වාණිජත්වය අරමුණු කර ගනිමින් නිපදවන නිර්මාණයකට දායක වන වෘත්තීය කලාකරුවන්ට යා හැකි අවම සීමාව කුමක්ද යන ප්‍රශ්නය මතු වෙනවා. වරෙක, ටී.බි ඉලංගරත්න සූරීන් ගේ නවකතාවක් වන ‘ළසඳා’ චිත්‍රපටයට තමන් විසින් නිර්මාණය කරන ලද ගීත උදාහරණයට ගනිමින් ඒ සඳහා ප්‍රේමසිරි කේමදාස මහතාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරක්;
“රටක චිත්‍රපට කර්මාන්තයේ දියුණුව උදෙසා වාණිජ චිත්‍රපටත් අවශ්‍ය යි නේ. ඒත්, අපිට පුළුවන් ඒ තරම් පහළට වැටෙන්නේ නැතිව වාණිජ චිත්‍රපටයකට පවා හොඳ දෙයක් නිර්මාණය කරන්න.” (ආචාර්ය ප්‍රේමසිරි කේමදාස)
කේමදාස මාස්ටර් ඒ බව ක්‍රියාවෙනුත් පෙන්වා ඇති බව ඔහු හැදූ ගීත විමසා බැලීමේදී පෙනී යනවා. “මා ප්‍රාර්ථනා” (‘ළසඳා’) , “සීත මීදුම් ගීත නාදෙන්” (‘ජනක සහ මංජු’) , “පැළඳ කඩුකස්තාන ගමට නම්බුව ගේන” (‘මොණරතැන්න’) ඒ සඳහා උදාහරණ කිහිපය කි.
‘ළසඳා’ චිත්‍රපටයේ ම එන “ගෙදර හිටිය රෝස කැකුළ රෝසා” ගීතය නිර්මාණය කෙරෙන්නේත් ධර්මසිරි ගමගේ සහ ප්‍රේමසිරි කේමදාස සහභාගීත්වයෙන්. ධර්මසිරි ගමගේ සූරීන් ගීතය රචනා කර ඇත්තේ චිත්‍රපටයේ අදාළ අවස්ථාවට උචිත භාෂා රීතියකින් සහ භාෂා ප්‍රයෝග භාවිතයෙන් තියුණු යටි පෙළක් ද සහිතව යි. නමුත්, ගීතයක් යනු කලාත්මක ප්‍රකාශනයක් විය යුතු බවට වග බලා ගන්නා අතරේ දී, තැනට සුදුසු ලෙස ක්‍රියාත්මක වීමට තරම් මේ කලාකරුවන් දෙපළ ප්‍රඥා ගෝචර වී ඇති අයුරු ඉතාමත් ප්‍රශංසනීය යි. සන්දර්භය (context) තුළින් විමසා බැලූ විට මේ ගීතය විශිෂ්ට නිර්මාණයක් වන්නේ කලා කෘතියෙක තිබිය යුතු කාව්‍යමය ස්වභාවය හෙවත් “කවිය” මෙහි සුරැකී තිබෙන හෙයින්.
චන්ද්‍රරත්න මානවසිංහ සහ පණ්ඩිත් අමරදේව එකතුවෙන් ‘රන්මුතු දූව’ චිත්‍රපටය සඳහා හැදූ “පිපී රේණු නටන” ගීතය අමරදේවයන් විසින් හඳුනා ගනු ලැබෙන්නේ තමන් නිමාණය කළ බයිලා ගීතයක් ලෙසින්. ජීවත් වීම පිණිස කලාව තෝරා ගත් අයෙකුට වුව ද , අවශ්‍යතාවයක් සහ නිසි දැක්මක් ඇත්නම් ප්‍රමිතිය පවත්වා ගැනීම අසීරු නො වන බව වටහා ගැනීමට මේ උදාහරණ වුව ප්‍රමාණවත්.
චිත්‍රපටයේ අවස්ථාව ඉල්ලා සිටීන දේ නිර්මාණය කරන විටෙක පවා භාෂා ප්‍රයෝග භාවිතයේ දී අවම ප්‍රමිතිය පවත්වා ගැනීමට එදා ප්‍රවීණ කලාකරුවන් සමත් වීම භාග්‍යය කි. ප්‍රාමාණික දැනුමක් වගේම, විචාරශීලී බුද්ධියක් ඇතිව කටයුතු කළ මෙවැනි ශිල්පීන් හුදු වාණිජ අරමුණු උදෙසා වගකීම් විරහිත ලෙස දිගින් දිගටම කටයුතු කළ ශිල්පීන් සමග කිසිසේත්ම සංසන්දනය කළ නො හැකිය. එ වැන්නන් හා සම මට්ටමක රැඳවිය නොහැකි ය. වාණිජත්වය අරමුණු කර ගනිමින් කඩා වැටුණු ප්‍රේක්ෂක රස වින්දනයේ මට්ටමට බැස, කලා කෘතියෙක පැවතිය යුතු සීමාව ඉක්මවා කට වහර භාවිතා කළ අවස්ථා වල දී විදග්ධ මට්ටමේ කලාකරුවන් පවා විචාරක දෝෂ දර්ශනයට ලක් වූ අවස්ථා ඇත. කෙසේ වෙතත්, ඉඳහිටෙක සුපුරුදු ශෛලියෙන් පිට කරන ලද නිර්මාණයක් දෙකක් නොව, සමස්තය සලකා බලා ගුණ දොස් දැක්වීමට වග බලා ගැනීම ද අවශ්‍ය වේ.
අවම ප්‍රමිතියෙන් එහා නො ගොස්, අවස්ථානුකූලව වෙනස් විම එකෙ කි. දැක්මකින් තොරව අවිචාරවත් ලෙස ක්‍රියා කිරීම තවත් දෙයකි.
-අමා නයනාදරී සිරිවර්ධන-
14/11/2020