ගායිකාවන්ට ප්‍රකාශන අයිතිවාසිකම් නැති හෙයින්, පදරචකයාට හෝ සංගීතඥයාට ඕනෑම අවස්ථාවක දී තමන් කැමැති ගායන ශිල්පියකු හෝ ශිල්පිනියක​ ලවා ගීතය ගායනය කරවා ගත හැකියි. මෙහි දී මෙවැනි ගැටළුවක් මතු වේ. මෙතෙක් කල් ගීතයක් මහජනතාව අතරට රැගෙන ගොස් එය ජනප්‍රිය කැරවීමේ කාර්යයට උරදුන් ගායන ශිල්පීන්හට​ එයින් අසාධාරණයක් සිදු නොවන්නේදැයි ඇතැමුන් විසින් සදාචාරාත්මක ප්‍රශ්නයක් මතු කරනවා.

නමුත් ඒ ප්‍රශ්නයේම අනෙක් පැත්ත සලකා බැලුවහොත්, ගායක ගායිකාවන් ගීතය එතෙක් මහජනතාව වෙත රැගෙන ආවේ නොමිළයේ නෙවෙයි. එකී කාර්යය උදෙසා ඔවුන් විසින් ආදයමක් ද උපයාගනු ලැබුවා.  ප්‍රසංග වේදිකාවේදීත්, ගීත ඇල්බම් හරහාත්,  විවිධ විද්‍යුත් මාද්‍ය නාළිකා ඔස්සේත් ඔවුන් විසින් එම ආදායම උපයා ගනු ලැබුවා.  තමන් කැමැති පරිදි එය වෙනකෙකු ලවා ගායනය කරවා ගැනීමට පනත අනුව​ නිර්මාණකරුවන්හට නීතිමය​ අයිතියක් තිබේ. යම් තරමක හෝ සදාචාරාත්මක ප්‍රශ්නයක් පැන නඟින්නේ , නිර්මාණකරුවන් විසින් වෙනත් ශිල්පීන් ලවා ගායනය කරවා ගැනීමෙන් නොනැවතී , මුල් ගායන ශිල්පීන්හට අදාළ ගීතය ගායනා කිරීම තහනම් කරමින් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් පමණයි. මා දන්නා පරිදි මුල් ගායක ගායිකාවට එදිරිව නිර්මාණකරුවන් විසින් තහනම් නියෝග මෙතෙක් රැගෙන ඇත්තේ කතෘ භාග ගෙවීම් පැහැර හැර ප්‍රකාශන හිමිකම් කඩ කර ඇති අවස්ථා වල දී පමණයි. එසේත් නොවේනම් වෙනත් ශිල්පීන් ලවා ගීතය ගායනය කරවා ගැනීම ගැන මුල් ගායක ගායිකාවන් උරණ වී දොස් පවරා ඇති අවස්ථාවල දී යි. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය මුලින් ගායනය කළ , “කවිය ඔබ​” ගීතය සම්බන්ධයෙන් උද්ගතව ඇත්තේ එවැනි තත්ත්වයක් බව දැන ගන්නට ලැබෙනවා. එහි සංගීත අධ්‍යක්ෂක රෝහණ වීරසිංහ එම ගීතය උමාරියා සිංහවංශ ලවා ගායනය කිරීමට විරුද්ධව දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ පාර්ශ්වය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන්, සංගීත අධ්‍යක්ෂකවරයා ඇයට එරෙහිව නීතිමය පියවර​ ගැනීමට කටයුතු කර ඇත.

පොහොසත් සංස්කෘතික සභ්‍යත්වයක උරුමය ආදී අතීත කතා තව දුරටත් වලංගුද​?

බුද්ධිමය දේපළ යනු දෙනුම කේන්ද්‍රීය කර ගත් නීතිමය පද්ධතියකි. ශක්තිමත් ආර්ථිකයක් ඇති බොහෝ සංවර්ධිත රටවල ඉතා ශක්තිමත් බුද්ධිමය දේපළ නීති පද්ධතියක් ද ඇත. ශක්තිමත් බුද්ධිමය දේපළ නීති පද්ධතියකින් නිර්මාණකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වීම හරහා ඔවුන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය ඇතිවෙද්දී සිංහල සංගීතය ඇතුලු කලාව කර්මාන්තයක් ලෙස දියුණු වීමට මඟ පෑදේ.

සංගීතවේදී හර්ෂ බුලත්සිංහල මහතා පවසන පරිදි අද අප සිටින්නේ අනෙකාට ගෞරව කරන සමාජයක නොවේ. පොහොසත් සංස්කෘතික සභ්‍යත්වයක උරුමය ආදී යල්පැන ගිය ආකල්ප මිස​, බුද්ධිමය දේපළ ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපේ රටේ අදට ගැලපෙන ආකල්පයක් කලාකරුවන් අතර ඇත්තේ නැත. ඔහුට අනුව අපේ රටේ බුද්ධිමය දේපළ සංස්කෘතියක්‌ නැත. සාමූහික දේපළ කළමනාකරණය පිළිබඳව සංස්කෘතියක්‌ ඇත්තේ ද නැත. සාමූහික කළමනාකරණයට විශාල ඉතිහාසයක්‌ ලෝකයේ ඇත. ඒ පිළිබඳව ලෝකය කතා කරන්නට පටන් ගත්තේ 1770 ගණන් වලදී යි. යුරෝපා රටවල්වල පමණක් නොව, දීර්ඝ ඉතිහාසයකට හිමිකම් නොකියන බව නිතර කියන ඕස්ට්‍රේලියාව 2026 දී සාමූහික කළමනාකරණ සංගම් පිහිටුවා ගැනීම වෙනුවෙන් ශත සංවත්සරය සමරද්දී , 2500ක ඉතිහාසයක් ඇති අපේ රටේ ඒ ගැන සැලකිය යුතු තරමේ කතාබහක් ඇති වන්නේ ඉතාම මෑතක සිටයි.

බෙහෙවින් පොහොසත් සංස්කෘතියක් ඇතැයි කට මැත දොඩවන්නන් බොහෝ විට කරන්නේ ද සභ්‍යත්වය සංස්කෘතිය පෙරට දමාගෙන එක්කෝ ගීත මංකොල්ලකෑමයි. සභ්‍යත්වය සදාචාරය ගැන පුන පුනා පවසමින් ඔවුන්  යෙදී සිටින්නේ ද වාණිජ අරමුණු වෙනුවෙන් අනීතික වංචනික ව්‍යාපාරයක යි. ගායක ගායිකාවන් විසින් ගීත විකුණා ජීවත්වෙන ව්‍යපාරය ජයටම කරගෙන යද්දී, නිර්මාණකරුවන් සිය කතෘභාග ඉල්ලා නඩු මඟට ගිය හැටියේ එදා මෙසේ නොවේ එසේ සිදු වීයැයි කියමින්, අතීතයේ තිබුණායැයි කියන සංස්කෘතික සචාදාරයක සෙවණැල්ලෙහි​ සැඟවීමට ඔවුහු උත්සාහ දරති.  21 වන සියවසේ ජීවත්වෙන දියුණු මානවයන් ලෙස, දියුණු සංස්කෘතියකට අනුගත වීමට යම් බුද්ධිමය සංවර්ධනයක් ද තිබිය යුතුයි.ඇතැම් යුරෝපා රටවල අදාළ නීතිමය ව්‍යුහය පිළිබඳව දැනුම්වත් කිරීම උදෙසා ප්‍රාථමික ශ්‍රේණිවල සිට බුද්ධිමය දේපළ ක්‍රියාත්මක වන අන්දම ළමුන්ට උගන්වනු ලැබේ.

බලෙන් පැහැර ගැනීම කොල්ලකෑම බහුල සමාජයකට කට වචනයේ ගිවිසුම් වලංගු නැති බව අප දැන්වත් වටහා ගත යුතුය​. වැඩවසම් ආකල්ප වලින් මිදී සෙසු ලෝකය සමඟ අප ඉදිරියට යා යුතුයි. එබැවින් කට වචනයේ එකඟතාවයකට පැමිණෙන ලෙසට බල කරන තුන්වැනි පාර්ශ්වවල​ උගුල්වල තව දුරටත් නොවැටී, කට වචනයට එහා ගිය නීතිමය රාමුවකට අනුකූලව කටයුතු කිරීමට වගකිවයුතු සියලු පාර්ශ්ව වහා පියවර ගත යුතුව ඇත​.

අමා නයනාදරී සිරිවර්ධන​
10-09-2023
මෙල්බර්න්හිදී ය.

මූලාශ්‍රය තොරතුරු මෙතැනින්.

Copyright and Related Rights:
https://www.wipo.int/export/sites/www/sme/en/documents/pdf/ip_panorama_5_learning_points.pdf?fbclid=IwAR3_whPPSQxudsvzxf4YX8DVN1YvcY_c5fy4jj11bn2jGUdFNXzk-fGPAsA

Harsha Talks 1/8 බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාන සහ අප නොදත් කතා:
https://www.youtube.com/watch?v=Zr7QMg0XeUo&list=PLVW438rG3_HjyWmb2IyiAElCmjUxOHIGW&index=2

Harsha Talks 2/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා:
https://www.youtube.com/watch?v=vY32tP5EEAY&list=PLVW438rG3_HjyWmb2IyiAElCmjUxOHIGW&index=2

Harsha Talks 3/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා:
https://www.youtube.com/watch?v=3ALSJKS8duM&list=PLVW438rG3_HjyWmb2IyiAElCmjUxOHIGW&index=3

Harsha Talks 4/8 ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත, සංගීත නිර්මාණ සහ අප නොදත් කතා:
https://www.youtube.com/watch?v=6yF94-2XzBc&list=PLVW438rG3_HjyWmb2IyiAElCmjUxOHIGW&index=4

ඔබේ නිර්මාණශීලී සිතුවිල්ලක වටිනාකම – ආන්දෝලනාත්මක ප්‍රකාශන හිමිකම් නීතිය (Controversial Copyright Law)
https://roar.media/sinhala/main/features/controversial-copyright-law
සරසවි ප්‍රකාශකය්න්ට එදිරිව ධර්මා සමරනායක නඩුව
https://www.facebook.com/thivanka.amarakoon/posts/10219727994590706

රටක් දන්න රට නොදන්න කතාව මෙන්න – හැමෝගෙන්ම ඉල්ලීම් ආපු නිසයි මම මාධ්‍යට කතා කලේ – ධර්මා සමරනායක:
https://www.youtube.com/watch?v=Sx37Ur4wB4c

ධනිෂ්ක ගුණතිලක සහ ස්ත්‍රී-පුරුෂ අසමානාත්මතාවය

ලිංගික නිදහස සහ ලිංගික කාර්යයේ දී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන දැන් ඉස්සරට වඩා සමාජය හුඟක් දැනුම්වත්. දැන් දැන් කාන්තාව තලා පෙලා ලිංගිකව අපයෝජනයට ලක්‌ කිරීම පිරිමින්ට පෙර මෙන් පහසු නැහැ.වේගයෙන් ඉදිරියට යන සෙසු ලෝකය කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා හෙයින් ප්‍රමාද වී හෝ ලංකාවටත් ඒ අනුව හැඩ ගැහෙන්න සිදු වී ඇති බව පෙන්නුම් කරන සාක්ෂි නිතර දෙවේලේ අපට හමු වෙනවා.

දැන් හැදෙන බොහෝ ටෙලි නාට්‍ය, චිත්‍රපට ආදී නිර්මාණවල ලිංගිකත්වය කියන කාරණයේ දී කාන්තාව කෙතරම් ඉදිරියෙන් සිටිනවා ද යන්න මැනවින් පෙන්නුම් කරනවා. ඉස්සර ගැහැණිය කේන්ද්‍ර කර ගත් නිර්මාණ තුළ අප බොහෝ විට දැක්කේ ඒ ගැහැණිය වටා සිටින පිරිමින් සමූහයක් සහ ඒ පිරිමින්ගෙන් ඇය අවභාවිතා වෙන අන්දමයි. මේවා දැකලාම එපා වෙලා සිටි කාලයක් තිබුණා. ඒ කාලයේ,  අප කතා වෙනවා ඕවායේ ඉතින් ගැහැණු කෙනෙකුයි එයා වටේ පිරිමි ටිකකුයි ඇරෙන්න වෙන ගත යුතු දෙයක් නැති බව.

එතැන දී වුණේ සමාජය තුළ ඇති දේ නිර්මාණ තුළින් පිළිඹිබු වීම පමණක් නෙවෙයි, අනෙක් අතට අපරාධකාරයන්ට අපරාධයක් කළ යුතු අන්දම ගැන උපදෙස් නිර්මාණ හරහා ඔවුන්ට ලැබෙන්නා සේ, ගැහැණිය අවභාවිතා කිරීම වීර ක්‍රියාවක් සේ සැලකූ පිරිමින්හට එවැනි නිර්මාණ හරහා විශාල පිටුබලයක් ලැබුණා. තමන් කාන්තාව අවභාවිතා කළ යුතු අන්දම සහ ඔවුන් දෙස බැලිය යුතු ආකාරය ගැන ඒ නිර්මාණ හරහා ඔවුන්ට උපදෙස් ලැබුණා. ඒකෙ  වින්දිතයන් වුණේ ඇත්තෙන්ම මෙවැනි පිරිමින් හා සමීපව ආශ්‍රය කරන කාන්තාවන් පමණක් නෙවෙයි. උදාහරණයක් හැටියට රාජකාරි මට්ටමින් කටයුතු කිරීම හෝ රජයේ කාර්යාලවලට යම් සේවයක් ලබා ගැනීමට යාම වැනි අවස්ථාවන් වල දී කාන්තාව මෙවැනි පිරිමින්ගෙන් විවිධ ස්වරූප වලින් අතවරයන්ට ලක්‌ වුණා. ඒ සඳහා සත්‍ය කතා පුවත් දැන ගැනීමට අවශ්‍ය නම් “උසාවිය නිහඬයි” කෙටි චිත්‍රපටය නරඹන්න.

කාන්තාව වටා ඇය අපහරණය කරන පිරිමින් රාශියක් සිටින ප්‍රබන්ධ කතා නිසා සිදු වුණු අනෙක් අතුරු ඵලය වුණේ, ඊට අනුරූපීව  තමන් පිරිමින් ගේ අණසකට යටත්ව ඔවුන්ගේ හව් හරණය ලැබ සිටීම පිණිස “අනේ ඉතින් ගැහැණු අපට දුක උරුමයි” වැනි තැනකට කාන්තා මානසිකත්වය රැගෙනවිත් ඇය තව තවත් පුරුෂයාගේ අධිපත්‍යයට නැතු කර තැබීමයි. මේ නිසා අක්‍රිය විවාහ ජීවිත තුළ සිර වුණු කාන්තාවන් ගැන ඕනෑ තරම් තොරතුරු දැන ගැනීමට ලැබෙනවා.

කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම පිණිස ලේඛන කලාවේ යෙදුණේයැයි කියන සුමිත්‍රා රාහුබද්ධ වැනි ලේඛිකාවන්ගේ නවකතා තුළින් පවා අනියමින් සිදු වුණේ ස්ත්‍රී-පුරුෂ අසමානතාවය තව තවත් පුළුල් කිරීමක්. කාන්තාව සහ පිරිමියා ඒකාකෘතියකට තව තවත් කොටු කර තැබීමක් ඒ හරහා සිදු වුණා. එවැනි කෘතින් ආදර්ශයට ගත් පුරුෂ පාර්ශ්වය විසින් වගේම, ස්ත්‍රිය විසින්ම ද පිරිමියාට අවනත  අක්‍රිය දෙවැනි පුරවැසියකු ගේ තැනට කාන්තාව තල්ලු කර ගනු ලැබුවා. පිරිමියා කොයි තරම් මොන දේ කළත් කාන්තාව ඒ සියල්ල විඳ දරාගෙන පුරුෂයා දේවත්වයේ ලා සැලකිය යුතුය, තමන් විවාහ වූ හෝ විවාහ ගිවිසගත් පුරුෂයා හැර, වෙනත් පිරිමින් වෙත ඇලුම් නොකළ යුතුය යන පණිවිඩය ඇගේ කතාවල යටි පෙළෙහි ලියැවී තිබුණා.

ඒත් දැන් එය ඊට වඩා වෙනස් ඉදිරිගාමී මුහුණුවරකින් ගලාගෙන යන චරිත සහ ජවනිකා විවිධ නිර්මාණ තුළ අපට හමුවෙනවා. අවශ්‍ය නම්, කාන්තාව සහ පිරිමියා දෙදෙනාම සිය කැමැත්තෙන් අවබෝධයක් ඇතිව දෙදෙනා ගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිණිස පමණක් සමීපව ඇසුරු කරන අවස්ථා, සමීප ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය දෙදෙනෙකුට වෙන්වීමට සිදු වුවහොත් කාන්තාව ඉන්පසුව තමන්ට අනාගතයක් නැත්තා සේ හැසිරීමෙන් වැළකී, ඊට වඩා බොහෝ පහසුවෙන් එතැනින් ඉවත් වී යාම ආදී චරිත පෙළ ගැස්වීම් නාට්‍ය චිත්‍රපට ආදී නිර්මාණ තුළ නිතර දකින්නට ලැබෙනවා. කෙටියෙන් කිව්වොත් කාන්තාව සහ පුරුෂයා යන දෙපාර්ශ්වයටම වාසි සහගත, win-win තාත්ත්වයක සිට ඕනෑම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන ප්‍රවණතාවයක් දැන් අපිට දකින්න ලැබෙනවා. එතැන කිසිවකු හෝ අවභාවිතා වීමේ මානසිකත්වයක්‌ දකින්න නැහැ. ඉස්සර පිරිමින්ට පමණක් තිබූ ලිංගික නිදහස දැන් කාන්තා පාර්ශ්වය වෙතද ලැබෙමින් පවතිනවා.ඇත්තෙන්ම මේවා මීට බොහෝ කාලයකට ඉහත සිදු විය යුතු දේවල්.

ඒත් අපේ සමාජයේ බහුතරයක් පිරිමින් තවමත් සිටින්නේ කාන්තාව මේ win-win තත්ත්වයෙන් සම්බන්ධතාවයක්,  විශේෂයෙන් ම win-win තත්වයෙන් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යනවාට අකමැති පටු මානසිකත්වයකයි . ඔවුන් තවමත් සිටින්නේ තමන් විසින් කාන්තාව අපහරණය කළ යුතුය යන මානසිකත්වයේ පමණක් නෙවෙයි, කාන්තාව ද තමා අපහරණයට ලක්‌වන බවක් විශ්වාස කළ යුතු බවට යටිසිතෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ සතුට ඇත්තේ එතැනයි. පුරුෂාධිපත්‍යයේ ස්වභාවය එයයි. එවැනි පිරිමින්හට සිය දියණිය සහ සහෝදරිය හැර, ලෝකයේ අනෙක් සියලුම ගැහැණුන් අවභාවිතා කළ හැකියි. ඔව් බොහෝවිට සිය බිරිඳ පවා මොවුන් අතින් අවභාවිතා වෙනවා. එකම වෙනස තමන් හැර සෙසු ලෝකය සිය බිරිඳ අවභාවිතා කිරීමට කමැති නොවීම පමණයි.

මේ පහළින් share කරන ලිපිය ලියා ඇත්තේ කාන්තා අයිතීන් ලැබී පිරිමින්ට කාන්තාවන් අපහරණය කිරීමට ඇති අවස්ථාව නොලැබී යතැයි බියට පත් වූ කෙනෙකු විසින්.

අමා නයනාදරී සිරිවර්ධන​
20-09-2023

(ධනිෂ්ක ගුණතිලක ගේ සිදු වීමේදී සත්‍ය වශයෙන්ම වූයේ කුමක්දැයි මා දන්නේ නැහැ. එය දැන ගැනීම මේ කතාබහට වැදගත් නැහැ.)

ප​.ලි:
ඕස්ට්‍රේලියාවේ , නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවැනි නීති පද්ධතියක්හඳුන්වා දී තිබීමෙන් පිරිමින්ට වෙන හිරිහැරය ගැන සමහරක්  දෙනා දුක් වෙලා තිබුණා. මෙහෙම සිස්ටම් එකක් නොතිබුණා නම් වෙන්නේ කාන්තාවන් ගෘහස්ථවත්, ඉන් පිටදීත් හිංසනයට ලක් වෙන එකයි. ලෝකේ බහුලවම ඇත්තේ කාන්තා හිංසනය. ඒක වළක්වන්නයි මේ වගේ සිස්ටම් එකක් මේ රටවල්වල තියෙන්නේ.

ඒකේ හිල් අස්සෙන් රිංගලා වරදක් නැති අයත් කරදරයට ලක් වෙනවා. නමුත් ශක්තිමත් නීති පද්ධතියක් ඇති විට දී ඇත්තටම වරදක් නැත්නම්, ඒ අය නිදහස් වෙන බව ධනුෂ්ක ගේ සිද්ධියෙන් තවත් තහවුරු වෙනවා.  ධනිෂ්ක ගුණතිලක නිදහස් වුණාට සමස්ත ක්‍රියාවලිය දිහා බැලුවාම ක්‍රීඩාවේ විනිය නීති අනුව කටයුතු කර ඇති බවක් පේන්නේ නැති යන බව ලෝකේ වෙනස් වෙන හැටි දැකලා තමන් ගැන බය වෙලා ඔහුට කවි ගී ලියන අයට අමතක වෙලා.

මේ වගේ මිනිස්සුත් එක්ක​ ලංකාව මෙහෙමවත් තියෙන එක ගැනයි අපි පුදුම වෙන්න ඕන.

———————Share කරන ලද ලිපිය පහළින්———————-

පළමු ලෝකයේ රටක පිරිමියෙක්ව ඉපදීමත්, පිරිමියෙක්ව ජීවත් වීමත් ඉතා අසීරු වී තිබෙන බව පහුගිය දවසක බෙන් ෂැපීරො කිව්වා.

බෙන් ෂැපීරො ඇමෙරිකාවේ ප්‍රසිද්ධම සහ බලවත්ම දේශපාලන විචාරකයෙක්.

මේ ප්‍රකාශයෙන් ඔහු අදහස් කළේ පළමු ලෝකයේ රටවල තදින් හමායන දැඩි පිරිමි විරෝධි නීතින් ගැන.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ පළමු දිනය ඊයේ යෙදී තිබුණා.

සිඩ්නි නුවර දිස්ත්‍රීක් අධිකරණයක නඩු විභාගය පැවැත්වෙනවා.

මෙම නඩුවේ ප්‍රථමයෙන් එරට රජය නියෝජනය කරන පැමිණිලිකාර පාර්ශවය විසින් ධනුෂ්ක ගුණතිලකට චෝදනා හතරක් ගොනු කර තිබුණා.

ස්ත්‍රී දූෂණය, ලිංගික ආඩතේට්ටම් ආදී චෝදනා එහි තිබුණා.

දැන් එය, එක් චෝදනාවකට පමණක් සීමා වෙලා.

ඒ ඉතිරි චෝදනා තුනම නඩු විභාගයට පෙරම අසත්‍ය බව පෙනී යන නිසා.

දැන් ධනුෂ්ක ට එරෙහිව පවතින චෝදනාව Stealthing එසේ නොමැති නම් පැමිණිලිකාරියගේ කැමැත්තකින් තොරව කොන්ඩමය ඉවත් කිරීම යන චෝදනාව පමණයි.

අදාල කාන්තාව එක් ක්‍රියාවකට කැමති වූ පමණින්, සෙසු ක්‍රියාවන්ට කැමැති බව අදහස් නොවන බව පැමිණිලිකාර පාර්ශවයේ ප්‍රධාන තර්කයයි.

ධනුෂ්ක ගේ නඩුව ශ්‍රී ලංකාවේත් “කැමැත්ත” යන සාධකය පිළිබඳ විශාල සංවාදයක් ඇති කළා.

කොහොම වුනත් ධනුෂ්ක ගේ නඩුව ගලා යන විදිය අනුව, සැබැවින්ම සිදුවූ දේ දැන් පැහැදිලි වෙමින් තියෙනවා.

ධනුෂ්ක සහ අදාල ඕස්ට්‍රේලියානු ජාතික තරුණිය කැමැත්තෙන් හමු වී, කැමැත්තෙන් එකට කාලය ගත කර තිබුණා.

කෙසේ වෙතත් පැමිණිලිකාර කාන්තාව ධනුෂ්ක ගෙන් දින කිහිපයක සම්බන්ධතාවයකට වඩා බැඳීමක් බලාපොරොත්තු වී තිබෙනවා.

නමුත් ඔහුට එවැන්නක් අවශ්‍ය වී නැහැ.

අවසන් දිනයේ ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට සුදානම් වී ඇත්තේ එම කාන්තාව දැනුවත් කර හෝ නොමැතිව.

ඒ හිත් වේදනාවත්, ඉන් ඇති වූ කෝපයත්, ධනුෂ්ක ගුණතිලක තරමක ධනවත්, ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් නිසාත් ඔහුගෙන් පළිගැනීම උදෙසා සමස්ත නීති කෘත්‍ය සිදුව ඇති බව දැන් පැහැදිලි වෙමින් තියෙනවා.

ඒ සඳහා ඇයට උපකාරී වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි පිරිමි විරෝධි නීතිය.

ධනුෂ්ක ගුණතිලකගේ කතාව, බෙන් ෂැපීරෝ කියූ කතාවට සම්බන්ධ වෙන්නෙ එතනදී.

ඕස්ට්‍රේලියාව ඇතුලු පළමු ලෝකයේ රටවල පවතින නීතින් දැඩි පිරිමි විරෝධියි.

මේ නීතින් කාන්තාවකට අවශ්‍ය ඕනෑම පරිදි, ඕනෑම පුද්ගලයෙකු අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසීමට භාවිතා කළ හැකියි.

ඒ සඳහා ඔවුන්ට ස්ථිර, ප්‍රබල සාක්ෂි අවශ්‍ය වෙන්නෙ නැහැ.

ලිංගික ක්‍රියාවන් සිදු වෙන්නේ අතිශය පුද්ගලික අවකාශයන් තුල.

එවැනි අවකාශයක සිදුවන දෑ තෙවන පාර්ශවයකට ඔප්පු කිරීමට සාක්ෂි පවතින්නෙ නැහැ.

එහිදී වින්දිතයාගේ වාචික සාක්ෂි වලට පිළිගැනීමක් හිමිවෙනවා.

එවැනි පසුබිමක, කැමැත්තකින් සිදු වන ක්‍රියා පවා පසුකාලීනව පුද්ගලික පළිගැනීම් උදෙසා භාවිතා කළ හැකියි.

කැමැත්තකින් සිදු වූ ක්‍රියා, අකමැත්තෙන් සහ බලහත්කාරයෙන් සිදු වූ ක්‍රියාවක් ලෙසට පෙන්වා දිය හැකියි.

අප මේ කතා කරන්නේ සැබෑ බලහත්කාරී, අඩතේට්ටම් පිළිබඳ නොවෙයි.

එවැනි ක්‍රියා නීතිය ඉදිරියේ පහසුවෙන් ඔප්පු කළ හැකියි.

නමුත් මෙවැනි නිශ්චිතව සීමා කළ නොහැකි නීති අවශ්‍ය වෙන්නේ ඉන් එහා ගිය කටයුතු උදෙසායි.

මෙම නීතින් තුල කැමැත්තෙන් සිදුවන ක්‍රියාවක, යම් කොටසක් හෝ අකමැත්තකින් සිදු වූවා යැයි ප්‍රකාශ කිරීමෙන්ම පිරිමියෙකු අපරාධකරුවෙක් කළ හැකියි.

මේ නීතින් තුල කැමැත්තෙන් සිදුවන ක්‍රියාවක් පවා, බලහත්කාරී කටයුත්තක් ලෙස අර්ථ දැක්විය හැකියි.

අප සාකච්ඡා කරන්නේ පුද්ගලික පළිගැනීම් උදෙසා මේ නීති අවභාවිතා වීම පිළිබඳවයි.

ධනුෂ්ක ගුණතිලක එවැනි පළිගැනීමකට ලක් වූ පළමුවැන්නා නොවේ.

නිසැකවම ඔහු එවැනි පළිගැනීමකට ලක් වූ අවසන් පිරිමියා ද නොවේ.

ජොනි ඩෙප් සහ ඇම්බර් හර්ඩ් ගේ නඩුව මේ සඳහා ක්ලැසික් උදාහරණයක්.

ගෘහස්ථ හිංසනය සහ කාන්තා හිංසනයට අදාලව ජොනි ඩෙප් ට එරෙහිව නඩු පවරා, ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ් ජයගත්තා.

නමුත් ලෝකයට සජීවීව විකාශය වූ දෙවෙනි නඩුවෙන් සම්පූර්ණ සාක්ෂී සමගම සත්‍ය හෙළිවුණා.

එහිදී, සැබෑම හිංසකයා ඇම්බර් හර්ඩ් බවත්, වින්දිතයා ජොනි ඩෙප් බවත් ලෝකයම දැක ගත්තා.

නමුත් ඒ වනවිටත් පිරිමියෙකු වූ නිසාම ජොනී සතු බොහෝ දෑ සමාජය සහ මාධ්‍ය විසින් විනාශ කර තිබුණා.

ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගලායන අයුරු දකින විට බොහෝ විට ප්‍රතිඵලය වෙනස් වෙන එකක් නැහැ.

අදාල පැමිණිලිකාරිය විසින් එල්ල කළ චෝදනා ඉතාම පහසුවෙන් ධනුෂ්ක ගේ නීතිඥයන් විසින් දැනටම බිඳ දමා තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක යන ක්‍රිකට් ක්‍රීඩකයා කිසිසේත්ම ආරක්ෂා කළ යුතු, පෙනී සිටිය යුතු චරිතයක් නොවෙයි.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටම අවමානයක්, නින්දාවක් එක් කළ ක්‍රීඩකයෙක්.

ඔහු නඩුවෙන් නිදහස් වී පැමිණියත් ඔහුට යළිත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දොරටු විවර විය යුතු නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය නියෝජනය කරනා ක්‍රීඩකයෙකු සතු විය යුතු විනය සහ ජීවගුණය ඔහු සතුව නැහැ.

නමුත් මේ සිදුවීමේදි ධනුෂ්ක ගුණතිලක නම් වින්දිත පිරිමියා පිළිබඳව කතා කිරීමට එය බාධාවක් නෙවෙයි.

අනෙක් අතට ගුණතිලකගේ සිදුවීම පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත්.

බෙන් ෂැපීරො කියූ ආකාරයට පළමු ලෝකයේ රටවල් වල පිරිමියෙක් ව ඉපදීමත්, ජීවත් වීමත් ඉතා අපහසු කලාප කළ, ධනුෂ්ක ගුණතිලක වින්දිතයෙකු කළ නීති සහ සමාජ තත්ත්ව ක්‍රමක්‍රමයෙන් අප කලාප වලටත් ඇතුලු වෙමින් තිබෙනවා.

ඒ සඳහා මුල් වී කටයුතු කරන්නේ අදාල රටවල් විසින්මයි.

විවිධ ආකාරයේ වැඩමුළු, සාකච්ඡා ලෙසින් මානව සහ කාන්තා හිමිකම් ආරක්ෂා කිරීමේ වේශයකින් ඒ කටයුතු සිදු කෙරෙනවා.

මේ පිළිබඳව අප වඩා වඩාත් කතා කළ යුතුයි.

සාකච්ඡා කළ යුතුයි, සංවාදයක් ඇති කළ යුතුයි.

ධනුෂ්ක ගුණතිලක ගේ සිදුවීම ඒ සඳහා රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ අවස්තාවක්.

– ඉරේෂාන් සිරිවර්ධන –

2023. 09. 19

කහවන් ගොයමට රන් දිය වැහලා…

පසුගිය දා ෆේස්බුක් පිටුවක මේ ගීතය පළ කර තිබුණා. මේ සටහන මෙහි “කහවන් ගොයම” යැයි යොදා ඇත්තේ ඇයිදැයි  එතැන දී කිසිවකු විසින් අසා තිබුණු ප්‍රශ්නයට මා දුන් කෙටි පිළිතුර වඩාත්  විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය කි. තමන් බොහෝ සේ ප්‍රිය කරන​ ගීතයක් හෝ වෙනත් කලා කෘතියක් විචාරය​ කිරීමෙන් ලැබෙන ආනන්දය පවතින්නේ වෙනම තලයක යි. එය මා එදා සිටම ප්‍රිය කරන දෙයක්.

ඉහත ප්‍රශ්නය ඇසූ රසිකයා එසේ විමසීමට හේතුවක් තිබේ. ගද්‍ය පද්‍ය සාහිත්‍යය තුළ ගොයම හැඳින්වෙන්නේ එක්කෝ “නිල්වන් ගොයම” නැත්නම් “රන්වන් ගොයම” යන විශේෂණය සහිතව යි.

සාහිත්‍යයේ දී “නිල්” පැහැය, කලු සහ හරිත යන වර්ණ දෙකම නිරූපණය කිරීම සඳහා යොදා ගන්නවා. පහත දැක්වෙන උදාහරණ දෙස බලන්න.

“නිල් වනලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ එසඳ නිබන්දේ
නුරා මුකුළු ලොබ උපදවනා”
(අජන්තා රණසිංහ​/ සරත් දසනායක / වික්ටර් රත්නායක සහ නන්දා මාලනී)

වික්ටර් සහ නන්දා ගායක ගායිකා යුවළ ගයන ඉහත ගීයේ දී නිල් වනලන්ද යැයි කියන්නේ කොළ පැහැයෙන් බබළන වනාන්තරයට යි. පහතින් දක්වා ඇත්තේ කලු පැහැය නිරූපණය කිරීම සඳහා ද නිල් වර්ණය ම යොදා ගත් ගීතමය​ උදාහරණයක්.

“නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීලවර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියාසලන සිතට සුවඳ පවන් සලන​
නීලවර්ණ නීල කොබෙයියෝ”
(පී.එච්.කේ රත්නසිරි / චන්ද්‍රදාස බෝගොඩ / ඉන්ද්‍රාණි බෝගොඩ)

මේ එ කල ගුවන්විදුලියෙන් නිතරම ඇසුණු ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ගේ ඉතාම මියුරු ගීතයක්. මෙහි “නීල කොබෙයියා” යන රූපකය භාවිතා වන්නේ කාලවර්ණ දේහධාරී තරුණයකු ආමන්ත්‍රණය​ කිරීම​  පිණිසයි​. ‍එය නිලට හුරු තද කලු පැහැය කි. යෙදෙන අවස්ථාව අනුව ඉන් කියැවෙන්නේ හරිත වර්ණය ද, නැත්නම් කලු වර්ණය ගැන ද යන්න අප විසින් තීරණය කළ යුතු වෙනවා.

“කහවන් ගොයමට රන් දිය වැහලා” ගීතය රචනා කළ මර්සලීන් ජයකොඩි පියතුමා “කහවන් ගොයම”යන විශේෂණ පදයක් භාවිතා කරන්නට හේතුව පදමාලාව තුළින්ම විමසා බලමු.

මේ ගීයේ එක්තරා තැනක සුවිශේෂී පද පේළියක් හමුවෙනවා.පදමාලාව තුළ මා දකින වඩාත් සිත් ගන්නා සුළු පද කොටස ද එය යි.

“කවියක් ගීයට හැරුණු කලක් දෝ
ඉපනැළි නළියනවා”

කරල් කැපූ පසු ගොයම් ගසෙහි ඉතිරිවන කොටස ඉපනැල්ලයි. පීදී කරලින් බර වූ ගොයම මෙන් නොව, ඉපනැල්ල සැහැල්ලුය. එමෙන්ම කවියකට වඩා ගීතය සැහැල්ලුය. කවියක් සහ ගීතයක් අතර ඇති වෙනස පිළිබඳව මර්සලින් ජයකොඩි පියතුමන් දකින්නේ එසේයි.

එසේත් නැතිනම්, කවියට වඩා ගීතය සාරවත් බවින් හීන බවක් ප්‍රකාශ කරන්නට පියතුමා එහි දී අදහස් කළා ද යන සැකය මට එදා ඉඳන්ම ඇත​​. මට එසේ සිතෙන්නේ මර්සලීන් ජයකොඩි පියනම ගී පද රචනයට ද වඩා කාව්‍යකරණය කෙරෙහි තද බල ඇල්මක් තිබූ හොඳ කවියකු ද වූ බව දන්නා බැවිනි. ඒ හැර මගේ අනුමානය සනාථ ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ගීතය තුළින් හමු නොවේ.

නිල්වන් ගොයම නොවී “කහවන් ගොයම” ලෙසින් යෙදීමට හේතුව පිළිබඳව පළමු සාක්ෂිය හමුවන්නේත් එතැන දී යි. මේ වෙද්දී කුඹුරු යායෙන් කොටසක් කපා අවසන්. ඉපනැළි නලියන්නේ ඒ නිසයි.

එ පමණක් නොව​, ගීයේ අවසාන භාගයේ දී මෙසේ ද කියැවේ;
“මින්නේරිය වැව හෙට හී කවියේ
මින්නේරිය වැව හෙට හී  කවියේ
උදයට ළංවෙනවා
උදයට ළංවෙනවා”

“කයිය” යන්න පිරිසක් එක් රැස් වීම නැතහොත් සමූහය යන අරුත් දේ. කමත් බසින් “ගොයම් කයිය” ලෙස ව්‍යවහාර වන්නේ ගොයම් කැපීමේ චාරිත්‍රය නැතහොත්, ගොයම් කැපීමට ආරාධනා ලැබූ පිරිස ඒකරාශී වීමකට යි.

නමුත් ගායනයේ දී ශ්‍රවණය වෙන්නේ නම්, “මින්නේරිය වැව හෙට හී කවියේ” ලෙසිනි. විරිත පවත්වා ගැනීමත්, ගායන අලංකාරයත් යන දෙකම එකවර අරමුණු කර ගනිමින් “හෙට හී කයියේ” යන්න “හෙට හී කවියේ” ලෙස ගායනය සඳහා සකස් කර ගත්තා ද? එසේත් නොවේ නම්, කමත් භාෂාව අනුව​ “ගොයම් කයිය” සහ “ගොයම් කවිය” එකම අරුත් ලබා දේ දැයි නොදනිමි. දන්නා කෙනෙකු සිටී නම්, කරුණාකර පැහැදිලි කරන්න.

ඒ අනුව, තවත් පසෙකින් හෙට දිනයේ කැපීමට නියමිත (හෙට හී කවියේ) රන්වන් කරළින් බර වුණු ගොයමක් ඇති බව ගීයේ පද විසින්ම අපට සැළ කර සිටිනවා.

එසේ නම් කවියා විසින් එය, රන්වන් ගොයම නොවී, කහවන් ගොයමයැයි හඳුන්වන්නේ ඇයිදැයි තවත් ප්‍රශ්නයක් පැන නඟී. පදමාලාව හොඳින් විමසා බැලූ කළ ඊට හේතුව සොයා ගැනීම ද අපහසු නැත.

ගීතය ආරම්භ වන්නේම කාලය පිළිබඳව ඉඟියක් අසන්නාට​ ලබා දෙමින්;
“ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙලා
විහඟ වලා ගුවන වෙලා
දුර අහසේ නොපෙනී යනවා”

මේ කියන්නේ සූර්යයා අවරගිරින් බැස ගෙන යන සවස් කාලය ගැන යි. එය ගස්වල හෙවණැලි කළු වෙන, කුරුල්ලන් රංචු පිටින් කැදලි කරා පියාඹා යන ඇඳිරි වැටීගෙන එන යාමය යි. මෙහිදී ගොයම කහ පැහැ ගැන්වී ඇත්තේ පැසී ඇති නිසා පමණක් ද? එය එසේ නොවන බැව් මගේ අදහසයි. “රන්දිය වැහැලා” කුමක්ද මේ “රන්දිය”? රන්දිය පමණක් එකට නොඑයි. එය යෙදී ඇත්තේ “රන්දිය වැහැලා” යනුවෙනි. එසේ නම් මේ සවස් යාමයේ ගොයම පුරා පතිත වී ඇති රන්වන් හිරු කිරණ විය යුතුය. මෙහි දී පියතුමන් “කහවන් ගොයම” යැයි හඳුන්වන්නේ ගොයම පැසී ඇති නිසා පමණක් නොව, පැසුණු ගොයම මත බැස යන හිරු ගේ කිරණ වැටීමෙන් කහ පැහැයක් ගත් නිසාත් විය හැකි බව මගේ මතයයි. මේ පිළිබඳ මගේ අරුත් ගැන්වීම මෙසේයි ; පීදුණු ගොයම​ රන්වන් හිරු රැස් වැටී කහ පැහැයෙන් බබළනවා. කහ පැහැ ගැන්වුණු ගොයම නියරෙන් උතුරා ගලා යනවා.

කාන්තාවක ගේ කෙස් කළඹ රාස්සිගේ අව්ව වැටුණු කල දඹ රන් පැහැයෙන් බබළන හැටි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා තැනෙක මෙහෙම කියනවා;

“රාස්සිගේ අව්ව වැටී දඹ රන් වූ ඔබ කෙහෙරැළි
සුළං සමඟ පොර බැදුවා
ඔබට මතක නැති වුණාට​
අද වාගේ මතකයි මට​…”
(සුනිල් ආරියරත්න/එච්.එම්. ජයවර්ධන / සනත් නන්දසිරි)

මේ වගද සඳහන් කරනු කැමැත්තෙමි. “රන්දිය වැහැලා’ යන්නෙන් කවියා අදහස් කරනු ලැබුයේ කුමක් ද යන්න නිශ්චිතව කිව නොහැකිය​. ඇතැම් විට කුඹුරට වැව් දිය වැස ඇති බවක් අදහස් කළා ද විය හැකියි. මේ ගීතයේ කේන්ද්‍රීය වස්තුව මින්නේරිය වැව වන නිසා එකී අරුත් ගැන්වීමෙහි ද වරදක් නොදකිමි. එහෙත්, මගේ වැඩි කැමැත්ත ඇත්තේ පළමුව විස්තර කරන්නට යෙදුණු අර්ථ දැක්වීමට යි.

මින්නේරිය වැව අසබඩ එහි අසිරිය දකින කවියාට මහසෙන් රජු කාලයේ සිට කෙත් බිම් සරු කරවන වැව ගැන ඇති වූ භක්ති පූර්වක හැඟීම් සමුදායයක් මෙසේ පද මාලාවකට නැංවෙනවා. ඔහු එතැනට එන්නේ ඇඳිරි වැටීගෙන එන සවස් කාලයේ දී යි. සවස් කාලයේ සිට​ පෙරයම තෙක් එහි රැඳී සිටින ඔහුට මින්නේරිය වැව ගැන අපූර්ව​ කවි සිතුවිලි පහළ වෙනවා. කාව්‍යකරණයේ දී බොහෝ විට ස්වභාවික පරිසරයේ වස්තූන්ට ස්ත්‍රීත්වයක් ආරෝපණය කෙරේ. අපගේ කවියාට, මින්නේරිය වැව පෙනෙන්නේ ගොයමට දියවර සැපයීමෙන් නොනැවතී, තමන් නිසා සරුසාර වුණු කෙත් යාය දෙස සතුටු සිතින් බලා සිටින​ ලලනාවක මෙනි. කරළින් බර වුණු කුඹුරු යාය දෙසට හැරී ඔංචිලි පදිමින්, ඒවා වැඩෙන හැටි අස්වනු නෙළන හැටි නරඹමින්, වැව් ලලනාව සතුටු වෙන ආකාරය ඔහු අතින් කවියකට චිත්‍රණය කෙරනවා. අනතුරුව ඔහු දකින්නේ තමන් විසින් දිය සපයා අස්වද්දන කුඹුරු යාය වැඩෙන හැටි, ගොයම් නෙළන හැටි මේ සියල්ල දෙස බලා සිටි වැව් අංගනාව දැන්, හෙට අලුයම ගොයම් කයිය ද දැක බලා ගැනීමට සැරසෙන ආකාරයයි.

“මින්නේරිය වැව හෙට හී කවියේ
මින්නේරිය වැව හෙට හී කවියේ
උදයට ළංවෙනවා
උදයට ළංවෙනවා”

මර්සලින් ජයකොඩි පියතුමන් විසින් අමිශ්‍ර සිංහලයෙන් කවි බසින් ලියා දුන් පද රචනාවට තනුව සහ සංගීතය නිර්මාණය කරන ලද්දේ ගුවන් විදුලි සංස්ථාවේ සංගීත පාලකවරයකු වූ පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියාණන් විසිනි.  1950 ගණන් වල දී මහාචාර්ය​ එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ගුවන්විදුලිය තුළ ඇති වූ​ සංස්කෘතික පුනරුදය කෙරෙහි සක්‍රීය දායකත්වයක් ලබා දුන් නාමයන් අතර පී. ඩන්ස්ටන් ද සිල්වා නාමය ද නිතර දකින්නට ලැබේ.  “මනෝහාරී” ගීත නාටකය වැනි මුල් කාලීන එදිරිවීර සරච්චන්ද්‍ර නිර්මාණ වල සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහු යි. හින්දුස්ථානී රාගධාරී සංගීතයෙහි ලා විශේෂ නිපුණතා දැක් වූ බවට ප්‍රකටව, ඒ නිසාම හින්දුස්ථානී ගැති බවට​ විවිධ විවේචන වලට ලක් වූ වද​, “කහවන් ගොයමට” ගීයේ පදමාලාවට අනුගතව, අවස්ථාව සහ අර්ථය අනුව ඔහු විසින් සංගීතය නිර්මාණය කර ඇති අයුරු ඉතාමත් ප්‍රශස්ත යි. සංගීතයෙන් සවස් කාලය මැවීම සඳහා සංගීතඥයා විසින් යම් කිසි රාගයක් නිර්මාණාත්මකව​ ඇසුරු කර ගන්නට ඇතැයි සිතේ​. එහෙත් ගීතය ශ්‍රවණය කරද්දී නාදමලාවෙන් හින්දුස්ථානී ශෛලියක් ප්‍රකාශයට පත් නොවෙන තරම් ය. ගායිකාව ගේ ගැමි ඌරුවේ උච්චාරණය නිසා ගීයට ලැබෙන ජන ගීයට ආවේණික වර්ණය සහ හැඩය ද​​ ඉන්දියානු රාගධාරී ස්වරූපයක් ශ්‍රවණය නොවීමට​​ ප්‍රබල හේතුවක් වූවා විය හැකියි.

නාලිනී රණසිංහ මහත්මිය ගේ වචන උච්චාරණය සාටෝපයෙන් තොර ය. අව්‍යාජ සිංහල ගැමි හඬක් සහ වචන උච්චාරණ විලාසයක් ඇගේ ගායනය තුළින් ශ්‍රවණය වේ. ජයකොඩි පියතුමා ගේ කාව්‍යමය පදමාලාවට පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා ගේ සංගීතය වගේම, සාටෝපයෙන් තොර මිහිරි ගායනය නිසා ලැබෙන්නේ අපමණ ජීව ගුණයකි. ඒ හඬ අතීතකාමී මතක රැසකට අපව කැඳවාගෙන යනවා. එ කල අප පාසැල් යාමට නින්දෙන් පිබිදෙන්නේ ඇගේ හඬින් ගැයෙන “මගේ සිත තැන්පත් ය” ගීතය අසමින්. සරත් බාලසූරිය ගේ බටහිර ආරට බර සංගීතයට ඈ ගැයූ “දරදිය ඇදලා දහදුක් වින්දා” සහ කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්‍ෂණය යටතේ “මී මැස්සෝ” චිත්‍රපටයට ගැයූ “සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල” ගීතයද මට මෙහිදී සිහිපත් වෙයි. ඩබ්. බී. මකුලොලුව මහතා ඇසුරේ ජන සංගීතය ආශ්‍රිත නිර්මාණ සඳහාත්, සුනිල් සාන්ත මහතා යටතේ සුනිල් ගීයටත්  දායක වීමෙන් වැඩි දියුණු කර ගත් ශිල්පීය නිපුණතාවය තුළින්  පී. ඩන්ස්ටන් ද සිල්වා ගේ සංගීතයට ඈ සිය ​උපරිම හැකියාව මුදා හරිනවා.

ඉහත විග්‍රහය මා විසින් කරන්නට යෙදුණේ සාමන්‍ය දැනීමට අමතරව​ ඉඳහිටෙක අනුරාධපුරය ආශ්‍රිත ගමකට  ගිය විට ලබා ඇති ඇත්දැකීම් ද ආශ්‍රය කර ගනිමින් පමණි. ගම්බද පළාත්වල ජීවත් වී ප්‍රායෝගික ඇත්දැකීම් ඇති අයෙකුට​ ගී පද අරුත් සම්බන්ධයෙන් මීට වෙනස් අදහස් තිබිය හැකියි.

කහවන් ගොයමට ගීයේ යොමුව පහතින් සඳහන් කර ඇත​. ගීතයට සවන් දෙමින්, ගොම්මන් කලුවර වැටෙන යාමයක මින්නේරිය වැව අසබඩට ගොස් එහි අසිරිය සිතින් විඳ ගන්න.

අමා නයනාදරී සිරිවර්ධන​
30-07-2023

කහවන් ගොයමට රන්දිය වැහැලා නියරෙන් ඉතිරෙනවා
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී මිහිමත වැතිරෙනවා
විහඟ වළා ගුවන වෙලා දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුණු කලක්දෝ ඉපනැළි නලියනවා

මින්නේරිය වැව දැන් නිල් කැටයකි තැන තැන රතු වෙනවා
එක දෙක දියරැළි සුළඟට කැඩි කැඩි සුදු ඉරි මතුවෙනවා
මුතු අමුණා ගී මුමුණා දුර වෙරළට ඇද්දෙනවා
මින්නේරිය වැව පටසළු ඇඳගෙන ඔන්චිලි පැද්දෙනවා

මහසෙන් රජු වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා
අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට හිනැහී සැනහෙනවා
යල වපුරා මහ වපුරා ගොයමට දිය රැළි නංවනවා
මින්නේරිය වැව හෙට හී කවියේ උදයට ළංවෙනවා

කහවන් ගොයමට රන්දිය වැහැලා
කහවන් ගොයමට මුල් කාලීන ගායනයක්

බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායය සහ එහි පරිණාමනය

මේ සටහන දෙවන එළිසබෙත් මහ රැජින ගේ අවමඟුල් උත්සවය පැවැති දා පළ කිරීමට සිතා සිටියත් කාල වේලාව මඳකම නිසා ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. අභාවප්‍රාප්ත මහ රැජින සිහිපත් කිරීම පිණිස අද මෙරට ජාතික ශෝක දිනයක්.  සටහනක් තැබීමට​ විවේකයක් ලැබුණේ අදයි.

දෙවන එළිසබෙත් මහ රැජින ගේ අභාවයෙන් පසු එක්සත් රාජධානියේ සහ තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 14 ක රාජ්‍ය නායකයා ලෙස ව්‍යවස්ථා ප්‍රකාරව තුන්වන චාර්ල්ස් රජු නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. ඉතිහාසය තුළ රජ පවුලේ සම්ප්‍රදාය විමසා බලද්දී අභිනව රජු ගේ රාජ්‍යත්වය ගැන යම් ගැටළුවක් පැන නැඟේ.

එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් කුමරිය රජ පවුලක  ඉපදෙන්නේ කිරීටය දරා සිටීමට බලාපොරොත්තු තබා ගත හැකි උරුමයක් ඇතිව නෙවෙයි. එළිසබෙත් කුමරියට දෙවන​ එළිසබෙත් මහ රැජින​ වීමට මඟ පෑදුණු ආකාරය​ සලකා බලද්දී ඈ සතු වූ වාසනා මහිමය අප පුදුමයට පත් කරවනවා.

දෙවන එළිසබෙත් මහරැජිනට කිරුළේ හිමිකම ඉක්මන් වූයේ ඇගේ මහප්පා වූ අටවන එඩ්වඩ් රජු සිහසුන අත් හළ නිසයි. ඔහු ඉතිහාස ගත වන්නේ ආදරය වෙනුවෙන් කිසිදා නොලැබෙන කිරුළක් නොව, තමන්ට සැබැවින්ම ලැබී තිබූ  කිරුළ හැර ගිය රජකු ලෙසින්. ඇය ගේ සීයා වූ පස්වන ජෝර්ජ් රජතුමා ජීවත්ව සිටින කාලයේ දී එංගලන්ත සම්ප්‍රදාය අනුව කිරුළේ හිමිකම සඳහා එළිසබෙත් රැජින සිටියේ තුන්වන ස්ථානයේ යි. ඒ සිය මහප්පා වූ එඩ්වඩ් සහ පියා වූ ඇල්බට් රජ  කුමාරවරුන්ට පසු පසින්. ඒ වන විට එඩ්වඩ් රජු විවාහ වී දරුවන් ලබා නොසිටි හෙයින් ඔහුගෙන් පසුව කිරුළට හිමිකම ලැබෙන්නේ බාල සොහොයුරු ඇල්බට් කුමරුට (පසුව හයවන ජෝර්ජ් රජු) යි. රජකමට උරුමකම් කියද්දී එඩ්වඩ් කුමරු විවාහ වී දරුවන් ලැබුයේ වී නම්, එම ස්ථානයත් ඇගෙන් ගිලිහී යනවා. ඒ හැරත්, යම් හෙයකින් අගේ දෙමාපියන්ට පසුව පුතකු ලැබුණේ වී නම්, එකළ එංගලන්තයේ ස්ත්‍රීන් අභිබවා පිරිමින්ට ජ්‍යේෂඨ​ත්වය​ ලැබෙන රාජකීය සම්ප්‍රදායයට අනුව, පවුලේ වැඩිමහල් දරුවා වුවත්, කිරුළේ ඊළඟ උරුමක්කාරයා බවට පත් වන්නේ ඒ පවුලේ බාල පිරිමි දරුවා යි.  රැජිනට අවස්ථාව ලබෙන්නේ ඊටත් පසුව යි. එහෙයින් රජ පවුලේ නව සාමාජිකාවක ලෙස​ ඇගේ උපත මහජන අවධානය දිනා ගත්තත්, ඇගේ ළමා කාලය තුළ අනාගත රැජිනක ලෙස අන්‍යයන් අතරේ පිළි ගැනීමකට ලක්ව තිබුණේ නැහැ. එතෙක් ඇය රාජ්‍යත්වයට අනුමාන උරුමකම් කිව හැකි රාජකීයයකු (heir presumptive) ලෙස සැලකීමට බඳුන් වූවා මිස, පැහැදිලි උරුමයක් (heir apparent) ඇතිව සිටියේ නැහැ.

1936 දී  පස්වන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුව අටවන එඩ්වඩ් ලෙස එංගලන්තයේ රජු බවට පත් වන්නේ මියගිය රජු ගේ වැඩිමහල් පුත්‍රයා යි. නමුත් රජ වී නොබෝ කලකින්ම පළමු විවාහයෙන් දික්කසාද වී, දෙවන විවාහයෙන් ද සමු ගැනීමට සූදානමින් සිටි, ඇමෙරිකානු සම්භවයක් සහිත සිය පෙම්වතිය විවාහ කර ගැනීමට උදක්ම අපේක්ෂා කළ අටවන එඩ්වඩ් රජු නිසා රාජකීයයන් කැළඹීමට පත් වෙනවා. ඔහු ගේ ක්‍රියා කලාපය එංගලන්ත පල්ලියේ දෝෂ දර්ශනයට ලක් වන්නේ දික්කසාද වූ අයෙකුට ඔහු ගේ හෝ ඇයගේ හෝ කලින් සහකරු හෝ සහකාරිය ජීවත්ව සිටිය දී නැවත විවාහ වීමට පල්ලියෙන් අනුමැතිය නොලැබෙන පසුබිමක් එවකට පැවති නිසයි. (අසා ඇති පරිදි අනුමැතිය ලැබෙන්නේ සහකරු හෝ සහකාරිය පරදාර සේවනයේ යෙදීම යටතේ දික්කසාදය ලබාගෙන ඇත්නම් පමණයි).

ප්‍රශ්නය පැන නඟින එක් තැනක් මෙතැන යි. සිම්සන් මහත්මිය සමඟ රජුගේ සබඳතාව නිසා, ආගමික සහ රාජකීය සම්ප්‍රදායයන්  අභියෝගයට ලක් වී සාමාජයේ කැළැඹීමක් ඇති වූවා පමණක් ම නොව​, ඒ හේතු කොටගෙන එංගලන්ත පාර්ලිමේන්තුව තුළ ද  අර්බුදකාරී තත්ත්වයක් හට ගත් බවක්  කියැවෙනවා. ඒ එවකට බලයේ සිටි බ්‍රිතාන්‍ය conservative පක්ෂයේ අගමැති ඇතුලු පාර්ලිමේන්තුවේ බහුතරය එඩ්වඩ් රජු සහ සිම්සන් මහත්මිය අතර විවාහයට තදින්ම විරෝධය පෑම නිසයි. බොහෝ දෙනා ගේ අදහස වුණේ දෙවරක් විවාහ වී, මතභේදයට තුඩු දෙන චරිත ස්වභාවයක් ද ප්‍රකට කළ තැනැත්තියක වන සිම්සන් මහත්මිය රජ බිසවක වීමට සුදුසුකම් නොලබන බවයි. කලින් විවාහ වූ සහකරුවන් තවමත් ජීවතුන් අතර සිටින හෙයින්ද සිම්සන් මහත්මිය විවාහ කර ගෙන රජු සිය මෙහෙසිය කර ගැනීමට සැරසීම ඔවුන් ගේ නොමඳ අප්‍රසාදයට හේතු වුණා. ඒ අනුව එකළ පාර්ලිමේන්තුවේ ප්‍රබලයන්ගේ අදහස වුණේ එඩ්වඩ් රජු ඇය හෝ සිහසුන හෝ දෙකෙන් එකක් තෝරා ගත යුතු බවයි.  අවසානයේ දී 1936 වර්ෂයේ ජනවාරියේ දී රජකමට පත්වන අටවන එඩ්වඩ් රජු වසරක් ගත වීමටත් මත්තෙන් 1936 දෙසැම්බර් මාසයේ දී, තමන් ආදරය කරන කාන්තාව ගේ සහයෝගය තමන්ට ලබා ගත නොහැකි පසුබිමක, රජකු ලෙස සිය වගකීම් ඉටු කිරීම අසීරු බව පවසා, සිය පෙම්වතිය වෙනුවෙන් රජකම අත් හරින්නට තීරණය කරනවා. ඒ තීරණයත් සමඟින් ඒ රජුගේ පමණක් නොව, අපගේ රැජින ඇතුලු තවත් බොහෝ දෙනෙකු ගේ ඉරණම වෙනස් වෙනවා. අටවන එඩ්වඩ් රජකමින් ඉවත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව රජකමට පත් වන්නේ කිරුළෙහි ඊ ළඟ උරුමක්කාරයා ලෙස පෙළෙහි සිටි ඔහු ගේ බාල සහෝදරයා යි. ඒ අනුව එළිසබෙත් කුමරිය ගේ පියා වූ ඇල්බට් කුමරු, හයවන ජෝර්ජ් රජු ලෙස කිරුළු දරනවා. එංගලන්ත ඉතිහාසය තුළ 1936 වර්ෂය රජවරු තුන් දෙනෙකු රජ කළ වසරක් ලෙස ඉතිහාසගත වෙනවා.

එංගලන්ත ඉතිහාසයේ රාජකීය සහ ආගමික සම්ප්‍රදායයන් සලකා බලද්දී අප ගේ අභිනව තුන්වන චාර්ල්ස් රජු ගේ කිරුළේ හිමිකම සහ රාජ්‍යත්වය විවාදයට බඳුන් විය යුතුව තිබුණා නොවේද? පෙර වේල්සයේ කුමරු, කැමිලා පාකර් මහත්මිය 2005 දී විවාහ කර ගන්නේ ඇය ගේ කලින් සැමියා වූ ඇන්ඩෲ පාකර් තවමත් ජීවත්ව සිටියදීම යි. එම විවාහය නිසා එංගලන්ත පල්ලියේ සම්ප්‍රදායයන් කඩ වූයේ නැද්ද​? නමුත් එයින් පසුවත් වේල්සයේ කුමරු ලෙස ඔහු දිගටම කිරුළ සඳහා ඊළඟ හිමිකරු ලෙස පෙනී සිටියා. චාර්ල්ස්-කැමිලා යුවළ ගේ විවාහයට පෙර  කැමිලා පාකර් ගේ දික්කසාදය සිය කලින් සැමියා ගේ අනියම් සම්බන්ධතාවයක් නිසා බව එංගලන්ත පල්ලිය ඉදිරියේ සනාථ කර පල්ලිය සතුටු කළ හැකි වීදැයි නොදනිමි. එසේත් නැත්නම්, ඒ වෙද්දී කාලයේ තාලයට එංගලන්ත පල්ලිය සිය ආගමික සම්ප්‍රදායයන් වෙනස් කරගෙන තිබුණේ ද​?

කෙසේ නමුත් දික්කසාද වූ කාන්තාවක් විවාහ කර ගැනීම අසරණ රජෙකුට රජකම හැර යාමට හේතු වෙද්දී, ඒ මාර්ගයේ ම ගමන් කළ තවත් අයෙකුට කිසිදු හිරිහැරයක් කරදරයක් නැතිව රජකමට උරුමකම් කීමට ලැබී ඇති බව නම් මෙයින් පැහැදිලියි. වෙනස් කාල වකවානු වල දී මුත් එකම මාර්ගයේ ගමන් ගත් දෙදෙනෙකුට ඉරණම් දෙකක් හිමිවීමෙන් පැහැදිලි වෙන තවත් දෙයක් ඇත​. එනම් එංගලන්ත රාජකීය පවුලේ සම්ප්‍රදායයන් මෙන්ම පල්ලියේ ආගමික සම්ප්‍රදයයන් ද​ ඉතිහාසය පුරා නොයෙකුත් අභියෝගයන්ට ලක් වී ඇති බවත් , කල් ගත වී හෝ ඔවුන් මානව නිදහස වෙනුවෙන් සිය සම්ප්‍රදායයන් වෙනස් කරගෙන ඇති බවත් ය. කලානුරූපව සිදුවන සමාජ පරිණාමනයන්ට අනුව ඔවුන් සිය දැඩි මතධාරී ප්‍රවේශයන් මඟ හැර වඩා නම්‍යශීලී ප්‍රතිපත්තියකට අවතීර්ණ වී ඇති බව මේ සිදු වීම් තුළින් පෙන්නුම් කරනවා. මේ අලකලංචිය නිසා අප ගේ එළිසබෙත් රැජිනට පිය රජු ගේ අකල් මරණයෙන් පසුව, සිය තරුණ වියේ දීම කිරීටය දැරීමට වාසනාව පෑදෙනවා පමණක් නොව​, හැත්තෑ වසරක් රාජ්‍යත්වය දරමින්, මී මුණුබුරන් ද බලා කියාගෙන අවසන් ගමන් යාමට තරම් ඇය මනා ශාරීරික සහ මානසික සෞඛ්‍යයකින් යුතුව ජීවත් වෙනවා.

එංගලන්ත රාජකීය පවුල වගේම පල්ලියේ සම්ප්‍රදායයනුත් කාලයත් සමඟ වෙනස් වී ඇති බවට දැක ගන්නට ලැබුණු ආසන්නතම අවස්ථාව 2018 දී පැවැත්වුණු හැරී සහ මේගන් යුවළ ගේ විවාහ මංගල්‍ය යි. ඇමෙරිකානු ජාතික මේගන් මාර්කල් පැමිණෙන්නේ මිශ්‍ර සම්භවයකින්. ඇගේ විවාහ සම්බන්ධතා ද පෙර කියූ අවස්ථා වලට වෙනස් නොවේ. එහෙත් හැරී කුමරු සහ මේගන් කුමරිය රජ පවුලේත්, පල්ලියේත් ආශීර්වාදය මැද චාරිත්‍රානුකූල ලෙස විවාහ වෙනවා. එ පමණක් නෙවෙයි, පියා සිය දියණිය ගේ විවාහ මංගල උත්සවයට නොපැමිණි පසුබිමක මනාලිය අල්තාරය වෙත කැඳවාගෙන එනු ලැබුවේ මාමණ්ඩිය වූ වේල්සයේ කුමරු විසින්. එය අප කිසිවකු අපේක්ෂා නොකළ ඉතාමත් සිත් ගන්නා සුළු ආදරණීය දසුනක් වුණා.

අවසානයට පෙර රාජකීය සම්ප්‍රදායයන්වල වෙනස්වීමක් දකින්නට ලැබෙන තවත් එක්  තැනක් ගැන සඳහන් කළොත්;  වර්තමාන වේල්සයේ කුමරු සහ කුමරිය ගේ දියණිය වන චාලට් කුමරිය කිරුළ සඳහා අනුපිළිවෙලින් සිටින්නේ තුන්වෙනි තැන. ඒ ඇය ගේ පියා වන විලියම් කුමරු සහ වැඩිමහල් සහෝදරයා වන ජෝර්ජ් කුමරුට පසුව යි. ඇයට බාල පිරිමි සහෝදරයකු සිටිය ද, ඇය ඔහුට කලින් සුදුසුකම් ලබනවා. කිරුළ සඳහා පිරිමින්ට වාසි සහගත ලෙස ජ්‍යේෂ්ඨත්වය ලැබෙන පිළිවෙත ( male-preference primogeniture) 2012 දී පමණ එංගලන්ත රජ පවුලේ සම්ප්‍රදායයෙන් ඉවත් කර ගත් බවයි මා අසා ඇත්තේ. ඉන් පසුව ඉපදෙන රාජකීයයන්ට එසේ වෙනස් කළ රීතිය බල පැවැත්වෙනවා. ඒ අනුව දැන් එංගලන්තයේ රාජකීය සම්ප්‍රදාය තුළ කිරුළේ උරුමය සඳහා පියාගෙන් හෝ මවගෙන් පසු පුතාට හෝ දුවට ආදී වශයෙන් සහ ඉපැදුණු අනුපිළිවෙල අනුව මිස, ස්ත්‍රී-පුරුෂ බෙදීම තුළ ප්‍රමුඛතාවය ලැබෙන්නේ නැහැ.

දෙවන එළිසබෙත් මහ රැජනට සුබ ගමන්!  අභිනව තුන්වන චාර්ල්ස් රජු සහ කැමිලා පාකර් බිසවට සුබ පැතුම්!

අමා නයනදරී සිරිවර්ධන
22-09-2022

Design a site like this with WordPress.com
Get started